සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

නිසල සිත ගෙනෙන සෙත

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුමනපාල ගල්මංගොඩ

චරිත ස්වභාවය අනුව භාවනා කිරීම සඳහා කමටහන් තෝරා ගැනීම වැදගත් වන අතර භාවනාවට අවශ්‍ය මූලික අවබෝධයත්, පසුබිමත්, සීලයත්, සම්පූර්ණ කොට ගෙන අනතුරුව සමාධි හා විපස්සනා භාවනා ක්‍රම දෙකින් සමාධි භාවනාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.

සමාධිය එකක් නොවන අතරම විවිධ සමාධි දක්නට ලැබේ. කුසල් සහගත සිතෙහි ඒකාග්‍රතාව ඇති කිරීම ථේරවාද සම්ප්‍රදායට අනුකූලව සමාධියෙන් කෙරෙන මූලික කාර්යභාරය වේ. සතෙකු මැරීමට කුරුමානම් අල්ලන පුද්ගලයා තුළද ඒ අවස්ථාවෙහිද සිතෙහි ඒකාග්‍රතාවයක්, එකඟ බවක් පවතී. එම නිසා සමාධි භාවනාවෙහි දී අදහස් කරනු ලබන එකඟභාවය යනු කුසල් සිතක එකඟ බවයි. බුදුදහමට අනුකූලව එම එකඟ වන සිත යහපත් සිතක් විය යුතු අතර යහපත් වූ එකම අරමුණක් වෙත සිත යොමු කොට පවත්වාගැනීම මින් අදහස්වේ. සෑම පුද්ගලයකුටම එකම භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමෙන් සමාධිය ඇතිකරගත නොහැකිය. ඒ සඳහා තම චරිතය කුමක්දැයි නිවැරැදිව අවබෝධ කොටගෙන එයට ගැලපෙන කමටහනක් නොහොත් භාවනා මාතෘකාවක් තෝරාගත යුතුය. තම චරිත ස්වභාවය හඳුනාගෙන ඒ අනුව කමටහන් තෝරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුය. භාවනාව සඳහා කමටහන් ලබාගැනීමේදී ඊට යෝග්‍ය ඒ පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්ත වූ පුද්ගලයකු වෙත යෑම වඩාත්ම සුදුසු වනු ඇත. එම යෝග්‍ය වූ තැනැත්තන් “කල්‍යාණ මිත්‍ර” යනුවෙන් හඳුන්වනු ලැබේ. භාවනාවෙහිම නියැළෙන පලපුරුදු සීලවන්ත, ගුණවන්ත, ඤාණවන්ත. තැනැත්තන් කල්‍යාණ මිත්‍රයන් වශයෙන් හැඳින්විය හැකිය. තමාට ඇති අවශ්‍යතාවය අනුව කල්‍යාණ මිත්‍රයකු සොයා ගැනීම අපහසු නම් බුද්ධිමත් පුද්ගලයකුට කල්පනා කොට භාවනා කමටහන් තෝරා ගැනීමද එතරම් අපහසු නොවන්නේය. සුදුසු කමටහන් හා චරිත ස්වභාවය හඳුනා ගැනීමට පෙර කමටහන් වර්ග දෙක පිළිබඳව අවබෝධයක් ලබා තිබිය යුතුය.
සබ්බත්ථක කම්මට්ඨාන 
පාරිහාරිය කම්මට්ඨාන

