සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මහාබෝධි සංස්කෘතිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය

හඟුරන්කෙත ධීරානන්ද හිමි

සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය හා ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 දී උඳුවප් පුරපසළොස්වක් දින ලක්දිවට වැඩම කිරීම මෙරට ශාසන ඉතිහාසය තුළ මෙන්ම දේශයේ ඉතිහාසයේ තුළ ද සුවිශේෂ සිද්ධියක් ලෙසින් දිගු කලක් මුළුල්ලේ මෙරට වැසි ජනතාව මහත් හරසරින් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කෙරේ.
මීට පදනම් වූ සාධක කීපයකි. බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙසින් මහාබෝධිය ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා අනුරාධපුර මහමෙවුනාවේ රෝපණය කිරීම කෙටිකලක් තුළ බෞද්ධාගම මෙරට ස්ථාවරත්වයට පදනම් වූ එක් කරුණකි. එමෙන්ම බෝධිය පදනම් කරගත් සංස්කෘතියක් ඇතිවීම හා එමඟින් දේශීය සංස්කෘතියේ දියුණුවට ඇති වූ බලපෑමත් ජනතාව හා බෝධිය අතර සම්බන්ධතා වර්ධනයට හේතුවක් විය. මහාබෝධියේ රෝපණ උත්සවය සඳහා විවිධ ජන කණ්ඩායම් පැමිණීම හා මහාබෝධි ශාඛාවන් ඒ ඒ ප්‍රදේශයන්හි රෝපණය කිරීමත් නිසා පාලනමය වශයෙන් ප්‍රාදේශීය බෙදීම් වලින් දුරස්තව විසූ ජන කොටස් අතර සමඟිය තහවුරු කොට එක්සත් බෞද්ධ සංස්කෘතික පරිසරයක් යටතට පත්කරලීම උදෙසා ඇති කළ බලපෑම ද මහත් ය.

