සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ගැටලු නිරාකරණය උදෙසා වූ බෞද්ධ ප්‍රතිපදාව

කැප්පෙටිපොළ, පාළුගම,
ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරී,
විල්ඔය පඤ්ඤාතිලක හිමි
මිනිසා විවිධ වූ ගැටලු මැද ජීවත් වෙයි. කායික ගැටලු ඇත. මානසික ගැටලු ඇත. ‘අන්තෝ ජටා බහි ජටා- ජටාය ජටිතා පජා’ ඇතුළතත් ගැටලුය, පිටතත් ගැටලුය. ගැටලුවලින් අවුල් වී ඇත. බුදුදහම ගැටලුව දකින්නෙ දුක ලෙසයි. ‘දුක්ඛේ ලොකො පතිට්ඨීතො’ ලෝකය, ජීවිතය දුක තුළ පිහිටා ඇත. එයින් අදහස් වන්නේ ජීවත්වීම යනු දුකකි. ගැටලු සහිත බවකි. ලෝකය වෙනස් වෙයි. අපේක්ෂා හා ලෝක වෙනස අතර සිදුවන විරෝධය පදනම්ව දුක හට ගනී. ‘යද නිච්චං තං දුක්ඛං’ යමක් වෙනස් වේ ද එය දුකකි. ගැටලුවකි.
අපේක්ෂා, අවශ්‍යතා, ආශා වෙයි. නැතහොත් තෘෂ්ණාවයි. ලෝකය තුළ වන වෙනස, සිත එය පිළිනොගැනීම, සිත ඊට එරෙහිව කටයුතු කිරීම හා තම සිතැඟි ජය ගන්නට වෙර දැරීම නිසා වැරැදි සිතිවිලි හෙවත් කෙලෙස් උපදී. විෂම රාගය, ද්වේශය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන් හා සංසන්දනය, ඊර්ෂ්‍යාව, මසුරුකම, දැඩි තීරණ, වඩාත් දැඩි තීරණ, මානය, වඩාත් මානය, මත්වීම, වඩාත් මත්වීම ආදී කෙලෙස් උපදී. මේ කෙලෙස් ජයග්‍රහණ උදෙසා ගැටලු විසඳන විට කෙනකුට අගතියක් හටගනී. මෙම අගති ගති නිසා සමාජය වියවුලට ලක්වෙයි. මේ වියවුල රණ්ඩුසරුවල්, කලකෝලාහල, අසමගිය හා විවිධ වූ අපරාධ සමාජය තුළ බිහි කරයි. සාරධර්ම පිරිපුන් යහපත් සමාජයක් සඳහා ගැටලු නිරාකරණය කොට ජීවත් විය යුතුය. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ පටිපදා සූත්‍රයේදී මෙවන් ගැටලු නිරාකරණ ක්‍රමවේදයක් දක්වයි.
‘චතස්සෝ ඉමා පටිපදා කතමා චතස්සෝ, අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා’
මේ අනුව ගත් විට ගැටලුවක් මතුවූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාර හතරක් දක්වයි.
1.සමාන ප්‍රතිචාර දැක්වීම
2.ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දැක්වීම
3.ග්‍රහණය නොකිරීම (මගහැරීම)
4.වෙනස්ම ප්‍රතිචාරයක් දැක්වීම

1.සමාන ප්‍රතිචාර දැක්වීම
ගැටලු හමුවේ වර්තමානයේ බොහෝ විට දක්නට ලැබෙන ප්‍රතිචාර විධියයි. යම් ගැටලුවක් මතුවූ කල ගැටලුව හා සමාන ප්‍රතිචාරයක් දැක්වීමයි. විස තුළින් විස නැසීමේ ක්‍රමවේදය මීට සමාන වෙයි. ‘අක්කොසන්තං, පටික්කොසති, රොසන්තං පටිරොසති, භණ්ඩන්තං පටිභණ්ඩති’ කියූ අයුරින් ඛණින පුද්ගලයා බැණීම තුළින්, වෛර කරන පුද්ගලයාට වෛර කිරීම තුළින්, පහර දෙන පුද්ගලයාට පහරදීම තුළින් ප්‍රතිචාර දැක්වීමයි. මේ ක්‍රමවේදයෙන් බල තුලනයක නිරත වෙයි. වර්තමාන ලෝක සන්දර්භය තුළ ගැටුම් ඇතිවීම මඟහැරී තිබෙන්නේ බල තුලනය කරණකොට ගෙනය. පිරිස් බලය, අවිබලය, ධන බලය ආදී වූ බලයන් දෙපිරිසටම එකිනෙකා පරයන ප්‍රමාණයට වෙත් නම් එකිනෙකා සමාන ප්‍රතිචාර දක්වයි යන සැකය පදනම් කොට ගෙන ගැටුම් ඇති නොවේ. බල්ලකු අප හපා කෑමට පසුපස ලුහුබඳින විට බල්ලාගේ වේගයට වඩා හයියෙන් ‘චිප් බල්ලා යැයි’ අප කෑගැසුවොත් බල්ලා ආපසු හැරී දුවයි. මෙම ගැටුම් නිරාකරණ ක්‍රමය සාර්ථක නිරාකරණ ක්‍රමයකි.

2.ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දැක්වීම
මෙම ප්‍රතිචාර ක්‍රමයත් ගැටුම් නිරාකරණයේදී වැදගත් ක්‍රමවේදයකි. මුලින් දැක්වූ ක්‍රමවේදයට වඩා හොඳ ක්‍රමවේදයකි. එනම් දක්වන ප්‍රතිචාරයට විරුද්ධ වූ ප්‍රතිචාරයක් දැක්වීමයි. ‘අක්කෝසන්තං න පච්චක්කොසති, රොසන්තං න පටිරොසති, භණ්ඩන්තං න පටිභණ්ඩන්ති’, ‘ඛණින පුද්ගලයාට නොබණී. ප්‍රිය වචන කතා කරයි. වෛර කරන පුද්ගලයාට වෛර නොකරයි. මෛත්‍රී කරයි. පහර දෙන පුද්ගලයාට පහර නොදෙයි. ඉහත ක්‍රමවේදය හා සැසඳීමේදී මෙම ක්‍රමවේදය සාර්ථක ක්‍රමවේදයකි.
මෙම ක්‍රමවේද දෙක තුළින් ගැටුම සහමුලින්ම නැති නොවෙයි. ගැටුම තාවකාලිකව යම් කාලයක් තුළ නිරාකරණය විය හැක. අවකාශය ලද සැණින් යළිත් ගැටුම ඇති විය හැක.

3.ග්‍රහණය නොකිරීම
ගැටුම ඇතිවන්නේ, පවතින්නේ, දිගට ගමන් කරන්නේ ග්‍රහණය කරගැනීම පදනම් කොටගෙනය. අනවබෝධය නිසා යම් යම් දේ සංස්කරණය කරයි. සංස්කරණයේදී ඒ පිළිබඳ සිතිවිලි හටගනී. සිතිවිලි නිසා නාම රූප හටගනියි. නාම රූප නිසා ඇස්, කන්, නාස , දිව, මනස යන ඉඳුරන් හටගනී. මේ ඉඳුරන් බාහිර අරමුණු හා එක්වීමෙන් ස්පර්ශයක්,ගැටීමක් හටගනී. ඒ නිසා සැප, දුක්, උපේක්ෂා ආදී වූ විඳීම් ඇති වෙයි. මේ විඳීම්වලට ඇති ආශාව හා එම විඳීම් අයිති කරගන්නට වෙරදැරීම නිසා ගැටුම් හට ගනී. මේ අනුව පැහැදිලිව දැකිය හැක්කේ හොඳ-නරක, යහපත-අයහපත ආදී වශයෙන් අරමුණු ග්‍රහණය කරගැනීම නිසා ගැටුම් හටගන්නා බවකි.
ගැටුම පිළිබඳව නිමිති ගනියි. ගත්තාවූ නිමිති අනුව යයි. මේ නිසා ගැටුම හටගනියි. මට බැන්නා, මා පැරදුවා, මා සතු දේ පැහැර ගත්තා. මට පහර දුන්නා ආදී වශයෙන් නිමිති ගනිය. ඒ නිමිති අනුව යයි. ඒ නිසා ගැටුම් ඇති වෙයි. එසේ නම් ගැටුම් ඇති නොවීම උදෙසා නිමිති ගැනීම, නිමිත්ත අනුව යෑම සිදුනොවේ නම් ගැටුම් ඇතිවීම ද සිදු නොවේ. නිමිති ගන්නේ ඉඳුරන් තුළිනි. එසේ නම් ඉඳුරන් දමනය කර ගැනීම ගැටුම් නිරාකරණයකි.
‘ඉධ භික්ඛවේ භික්ඛුනා චක්ඛුනා රූපං දිස්කා න නිමිත්තග්ගාහි හොති, නානුඛ්‍යඤ්ජනග්ගාහි යත්වාධිකරණ මෙතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති’
ඇසට රූප දැකීමෙන් රූ නිමිති ගැනීම, ඒ ඔස්සේ යෑම නැති කිරීමෙන් ඇස සංවර වෙයි. මේ නිසා දැඩි ආශාව, දොම්නස, පාපකාරී අකුසල චේතනා ඇති නොවෙයි. මේ අයුරින් අනිකුත් ඉන්ද්‍රියද සංවර කරගත් කල ඉන්ද්‍රිය සංවරයෙන් ගැටුම් හට නොගනී. මෙය ගැටුම් මගහැර යාමකි. අප මුහුදේ නාන විට රැළි මතුවෙයි. අප විසින් උඩ පැන රැල්ල මගහරියි. යළිත් රැළි මතු වෙයි. ගැටුම් නිරාකරණය සඳහා මුලින් කී ක්‍රමවේද දෙකට වඩා මෙම ක්‍රමවේදය සාර්ථක වුවද මෙම ක්‍රමවේදය තුළින් ගැටුම් නැත්තටම නැති නොවේ.
4.වෙනස්ම ප්‍රතිචාරයක් දැක්වීම
සියලු ගැටලු නිරාකරණය සඳහා වූ වඩාත්ම යහපත් ක්‍රමවේදය මෙය වෙයි. මෙය ගැටුම සහමුලින්ම නැති කරන ක්‍රමවේදයයි. ගැටුම් ඇති වන්නේ සාධක තුනක් කරණකොට ගෙනය.
1.කම්සැප විඳීමට ඇති කැමැත්ත (කාම විතක්ක)
2.වෛරය (අකැමැත්ත) දැක්වීමේ කැමැත්ත (ව්‍යාපාද විතක්ක)
3.හිංසා කිරීමේ කැමැත්ත(විහිංසා විතක්ක)
මේ ආකල්ප සිත තුළ ඇතිවන විට එම සිතිවිල්ල නොඉවසයි. (නාධිවාසෙති) දුරු කරයි(පජහති),බැහැර කරයි(විනෝදේති),සමනය කරයි(සමේති),පිරිසිඳලයි (ඛ්‍යන්ති කරොති), අභාවයට පමුණුවයි (වෙනස් ස්වභාවයක් ගනියි) (අනභාවං ගමේති).
මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම තුළින් ගැටුම් සහමුලින්ම නැතිකර දමයි.