යනු එම කමටහන් වර්ග දෙක වෙයි. සබ්බත්ථක කම්මට්ඨානයට මෛත්‍රී භාවනාව, මරණසති භාවනාව, අසුභසඤ්ඤා භාවනාව අයත් වේ.
කමටහන් වැඩීමට මුල පුරන තැනැත්තා හෝ තැනැත්තිය පළමුවෙන්ම මෛත්‍රිය වැඩීම යහපත්ය. මෛත්‍රිය වැඩීමේදී අනුපිළිවෙළකට අනුව එය කිරීම වැදගත් වේ.
1. මාගේ නිවසෙහි ජීවත්වන සියල්ලෝම සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා, (එහිදී මාගේ ආරාමයෙහි වසන සියල්ලෝම යනුවෙන් අවශ්‍ය පරිදි යොදාගත හැකිය)
2.මාගේ ගෘහ සීමාවට අධිගෘහිත දේවතාවෝ සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.
3. මම වසන ගමෙහි වසන මිනිස්සු සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.
4.සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා
යන ක්‍රමයට අනුකූලව ක්‍රමයෙන් තමාට සමීප පුද්ගලයන්ගෙන් පටන්ගෙන අවසානයට සියලු සත්ත්වයන් ඇතුලත් වන පරිදි මෛත්‍රිය වැඩීම යහපත්ය. තමා හා ආශ්‍රය කරන්නන් වෙත මෛත්‍රිය වැඩීමෙන් එදිනෙදා ජීවිතය ගත කිරීම පහසුවේ. දෙවියන් වෙත මෛත්‍රිය දැක්වීමෙන් දේවාරක්ෂාව සැළසේ. ගම්වැසි ජනතාව වෙත මෛත්‍රිය, කරුණාව දැක්වීමෙන් ඔවුන්ගේ අනුග්‍රහය ලැබේ. සමාජ ජීවිතය යහපත් වේ. මිනිසුන්ගේ තාඩන පීඩනවලට ලක් නොවේ.
මෛත්‍රිය වැඩීම යනු හුදු මානසික ප්‍රාර්ථනාවක් පමණක් නොවන අතරම මෛත්‍රිය සහගතව සිතින්, කයින්, වචනයෙන් කටයුතු කිරීමද අවශ්‍ය බව අවධාරණය කරගත යුතුය.
තමා මරණය ඉක්මවා නොමැති බව හොඳින් සිහියට නඟා ගැනීම මරණ සතිය වේ. මරණය කිසි විට අමතක නොකළ යුතුය. තමන් මරණයට පත්වන පුද්ගලයකු බව නිතර නිතර සිහිපත් වන විට භාවනාව සඳහා උදාසීනත්වයක් ඇති නොවන අතර උද්‍යෝගය වර්ධනය වේ. මරණය අමතක කොට ජීවත්වන විට මේ ආකාරයෙන් භාවනාවෙහි යෙදීමට උනන්දුවක් ඇති නොවේ.
අසුභ සඤ්ඤාව වැඩීම යනු අපගේ ඉන්ද්‍රියවලට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදි සියලු දේත්, ශරීරයට අයත් සියලු දේත්, සුභ වශයෙන් නොගෙන ජරාවට, මරණයට පත්වන අසුභ දේ ලෙස සැළකීමයි. මේ ආකාරයෙන් තමා හා අවට ලෝකය පිළිබඳව අසුභය යනු හැඟීම නිතර නිතර දියුණු කරන විට දිව්‍ය සැප පිළිබඳවත් රාගික වශයෙන් ඇලීමක් ඇති නොවේ’.රාගය,ලෝභය ඇති පිරිස් අසුභ සඤ්ඤාව ද නිතර වැඩිය යුත්තකි.
මෛත්‍රී, මරණසති හා අසුභ භාවනාවන් සියලු දෙනා විසින්ම ආරම්භයේදී පුරුදු පුහුණු කළ යුතු බැවින් සබ්බත්ථක කම්මට්ඨාන යනුවෙන් කියනු ලැබේ. මෙම භාවනා කමටහන් තුන අනෙකුත් භාවනා කරදරයකින් බාධාවකින් තොරව කරගෙන යාමට උපකාරී වේ.
පාරිහාරියකම්මට්ඨාන යනු හතළිහක් කමටහන් අතරින් තමන්ගේ චරිතයට ගැලපෙන කමටහන් තෝරා බේරාගෙන භාවනාව කිරීමයි. ඉහත සදහන් කළ කමටහන් තුන ආරම්භයේදී වැඩිය යුතුය. මෙම පාරිහාරිය කමටහන් නිතර වැඩිය යුතුය. ප්‍රථමයෙන්ම චරිත වර්ග පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු අතර සාමාන්‍යයෙන් චරිත වර්ග හයක් තිබේ.
1.රාග චරිත 2. දෝෂ චරිත 3. මෝහ චරිත 4. සද්ධා චරිත 5. බුද්ධි චරිත 6. විතක්ක චරිත
සෑම පෘථග්ජන පුද්ගලයකු තුළම රාග, දෝස, මෝහ යම් තරමකින් හෝ පවතී. බුද්ධි, විතක්ක යන කොටස්වලින් ශ්‍රද්ධාව, අවබෝධය කල්පනා සහිත බව අදහස්වේ. මේවාද යම් යම් ප්‍රමාණවලින් අප සිත් තුළ පවතී. ඒ ඒ පුද්ගලයන් රාග චරිත, දෝස චරිත ආදී වශයෙන් හඳුන්වන්නේ එම රාග,දෝෂ, ආදිය පමණක් ඒ පුද්ගලයන්ගේ සිතෙහි බල පවත්වන නිසා නොවේ. අනෙකුත් දෝස, මෝහාදිය ද සහිත යම් තැනැත්තකුගේ හෝ තැනැත්තියකගේ සිතෙහි රාගය අධික වශයෙන් තිබේ නම් ඔහු රාග චරිතයකු ලෙසත් දෝසය අධික නම් දෝෂ චරිතයකු ලෙසත් ආදි වශයෙන් සැළකෙන බව අවබෝධ කරගත යුතුය. මෙම රාග, දෝස, මෝහ යන ලක්ෂණ තුන පිළිවෙළින් සද්ධා, බුද්ධි. විතක්ක යන ලක්ෂණ තුනට සමානය.
රාග – සද්ධා , දෝස – බුද්ධි , මෝහ – විතක්ක
ආශාව හෙවත් ඇලීම රාගය වේ. ශ්‍රද්ධාව යනුද භක්ති වශයෙන් ඇලීමකි. පි‍්‍රයත්වයක් දැක්වීමකි. රාග චරිතයෙන් කුසල ක්‍රියාවන්හි යෙදෙන විට අධික ශ්‍රද්ධාවෙන් කටයුතු කරයි. එයට හේතුව වන්නේ රාගය ශ්‍රද්ධාවට සමීප ලක්ෂණයක් බැවිනි. අකුසල ක්‍රියාවන්හිදී රාගය රළු නොවේ. කුසල ක්‍රියාවන්හිදී ශ්‍රද්ධාවද සිනිඳුය. රළු නොවේ.රාගය කම් සැප හොයයි. එමෙන්ම ශ්‍රද්ධාවද සීලාදී ගුණයන් සොයයි. රාගය අයහපත් දෙය අත නොහරියි. ශ්‍රද්ධාව යහපත් දේවල් අතනොහරියි. මෙම හේතුව නිසා රාග චරිතයා සද්ධා චරිතයාට බොහෝ දුරට සමානය.
දෝස චරිතයා කුසල ක්‍රියාවන්හි යෙදෙන විට ප්‍රඥාව බලවත් වෙයි. දෝසය හෙවත් දේවේෂය ප්‍රඥාවට සමීප ගුණයන්ගෙන් යුක්තවීම ඊට හේතුවයි.අකුසල ක්‍රියාවන්හිදී ප්‍රඥාවද කිසිවිටකත් නොබැඳේ. එමෙන්ම කුසල නොවුණත් දෝසයන්ම සොයයි. එසේම ප්‍රඥාව සත්‍ය වූම දෝසයක් සොයයි. ද්වේෂය සත්ත්වයන් දුරුකරන්නාක් මෙන් ප්‍රඥාව ද අනිත්‍ය වූ සංස්කාරයන් දුරුකරයි. මේ හේතුව නිසා දෝස චරිතයාට බුද්ධි චරිතයා සමාන වේ.
මෝහ චරිතයා නූපන් කුසලයන් ඉපදවීම පිණිස උත්සාහ කරද්දී එම උත්සාහයට බාධක වූ කල්පනාවන් හෙවත් විතර්කයන් පහළ වේ. මෝහයට විතර්කය සමාන වීම ඊට හේතුවයි. මෝහය අවුල් බැවින් තැන්පත් තත්වයක් නොවේ. විතර්කයද නොයෙක් කල්පනාවන්ගෙන් අවුල් වූවකි. මේ හේතුව නිසා මෝහ චරිතයාට විතක්ක චරිතයා සමාන වේ. මෙම සංසන්දනය අනුව සියලුම චරිත වර්ග රාග, දෝස, මෝහ යන මූලික මානසික ලක්ෂණයවලට සමීප බව මේ තුළින් අවබෝධ වේ.
ඉහත දක්වන ලද, රාග, දෝස, මෝහ ලක්ෂණ අනුසාරයෙන් තමා කුමන චරිතයකට අයත් දැයි අප අප පිළිබඳවම ගැඹුරින් සිතා ගතහොත් ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එම නිසාම කමටහන් තෝරාගැනීමේදී පළමුවෙන්ම තමන්ගේ චරිත ස්වභාවය අවබෝධ කරගැනීම අවශ්‍යය. අපගේ මතය බොහෝ විට චංචල වන්නේ සිතෙහි වැඩියෙන් බලපවත්වන රාගය, දෝසය, හෝ මෝහය නිසාය. එනිසා සමාධියෙන් බලාපොරොත්තු වන සිතෙහි තැන්පත් බව ඇති කරගැනීමට නම් එම අධිකව බලපවත්වන ක්ලේශය යටපත් කළ යුතුය. එයට ගැලපෙන කමටහන් තෝරාගත යුත්තේ එබැවිනි.
චරිත වර්ගයන් හඳුනාගැනීමට ගමන් බිමන්, කතාබහ කටයුතු යොදාගත හැකි බව අටුවාවල විස්තර වේ. උදාහරණ වශයෙන් රාග චරිතයා ලස්සන දේවලට පි‍්‍රය කරයි. මෝහ චරිතයාගේ කටයුතු අවුල් සහගතය. තමා යහපත් සිහියකින් යුතුව තමාගේ හැසිරීම පිළිබඳව කල්පනා කරන්නෙකුට තමන් කුමන චරිතයකට අයත් වනවා දැයි වටහාගත හැකිය.

චීවරය සහ කඨින චීවරය

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය 

කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

බුදුරජාණන් වහන්සේ විසින් ‘චීවරය’ අනුමත කිරීම පිළිබඳ විස්තර, මහාවග්ග පාළියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේදී ජීවක වෛද්‍යවරයා පැමිණ,’ස්වාමීනි , මට චණ්ඩපජ්ජෝත රජුගෙන් “සීවෙය්‍යක” නම් වටිනා වස්ත්‍ර දෙකක් ලැබුණා. ඒවා ඔබ වහන්සේට පූජා කරනවා. පිළිගන්න. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුර දරන්නෙ. මගේ අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපති චීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති චීවර පිළිගැනීමට අනුමත කරන්න ‘යයි ඉල්ලා සිටියේය. ජීවකගේ එම ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ගහපති චීවරය අනුමත කරමි. යමෙක් කැමැති නම් පාංශුකූල සිවුර දරන්න.යමෙක් කැමති නම් ගහපති සිවුර දරන්න. මහණෙනි, ලැබෙන සිවුරකින් සතුටුවීම මම පසසමියයි වදාළහ.
මෙහි සඳහන් සිවුරු වර්ග දෙකක් ඇත. පාංශුකූල සිවුරු, ආ. ගහපති සිවුරු

පාංශුකූල සිවුරු

පැරණි දඹදිව මිනී රෙදිවල ඔතා සොහොනට ගෙන ගොස් දමති. සමහරු සොහොනේ වළ දමා ඒ මත පස් ගොඩගසා රෙද්දකින් වසති. පාංශු කූල යනු පස්ගොඩය. ඒ පස්ගොඩ උඩින් වැසු රෙද්දකින් පාංශුකූල වස්ත්‍ර නම් වෙයි. තවද පාංශකූල සඤ්ඤාවෙන් ගන්නා රෙදිවලින් සකස් කළ සිවුරුත් ඇත. සල්පිල්, සොහොන්, කසළගොඩ ආදියේ දමාගිය රෙදි, ගින්නෙන් දැවුණු, සතුන් විසින් කන ලද කිසිකෙනෙකුට අයිතියක් නැති රෙදි ආදිය යම් කෙනෙක් ගත්තත්, ඔහු සොරකමක් කළ කෙනෙක් නොවේ. එනිසා ‘අල්පේච්ඡ’ වූ (බලාපොරෝතු අඩු) චාම් දිවියක් ගතකළ භික්ෂූන් වහන්සේලා අනුන් විසින් අත්හැරදැමු වස්ත්‍රවලින් සකස් කළ සිවුරු (පාංශුකූල) ම දැරූහ. පාංශුකූල චීවර පමණක්ම දැරීම, ධූතාංග දහතුනෙන් එකකි. එබැවින් යම්කිසි භික්ෂුවක් කැමති නම් පාංශුකූලචීවර දැරීමටත් ගහපති චීවර දැරීමටත් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලදී.