මහ බෝධිය වැඩම වීම

ජම්බුද්වීපයේ සිට ජම්බුකොළපට්ටනයට පැමිණි සඟමිත් තෙරණිය ප්‍රමුඛ දුත පිරිස හා මහාබෝධිය මහත් හරසරින් දේවානම් පියතිස්ස රජු විසින් පිළිගනු ලැබූ අතර ප්‍රථමයෙන් නාගදීපයේ පශ්චමාරාමයෙහි බෝධි ශාඛාව තැන්පත් කරමින් සිය ගරුත්වය දක්වා රාජ්‍යයෙන් ඊට පූජෝපාහාරයන් දක්වා ඇත. මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය පාලකයෙකු මහාබෝධිය විෂයෙහි රාජ්‍යය පූජා කළ ප්‍රථම අවස්ථාව වන අතර රාජ්‍යය හා ආගම අඛණ්ඩව සම්බන්ධතාවයක් ගොඩනැඟීම කෙරෙහි මෙම ක්‍රියාදාමය ද එක් අතකින් බලපෑ බව පැහැදිලි කරුණකි. අනතුරුව මහත් සේ අලංකාරවත් වූ පෙරහරකින් තිවක්ක වැනි බ්‍රහ්මණ ග්‍රාමයන් පසු කරමින් අනුරාධපුරයට මහාබෝධිය වැඩම කරවා ඇත. මෙසේ වැඩමවනු ලැබූ මහාබෝධි ශාඛාව අනුරාධපුරයේ මහාමේඝවනෝද්‍යානයේ රෝපණය කළ අතර එම මහා උත්සවය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ පිරිස් කාජරගාමයේ හා චන්දන ග්‍රාමයන්හි ක්ෂත්‍රීය පිරිස් වැනි උතුරු දකුණු ප්‍රදේශ වැසි ප්‍රභූ කණ්ඩායම් රැසකගෙන් හා මෙරට වැසි බොහෝ ජනයාගේ සහභාගීත්වයෙන් සිදු කළ බව වංසකතාවෝ සඳහන් කරති. මෙම අවස්ථාව වසර දෙදහස් තුන්සිය ගණනක් පැරණි මහාබෝධි සංස්කෘතියේ ආරම්භක අවධිය ලෙසින් හා ජාතියේ සමගිය ආගමික පදනම මත ඉස්මතු කළ අවස්ථාව සේ දැක්වීම වඩාත් උචිතය.
දැනට හඳුනාගෙන ඇති අභිලේඛන සාක්ෂිවලට අනුව ක්‍රි.පූ. දෙවැනි සියවසට පූර්ව අවධියේ ප්‍රාදේශීයව ස්ථානගත වූ ස්වාධීන නායකත්වයක් යටතේ කටයුතු කළ පාලන ඒකක තිහක් පමණ දැනට ඉතිහාසඥයින් විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආශි‍්‍රතයෙන් හඳුනාගෙන තිබේ. යාපනය වැනි ප්‍රදේශවල අභිලේඛන සාක්ෂි නොමැතිවීම නිසා එම කලාපය පිළිබඳ නිශ්චිතව නිගමනයන් කිරීම අසිරු වුව ද ශ්‍රී ලංකාවේ අනෙකුත් සෑම පළාතකම පාහේ මෙවැනි පාලන ඒකක පැවැති බවට අභිලේඛන සාක්ෂි හමුවේ. උතුරු මැද පළාතේ පෙරියපුලියන්කුළම, නැට්ටුකන්ද, ඔච්චප්පුකල්ලු, මිහින්තලේ, මුතුගල හා දිඹුලාගල වැනි ස්ථානවල ඇති ක්‍රි.