බුදු වුවද අකුසලයන් ඵල දේ

ලොව්තුරා බුදුපියාණන් වහන්සේට පෙර ආත්ම භවයන්හි සිදු කරන ලද අකුසල කර්මවල ප්‍රතිවිපාක පල දුන් බව සෑම බෞද්ධයකුම හොඳින් දන්නා කරුණකි. බුදුපියාණන් වහන්සේට ඵලදුන් අකුසල කර්මයන් පිළිබඳව ‘බුද්ධ නිකායේ’ ‘අපදාන පාලි හා බුද්ධවංශ පාලියේ’ සඳහන් වේ. එහි පුබ්බ කම්ම පිලෝතිකාපදානයෙහි ඒ පිළිබඳව සඳහන් කරනු ලබයි.
පිනක් නම් කිසියම් කෙනකු යහපත් සිතින් කරන ලද යහපත් ක්‍රියා විශේෂයකි. එසේම පවක් වන්නේ අයහපත් සිතින් කරන ලද අයහපත් ක්‍රියා විශේෂයකින් උපදින අකුසල ශක්ති විශේෂයකි. එම ශක්ත විශේෂ ඒවා නිපදවන ලද පුද්ගලයා හෙවත් උපාදානස්කන්ධ සංයුක්තය හා විශ්ව සංයුතිය අතර විකාශනය වෙමින් පවතී. ඒ අනුව සිදුකළ ක්‍රියාධර්මවලට අනුගතව ඊට සමානවම සැප විපාක වශයෙන් ප්‍රතිඵල විඳීමට සිදුවෙයි. මෙය ලොව පවතින ධර්ම නියායකි. පුද්ගලයා බුදු, පසේබුදු, මහරහත් යන පදවිවලට පත් වුවද පෙර සංසාරික වශයෙන් ගොඩනඟාගත් කර්ම ශක්තීන් ඔහු පසුපස ගමන් කරනු ලබයි. එය සැප-දුක වශයෙන් පල දෙනු ලබයි.
බුදුපියාණන් වන්සේට ද පෙර සංසාර ගමන තුළදී උන්වහන්සේ අතින් සිදුවූ අකුසල ක්‍රියා ශක්ති බුද්ධත්වයට පත්වූ පසු ද විපාක දුන් අවස්ථා ආපදාන පාලියේ සඳහන්ව ඇත්තේ ‘පුබ්බ කම්ම පිලෝතික’ ලෙසය. බුදුපියාණන් වහන්සේගේ ජීවිතයට එසේ පල දුන් පුබ්බ කම්ම නම්.
සිදුහත් බෝසතුන් සම්බෝධිය සඳහා සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීම පිණිස බලපෑ ප්‍රවෘත්ති විපාකය.
බුදුවිීම පිණිස සම්පූර්ණ කළ යුතු සියලු ධර්මතාවන් සම්පූර්ණ කර තිබියදී බුදුපියාණන් වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ ඇයිද? යන්න බලපෑ අතීත හේතූන් අපදානපාලිය තුළ සඳහන් කරනු ලබන්නේ කාශ්‍යප බුදුපියාණන් වහන්සේ බුද්ධ ශාසනය පවතින සමයෙහි අප බුදුපියාණන් වහන්සේ ‘ජෝතිපාල නමින් එක් බමුණු කුලයක උපන්හ. මේ ජෝතිපාල තරුණයා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දැකීමටවත්, බණ දහම් ඇසීමටවත් කැමැත්තක් නොදක්වන අන්දමට මිසදිටුබවේ පැටලී සිටියේය.
වේහළිංග නම් ගමේ ‘කුම්භකාර ඝටිකාර’ නම් තැනැත්තෙක් වෙසෙයි. හෙතෙම ජෝතිපාල තරුණයාගේ හොඳ මිතුරෙකි. ඔහු කාශ්‍යප බුද්ධ ශාසනය තුළ අනාගාමී මාර්ග ඵලයට පත්ව සිටි පුද්ගලයෙකි. මේ කුම්භකාර තෙමේ තම මිසිදිටු බවට පත්ව සිටින ජෝතිපාල තරුණයා ඉන් මුදා ගැනීම පිණිස කල්පනා කළේය. මෙසේ දිනක් කුම්භකාර තෙම ජෝතිපාල තරුණයා වෙත එලැඹ ‘මිත්‍රය’ ලොව්තුරු බුදුකෙනෙක් දැක බණ අසන්න ලැබීම ඉතා දුර්ලභ කාලයකිනි. ඒ නිසා අද මම ඔබව කාශ්‍යප බුදුපියාණන් වහන්සේ හමුවට කැඳවාගෙන යන්නයි පැමිණියේ යැයි පැවැසුවේය. එහිදී ජෝතිපාල තෙම දැඩි කෝපයෙන් ‘මොන බුදුවරුද? ඔය මුඩු මහණුන් දැකීමෙන් අපට ඇති ඵලය කිමෙක්ද? ආදී වශයෙන් කියන්නට වූහ.
මෙහිදී කුම්භකාර තෙමේ උපක්‍රමශීලීව ජෝතිපාල තරුණයා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ වෙත ගොස් දහම් අසා ජෝතිපාල තරුණයා පැහැදී පැවිදි භාවයට පත් විය. එහිදී කාශ්‍යප බුදුපියාණන් වහන්සේ නියත විවරණ ද ලබාදුණි.
ජෝතිපාල තරුණයා දුර්ලභ වූ බුදු බවට කළ නින්දාව නිසා මේ බුදුවන ආත්මභවයේදී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රිියා කරන්නට සිදුවිය.
මීළඟට අප ගෞතම අමාමෑණියන් වහන්සේට ඵලදුන් තවත් කර්ම විපාකයක් වන්නේ ‘වේරඥා නුවරදී’ වස් තෙමෙස තුළ පැතිර ගිය ආහාර දුර්භික්ෂය නිසා තෙමසක් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානය නොමැතිව අශ්වයන් සඳහා වූ ‘යවහාල්’ අනුභව කරන්නට සිදු වූවාහුය. උන්වහන්සේට යවහල් අනුභව කිරීමට හේතු වූ අකුසල කර්මයේ ප්‍රවෘත්ති විපාකය අපදානපාලිය තුළ දැක්වෙන්නේ.
‘ඵුස්ස’ සම්බුදු පියාණන් වහන්සේගේ සසුන ලොව පවන කල උන්වහන්සේගේ ශ්‍රාවකයන් සුවඳ හැල් හාලේ ආහාර දානයක් වළ ඳනු දැක ‘මේ මුඩු මහණෝ සුවඳ හැල් හාල් බත් අනුභව කරති. මොවුන්ට සුවඳ හැල් හාලේ බත් නොවදියයුත්තේ යවහාලේ බත්ය’ යනුවෙන් අප ගෞතම බෝසතුන් කළ දොස් පැවැරුමට ප්‍රති විපාක ලෙස මේ බුදු භවයේදී තෙමසක් පුරා වේරංජනාවේදී යවහාල් අනුභව කිරීමට සිදුවිය.
අප බුදුපියාණන් වහන්සේට පල දුන් කර්ම විපාකයක් ලෙස අපදානපාලිය සඳහන් කරනු ලබන තවත් කර්ම විපාකයක් වන්නේ ‘සුන්දරී පරිබ්‍රාජිකාව වෙතින් අපහාස විඳී මට හේතු වූ අකුසල කර්මයයි.
පෙර භවයක අප බුදුපියාණන් වහන්සේ ‘මුනාලි නම් ධූර්තකයෙක්ව’ ඉපදී සිටියේය.
එම කාලය තුළ ලොව පහළව සිටි ‘සරඟු’ නම් පසේ බුදුපියාණන් වහන්සේ හට මේ මුඩු මහණා දුස්සීලයෙකි ලොව රවටන සොරෙකි ආදී වශයෙන් උන්වහනසේට අපහාස කළේය. එම අකුසලය හේතු කොටගෙන එහි ප්‍රතිසන්ධි විපාක වශයෙන් බොහෝ කාලයක් නිරයෙහි දුක් විඳ එම කර්මයේ ශේෂ වූ විපාකයක් ලෙස ගෞතම බුදුපියාණන් වහන්සේට ‘සුන්දරීය’ මරණය සම්බන්ධයෙන් ‘ගෞතම මිනීමරුවෙකි’ ඔහු සුන්දරිය මරා දමන ලදී. යැයි චෝදනා චින්ඳේය.
චිංචිමානවිකාව විසින් බුදුරජාණන් වහන්සේට කරන ලද අපහාස උපහාස පිළිබඳව හේතු වූ පෙර අකුසල කර්ම විපාකය කුමක්ද? යන්න සලකා බැලිය යුතුය.
අපදානපාලියේ සඳහන් කරන පරිදි බුදුපියාණන් වහන්සේ චිංචිමානවිකාවගෙන් අපහාස වින්දේ උන්වහන්සේ පෙර සංසාර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රති විපාකයක් හේතුකොට ගෙන බවයි.
පෙර ‘සම්බාභීතූ’ නම් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශාසන සමයෙහි ගෞතම බෝසතුන් ‘නන්ද’ නමින් සබ්බාභිතූ බුදුපියාණන් වහන්සේගේ සසුනේ පැවිදිව, රහත්ව සිටි තෙරුවන් වහන්සේට මේ මහණ තෙම සොරෙකි. දුස්සීලයෙකි. රැවටිලිකාරයෙකි ආදී වශයෙන් නින්දා අපහාස කළේය. එම අකුසල කර්මය හේතුකොටගෙන බොහේ කල් නිරා දුක් විඳ මිනිස් භවවල උපන් අවස්ථාවලදී ද නොයෙක් වාර ගණන් නින්දා අපහාස ලබමින් මේ මිනිස් භවය තුළදී බුදුබවට පත්ව එම අකුසල කර්මයේ විපාක වශයෙන් චිංචි මානවිකාව විසින් අපහාස කරනු ලැබුවාය.
දෙව්දත් තෙර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත්කිරීම පිණිස අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් දුනුවායන් යොදවන ලද අතර එසේ දේවදත්ත තෙරුන් දුනුවායන් යෙදවීමට උන්වන්සේ පෙර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයක් බව අපදාන පාලියෙහි සඳහන් වේ. උන්වහන්සේ පෙර භවයක කුඩා ගම් දරුවකුව ඉපදී සිටි අතර එක් දිනක් මහමඟ වැඩම කරන පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගලකින් ගැසූ බැවින් එම අකුසල කර්මය හේතුකොට නිරා දුක් විඳ බොහෝ සේ මේ ආත්මභවයේදී බුදුබවට පත් වූ පසු දේවදත්ත තෙර දුනුවායන් යොදා පරිනාර්වාණයට පත්කිරීම පිණිස උත්සාහ කරන ලදී.
දෙව්දත් තෙරුන් විසින් බුදුපියාණන් වහන්සේව පරිනිර්වාණයට පත්කිරිම පිණිස මහා ගල් තුළක් හිස මතට පෙරළීය. එම පෙරළා හරින ලද ගල් කුළෙන් ගල් පතුරක් තථාගතයන් වහන්සේ ගේ ශ්‍රීපාද පද්මයෙහි හැපී ලේ වැගිරීමක් නොවී කැටි ගැසීමක් පමණක් සිදුවිය. මෙයට උන්වහන්සේ පෙර කරන ලද අකුසල කර්ම විපාකයක් වශයෙන් අපදාන පාලියේ සඳහන්ව තිබේ. පෙර භවයකදී තම සොහොයුරාට අයිති ධනය අත්කර ගැනීම සඳහා තම සොහොයුරාව මරා පර්වත දෙකක් අතර දමා ගලකින් වසන ලදි. එම කර්මය හේතු කරගෙන එහි ප්‍රවෘත්ති විපාකය වශයෙන් දෙව්දතුන් විසින් පෙරළා හරින ලද ගලෙන් ගල් පතුරක් අවුදින් බුදපියාණන්ගේ පයෙහි හැපුණේය.
දෙව්දත් තෙරුන් විසින් සිදුකරන ලද අකුසල කර්ම අතර නාලාගිරි ඇතු කුපිත කරවා එවීමද බුදුපියාණන් වහන්සේ පෙර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයකි. බුදුපියාණන් වහන්සේ පෙර සංසාර භවයකදී හස්ත්‍යාරෝහකයෙක්ව ඉපදී මහමඟ වඩින පසේ බුදුපියාණන් වහන්සේ නමක් දැක උන්වහන්සේ වෙක ඇතෙක් කුපිත කරවා එවන ලදී. එම අකුසල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ භවයේදී නාලාගිරි ඇතුට රා පොවා කුපිත කරවා එවන ලදි.
දෙව්දත් තෙරුන් විසින් පෙරළු ගලින් ගැලවීගොස් බුදුසිරුරේ ශ්‍රීපාද පද්මයේ වැදුණු ගල් පතුර නි්සා එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදු නොවී කැටි ගැසීමක් පමණක් සිදුවිය. මේ හේතුව නිසා බුදුපියාණන් වහන්සේ කායික වශයෙන් වේදනාවක් උපන් නමුත් උන්වහන්සේට ප්‍රතිකර්ම කිරීම පිණිස ජීවක වෛද්‍යතුමන් ඉදිරිපත් විය. ඒ තුමා එම ස්ථානයේ තිබෙන අපවිත්‍ර ලෙය බැහැර කිරීම සඳහා සුළු සැත්කමක් කරන ලදී. එම සැත්කම කොට ජීවක තෙම ඇතුල්පුරයට ගිය අතර නැවත සවස ප්‍රතිකාර කිරීමට එන්නට නොහැකි විය. මෙයින් ද බුදුපියාණෝ මහත් වේදනාවකට රාත්‍රිය පුරාම පත්ව කල් ගත කරන ලදී.
මෙයට හේතුව ලෙස අපදානපාලියේ දක්වා ඇත්තේ පෙර දවසක බෝසතුන් අනිත්ථි ගන්ධ කුමරාව උපන් සමයේ ස්ත්‍රියක් කෙරෙහි කාමාශාවෙන් මත්ව නිරපරාධි පුරුෂයන් කඩුවකින් කප කපා යැමේ ප්‍රවෘත්ති විපාකය ලෙසය.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පලදුන් ප්‍රබල අකුසල කර්ම විපාකයන් අතර උන්වහන්සේට නිතර නිතර ඇති වූ හිසරුජාව සම්බන්ධ අපදානපාලියේ දක්වන්නේ උන්වහන්සේ පෙර භවයකදී කෙවුල් දරුවෙක්ව ඉපදී සිටියදී තම ඥාතීන් සමඟ මසුන් මරණ තැනට පැමිණ මසුන් මරණ ආකාරය දැක සන්තෝෂවීමත් මසුන් මැරීම යහපත් යැයි සිතීමත්, සතුට පළ කිරීමත් හේතු කරගෙන මේ භවයේදී එහි ප්‍රවෘත්ති විපාක වශයෙන් උන්වහන්සේට සුවනොවන හිසරුජාවක් ඇති වී වේදනා විඳීමට සිදුවිය.
බුදුපියාණන් වහන්සේට මහත් වේදනා ගෙන දුන් පිටරුජාවද පෙර භවයකදී උන්වහන්සේ අතින් සිදු වූ අකුසල කර්මයක ප්‍රතිඵලයකි. උන් වහන්සේ පෙර භවයක අඟුටුමිටි වාමන නමින් ඉපිද මල්ලවපොර තරගයකදී මල්ලවයකු උස්සා කොන්ද බිම ඇනීම නිසා මල්ලවයාගේ කොන්ද බිඳී ගිය අතර එම අකුසල කර්මයට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ බුදුභවයේදී සුවනොවන පිටරුජාවක් ඇති වී වේදනා විඳීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණය තෙක් හේතු වූ ලෝහිත පක්ඛන්දිිකා රෝගයද උන්වහන්සේ පෙර භවයකදී වෛද්‍යවරයකුව උපන්ව සිටුවරයකුට වමන විරේකයක් ආකාරේ විෂ බෙහෙතක් දුන් අතර එම පාප කර්ම හේතු කරගෙන බුද්ධත්වයට පත් මේ භවයෙහි උන්වහන්සේ ලෝහිත පක්ඛින්දිකා නම් දරුණු අතීසාර රෝගයකින් පිඩා වින්දේය.
අපදානපාලියේ සඳහන්ව ඇති බුදුපියාණන් වහන්සේට පෙර භවයන් තුළ උන්වහන්සේ අතින් සිදු වූ අකුසල කර්ම හා මේ භවයේදී ඒ සඳහා ඉදිරිපත් වූ ප්‍රවෘත්ති විපාකයන්ය. අප වැනි පාථග්ජන පුද්ගලයන්ට පමණක් නොව බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් වහන්සේලාට පවා පෙර සසර කරන ලද කර්මයන්ගෙහි විපාක විඳින්නට සිදුවේ.

