සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කාන්තා ජනගහනය වැඩි ඇයි? - බුදුදහම අනුව විමසුමක්‌


පසුගිය දිනවල ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති අතර වැඩිපුර සාකච්ඡාවට භාජනය නොවූ එහෙත් වැදගත් ප්‍රවෘත්තියක්‌ විය. ඒ මෙරට ජනගහනයෙන් වැඩිපුරම සිටින්නේ කාන්තාවන් බවත් ඒ සංඛාව දශ ලක්‌ෂයක්‌ පමණ වන බවත්ය. ලෝක ජනගහනය ගැන සළකා බලනවිට වැඩිපුර සිටින්නේ පුරුෂ පක්‌ෂය බව සැබෑය. එය කාන්තාවන් 100 කට පිරිමින් 101 ක්‌ වශයෙන්. එහෙත් ශ්‍රී ලංකාවද ඇතුළුව නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව, සිංගප්පූරුව, එංගලන්තය ආදී රටවල කාන්තාගහනය වැඩිය. ශ්‍රී ලංකාවේ පිරිමින් 94 දෙදෙනකුට කාන්තාවන් 100 ක්‌ සිටී. තවත් සරලව කිවහොත් කාන්තාවන් 100 ක්‌ ගත්විට ඔවුන් හයදෙනකුට පුරුෂයන් නැත. අනාගතයේ මෙය ලාංකීක ජන සමාජය තුළ විශාල අර්බුදයක්‌ වනු ඇත.

කාන්තා ගහනය වැඩිපුර ඇතිවීමට විවිධ හේතු දැක්‌විය හැක. කාන්තා ආයුෂ ප්‍රමාණය වැඩිවීම ජානමය සාධක, තම සෞඛ්‍ය තත්ත්වය ගැන ඔවුන්ගේ සැලකිලිමත් භාවය වැඩිවීම, අනතුරුදායක හා ක්‍රියාශීලී රැකියාවල පුරුෂ පක්‌ෂය වැඩිපුර යෙදීම, බොහෝ සමාජවල කාන්තාව ගෘහ කටයුතු සඳහාම සිමා වී සිටීම, ඒ හේතුවෙන් ඔවුන් හදිසි අනතුරුවලට ලක්‌වීම අඩුවීම ආදිය ඉන් කිහිපයකි. මෙම ලිපියේ අරමුණ ඒ සමාජයීය හා විද්‍යාත්මක සාධක සාකච්ඡා කිරීම නොව බුදුදහම තුළ මෙයට දැක්‌විය හැකි හේතු සාධක සොයා බැලීමය.

මේ සඳහා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටීමට පෙර දඹදිව ප්‍රාග් බෞද්ධ සමාජයේ පශ්චාත් වෛදික යුගය තුළ කාන්තාවට හිමිවූ තැන පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය. මෙම යුගයේ කාන්තාව ඉතා දරුණු ලෙස පුරුෂයාගේ ආධිපත්‍යයට යටත්ව සිටි යුගයක්‌ ලෙස හැඳින්වේ. කුඩා කාලයේ සිය පියාගේ අනසකත් විවාහ ජීවිතයේදී සිsය ස්‌වාමිපුරුෂයාගේ අණසකත් මහළු කාලයේදී තම පුත්‍රයින්ගේ අණසකත් යටතේ අනේක විධ ගැහට මත දිවි ගෙවීමට සිදුවිය. තම පවුලේ සියලු දෙනාගේම කාර්යයන් ඉටුකරීමට ඇයට සිදුවිය. එපමණක්‌ නොව පවුලට පුත්‍රයකු ලබාදීම ඇයගේ ප්‍රධානම කාර්යයක්‌ විය. ගැහැනු දරුවකූ ඉපදීම තම පවුලට අභාග්‍යයක්‌ ව්‍යසනයක්‌ ලෙස සලකා කටයුතු කිරීමට එකල සමාජය පුරුදුව සිssටියහ. මෙයට හොඳම උදාහරණය වන්නේ කොසොල් රජතුමාගේ අගබිසව වූ මල්ලිකා දේවිය ගැහැනු දරුවකු ප්‍රසූත කළ අවස්‌ථාව සම්බන්ධ සිද්ධියයි. දිනක්‌ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේ සමග සතුටු සාමිචියේ යෙදී සිsටියේය. මේ අවස්‌ථාව්දී රාජපුරුෂයෙක්‌ පැමිණ අගබිසව ගැහැනු දරුවකු ප්‍රසූත කළ බව රජතුමාට දැන්වූයේය. රජතුමාගේ මුහුණ අඳුරුවී කල්පනා කරන්නට විය. මේ බව අවබෝධකරගත් බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් කළකිරීමට පත්වූ හේතු විමසීය. රජතුමා මල්ලිකා දේවිය ගැහැනු දරුවකු ප්‍රසුත කළ පුවතින් තමා කළකිරීමට පත්වූ බව ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිලි කරමින් කාන්තාවද සෑම අතින්ම පුරුෂයා මෙන්ම වටිනා බවත් කියාපෑවේය.

එකල සමාජය බ්‍රාහ්මණ, ක්‌ෂ්ත්‍රීය, වෛශ්‍ය හා ක්‌ෂුද්‍ර යන ස්‌ථරවලට බෙදී තිබුණ අතර කාන්තාව කුමන ස්‌ථයරට අයත් වුවත් කාන්තාවක්‌ මරණයට පත්කරන විටක ගෙවිය යුතු වන්දිය ශුද්‍රයකු මරණයට පත්කරන ලද විටක දෙන ලද වන්දියට සමාන විය. කාන්තාව එතරම්ම පහත්කර කර සලකන ලදී. 

වඩාත්ම අසරණ තත්ත්වයට පත්ව සිටියේ වැන්දඹුභාවයට පත්වන කාන්තාවන්ය. සති පූජාව නම් පූජාවක්‌ එකල සමාජයේ පැවතුණි. සති පූජාවෙන් කරන ලද්දේ සිය සැමියා මියගිය විට එම දර සෑයට පැන බිරිඳද ජීවිතය හානිකර ගැනීමය. එයින් අදහස්‌ කළේ සැමියාගේ සියලු පව් සෝදා හැර මතු බවවලදී ඔහුට සැප ළඟාකර දීමට නම් භාර්යාව දර සෑයට පැන දිවි හානිකරගත යුතුය යන්නය. නැවත විවාහ වීමට ඔවුන්ට අවසර නොවීය. ධනවත් මහළු බමුණන් තරුණ කාන්තාවන් විවාහ කර ගැනීමත් බොහෝ විට කාන්තාවන් දෙතුන් දෙනා විවාහ කර ගැනීමත් නිසා කාන්තාවෝ තවත් අසරණ තත්වයට පත්ව සිටියහ.

මේ කරුණු මත බුදුරජාණන් වහන්සේ ලොව පහළවන විට කාන්තාව ඉතා අසරණ සමාජයෙන් කොන් වූ පුරුෂාධිපත්‍යයට යටත්වූ චරිතයක්‌ බවට පත්ව සිටියාය. ඒ තත්වයෙන් කාන්තාව මුදා ඇයට නිදහසේ ජීවත්වීමට තම සිතැඟි අනුව කටයුතු කිරීමට විමුක්‌තිය ලබා ගැනීමට අවස්‌ථාව ලබා දුන්නේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එතැන් සිට කාන්තාව පුරුෂයා මෙන්ම ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද පුරුෂයින් මෙන්ම ඉදිරියෙන් සිටී. ඇයට පුරුෂයාට මෙන් ලබාගත නොහැක්‌කේ තනතුරු 5 ක්‌ පමණක්‌ බව බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. එනම් බුද්ධත්වයට පත්වීම, සක්‌විතිs රජවීම, මහා බ්‍රහ්මයාවීම, ශක්‍රදේවේsන්ද්‍රයාවීම හා මාරයාවීම පමණි.

මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ කාරණයක්‌ බව බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. ඒ සඳහා සසර පුරාම මහා පුණ්‍ය කර්මයන් හෙවත් කාමාවචර කුසල් කළ යුතුය. කාමාවචර කුසල් යනු කාමාවචර කුසල් සිත් ඇතිවන පුණ්‍යකර්මයෝය. බුදුදහම අනුව අපට සිත් 89 ක්‌ ඇතිවන බව අභිධර්මහෙs දැක්‌වේ. මෙයින් සිත් 54 ක්‌ කාමාවචර ලෝකයට අයත්වන අතර එයිනුත් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබීමට උපකාරීවන සිත් ඇත්තේ 24 කි. මෙම සිත් 24 අටමහා කුසල් සිත් 8ක්‌ ද විපාක සිත් 8 ක්‌ ද ක්‍රියා සිත් 8 ක්‌ ද ලෙස වර්ගීකරණය කර ඇති අතර කුසලයක්‌ කිsරීමේදී ඇතිවන්නේ මහා කුසල් සිත් 8 ය. මේ අට මහා කුසල් සිත් ඇතිවන අයුරින් පුණ්‍ය කර්මයන් කළ විට මනුෂ්‍ය ආත්මයක්‌ ලබත හැකිය.

දස පුණ්‍යක්‍රියා කරන විට කුසල් සිත් ඇතිවේ. දස කුසල් කිරීමේදී ඒවා උත්කෘෂ්ඨ කුසලයන් බවට පත්වීsමෙන් මිනිසත් බව ලැබේ. උත්කෘෂ්ඨ කුසලයක්‌ වන්නේ අලෝභ, ආදෝස හා අමෝහ යන කුසල මූල තුනෙන්ම කරන කුසලයන්ය. ත්‍රී හේතුක ප්‍රතිසන්ධියක්‌ ලැබෙන්නේ එවිටය. අමෝහ මූලය නොමැතිව කුසලය සිදුකළහොත් ලැබන්නේ ද්විහේතකු ප්‍රතිසන්ධියකි. ද්විහේතුක ප්‍රතිසන්ධියකින්ද මිනිසත් බව ලැබිය හැකි වුවත් ඔවුන් බුද්ධිමත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක්‌ නොවේ. කුසලය අහේතුකවූ විටද මිනිසත් බව ලැබිය හැකි වුවත් ඔවුන් අංගවිකල අඳ, ගොළු, බිහිරි, කෙළතොලු පණ්‌ඩුක, නපුංසක ආදීන් වියහැකිය.

මෙම ධර්මතාවය ගැන සලකා බලන විට අද කාන්තාවන් වැඩිපුර උපත ලැබීම අරුමයක්‌ නොවේ. ඒ බුදුසමයෙන් පසු ඔවුන්ට වඩ වඩාත් පිනට දහමට අවස්‌ථාව ලැබීමත් ඒ සඳහා ඔවුන් ලැදිවී, කැපවී සිටීමත්ය. අද සමාජය දෙස විමසුම් ඇසින් බැලීමෙන් මේ බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. පුන් පෙහෝදා දිනයක විහාරස්‌ථානයක, අෂ්ඨාංග උපෝසත ශිලය සමාදන්ව සිටින පිරිසගෙන් සියයට අනූගණනක්‌ම කාන්තාවන්ය. සමහරවිට මෙම අවස්‌ථාවට සහභාගිවන සියලුදෙනාම කාන්තාවන්ය. ධර්ම දේශනාවකට සහභාගි වන පිරීසද කාන්තාවන්මය. භාවනා සැඩසටහනකද එසේමය. වෙහෙස මහන්සිවී මහා ශ්‍රද්ධාවකින් දානයක්‌ පිළියෙළ කරදෙන්නේ කාන්තාවන්ය. ගෙදර මල් පහන් පූජා කරන්නේ කාන්තාවන්මය. කෙටියෙන් කිවහොත් දශ පුණ්‍ය ක්‍රියා සියල්ලම කරන්නේ කාන්තාවන්ය. ඒ අනුව පින් හෝ කුසල් කිරීම්වලින් ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවන්ය. එමනිසා පිරිමින්ට වඩා නැවතත් මිනිසත් බව ලබා උත්පත්තියක්‌ ලැබීමට වැඩි ඉඩකඩක්‌ ඇත්තේ කාන්තාවන්ටය. මෙය කාන්තාගහනය වැඩිවීමට හේතුවක්‌වේ. 