පූ යුගයට අයත් ලෙන් ලිපි කීපයකින් එබඳු ප්‍රාදේශීය නායකයන් ගැන හා පාලක පවුල් පිළිබඳ තොරතුරු ලැබේ. එමෙන්ම වයඹ පළාතේ රන්ගිරමඩ, නුවරකන්ද, පතහාමුල්ල හා තිත්තවෙලත් බස්නාහිර පළාතේ කොරතොටත් දකුණු පළාතේ බෝවත්තේගල, සිතුල්පව්ව හා කොට්ටදැමුහෙළත් නැඟෙනහිර පළාතේ කුසලාන්කන්ද, මෝට්ටයකල්ලු, කොල්ලදෙණියත් සබරගමුව පළාතේ කිරිමකුල්ගොල්ල බලහුරුකන්ද, යාන්ලෙන ලෙනගලත් මධ්‍යම පළාතේ බඹරගල, ගෝනවත්ත, ඇඹුල්අඹේ හා පිදුරංගල යන ස්ථානවල ඇති අභිලේඛන වලින් ද ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වල ස්ථානගතව පැවැති ප්‍රාදේශීය ස්වාධීන පාලක පිරිස් පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉස්මතු කර ගත හැකි වේ. ඒ අනුව වංසකතා දක්වන ආකාරයට අනුරාධපුරය මුල් කරගත් එක් පාලන සංවිධානයක් මුල් අවධියේ සිටම පැවතියේය යන්න සිතීම දුෂ්කරය. අභිලේඛන සාක්ෂි හා සාහිත්‍ය මූලාශ්‍ර එකිනෙක සංසන්දනාත්මකව අධ්‍යයනයෙන් මෙම අදහස තවදුරටත් තහවුරු වේ. එසේම මෙසේ විසූ ප්‍රාදේශීය පාලක පිරිස් අතරින් දකුණේ කාජරගාමය මුල් කරගෙන විසූ දසබාතික පාලක පිරිස් ප්‍රබලත්වයකින් යුතු බව ධාතුවංසය දක්වන පුවත් වලින් සනාථ වේ. ශ්‍රී ලංකාවේ එවකට විසූ ප්‍රබල දේශපාලන නායකයන් හා ලක්දිව බොහෝ ජනයන් බෝධි රෝපණ උත්සවය පිණිස අනුරාධපුරයට පැමිණි බව සාහිත්‍ය මූලාශ්‍රයෝ පෙන්වා දෙති. සංස්කෘතික ක්‍රියාදාමයක් අරබයා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි පිරිස් එක් ස්ථානයකට එක අරමුණකින් එක් තැන්වීම එක්සත් ජාතියක්, එක්සත් දේශයක් යන ආකල්පය ඉස්මතු වන පළමු අවස්ථාවක් එමඟින් නිරූපණය කිරීමක් වූ අතරම ජාතික සමඟියට අවශ්‍ය පදනමක් නිර්මාණයට අවශ්‍ය වාතාවරණයකට අවකාශය සැලසිනි.