බාහිරයේ යමක්‌ නැත බාහිරයේ යමක්‌ ඇති බවක්‌ මනසට දැනෙනවා පමණි

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

මා සරල උපමාවක්‌ කියන්න ද? ශීතකරණ තියනවා නේ ද? ශීතකරණයේ දොර අරින කොට ඇතුළේ බල්බ් එක පත්තු වෙනවා නේ. දොර ඇරලා තියෙනකම් ම මොකද වෙන්නේ? ලයිට්‌ එක පත්තු වෙනවා. දොර වහනකොට ම ලයිට්‌ එක නිවෙනවා. දොර වැසීමයි, ලයිට්‌ එක නිවීමයි දෙක එකටයි වෙන්නේ. දොර වහනකම් ම ලයිට්‌ එක පත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වහල නැති තාක්‌ ලයිට්‌ එක පත්තු වෙනවා. 

දොර වැහුවහම ලයිට්‌ එක ඇහැට පේන්නේ නැහැ. දොර වැහීමයි ලයිට්‌ එක නිවීමයි දෙක එකටයි වෙන්නේ. ඒ නිසා ඇහැට ලයිට්‌ එක නිවීම පෙනෙන්නේ නැහැ. දොර අරින්න පෙර ලයිට්‌ එක නිවිලයි තියෙන්නේ කියලා මේ ඇහැට පෙනෙනව ද? නෑ. දොර ඇරියහම ලයිට්‌ එක පත්තු වෙච්චි බව මේ ඇහැට පෙනෙනව ද? පෙනෙනවා. දොර වැහුවහම ලයිට්‌ එක නිවිච්චි බව මේ ඇහැට පේනවා ද? නෑ.

හොඳට බලන්න, මේ ඇහැට පෙනෙන්නේ දොර ඇරියහම ලයිට්‌ එක පත්තු වෙලා තියෙන බව විතරයි. දොර අරින්න පෙර ලයිට්‌ එක නිවිච්ච බව මේ ඇහැට පෙනෙන්නේ නැහැ. දොර වැහුවහම ලයිට්‌ එක තිබෙන බව මේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඔය දෙක ම දකින්න ඕනේ නුවණින්. දොර ඇරියහම ලයිට්‌ එක පත්තු වෙලා, දොර වහපුවාම ලයිට්‌ එක නිවෙනවා, කියලා දන්නේ නැති, නුවණක්‌ නැති කෙනෙක්‌ වුණොත් එයා පැත්තකට ගිහිල්ලා සිහි කරන්නේ මොකක්‌ ද? පත්තු වෙලා තිබුණු වෙලාවෙ තිබුණු අත්දැකීම නේ ද තාම සිහි කරන්න තියෙන්නේ මෙයාට? ඒ කියන්නේ දොර වැහුවට පස්‌සෙත් මෙයා දැන් මේ ශීතකරණයේ ලයිට්‌ එක පත්තුවෙලා තියෙනවාමයි කියලා හිතාගෙනමයි ඉන්නේ.

හොඳට බලන්න. තේරෙනව ද කියන එක?

දැන් මේ ලයිට්‌ එක පත්තු වෙලා තියෙනවා කියන සංඥවෙන් මයි, අදහසින්මයි දොර අරින්න එන්නේ. දොර ඇරපු ගමන් ම තමන් ගේ අදහසමයි තහවුරු වෙන්නේ. දොර අරින කොට ම ලයිට්‌ එක පත්තු වෙලා පෙනෙන්නේ. එයා හිතනවා මෙච්චර වෙලා ම පත්තු වෙලා තිබුණු එක තමයි මට හම්බ වුණේ කියලා. දොර ඇරපු නිසයි පත්තු වුණේ කියලා දන්නේ නැහැ. දැන් දොර වහන්නෙත් ලයිට්‌ එක තියෙනවා කියල මයි. ලයිට්‌ එක පත්තු වෙලා තියෙනවා කියල ම හිතාගෙනයි දොර වහන්නේ. දැන් පැත්තකට ගිහිල්ලා ඉන්නෙත්, ලයිට්‌ එක පත්තු වෙලා තියෙනවා කියන අදහසින්. කොයි වෙලාවක හරි ආයෙ ශීතකරණයේ දොර අරින්න එන්නේ පත්තු වෙලා තියන ලයිට්‌ එක බලන්න මයි, පත්තු වෙලා තියෙන එක දකින්න මයි. දොර අරිනකොට ම ඔප්පුවෙලා පේන්නේත් තමන් ගේ අදහස මයි. 

දැන් මෙයාට ලයිට්‌ එක නිවිච්ච වෙලාවක්‌ හම්බ වෙනව ද? නෑ. දොර ඇරයත් දොර වැහුවත් මේ ලයිට්‌ එක පත්තු වෙලා ම නො වෙයි ද? එයාට පත්තු වෙලා නො වෙයි ද හම්බ වෙන්නේ? ඇත්ත කවදාවත් හම්බ වුණා ද එයාට? නෑ. හිතෙන් හිතන කොටත් එයාට හම්බ වෙන්නේ මේ ශීතකරණයේ ආලෝකයක්‌ තියෙනවා. ලයිට්‌ එකක්‌ තියෙනවා, කියලා නො වෙයි ද? හිතෙන් හිතුවත්, ඇහෙන් දැක්‌කත් හම්බ වෙන්නේ කොහොම ද? ඇයි දොර අරිනකොටම ඇහෙන් පෙනෙන්නේත් ආලෝකවත් වන බවමයි. දොර වහලා පැත්තකට ගියහමත් හම්බ වෙන්නේ ඒක මයි. ඇයි? හිතන්න තියෙන්නේ ඇහෙන් දැකපු එක විතරයි නේ. එයා හිතෙන් හිතුවත්, ඇහෙන් බැලුවත් එයාට හම්බ වෙන්නේ ආලෝකය ඇති බව ම මිසක ශීතකරණයේ ලයිට්‌ එක නිවෙන බව මොන ම වෙලාවක වත් හම්බ වෙන්නේ නැහැ. 

ඔන්න ඕකට තමයි නිත්‍ය සංඥව කියලා කියන්නේ. දැන් එයාට අනිත්‍යයක්‌ එහෙම හම්බ වෙනව ද? නැහැ. නිත්‍ය සංඥව ඇති වෙලා තියෙන හැටි පෙනෙනවා ද හොඳට?