ගහපති චීවර

ගහපති චීවර වශයෙන් සැලකෙන්නේ දායකයන් විසින් සංඝයාට පූජා කෙරෙන මසා නිම කරන ලද චීවර සහ සිවුරු මසා ගැනීමට පූජා කෙරෙන රෙදි ආදියයි. දායකයන්ගේ කැමැත්ත පරිදි, පෞද්ගලික එක් භික්ෂුවකට, ආයතනයකට හෝ පොදු ආයතනවලට හෝ සාංඝික ව පූජා කෙරෙන සිවුරු, ගහපති චීවර වශයෙන් හැඳින්වේ. එනිසා සිවුර වශයෙන් මසා නිම කළ චීවර ද සිවුර මසා ගැනීමට රෙදිද ගහපති චීවර ම වන්නේය. එවැනි සිවුරු කඨින චීවර පූජාවලදීත් සංඝයාට පූජා කළ හැකිය. එබැවින් කඨින චීවර පූජාවද ගහපතිචීවර පූජාවකි.

සිවුරේ සැකැස්ම

මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා විසින් චීවර වශයෙන් භාවිත කර ඇත්තේ ‘කාසායවත්ත’ හෙවත් කසට පාට ඇති කඩ නොකැපූ සිවුරුය. පාංශුකූල චීවර පවා රෙදිකෑලි එක්කර මසාගත් පොරෝණයක් වැනි සිවුරකි.

දිනක් බුදුරජාණන් වහන්සේ, භික්ෂු පිරිසක් සමඟ රජගහනුවර සිට දක්ඛිණාගිරියට චාරිකාවේ වඩින අතර මඟදී විශාල වෙල්යායක් දක්නා ලදී. එහි ලියදි දිග් අතටත් හරස් පැත්තටත් මනාව බෙදා මනාව සකස් කර තිබිණ. එය ලොකු නියරවලින් සහ හරස් නියරවලින් , හතරැස් ලියදි වෙන් කරන ලද විශාල කුඹුරු යායකි. පිළිවෙළකට සකස් කරන ලද ඒ කුඹුරු පෙන්වා බුදුරජාණන් වහන්සේ, ‘ආනන්දය, මේ හතරැස් කුඹුර මෙන් දිග හා පළල නියර ඇති අතරතුර බැඳි කුඩා හරස් නියරවලින් යුක්ත මගධ ක්ෂේත්‍රය, දුටුවෙහිද? යි ඇසූහ. ‘එසේය ස්වාමීනි, මගධ ක්ෂේත්‍රය, දුටුවෙමි. ‘ආනන්දය චීවරයත් එසේම කඩ කපා සකස් කරන්න උත්සාහවත් වන්න’යි වදාළ සේක.
ආනන්ද හිමියෝ එය පිළිගෙන වේළුවනාරාමයට පැමිණ මගධයේ දක්ඛිණාගිරියේ කුඹුරුවල ස්වරූපයට අනුරූප ලෙසට සිවුරක් සකස් කිරීමට තීරණය කළහ. උන්වහන්සේ රෙදි සොයාගෙන කඩ කපා මසා පඬුගසා සකස් කළ සිවුර, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. එම චීවරය පරීක්ෂා කළ බුදුරජාණන් වහන්සේ,
මහණෙනි, මා විසින් කෙටියෙන් කියන ලද කාරණය, ආනන්ද විස්තර වශයෙන් අවබෝධකරගෙන දිග පළලනුවා ද හරස්නුවාද මහ මැඬිලි ද කුඩා මැඬිලි ද වස් අත්තද ඇළ අතුද ගෙළ පටිය ඇල්ලීමද කෙණ්ඩ පටිය ඇල්ලීමද නුවා අතු, බාහුව මත සිටින නුවා ද ඇතිව කඩ කපා මැසු සිවුර, රළුය, පැවිද්දන්ට සුදුසුය. සොරුන් විසින් පැහැරගන්නේ හෝ සොරකම් කරන්නේ නැත. ආනන්ද පණ්ඩිතය. නුවණැතිය, මහණෙනි, කඩ කැපූ දෙපොට සිවුරද කඩ කැපී තනිපොට සිවුරද කඩ කැපූ අඳනද අනුමත කරමි.
මෙම චීවරය සුඛෝපභෝගී නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි. එය භික්ෂුවකට සීතල, උෂ්ණය, මැසිමදුරු කරදර ආදියෙන් ආරක්ෂා වීමටත් විලිවසා ගැනීමටත් ප්‍රමාණවත්ය. පාංශුකූල චීවර දුෂ්කර වුවත් එය සියලුම භික්ෂූන් විසින් දැරිය යුතු චීවරයක් නොවේ. තමන්ගේ කැමැත්ත අනුව භික්ෂුවකට පාංශුකූල හෝ ගහපති සිවුර දැරිය හැකිය. එහෙත් සමහර දුෂ්කර ව්‍රත ආරක්ෂා කරන තාපසයන් මෙන් කුස තණ පට්ටා වර්ග, උණ කෙසෙල් වැනි පතුරු, පොතු වැහැරී, හිසකෙස්, අඳුන් දිවිසම්, නපුරු සතුන්ගේ ලොම්, බකමුණු පිහාටු ආදියෙන් සකසා ගත් සිවුරු දැරීම වැනි දුෂ්කර ව්‍රතවලට සම්බන්ධ සිවුරු, පාංශුකූල චීවර වශයෙන්වත් දැරීම තහනම් කර ඇත.

සිවුරු රෙදි සහ සිවුරේ පාට

ඛුද්දක සික්ඛාවේ සිවුරු රෙදි පිළිබඳව මෙසේ දක්වා තිබේ.
අ.කෝම – කෝම නම් ගස්වල පොතුවලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ආ.කෝස – කෝස නම් පණුවන්ගේ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු. 
ඇ. කප්පාස - කපු රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ඈ. සාණ - හණ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.
ඉ.ලෝම - මිනිස් ලොම්, අස්ලොම්, නපුරු සතුන්ගේ ලොම් හැර වෙනත් ලොම්වලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ඊ.කොමු , සපු, ලොම් ආදිය මිශ්‍ර කර වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.

තවද දුහුල් රෙදි, පත්තුණ්ණ දේශයේ රෙදි, සෝම දේශයේ රෙදි, චීන පටපිළි ආදියෙන් මසන ලද සිවුරු ද අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙවියන් විසින් දෙන ලද සිවුරු ආදියද භික්ෂූන් වහන්සේලාට භාවිතයට සුදුසු සිවුරු වර්ගයෝය.

සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සබ්බනීල), සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත) , සියල්ල සුදු (සබ්බ ඕදිත) , සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල් ,කහ,රතු, මදටිය, සුදු, කහ වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
සිවුරු වර්ණ කිරීමේදී පඬු සකස් කරගැනීමට ගස්වල මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි යන වර්ග හය අනුමත කර ඇත. කසාමුල් හැර අනෙක් සියලු මුල් වර්ග ද පතඟි හා ටිගොල් හර හැර අනෙක් අරටු වර්ගද ලොත් සුඹුලු හා කඩොල් සුඹූලු හැර අනෙක් පොතු වර්ගද සිහින් කසා හා බේරු කොළ හැර අනෙක් සියලු කොළ වර්ග ද වනුක් මල් හා කෑල මල් හැර අනෙක් සියලු මල් වර්ගද සියලුම ඵල වර්ග ද සිවුරු වර්ණ කිරීමට සුදුසුය. මෙම වර්ගවලින් සකස් කරගත් පඬුගසා, කාසාය වස්ත්‍රයක් බවට පත්කරගත් සිවුරු, ථෙරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂූහු භාවිත කරති. එනිසා සිවුරක් සකස් කිරීමේ දී නියමිත රෙදි වර්ගයක් වීම, විනයානුකූලව කඩ කපා මැසීම, සුදුසු පඬු වර්ගයකින් පඬු ගැසීම කළ යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද සංඝාටි (දෙපොට සිවුර), උත්තරාසංග (තිපොට සිවුර), අන්තරවාස (අඳනය) යන තුන් සිවුරු පස් කඩ, හත් කඩ ආදී වශයෙන් අතු ගණන වැඩි කර මසා ගත හැකිය. එහෙත් සියලුම සිවුරුවල පහත සඳහන් කොටස් අන්තර්ගත විය යුතුමය.
කුසි (දිග, පළල, නුවා), අඩ්ඪ කුසි (හරස් නුවා), මණ්ඩල (මහ මැඩිලි) ,අඩ්ඪ මණ්ඩල (කුඩා මැඩිලි), විවට්ට (වස් අත්ත, මැද මණ්ඩලය, මහ මැඩිල්ල, මැද අත්ත), අනුවට්ට (ඇළ අතු) ගීවෙය්‍යක( ගෙළ පටිය) ජංගෙය්‍ය (කෙණ්ඩා පටිය), ගණ්ඨි (ගැටය හෙවත් සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොවන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය), පාසක (සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොයන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය) ඇතුළු කිරීමට යොදන පුඬුව හෙවත් තොණ්ඩුව යන කොටස් සිවුරක අන්තර්ගත විය යුතු බව මහාවග්ග පාළි චිවරක්ඛන්ධකයේ සඳහන් වේ. (ම.ව. 708 සහ 708 පිටු)
පස්කඩ, හත්කඩ ආදි වශයෙන් සකස් කෙරෙන සිවුරක, කඩ හෙවත් අතු (දිග පටි වැනි තීරු) ගණන වැඩි කළ හැකිය. පස් කඩ සිවුරක නම් අතු පහක්ද හත් කඩ සිවුරක නම් අතු හතක්ද ඇත. ඒ සියලු ම අතුවල දිග සහ පළල සමානය. සිවුරක, මැද අත්ත (පස් කඩ සිවුරක නම් තුන්වන අත්ත) වස්අත්ත හෙවත් විවට්ට නමින් හැඳින්වේ. වහලයක මුදුණේ යොදන යටලීය මෙන් සිවුරේ මධ්‍යය, වස් අත්තයි, එය, මධ්‍ය මණ්ඩලය යයි ද මැද මණ්ඩලය යයි ද මහ මැඩිල්ල යයි ද හැඳින්වේ. අනෙක් අතු ‘මජ්ඣමණ්ඩලය’ යයිද ‘කුඩාමැඩිල්ල යයි ද හැඳින්වේ. පස්කඩ සිවුරක නම් එක සහ පස්වන අතු හඳුන්වන්නේ ‘බාහත්ත හෙවත් නුවා අත්ත වශයෙනි. එම අතු දෙක ම සිවුර පොරවන කල්හි අතේ බාහුමත වැටෙන නිසා බාහත්ත නම් විය. ඒවා අනුවට්ට හෙවත් ඇළ අතු වශයෙන්ද දැක්වේ. ගීවෙය්‍ය හෙවත් ගෙළ පටිය, යොදන්නේ සිවුරේ ඉහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් බෙල්ලේ දාඩිය සිවුරේ ගෑවීමෙන් වන්නා වූ හානිය වැළකේ. ජංගෙය්‍ය හෙවත් කෙණ්ඩා පටිය යොදන්නේ සිවුරේ පහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් සිවුර කෙණ්ඩාවල ගෑවීමෙන් වන්නා වු අපිරිසුදු වීම, වළක්වයි. එනිසා ගීවෙය්‍ය හා ජංගෙය්‍ය යොදන්නේ සිවුරේ ආරක්ෂාවටය.
මෙසේ රෙදි කෑලිවලට (කඩ) කපා සිවුර මැසූ පසු එහි වටිනාකම අඩුවෙයි. එනිසා සොරුන්ගෙන් වුවත් අනතුරක් නොවේ. ඉදිකටුවලින් මැසීම නිසා රළුය. ශ්‍රමණයන්ට ගැළපෙන්නේය. සතුරන් විසින් නොකැමැති වන්නේය. මෙසේ චීවරය සුඛෝපභෝගි නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි.

කඨිනය චීවරය අනුමත වීම

පෙරවස් වැසූ භික්ෂුවක් වස් කඩා නොගෙන (වස්සච්ඡේදනය නොවී) වප් පුරපසළොස්වක දින පවාරණය කළ පසු, දායකයන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වන්නේ සංඝයාට කඨින චීවරයක් වශයෙන් භාවිතයට සුදුසු තුන් සිවුරුවලින් එකක් හෝ වස්ත්‍රයක් පූජා කිරීමට හැකි වීමයි. එනිසා දායකයෝ ධාර්මිකව සපයාගත් සිවුර හෝ වස්ත්‍රය සංඝයාට පූජා කරති. එය සංඝයා විසින් කඨිනාස්තරණය සඳහා සුදුසු භික්ෂුවකට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් පිරිසගේ ද සහාය ලබාගෙන එදිනම සිවුරේ සියලුම විනයානුකූල කටයුතු අවසන් කර සංඝයා ඉදිරියේදී කඨිනාස්තරණය සහ අධිට්ඨානකය, පච්චුද්ධරණය, අනුමෝදනාව ආදිය කළ යුතුය. ඒ විනය කර්ම සියල්ල කිිරීමෙන් සම්මත වෙන විශේෂ සිවුර “කඨින චීවරය” නම් වෙයි. එවැනි කඨිනයක සිවුරක ආරම්භය මහාවග්ග පාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ පාවෙය්‍ය නුවර වාසය කරන භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර බලා පිටත් වූහ. ආරණ්‍යක, පිණ්ඩපාතික , පාංශුකූලික ධූතාංගධරයන් වූ උන්වහන්සේලාගේ අපේක්ෂාව වූයේ සැවැත් නුවර වස් විසීමටය. අතරමඟ දී වස්කාලය පැමිණී නිසාත් වස්විසීමට සැවැත්නුවරට වැඩීමට කාලය නැති නිසා සාකේත නුවර වස්විසූහ. උන්වහන්සේලා, වප් පසළොස්වක දා පවාරණය කර ගංගාවලින් එතෙර වෙමින් වර්ෂාවෙන් තෙමී දිය සහිත සිවුරු ඇතිව ජේතවනාරාමයට පැමිණියහ. ඒ භික්ෂූන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේ පිළිසඳරක යෙදුණහ. ඒ අවස්ථාවේදී ‘භාග්‍යවතුන් වහන්ස, අපි ඔබ වහන්සේ දැකීමට පාවෙය්‍ය නුවර සිට එන අතර වස්කාලය පැමිණි නිසා සැවැත් නුවරට පැමිණිය නොහැකිව සාකේත වස් වසා, පවාරණයත් කර වර්ෂා මධ්‍යයේම වෙහෙස වෙමින් ම පැමිණියෙමු.’ යයි කීහ. උන්වහන්සේලාට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ‘මේ භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරුවලට අමතර සිවුරක් තිබුණේ නම් පහසුයයි මහා කාරුණාවෙන් සිතා ‘පෙරවස් විසූ භික්ෂූන්ට විශේෂ සිවුරක් වශයෙන් කඨින චීවරය, සුදුසු යයි ‘කඨින සිවුර’ අනුමත කළහ.

‘කඨින චීවරය’ යනු කුමක්ද?

