සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බුදු වුවද අකුසලයන් ඵල දේ

ලොව්තුරා බුදුපියාණන් වහන්සේට පෙර ආත්ම භවයන්හි සිදු කරන ලද අකුසල කර්මවල ප්‍රතිවිපාක පල දුන් බව සෑම බෞද්ධයකුම හොඳින් දන්නා කරුණකි. බුදුපියාණන් වහන්සේට ඵලදුන් අකුසල කර්මයන් පිළිබඳව ‘බුද්ධ නිකායේ’ ‘අපදාන පාලි හා බුද්ධවංශ පාලියේ’ සඳහන් වේ. එහි පුබ්බ කම්ම පිලෝතිකාපදානයෙහි ඒ පිළිබඳව සඳහන් කරනු ලබයි.
පිනක් නම් කිසියම් කෙනකු යහපත් සිතින් කරන ලද යහපත් ක්‍රියා විශේෂයකි. එසේම පවක් වන්නේ අයහපත් සිතින් කරන ලද අයහපත් ක්‍රියා විශේෂයකින් උපදින අකුසල ශක්ති විශේෂයකි. එම ශක්ත විශේෂ ඒවා නිපදවන ලද පුද්ගලයා හෙවත් උපාදානස්කන්ධ සංයුක්තය හා විශ්ව සංයුතිය අතර විකාශනය වෙමින් පවතී. ඒ අනුව සිදුකළ ක්‍රියාධර්මවලට අනුගතව ඊට සමානවම සැප විපාක වශයෙන් ප්‍රතිඵල විඳීමට සිදුවෙයි. මෙය ලොව පවතින ධර්ම නියායකි. පුද්ගලයා බුදු, පසේබුදු, මහරහත් යන පදවිවලට පත් වුවද පෙර සංසාරික වශයෙන් ගොඩනඟාගත් කර්ම ශක්තීන් ඔහු පසුපස ගමන් කරනු ලබයි. එය සැප-දුක වශයෙන් පල දෙනු ලබයි.
බුදුපියාණන් වන්සේට ද පෙර සංසාර ගමන තුළදී උන්වහන්සේ අතින් සිදුවූ අකුසල ක්‍රියා ශක්ති බුද්ධත්වයට පත්වූ පසු ද විපාක දුන් අවස්ථා ආපදාන පාලියේ සඳහන්ව ඇත්තේ ‘පුබ්බ කම්ම පිලෝතික’ ලෙසය. බුදුපියාණන් වහන්සේගේ ජීවිතයට එසේ පල දුන් පුබ්බ කම්ම නම්.
සිදුහත් බෝසතුන් සම්බෝධිය සඳහා සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීම පිණිස බලපෑ ප්‍රවෘත්ති විපාකය.
බුදුවිීම පිණිස සම්පූර්ණ කළ යුතු සියලු ධර්මතාවන් සම්පූර්ණ කර තිබියදී බුදුපියාණන් වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ ඇයිද? යන්න බලපෑ අතීත හේතූන් අපදානපාලිය තුළ සඳහන් කරනු ලබන්නේ කාශ්‍යප බුදුපියාණන් වහන්සේ බුද්ධ ශාසනය පවතින සමයෙහි අප බුදුපියාණන් වහන්සේ ‘ජෝතිපාල නමින් එක් බමුණු කුලයක උපන්හ. මේ ජෝතිපාල තරුණයා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දැකීමටවත්, බණ දහම් ඇසීමටවත් කැමැත්තක් නොදක්වන අන්දමට මිසදිටුබවේ පැටලී සිටියේය.
වේහළිංග නම් ගමේ ‘කුම්භකාර ඝටිකාර’ නම් තැනැත්තෙක් වෙසෙයි. හෙතෙම ජෝතිපාල තරුණයාගේ හොඳ මිතුරෙකි. ඔහු කාශ්‍යප බුද්ධ ශාසනය තුළ අනාගාමී මාර්ග ඵලයට පත්ව සිටි පුද්ගලයෙකි. මේ කුම්භකාර තෙමේ තම මිසිදිටු බවට පත්ව සිටින ජෝතිපාල තරුණයා ඉන් මුදා ගැනීම පිණිස කල්පනා කළේය. මෙසේ දිනක් කුම්භකාර තෙම ජෝතිපාල තරුණයා වෙත එලැඹ ‘මිත්‍රය’ ලොව්තුරු බුදුකෙනෙක් දැක බණ අසන්න ලැබීම ඉතා දුර්ලභ කාලයකිනි. ඒ නිසා අද මම ඔබව කාශ්‍යප බුදුපියාණන් වහන්සේ හමුවට කැඳවාගෙන යන්නයි පැමිණියේ යැයි පැවැසුවේය. එහිදී ජෝතිපාල තෙම දැඩි කෝපයෙන් ‘මොන බුදුවරුද? ඔය මුඩු මහණුන් දැකීමෙන් අපට ඇති ඵලය කිමෙක්ද? ආදී වශයෙන් කියන්නට වූහ.