දැන් එයාට අනිත්‍යය කියලා දෙන්න වුණොත් මොකක්‌ ද කියන්න වෙන්නේ? දැන් ඔන්න ඔය විදිහට කාලයක්‌ ගිහිල්ලා, බලලා- බලලා- බලලා ම ශීතකරණයේ දොර ඇරියත් දොර වැහුවත් පැත්තකට ගියත් එයා ගේ ලෝකයේ තියෙන ශීතකරණයේ නම් ලයිට්‌ එක පත්තු වෙලා මයි තියෙන්නේ. කවුරු හරි කිව්වොත් දොර අරින වේලාවට විතරයි ලයිට්‌ එක පත්තු වෙන්නේ, දොර අරින්න පෙරත් ලයිට්‌ එක නිවිලා, වැහුවට පස්‌සෙත් ලයිට්‌ එක නිවෙනවා කිව්වොත්, "බොරු කියන්න එපා" කියයි. කියන්නේ නැද්ද? මට බොරු කියන්න එපා. එන්න මම පෙන්වන්නම්. කියලා දොර ඇරලත් පෙන්නයි. බලන්න නැද්ද කියලා. පෙන්නන්නේ නැති වෙයි ද? ඉතින් එයා දොර අරින කොට ම ආපහු පත්තු වුණා. අපිට එයාට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වෙයි ද කවදා වත්? ඇත්ත ම දේ ඒක වුණත් දැන් එයාට අපි කොහොම ද ඔප්පු කරලා පෙන්නන්නේ මේක? පුළුවන් ක්‍රමයක්‌ තියෙනව ද?

බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඔන්න ඔය ඇත්ත ලෝකයට කියන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "මේ ආලෝකය කියන එක පෙර නො තිබීම හටගෙන ඉතිරි නැති ව නැති වෙනවා" කියලා. 

ශීතකරණයේ දොර අරින්න පෙර ලයිට්‌ එක තිබුණත් නො වෙයි. දොර වැහුවට පස්‌සේ තියෙන වත් නො වෙයි. දොර අරින නිසා ම පත්තු වෙනවා. දොර වහන කොට නිවෙනවා. පෙර නො තිබී මයි පත්තු වෙන්නේ. ඉතුරු නැතු ව ම නැති වෙනවා. "පෙර නො තිබීම හටගන්නවා. ඉතුරු නැති ව නැති වෙනවා" කියන එකෙන් කියනවා "තිබුණා නො වෙයි තියෙනවා නො වෙයි" කියන එක.

යකඩ කෑලි දෙකක්‌ එකට ගැටෙන කොට සද්දයක්‌ ඇති වෙනවා නම් ගැටෙන්න පෙර සද්දේ තිබුණා ද? තිබුණා නො වෙයි. ගැටිලා ඉවර වුණාම සද්දේ නැති වෙනවා නම් සද්දේ තියෙනවා නො වෙයි, තිබුණා නො වෙයි, තියෙනවා නො වෙයි. 

"තිබුණා නො වෙයි" කියන කොට අතීතය අතහැරෙනවා. "තියෙනවා නො වෙයි" කියනකොට අනාගතය අතහැරෙනවා. 

තිබුණා නො වෙයි. තියෙනවා නො වෙයි ගැටීම නිසා හටගන්නවා. හේතු ගැටීම නිසා සද්දය ඇති වෙනවා. ඒ වගේ ශීතකරණයේ ලයිට්‌ එක ගැන උපමා කතාවෙ දි දොර අරින්න පෙර ආලෝකය තිබුණත් නො වෙයි, දොර වැහුවහම තියෙනවත් නො වෙයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙන කොට නැති වෙනවා.

කොහොම ද ශීතකරණයේ ක්‍රියාව ඔප්පු කරන්නේ? ඔය දොර වහන කොට දොර අරින තැන තියනවා එබෙන වර්ගයේ ස්‌විච් එකක්‌. දොර වහන කොට මෙන්න මේ ස්‌විච් එක මෙන්න මෙහෙම එබෙනවා. එතකොට ලයිට්‌ එක නිවෙනවා. දොර ඇරලා තියෙද් දී ම ස්‌විච් එක අතින් ඔබලා පෙන්නන්න පුළුවන්. දොර අරින කොට මේ ස්‌විච් එක අතඇරෙනවා, එළියට එනවා. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවා කියලා දැන් ඇස්‌පනාපිට පෙන්නුවා නේ. එතකොට එයාට පිළිගන්න වෙනවාද නැද්ද? පිළිගන්න වෙනවා.

ඔන්න ඔය වගේ දෙයක්‌ තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ - වස්‌තුවක්‌ දකිනවා කියලා කියන්නේ, සිත් උපදින්න පෙර ගැන අපට නුවණක්‌ නෑ. යම් වස්‌තුවක්‌ දකින වේලාවෙ දී විතරයි අපි දන්නේ. ඒ ටික දකින්න පෙරත් දැක්‌කට පස්‌සෙත්, මේ "ධර්මයෝ" ඉතිරි නැති ව ම නැති වෙන බව අප දන්නේ නැති ව, ඇති බව තුළ ම විතරයි මේ අපි ඉන්නේ. අපට ඇහෙන් දැක්‌කත්, පැත්තකට ගියත්, හිතෙන් හිතුවත්, මේ දේවල් ඔක්‌කොම ඇති බවට හම්බ වෙනවා. අර ශීතකරණයේ ලයිට්‌ එක වගේ. 

ඉතින් එතකොට අර ශීතකරණයේ දොර ඇරල ම ලයිට්‌ එක කියලා පෙන්නුවා වගේ බුදුරජාණන් වහන්සේ හේතු ටික පෙන්නනවා. "චක්‌ඛුං පටිච්ච රූපෙච උප්පඡ්ජති චක්‌ඛු විඥනං තින්නං සංඝති ඵස්‌සෝ, ඵස්‌ස පච්චයා වේදනා" කියලා. මේ ස්‌විච් එක දාලා අතින් ඔබලා පෙන්නනවා, මෙන්න මෙහෙමයි, යම් වස්‌තුවක්‌ පෙනෙන්නේ. මේ හේතු ටික නැති වෙන කොට පෙනෙන දේ නැති වෙනවා නම්, පෙනෙන දේ තිබුණා නො වෙයි. තියෙනවා නො වෙයි. පෙර නො තිබී ම හටගෙන නැති වෙනවා කියලා. මේ හේතුඵල දහම තුළ දී දැන් අපට වෙලා තියෙන දේ මෙන්න මෙහෙම එකක්‌ කියලා හොඳට මතක තබාගන්න ඕන. 

ශීතකරණයේ දොර ඇරියත් නැතත්. ලයිට්‌ එක පත්තු වෙලා ය තියෙන්නේ කියන මනසකින් කෙනෙක්‌ පැත්තකට වෙලා ඉන්නවා නම්, එයාට එහෙම අදහසක්‌ තිබුණාට ලයිට්‌ එක නිවිලා නේ තියෙන්නේ. පැහැදිලියි නේ ද?

ඒ වගේ අප ඇහෙන් දැක්‌කත් නැතත්, දැකපු දේවල් තියෙනවා කියන තැනකත්, අප මෙහෙම හිතාගෙන ඉන්දෙද්දිත්, දැකපු දේවල් නිරුද්ධ වෙලා. ඒ නිරුද්ධ වෙච්චි දේවල් ඇති බවට මනසින් සිහි කර, කර මෙහි "තියෙනවා" කියන මෝඩකමයි දැන් අපිට තියෙන්නේ. ඒකයි මේ අපි කපන්න හදන්නේ. 

ගෙදර කියලා සිහි කරන කොට, "නෑ එහෙ තියෙනවා නො වෙයි, මෙහෙ තියෙන්නේ කියලා" අපි මේ ඔප්පු කරන්න යන්නේ ඒකයි. 

දැන් මේ ගෙවාගන්න හදන්නේ. - තේරෙනව ද මා මේ කියන එක - ශීතකරණයේ දොර ඇරියත් වැහුවත් ආලෝකය පත්තු වෙලාමයි තියෙන්නේ කියන මානසික මට්‌ටමක්‌ තියාගෙන, කෙනෙක්‌ පැත්තකට වෙලා ඉන්නවා. (දොර වහලයි තියෙන්නේ). එයා අර පරණ ආශ්‍රව මත, "ලයිට්‌ එක පත්තු වෙලා තියෙන්නේ" ය කියන කොට, "නෑ. දැන් ඒක නිවිලා. පත්තු වෙලා තියෙන්නේ කියලා හිතෙන්නේ මට නේ? කියලා එයා නැවත නැවත බලනවා වගේ, එතැන මැකෙන කොට තමයි මෙතැන ඇත්ත කියන එක මෙයාට පෑදෙන්නේ. මේ මොහොත වෙන කොට "ඇත්තට ම නිවිලා තමයි" කියන තැනට එන්නේa. 

අපි ඇහෙන් දැක්‌කත් නැතත්, දැකපු අය ඉන්නවා, දැකපු දේවල් තියෙනවා කියන මට්‌ටම, අර ශීතකරණයේ ලයිට්‌ එක දොර ඇරියත් නැතත් තියෙනවා කියන මට්‌ටම වගේ. 

දැන් අපි දන්නවා. පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැති ව නිරුද්ධ වුණා නම්, දැකපු දේවල් මේ වන විට නිරුද්ධ වෙලා. එහෙනම් "නැති වෙච්ච දේ ඇති බවට හම්බ වෙන්නේ අපේ මනසටයි" කියලා අපි අනුමානෙට දන්නවා. 

ඒ නිසා ගෙදර කියලා සිහි වෙන කොට, නුවණින් බලනවා. සිහි වෙන්නේ මෙතැනින් නේ. (මනසට නේ). "නෑ ඒ වුණාට එහේ තියෙන්නේ" කියලා සිහි වෙන්නේත් මෙතැනට නේ ද?

ආපහු බලනවා. කොහොම හරි එහේ තියෙන්නේ කියන හැඟීම හිතට අල්ලාගෙන ඒ හැඟීම ගෙවෙනකම් ම "මෙහේ මෙහේ" කිය කියා බලනවා. ඔහොම ටික දවසක්‌ බලනකොට වෙන දා තරම් අමාරු නෑ. එහේ තියෙන්නේ ම කිව්වත්, මේ වගේ රළුකමෙන් හිටින්නේ නැහැ. 

එහේ තියෙන්නේ කියන ගතිය ඔන්න ටිකක්‌ අඩු වෙලා පෙනෙනවා. ආයෙත් සිහි වෙන්න හැදුවොත් "නෑ මේ "මනස" නේ." එහෙ තියෙන්නේ කියලා සිහි වෙන්නේ මෙහෙට නේ. "නෑ ඒ වුණත් එහේ තියෙන්නේ" කියලා හිතෙන කොට ම, "නෑ ඒ වුණත් එහෙ තියෙන්නේ" කියන ගතිය ද මෙහෙ නේ. ඒ විදියට හැඟීමෙන් හැඟීම අල්ලන්න පස්‌සෙන් පස්‌සට යනවා. ඔහොම ටික දවසක්‌ කරන කොට වෙනද තරම් බාහිරට හිත නැමිලා, ඇදිලා පවතින ගතිය අඩු වෙනවා. ඊට පස්‌සේ තව ටිකක්‌ දවස්‌ යන කොට ගෙදර කියලා සිහි වන්නේ "විතර්කයක්‌" නේ. කියලා වෙහෙසක්‌ නැතුව ම තමන් ගේ පැත්තට හැරෙනවා. එහෙට මනස නැමෙන්නෙ ම නැති ව යනවා. ආපහු ටික දවසක්‌ යන කොට සිහි වෙනකොට ම මේක විතර්කයක්‌ නේ කියලා සිහි කරගන්න පුළුවන් වුණා ම විතර්කයන් නේ කියන එක දැනිලා එහෙට යොමු වෙන්නේ ම නැතුව නතර වෙනවා. 