අනෙක්‌ වැදගත් කාරණය වන්නේ කුසල් සැමදාම කිරීමය. කුසල් නම් සැමදා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. 

පුණ්‍ය කර්මය එසේ වුවද පාප කර්මය ගත්විට මෙහි අනෙක්‌ පස සිදුවේ. වැඩිපුරම පව් කරනු ලබන්නේ වැඩිපුරම පස්‌ පව්s සිදුකරනු ලබන්නේ වැඩිපුරම දස අකුසල් කරනු ලබන්නේ පුරුෂයින්ය. ඒ අනුව මිනිසත් බව ලබාගත් පුරුෂයින් නැවත පුරුෂයින් වී උත්පත්තිය ලැබීම දුලබය. පුරුෂ ජනගහනය අඩුවී කාන්තාගහනය වැඩිවීම මෙයද හේතු කාරකවේ. 

අනික කාන්තා ආයුෂ ප්‍රමාණය වැඩවීමය. මෙරට කාන්තාවකගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 79 ක්‌ වන අතර පිරිමියකුගේ සාමාන්‍ය ආයු කාලය 73 කි. සමහර පුද්ගලයන් අඩු වසයින් මියයන්නටත් තවත් සමහර පුද්ගලයින් දීර්ඝ ආයුෂ ඇතිව ජීවත්වන්නටත් හේතුව කුමක්‌දැයි තෝදෙයිය පුත් සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. යමෙක්‌ සත්ව ඝාතනය කරයිද, සත්වයින්ට හිංසා කරයිද, ඒ අකුසල කර්මයන්ගේ ඵල විපාක වශයෙන් ඔහුව නිරයට යයි. එසේ නොමැතිව මිනිස්‌ ලොව උපත ලැබුවහොත් එම පුද්ගලයා අඩු වයසෙන් මිය යන බවත් සත්ව ඝාතනය සත්ව හිංසනය නොකරණ පුද්ගලයින් දීර්ඝායුෂ ලැබ බොහෝ කල් ජීවත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ අනුව බලන විටද අප කාන්තාව දීර්ඝායුෂ ලැබීමද, බුදදහමද බලපාන බව පෙනී යයි. 

මේ සියල්ලටම අමතරව කාන්තාව පින් සහ කුසල් කිරීමට වඩාත් යොමුවන හේතු තිබේ. ඒ සියල්ල කෙටියෙන් මෙසේ සඳහන් කළ හැක. 

1. ජීවිතය දුකක්‌ බව වඩාත් ම තේරුම් ගන්නේ පිරිමියා නොව කාන්තාවය. දරුවකු ගැබ් ගැනීමේ සිට එම දරුවා හදා වඩා ගැනීමට ඇය දරන වෙර වීරිය අනන්තය අප්‍රමාණය.

2 සමාජ පීඩනයට වැඩිපුරම ලක්‌වන්නේ කාන්තාවන්ය.

3 සමාජ ගැරහුමට වඩාත් ලක්‌වන්නේ කාන්තාවය.

4. කම් සැප ලැබීමට ඇය පිරිමියා තරම්ම ගිජුකමක්‌ නැත. 

5 ශාරීරික ක්‍රියාකාරකම් මත වයස්‌ගත වීමත් සමගම කාමසේවයෙන් ඈත්වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ කාන්තාවටය.

මේ කරුණු සියල්ලම සලකා බැලූවිට ලාංකික කාන්තා ගහනය පුරුෂ ගහනයට වඩා වැඩිවීමට බුදුදහමේ දායකත්වයද වැදගත් කරුණක්‌ බවට හේතු සාධක ඇතිබව පෙනීයයි.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන්දීමයි අතහැරීමයි

මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි.
කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 

ඉඳුරාගාරේ ධම්මරතන හිමි

සෑම ස්ථානයකදීම දක්නට ලැබෙන බෞද්ධ සිද්ධාන්තයක් ලෙස "දීම" දැකගත හැකියි. මෙම "දීම" පාරමිතා තුළත්, කුසල ධර්ම තුළත්, ලැයිස්තුගත වී තිබෙන්නේ පළමු කාරණාව ලෙසයි. බුදුපියාණන් වහන්සේ ඉතාමත් ඉහළින් අගය කළ දීම යන්න, වෙනත් සමයන්හි පවා ඒ ආකාරයෙන් පවතිනු ලැබුවත්, අප තේරුම් ගත් අර්ථයකින් වගේ නොවන වෙනත් අර්ථයකින් දක්නට ලැබේ. දීම සමඟ තිබෙන අතහැරීම එයට වඩා වෙනස් බව අප විසින් අවබෝධ කරගත යුතුයි.

දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්ඛෝධෝ අවිහිංසාච
ඛන්තීච අවිරෝධතා

යනුවෙන් දසරාජ ධර්ම තුළ සඳහන් වේ. එහි පළමු කාරණාව දානය වන අතර පරිච්චාග අංක තුනට සඳහන් වේ. දානයයි පරිත්‍යාගයයි එකම ලැයිස්තුවක පළමුවන සහ තුන්වන කරුණ ලෙස සඳහන් වන අතර "දානය" යනු පරිත්‍යාගය නොවේ. "පරිත්‍යාගය" යනු දානය නොවේ, යන්න වටහා ගත හැකියි.

දන් දීම

වෙනත් ආගමි තුළ දන් දීම කියාදී තිබෙන ආකාරයයි, අපගේ බුද්ධාගම තුළ බුදුපියාණන් වහන්සේ පරිත්‍යාගය සඳහන් කරන ආකාරයයි අතර ආචාර විද්‍යාත්මක සහ දාර්ශනික වෙනස්කම් දක්නට ලැබේ. ඒ ආචාර විද්‍යාත්මක සහ දාර්ශනික වෙනස ආගම්වල මූල පරමාර්ථයන් සමඟ සන්සන්දනය කර බැලීමේදී ඉතාම වැදගත් වේ. ඉස්ලාම් ආගමේ සහ කිතුනු ආගමේ දන්දිය යුතු වන්නේ, දුප්පතුන් උදෙසා බව පෙනෙන්නට තිබෙන කාරණාවක් වේ. දුප්පතුන්ට දන් දීම යහපත් බලාපොරොත්තුවක් වන අතර එය දුප්පත්කම නැතිකිරීම යන අදහසින් දීමනාව අගය කරනු ලබයි. කිසියම් සමාජමය සාරධර්මයක් ලෙසට, ආර්ථීක උපකාරයක් වශයෙන් මෙම දන්දීම නිර්දේශ කරයි. සතියකට එක දවසක් හෝ වර්ෂයකට මාසයක් උපවාස කර හෝ ඉතිරිවන මුදල නැතිබැරි පිරිිසට ලබාදීම ආර්ථීක දැක්මක් මත පදනම්ව මෙම ඇත්තන් මෙම වටිනා කාරණාව පරිහරණය කරනු ලබයි.
ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේගේ දහම සංවිධිත සංයුතියක් සහිතව ආයතනයක් වශයෙන් ස්ථාපනය වූවාට පසුව වර්තමානය වන විට විවිධාකාරයේ දානයන් දක්නට ලැබෙනවා වගේම ව්‍යාප්තව පවතී. සාංඝික දානය , වගේම කිරි අම්මාවරුන්ගේ දානය වැනි ගිහියන් ආශ්‍රිතව ද දැකිය හැකි වේ. මෙම දානයන් හැම එකක්ම අනෙකා වෙනුවෙන් කරනු ලබන අතහැරීමක් නොකරන අනෙකා වෙනුවෙන් කරනු ලබන සද්කාර්යයක් හෙවත් අනුග්‍රාහක දායකත්වයක් වගේ දෙයක් දානයක් තුළින් බලාපොරොත්තු වේ. "අනේ පව්" යන හැගීමෙන් කාට හෝ යමක් සද්භාවයෙන් දෙනවා නම්, මේ තැනාත්තාට පොඩි හෝ උදව්වක් කළ යුතුයි, යන අර්ථයකින් බොහොම සද්භාවයකින් යමක් දෙනවා නම්. අගය කළ යුතුය. ඒ වගේම "අතහැරීම" දානයට වඩා බොහෝ සෙයින් වෙනස් ස්වභාවයකි. අතහැරීම දානයට වඩා වෙනස් වන්නේ කෙසේද? දානයක් දීමෙන් අප යමක් ගනු ලබනවා නම්, හෝ යමක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, හෝ එහි තරමක ගණුදෙනුවක ස්වභාවයක් පවතී. පින් දීමත්, පින් ගැනීමත්, දන් දී පරලෝ සැපත් ඥාතීන්ට වෙනත් ස්ථානයක් ලබාදීමට පින් ලබාදීමේ බලාපොරොත්තුවෙන් දානය පාවිච්ච් කිරීමත් අතහැරීම නොවේ. දන් පූජාකර ඥාතීන්ට පින් දීම අයපත් ක්‍රියාවක් හෝ නොකළ යුත්තක් ලෙස මින් ප්‍රකාශ නොවෙන අතර එය වෙනත් කාරණාවක් වේ.

අතහැරීම

අත හරිනවාය යනු, දන් දෙනවාට වඩා ගැඹුරු කාරණවක් බව අවබෝධ කරගත යුතුයි. අපගේ ජීවිතය තුළ අපට සෑම දෙයක්ම අතහැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් මිනිසෙකුට අවුරුදු සියයක් ජීවත් විය නොහැකියි. අවුරුදු සියයක් කියන කාලය කවදා හෝ අතහැර යන දවසට, අතහැර ඉවර වන දවසට සාමාන්‍යයෙන් අවුරුදු සියයට පෙර අතහැර ඉවර වෙන දවසක් එයි. අප සතුව පවතින සියලු දේ එවැනි ආකාරයට දමා යාමට සිදුවේ. මෙය පාපයක් හෝ, වරදක් හෝ දඬුවමක් නොවන බවත්, එය එහි ස්වභාවය බව තේරුම් ගත යුතුයි. අප සතුව බැංකු පොතක් තිබෙනවා වගේම එහි ශේෂයක්ද, හර, බැර යනුවෙන් ද සදහන් වෙයි. මුදල් බැරකරන කොටස බැර ශේෂය වන අතර, මුදල් ආපසු ලබාගැනීම හර කොටස, වශයෙන් ද ඉතිරි කොටස ශේෂය වශයෙන්ද හැදින්වේ. ඒවගේම බැංකු පොත නොවන තවත් පොතක් ලෙස ජීවිත පොත අප සාදාගත යුතුයි. ජීවිත පොතක ආයුෂ ශේෂය පවතියි. වයසින් අවුරුදු අසූව දක්වා ජීවත් වීමට අපට අවස්ථාව ලැෙබි. යැයි කියා අප සිතුව හොත් අසූව දක්වා ගණනය කර ශේෂය බලාගත හැකියි, වයසින් අවුරුදු පනහක් වන පුද්ගලයකුට ශේෂය වන්නේ අවුරුදු තිහකි. වයසින් අවුරුදු හැටක් වන පුද්ගලයකුගේ ශේෂය අවුරුදු විස්සකි.