කඨින චීවරය හෙවත් කඨිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ විනය නීතිවලට අනුකූලව සම්මත කරන ලද දෙපොට සිවුරක් හෝ තනිපොට සිවුරක් හෝ අඳනයක්ය. එය සම්මුති වශයෙන් චීවරයක් වුවත් කඨින යන්නෙහි අර්ථ කීපයක්ම ඇති බව පැරණි ආචාර්යවරු දක්වති.
’ ථිරට්ඨේන කඨිනං’ යන විග්‍රහයට අනුව අනාමන්තාවාර ආදී පඤ්ච ආනිසංස ස්ථිරව ලබාදෙන නිසාත් කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල ශක්තිය, මහපොළොව මෙන් අකමප්‍ය වන නිසාත් මහාමේරු පර්වතය සුළඟින් නොසෙල් වෙන්නාක් මෙන් චලනය නොවන නිසාත් වජ්‍ර (දියමන්ති) පර්වතය මෙන් නොබිඳෙන නිසාත්, අකුසල කර්මවලින් යටපත් කළ නොහැකි බලයකි.
විනයත්ථ මඤ්ජුසාවේ දැක්වෙන ‘කථ සංගහට්ඨේන’ යන විග්‍රහයට අනුව ‘සංග්‍රහ අර්ථයෙහි’ යෙදෙන කඨින යන වචනයෙන් ගැනෙන්නේ අනාමන්තචාර ආදී පඤ්ච ආනිසංස, වෙනස්නොවී එකවිට ම ලැබෙන බවයි.
‘කඨිනවත්ථං නාම, බුද්ධප්පසත්ථං’ යන සමන්තාපාසාදිකා විනයට්ඨ කථාවේ සඳහන් විස්තරයට අනුව ‘බුදුරජාණන් වහන්සේ ද ප්‍රශංසා කරන ලද ‘කඨිනය, වනාහී, සියලු දෙවි මිනිසුන්ගෙන් ම ප්‍රශංසා ලබන චීවරයකි.
මෙසේ විශේෂ අර්ථ ඇති කඨින චීවර පූජාව, වඩාත් උසස් කුසල ක්‍රියාවක් බවට පත්කර ගැනීමට නම් , එයට සම්බන්ධ වූ විනය කර්ම රාශියක් සම්පූර්ණ විය යුතුය. විනයානුකූලව කරන ලද කඨින චීවර පූජාව, ආමිස පූජාවන්ගෙන් ප්‍රථම ස්ථානයට ගැනේ. එනිසාම අටමහකුසල ක්‍රියාවන්ගේ මුල්ම පින්කම කඨින චීවර පූජාවයි. විනයානුකූලවූ කඨින චීවර පූජාවකට සම්පූර්ණ විය යුතු කරුණු රාශියක් ඇත. ඒවා සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.
අ.උපසපන් භික්ෂුවක් හෝ භික්ෂු පිරිසක් ඇසළ පුරපසළොස්වක දින උපෝසථ විනය කර්මය කර පසුදා (ඇසළ මස අවපෑළවිය) සුදුසු ආරාමයක පෙරවස් සමාදන්වීම,
ආ. පෙරවස් සමාදන් වූ භික්ෂුව, වස්විසූ ස්ථානයෙන් බැහැර ගොස් එක් රාත්‍රියක්වත් සිටින්නේ නම් සත්තාහකරණයෙන් හෙවත් ‘මගේ ජීවිතයට අනතුරක් නොවුවහොත් දින හතකට පෙර මම ආපසු වස් විසූ තැනට පැමිණෙමි’ යන සතිකරණයෙන් පිටත් විය යුතුය. එය අමතක වීමෙන් වස් විසූ ස්ථානයෙන් පිටතට ගොස් රාත්‍රියක් ගත කිරීමෙන් ද ‘ආපුස එමි’ යි සිතා සතිකරණයෙන් පිටතට ගොස් දින හතක් ඇතුළත වස් වැසු තැනට පැමිණීමට නොහැකි වූයේ නම් ‘වස්සච්ඡේදනය’ (වස් කැඩීම) වෙයි. එනිසා ඇසළ මස අවපෑළවිය සිට වප් පසළොස්වක දක්වා සතිකරණයෙන් වස ආරක්ෂා කළ යුතුය.
ඇ. වප් මස පුරපසළොස්වක දින පවාරණය විනය කර්මය කිරීම.
ඈ. වප් මස පුරපසළොස්වක දින සිට ඉල්මස පුරපසළොස්වක දින දක්වා වූ චීවර මාසය තුළ දී විනයානුකූල වූ වස්ත්‍රයක් හෝ තුන් සිවුරෙන් එකක් දායකයන්ගෙන් සංඝයාට ලැබී, එය මහා සංඝයා විසින් එදිනම පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තරණය සඳහා පැවරීම.
ඉ. කඨිනාස්තාරක භික්ෂුව විසින් තමාට ලැබුණු කඨින වස්ත්‍රය හෝ චීවරය හා සම්බන්ධ සියලු ම විනයානුකූල කටයුතු එම දිනයේ දීම සම්පූර්ණ කර අධිට්ඨාන, පච්චුද්ධරණ, ආස්තරණය, කප්බින්දු තැබීම ආදි විනය කර්ම කිරීම.
ඊ. කඨිනයක් නොවීමට හේතු වන්නා වු කරුණු 24 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. මෙම කරුණු සියල්ලම කඨිනාස්තාරක භික්ෂුවගේ අධික්ෂණයෙන් විනයානුකූලව සිවුර සකස් කිරීම.
කඨිනාස්තරණයක් නොවීමට හේතු වන කරුණු මහාවග්ගපාළියේ සඳහන්වේ.
සිවුරට අවශ්‍ය දිග ,පළල, ලකුණු කිරීමෙන් පමණක් කඨිනය අතුරණ ලද්දේ නොවේ. එසේම වස්ත්‍රය සේදූ පමණින් හෝ සිවුරෙහි කඩ නියම කිරීම පමණකින් හෝ කඩ කැපූ පමණකින් හෝ නූල් ගැසූ පමණකින් හෝ මැසීම, අතු එකට මූට්ටු කිරීම,ඇතුළ පිටත නුවා ඇල්ලීම, අතු ඇල්ලී, පඬු ගැසීම ආදිය කළ පමණකින් කඨිනාස්ථරණයක් නොවේ. මේ සියල්ලම විනයානුකූලව ම සම්පූර්ණ කළ යුතුය. කඨිනත්ථාරක භික්ෂුවගේ කටයුතුවලට පැය 24 ක් ඉක්ම වීමෙන්ද කප්බින්දු නොතැබීම, අධිට්ඨාය නොකිරීම, විකප්පනය නොකිරීම, ආස්තරණය කරන ලද සිවුර, එදිනම විහාරස්ථානයෙන් පිටතට ගෙන පැය 24 ක් ඉක්මවීම ආදි කරුණු නිසා කඨිනයේ බලය නැතිවේ.
උ. කඨිනයක් වීමට හේතු වන්නා වූ කරුණු 17 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. කඨිනත්ථාරක භික්ෂුව විසින් කඨිනය ඇතිරීමේදී අලුත් වස්ත්‍රයකින් හෝ ඊට සමාන සුදුසු වූ (කැප) වස්ත්‍රයකින් ඇතිරීම, රෙදි කැබැලිවලින් කළ සිවුරකින් ඇතිරීම, පාංශුකූල වස්ත්‍රයකින් ඇතිරීම, ඉල්ලීමකින් තොරව විනයානුකූලව ලැබුණු වස්ත්‍රයකින් ඇතිරීම, තාවකාලිකව ඉල්ලාගත් වස්ත්‍රයක් නොවීම, තුන් සිවුරෙන් එකක් වීම, එදිනම කඩ කපා මසා නිම කිරීම, එම විහාරයේම පෙරවස් වසා පවාරණය කළ භික්ෂුවකට පැවරීම ආදිය සම්පූර්ණ විය යුතුය.
ඌ.කඨිනය ලැබූ භික්ෂුව විසින් සංඝයා ඉදිරියේ පරණ චීවරය පච්චුද්ධරණය කර අලුතින් ලැබුණු කඨින සිවුර අධිට්ඨානය කිරීම, කප්බින්දුව තැබීම, කඨිනානිසංස අනුමෝදන් කිරීම සහ අනුමෝදන් වීම, එදිනම සිදු කළ යුතුය. මේ කරුණු එකක් හෝ අඩු වුවහොත් කඨිනයේ බලය නැති වෙයි.