බණ අසනවාද? ධර්මය ශ්‍රවණය කරනවාද?

ධර්මය ශ්‍රවණය කිරීම එසේත් නැතිනම් ධර්ම දේශනාවකට සවන් දීම බෞද්ධයාට හුරුපුරුදු දෙයකි. විවිධ අවස්ථාවන්හිදී විහාරස්ථානවලදී මෙන්ම නිවෙස් වලදී ද ධර්ම දේශනා සිදු කෙරෙතත් ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ බෞද්ධ ජනතාව තුළ ඇති අවබෝධය ඉතා අල්පය. එම නිසාම කෙතරම් ධර්ම දේශනා බෞද්ධ සමාජය තුළ සිදුවුවත් ඉන් මහඟු ඵල ලබා ගැනීමේ අවස්ථාව බෞද්ධයාට නොලැබී ගොස් තිබේ. මේ නිසා ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ විමසා බැලීම කාලෝචිත යැයි සිතමි.
“සුනාථ ධාරෙත චරාථ ධමෙම” යනුවෙන් බුදුන් වහන්සේ විසින් දේශිත ධර්ම පාඨය තුළ ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ පුළුල් අදහසක් ගැබ් වී තිබේ. මෙහි “සුනාථ” යන්නෙහි අර්ථය හොඳින් ශ්‍රවණය කරන්න යන්නයි. ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නේ කෙසේද යන්න බුදුසමය තුළ මෙසේ දැක්වේ.
“විහාය වික්ඛෙපමලං අට්ඨ කත්වාන සාධුකං සද්ධම්ම සවණං එත්ථ සමණන්ති පවුච්චති”
සිතෙහි පවතින කලබලකාරී අවුල් සහගත ක්ලේශයන් දුරුකොට ධර්මයෙහි පදයක් පදයක් පාසා අර්ථයන් මෙනෙහි කරමින් ධර්මයම අරමුණු කොට ඒ කෙරෙහිම යොමු වූ සිතින් සාවධානව ධර්මය ශ්‍රවණය කළ යුතු බව එහි අදහසයි. පෘථග්ජන සිත බෙහෙවින් කලබලකාරීය. එය හැමවිටම අවුල්සහගතය. එසේ නමුත් හොඳින් ධර්මය ශ්‍රවණය කිරීමට නම් මෙම නොසංසුන් සිත පාලනය කොට සංසුන් කරගත යුතුය. එසේම ධර්මය පදයක් පදයක් පාසා එහි අර්ථය විවරණය කොට මෙනෙහි කළ යුතුය. එසේම ධර්මය දැන ගැනීමේ බලවත් ඕනෑකමක් ඇතිකර ගනිමින් ඒ අරමුණින්ම සංසුන් වූ සිතින්, නිදහස්ව ධර්මය ශ්‍රවණය කළ යුතුය.
එහෙත් වර්තමානයේ ධර්මය ශ්‍රවණය කිරීම “බණ ඇසීම” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ. එහිදී එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද වෙනස් වී ඇත. එනම් බණ ඇසීම සඳහා ඉහත කී එකදු අවශ්‍යතාවක්වත් නොපවතී. ගුවන් විදුලිය, රූපවාහිනිය, හඬපට, සීඩී තැටි ආධාරයෙන් අවශ්‍ය වේලාවක කැමති පරිදි ඕනෑතරම් බණ ඇසිය හැකිය. නමුත් ඉන් බණ ඇසිය හැකි වුවත් නිසියාකාරයෙන් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබේදැයි යන්න සැක සහිතය.
එක් උදාහරණයක් පවසතොත් රූපවාහිනිය මඟින් ධර්මය ශ්‍රවණය කිරීමේ දී එහි දර්ශනය මොහොතින් මොහොත වෙනස් වන අතර ඒ හා සමගාමීව ධර්මය ශ්‍රවණය කරන්නාගේ දෑස ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ සිතේ එක්තැන් බව දුරලයි. විටක ධර්ම දේශකවරයාගේ සමීප රුව දක්වයි. තවත් විටක අවට සුන්දරත්වය පෙන්වයි. තවත් විටක ධර්මය ශ්‍රවණය කරන පිරිස පෙන්වයි. ඒ අතර දේශපාලනඥයෙකු සිටියහොත් ධර්ම දේශකවරයාට වඩා දේශපාලනඥයා පෙන්වයි. මේවා දකින ශ්‍රාවකයාට රූපවාහිනිය මඟින් ධර්මය ශ්‍රවණය කිරීම තබා බණ ඇසීමවත් නිසිලෙස සිදු කළ හැකි දැයි යන්න සැක සහිතය. එසේම පොදුවේ රූපවාහිනිය හෝ ගුවන් විදුලිය මඟින් විකාශය කරනු ලබන ධර්ම දේශනා අතරතුර වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම හේතුවෙන් ධර්මය ශ්‍රවණය කරන්නාගේ අවධානය වෙනතක යොමු කරයි.
නිවසක පැවැත්වෙන ධර්ම දේශනාවක දී වුවද ධර්මය ශ්‍රවණය කරන්නන්ගේ සිත් සංසුන් නැත. නිවෙස් හිමියා කල්පනා කරනුයේ පැමිණ සිටින පිරිසට සංග්‍රහ කිරීම පිළිබඳවය. පැමිණ සිටින පිරිසගේ සිත් තුළ ක්‍රියාත්මක වනුයේ ඉක්මනින් නිවෙස් හිමියා හා කතාබස් කොට පිටව යෑමේ අදහසයි. මේ නිසා වත්මනෙහි ධර්ම දේශනා කෙතෙක් සිදු වුවත් හොඳින් මනා ලෙස ධර්මය ශ්‍රවණය කරන්නෙකු සොයා ගැනීම උගහටය. මේ පිළිබඳ බෞද්ධයා අවබෝධයෙන් හා සිහි නුවණින් ක්‍රියා කළ යුතුව ඇත.
ධර්මය ශ්‍රවණය කිරීම බෞද්ධයන්ගේ පරම අපේක්ෂාව වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය අංගයකි. නිර්වාණගාමී ගමන් මගෙහි පළමු පියවර වන සෝවාන් ඵලයට ළඟාවීම සඳහා අංග හතරක අවශ්‍යතාව ඉස්මතු කොට ඇත. ඒවානම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝමනසිකාරය හා ධම්මානු ධම්ම පටිපත්තිය යන කරුණු හතරයි. ඒ අනුව පැහැදිලි වනුයේ කොතෙක් දානාදී පින්කම් කළත් භාවනා වැඩුවත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් තොරව මාර්ගඵල ලැබිය නොහැකි බවයි.
ධර්මය ශ්‍රවණය කිරීම නිර්වාණය හෝ මාර්ගඵල සඳහාම නොවන බව මංගල සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි දෙලොවම දියුණුව සලසන මංගල කරුණක් ලෙස “කාලේන ධම්ම සවණං” එනම් සුදුසු කල්හි ධර්මය ශ්‍රවණය කිරීමෙන් පරලොව පමණක් නොව මෙලොව දියුණුව ද සැලසෙන බව පෙන්වා දී තිබේ. මෙහි සුදුසු කල්හී යන්නෙහි අර්ථය කිසියම් නිශ්චිත කාලයක් නොව හොඳින් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අප මුලින් කී පරිදි සංසුන් සිත හා අනෙකුත් අවශ්‍යතාවන් සම්පූර්ණව පවතින කාලය ලෙස සැලකිය හැකිය.
ධර්මය ශ්‍රවණය කිරීම පුණ්‍ය ක්‍රියාවකි. බෞද්ධයා විසින් සිදුකළ යුතු පුණ්‍ය ක්‍රියා දහයකි. ඒවා දස පුණ්‍ය ක්‍රියා නමින් හඳුන්වයි. ඒ අතර සද්ධර්මය ශ්‍රවණය කිරීම එක් පුණ්‍ය ක්‍රියාවක් ලෙස ඇතුළත් වීමෙන්ම ධර්මය ශ්‍රවණය කිරීමෙහි වටිනාකම හා අගය කෙතරම්ද යන්න අවබෝධ කරගත හැකිය. එසේම බුදුසමය ශ්‍රද්ධාවන්තයා හැඳින්වීමට භාවිත කරනුයේ “දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්ඡති” යනුවෙනි. එනම් සද්ධර්මය අසන්නට කැමති තැනැත්තා ශ්‍රද්ධාවන්තයා බවයි. ශ්‍රද්ධාවන්තයා ධර්මය ශ්‍රවණය කිරීමේ දී ධර්ම දේශකවරයා පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් ඇති කර ගනී. එය හොඳින් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍යම අංගයකි. වර්තමානයේ ධර්මදේශකයන් කෙරෙහි එවන් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් බෞද්ධයන් තුළ පවතීද යන්න ගැටලුවකි.
ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ අංගුත්තර නිකායේ සීති වග්ගයේ දැක්වෙන මෙම අදහස් බෞද්ධ සමාජය තුළට ලබා දිය යුතුමය. එහි ආවරණ සූත්‍රයෙන් දැක්වෙන පරිදි කරුණු හයකින් සමන්විත පුද්ගලයා කොතෙක් ධර්මය ශ්‍රවණය කළ ද නියම මාර්ගයට පැමිණීමට නොහැකි වෙයි. ඒවානම් කර්මාවරණයෙන් යුක්ත වීම, ක්ලේශාවරණයෙන් යුක්ත වීම, විපාකාවරණයෙන් යුක්ත වීම, ශ්‍රද්ධාව නොමැති බව, කුසල් කිරීමට අකැමැති බව, දුබල නුවණ යන කරුණු හයයි. එසේම අංගුත්තර නිකායෙහි සීති වග්ගයෙහිම සුස්සූසති සූත්‍රයෙහි කරුණු හයකින් සමන්විත පුද්ගලයා කොතෙක් ධර්මය ශ්‍රවණය කළ ද යහපත් මාර්ගයට පැමිණීමට නොහැකි බව පෙන්වා දෙයි. ධර්මය විනය දේශනා කරන අවස්ථාවේ සාවධානව නොඇසීම, මනා ලෙස නොඇසීම, සිත යොමු නොකිරීම, නිරර්ථක දෙය ගැනීම, අර්ථවත් දෙයෙහි නොඇලීම, අනුලෝමික ඉවසීමෙන් බැහැරවීම එම කරුණු හයයි.
මේ අනුව අවසාන වශයෙන් බෞද්ධයාගෙන් ඉල්ලා සිටිනුයේ තමා ධර්මය ශ්‍රවණය කරනවාද එසේත් නැතිනම් බණ අසනවාද යන්න තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙසයි. එහිදී බෞද්ධයා තම ස්වභාවය තේරුම් ගෙන බණ ඇසීමෙන් ඔබ්බට ගොස් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා යොමු විය යුතුව පවතී. ඒ සඳහා මෙම ලිපියෙහි දැක්වූ කරුණු කිහිපය පූර්විකාවක් ලෙස සලකමි. ඒ අනුව ක්‍රියා කොට හොඳින් ධර්මය ශ්‍රවණය කොට ධර්මය අවබෝධ කොටගෙන දෙලොවම දියුණුව සලසා ගැනීමට තෙරුවන් සරණින් බෞද්ධයාට ශක්තිය ධෛර්යය මෙන්ම අවබෝධය ද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

