සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

පවින් වැළකීම නම් වූ හෘද සාක්‌ෂියට කතා කිරීම


පවින් ජීවිතය සැනසුමක්‌ ලෙස පවත්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වන උතුම් මානුෂීය කරුණු මංගල සූත්‍ර දහම්හි පෙන්වා දෙන අතර අප විසින් එක්‌ කරුණක්‌ මෙහි සාකච්ඡා කරනු ලැබේ. මානුෂීය කරුණු යෑයි සඳහන් කළේ මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත් බව ලැබූ අය මනුෂ්‍යයන් බවට පත් කිරීමට මෙම මංගල කරුණු හේතුවන බැවිනි. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ දහනවවැනි මංගල කරුණ වන 'ආරති විරති පාපා' නම් වූ පාපයන්ගෙන් වැළකීම උතුම් මංගල කරුණකි යන්නය.


මෙහිදී පාපයන් යනුවෙන් පස්‌පව් සහ දස අකුසල් ප්‍රධාන වශයෙන් ගැනේ. මෙම පස්‌පව් සහ දස අකුසල් විග්‍රහ කිරීමේදී සිත,කය,වචනය නම් වූ අවස්‌ථා තුනෙන්ම පාපයන්ගෙන් වැළකිය යුතු බව අදහස්‌ කෙරේ. පස්‌පව් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම සහ මදයට හා ප්‍රමාදයට හේතු වන මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතයයි. දස අකුසල් නම් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස්‌ වචන කතාකිරීම, අභිද්‍යාව නම් වූ විෂය වූ ලෝභය, ව්‍යාපාදය නම් වූ තරහව සහ මිථ්‍යා දෘෂ්ටියයි. මෙම පස්‌පව් සහ දස අකුසල්වලින් මුළුමනින්ම බැහැරවිය හැකිද? හෝ සමාන්‍ය සමාජයෙහි එසේ බැහැරවූ අය සිටිත්දැයි ඔබට ඔබෙන්ම ප්‍රශ්න කිරීමට පුලුවන. අපගේ ධර්මානුකූල පිළිතුර නම් මෙම පාපයන්ගෙන් මුළුමනින්ම බැහැරවීමට හැකිය කියාය. සැබෑවටම මෙම පස්‌පව් සහ දස අකුසලයන්ගෙන් බැහැර වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහොමයක්‌ද අප රටේ සිටිති. එවැනි සත්පුරුෂ මනුෂ්‍යයෝ ගුණයන්ගෙන් හිස්‌ මිනිසුන් මෙන් ඝෝෂා නොකරති. බාහිර ආටෝපයට කැමැති නොවෙති. මම 'සිල්වතා' යෑයි ව්‍යංගයෙන් හෝ කියාපාන්නට උත්සාහ නොගනිති. පස්‌පව්වලින් වැළකී පඤ්චශීලය ආරක්‌ෂා කරන පිරිස්‌ ඕනෑ තරම් සිටිති. වර්තමානයේ සමහරු සමාජය ඉදිරියේ සිල්වතුන් සේ පෙන්වා රහසේ පව් කරතියි මෙය කියවන ඔබ සිතිය හැකිය. එක්‌ ආකාරයකින් එය අසත්‍යයක්‌ද නොවේ. එනමුත් අප විසින් කළ යුත්තේ එවැනි පිරිස්‌ ගැන සිතා එවැනි දැ තමන්ගේ වාසියට නොගෙන යහපත් වූ මාර්ගය අනුගමනය කිරීමට හැකි තරම් උත්සාහ කිරීමය.

වර්තමානයේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය බොහෝ මාධ්‍යයන්ගෙන් සමාජයට ලබාදෙන පණිවුඩය එතරම් සුබදායක එකක්‌ නොවේ. සමහර නාට්‍ය හා චිත්‍රපට ව්‍යංගයෙන් පවසන්නේ රහසේ පව් කළාට වරදක්‌ නොවේ යන අදහසකි. මෙය බලන හෝ අසන අයද 'ඒ වගේ අයත් එහෙම කරන්නේ නම් මම කළාම මොකද වෙන්නේ' යෑයි තමාගේ රාග, ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් පීඩිත සිතට වාසියක්‌ කරගනිති. එසේ රහසේ පව් කරද්දී මානසිකව ඇතිවන බිය, අසහනය, දුක්‌ඛ දෝමනස්‌ස, සැකය, ආත්ම වංචනය මෙපමණකැයි කියා පැවැසිය නොහැකිය. එය එසේ නොවී පස්‌පව් සහ දස අකුසල්වලින් වැළකී යහපත් ලෙස ජීවිත ගතකරන මිනිසුන්ගේ කතාවන් වැඩි වැඩියෙන් සමාජයට ඉදිරිපත් කළ හැකි වන්නේ නම් එය කෙතරම් අගනේද? ප්‍රේක්‌ෂකයන්ට මෙසේ සිතෙන්නේ නම් කොපමණ යහපත්ද? මා රහසින් සිදු කරන ආත්ම වංචනය බැහැරකොට මේ වගේ යහමාර්ගයට පැමිණිය යුතුය යන අදහසය.