කඨිනාස්තරණය

කඨින ආස්තරණය නම් කඨිනය ඇතිරීමයි. කඨිනය නම්, පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට දායකයන් විසින් කැපසරුප් ලෙස පූජා කෙරෙන තුන් සිවුරෙන් එකක් හෝ වස්ත්‍රයකි. කඨිනයක් වශයෙන් සංඝයාට ලැබුණූ ඒ සිවුර හෝ වස්ත්‍රය, එදිනම විනයානුකූල වූ චීවරයක් වශයෙන් සකස් කළ යුතුය. එනිසා පස්දෙනෙක් හෝ ඊට වැඩි වූ සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තාරය සඳහා පවරනු ලැබේ.
දායකයන් විසින් පූජා කරන ලද කඨිනයේ වැඩ (රෙදි නම් කඩකැපීම, මැසීම, පඬුගැසීම ආදිය) සංඝයා විසින් ම කර කඨිනත්ථාරකයාට පැවරිය හැකිය. එය නිට්ඨිත පරිකම්ම වූ කඨිනත්ථාරයකි. එසේ පරිකම්ම සම්පූර්ණ නොකරන ලද කඨිනයක් පවරන්නේ නම් එය අනිට්ඨිත පරිකම්ම කඨිනත්ථාරයකි. එම කඨිනාස්තාරක භික්ෂුවට, කඨිනය සඳහා ලැබුණේ මසන ලස සිවුරක් (කත කඨින චීවරයක්) නම් එය පරීක්ෂා කර විනායානුකූල වීමට පුබ්බකරණ, පුබ්බකිච්ච, කප්බින්දු තැබීම ආදිය කළ යුතුය. මසා නිම කරන ලද සිවුරුම ලැබෙන්නේ නම් යහපත්මය. එවිට සංඝයා විසින් කඨිනුද්ධාරක භික්ෂුවට කඨිනය පැවැරූ කල්හි ඔහුට කරන්න ඉතිරිව ඇත්තේ කප්බින්දුව තබා පච්චුද්ධරණ, අධිට්ඨාන කිරීමේ ආදිය පමණකි. එනිසා මසන ලද සිවුරු මිලට ගෙන කඨින සිවුරු වශයෙන් පූජා කිරීම සුදුසුය. එය කතචීවර හෙවත් මසා නිමකරන ලද නිට්ඨිත චීවරයක් වශයෙන්ද හැඳින්වේ. දායකයන් විසින් සංඝයාට කඨිනයක් සඳහා පූජා කෙරෙන සිවුර සම්පූර්ණ වූ කඨිනයක් වන්නේ, සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට පැවරී සහ ඒ භික්ෂුව විසින් කඨිනයට සම්බන්ධ විනයානුකූල කටයුතු අවසන් කිරීමෙන් පසුවය.
දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද්දේ නූල්, රෙදි නම් සංඝයා විසින් ඒවා සිවුරු මැසීමට කුසලතා හා සුදුසුකම් ඇති භික්ෂුවකට කඨිනාස්තරණයට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් භික්ෂූන් වහන්සේලාගේත් සහාය ලබාගෙන, නූල් නම් රෙදි වියා ඉතිරි සියල්ල ම එදිනම කළ යුතුය. කඨානාස්තාරකයාට ලැබුණේ රෙදි නම් සේදීම,කඩ කපා අතු බෙදා සැකසීම, මැසීම, පඬුගසා විනයානුකූල වූ සිවුරක් සේ සකස් කර, කප්බින්දුව තැබීම, පච්චුද්ධරණයව, අධිට්ඨානය ආදිය කර කඨනාස්තාරය කළ යුතුය. සිවුරේ සියලුම වැඩ එදිනම නිම කිරීමට නොහැකි වූයේ නම් අකත (නිම නොකරන ලද සිවුර) හෝ විප්පකත ( සිවුර මැසීම, පඬු ගැසීම ආදිය අඩාල වූ සිවුර) වශයෙන් හැඳින්වේ. පැය 24 ක් ඇතුළතදී මසා නිම කළ නොහැකි වූ අකත, විප්පකත වූ කඨින චීවරයක්, කඨිනත්ථාරය කළ නොහැකිය. එනිසා කඨිනානිසංසද නොලැබේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුක ඇතිවන්නේ අනවබෝධය නිසා නොවේද?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

වප් අමාවක පොහොය දවසේ “සුපසන් ජීවිතයකට" ධර්ම කතා පෙළෙහි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ “ගද්දුලබද්ධ” සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දහම් කතාවකි. මෙම දහම් කතාවත් දුකට අකැමැති සැපට කැමැති ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා සෑම කෙනෙකුටම මහත් වූ සුවයක්, සැනසිල්ලක් ලබන්නට පුළුවනි. එය පරමාර්ථ ධර්ම කතාවක් ම නිසා දහමෙන් ලබන උතුම් ප්‍රයෝජනයත් මනා කොට ලබන්නට පුළුවනි.

“ගද්දුලබද්ධ” ගද්දුල යනු සම්පටියක් හෝ යමක් බඳින්නට උපකාර කරගන්නා වූ දම්වැලක් වැනි අදහසකුයි. “බද්ධ” කියන වචනයෙන් අදහස් කරන්නෙ සම්පටියකින් බඳිනා ලද කියන අදහසයි. මේ සූත්‍ර දේශනාවේ උපමාවට ගන්නෙ සම්පටියකින් බඳිනා ලද සුනඛයකුගේ හැසිරීම පිළිබඳවයි.
කණුවකට හෝ ගසකට තබා පටියකින් බැඳ තබන සුනඛයා, ඒ පටියේ දිග ප්‍රමාණයට ම දුවනවා නැවතත් කණුව ළඟට එනවා. ඒ කණුව වටේ කරකැවෙනවා. දුවනවා, එහි ම ළගිනවා. අන්න ඒ නිදසුන රැගෙන තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්ම කතාවක් දහම් අවවාදයක් සැනසිල්ල බලාපොරොත්තුවන අප සැම දෙනාටම ලබාදෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා,
“අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා
සංයෝජනානං සන්ධාවතං සංසරතං යනුවෙනි.