මෙහිදී කුම්භකාර තෙමේ උපක්‍රමශීලීව ජෝතිපාල තරුණයා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ වෙත ගොස් දහම් අසා ජෝතිපාල තරුණයා පැහැදී පැවිදි භාවයට පත් විය. එහිදී කාශ්‍යප බුදුපියාණන් වහන්සේ නියත විවරණ ද ලබාදුණි.
ජෝතිපාල තරුණයා දුර්ලභ වූ බුදු බවට කළ නින්දාව නිසා මේ බුදුවන ආත්මභවයේදී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රිියා කරන්නට සිදුවිය.
මීළඟට අප ගෞතම අමාමෑණියන් වහන්සේට ඵලදුන් තවත් කර්ම විපාකයක් වන්නේ ‘වේරඥා නුවරදී’ වස් තෙමෙස තුළ පැතිර ගිය ආහාර දුර්භික්ෂය නිසා තෙමසක් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානය නොමැතිව අශ්වයන් සඳහා වූ ‘යවහාල්’ අනුභව කරන්නට සිදු වූවාහුය. උන්වහන්සේට යවහල් අනුභව කිරීමට හේතු වූ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාකය අපදානපාලිය තුළ දැක්වෙන්නේ.
‘ඵුස්ස’ සම්බුදු පියාණන් වහන්සේගේ සසුන ලොව පවන කල උන්වහන්සේගේ ශ්‍රාවකයන් සුවඳ හැල් හාලේ ආහාර දානයක් වළ ඳනු දැක ‘මේ මුඩු මහණෝ සුවඳ හැල් හාල් බත් අනුභව කරති. මොවුන්ට සුවඳ හැල් හාලේ බත් නොවදියයුත්තේ යවහාලේ බත්ය’ යනුවෙන් අප ගෞතම බෝසතුන් කළ දොස් පැවැරුමට ප්‍රති විපාක ලෙස මේ බුදු භවයේදී තෙමසක් පුරා වේරංජනාවේදී යවහාල් අනුභව කිරීමට සිදුවිය.
අප බුදුපියාණන් වහන්සේට පල දුන් කර්ම විපාකයක් ලෙස අපදානපාලිය සඳහන් කරනු ලබන තවත් කර්ම විපාකයක් වන්නේ ‘සුන්දරී පරිබ්‍රාජිකාව වෙතින් අපහාස විඳී මට හේතු වූ අකුසල කර්මයයි.
පෙර භවයක අප බුදුපියාණන් වහන්සේ ‘මුනාලි නම් ධූර්තකයෙක්ව’ ඉපදී සිටියේය.
එම කාලය තුළ ලොව පහළව සිටි ‘සරඟු’ නම් පසේ බුදුපියාණන් වහන්සේ හට මේ මුඩු මහණා දුස්සීලයෙකි ලොව රවටන සොරෙකි ආදී වශයෙන් උන්වහනසේට අපහාස කළේය. එම අකුසලය හේතු කොටගෙන එහි ප්‍රතිසන්ධි විපාක වශයෙන් බොහෝ කාලයක් නිරයෙහි දුක් විඳ එම කර්මයේ ශේෂ වූ විපාකයක් ලෙස ගෞතම බුදුපියාණන් වහන්සේට ‘සුන්දරීය’ මරණය සම්බන්ධයෙන් ‘ගෞතම මිනීමරුවෙකි’ ඔහු සුන්දරිය මරා දමන ලදී. යැයි චෝදනා චින්ඳේය.