අෂ්ටඵල බෝධි

මහාබෝධි ශාඛාවෙන් හටගත් ප්‍රථම

අෂ්ටඵල බෝධි අංකුර ශ්‍රී ලංකාවේ උතුරු දකුණ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල රෝපණය කිරීම පිණිස කටයුතු යෙදීමත් සමඟ ඒකීය ආගමික සංකේතයක් ඔස්සේ එක්සත් ජාතික අනන්‍යතාවයක් වෙත ප්‍රවේශගතවීමට ඉඩකඩක් විවර විණි. එම ක්‍රියාවලිය බෞද්ධ සංස්කෘතියක් යටතේ එක්සත් ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැඟීම පිණිස තැබූ තවත් පියවරක් ලෙසින් දැක්වීම නිවැරදිය. බෝවත්තේගල හා කොට්ටදැමුහෙළ වැනි දක්ෂිණ ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රිස්තු පූර්ව තෙවැනි, දෙවැනි සියවස්වලට අයත් අභිලේඛන ඇසුරෙන් හෙළි දැක්වෙන ආකාරයට හා ධාතුවංසයෙන් පෙන්වා දෙන ආකාරයටත් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට පෙර අවධිය ශ්‍රී ලංකාවේ දකුණ හා නැඟෙනහිර ප්‍රදේශ දසභාතික ක්ෂත්‍රිය පිරිසකගේ නායකත්වය යටතේ පාලනය වූ බව පැහැදිලි කරුණකි. අෂ්ටඵල වලින් දෙකක් දකුණේ කාජරගාමයේ හා චන්දනගාමයේ රෝපණය කිරීම පිණිස ලබාදීමෙන් අනුරාධපුර පාලකයා හා දකුණේ පාලක පිරිස් අතර පමණක් නොව ජනතාව අතර ද සංස්කෘතික සම්බන්ධතාවක් මතින් ප්‍රාදේශීය දුරස්ත බව අවම කරමින් එක්සත් චින්තනයක් වෙත ප්‍රවේශගතවීමට මං විවර කෙරිණි.
පරියපුලියන්කුළම ලෙන් ලිපි දක්වන ආකාරයට අනුරාධපුරයෙන් උතුරු ප්‍රදේශය ද ස්වාධීන ප්‍රාදේශීය පාලකයන් යටතේ පැවැති බව සනාථ වේ. එමෙන්ම අනුරාධපුරයට උතුරින් තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය පිහිටා තිබෙන්නට ඇති අතර ඔවුන් ද එම අවධියේ එම කලාපය තුළ දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගත් පිරිසක් සේ හඳුනාගැනීම වඩාත් උචිතය. එවැනි දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගෙන සිටි පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අනුරාධපුර පාලකයා විසින් මහාබෝධිය මහාමෙවුනාවේ රෝපණය කිරීමත් ඉන් හටගත් අෂ්ටඵලයන් ඒ ඒ ප්‍රදේශ වෙත රෝපණය කිරීම පිණිස ලබාදීමත් නිසා එම ප්‍රදේශ අතර සංස්කෘතිකමය හා දේශපාලන සම්බන්ධතා වර්ධනයවීම කෙරෙහි සෘජුව හා වක්‍රාකාරයෙන් බලපෑ බව පැහැදිලි කරුණකි. උතුරු ජම්බුකොළ පට්ටනයේ ද තව එක් ශාඛාවක් රෝපණය කිරීමට පියවර ගැනීම තුළින් උතුර හා දකුණේ ජන කොටස් අතර සංස්කෘතික සම්බන්ධතාවය තහවුරුකර ගැනීමට තැබූ වැදගත් පියවරක් සේ දැක්වීම නිවැරදිය. මේ තුළින් පැහැදිලි වනුයේ ප්‍රාදේශීයව ජන කණ්ඩායම් අතර පැවැති දුරස්ත බව අවම කරගැනීමට මෙන්ම ජනතාව අතර බෞද්ධාගමින් හා බෞද්ධ සංස්කෘතියෙන් මේවනවිට ඇති කරමින් තිබූ එක්සත් සමාජ පසුබිම තවදුරටත් ජනතාවට හරවත් ලෙසින් හා දැකිය හැකි ලෙසින් සංකේතාත්මකව මහාබෝධියෙන් හා මහා බෝධියේ ශාඛාවන් තුළින් ඉටු වූ බවකි.
එමෙන්ම මහාබෝධියේ හටගත් දෙතිස් ඵලයන් ද ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අතර බෙදා හැරීම පිණිස කටයුතු කිරීම මඟින් සමාජ සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කොට ඇත. එම ස්ථාන නාමයන් දෙස බලන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන් ආවරණය වන ආකාරයට එම දෙතිස් ඵලයන් ගෙන් හටගත් බෝධි අංකුරයන් බෙදාහැර ඇති බවක් පෙනේ. ඒ මඟින් බුදුන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් තම ප්‍රදේශයට ලැබුණාක් මෙන්ම සංකේතාත්මකව උන්වහන්සේ එම ප්‍රදේශය තුළ වැඩ වෙසෙන බවක් ද ඒ මඟින් ව්‍යාංගාර්ථවත්ව නිරූපණය කෙරේ. එම නිසා බෝධිය වනාහි සාමයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙසින් එක්සත් ජාතියක් හා එක්සත් දේශයක් බවට පත්කරලීමට පදනම සකස් කළ බවක් පැහැදිලි කරුණකි. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී දේශපාලනික වශයෙන් එක්සත් බවක් ඇති කිරීමෙහි ලා කටයුතු කළ දුට්ඨගාමණිගේ ක්‍රියාදාමය සාර්ථකවීම කෙරෙහි දේවානම්පියතිස්ස රජු විසින් ඇති කළ මෙම සංස්කෘතික හා දේශපාලන පසුබිම මහත් ශක්තියක් හා ආශිර්වාදයක් ද විය.