මෙහි තේරුම මහණෙනි, මේ සසර කෙළවරක් නැතිය. අවිජ්ජාවෙන් වැසීම නිසා තෘෂ්ණාව නමැති සංයෝජනයන්ගෙන් භවයට බැඳෙන සත්වයෝ භවයෙන් භවයට දුවගෙන යති. ඇවිදිති. මේ සත්වයන්ගේ භවයන්හි මුල හෙවත් පූර්වාන්තයක් නොපෙනේ යනුවෙනි.
මේ අදහස පෙන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මීළඟට මෙවැනි උපමා කීපයක් දක්වනවා. එනම් අර කෙළවරක් දකින්නට නැති සසරගමනෙහි චුති උපත් වශයෙන් ගමන් කරන සත්වයෝ විඳින්නා වූ දුක පිළිබඳව පැවසීමයි. මහණෙනි, යම් කලෙක මේ මහ මුහුද සිඳේ ද, වියලේ ද නොවේද, එබඳු කලක් වන්නෙමයි. මහණෙනි, අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුකින් යුතුව මේ භවයෙහි සැරිසරන සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් නම් මම නොකියමි. ඉන් අදහස් කරන්නෙ මහ මුහුද යම් දවසක සිඳෙන්න, වියලෙන්න පුළුවන් ඒක එසේ වේවි. නමුත් අවිද්‍යාවෙන් ධර්ම මාර්ගය වැසිල ඒ නිසාම තෘෂ්ණාවට හසුවෙලා භවයේ දුක්විඳින සත්වයන්ගෙ ඒ දුකේ කෙළවර කිරීමක් නම් පැවැසීම, දැක ගැනීම අපහසුබවයි.
ඊළඟ නිදසුන අපි බලමු. මහණෙනි, යම් කලෙක මේ මහා මේරු පර්වතය දැවේද, වැනසේද නොවේද, එබඳු කලක් වේමයි. මහණෙනි, අවිද්‍යාවෙන් මාර්ගය වැහුණු, ඒ නිසා ම තෘෂ්ණාවෙන් සසරට බැඳුණු දුක්විඳීමින් දුවන, සැරිසරන මේ සත්වයන්ගෙ දුක කෙළවර කිරීමක් නම් මම නොකියමි යනුවෙනි. මහාමේරු පර්වතය පිළිබඳව ධර්ම සාහිත්‍යයේ සටහන්ව ඇත්තේ ඉතා ම අතිවිශාල වූ පර්වතයක් හැටියටය. එය නොකැඩෙන, නොවැසෙන, වස්තුවක් ලෙස පුද්ගලයන්ගේ මනසෙහි තැන්පත්ව පවතියි. එනමුත් එම මහමේරු පර්වතය පවා යම් දවසක වැනසේවි, එනමුත් දුක්විඳින සත්වයා ගේ දුක කෙළවරකිරීමක් පිළිබඳව දකින්නට, කියන්නට අපහසු බව ඒ නිදසුනෙන් පෙන්වා දෙනවා.
ඊළඟ නිදසුන නම් යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නොවේද එබඳු කලක් වේමයි. මහණෙනි, අවිද්‍යාව නිසා ධර්ම මාර්ගය වසාගෙන ඒ නිසාම රාග, දෝස, මෝහ ආදී තෘෂ්ණාවෙන් සසරට බැඳී දුක්විදිමින් දුවන සැරිසරන සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් පිළිබඳව මම නොකියමි. මේ මහ පොළොව අතිගම්භීර යමකි. මේ මහ පොළොව යම් දවසක දැවෙන්න, වැනසෙන්න පුළුවනි. එනමුත් අවිද්‍යාව හේතුකොටගෙන රාග ආදී කෙලෙස් උපදවාගෙන මේ භවය සකස් කරගෙන දුක්විඳිමින් දිවෙන සැරිසරන සත්වයන්ගේ දුකෙහි කෙළවරක් ගැන නම් සිතා ගැනීමත් අපහසුබවයි. ඉන් අදහස් කරන්නෙ, මෙහි අවිද්‍යාවෙන් වැසීම යනුවෙන් පවසන්නේ කුමක් ද? අවිද්‍යාව නම් නොදැනීමයි. මුලාවයි. මේ අවිද්‍යාව නිසා ම සංස්කාර රැස්වෙනවා. කයෙන් කරන කර්ම, වචනයෙන් සිදුකරන කර්ම, සිතින් හෙවත් මනසින් කරන කර්ම යනුවෙනි. මේවා කුසලා කුසල එනම් කුසල් හෝ අකුසල් කර්ම විය හැකියි. අරහත් මාර්ගයට පත්වන විට කුසල් අකුසල් නම් වූ සියලු කර්ම එනම් සියලු සංස්කාර ප්‍රහාණය වෙනවා.
එනමුත් මේ කර්ම රැස්කිරීමේ දී ධර්ම මාර්ගය තුළ හැකිතාක්දුරට කුසල කර්ම පවත්වාගෙන එමගින් ම දුකින් මිදීමට අවස්ථාව සලසාගත යුතු බව ධර්ම කතාවේ පෙන්වා දෙනවා. කුසල් සිදු කළ අය සුගතියෙහි උපදිනවා. එවිට ධර්මය තේරුම්ගෙන සම්‍යක්දෘෂ්ටිකව දුක කෙළවර කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. අකුසල් රැස්කළොත් සතර අපාය නම් වූ දුගතියෙහි ඉපදී දුක්විඳීමක් ම විනා දුක කෙළවර කිරීමට අවස්ථාවක් සැලසෙන්නෙ නැහැ. අවිද්‍යාව නම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය පිළිබඳව ඇති අනවබෝධයයි. එනම් නොවැටහීමයි. එමෙන් ම පටිච්චසමුප්පාද ධර්මය දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව ඇති අනවබෝධයයි.
තවදුරටත් පැහැදිලි කළොත් මෙසේයි. තමා කෙරෙහි ම ඇති අනවබෝධයයි. අන් අය, අන් වස්තූන් කෙරෙහි ඇති අනවබෝධයයි. ඉන් අදහස් කරන්නෙ කුමක් ද? තමා, මම, සත්වයා, පුද්ගලයා යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ධාතු ස්කන්ධ ආයතනයන්ගේ එකතුවට අපි පුංජයයි කියමු. සාමාන්‍යයෙන් ශරීරය, කය, වස්තුවක් වශයෙන් හඳුන්වන්නේ මෙයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු කොටස් හතරත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයත්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ආයතන හයත් මූලික වශයෙන් එකතු වී පුංජයක් බවට පත්වේ. එය අප කයක්, ශරීරයක් හැටියට හඳුන්වනවා. මම කියා හෝ ඔබ කියා හෝ ඉන් අනතුරුව හඳුන්වන්නේ මෙයයි. මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත ශරීරය හෙවත් ඔබ සහ මම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට විදසුන් නුවණින් දැකීමට ඇති නොහැකියාව අසමත් බව අවිද්‍යාවයි. එවිට සිදුවන්නේ කුමක් ද? ඇසට හමුවන රූපය, මගේය, මම වෙමි, මගේ ආත්මය කියා සිතින් දැඩිව අල්ලාගන්නවා. එනම් උපාදානය කර ගන්නවා. එය රූපය සවිඤ්ඤාණක වස්තුවක් එනම් පුද්ගලයෙක් විය හැකියි. ඒ වගේ ම අවිඤ්ඤාණක වස්තුවක් වන ගහකොළ, ගෙයක්, දොරක් වැනි යමක් විය හැකියි. තමා එයට ප්‍රිය ලෙස අරමුණු පහළකරගත්තොත් අවිද්‍යාවට හසු වූ පුද්ගලයා එහි තදින් බැඳෙනවා. ප්‍රියභාවයට හසු කරගන්නේ කෙසේ ද? ඇසෙහි අර රූපය හටගන්නා විට චක්ඛු විඤාණය හෙවත් ඇසෙහි සිත උපදිනවා. අවිද්‍යාවෙන් වැසුණු පුද්ගලයා ඔය සිතෙහි සකස් කර ගන්නෙ ඉටුවඩන, මනවඩන, ප්‍රියදැයෙහි කාමයෙන් යුත් ඇලුම්කරන ස්වභාවයෙන් යුතු ප්‍රිය සිතිවිලියි. එනම් කාම සිතිවිලියි. අවිද්‍යාව නිසා මේ පුද්ගලයාට මේ රූපය නම් වූ වස්තුව වෙනස්වන බවක් හෝ දුකට හේතුවක් බව වැටහෙන්නේ නැහැ. එනම් හේතුපත්‍යයන්ගෙන් හටගත්ත සංඛතයක් බව හෙවත් සංස්කාරයක් බව වැටහෙන්නේ නැහැ. පඨවි ආදී ධාතූන්ගෙන් නිර්මාණය වූ සෑම දෙයක් ම සංඛතයක් හෙවත් සංස්කාරයකුයි. ඒ හැම සංඛතයක් හෙවත් සංස්කාරයක් ම ඒ පඨවි ආදී ධාතු කොටස් විසිරී යන විට එයින් හටගත්ත ඵලයත් විසිරී යනවා. නැතිවී යනවා. අවිද්‍යාවෙන් යුතු පුද්ගලයාට මේ ගැන අවබෝධයක් නැහැ. කැඩෙන බිඳෙන දිරාගෙන යන ලෙඩවෙන බව පිළිබඳව දැනුමක් තිබෙනවා. නමුත් දැකිය යුතු අවබෝධයක් මේ පුද්ගලයාට නැහැ. ඒ නිසා ඇසෙහි හටගත් අර රූපය කෙරෙහි චක්ඛු විඤ්ඤාණය සකස් වෙන්නෙ, එනම් ඇසෙහි සිත සකස් වෙන්නෙ ඉහත සඳහන් කළ අයුරින් ඉටුවඩන, මනවඩන, ආදී වශයෙන් බලවත් වූ කැමැත්තක් ඇතිවයි, එනම් කාමච්ඡන්දයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මඟ නොමඟ කියාදෙන සීලය සහ ප්‍රඥාව

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.
ආර්ය ධර්මය තුළ අපේ සිත පුරුදු කරනවානම් ඒ අසිරිමත් ධර්මය රාග ද්වේෂ, නසා ඉදිරියට යාමට අපට මාර්ගය කියා දෙනවා. ජීවිතයටත්, අතරමං වූ ජීවිතයටත් අග, මුල, මැද පටලවා ගත් ජීවිතයටත් මේ ධර්මයට යා යුතු මඟ නොමඟ පෙන්නුම් කරන්නට අපට අසිරිමත් ආලෝකයක් ලබා දෙනවා. සද්ධර්මය ප්‍රදීප දල්වා ගැනීම අපේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට එය හේතු වෙනවා.