චිංචිමානවිකාව විසින් බුදුරජාණන් වහන්සේට කරන ලද අපහාස උපහාස පිළිබඳව හේතු වූ පෙර අකුසල කර්ම විපාකය කුමක්ද? යන්න සලකා බැලිය යුතුය.
අපදානපාලියේ සඳහන් කරන පරිදි බුදුපියාණන් වහන්සේ චිංචිමානවිකාවගෙන් අපහාස වින්දේ උන්වහන්සේ පෙර සංසාර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රති විපාකයක් හේතුකොට ගෙන බවයි.
පෙර ‘සම්බාභීතූ’ නම් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශාසන සමයෙහි ගෞතම බෝසතුන් ‘නන්ද’ නමින් සබ්බාභිතූ බුදුපියාණන් වහන්සේගේ සසුනේ පැවිදිව, රහත්ව සිටි තෙරුවන් වහන්සේට මේ මහණ තෙම සොරෙකි. දුස්සීලයෙකි. රැවටිලිකාරයෙකි ආදී වශයෙන් නින්දා අපහාස කළේය. එම අකුසල කර්මය හේතුකොටගෙන බොහේ කල් නිරා දුක් විඳ මිනිස් භවවල උපන් අවස්ථාවලදී ද නොයෙක් වාර ගණන් නින්දා අපහාස ලබමින් මේ මිනිස් භවය තුළදී බුදුබවට පත්ව එම අකුසල කර්මයේ විපාක වශයෙන් චිංචි මානවිකාව විසින් අපහාස කරනු ලැබුවාය.
දෙව්දත් තෙර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත්කිරීම පිණිස අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් දුනුවායන් යොදවන ලද අතර එසේ දේවදත්ත තෙරුන් දුනුවායන් යෙදවීමට උන්වන්සේ පෙර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයක් බව අපදාන පාලියෙහි සඳහන් වේ. උන්වහන්සේ පෙර භවයක කුඩා ගම් දරුවකුව ඉපදී සිටි අතර එක් දිනක් මහමඟ වැඩම කරන පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගලකින් ගැසූ බැවින් එම අකුසල කර්මය හේතුකොට නිරා දුක් විඳ බොහෝ සේ මේ ආත්මභවයේදී බුදුබවට පත් වූ පසු දේවදත්ත තෙර දුනුවායන් යොදා පරිනාර්වාණයට පත්කිරීම පිණිස උත්සාහ කරන ලදී.
දෙව්දත් තෙරුන් විසින් බුදුපියාණන් වහන්සේව පරිනිර්වාණයට පත්කිරිම පිණිස මහා ගල් තුළක් හිස මතට පෙරළීය. එම පෙරළා හරින ලද ගල් කුළෙන් ගල් පතුරක් තථාගතයන් වහන්සේ ගේ ශ්‍රීපාද පද්මයෙහි හැපී ලේ වැගිරීමක් නොවී කැටි ගැසීමක් පමණක් සිදුවිය. මෙයට උන්වහන්සේ පෙර කරන ලද අකුසල කර්ම විපාකයක් වශයෙන් අපදාන පාලියේ සඳහන්ව තිබේ. පෙර භවයකදී තම සොහොයුරාට අයිති ධනය අත්කර ගැනීම සඳහා තම සොහොයුරාව මරා පර්වත දෙකක් අතර දමා ගලකින් වසන ලදි. එම කර්මය හේතු කරගෙන එහි ප්‍රවෘත්ති විපාකය වශයෙන් දෙව්දතුන් විසින් පෙරළා හරින ලද ගලෙන් ගල් පතුරක් අවුදින් බුදපියාණන්ගේ පයෙහි හැපුණේය.
දෙව්දත් තෙරුන් විසින් සිදුකරන ලද අකුසල කර්ම අතර නාලාගිරි ඇතු කුපිත කරවා එවීමද බුදුපියාණන් වහන්සේ පෙර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයකි. බුදුපියාණන් වහන්සේ පෙර සංසාර භවයකදී හස්ත්‍යාරෝහකයෙක්ව ඉපදී මහමඟ වඩින පසේ බුදුපියාණන් වහන්සේ නමක් දැක උන්වහන්සේ වෙක ඇතෙක් කුපිත කරවා එවන ලදී. එම අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ භවයේදී නාලාගිරි ඇතුට රා පොවා කුපිත කරවා එවන ලදි.