බැංකු පොතයි ජීවිත පොතයි

අවුරුදු හැත්තෑවක තැනැත්තකුගේ ශේෂය අවුරුදු දහයයි. සාමාන්‍ය මිනිස් ජීවිතයක් අවුරුදු අසූවක් පමණ වන විට, සාමාන්‍යයෙන් මිය යන අතර එසේ නොවන විශේෂ අවස්ථාවන් බහුල ලෙස ද පැවතිය හැකියි. ඒ වුවත් මේ කාලය තුළ ආහාර රටාවට අනුව අවුරුදු අසූවක් ජීවත් වන බව අනුමාන කළ හැකියි. මුදල් නොගත හොත් බැංකු පොතෙහි ශේෂය අද බලා හෙට බැලුවත් දශම ස්ථානයකින් හෝ පොළිය වැඩි වී තිබෙන බව දක්නට ලැබෙයි. එහෙත් ජීවිත පොතෙහි ආයුෂ ශේෂය අද බලා හෙට බලන විට පැය වලින් විසිහතරක් නිරායාසයෙන් අඩුවී යයි. අවුරුද්ද අන්තිමේදී බැංකු පොතෙහි ශේෂය ලිඛිත වැඩි වීමක් දකින්නට හැකි වුවද, ජීවිත පොතෙහි ආයුෂ ශේෂයට කිසිඳු ආකාරයක වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැත. එනිසාම ජීවිත පොත අධ්‍යයනය කිරීම කළ යුතු හොඳම කාරණාවෙවි. බැංකු පොතෙහි අන්තිම මුදල දක්වාම ලබාගත හැකි වුවද. ජීවිත පොතෙහි ආයුෂ ශේෂයෙහි අන්තිම දිනය දක්වා පාවිච්ච් කිරීමේ හැකියාවක් නැත. ජීවිත පොතෙහි ආයුෂ ශේෂය යනු, අතහරින දවස නොවේ. බැංකු පොතෙහි මුදල් ශේෂය යනු අන්තිම දශමය දක්වා හිමිකරුවේ. ජීවිත පොතෙහි ආයුෂ ශේෂය අන්තිම දවස නොව ඉන් පෙර දිනයක හෙවත් අවිනිශ්චිත දිනයක අනිවාර්යයෙන්ම මේ සියල්ල අතහැරිය යුතු වේ. අප සියලුම දේ අතහරිමින් යන බව අවබෝධ කරගත යුතුයි. අප අපගේ වයස දවස ගණනේ අතහැර දමනු ලැබේ. අවුරුදු දහය වයස අතහැරියා වගේම, අප තුළ අතීතයට එකතු වන යමක් තිබෙනවා නම්, එම සියල්ල අප විසින් අතීතයට එකතුකලාය යනුවෙන් අදහස් වනුයේ අතහැරියාය කියන කාරණාව බව වටහා ගත යුතුයි. එසේ සිතන විට මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. එය නිරායාසයෙන්ම , නිරන්තරයෙන්ම, අතහැරීම සිදුවන බැවිනි.

අතහැරීමට කැමතිද?

ජීවිතය පටන් ගත් දා සිටම, මිනිසුන් ඉතාම කැමැත්තෙන් අතහැරීමට වඩා එකතු කිරීම කරනු ලබයි. මිනිස්සු අධ්‍යාපනය, සහතිකපත්‍ර , මුදල්, ඉඩකඩම්, ගේ දොර ආදිය එකතු කරනු ලබයි. එසේ එකතු කර අන්තිමටම ඒ සියල්ල දමා යයි. මී මැස්සකු ජීවිත කාලය තුළම මී වදයකට පැණි එකතු කර ඒ පැණි අතහැර වෙනත් මී වදයක් සොයා ගෙන යයි. මිනිස්සුු එකතැනකට එකතුකරල, එකතුකරල, සියලු දේ දමා යයි. අනිවාර්යෙන්ම යාමට නියමිත ගමනක අනිවාර්යතාවය දැන දැන මිනිසුන් අතහැර යාමට සූදානම් නොවේ. ගැටළුව පවතිනු ලබන්නේ එතුළයි. බුදුපියාණන් වහන්සේ සඳහන් කරනු ලබන්නේ එකතු කිරිමට වඩා අතහැරයාම වැදගත් වන බවයි. අතහරින්නට සිද්ධ වන එක පුරුදු පුහුණුකර තිබීම, පුරුදු පුහුණු නොකර සිටිනවාට වඩා වැදගත් බව අවබෝධ කරගත යුතුයි. එසේ විය යුත්තේ අතහැරීම අනිවාර්යය සාධකයක් වන නිසයි. එය කවදා කොතැනදීද, කෙසේ විය යුතුද? යන්න පිළිබඳව වෙනස්කම් තිබිය හැකි වුවද, අතහැරීමට වෙනවාය කියන කාරණාව පිළිබඳව සැකයක් නැත. එනිසා තමාගේ දයාබර ආදරණීයයන් , දයාබරයන්, තමාගේ ආශ්‍රිතයන් පවුලේ උදවිය අතහැරයාමට යා යුතුයි. සබ්බං පහාය ගමනීයං යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත්තේද එයයි. අතහැරීම කෙසේ පුරුදු පුහුණු කළ යුතුද? එය සැම දෙයක් පිළිබඳව සිතන විට කළ හැකි වූවක්. අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලු දේ අතහැරීමට සිදුවී තිබේ නම්, එය අකැමැත්තෙන් කරනවාට වඩා කැමැත්තෙන් කරන එක යහපත් වෙයි. තමන් පාවිච්ච්කරන සියලු දෙයක්ම ආදරයෙන් පරිහරණය කළ යුතුවා සේම, තමා සමීපව සිටින්නාවූ සෑම දෙනෙක්ම බොහොම ලෙන්ගතු සිතින් ආශ්‍රය , නිශ්‍රය කළ යුතුයි. තමන් සමීපව සිටින්නාවූ සෑම දෙනකුටම උපරිම ආදරයෙන් සිටිය යුතුවා සේම එම සියලු දෙයම අතහැර යාමට සිදුවන බව ද තේරුම් ගත යුතුයි.

දන් දීම සහ අතහැරීම තුළ වෙනස

දන් දීම සහ අතහැරීම තුළ වෙනසක් පවතීයි. පින්දීම තුළ බලාපොරොත්තුවක් තියෙනවා. දන් පූජාකර පිනක් හෝ බලාපොරොත්තු වෙයි. අතහැරීම තුළ බලාපොරොත්තුවක් නැත. බුදුපියාණන් වහන්සේ දේශනා කරන නිවනට අප වඩාත් සමීප වන්නේ දානයට වඩා අතහැරීම තුළයි. දානය සහ පරිත්‍යාගය අතර වෙනස එයයි. එනිසා බෞද්ධයන් වන අප කළ යුත්තේ ස්වේච්ජාවෙන් අතහැරීමට සිත පුරුදු පුහුණු කර තැබීම යන කාරණාවයි. සමහර කෙනෙකුට ජීවිතය පවා ාඅතහැර යැමට සිත් නොදෙයි. ලක්ෂ හයසියයක් වියදම් කරමින් මරණය සති දෙකකට කල්දමා ගනු ලැබූ රෝගීන් පිළිබඳව අප අසා තිබේ. රෝගියකුට වියදම් කිරීම පිළිබඳව නින්දා අපහාස කිරීමක් මේ තුළ සිදු නොවේ. සති දෙක තුනකින් අතහැරයාමට තිබෙන ජීවිතය ලක්ෂ හයසියයක් වියදම් කර අතනොහැර සිටීමට තරම්, තිබෙන්නාවූ දැවැන්ත බැඳීම නිෂ්පල කාරණාවක් බව අප තේරුම් ගත යුතු කරුණක් වේ. එය පලදායක ව්‍යායාමයක් නමි, ඒ මුදල හෝ එම ව්‍යායාමය හෝ අගය කළ යුතු සේම, නිෂ්පල වූ ව්‍යායාමයක් අගය කළ යුතු නොවේ. සිනහමුසු මුහුණින් අප සියල්ල අතහැර දමා යා යුතුයි. අප විශ්‍රාම ගන්නා දවසට අපගේ උසස්වීම අතහැර අපගේ රැකියාව අතහැර දමා යා යුතුයි. මට මේ රැකියාව නැති වූයේ යැයි අයෙකුට සිතුන හොත් එය පලදායක කාරණාවක් නොවේ. විශ්‍රාම යන දවසට ස්වේච්ජාවෙන් අතහැර දමා යාමට සිත පුරුදු පුහුණු කර තිබිය යුතුයි. ඒ වගේම මිය යන දවසටත් අතහැර දමා යාමට සිත පුරුදු කර තිබිය යුතුයි. ඇතැම් අය අතහැර දමා යාමට බැරි වූ විට, හොල්මනක් වෙලා හෝ ගෙයි ගෙම්බන් වී උපදින බව බණ කතාවල සඳහන්ව ඇත.

හොල්මනක් නොවී අතහැර යාම

ගෙම්බා නොවී අතහැර දමා යාම ඊට වඩා හොඳ මදිද? හොල්මන් වෙලා බෝතල්වල හිරවෙලා ඉන්නවාට වඩා සවේච්ජාවෙන් අතහැර දමා යාම හොඳ නැද්ද? අතහැරීමට පුරුදු වූ විට මිනිසුන් තුළ පැහැදිළිව නිදහස් මනසක් ගොඩනැගෙයි. මිනිසකුට තමන් හදාපු නිවස අතහැර දමා යාමට හැකි නම්, ඔහු දියුණු මිනිසෙකි. තමාගේ ආදරණීය දරු මල්ලන් අතහැර දමා යා හැකි වන්නේ දියුණු මනසක් තිබෙන පුද්ගලයකුට පමණයි. අතහැරීම යනු මානසික ශක්තියේ ප්‍රතිශක්තිකභාවයයි. බෝසතාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ වීමම යනු අතහැරීමේ ප්‍රතිපලයකි. එනිසා අතහැරීම පෞද්ගලික ජීවිතයක් තුළ වගේම පොදු මහත් සමාජයක වටිනාම කාරණාවක් වේ. මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි. අතහැරීමට බැරි දැවැන්ත දැඩි උපාදානයකින් යුතුව අල්ලාගෙන සිටින තැනැත්තා මානසිකව දුර්වල වූවෙකි. එනිසා දන්දීම යනු යමක් ලැබීම හෝ ඊළඟ ආත්මභාවයන් සඳහා යහපත් ජීවිතයක් ලබාගැනීම සඳහා කරනු ලබනවා නමි, එය තරමක ආයොජනයක් වේ. අතහැරීම යනු එසේ නොවන නිස්සරණාධ්‍යාෂයෙන් ඉටුකරන දියුණු මනසක ප්‍රතිිපලයකි.