සංසාර ජීවිතය සාහසික මායාවකි

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

අමෘත අමාමහ නිර්වාණය ඇත්තේ මේ විප්‍රකාරයන්ගෙන් ගහන වූ අනන්ත පීඩාවන්ට කෙලෙස්‌ උල්පත් ඇත්තාවූ මේ ලෝකය තුළ නොවේ. පින්වත් යෝගාවචරයාට ඒ උතුම් අවේදයිත සුවය හමුවන්නේ ලෝකයෙන් එතෙරදීය. එනම් සකල විධවූ ක්‌ලේශයන් යළිදු කිසිදා නූපදින ආකාරයෙන් දවා අළු කළ තැනදීය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කෙතරම් නම් අසිරිමත් වීද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතද එමෙන්මය. මහා අරහත් මුනිවරුද එලෙසින්ම අසිරිමත් ජීවන දසුන්ම ඇති අය වෙත්. එහෙත් උන්වහන්සේලාගේ ජීවිත පහන්ද මරු සුළඟින් නිවී ගියේය. එමෙන්ම උන්වහන්සේලාගේ ජීවිත වෙතද ජරාව හා ව්‍යාධිය ගලා ආවේය. එහෙත් අරහත් බවට පැමිණ වදාළ හෙයින් උන්වහන්සේලාට එයින් දැනුණු කිසිදු මානසික වේදනාවක්‌ නොවීය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාතික දුකද බියකරු ප්‍රපාතයක්‌ වන්නා සේම ජරා දුකද එබඳුම භයංකරවූ ප්‍රපාතයක්‌ බව දේශනාකොට වදාළ සේක.

ජරාව යනුවෙන් හඳුන්වන්නේ අනෙකක්‌ නොවේ. මහලු බවට පත්වීමයි. බොහෝ කල් ඉක්‌මයාමයි. මේරීම හා පැසවීමයි. එසේත් නැත්නම් ශරීරයේ සියල්ල දිරාපත්වීමයි. මේ මහා විශ්වය තුළ ජීවනය ලබන සියල්ලන්ම ඒ ජීවනය ලද වේලේ පටන්ම මොහොතක්‌ මොහොතක්‌ පාසාම ගොදුරුවන්නේ මේ ජරා ගින්නටය. ජාති දුක මෙන්ම ජරා දුකද සත්වයාට මහත් භයංකාර වූ ප්‍රපාතයක්‌ මෙන් වන්නේ කුමක්‌ නිසාදැයි ඔබට කල්පනා කළ හැකිද? මූලික වශයෙන්ම එය සත්වයාට මහා දුකක්‌ වන්නේ ඒ තුළ එයින් බේරී නික්‌ම පලායාමට කිසිදු මගක්‌ නැති නිසාය. එනම් මේ ජරා දුක හා අසරණකමම බැඳී වෙලී පවතින නිසාය.

කවරක්‌ වුවද ජරාවට පත්වීමෙන් මුලින්ම සිදුවන්නේ එහි ප්‍රකෘති සෞන්දර්යය විනාශයට පත්වී යාමය. එනම් සියල්ල එකම විකෘතියක්‌ බවට පත්වෙයි. පෙර තිබූ තත්ත්වයෙන් බලාපොරොත්තු නොවූ අපේක්‌ෂා නොකළ තත්ත්වයකට පත්වෙයි. මෙය සැබවින්ම පුහුදුන් සත්වයාට ඉහිලිය නොහැකි තරම් වූ දුක්‌ වේදනා ගෙන එන්නේය.

ජරා දුකට පත්වීම තුළින් ජීවිතය තුළදී පෙර ලැබුණු ජීවන වරප්‍රසාද සත්වයන්ට යළි යළිදු කිසිසේත්ම ලැබෙන්නේ නැත. ඔබ ඔබේ ජීවන මග මතින් මොහොතක්‌ පුංචි කාලයට පියමන් කරන්න. එදා ඔබේ රූපය කොතෙක්‌ නම් සියුමැලි රූප සෞන්දර්යයකින් යුක්‌ත වූවේද? ඒ රූපයට ආදරය කළ, ආශා කළ කොතෙක්‌ නම් අය ඔබ සෙනහසින් වැළඳ ගත්තේද? එහෙත් එයින් දශකයක්‌ පමණ, දශක දෙකක්‌ පමණ ඉක්‌ම ගිය තැනදී ඔබ කෙරෙන් ඒ සියල්ල ඈත්වී ගියේ කොතරම් නම් වේගයකින්ද? දැන් ඔබ වෙනස්‌ ජීවන ස්‌වරූපයකට පත්වී ඇත. තවත් මොහොතකින් තවත් සැටියකය. ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ මේ ආදී වශයෙන් මොහොතක්‌ නෑර ඔබගේ චෛතසික සේම රූපයද එකිනෙකට වෙනස්‌ සැටියක්‌ බවට පත්වන්නේය. මේ ජීවිතය ජරා ගින්නට ගොදුරුවන සැටිය. මෙය ලොව කවරකුට වුවද ගෙන දෙන්නේ දුක්‌ වේදනාවක්‌මය. හුදෙක්‌ම ඒ අනිත්‍යතාවය අහිමිවීමට, භංගත්වයට මුහුණදීමෙන් සත්වයාට ලැබෙන අමිහිරි සිත් පහළ වීම නිසාය.

තුන් ලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ ජීවත්වූ භද්‍රවතිකා ඇතින්න ඔබට සිහිපත් කළ හැකිද? ඇගේ තුරුණු කාලය බෙහෙවින් විසිතුරු බවට පත්වී, ඈ තුළ වූ මහත් ශක්‌තියෙන් කොසඹෑ නුවර උදේන රජුට යුද්ධවලදී විශ්මය ජනක ජයග්‍රහණය ගෙන ආවාය. එහෙත් හෙවණැල්ලක්‌ මෙන් කාලය හා අත්බැඳ පැමිණි ජරා දුක ඈ තුළ වූ ඒ විස්‌කම් සියල්ල නිමා කළේය. අන්තිමට කවරකුගේවත් හව්හරණක්‌ නොලද භද්‍රවතිකා ඇතින්නට ඉන්න හිටින්නට පවා තැනක්‌ නැතිවිය. කෑමට පවා නිශ්චිත අහරක්‌ පවා නොලත් ඈ මහලු වියෙන් දිගු කොටසක්‌ ගත කළේ සා පවසින්ය. දිනක්‌ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස කොසැඹෑ නුවර වීදින්හි වඩින සඳ භද්‍රවතිකා සම්මා සම්බුදුන් වෙත පැමිණ බුදු සිරිපා අභිමුව වැඳ වැටී ජරාවත් සමගම තමා වෙත ලැබුණු දුක්‌ අඟවා සිටියා. බුදුපියාණන් වහන්සේගේ පිළිසරණය මත ඇයට සැනසීම ලැබිණ.

අද ලෝකය දෙස මදක්‌ බලන්න. ලෝකයම බලන්නද වුවමනා නැත. ඔබ ඔබ ජීවත්වන ප්‍රදේශය, ගම, නගරයට මඳක්‌ සිත යොමන්න. ඒවායෙහි ජරා ගින්නට බිලිවී සිටින්නන් කොතෙක්‌ නම් සිටිනවාද? තුරුණු කාලවලදී ඔවුනගේ ජීවිත කෙබඳුවූ සෞන්දර්යන්ගෙන් පිරී තිබෙන්නට ඇතද? ඔවුන්ගේ ලෞකික සතුට තර කළ හිමිවීම් ඔවුනට කොයි තරම් ලැබෙන්නට ඇත්ද? ඒත් ඒ සියල්ල අද විශ්ව නියාමය විසින්ම ඔවුන්ගෙන් උදුරාගනු ලැබ තිබේ. එදා දිගට තිබූ නීල වරල්, මුතුකැට වන් දත්, වර්ණකාන්තියෙන් දිලිණු මුහුණු අත්පා අඟ පසඟ මෙකල එකම විකෘතීන්ය. ජරාව විසින් සියලු දේ ගිල ගත් පසුව භයානක හුදෙකලාවක තනිවී සිටින ඒ බොහෝ දෙනකු ඇත්තේ මරණයේ බලාපොරොත්තුව පමණෙකි. බොහෝ විට ඔවුහු ඒ සුන්දර අතීත සිහිකරති. එතෙකුදු වුවත් ඒවා මේ ජීවිතයේදී නම් ඔවුන් වෙත යළිත් කවරදාකවත් නොඑන වසන්තයන් පමණකි. අවසානයේ ඉතිරිවන්නේ මතකයන්ගේ වේදනා පමණි.

මේ සත්වයාට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන බුදුපියාණන් වහන්සේ වදාළ ජරාවට පත්වීම නම් සංසාරික ප්‍රපාතයෙහි තවත් ලක්‌ෂණයකි. එනම් බොහෝ දේ ළඟාකරදී විශ්ව නීතිය විසින්ම නැවතත් උදුරා ගැනීමයි. ඒ අනුව ඔබ මේ ආ අති දීර්ඝ, අනවරාග්‍ර සංසාර ගමන තුළදී කොපමණ නම් විසිතුරුවූ රූප සෞන්දර්යයන් ලබන්නට ඇත්ද? රාජකුමාරවරුන්, කුමාරවරියන් ලෙස අප්‍රමාණවම අභිසෙස්‌ ලබන්නට ද ඇත. නමුත් ඒවාට සිදුවූයේ කුමක්‌ දැයි මොහොතකටවත් ඔබ කල්පනා කර තිබුණාද? ඒ හැම දෙයම හැමදාම කාලයට තෙමී ජරාවාසවී සදාතනිකවම ගරා වැටිණ. අහිමිවීමේ වේදනාව පමණක්‌ ඔබ සිත් තුළ ශේෂ වූයේය. සංසාරය තුළ මහා දිගු ගමනක යෙදී සිටින ඔබ මේ ජරාව නම් ප්‍රපාතයට ඇද වැටුණු කල තවත් අතිශය අමිහිරි දුකකට මුහුණපාන්නේය. එනම් මෙහිදී සෙසු ලෝකයා අතර ඔබ අප්‍රිය වන තැනැත්තකු බවට පත් වේ. 

මේ කාලය තුළදී ඇත්තෙන්ම ඔබ ලෝකයාට පමණක්‌ නොව ඔබටමද අප්‍රියවන්නේය. සංසාර ජීවිතයේ හැටි එහෙමය. මෙහිදී සත්වයින් තුළ ඇතිවන අසරණකම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. බුදුන් දවස ජරා ගින්නට බිලිව ව්‍යාධි ප්‍රපාතයටද ඇද වැටුණු පූතිගත්ත තිස්‌ස තෙරුන් වහන්සේ හැමෝගේම පිලිකුලට ලක්‌වුනා නේද? අන්තිමේදී උන්වහන්සේට බේත් උගුරක්‌, කැඳ උගුරක්‌වත් දෙන්නට කෙනකු හිටියේ නැත. බුදුකරුණා ගුණය දැකීමට තරම් ස්‌වාසනා ශක්‌තිය තිබූ හෙයින් අවසානයේදී ඒ සසාරගත ජරා ප්‍රපාතයෙන් ගොඩනැගුණු පූතිගත්ත තිස්‌ස හාමුදුරුවෝ සංසාර ප්‍රපාතයෙන්ද සදහටම ගොඩනැගී ගත්හ.