උත්සව හා සිරිත් විරිත්

මහාබෝධිය ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ විවිධ කුල හා ශිල්පීය කණ්ඩායම් නියෝජනය කළ කාර්මික පිරිස් ද පැමිණීම මෙරට සංස්කෘතියේ විවිධ ක්ෂේත්‍ර හා සබැදි කාර්මික, කෘෂිකාර්මික හා නිර්මාණකරණය වැනි අංශයන්හි උන්නතියක් ඇතිවීම කෙරෙහි සෘජුවම බලපෑ කරුණකි. වංසකතාව මෙන්ම අට්ඨකතාව ද දක්වන පරිදි මහාබෝධියේ කටයුතු සඳහා මෙන්ම මහාබෝධියේ ආරක්ෂාව පිණිස ද දේව, ඇමැති, බ්‍රාහ්මණ, කුටුම්බික, ගෝපක, තරච්ඡ, කුම්බකාර හා පෙසකාර වැනි කුල අට බැඟින් දහඅට කුලීන පිරිසක් ජම්බුද්වීපයේ සිට මෙරටට එවා ඇත.
මහාබෝධි වංශය දක්වන ආකාරයට සිත්තරුන් මෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කළ පිරිස් හා විවිධ තේවා කටයුතුවල නිරත වූ වාද්‍ය හා නර්තන මෙන්ම අනෙකුත් වෘත්තින් පිළිබඳ ප්‍රාගුණ්‍යයක් ලබා සිටි පිරිස් ද පැමිණි ශිල්පීය කණ්ඩායම් අතර වූහ. මෙසේ පැමිණි පිරිස් ඉන්දියාවේ දී ලබාගත් තාක්ෂණික දැනුම මත වාස්තු විද්‍යාත්මක හා නිර්මාණශීලී දැනුම හා තාක්ෂණික ක්‍රමොපක්‍රමයන් ගෙන් පිරිපුන් පිරිසක් වූ බැවින් ඔවුනගේ දායකත්වය දේශීය නිර්මාණ ක්ෂේත්‍රයේ නව පිබිදීමකට අතිශයින් හිතකර සාධකයක් වූ බව පැහැදිලිය. ඒ අනුව එම ශිල්පීය සබඳතාවය ශ්‍රී ලංකාවේ පැවැති එම ක්ෂේත්‍රයන්හි දියුණුවට මඟ හෙළි කිරීමක් වූවා පමණක් නොව එම දැනුම ද පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවටම ආවේණික වූ නව සංස්කෘතියක් හා නිර්මාණශීලිත්වයක් ගොඩනඟා ගැනීමට ද තව අතකින් බලපෑමක් වූ බව ද කිය හැකි ය. මෙම නව නිර්මාණකරණ සමීපදායන් ශ්‍රී ලංකාවට පොදු වූ අතරම එමඟින් ගොනැඟෙන සංස්කෘතික ස්ථරායනය ජනතාවගේ එක්සත් චින්තන රාමුවේ වර්ධනයටත් ප්‍රාදේශීය දුරස්ත බව අවම කරලීමට මෙන්ම ජනතාව අතර සුහදත්වය හා මිත්‍රත්වය තහවුරු කරලීමට ද මං හෙළි කිරීමක් ද විය.
එසේම බෝධිය පදනම් කොටගත් උත්සව හා සිරිත් විරිත් සම්ප්‍රදායක් ගොඩනැඟීම ද ජනතාව ආගමික අංශය කෙරෙහි නැඹුරු කිරීමට බලපෑ තවත් කරුණක් සේ පෙන්වාදිය හැකිය. භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමඟ කාන්තාවට සමාජය තුළ සුවිශේෂත්වයක් හිමිවීමත් සමඟ සියලු ක්ෂේත්‍රයන් පෙරට පැමිණීමට මං විවරවීමක් වූ අතර දේශයේ එක්සත් බව ගොඩනැංවීමෙහිල පෙරමුණ ගත් විහාරමහාදේවි වැනි කාන්තා පිරිස්වලට සමාජය තුළ මහත් භූමිකාවක් ඉටු කිරීමට අවකාශ සැලසිනි.
මෙනිසා මහාබෝධිය වැඩම කළ මුල් අවධියේ සිට මහනුවර රාජධානි සමයෙන් කෙළවර වූ සිංහල රාජ පරම්පරාවේ බොහෝ පාලක පිරිස් රාජ්‍යය සංකේතයක් ලෙසින් මහාබෝධියට සිය ගරුත්වය දක්වමින් මහාබෝධියේ අනුග්‍රහයක් බවට පත්ව ක්‍රියා කොට ඇත.

ධර්මය අවබෝධ කරගැනීමට උපදෙස්‌ මාලාවක්‌

පූජ්‍ය වල්පොල ධම්මානන්ද 
පොඩි හාමුදුරුවෝ 
ශ්‍රී වර්ධනාරාමය, ගිනිපෙන්ද, කළුගමුව

බුද්ධ ධර්මය තුළින් ඉදිරිපත් කරන්නේ ලෝකයේ සැමට ව්‍යවහාරික ඥානයෙන් යුතු අයුතුකම් වටහා ගත හැකි සැමට මෙන්ම මේ ධර්මතාවද සත්‍යය දකින ඕනෑම ලොකු කුඩා කාටත් වටහාගත හැකිය. බුද්ධ දේශනාවේ මෙලෙස සඳහන් වේ.

"පඤ්ඤවතො අයං භික්‌ඛවෙ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"

එනම් " මේ ධර්මය නුවණ ඇත්තාට මිස නුවණ නැත්තාට නොවෙයි.