තවත් පිරිසක්‌ පවසන අදහසක්‌ මෙහි සටහන් කරන්නේ මෙම පාප ධර්මයන්ගෙන් කෙසේ හෝ ඉවත්වීමට කටයුතු කළ යුතුය යන අදහස ඔබට පවසන්නටය. 'අද සමාජය බොරුවෙන් සහ වංචාවෙන් පිරිලා' යනුවෙන් සමහරු පවසති. මෙසේ පවසන්නට හේතුව කුමක්‌ද? යමක්‌ කරවා ගැනීමට අල්ලස්‌ දීම හෝ කොමිස්‌ මුදල් දීම සාමාන්‍ය සිදු වීමක්‌ බවට පත්ව ඇතැයි පෙනෙන්නට තිබෙන නිසාය. පාසලකට දරුවෙක්‌ ඇතුළත් කරන්න ගන්නා උත්සාහයෙන් ආරම්භ වන මෙම 'බොරු - වංචා' ඉහළම ගමන් කරනා බව පෙනේ. මෙහි ආදීනව රැසකි. බොහෝ දෙනා ඔවුනොවුන් රවටමින් වංචා කරගන්නා අතර තරහව, වෛරය, අමනාපය සහ ඊර්ෂ්‍යාවද මනුෂ්‍ය සන්තානයන්හි වපුරති. මෙය කියවන ඔබට මෙසේ සිතෙන්නේ නැතිද? අපි කොහොමද මෙම 'මඩ ගොහොරුවෙන්' අත්මිදෙන්නේ? අප විසින් පළමුව කළ යුත්තේ යහපත් වූ අදහස්‌ තිබෙන දෙතුන් දෙනෙක්‌ හෝ ආශ්‍රය කිරීමයි. තමන්ගේ කටයුතුවලදී සම්බන්ධ කර ගැනීමයි. 'අහස උසට මාලිගා තනන්නට'සිහින මවන්නේ නැතිව චාම් වූද සරල වූද, පොළොවේ පයගසා ජීවත්විය හැකි ජීවන ක්‍රමයකට හුරුපුරුදු වීමයි. යම් විටෙක දැනටමත් ඔබට සැහෙන පමණක ධනයක්‌ ඇති අයෙක්‌ විය හැකිය. එනමුත් මහිච්චාතා නම්වූ කොපමණ ලැබුණත් මදි යෑයි පවසන ගොඩටම නොවැටී 'යථා ලාභ සන්තුට්‌ඨි' නම්වූ මෙපමණකින් මම සතුටුයි යන වදනින් සැනසෙන්නට පුළුවන් නම් එයම ඔබට මානසික සුවයකි. දහමින් පවසන අයුරින් ආධ්‍යාත්මික සුවයකි.

දස අකුසල්වල අවසාන කරුණු තුන වන්නේ විෂම වූ ලෝභයත්. තරහව සහ මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැක්‌මයි. තරහව ක්‌ලේශයකි. අකුසලයකි. එමෙන්ම විෂම වූ ලෝභය නම් වූ අන්සතු වස්‌තුව කෙරේ පවා තෘෂ්ණාවක්‌ ඇතිකර ගැනීමද ක්‌ලේශයකි. අකුසලයකි. මේවා බලවත් අකුසල බවට පත්වන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් සම්බන්ධ වන විටය. මේ නිසා සිතෙහි තරහව හෝ විෂමලෝභී සිතුවිsලි පහළ වූ විට ඒවාහි ඇති නරක්‌ වූද, තමන්ටත් අන් අයටත් සිදුවන අවැඩ පිළිබඳ මෙනෙහි කරමින් එම සිතුවිලි සිතින් ඉවත් කිරීමට හැකියාවක්‌ අප සතු විය යුතුය. තරහව වචනයෙන් සහ ක්‍රියාවෙන් පිටතට පැමිණි විට සිදු වන හානිය සියලුදෙනාම දනිති. අන්සතු වස්‌තුවට ආශා කරන්නාට සුව නින්දක්‌වත් නොලැබෙනු ඇත. මෙම විෂම වූ ලෝභය, සොරකම, ඊර්ෂ්‍යාව, වෛරය ආදී අකුසලවලට මාර්ගය සලසනු ඇත. 'අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නට එපා' යෑයි පවසන්නට සිදු වන්නේ මේ අවස්‌ථාවේදීය.