මේ ආදී වශයෙන් විදර්ශනාවට සිත් යොමන විට සංසාර ජීවිතය යනු කෙතරම් සාහසික වූ මායාවක්‌දැයි ඔබට නොසිතෙන්නේද? එහි රූප කාය තුළ පමණක්‌ නොව නාම කාය තුළද ඇත්තේ උදය හා වැය යන දෙක පමණි. එනම් ඇතිවීම හා නැතිවීමයි. මායාකාරී ලෝකයේ නොයෙක්‌ ඇතිවීම් තුළ තාවකාලික උද්දාමයකට පත්වී අපි සියල්ලෝම නැතිවීම හා බිඳ වැටීම තුළදී හඬමු. වැළපෙමු. ශෝක කරමු. එසේ වුවත් එයින් නික්‌ම යා හැකි සදාකාලික අවේදයිත සුව ඇති නිර්වාණගාමී මාවතට නොපිවිසෙමු. මේ තාක්‌ම අපට සංසාරයේ ජරාව නමැති ප්‍රපාතයට ඇද වැටෙන එකෙන් අතමිදී ගන්නට නම් නොහැකිමය. එමෙන්ම එහි වැටෙන්නට ඇති වාර ගණනද මෙතෙකැයි කියා සීමාවක්‌ පනවා ගැන්මටද නොහැකිය.

ගිහි පැවිදි සබඳතාවය

කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී

ගලගෙදර රතනවංශ හිමි

ආමිස දානයෙන් උපකාර කරන ගිහියනට ධර්ම දානයෙන් සංග්‍රහ කිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාළහ එසේ නම් සිව්පසයෙන් සළකන ගිහි පින්වතුනට භික්ෂුවගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද ?
යන්න සිඟාලෝවාද සූත්‍රය තුළින් විස්තරාත්මකව දේශනා කොට ඇත
සමාජ සංස්ථාවේ සුවිශේෂි බැඳීමක් ඇති ගිහි පැවිදි සබඳතාවය පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ. බුදු පියාණන් වහන්සේ කොටස් කළ ආකාරයට සමාජයේ ප්‍රධාන කොටස් දෙක වන්නේ ගිහි පැවිදි දෙපිරිසයි. පැවිද්දන් භික්ෂූ භික්ෂුණී වශයෙන් ද ගිහියන් උපාසක උපාසිකා වශයෙන් ද කොටස් කර ඇත. දි. නි. පාඨික වග්ගයට අයත් සිඟාලෝවාද සූත්‍රයට අනුව ගිහි පැවිදි සම්බන්දතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කළ හැකිය.
බුදු රජාණන් වහන්සේ එම සූත්‍රය තුළින් සමාජ පද්ධතිය පිළිබඳව ම විග්‍රහ කර ඇත. ඒ අනුව මුළු සමාජ සංස්ථාව ම ප්‍රධාන කොටස් හයකට බෙදා දක්වා ඇත. ඒවා ආර්ය විනයෙහි සදිසා යනුවෙන් හඳුන්වයි. එයින්හය වැනියට දක්වා ඇත්තේ ‘උද්ධං සමණ බ්‍රාහ්මණා’ යනුවෙන් උඩ දිශාව මහණ බමුණන් වශයෙනි. ගිහි පැවිදි දෙපිරිස හා ඔවුන්ට පැවැරී ඇති කාර්යයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුව ගිහියන් විසින් කරුණු 5කින් පැවිද්දන්ට සැළකිය යුතු ආකාරය දක්වා ඇත. එනම්,
01. මෙත්තේන කාය කම්මේන (මෛත්‍රී සහගත කාය කර්මයෙන්)
02. මෙත්තේන වචී කම්මේන (මෛත්‍රී සහගත වචී කර්මයෙන්)
03. මෙත්තේන මනෝ කම්මේන (මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්)
04. අනාවටද්වාරතාය (නොවසන ලද දොරටු ඇති පිළිගැනීමෙන්)
05. ආමිසානුප්පදානේන (ආමිස දානයෙන් සංග්‍රහ කිරීම)
ආදී වශයෙන් ගිහි පින්වතුන් භික්ෂූන්ට සංග්‍රහ කළ යුතුයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, හා ගිලන්පස යන සිව් පසයෙන් ගිහියන් පැවිද්දන්ට සංග්‍රහ කරන්නේ පෞද්ගලික වැඩ පලක් බලාපොරොත්තුවෙන් නොවේ. එසේ නම්, ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? ඒ බව සද්ධර්මාලංකාරයේ මෙම ගාථාවෙන් ප්‍රකට වේ.
ගිහීන මුප කරොන්තානං
නිච්ඡ මාමිස දානතො
කරෝථ ධම්ම දානෙන
තෙසං පච්චුප කාරකං
ආමිස දානයෙන් උපකාර කරන ගිහියනට ධර්ම දානයෙන් සංග්‍රහ කිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාළහ. එසේ නම් සිව්පසයෙන් සළකන ගිහි පින්වතුනට භික්ෂුවගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද ? යන්න සිඟාලෝවාද සූත්‍රය තුළින් විස්තරාත්මකව දේශනා කොට ඇත.
01. පාපා නිවාරෙන්ති (පවින් වැළැක්වීම)
02. කල්‍යාණේන මනසා (සුචරිතයෙහි යෙදවීම)
03. කල්‍යාණේන මනසා අනුකම්පන්ති (යහපත් සිතින් අනුකම්පා කිරීම)
04. අස්සුතං සාවෙන්ති (නො ඇසූ ධර්මය ඇසීමට සැලැස්වීම)
05. සුතං පරියෝදපෙන්ති (ඇසූ ධර්මය පිරිසුදු කිරීම)
06. සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති (ස්වර්ග මාර්ගය කියා දීම)
මේ ආදී කරුණුවලින් පැවිද්දන් විසින් ගිහියන් උදෙසා සංග්‍රහ කළ යුතුව ඇත. දෙඅංශයටම පැවැරී ඇති කරුණු ගිහි පැවිදි සබඳතාවය ශක්තිමත් වීමටත් එහි ප්‍රගමනයටත් ඉතා වැදගත් වනු ඇත. බොහෝදුරට ගිහි පැවිදි සබඳතාවය බිඳ වැටීමකට පත්ව ඇත. එයට හේතුව ගිහියන්ට පැවරෙන වැඩ පැවිද්දන් කිරීමත් පැවිද්දන්ට පැවරෙන වැඩ ගිහියන් සිදු කිරීමටත් මහන්සි ගැනීමය. එයින් සිදුවන්නේ ගිහි පැවිදි අන්‍යෝන්‍ය සබඳතාවය බිඳ වැටීම බව අමුතුවෙන් කිව යුතු නැත.
පැවිද්දාගේ ගමන හංසයාටත්, ගිහියාගේ ගමන මොනරාටත් උපමා කොට ඇත්තේ ගැඹුරු අර්ථයක් ඇතිව වූව ද අද එය මාරු වී ඇද්දෝයි යන සැකයක් ද මතු වනු ඇත. එයට හේතුව වන්නේ එදා භික්ෂුවක් ගත කළ සැහැල්ලු දිවි පැවැත් ම (සල්ලවුක වුත්ති) අද වගකීම් රාශියකින් බැඳී තිබීමෙන් නැති වී තිබීමය. එය ගිහි පින්වතුන් විසින් ම පවරා දී ඇති බැවින් භික්ෂූන්ට දොස් කීම ද සාධාරණ නොවනු ඇත.
නමුදු බුදු හිමි දේශනා කළ සංඝයාගේ ගුණ ඇතුළත් සුපටිපන්නෝ භගවතෝ ආදී පාඨයන් දෙස බැලීමේ දී සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපන්න, සාමීචි පටිපන්න යන ගුණයන්වලින් භික්ෂුවක් පිරිපුන් විය යුතුව ඇත. අතීතයේ භික්ෂුව යනු සිංහයෙකු හා සමානය. පන්සල සියලු අංශයන්හි මධ්‍යස්ථානය වූවා සේම භික්ෂුව සියලු දෙනාට ම නායකත්වය ලබා දුන්හ.
ගිහියන් විසින් පැවිද්දන් උදෙසා තිදොරින් ම අහිතක් නොකළ යුතුය. ගිහියන් වැරැදි කළොත් භික්ෂූන් විසින් ඔවුනට දෙන ලොකුම දඩුවම වන්නේ පත්තනික්කුජ්ජන කර්මය සිදු කිරීමය. එනම් ඔවුනගේ දානය නොපිළි ගැනීමයි.
කෙසේ වූව ද දෙපක්ෂය තුළම වැරදි අඩුපාඩු තිබීම සාමාන්‍ය ස්වභාවයයි. එය රහත් නොවි සිටීම හේතුවෙන් සාධාරණ කරුණකි. එසේ වූව ද ගිහියන් අතර ජීවත් වීමේ දී පැවිද්දන් විසින් ගිහි පක්ෂයට වඩා තිදොරින් සංවර භාවය වැඩි විය යුතුය. නොපැහැදුන අයගේ පැහැදීම සඳහාත්, පැහැදුන අයගේ වැඩි පැහැදීම සඳහාත් පැවිදි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුව ඇත.
ඊට අමතරව සැහැල්ලු දිවි පැවැත්ම, ලද දෙයින් සතුටුවීම, අටලෝ දහමින් උදම් නොවීම හා කම්පා නොවීම, පරාර්ථකාරී බව, විනය ගරුක බව, උතුම් මානුෂික ගුණාංග ආදී ගුණ ධර්ම ද ටිකෙන් ටික හෝ දියුණු කර ගත යුතුව ඇත. සතර මඟ හා සතර ඵල හා නිර්වාණය යන නවාංග ශාස්තෘ ශාසනය ප්‍රගුණ කිරීමට ඒවා ඉවහල් වනු ඇත. එසේ නොවුනහොත් තව තවත් සසර බොහෝ කාලයක් ඇවිදීමට සිදුවනු ඇත.
සමස්තයක් වශයෙන් ගත් කළ විශේෂයෙන් ගිහි පැවිදි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය උදෙසා සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් කරුණු පිළිබඳ දෙපක්ෂය ම අවධානය යොමු කළ යුතු අතර, ඒවා ගිලිහී යෑමට ඉඩ නොදී තව තවත් ශක්තිමත් කිරීමට ද අධිෂ්ඨාන කර ගත යුතුය.
එකල්හි දෙපක්ෂය තුළම අන්‍යෝන්‍ය බැඳීම විශ්වාසය හා සම්බන්ධතාවය ගොඩ නැගෙනවාට කිසිඳු සැකයක් නැත. එතුළින් දෙපක්ෂයේ ම අවසාන අරමුණ වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උත්සාහවත් වන පිරිසක් වීමේ භාග්‍ය ද හිමි වනු ඇත.