රාගය ගින්නකි ජීවිතය වනසනා

තලවතුගොඩ, සංඝමිත්තාරාම භාවනා මධ්‍යස්ථානයේ 
වැලිවේරියේ ගෝතමී මෑණියන් විසිනි

මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මනුෂ්‍යයන් ද ඇතුළුව සියලුම සත්ත්වයන් දීර්ඝ කාලයක් සසරෙහි දුක්විඳ තිබේ. එය පැහැදිලි කළේ, අස්සු සූත්‍රයේ “දීඝරත්තං වො භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං” යනුවෙනි. දීර්ඝ වූ පැමිණි සසර ගමනේ දී මෙන්ම මෙම ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට සැබෑ හේතුව විමසා බලන්න. නුවණින් විමසා බලන්න. මෙම රාගය නම් වූ ආලය නිසා නොවේද? ආලය, ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස ආදී මේවායින් තොරව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඔබ විසින් සිතින් ප්‍රශ්න කරනු ඇත. ඔබට “නැතුව බැරි” යැයි ඔබ විසින් පවසන ආලය, ඇලීම, ආදරය නිසාම කොපමණ හඬා තිබේද? කොපමණ කඳුළු සලා තිබේද? සුසුම් හෙළමින් බලාගත් දෙසම බලාගෙන කල්ගත කොට තිබේද? මට සාපිපාසාවක්, බඩගින්නක් දැනෙන්නේ නැතැයි පවසමින් කයටද සිතටද දුක් දෙමින් හඬා වැටී තිබේද? මෙය රාගයේ හෙවත් ආලය නම් වූ ඇලීමෙහි ප්‍රති විපාකයන්ය.
එමෙන්ම රාගය නම් වූ කාම ආශාවෙන් යුතු ආලය හෝ ඇලීම බැඳීම නිසා ලබන වේදනාව කොපමණද? වරෙක තාවකාලික සුවයක් දැනුනද, රාගයෙන් මත්ව, රාගයෙන් අන්ධව ක්‍රියා කිරීම නිසා තමාටත් අන් අයටත්, පරිසරයටත්, මිනිස්කමටත් සිදුවූ විපත නම් කෙසේ, කවර ආකාරයකින් සඳහන් කරන්නද? ලෝකයේ පැවැත්ම සිදුවන්නේ රාගය සමඟිනි. ලෝකය පවතින්නේ රාගය නිසා පිළිස්සෙමින් සහ අපමණ වූ දුක් දොම්නස්වලින් පිරී නම්, අඩුම තරමේ රාගයේ පාලනයක් ඇතිවීම හෝ රාගයේ පාලනයක් ඇති කිරීම අවශ්‍යයය.
ලොව පැවැත්මේ දී රාගයෙන් සිදුවන විනාශය අවම කර ගැනීමට හෝ තරමක් නිදහස්වීමට හෝ බුදු දහමේ ශික්ෂා පදයක් පෙන්වා දී ඇත. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබට ලබාදී ඇති නාමය නම් උපාසක, උපාසිකා නම් වේ. ඔබ විසින් ආරක්ෂා කළ යුතු සීලය වන්නේ පඤ්ච ශීලයයි. මේ බව පළමු වැනි මහානාම සූත්‍රයේ සඳහන් වේ. මෙම පඤ්ච ශීල ප්‍රතිපදාවෙහි තුන්වෙනි ශික්ෂා පදය වන්නේ කාමේසුමිච්ඡාචාරා වේරමණී ශික්ඛා පදං සමාධියාමි නමිනි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නම් වූ සික්ෂා පදය සමාදන් වෙමි නම් අදහස එහි ගැබ්වේ. විවාහක ස්වාමි පුරුෂයෙක් හෝ ස්වාමි දියණියක් විසින් ඔවුන් නොවන්නන්ගේ බාහිර කාමයන්ගේ හැසිරීම නම් කාමය වරදවා හැසිරීමයි. මෙසේ කාමය වරදවා හැසිරීම රාගය තමා කෙරේත් අන්‍යයන් කෙරේත්, පරිසරය කෙරේත් විනාශය පිණිස බලපවත්වන්නට පටන් ගැනීමයි. පළමු කොට තමා කෙරෙහිම ඇති වන්නා වූ අධ්‍යාත්මික පිරිහීමකි. විනාශයකි. පරිසරය නම් මිනිස් ප්‍රජාවගේ විනාශය හා පිරිහීම පිණිස හේතු වන්නකි.
රාගය පාලනයකින් තොරවීමෙන් කාමයන්හි වරදවා හැසිරීම නිසා පවුල් පරිසරය නොසන්සුන් වෙයි. ඔවුනොවුන් කෙරෙහි විශ්වාසය හා අවංකත්වය ගිලිහී යාම නිසා රණ්ඩු දබර, අමනාප සහ ජීවිත විනාශයන්ද සිදුවීමට අවස්ථාව සැලසෙයි. දරුවන් අනාථ වෙයි. භෝග විනාශයට පැමිණෙයි. බොහෝ දෙනාගේ අවඥාවට ලක්වෙයි.
රාගාදී සිතිවිලි බලවත් වීමෙන් යම් යම් අසංවර පුද්ගලයින් විසින් මව්වරුන්ට, දියණිවරුන්ට කරන්නාවූ කරදර හා හිරිහැර ගැන සිතා බලන්න. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඕනෑම අයෙකුට යහපත් වූ විවාහ ජීවිතයක් ගත කරන ආකාරය බුදු දහමින් පෙන්වා දී ඇත. සංවාස සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ “දේවෝ දේවියා සද්ධිං සංවසති” දෙවියෙක් විසින් දිව්‍යාංගනාවක් සමඟ ගත කරන්නාක් මෙන් පවුල් ජීවිතය ගත කරන ලෙසය. එහිදී ස්වාමි දියණියට සහ ස්වාමි පුත්‍රයාට ආරාධනා කරන්නේ එක හා සමානවම දෙදෙනා කෙරෙහි ශ්‍රද්ධා, ශීල, චාග, ප්‍රඥා නම් ගුණ සම්පත්තිහු දියුණු කර ගන්නා ලෙසය. මෙම ගුණ ධර්ම දියුණු වන විට රාගාදී කෙලෙස්වලට පාලනයකින් තොරව අසංවරව නැගී සිටීමට අවස්ථාවක් නොලැබේ. පවුල් පරිසරයෙහි දෙවියන්, දිව්‍යාංගනාවන් බඳු ස්වාමි භාර්යාවන් සහ බුදු අම්මලා, බුදු තාත්තලා වැනි දෙමව්පියන් බිහිවන්නේ එවිටය. සමහර පුද්ගලයෝ සතුන් මෙන් හැසිරෙති. තිරිසන් සත්වයන්ට ලජ්ජාවක්, බියක් හෝ ශික්ෂණයක් නැත. උසස් මනසක් ඇතිව සිතන්නට පුරුදු කළ මනුෂ්‍යයන් එසේ නොවිය යුතු ය.
ද්වේෂය ද බලවත් ක්ලේෂයකි. ද්වේශය හෙවත් තරහව පුද්ගලයකුගේ සිතට පැමිණි කල හොඳ නරක නොදකියි. “කුද්ධෝ අත්ථං න ජානාති” කිපුණු තැනැත්තෝ යහපත නොදකී” යනුවෙන් පැවසුවේ එබැවිනි. දෙව්දත්, සුප්පබුද්ධ රජ, මාගන්දියා වැනි ගිහි පැවිදි අයද බුදු රදුන් වැඩ සිටි දවසම ද්වේෂය නිසා බලවත් ලෙස පිරිහිණි. “අංගුත්තර නිකායේ කෝදන සූත්‍රයේ” ද්වේෂයේ හෝ ක්‍රෝධයේ ආදීනව පිළිබඳ සඳහන් කොට ඇති අර්ථ කිහිපයක් මෙසේ ය.
“කෝධනෝ දුබ්බණ්ණෝ හෝති 
අථෝ දුක්ඛම්පි සේති සෝ 
අථෝ අත්ථං ගහෙත්වාන 
අනත්ථං අධිපජ්ජති”

“කිපෙන සුළු වූයේ දුර්වර්ණ වෙයි. මේ නිසාම දුකසේ නිදන්නේ ය. අර්ථය අනර්ථය ලෙසද වැරදි දේ අර්ථවත් දේ ලෙසද සිතයි.”
කුද්ධෝහි පිතරං හන්ති 
කුද්ධෝ භන්ති සමාතරං 
කුද්ධෝහි බ්‍රාහ්මණං හන්ති 
හන්ති කුද්ධෝ පුථුජ්ජනං”

“කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ පැවිදි උතුමන් නසයි. කිපියේ පුහුදුන් අය හෙවත් සාමාන්‍ය වැසියෝද නසයි.”
ද්වේෂය, රාගයට වඩා ඉක්මන්ය. ද්වේෂය බලවත් වූ විට රාගයටත් වඩා බලවත් විපත් තමාට මෙන්ම අනුන්ට ද කරයි. ද්වේෂය පාලනය කොට නැති කිරීමට නම් මෛත්‍රීය නිරන්තරයෙන් පුරුදු කළ යුතු ය. මෛත්‍රිය බලවත් කුශලයකි. ද්වේශයට පත්වූ තැනැත්තා ජීවිත නසන අතර මෛත්‍රී පුද්ගලයා ජීවිත රකී. සියලු සතුන්ට කරුණා, මෛත්‍රිය දක්වයි. ද්වේෂයෙන් යුතු පුද්ගලයා විසින් සුවඳ විලවුන් ආලේප කොට වටිනා ඇඳුමින් සහ ආභරණවලින් සැරසුනද දුර්වර්ණය. නපුරුය, අප්‍රසන්නය, මෛත්‍රී තැනැත්තා චාම් වුවද දහස් ගණන් වටිනා ඇඳුමින් පැළඳුමින් නොසැරසුනේද ඉතාමත් ප්‍රසන්නය. පින්බරය. සත්පුරුෂ තැනත්තෝ ද්වේෂ සහගත පුද්ගලයාගෙන් ඈත්වන අතර මෛත්‍රී සහගත පුද්ගලයා වෙතට සමීප වෙයි.
මෝහය නම් මුලාවයි. මෙලොව ඇති සියලුම සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන්වල ඇති අනිච්ච, දුක්ඛ, අනාත්ම ස්වභාවය තේරුම් නොගත්තේ එම වස්තූන් වෙනස් නොවන සේ සිතා සිතින් අල්ලාගෙන තෘෂ්ණාවෙන් අකුසල් රැස්කර ගනී. එම පණ ඇති හෝ පණ නැති වස්තු දිරායන විට, වෙනස්වන විට, අත්හැරෙන විට, බලවත් සේ දුකට පත්වෙයි. මේ නිසා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් දුහුවිලි නැතිවීම මංගල කරුණකි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත පිවිතුරු කර ගනිමු

බිබිල, යල්කුඹුර මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය 
පදියතලාවේ ඤාණවිමල හිමි

බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේද සිතයි.
සිත පිළිබඳ පරිපූර්ණ විමර්ෂණයක් මුලින්ම සිදු කරන ලද්දේ සිදුහත් බෝසතාණන් වහන්සේ විසිනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු වුවද උන්වහන්සේ දේශනා කළේ සිතට සම කළ හැකි අන් එක ද වස්තුවක් හෝ ලොව නැති බවයි. මුළු සංසාරයම පවත්නේ සිත නිසා බැව් මෙහිදී ප්‍රකාශිතය. විටෙක සිත ප්‍රභාස්වර වන බවත් තවත් විටෙක ආගන්තුකව පැමිණෙන උපක්කිලේස නිසා කිළුටට පත් වන බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සිත පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සිත වහා පෙරළෙන සුළු ලක්ෂණයෙන් යුක්ත බව පෙන්වා දී ඇත.
“දුරංගමං ඒකචරං 
අසරීරං ගුහාසයං 
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති 
මොක්ඛන්ති මාර බන්ධනා”