විවෘත මනසක්‌ ඇති නුවණැත්තාට මෙම කටයුත්ත අමාරු නොවෙයි. මෙහිදී නුවණැත්තා නොහොත් ප්‍රඥාවන්තයා යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුත් සසර දුක්‌ කෙළවර කිරීමට අවශ්‍ය ප්‍රඥාව වන සත්ත්වයා පිළිබඳ ප්‍රත්‍ය ධර්මයන්ගේ සමුදය නිරෝධය දක්‌නා ප්‍රඥාවයි.

ඔබට ධර්මය අවබෝධ කරගැනීමට නම් ධර්මය දැනගත යුතු වනවාමයි. දැනගැනීමට නම් ඇසීම හා කියවීම නොහොත් ගවේෂණ ශීලිත්වය හා විමර්ශනශීලිත්වය ඔබ තුළ තිබිය යුතුය. එපමණක්‌ද නොවේ, බුදු සසුනෙහි ධර්මය ඇසීමේදී පුද්ගලයා තුළ තිබිය යුතු ස්‌වභාවයන්ද වේ. එනම් දහම් ඇසීම සිදු විය යුත්තේ කපටි නොවන, ව්‍යාජ භාවයෙන් තොරව අවංක ස්‌වභාවයකිනි. ඇතැම් සූත්‍ර දේශනාවන්හි ඇතුළත් වන තවත් කරුණු බොහෝමයක්‌ වෙති. එනම් සද්ධර්මයට සවන්දීමෙන් සදහම් මගට පිවිසීමට අවකාශ ලැබෙන සාධකයි.

ධර්ම කථිකයාට පරිභව නොකරන සුලු පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. ඒ කෙසේද යත් දොස්‌ සෙවීම අරමුණු නොකරන බැවිනි. (න. කථං පරිභොති)

ධර්ම කථිකයාට පරිභව කිරීමේ අදහසක්‌ නොමැති පුද්ගලයා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. මෙහිදී කථිකයා පිළිබඳව ගැටෙන සිතක්‌ නොමැති බැවින් අවබෝධයටම සිත නැඹුරු වේ. (න කථිකං පරිභෝති)

තමාට පරිභව නොකර ගෙන තමා ධර්මය තේරුම් ගැනීමට යෝග්‍ය පුද්ගලයෙකු ලෙස තමාගේ අගය දැක දහම් ආසන පුද්ගලයා අවබෝධයට පැමිණෙයි. (නඅත්තානං පරිභොති)

දහම් අසන්නා සංසුන් නොවිසුරුණු සිතකින් දහම් අසයිද ඔහු දහම අවබෝධ කරයි. ඒ ඔහු දුශ්ප්‍රාඥ නොවන අයෙකු බැවිනි. (අවික්‌ත්තචිත්තො ධම්මං සුණාති)

නුවණින් මෙනෙහි කරමින් දහම් අසන්නා ධර්මය තේරුම් ගැනීමෙහි සමත් වේ. (යෝනිසෝ ච මනසිකාරොති) 

අනුන්ගේ ගුණ නොනසන, ගුණ නසන සිතින් නොමැඬුණු අයකු ලෙස දහම් අසයිද ඔහු ධර්මය දකී.

(අමක්‌‚ ධම්මං සුණාති න මක්‌ඛපරියුට්‌ඨිතො)

වාදාරෝපණය කරන සිතින් අඩුපාඩු සොයන සුලු අයෙකු නොවී දහම් අසයිද ඔහු ද ධර්මය දකී. (අනුපාරම්භ චිත්තෝ ධම්මං සුණාති න රන්ධ ගවෙසී)

ධර්ම දේශකයා කෙරෙහි නො ගැටුණු සිතින් තද බවින් තොරව දහම් අසයිද ඔහු ධර්මාවබෝධයට පැමිණෙයි. (ධම්ම දෙසකෙ අනාහත චිත්තො හොති අල ජාතො)