දෙව්දත් තෙරුන් විසින් පෙරළු ගලින් ගැලවීගොස් බුදුසිරුරේ ශ්‍රීපාද පද්මයේ වැදුණු ගල් පතුර නි්සා එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදු නොවී කැටි ගැසීමක් පමණක් සිදුවිය. මේ හේතුව නිසා බුදුපියාණන් වහන්සේ කායික වශයෙන් වේදනාවක් උපන් නමුත් උන්වහන්සේට ප්‍රතිකර්ම කිරීම පිණිස ජීවක වෛද්‍යතුමන් ඉදිරිපත් විය. ඒ තුමා එම ස්ථානයේ තිබෙන අපවිත්‍ර ලෙය බැහැර කිරීම සඳහා සුළු සැත්කමක් කරන ලදී. එම සැත්කම කොට ජීවක තෙම ඇතුල්පුරයට ගිය අතර නැවත සවස ප්‍රතිකාර කිරීමට එන්නට නොහැකි විය. මෙයින් ද බුදුපියාණෝ මහත් වේදනාවකට රාත්‍රිය පුරාම පත්ව කල් ගත කරන ලදී.
මෙයට හේතුව ලෙස අපදානපාලියේ දක්වා ඇත්තේ පෙර දවසක බෝසතුන් අනිත්ථි ගන්ධ කුමරාව උපන් සමයේ ස්ත්‍රියක් කෙරෙහි කාමාශාවෙන් මත්ව නිරපරාධි පුරුෂයන් කඩුවකින් කප කපා යැමේ ප්‍රවෘත්ති විපාකය ලෙසය.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පලදුන් ප්‍රබල අකුසල කර්ම විපාකයන් අතර උන්වහන්සේට නිතර නිතර ඇති වූ හිසරුජාව සම්බන්ධ අපදානපාලියේ දක්වන්නේ උන්වහන්සේ පෙර භවයකදී කෙවුල් දරුවෙක්ව ඉපදී සිටියදී තම ඥාතීන් සමඟ මසුන් මරණ තැනට පැමිණ මසුන් මරණ ආකාරය දැක සන්තෝෂවීමත් මසුන් මැරීම යහපත් යැයි සිතීමත්, සතුට පළ කිරීමත් හේතු කරගෙන මේ භවයේදී එහි ප්‍රවෘත්ති විපාක වශයෙන් උන්වහන්සේට සුවනොවන හිසරුජාවක් ඇති වී වේදනා විඳීමට සිදුවිය.
බුදුපියාණන් වහන්සේට මහත් වේදනා ගෙන දුන් පිටරුජාවද පෙර භවයකදී උන්වහන්සේ අතින් සිදු වූ අකුසල කර්මයක ප්‍රතිඵලයකි. උන් වහන්සේ පෙර භවයක අඟුටුමිටි වාමන නමින් ඉපිද මල්ලවපොර තරගයකදී මල්ලවයකු උස්සා කොන්ද බිම ඇනීම නිසා මල්ලවයාගේ කොන්ද බිඳී ගිය අතර එම අකුසල කර්මයට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ බුදුභවයේදී සුවනොවන පිටරුජාවක් ඇති වී වේදනා විඳීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණය තෙක් හේතු වූ ලෝහිත පක්ඛන්දිිකා රෝගයද උන්වහන්සේ පෙර භවයකදී වෛද්‍යවරයකුව උපන්ව සිටුවරයකුට වමන විරේකයක් ආකාරේ විෂ බෙහෙතක් දුන් අතර එම පාප කර්ම හේතු කරගෙන බුද්ධත්වයට පත් මේ භවයෙහි උන්වහන්සේ ලෝහිත පක්ඛින්දිකා නම් දරුණු අතීසාර රෝගයකින් පිඩා වින්දේය.
අපදානපාලියේ සඳහන්ව ඇති බුදුපියාණන් වහන්සේට පෙර භවයන් තුළ උන්වහන්සේ අතින් සිදු වූ අකුසල කර්ම හා මේ භවයේදී ඒ සඳහා ඉදිරිපත් වූ ප්‍රවෘත්ති විපාකයන්ය. අප වැනි පාථග්ජන පුද්ගලයන්ට පමණක් නොව බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් වහන්සේලාට පවා පෙර සසර කරන ලද කර්මයන්ගෙහි විපාක විඳින්නට සිදුවේ.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X