මේ ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ ද සිතෙහි ඇති ස්වභාවය පිළිබඳවය. සිත කෙතරම් වටින්නේ දැයි සඳහන් කරන්නේ නම් අප ඇසුරු කරන ශරීරයේ පැවැත්ම රඳා පවතින්නේ සිත එහි ඇති තාක් පමණි. ශරීරයෙන් සිත ඉවත් වූ විගස සිරුර වහා විනාශ වී පොළොවෙහි පස් වේ. යම් හෙයකින් සිත ගෝපනය නොකරන ලද්දාහු නම් එය පුද්ගලයාගේ අනර්ථය පිණිස පවතින බව අංගුත්තර නිකායේ අදාන්ත වග්ගයේ සඳහන් වේ.
මේ නිසා සිත දමනය කර ගැනීමේ වැදගත්කම, ඉහත ගාථා පාඨයෙන් පෙන්වා දෙන අතර ම එසේ නොකර ගන්නේ නම් එයින් සිදුවන විපත පරිහානිය පිළිබදව ද කදිම නිදසුන් සමාජය ඇසුරින්ම ප්‍රකට වේ. සිත නපුරට පෙළඹවීමෙන් ඇති කර ගන්නා වූ විනාශය පිළිබඳව පැහැදිලි කරන බුදුහිමියෝ සිත තරම්ම තමන්ට වෙනත් සතුරෙක් නැතැයි වදාළ සේක. සිත දමනය කිරීමට කෙතෙක් උත්සාහ කළද එය දියෙන් ගොඩ දැමු මත්ස්‍යයෙකු දියට නැවත පැනීමට දඟලන්නාක් මෙන් සිතට තමන් පිය කරන අරමුණු ඔස්සේ දිවයෑමට ,ඇසුරු කිරීමට දඟලන බව පෙන්වා දී ඇත. එහිදී නුවණැත්තා ක්‍රියා කළ යුතු වන්නේ ඉතා සූක්ෂ්ම අයුරින් බව පෙන්වා දෙන බුදුහිමියෝ හී වඩුවා හියෙහි ඇද හැර ඍජු තත්ත්වයට පත්කිරීමට වෙහෙසෙන්නේ යම් සේද ඒ ආකාරයට වෙහෙසිය යුතු බව දේශනා කරති.
යම් හෙයකින් ඉහත සඳහන් කළ පරිද්දෙන් තම සිත මනා ලෙස පිහිටුවා ගැනීමට හැකි වන්නේ නම්, සමත් වන්නේ නම් තමා උසස් බවට පමණුවන බව පෙන්වා දුන් සේක. එම උත්තරීතර ස්වභාවය තමන්ගේ දෙමාපියන්ට හෝ ඥාතීන්ට හෝ අසල්වාසීන්ට ලබා දිය හැකි උසස් තත්ත්වයක් නොව තමන් විසින්ම උපදවා ගත යුත්තකි. නුවණැති තැනැත්තා සිත මනාව සංවර කරගන්නා අතර එහි ප්‍රතිඵල ලෙස සැප විපාක වින්දනය කරයි. බුදුසසුන තුළ අර්හත් මාර්ගඵල ලැබු භික්ෂූන් වහන්සේ හා භික්ෂුණීන් වහන්සේ බොහෝ විට එම උසස් තත්ත්වයන්ට පත්වඇත්තේ තත් ස්වභාවික පරිසරයෙන් ලබාගත් උපමාවන් ආශ්‍රය කරගෙන ධෛර්ය සම්ප්‍රයුක්තව වීර්යය වැඩීමෙනි.
පෘථග්ජන මිනිස් සිත වහ වහා ඇදී යන්නේ රාග ද්වේශ මෝහාදි අකුසල කර්මයන් ඔස්සේය. දෙව්දතුන් බුදුරදුන්ගේ ජීවිත හානිය සඳහා වෙහෙසෙ වූයේ ද්වේශය මුසු ආවේගයෙනි. බෝසත් අවදියේ සිටම බුදුන්ගේ පරම සතුරෙකු වශයෙන් ක්‍රියාකළ දෙව්දත්ගේ සිත ඒ සැම ආත්ම භාවයකදීම ද්වේශය මුසුවීම නිසා තමාටවත් ඒ සිත පාලනය කර ගැනීමට නොහැකි විය. ලෝකෝත්තර විමුක්තිය සාධනය කර ගැනීමට කොතෙක් හැකියාව තිබුණද ද්වේශ සහගත සිත නිසා එයට දොරගුළු විවර නොවිණි. ද්වේශ සහගත සිතක ක්‍රියාකාරිතාව පුද්ගලයාගේ අයහපත පිණිසම හේතුවන බව ප්‍රකට කෙරෙන සුදුසු කතා ප්‍රවෘත්තිය මෙයයි.
අක්කෝසක භාරද්වාජ බුදුන් සරණ යෑමට පළමුව බමුණු මත ගරු කළ අයෙකි. එසේම බුදුන් කෙරෙහි දැඩි කිපුනු බවින් ක්‍රියා කළ අයෙකි. බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක වූ ඔහුගේ භාර්යාවගේ ක්‍රියාකලාපය ගැන කිපුණු ඔහු බුදුන් හමුවට ගොස් කිසිදු ගරු සරු බවක් නොපෙන්වා දිගින් දිගටම දෝෂාරෝපණය කළේය. බැනීමෙන් වෙහෙසට පත් ඔහු බුදුරදුන් ඔහුගේ දෝෂාරෝපණය ගැන කම්පා නොවී සිටීමෙන් මහත් පුදුමයට පත්විය. එහිදී බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් ඔහු බුදුන් දේශනා කළ උපදේශය ඇසීමෙන් තවත් චිත්ත ප්‍රසාදයට පත්විය. එහිදී බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්නේ ඔහුගේ දෝෂාරෝපණයන් තමන් භාර නොගත් බවත් යම්සේ නිවසට ආගන්තුක පිරිසක් පැමිණි විටෙක හෝ ඥාතීන් පිරිසක් පැමිණි විට ඔවුන් උදෙසා පිරිනමන භෝජනයක් යම් සේ ඔවුන් සුහදව ප්‍රතික්ෂේප කරන්නේද ඔවුන් නිවසින් ගිය විට තමන් එය අනුභව කරන්නේ කෙසේද එසේම භාරද්වාජගේ දෝෂාරෝපණයන් තමන් සුහදව ප්‍රතික්ෂේප කළ බවත් එය නැවත ඔහුටම පිරිනැමූ බවයි. උන්වහන්සේගේ ශාන්ත ස්වරූපයෙන් භාරද්වාජ වඩාත් ප්‍රසාදයට පත්විය.අවසානයේදී සසුනේ පැවිදිව අර්හත්වයටද පත්විය.
තමන්ගේ නැතිවුණු ගවයෙක් සොයා වනයේ සැරිසැරූ එක් බමුණෙක් ගසක් මුල ශාන්ත ලීලාවෙන් වැඩ සිටි බුදුන් වෙත පැමිණ තමාගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කළේය. ඒ දෙස සාවධානව අසා සිටි උන්වහන්සේ නිසා ගිනිගෙන දැවෙනා වනයක් ක්‍රමයෙන් නිවී යන්නාක් මෙන් ඔහුගේ ඇවිලෙමින් තිබූ ශෝකය සහ දුක බුදුරදුන් ඉදිරියේ කියා පෑම නිසා මහත් සැනසිල්ලක් ලැබුවේය. දැවෙන මිනිස් සිත නිවා ගැනීම උදෙසා බුදුරදුන් දේශනා කර ඇති දේශනාවන් ඇසුරු කිරීමෙන් ශාන්තිය උදා කරගත හැකි අන්දම මේ කතාපුවත් තුළින් මනාව ප්‍රකට වේ. බුදුරදුන් ඒ සඳහා අනුගමනය කළ උපාය මාර්ගයන් අති ශ්‍රේෂ්ඨය.
මිනිසාගේ සිත දමනය කර ගැනීමට වෙහෙසීමෙන් පවිත්‍රත්වයට පත්විය හැකි අතරම සමාධිය කරා යොමුවීමේදීද වැදගත් වේ. කෙලෙස්වලින් සංසිදීමට යමෙක් සිත දමනය කිරීම උදෙසා වෙහෙස වේද අධිෂ්ඨානශීලිව කටයුතු කරයිද ඒ මිනිස් සිතෙහි සුන්දරත්වය ස්වභාව සුන්දරත්වය අභිබවා සිටීමට සමත්ය. සිත විමුක්තිය කෙරෙහි මෙහෙය වූ භික්ෂූන් වහන්සේලා අර්හත්වයට පත්වීමෙන් අනතුරුව ලොව ස්වභාව සුන්සදරත්වය දෙස බලා ඇත්තේ නිරාමිස පී‍්‍රතියෙනි. උතුම් අර්හත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේලා දේශනා කළ උදානයන් ආශ්‍රයෙන්ද ඒ බව මනාව ප්‍රකට වේ. මොහොතින් මොහොත වෙනස් වන සිත නිසා ඇතිවන බොහෝ විනාශයන් වළක්වා ගැනීමේ නිවැරදි මාර්ගය වෙන්නේ මිනිස් සිත පිවිතුරු කර ගැනීමයි. පිරිසුදු සිතකින් අනර්ථයක් කිසි ලෙසකින් හෝ තමන්ටත් අනුන්ටත් සිදු නොවන බව බුදුහිමියන් දේශනා කර ඇත. මිනිස් සිත සොඳුරු පරිසරය හා බද්ධ වීමෙන් පරිසරයේද සොඳුරු බව ඇති කරන නිසා බෞද්ධ ප්‍රතිපත්තීන්හි නියුක්ත අප ද සොඳුරු සිතක් ඇතිකර ගැනීම උදෙසා අධිෂ්ඨානශීල විය යුතුමය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සමාජයේ අපි ඔක්‌කොම සමානද?

අපි සියල්ලෝම සමානය යන්නය මාක්‌ස්‌වාදී දර්ශනයේ මුළික අංගයක්‌ වන්නේද සමාජයේ සියලු දෙනාම සමානය යන්නය බොහෝ ආගම්වලද මෙම අදහස ගැබ්වී ඇත. බුදුදහමේද මෙම අදහස ගැබ්වී ඇතත් බොහෝ කරුණු සලකා බලන විට අප සියලු දෙනාම සමාන නැත. අප ජීවත්වන සමාජය දෙස බලනවිට අප එකිනෙකාට වෙනස්‌ බව පැහැදිළිම කාරණයක්‌ වේ. ජාති-ආගම්-කුල, ගෝත, දුප්පත්-පොහොසත් ශක්‌තිය, බලය, උගත්-නූගත් පමණක්‌ නොව ගතිගුණ හැසිරීම්වලින්ද අපි එකිනෙකාට වෙනස්‌ය. මේවාට විවිධ හේතු තිබිය හැක. පරිසර සාධක, දේශගුණික සාධක, ජාන, ආගමික සාධක, සංස්‌කෘතික ශිෂ්ඨාචාරය, අධ්‍යාපනය ආදී විවිධ හේතු බලපායි. මේ සියල්ල අභිබවා මෙම විවිධත්වයට හේතුව විශේෂයෙන්ම උපත කර්මානුරූපීව සිදුවන බැවින් බව බුදුදහමේ අදහසයි.

මිනිසා එකිනෙකාට හාත්පසින්ම වෙනස්‌ බව ත්‍රිපිටකය හදාරනවිට මනාව පැහැදිලි වේ. 'නානත්ත සංඥා නානත්ත කායා' යනුවෙන් කිසිවෙක්‌ කයින්ද සිතුවිලිවලින්ද තවත් කෙනකුට සමාන වන්නේ නැතැයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එම නිසාය. බුදුරජාණන් වහන්සේ තෝදෙයියය බමුණාගේ පුත්‍ර සුභට දේශනාකර ඇති චුල්ලකම්ම විභංග සුත්‍රය මෙයට තවත් එක්‌ උදාහරණයකි මඡ්Cධිම නිකායේ ඇති මෙම සූත්‍රය කෙටියෙන් මෙසේය.

බුදුරජානන් වහන්සේගේ සමයේ සුභ නම් බ්‍රාහ්මණයෙක්‌ විය. ඒ බොහෝ දෙනෙක්‌ දන්නා තෝදෙයිය බ්‍රහ්මණයාගේ පුත්‍රයාය. ඔහු දිනක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුන් නමස්‌කාරකර එකත්පසෙක හිඳ ඔහුට ඇති ගැටලු කිහිපයක්‌ම බුදුරජානන් වහන්සේගෙන් විමසා සිටියේය. සමහර පුද්ගලයින් අඩු වසයින් මියයන්නටත් තවත් සමහර පුද්ගලයින් දීර්ඝ ආයුෂ ඇති ජීවත්වන්නටත් හේතුව කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් රෝගි වන්නත් තවත් සමහර මිනිසුන් නිරෝගි වන්නටත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් දුර්වර්ණ වන්නත් තවත් සමහර පුද්ගලයින් ප්‍රසන්න ලස්‌සන පැහැපත් වන්නටත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් අල්පේශාක්‍ය වන්නත් තවත් සමහර පුද්ගලයින් මහේශාක්‍ය වන්නටත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් දුබල වන්නත් තවත් සමහර පුද්ගලයින් බලවත් වන්නටත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් නීව යයි සම්මත කුලවල උපත ලබන්නත් වන්නත් තවත් සමහර පුද්ගලයින් වංශවත් යයි සම්මත කුලවල උපත ලබන්නත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් දුගී දුප්පත් වන්නත් තවත් සමහර පුද්ගලයින් ධනවත් වන්නටත් හේතු කුමක්‌ද? තවත් සමහර පුද්ගලයින් මුග්ධ මෝඩ නූගත් වන්නත් තවත් සමහරු උගත් ප්‍රඥාවන්තයින් වන්නටත් හේතු කුමක්‌දැයි? විමසීය.

ඒ අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ සූභගේ ගැටළුවලට හේතු පැහැදිලිs කරමින් දේශණා කළ ධර්මය චුල්කම්ම විභංග සුත්‍රයයි. සමහර පුද්ගලයින් අඩු වසයින් මියයන්නටත් තවත් සමහර පුද්ගලයින් දීර්¨ඝ ආයුෂ ඇතිව ජීවත්වන්නටත් හේතුව කුමක්‌ද? යමෙක්‌ සත්ව ඝාතනය කරයිද, සත්වයින්ට හිංසා කරයිද ඒ අකුසල කර්මයන්ගේ ඵල විපාක වශයෙන් ඔහුව නිරයට යයි. එසේ නොමැතිව මිනිස්‌ ලොව උපත ලැබුවහොත් එම පුද්ගලයා අඩු වයසෙන් මියයන බවත් සත්ව ඝාතනය සත්ව හිංසනය නොකරන පුද්ගලයින් දීර්ඝායුෂ ලැබ බොහෝ කල් ජීවත්වන බවත් බුදුරජාණන් වහන්සේ දේශණා කළ සේක.