දහම් අසන්නා ජඩ නොවූ කෙළතොලු නොවූ අයෙකු ලෙස දහම් අසයිද ඔහුද දහම් තේරුම් ගැනීමට සමත් වේ. (පඤ්ඤවා හොති අජළො අනෙළ මූගො)

නොදන්නා දේ පිළිබඳව "දනිමි" යන මානයෙන් තොරව දහම් අසයිද ඔහුද ධර්මය අවබෝධ කරගනි. (න අනඤ්ඤාතො අඤ්ඤාතමානී හොති)

දැන් ඔබ දැනගත් මේ කාරණාවලින් ධර්මය ශ්‍රවණය කිරීමට සුදුසුකම් තිබුණාද? ඔබ මෙතෙක්‌ කල් ධර්මය ශ්‍රවණය කළේ කෙසේද?

ඔබ මෙවන් ගුණයන්ගෙන් සමන්විතව දහම් ඇසුවා නම් ආර්ය මාර්ගය නම් වූ කුශලයට බැස ගැනීමට සුදුස්‌සෙකු වී හමාරය.

ඔබ නිතර සිහිපත් කරන ස්‌වාක්‌ඛාතෝ පාඨයෙන් ධර්මයේ ගුණ හයක්‌ කිය වෙන බව ඔබ දන්නවාද? ඒ ගුණ මෙසේය.

ස්‌වාක්‌ඛාත ධර්මය මුල මැද අග පිරිසිදුව මැනවින් දේශනා වූ ධර්මයක්‌ නිසා ස්‌වාක්‌ඛාත නම් වේ.

සංදිට්‌ඨික - මේ ධර්මය යමෙක්‌ අනුගමනය කරන්නේද ඒ තැනැත්තාට මෙලොවදීම එහි ප්‍රතිඵල ලබාදෙන බැවිනි.

අකාලිකො අතීත, අනාගත, වර්තමාන යන කාල තුනටම යෝග්‍ය වු බැවින් ද මෙම ධර්මය අනුගමනය කරන්නාට කල් නොයවා විපාක ලබාදෙන බැවිනි.

එහි පස්‌සිකෝ ඕනෑම අයෙකුට ඇවිත් බලන්න යෑයි කිවහැකි තරම් ප්‍රායෝගික වූ ධර්මයන් බැවින් එහි පස්‌සිකෝ නමි

ඕපනයිකො ධර්මය බුද්ධිගෝචර නිසාත් අනුගමනය කරන තැනැත්තා නිවනට පමුණුවන නිසාත් ඕපනයික වේ.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ªහීති - තම තම නැණ පමණින් අවබෝධ කරගත හැකි ධර්මයක්‌ නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති නම් වෙති.

මේ කරුණුවලට අනුව ඔබ සිතන්න. බුදුරජාණන් වහන්සේට අනුන් උදෙසා කළ හැක්‌කේ මග කියාදීම පමණි. පෙන්වා දෙන මාවතේ ගමන් කිරීම ශ්‍රාවකයාගේ වගකීමයි. වීර්යය ඇති කරගත් ශ්‍රාවකයා තම වගකීම ඉටු කළ හොත් මාරබන්ධනයෙන් මිදී නිවන අවබෝධ කරගනි.

මෙම කාරණය ධම්මපදයේ මග්ගවග්ගයේ මෙලෙස දැක්‌වෙයි.

තුම්මෙහි කිච්චං ආතප්පං -අක්‌ඛාතාරො තථාගතා 

පටිපන්නා පාමොක්‌ඛන්ති - ජධායිනො මාර බන්ධනා

ඔබ ශ්‍රද්ධාව මූලික කොටගෙන ප්‍රඥාව මහෙයවා ධර්මයේ ගාම්භීරත්වය වටහාගෙන ධර්මය අවබෝධ කරගැනීමට සිත මෙහෙය වීමට ප්‍රඥාව ළඟා කරගැනීමට මාගේ මේ කෙටි කරුණු දැක්‌වීම ඔබ සැමට මහෝපකාරී වේවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X