ප්‍රඥාවෙන් යුක්ත සැබෑම උපේක්ෂාව

ශ්‍රාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සී හිමි

උපේක්ෂාව බොහෝ විට අපට හඳුනා ගන්නට දුෂ්කර මනෝභාවයක්. ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේම මනසේ ආකාරයට අවධිවන විශේෂ ලක්ෂණ තිබෙන ගුණාංග අපට හඳුනා ගන්නට පහසුයි. නමුත් උපේක්ෂාව හුඟක් වෙලාවට හඳුනා ගන්නට අපහසු වෙන්නේ එහි තිබෙන මධ්‍යස්ථභාවය නිසායි. ඒ මධ්‍යස්ථභාවය නිසාම බොහෝවිට උපේක්ෂාව අප වැරැදි ආකාරයට හඳුනා ගන්නවා.
බොහෝවිට කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න ගතිය යම් උපේක්ෂාවක් කියා ඇතැමුන් සිතනවා. ඒ නිසා උපේක්ෂාව ගැන කාථාකරන විට එහි ගති ලක්ෂණ අනුව දෙයාකාරයකින් හඳුනාගත හැකියි. ඒ අඥාන උපේක්ෂාව සහ ඤණසම්ප්‍රයුක්ත උපේක්ෂාව ලෙසයි. අඥාන උපේක්ෂාව කියන්නේ සමහර අය නොදැනුවත්කම නිසා, මෝහය නිසා හැඟීමක් නැතිකම නිසා සමහර දේ ගැන අඩු තක්සේරුවකින් හිතනවා. මොනවා වුණත් අපට ගැටළුවක් නැහැ වෙන දෙයක් වුණාදෙන් කියා නිහඬවන අවස්ථා තිබෙනවා.
අපි හිතමු මුහුද ගොඩ ගැලුවට පස්සේ අපේ ඥාතීන් එයට හසුවෙලා, කරදරයක් වෙලා. නැත්නම් අපි කියනවා ඕක ලෝක ධර්මතාවයක්. කවද හිටියත් මැරෙනවානේ. වුණදේ වුණා මොනවා කරන්න ද? කියමින් කෙනෙකුට නිහඬ වෙන්න පුළුවන්. නමුත් තමාගේ කෙනෙකු ඒ මුහුදු රැල්ලට හසුවුණා නම්, එහෙම කියන්නේ නැහැ. ඊට වඩා කලබල වෙනවා. අපේ කෙනෙක් එයට හසුවුණේ නැති නිසා එය අපට අදාළ නැති නිසා අපි හිතනවානම් කිසි දෙයකට කම්පා වෙන්න ඕන නැහැ කියලා සමහර විට එය අඥාන උපේක්ෂාවක්.
ඒ වගේම ශාසනය පිළිබඳව කථාකරන විට කෙනෙක් කියනවා නම් ශාසනය මේක විතර ද? මේ ශාසනය අහිමි වෙනකොට තව බුදු කෙනෙක් පහළ වෙනවා මේවට සැලෙන්න හොඳ නැහැ හැම දෙයක්ම අනිත්‍යයි කියා සමහර අය ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නේ සැබෑවටම උපේක්ෂාවෙන් ද? එසේ නැත්නම් මුලාව නිසා ඇතිවන උපේක්ෂාව නිසාද කියා අප ටිකක් විමසිල්ලෙන් බලන්න ඕන. හඳුනා ගන්නට තිබෙන හොඳම ක්‍රමය තමා ඒ පිරිසට ඒක අදාල වෙනවානම් ඒ අය ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොම ද කියා විමසා බැලීමයි.
තව සමහරු නිනව් නැති නිසාත් උපේක්ෂාවෙන් වගේ ඉන්නවා. අප හිතමු පාරේ වාහනයක අප යනකොට මී හරක් රංචුවක් පාරේ මැද ඉන්නවා. කෙතරම් නළාව ශබ්ද කළත් කිසිදු වගක් නැතුව තමන්ගේ පාඩුවේ යනවා. ළඟටම ගිහින් නළාව ශබ්ද කළත් , තමන්ගේ ගමන් වේගය වෙනස් කරන්නේ නැහැ. නමුත් මිනිසුන් පිරිසක් පාරේ ඉන්න විට වාහනයක නළාව ශබ්ද කළත් ,කලබල වෙනවා. එහෙනම් මිනිස්සු තරම් මේ සත්තු කලබල වෙන්නේ නැහැ. ලොකු උපේක්ෂාවක් එතැන තිබෙනවා කියා හිතෙන්න පුළුවන්. එතැනත් යම් උපේක්ෂාවක් තිබෙනවා. ඒ අඥානකමින් නිනව් නැතිනිසා ඇතිවෙන උපේක්ෂාව. මෙහි තිබෙන අනතුර, බරපතලකම තේරෙන්නේ නැහැ. සිද්ධවෙන විනාශය තේරෙන්නේ නැහැ. ඒවා පිළිබඳව කිසිම සංඥාවක් නැති නිසා පවතින්නට පුළුවන්. ඒ වගේම මිනිසුත් ඉන්නවා. රටට, ජාතියට, ආගමට, ලෝකයට, ස්වභාව ධර්මයට සිදුවෙන්නේ මොනවාද කියා දන්නේ නැහැ. තමන්ගේ අනාගත දරු පරපුරට ඉතිරිවෙන ලෝකයට මොනවද වෙන්නේ කියා නිනව්වක් නැතිනිසා අර හරක් රෑන වගේ ඉන්න පිරිසත් සමාජයේ ඉන්නවා. ඒ උපේක්ෂාව නිවන් දකින්නට උපකාරි වෙන්නේ නැහැ.
ඤාණසම්ප්‍රයුක්ත උපේක්ෂාව කියන්නේ හැමවිටම ප්‍රඥාවෙන් යුක්තව හේතුඵල හඳුනාගෙන උපේක්ෂාසහගත වීමයි. හේතුඵලය හඳුනාගන්න කොට ඇයි උපේක්ෂාසහගත වෙන්නේ? ක්‍රියාත්මකවීම ඵල රහිත නිසා. යමක් හේතුඵල වශයෙන් වෙනස් කරන්න පුළුවන්නම් එය වෙනස් කිරීම ඥානවන්තයාගේ ස්වභාවය යි . නමුත් මේවන කොට වෙනස් කරන්න බැරිනම් හේතුඵල හරියට හඳුනා ගත්ත පුද්ගලයා දඟලන්නේ නැතුව නිහඬ වෙනවා. හේතුඵල කිව්වාම වෙනස් කළහැකි හේතු තිබෙනවා. වෙනස්කළ නොහැකි හේතු තිබෙනවා.
ඒ තමා අප මේ වෙනකොට මනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා ඉන්නේ. මේ උපන්නා වූ ආත්මභාවයේ අප සංසාරික යම් යම් ගති ලක්ෂණ උරුම කරගෙන ඇවිත් තිබෙනවා. ස්ත්‍රියක් වෙලා හෝ පුරුෂයෙක් වෙලා හෝ මේ ජීවිතයට යම් යම් බලපාන කරුණු කාරණා තිබෙනවා. එසේ උරුම කරගෙන ඵල දරලා තිබෙන ඒවා දැන් අපට වෙනස් කරන්න බැහැ. ඒවා සම්බන්ධයෙන් අඬල දොඬලා වැළපිලා මොකටද? මම ඇයි කාන්තාවක් හෝ පිරිමියෙක් වුණේ කියලා ඒවා පිළිබඳව කලබල වෙලා දැන් තේරුමක් නැහැ. ලැබිලා තිබෙන තත්ත්වය අපට දරාගන්නට සිදුවෙනවා. ඒක අපට දැන් වෙනස් කරන්නට බැරි ඉපදිලා ඉවර නිසා. ඒ වගේම යම් රූප සම්පත්තියක්, නිරෝගිකමක් අප මේ ජීවිතයේ දී උරුම කරගෙන තිබෙනවානම් දැනට අපට ඒකත් සර්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. අපට කරන්න පුළුවන් ඒ රූපය නඩත්තු කර ගැනීමක් පමණයි. එලෙස ඤාණවන්තයා හේතුඵල හඳුනා ගන්නවා. වෙනස් කරන්න බැරි දේ ගැන කලබල නොවී වෙනස් කරන්න පුළුවන් දේ පමණක් වෙනස් කරන්නට ඒ තැනැත්තා ක්‍රියාත්මක වෙනවා.
ලෝකයේ මොනවා තමන් අකැමැතියි කියලා හිතෙන දෙයක් වෙනස් වෙන්න ඕන කියලා හිතන තාක්කල් අපට සන්සුන් වෙන්න බැහැ. මැදහත් වෙන්න බැහැ. උපේක්ෂාසහගත වෙන්න බැහැ. එයින් අදහස් වෙන්නේ ඥානවන්තයෝ ලෝකයට කුමක් වුවත් කමක්නැහැ කියලා තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියන එක නොවේ.
ප්‍රඥාවෙන් යුක්තව හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා. නමුත් නොකළ හැකිනම් ඒ අවස්ථාවේදී මැදහත් වෙනවා. නැතිනම් නිහඬ වෙනවා. ඒ ගුණ දෙකම අප සතුව තිබෙන්න ඕන. අත්‍යවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන්නත් ඕන. ක්‍රියාත්මක වීම සුදුසු නැතිනම් එහිදී නිෂ්ක්‍රීය විය යුතු වෙනවා. ඒ නිෂ්ක්‍රීය භාවය ප්‍රඥාවෙන් යුක්තව කෙරෙන්න ඕන. එතැන තමා මූලික වශයෙන් උපේක්ෂා ගුණය වැඩෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ශාක්‍යයන් විනාශ කරන්න විඩුඪභ කුමාරයා ගියා. පළමුවැනි පාර බුදුන් වහන්සේ පෙනී සිටියා විඩුභඪ හැරී ගියා. දෙවැනි අවස්ථාවේත් උන්වහන්සේ පෙනී සිටියා. විඩුභඪ හැරී ගියා. තුන්වැනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. මේක වළක්වන්න බැරි නිසයි උන්වහන්සේ උපේක්ෂාසහගත වුණේ. එහිදී හොඳින් ප්‍රඥාවෙන් හේතුඵල දකිනවා. දකින නිසා ඒක වෙනස් කරන්න බැරිනිසා එහිදී නිහඬ වෙනවා.
ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ දෙපාරකම මරන්න හොරු ආවිට යතුරු සිදුරෙන් සහ කැණිමඩලෙන් නික්ම ගියා. නමුත් තුන්වැනි වර දකිනවා මේක සංසාරික අකුසල කර්මයක්. මේක වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න බැරි දෙයකට ගැටිලා හෝ ඇලිලා තේරුමක් නැහැ. උන්වහන්සේ රහත්වෙලා සිටි නිසා මනසේ එබඳු දුබලකම් මතුවෙන්නේ නැහැ. අන් අයට වුනත් ඒවා ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රඥාව අවධිවනවිට මේ සංස්කාරයන්ගේ ස්වභාවය දැනගෙන ලොකු ගට්ඨනයක් ඇති නොවී පවත්වන්නට පුළුවන්. නෛෂ්ක්‍රම්‍යයත් , ප්‍රඥාවත් නැතිනම් හැමවිටම අප හැඟීම්වලට වහල් වෙනවා. මට ඕන ආකාරයටම ඒ දේවල් වෙන්න ඕන, මම අකැමැති කිසි දෙයක් නොවිය යුතුයි කියා අප වහා නැඟී සිටිනවා. ඒ වගේම වහා ගැටිලා ප්‍රතික්ෂේප කරන ස්වභාවයට මනස පත්වෙනවා.
අප අකැමැති දේ නැත්නම් හොඳයි. නමුත් ඒවා වෙනස් කරන්න පුළුවන්ද? බැරිද? කියා සොයන්න ඕන. ඒ නිසා හැබෑම උපේක්ෂාව ඇති කරගන්න ප්‍රඥාව අත්‍යවශයි. ප්‍රඥාව තිබෙන තරමට තමා පුද්ගලයාගේ උපේක්ෂා ගුණය වර්ධනය වෙන්නේ.
නයනා නිල්මිණි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X