සමහර පුද්ගලයින් රෝගිව ජීවත් වන්නත් තවත් සමහර පුද්ගලයින් නිරෝගිව ජීවත් වන්නටත් හේතු කුමක්‌දැයි බුදුරජානන් වහන්සේ පැහැදිලි කළේ මෙසේය. පුද්ගලයින් රෝගී නිරෝගීභාවයට හේතුවන කාරණා කර්මයම පමණක්‌ නොවේ. එයට බලපාන කරුණු අටක්‌ ඇති අතර ඉන් එක කරුණක්‌ වන්නේ කර්මයයි. එනම් පෙර කරන ලද කුසලාකුසල කර්මවල ථල විපාක යයි පුද්ගලයින්ගේ නිදන්ගත රෝගාධියට හේතුවන්නේ පෙර කළ සත්ව හිංසාව බව බුදුරජාණන් වහන්සේ දේශණා කළසේක. එම පාපකර්මයන් කරන පුදගලයින් අංග විකල භාවයට පත්වන බවත් ජාත්‍යන්ධව, බිහිරිව, ගොලුව, කෙලතොලුව, පණ්‌ඩකව, උභතෝ ලිංගිකව, නපුංසකයෝව උත්පත්තිය ලබති. 

සමහර පුද්ගලයින් දුර්වර්ණ වන්නත් තවත් සමහර පුද්ගලයින් ප්‍රසන්න ලස්‌සන, පැහැපත් වන්නටත් හේතු කුමක්‌ද? ඒ ඒ පුද්ගලයින්ගේ ද්වේශ සහගතභාවය මත උත්පත්තියේදී දුර්වර්ණව ඉපදීමටත් ප්‍රසන්න ලස්‌සන සිරුරු ඇතිව්මටත් හේතුවේ. කෙනෙක්‌ ද්වේශයෙන් දැඩි කෝපයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ අකුසල විපාකයෙන් ඔවුන්ගේ ශරීරය දුර්වර්ණ වේ. මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්නේ නම් ප්‍රසන්න පැහැපත් සිරුරු සහිතව උත්පත්තිය ලැබේ. අප කවුරුත් දන්නා කුස රජතුමාට කැවුම් ගෙඩියක්‌ වැනි මුහුණක්‌ ලැබුණේ මෙම හේතුව නිසාය. මෛත්‍රී භාවනාවේ ආනිශංසයක්‌ ලෙස මුඛවණ්‌නෝ විප්පසීදති යනුවෙන් දක්‌වා ඇත්තේ මෛත්‍රී භාවනාවෙන් මුහුණ ප්‍රශන්න වන බවය. 

සමහර පුද්ගලයින් අල්පේශාක්‍ය වන්නත් තවත් සමහර පුද්ගලයින් මහේශාක්‍ය වන්නටත් හේතු කුමක්‌ද? ඊර්ෂ්‍යාව, ද්වේශය හා ක්‍රෝධය අල්පේශාක්‍ය මහේශාක්‍යය ව්මට හේතු කාරක වේ මෙම මනෝභාවයගෙන් කටයුතු කිරීමෙන් අල්පේශාක්‍ය වන අතර එයින් තොරව කටයුතු කිරීමෙන් මහේශාක්‍ය බවට පත්වේ. මිනිසුන් තුල පමණක්‌ නොව දෙවියන් තුළ පවා මෙම අල්පේශාක්‍ය මහේශාක්‍ය බව දක්‌නට ලැබේ. එයට හේතු වන්නේද ඊර්ෂ්‍යාව ද්වේශය හා ක්‍රෝධයයි. 

සමහර පුද්ගලයින් දුගී දුප්පත් වන්නත් තවත් සමහර පුද්ගලයින් ධනවත් වන්නටත් හේතු කුමක්‌ද? අකුසල මූලයක්‌වූ ලෝභය මුලික කරගෙන දාන මානාදී පින්කම් නොකිරීමෙන් දුගී දුප්පත්ව උත්පත්තිය ලබන බවත්, අලෝභයෙන් දන් පැන් දී දුගී, මගී, යාචකාදීන්ට ඇප උපකාර කිරීමෙන් ධනවත්ව උත්පත්තිය ලබන බවත් බුදුරජාණන් වහන්සේ සුභ මානවකයාට පැහැදිලි කළේය. 

සමහර පුද්ගලයින් නීව යයි සම්මත කුලවල උපත ලබන්නත් වන්නත් තවත් සමහර පුද්ගලයින් වංශවත් යයි සම්මත කුලවල උපත ලබන්නත් හේතු කුමක්‌ද ? පිදිය යුත්තන් නොපිදීම දෙමාපි ගුරුවරාදීන්ට නොසලකන වැඳුම්, පිදුම් නොකරන පුද්ගලයින් ඒ අකුසල කර්මවල ඵල විපාකයෙන් නීච යෑයි සම්මත කුලවල ඉපදේ. වැඩිහිටියන්ට වැඳුම් පිදුම් කරන ගරුකරන සැලකුම් කරන පුද්ගලයින් උසස්‌ යෑයි සම්මත කුලවත ඉපදීමට හේතුවේ.

තවත් සමහර පුද්ගලයින් මුග්ධ මෝඩ නූගත් වන්නත් තවත් සමහරු උගත් ප්‍රඥාවන්තයින් වන්නටත් හේතු කුමක්‌ද? මුග්ධ වීමට නැතහොත් දුෂ්ප්‍රාඥ වීමට හේතු වන්නේ ආනිසංස ඵල විපාක නොදැන. දෘෂ්ටි විප්‍රයුක්‌තව කුසල් කිරීමය. සත්‍ය අසත්‍ය නොවිමසා කටයුතු කිරීමය. කළයුත්ත නොකළ යුත්ත නොවිමසා කටයුතු කිරීමය.

බුදුරජානන් වහන්සේ වදාළ මෙම චුල්ල කම්ම විභංග සූත්‍රය අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ විවිධත්වයට හේතුවන්නේ මෙම සංසාර ගමනේදී කළ කුසලාකුසලයන්ගේ ඵල විපාකයන් බවය. පෘතග්ජන පුද්ගලයින්ම පමණක්‌ නොව රහතන් වහන්සේලා පවා තමන් අවබෝධ කළ නිර්වානයේ වෙනසක්‌ නැතත් ඥානමය වශයෙන් හා සෘර්ධි බලයන් අනුව වෙනසක්‌ ඇති බවත් එයටත් කර්ම විපාක හේතු වන්නක්‌ වන බව බුදුදහම අනුව පැහැදිලි වේ. රහතන් වහන්සේළා ශුෂ්ක විදර්ශක ත්‍රි විද්‍යාලාභි ෂඩ්අභිඥා සහ සිව් පිළිසිඹියා යනුවෙන් වර්ග හතරක්‌ වේ. කිසිම සෘද්ධි බලයක්‌ නැති ධ්‍යානයනට සම නොවැදි විපස්‌සනා භාවනාවෙන් පමණක්‌ අර්හත්වය ලබාගත් චක්‌කුපාල රහතන් වහන්සේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමකි. පුර්වේ නිවාසානුස්‌මෘති ඥාණය දිව්‍යචක්‌ෂුර ඥානය, ආශවක්‌ෂය ඥානය යන ඥාන තුන ලබාගත් රහතන් වහන්සේලා ත්‍රිවිද්‍යාලාභීන් ලෙස හැඳින්වේ. මෙම ඥාන තුනට අමතරව දිව්‍යස්‍රෝත ඥානයත් සෘද්ධි විධි ඥානයත් පරචිත්ත විජානන ඥනයත් ලබාගත් රහතුන් වහන්සෙලා ෂඩ්අභිඥාලාභී රහතන් වහනසේථා ලෙස හඳුන්වති. අර්ථ ධර්ම නිරුක්‌ත ප්‍රතිහාන යන ඥානලාභීන් සිව් පිළිසිඹියා රහතන් වහන්සේලා ලෙස හඳුන්වනු ලැබේ. සැරියුත්, මුගලන් මහා කාශ්‍යප ආනන්ද ආදී මහ රහතන් වහන්සේලා මෙම ගනයට වැටෙති. මෙම ඥාන ලැබෙන්නේද පෙර කළ කුසලයන්ගේ ඵල විපාක ප්‍රමාණය අනුවය. එසේම අග්‍ර මහා ශ්‍රාවක වන්නේද අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා වන්නේද පෙරකළ ප්‍රාර්ථනා හා ඒ අනුව කරන ලද පුණ්‍ය කර්මයන්ගේ ප්‍රමාණය අනුවය. මෙපමණක්‌ නොව බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ එ්හි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලැබෙන්නේද පෙර කළ කුසල් ප්‍රමාණය අනුවය.

මිනිසා ප්‍රතිසන්ධිය ලබන ආකාරය අනුව ඔවුන් කොටස්‌ නමයකට බෙදා දැක්‌විය හැක. ඒ ඔවුන්ගේ ප්‍රතිසන්ධියට බලපාන හේතු හයක්‌ තිබේ. ඒ අලෝභ, අදෝෂ, අමෝහ හා ලෝභ ද්වේෂ, මෝහය යන කරුණු හයයි. මේ හේතු හය ඇතුව හා නැතුව ත්‍රිහේතුක ද්විහේතුක අහේතුක වශයෙන් ප්‍රතිසන්ධි නවයක්‌ ක්‌ ඇතිවේ. මේ ප්‍රතිසන්ධි නමය අනුව උත්පත්තිය ලබාගන්නා පුද්ගලයින් එකිනෙකට සමාන නොවේ. මන්ද මේ ප්‍රතිසන්ධි නමයට වෙන් වන්නේ ඔවුන් කරන කුසල් අකුසල් හෙවත් ඔවුන් ගේ කර්මය අනුව උපතින්තියෙන් පසුවද කවර කර්මයක්‌ කර තිබුණද එම විපාකය නිසි පරිදි ලබාදිය නොහැකි වන අන්දමට කර්මය පාලනය කරන කරුණු අටක්‌ තිබේ. ඒ ගති සම්පත්ත, උපධි සම්පත්ත,s කාල සම්පත්ත, ප්‍රයෝග සම්පත්ති සහ ගති විපත්ති උපධි විපත්ති කාල විපත්ති ප්‍රයෝග විපපත්තිය. මේ අට ආකාරයද පුදුගලයාගේ විවිධත්වයට හේතු කාරක වේ. එමනිසා සෑම විටම පුද්ගලයෙක්‌ තවත් පුද්ගලයෙකුට කිසිසේත් සමාන නොවේ.

මේ කරුණු සියල්ල සලකා බලන විට පුද්ගලයාගේ මෙම සමාජ විෂමතාවයන්ට හේතුවක්‌ වන්නේ තමාමය මන්ද තමාගේ කර්මයන්ට වගකිවයුත්තා වන්නේ තමාමය. මේ බව බුදුරජාණන් වහන්සේ දේශණා කරණ ලද පහත් සඳහන් ගාථාවෙන් තවදුරටත් පැහැදිලි වේ.