මිථ්‍යා දෘෂ්ටිය නම් දන්දීමෙහි හෝ පරිත්‍යාගයෙහි යහපත් වූ විපාක නැත ආදී වශයෙන් ඇතිකරගන්නා වූ වැරැදි දැක්‌මයි. බුදුදහමෙහි දස වස්‌තුක මිථ්‍යා දෘෂ්ටියක්‌ පෙන්වා දේ. එනම් 1. දානයෙහි විපාක නැත 2. යාග හෙවත් සිරිත් විරිත්වල විපාක නැත 3. සත්කාරයෙහි විපාක නැත 4. හොඳ නරක කර්මයන්ගේ විපාක නැත 5. මෙලොවක්‌ නැත 6. පරලොවක්‌ නැත 7. විශේෂයෙන් සැලකිය යුතු මවෙක්‌ කියා අයෙක්‌ නැත 8. එවැනි පියෙක්‌ නැත 9. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්ත්වයෝ නැත 10. විශිෂ්ට ඥනයෙන් මෙලොව පරලොව දන්නා ශ්‍රමණයන් වහන්සේලා නැත.

මේ දහයම මෙහි සාකච්ඡා කරන්නට අවස්‌ථාව නැත. කරුණු කීපයක්‌ ගැන පමණක්‌ සිතා බලන්න. වඩාත්ම පාපයට බරවී සමාජයට කරදරයක්‌ සහ පිළිලයක්‌ ලෙස ජීවත්වන මිනිසුන් ගැන පවසන වචන ඔබ හොඳින් අසා ඇත. 'මෙලොවක්‌ පරලොවක්‌ විශ්වාස නොකරන මහ පව්කාර මිනිස්‌සු' වර්තමානයේ ස්‌වල්ප නමුත් යම් පිරිසක්‌ හැසිරෙන ආකාරය ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද? අහිංසක පුංචි දරුවන්ට, තරුණ දියණිවරුන්ට, වැඩිහිටි මවුවරුන්ට පවා කරදර කරන සහ මරාදමන මනුෂ්‍ය නාමයෙන් පෙනී සිටින පුද්ගලයන් ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද? 'මෙලොවක්‌ පරලොවක්‌ නැහැ, සියල්ල තිබෙන්නේ මේ ලෝකයේ තමයි, සල්ලි තමයි ඕනකරන්නේ' යනුවෙන් පවසන පාපකාරී සිත් මේවාට යම් ආකාරයකින් දායක වී ඇත. මව පියා කියා විශේෂයෙන් සැලකිය යුතු දෙදෙනකු නැත යනුවෙන් සමහර අය සිතන සිතුවිල්ල ඔබේ පවුලට ආදේශ හෝ ගැළපුණොත් ඔබේ පවුලේ ඇතිවන තත්ත්වය ඔබම සිතා බලන්න. ඔබ ගුණබර අම්මා කෙනෙක්‌ නම් සත්පුරුෂ මනුෂ්‍යයෙක්‌ නම් ඔබගේ සිතට මැනවින් දැනේවි, තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ දහම් පද කීපයකින් මෙම ලිපිය අවසන් කරමි.

'මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පඤ්ඤති
යදා ච පච්චතී පාපං අථ බාලෝ දුක්‌ඛං නිගච්ඡති'

'අඥන තැනැත්තා පාපය විපාක දෙන තෙක්‌ එය මිහිරි කොට සිතයි. යම් දිනෙක පාපය විපාක දේද එදිනට අඥන තැනැත්තා බලවත් වූ දුකට පැමිණෙයි.'

'අකුසලං භික්‌ඛවේ පජහථ, සක්‌කා භික්‌ඛවේ අකුසලං පඡහිතුං, නෝ චෙ සක්‌කා අභවිස්‌සු අකුසලා පජහිතුං අහං ඒවං න වදාමිs අකුසලං පජහථාති' 'අකුසල් අත්හරින්න. යම් විදියකින් අකුසල් අත්හරින්නට නොපිළිවන්නේ නම් මම අකුසල් අත්හරින්නැයි නොකියමි. අකුසල් අත්හරින්නට පුළුවන් නිසාම අකුසල් අත්හරින්න යෑයි කියමි. එසේම අකුසල් අත්හැරීමෙන් ඔවුන්ට අයහපතක්‌ වේ නම්, එවිටද මම අකුසල් අත්හරින්නැයි නොකියමි. (බුදුරජාණන් වහන්සේ) පුහුදුන් සිතේ පාපී සිතුවිලි පහළ වීම ස්‌වාභාවිකය. එනමුත් ඒවා පාලනය කරගෙන ප්‍රහානය පිණිසම උත්සාහ ගැනීම තමාටම සැප පිණිසය. උතුම් තුනුරුවන් සරණයි.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X