කම්මස්‌සකා මානව සත්තා කම්මදායාදා කම්ම බන්දු - කම්මයෝනි 
කම්මපට්‌සරණා කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිත්තාය 

මානවකය සත්වයෝ කර්මය තමන්ගේම දෙයක්‌ කර ගෙන ඇත කර්මය දෑවැද්ද කොට ගෙන නෑයකු කොට ගෙන කර්මය පිළිසරණ කොට ගෙන ඇත. මිනිසුන්ගේ යම් උසස්‌ පහත් බවක්‌ වේ නම් ඒ භේදය කර ඇත්තේ කර්මයයි. 
වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්‌ෂ  

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මාරයාගේ බිලි කොක්‌ක

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සෙය්‍යථාපි භික්‌ඛවේ බාළිසිකො ආමිසගතං බළිසං ගම්බීරෙ උදකරහදේ පක්‌පෙය, තමේනං අඤ්ඤතරො ආමිසචක්‌ඛු මච්ඡො ගිලෙයය( ඒවං හි සො භික්‌ඛවෙ වච්ඡෝ ගිලිතබලිසො බාළිසිකස්‌ස අනයං ආපන්නෝ ව්‍යසනං ආපන්නො යථාකාමකරණීයො බාළිසිකස්‌ස. ඒවමේව ඛො භික්‌ඛවෙ ඡයිමෙ බළිසා ලෝකස්‌මිං අනයාය සත්තානං, ව්‍යාබාධාය'

'මහණෙනි, යම් සේ බිලී වැද්දෙක්‌ ඇම සහිත බිලි කටුව ගැඹුරු දිය විලක බහලන්නේද, ඒ මේ බිලි කටුවෙහි ඇමට යොමුවූ ඇස්‌ ඇති එක්‌තරා මාළුවෙක්‌ ගලින්නේය. මහණෙනි, මෙසේ ඒ මාළුවා බිලීවැද්දාගේ ගිලගත් බිලිකටුව නිසා දුකට පැමිණියේ විපතට පැමිණියේ බිදී වැද්දා විසින් කැමැති යමක්‌ කළ හැකි වන්නේය. මහණෙනි, ඒ ආකාරයෙන්ම ලොව සතුන්ට දුක්‌ පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස බිලී සයක්‌ වෙයි.'

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ සඳහන් බාලිසිකෝපම සූත්‍රයෙහි අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මහත්වූ කරුණාවෙන් මෙම දහම් අවවාදය කරන සේක.

'මහණෙනි, ඉෂ්ට වූ කාන්තවූ මන වඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූප ඇත. ඉදින් භික්‌ෂුව (භික්‌ෂු-භික්‌ෂුණී, උපාසක- උපාසිකා) එහි සතුටුවෙයිද ගුණ කියාද, එහි සිත ඔසවා තබයිද, මහණෙනි, මේ මහණ තෙමේ මරුගේ බිලිකටුව ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මහණෙනි, කනින් දත යුතු ශබ්ද ඇත. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කනින් ලැබිය යුතු ශබ්ද ඇත. එහි සතුටුවෙයිද, ගුණ කියාද,එහි සිත ඔසවා තබාද, මේ මහණ මරුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මහණෙනි, ඉෂ්ට වූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු නාසයෙන් ලැබිය යුතු ආග්‍රහණ ඇත. එහි සතුටුවෙයිද, ගුණ කියාද සිත ඔසවා තබයිද මේ මහණ මරුහුගේ බිලිය ගිල ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු දිවෙන්දත යුතු රස ඇත. මහණ, එහි සතුටුවෙයිද, ගුණ කියාද, සිත ඔසවා තබයිද, ඒ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්තවූ මනවඩන ප්‍රියස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් ලැබිය යුතු ස්‌පර්ශ ඇත. ඉදින් මහණ, එහි සතුටුවෙයිද, ගුණ කියාද, සිත ඔසවා තබයිද මෙ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්ත වූ මනවඩන, ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු අරමුණු, සිතුවිලි ඇත. ඉදින් මහණ එහි සතුටුවෙයිද, ගුණ කියාද සිත ඔසවා තබයිද, මේ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මේ නිසාම දුකට පැමිණියේ විපතට පැමිණියේ මාරයා විසින් කැමැති යමක්‌ කළ හැක්‌කේ යෑයි කියනු ලැබේ.

ඉහත සඳහන් දහම් අවවාදය අපට ගළපාගෙන විවරණය කර ගනිමු. මාරයා විසින් බිලී කොපුවක්‌ හෝ බිලී කටුවක්‌ දමා ඇත. මහා ජලාශයක වෙසෙන මාළුවන් මෙන් අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ ගොදුරු සොයමින් ආහාර සොයමින් වෙසෙති. රස කාමයෙන් පීඩිතව, රස කාමයට ගිජුව හැසිරෙන මෙම පෘථග්ජනයා හෙවත් කාමයට ලෝල පුද්ගලයා මනාවූ සිහියෙන් තොරව (සතර සතිපට්‌ඨානයෙන් බැහැරව) මරුහුගේ බිලි කටුවෙහි අරමුණන ලද ඇම බදු අරමුණුවලට හසුවෙති. එනම් ඇම ගිලින්නට ගොස්‌ බිලි කටුවෙහි ඇමුණුනා මෙනි. බිලි වැද්දා විසින් මාළුවාට කැමැති යමක්‌ කළ හැකි මෙන්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, සිතුවිලි නම් කාම රසයට හෙවත් තෘෂ්ණාවට තදින් බැඳුණුq පුද්ගලයාට මාරයා විසින් දුකට, විපත්වලට ඇද දමනු ලැබේ.

පරමාර්ථ ධර්මය පිළිබඳව පුද්ගලයා විසින් මනාවූ අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. කෙටියෙන් සඳහන් කළොත් මෙසේය 'යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධ ධම්මං' යමක්‌ හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුය' යනුවෙනි.මෙහි යමක්‌ නම්වූ වදනින් අර්තවත් වන්නේ සියලුම සංස්‌කාරයෝය.හෙවත් සංඛත ධර්මයෝය. එනම්, පඨවි (තදබව), අපෝ (වැගිරෙන බව), තේජෝ (උෂ්ණය), වායෝ (සුළඟ) නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයයි. එවිට 'මම' කියා හඳුන්වා ගන්නා මෙම කය හෙවත් ශරීර පුඤ්ජයද හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවකි. ඔබ, ඔවුහු ආදී ලෙසින් හඳුන්වන අන් සියලු පුද්ගලයෝද එම පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් සමන්නාගත සංඛතයෝය. එම සවිඤ්ඤාණික වස්‌තූන් මෙන්ම ගේ-දොර, යාන-වාහන, ඇඳුම්-පැළඳුම් ආදී අවිඤ්ඤාණ වස්‌තුන්ද සංඛතයෝය. මෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණික අවිඤ්ඤාණික සියල්ලම හටගෙන (උප්පාද) පැවතෙමින් හෙවත් වෙනස්‌වෙමින් (ඨිති) නැතිව යයි (භංග). මේ නිසා ඇසෙන් සංකේතවත් කරන චක්‌ඛු ප්‍රසාදයද, රූපයද, චක්‌ඛු විඤ්ඤාණයද (ඇස මුල්කරගෙන සකස්‌වන සිත) ස්‌පර්ශද විඳීම්ද හැටගෙන විසිරී නැතිව යයි. එනම් අනිච්ච, දුක්‌ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්ය. යමක්‌ අනිත්‍යයද එය දුකකි. එනම් අශ්‍රැතවත් සිත්වලට දුක දෙන්නකි. දුක කැඳවන්නකි. යමක්‌ නිත්‍ය නොවේ නම් දුක්‌ සහගත නම්, වෙනස්‌වීමට ගොදුරු වන්නේ නම්, එය මගේය, මම වෙමි, මගේ ආත්මය කියා ගත නොහැකිය. සැපනොවන මෙන්ම, තමාට පාලනයක්‌ නැති කිසිවක්‌ මගේ කියා තම යටතට ගත නොහැකිය. මේ අනුව 'හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජධති', එනම් 'හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් යමක්‌වේද, හේතු ප්‍රත්‍ය විසිරී නැතිව යන විට එම හටගත් දෙයද නැතිව යයි' නම් වූ ධර්මතාවය අවබෝධයෙන්ම දැකිය යුතුය.

මෙම අවබෝධය ලබන පැවිදි හෝ ගෘහස්‌ථ ජීවිත ගතකරන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව විසින් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුවම සම්මුතියෙහි පිහිටා ඉඳුරන් පැවැත්මටත්, ආරම්මණ පරිහරණයටත් දක්‌ෂයෙක්‌ වෙයි. 

'සුතවා අරියසාවකො අරියානං දස්‌සාවි, ආර්ය ධම්මස්‌ස කෝවිදොa අරියධම්මෙ සුවිනීතො' යනුවෙන් විස්‌තර කළ ආකාරයෙන්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් දැකගෙන ආර්ය ධර්මය අනුගමනය කිරීමෙහි එනම් පරමාර්ථ ධර්මයෙහි දක්‌ෂයෙක්‌ වෙයි. ආර්ය ධර්මයෙහි සුවිනීත අයෙක්‌ බවට පත්වෙයි. මේ නිසා පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සම්මුතියෙහි කටයුතු කිරීමට තරම් වඩනා ලද සිතක්‌ සහ පුරුදු කරන ලද (භාවිත බහුලීකත) චරිතයකින් යුතු ශ්‍රාවකයෙක්‌ හෝ ශ්‍රාවිකාවක්‌ බවට පත්වෙයි. මෙහිදී මෙම භාවිත සිත් ඇති සතිමන්ත වූ ශ්‍රාවිකාව හෝ ශ්‍රාවිකාව විසින් ඇසින් රූප, කනින් ශබ්ද, නාසයෙන් ආඝ්‍රහණ, දිවෙන් රස, කයින් ස්‌පර්ශ, සිතෙන් සිතුවිලි පැවැත්වුවද, එහි සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහියෙහිම පිහිටා කටයුතු කරයි. කුඩා අණුකුඩා වරදෙහි පවා බිය දක්‌නා සුලු වූ සීලයෙහිම පිහිටා කටයුතු කරයි. සම්මුතියෙහි එනම් ලෝක පැවැත්මෙහි සහ ලෝක ව්‍යවහාරයෙහි මමය, මාගේය කියා ආරම්මණ පරිහරණ කළත්, එම කිසිදු අරමුණක්‌ උපාදානයට නොගනී. එනම් ඉටුවඩන, මනවඩන ආදී ලෙසින් පඤ්චකාම ගුණයන්ගෙන් යුතුව මගේය, මම වෙමි, මගේ ආත්මයයි සංස්‌කාර රැස්‌ කර නොගනී. සංස්‌කාරවල රැස්‌ නොවීම හේතුකොටගෙන විඤ්ඤාණයෙන් වෘද්ධියක්‌ නැත. මින් අදහස්‌ කරන්නේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මරුහුගේ බිලියේ ඇමට කිසිදු ආකාරයකින් හසු නොවන බවය. මරු විසින් බිලි කොක්‌කෙහි රුව නමැති ඇමක්‌, ඉටු වඩන මන වඩන, ප්‍රිය වූ කාමයෙන්,ඇලුම් කරන ශබ්ද,රස,ස්‌පර්ශ සිතුවිලි නම් වූ ඇම රුවාගෙන සිටියත් සතිමන්ත වූ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව එම ඇමවලට හසු නොවේ. එම ඇම ගිලින්නේ නොවේ. 

නිදසුන් මෙසේය, සතිමන්තවූ මෙම ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව පරමාර්ථ අවබෝධයෙන් යුතුවම, සම්මුතියෙහිදී ඉෂ්ට වූ රූපාදී අරමුණු ප්‍රිය වශයෙන් පරිහරණය කළද එහි උපාදානයට නොපැමිණේ. ප්‍රිය රුව ප්‍රිය ලෙස දකියි. එහෙත් ත්‍රලක්‌ෂණ ධර්මයට යටත් බවට දන්නා නුවණින් යුතුව එහි ඔසවා නොතබයි. ඉෂ්ට ශබ්දය ද ඉෂ්ට වූ ආඝ්‍රණයද, ඉෂ්ට වූ රසයද ඉෂ්ට වූ ස්‌පර්ශයද ඉෂ්ට යහපත් සිතුවිලිද ප්‍රිය වශයෙන් දකියි. හඳුනාගනියි. පරිහරණය කරයි. නමුත් ඒවායෙහි තෘෂ්ණාවෙන් නොඇලෙයි. නොබැඳෙයි. සිතෙහි මුලට නොගනියි. නිබ්බිදාව, විරාගය, නිරෝධය මැනවින් පුරුදු කරයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. ඇසින් දත යුතු රූප, කනින් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් දත යුතු පහස, සිතින් දත යුතු දහම් ඇත. මේවා ඉෂ්ට වූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙහි යුත් ඇලුම් කටයුතු ලෙස අශ්‍රැතවත් සිත්වලට දැනුණත්, ශ්‍රැතවත් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ඒවායේ සතුටු නොවෙයි. කාම ගුණ නොගැලී සිටියි. මේ නිසා මරුගේ බිලිය නොගිලා එය බින්දේ යෑයි කියනු ලැබේ. මේ නිසාම දුකට නොපැමිණියේ විපතකට පත් නොවූයේ මරහු විසින් කැමැති පරිදි නොකළ හැක්‌කේ යෑයි කියනු ලැබේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හය හතර දැන ගනිමු

අපේ සිංහල ජනවහරේ 'හය හතර' නොදන්නාකම පරිහානීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකේ. යම්කිසි දැනුමකින් තොරව පහත් අන්දමේ වැඩකටයුතු සිදුකරන යම් යම් පුද්ගලයන්ද හය හතර නොදන්නවුන් ලෙස ප්‍රකාශ වෙතත්, බොහෝ දෙනෙක්‌ මෙහි අරුත දැන සිටීදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙය නිවැරැදිව තේරුම් ගැනීම වැදගත් වේ. හය යනු දිව්‍ය ලෝක හයයි. හතර යනු අපාය හතරයි. 

හොඳ වැඩ හෙවත් යහපත් ක්‍රියා ලෙස සැලකෙන පුණ්‍යකර්ම සිදුකරන පුද්ගලයන් දිව්‍ය ලෝක හයෙන් එකක උපදින අතර නරක ක්‍රියා සේ සැලකෙන පාප කර්ම සිදුකරන පුද්ගලයන් අපාය සතරෙන් එකක උපදින බවත් දහමේ ඉගැන්වේ. මේ අනුව දිව්‍ය ලෝක හය සහ සතර අපාය පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක්‌ මෙතැන් සිට සිදුවේ.

චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව හෙවත් දිව්‍යලෝක හයයි. මේවායේ නාමයන් ඒ ඒ ලෝකවල ස්‌වභාවයන් හඟවයි. එකින් එක වෙන වෙනම ගෙන එම ලෝකවල ස්‌වභාවය විමසා බලමු.

1. චාතුම්මහා රාජිකය 

මෙයින් රාජ්‍ය සතරක්‌ ගැන කියෑවෙයි. සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන රජවරු සතර දෙනාගේ රාජ්‍ය සතර - චාතුර් - මහා - රාජිකය නම් වේ. මෙම රජවරුන් හතර දෙනාට බැතිමත්ව ජීවත්වන දේවතාවන් වාසය කරන්නේ චාතුම්මහා රාජිකය නම් දෙව් ලොවයි. මහාමේරු පර්වතයෙහි පස්‌වැනි ආලින්දය මෙම දෙව් ලොව සඳහා වෙන්වී ඇත.

2. තාවතිංසය

මඝමානවක නම් චරිතයක්‌ බෝසත් සිරිතට සම්බන්ධව පවතී. හෙතෙම එක්‌ ආත්මභවයක මිතුරන් තිස්‌තුන් දෙනෙක්‌ සමග මහා ශ්‍රමදානයක්‌ පවත්වා නිවාස රාශියක්‌ සහිත ග්‍රාමයක්‌ ඉදිකළේය. ඔවුන් හදන හදන නිවස එක්‌ එක්‌ අය විසින් අයිති කර ගත්හ. එහෙත් මඝමානවකයා ඇතුළු පිරිස නොකිපී නොසැලී ඉවසීමෙන් තව තවත් ස්‌ථාන පිරිසිදු කර ගනිමින් නිවාස ඉදිකළේය. එම ඉවසිලිමත් සේවය නිසා අලුත් ගම්මානයක්‌ බිහිවිය. මෙම කුසල කර්මයෙහි බලයෙන් මඝමානවක සහ පිරිස දිව්‍ය සම්පත් ලැබූ බව සඳහන් වේ. මඝමානවක සක්‌දෙව් රජව උපත ලැබූ බවත්, එම තෙතිස්‌ දෙනා යම් තැනක උපන්නේද එම ස්‌ථානය තාවසිංහ හෙවත් තව්තිසාව නම් විය. මහාමේරු පර්වතය මුදුනට සමව සිටි අහසෙහි මෙම දිව්‍ය ලෝකය පිහිටා තිබේ. එහි මධ්‍යයෙහි ශ්‍රක භවනය පිහිටා ඇත.

3. යාමය 

යම්කිසි දේවතාවෙක්‌ යම් කාලයක්‌ දුකින් තොරව ජීවත්වන්නේද, ඔවුන් සැලකෙන්නේ යාමයන් ලෙසයි. යාමයන් වෙසෙන දෙව් ලොව යාමය ලෙස සැලකෙන අතර තව්තිසා දෙව්ලොව සිට යොදුන් හතළිස්‌ දොදාහක්‌ දුරින් යාම දෙව්ලොව පිහිටා තිබේ.

4. තුසිතය

තමන් ලැබූ සම්පත්තියෙන් ඔද වැඩී ප්‍රීතියට පත්ව සතුටුවන දෙව් පිරිසක්‌ සිටින තැන යන අර්ථයෙන් තුසිත යන නාමය ලැබී ඇත. යාම දෙව්ලොව සිට යොදුන් දාහත් ලක්‌ෂ අසූඅට දහස්‌ අටසීයක්‌ දුරින් තුසිත දෙව්ලොව පිහිටා තිබේ.

5. නිම්මාණරතී

නිම්මාන හෙවත් නිර්මාණ යනු යමක්‌ නිමැවීමයි. රතිය යනු ඇල්මයි, හෙවත් ඇලීමයි. තමන් උදෙසා නිර්මාණය වූ සම්පත්වලට ඇලීමෙන් වාසයකරන දිව්‍ය සමූහයා වෙසෙන ස්‌ථානය නිම්මාණ රතියයි. තුසිත දෙව්ලොව සිට යොදුන් එකොලොස්‌ ලක්‌ෂ තිස්‌පන් දහස්‌ දෙසීයක්‌ දුරින් නිම්මාන රතිය පිහිටා ඇත.

6. පරනිම්මිත වසවත්තී

අනුන් විසින් නිමවන ලද අර්ථය පරිනිම්මිත යන්නෙන් ලැබේ. යම්කිසි දෙවියෙක්‌ අනුන්ගේ දිව්‍ය සම්පත් තමන් අතට ගෙන සැප විඳී නම් ඔවුන් පරනිම්මිත දෙව්වරුය. ඔවුන් වසන තැන වසවස්‌ති නම් වේ. පරනිම්මිත වසවත්තී නම්වූ මෙම දිව්‍ය ලෝකය නිම්මාණ රතියේ සිට යොදුන් දාහතර ලක්‌ෂ අසූදහස්‌ හයසීයක්‌ දුරින් පිහිටා තිබේ.

කුසල් කරන්නෝ මෙම සදිව්‍ය ලෝකවල හෝ මිනිස්‌ ලොව හෝ කාමවචර සුගති ලෝක නමින් හැඳින්වෙන යම් තැනක උපත ලබති. එහෙත් අකුසල් රැස්‌ කරන්නෝ මරණින් මතු උපත ලබන අපාය සතරක්‌ ඇත. එනම් නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන ස්‌ථානයි.

නරකය 

මෙම අපාය සංජීව, කාලසූත්‍ර, සංඝාත රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනුවෙන් ස්‌ථාන අටකට බෙදා ඇත. මේවාටද පරිවාර නරක 16 ක්‌ ඇති අතර සියල්ල එකසිය තිස්‌ හයකි. ලෝභ, දොaෂ, මෝහ, යන අකුසල මූලයන් හා බැඳී සතුන් මැරීම සොරකම් කිරීම ආදී පාපයන් සිදුකරන පුද්ගලයන්ද, ක්‍රෝධයෙන් හා වෛරයෙන් යුද්ධ කරන්නෝද මරණින් පසු උපදින්නේ සංජීව නරකයෙහිය. මව්පියන්ට, ගුරුවරුන්ට පූජක උතුමන්ට දුගී මගී යාචකාදීන්ට, බොරු කරන්නෝද (හිංසා කිරීම් බැන වැදීම් ආදී) සිදුකරන්නෝද මරණින් මතු උපදින්නේ කාලසූත්‍ර නරකයෙහිය.

අතින් පයින් දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන්නෝද සත්ව හිංසා කරන්නෝද සංඝාත නරකයෙහි උපදී. බොරු සාක්‌ෂී කීම, හොර වෙළ¹ම් (කූට වෙළ\ම්) කිරීම් ආදී වැරැදි කරන්නෝ රෞරව නරකයෙහි උපදිති.

තෙරුවන් සතු වස්‌තූන් සොරකම් කිරීම සඟසතු දේපල භුක්‌ති විඳීම, පින් මුදල් ගසාකෑම, දුප්පතුන්ගේ දේ පැහැර ගැනීම ආදී පාපයන් සිදුකොට උපදින්නේ මහා රෞරව නම් වූ නරකයේය.

පරුෂ වචන කීම, ඡන්ද, ද්වේෂ සහ භය මෝහ යන සතර අගතියෙන් යුක්‌තවීම, පව් පින් විපාක නැත ආදී මිත්‍යා මත දැරීම තාප නම් වූ නරකයෙහි උපත ලැබීමට හේතුවේ. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුද්ධ ශරීරයෙහි ලේ සෙලවීම, සංඝභේදය යන ආනන්තරීය පාපකර්ම සිදුකළෝ සහ දාගැබ්, ප්‍රතිමා ආදී පූජනීය වස්‌තු නසන්නෝද උපත ලබන්නේ අවීචි මහා නිරයේය. දෙව්දත් තෙරුන් වහන්සේ අවීචිමහා නරකයේ දුක්‌ විඳින්නේ ඉහත සඳහන් ආනන්තරීය පාපකර්ම සිදුකිරීමෙනි.

තිරිසන් අපාය 

කාමයෙන් හා බියෙන් පමණක්‌ පීඩා විඳින තිරිසන් සතුන්ගේ උපත තිරිසන් අපාය ලෙස සැලකේ. මෝහයෙන් මුලාවී අකුසල් කරන බොහෝ සත්වයෝ උපත ලබන්නේ තිරිසන් භවයේය.

ප්‍රේත යෝනිය

ප්‍රේත යන්නෙන් අදහස්‌ වන්නේ සම්පූර්ණයෙන්ම සැපයෙන් තොර බවයි.

දන්දීමෙන් වැලකී සිටීම, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, දස අකුසල් සිදුකිරීම, අනුන්ගේ ලාභ වැලැක්‌වීම, මව්පියන් ඉදිරියේ බිලිබිය තොරවීම, අනුන්ට අක්‍රෝෂ පරිභව කිම, අල්ලස්‌ ගැනීම ආදී වැරැදි රැසක්‌ ප්‍රේත ලෝකයේ ඉපදීමට හේතු වේ. සා පිපාසා දෙකින් නිතර පෙළෙන ප්‍රේතයෝ කෙළ, සොටු, මල ආදියෙන් පමණක්‌ ජීවත් වෙති.

අසුර යෝනිය

අසුරයෝ ඉසුරු මදයන් මත්ව වෙසෙති. සුර නම් දෙවියන්ය. දෙවියන්ට සතුරුවූ බැවින් මොවුන් අසුර නම් වේ. කටින් එළියට නෙරා උඩට හෝ යටට නැමුණු දත් පිහිටා ඇත. අසුරයන් කොටස්‌ දෙකකි. එනම් ෙච්පචිත්ති සහ කාලකඤ්ජ යනුවෙනි. කාලකඤ්ඡ අසුරයන් දුක්‌ විඳින නමුදු වේපචිත්ති අසුරයන් දෙවියන් සමානව සැප විඳිති.

මේ අයුරින් විස්‌තර වන හය හතර තේරුම්ගෙන අපායාදී දුක්‌වලින් අතමිදී දෙව් මිනිස්‌ දෙගතියේ සැප ලබන්නට අදිටන් කර ගැනීම බුද්ධිමත් මානවයන්ගේ වගකීමකි. එසේම දුකින් පිරුණු සසරේ දෙව් මිනිස්‌ සැප තාවකාලික වන බැවින් ඒවාටද ගිජු නොවී නිවන් දැකීමට අදාළ ප්‍රඥාවේ වර්ධනයද අත්‍යවශ්‍ය වේ.
වික්‍රමසිංහ අතපත්තු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X