අප ලබාගත් ජීවිතය ගැන මඳක් සිතන්න. ජීවිතය බොහෝම දුර්ලභ දෙයක්. දිනක් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් පිණ්ඩපාත චාරිකාවේ වඩිනවා. එදින උන්වහන්සේ දුටුවා පුදුමාකාර විශ්මයජනක අමුතු දෙයක්. එක්තරා බමුණෙක් අශ්ව රෝම කූපයක් අරගෙන ඈතින් තියා ඊතලයක් ගෙන හරියටම අර අශ්ව රෝම කූපයට විද්දා. මෙය දුටු ආනන්ද හිමියන්ට මහත් පුදුමයක් හිතුනා. අශ්ව රෝම කූපයක් කියන්නේ බොහෝම සියුම් දෙයක්. දුන්න බලවත් කර කෙළින්ම එයට විඳිනවා කියන්නේ ඉතා අමාරු දෙයක්.
සවස් වරුවේ දම්සභා මණ්ඩපයේදී ආනන්ද හිමියන් මේ කාරණය කියා සිටියා.ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්දය, ඔබ හිතන්න, යම් කෙනෙක් ඝන අඳුරේ අශ්ව රෝම කූපයේ දහසයෙන් පංගුවක් අරගෙන විදුලි එළියක් වැටෙන වෙලාවකදී අර දහසයෙක පංගුවක් වූ අශ්ව රෝම කූපයට විදිනවා. දැන් වහන්සේ විමසනවා ආනන්ද, ඔබ මොකද හිතන්නේ. දවල් කාලයේ රෝම කූපයට විදින එකද? අඳුරේ රෝම කූපයෙන් දහසයෙන් පංගුවට ඊතලය විදින එකද අමාරු? ආනන්ද හිමියන් වදාළා ස්වාමිනි, රාත්‍රියේ දී රෝම කූපයෙන් දහසයෙන් පංගුවට විදින එක ඉතාමත් අමාරු දෙයක්. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ අප ලැබූ මනුස්ස ජීවිතය අර ඝන අන්ධකාරයේ දහසයෙන් පංගුවකට විදුලිය කොටන ක්ෂණයෙන් රෝම කූපයට ඊතලය විදිනවා වගේ බොහෝම දුර්ලභ දෙයක් කියා.
මේ උපමාවෙන් පැහැදිලියි, අප ලබාගෙන තිබෙන්නේ කොතරම් දුර්ලභ වටිනා අවස්ථාවක්ද කියා. ඒ නිසා මනුස්ස ආත්ම භාවය ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදුන අප ධර්මයට සිත එකතු කරගෙන ධර්මකාමි ගමනක් යන්න පුළුවන්නම් එයයි වටින්නේ. කෙනෙකුට යමක් වටිනවා වුණාට තව කෙනෙකුට ඒ වටිනාකම තේරුම් ගන්න බැහැ. වටිනා මැණිකක් සුනඛයෙකුට ලැබුණොත් ඒ මැණික ඒ සුනඛයාට වටින්නේ නැහැ. ඒ නිසා ඔබ මේ ලබාගත් ජීවිතය මැණිකක් කොට සිතන්න. බුද්ධෝත්පාද කාලයක ඉපදීම ඉතාමත් වටිනා අවස්ථාවක්. හැම මොහොතකම සතිය උපදවා ගන්න. සිත තුළ රාග, ද්වේෂ, මෝහ ගින්න නැතිකර ගෙන ඒ අසිරිමත් ධර්මය පානය කළ යුතු වෙනවා. තථාගතයන් වහන්සේ වදාළා ධර්මය හා සමාන අසිරිමත් ඖෂධයක් ඔබට මුණ ගැහෙන්නේ නැහැ. ඒ අගනා ඖෂධය මත පුදුමාකාර ශාන්තියක්, අවබෝධයක්, නිවීමක් ලබා ගන්නට පුළුවන්ය.
අපේ ජීවිතයේ වටිනාකම මනින්නේ කෙසේද? කියා බලමු. ජීවිතයක් වටින්නේ ලස්සන රූපයක් ලැබුණාම ද? ගෙවල් දොරවල් යාන වාහන නිසා ජීවිතය වටිනවා ද? විවිධ සමාජ බලයන් නිසා ජීවිතය වටිනවාද? නැත්නම් ඇතුළාන්තය පිරිසුදු වුණාම ජීවිතය වටිනවා ද? එසේ පිරිසුදු කරගන්නට ආලෝකමත් කර ගන්නට වටිනා බවට උත්තම බවට පත්කර ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? මොනවාද සෙවිය යුත්තේ?
සෝමදණ්ඩ සූත්‍රයට අනුව ඔබට මේ පිළිබඳව පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේ දිනක් ‘අංග’ දේශයේ ‘පොක්කරවී’ කියන විලක් අසළ වැඩ සිටියා. ධර්මයට කැමැති පිරිස බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියා. මේ මහ සෙනඟක් කොහේද යන්නේ කියා සෝමදණ්ඩ බමුණා විමසා බැලුවා. ඔහු මහා පිරිසකට නායකයෙක්. බලසම්පන්න බමුණෙක්. ඔහු පිරිසෙන් අහනවා මේ ඔබලා කොහේද යන්නේ? අසවල් විල ළඟ තථාගත අංගීරස බුදුරජාණන් වහන්සේ වැඩ ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ ඉතාම ගුණවන්තයි. භාග්‍යසම්පන්නයි. නැණවන්තයි කියමින් ඒ පිරිස බුදුගුණ කියනවා. බමුණා ඊළඟට යන පිරිසෙනුත් ඒ ආකාරයෙන් විමසුවා. ඒ අයත් බුදු හිමියන්ගේ ගුණ කියනවා. ඒ සූත්‍රයේ තිබෙනවා බුදු කෙනෙකුන් ළඟ තිබෙන අපත් පුරුදු කළ යුතු ගුණ කීපයක් පිළිබඳව. උන්වහන්සේ කිසිම අහංකාරභාවයක් නැහැ. තමා ඉදිරියේ සිටින පුද්ගලයා සමඟ පළමුව කථා කරන්නේ බුදුරජාණන් වහන්සේ. අපනම් සිතනවා මොහු කථාකළේ නැහැනේ , මම මොකටද කථා කරන්නේ කියා. ඒ වගේම සුන්දර ශරීරයක් ලැබී තිබුණා. උඩින් ආටෝප සාටෝප කර හදාගන්න ශරීරය එතරම්ම ලස්සන නැහැ. පින්වන්ත නැහැ. සිතයි පින්වන්ත විය යුත්තේ.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ එන පිරිස සමඟ පිළිසඳරේ යෙදෙන්න හරිම දක්ෂයි. ධර්ම කරුණු පිළිසඳරේ කථා කරනවා. අප නම් කථාකරන විට කෙනෙකුට අපහාස කරාවි, තව කෙනෙකුගේ දොස් කියාවි, හිස් වචන කියාවි. එය හොඳ පිළිසඳර කථාවක් නොවේ. අසන කෙනාටත්, කියන කෙනාටත් එයින් පවු රැස්වෙනවා. කෙනෙක් ආර්ය මාර්ග නිවන කැමැතිනම් ආධ්‍යාත්මික ගමන බලවත් කරන්න ඕන නම් ධර්මය කථා කරන්න ඕන. කුසලයට, පිනට බර වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ එන පිරිසට එසේ ධර්මයෙන් සංග්‍රහ කරනවා.
ඒ වගේම කෙනෙක් ඈතින් එනවිට තථාගතයන් වහන්සේ කථා කරනවා පින්වත, කෙසේද? කියා. ඔබේ නිවසට කෙනෙක් එනවිට බොහෝම සුහදව කථා කරනවානම් එය වටිනවා. එය හොඳ ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕනෑම කෙනෙකුගේ සිත සුවපත් වෙනවා. සීලයේ පිහිටනවා. උන්වහන්සේ ප්‍රඥාව ලබාදෙන වචන කියනවා. සමාධියට යොමු කරනවා. පාපයෙන් සිත මුදා ගෙන ආධ්‍යාත්මිකභාවයට අප මෙහෙයවන සද්පුරුෂ ධර්මානුකූල වචන වදාරණවා. එයින් පිරිස සුවපත්භාවයට පත්වෙනවා. දෙලොවට යහපත් වචන වලින් සංග්‍රහ කරනවා. එය ඉතාම වටිනවා. ඒ වගේම උන්වහන්සේ සසර, නිවන, මරණය, මරණයෙන් පසු ස්වභාවය ඉතාම හොඳින් කියා දෙනවා. කිසි කෙනෙකුට මේවා බොරු කියා තර්ක කරන්න බැරි බව අර පිරිස බමුණාට කියා සිටියා. එහෙනම් මමත් උන්වහන්සේ සමඟ කථා කරන්න ඕන කියා බමුණා තීරණය කළා. නැවත ඔහු සිතනවා මම ගියාම බුදුහිමියන් අර පිරිස මැද මගෙන් ප්‍රශ්නයක් අසා ඒක එහෙම නොවේ කිව්වොත් එය ලොකු ලජ්ජාවක්. කෙසේ හෝ සෝමදණ්ඩ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. අර පිරිස මැද තථාගතයන් වහන්සේ දුටුවා සෝමදණ්ඩ පැමිණ සිටින බව. ඔහුගේ සිත දිවැසින් දුටුවා. ඔහු කරදර සිටින බව දුටුවා.
තථාගතතයන් වහන්සේ වදාළා සෝමදණ්ඩ, හොඳ බමුණෙක් වීමට තිබියයුතු හොඳ ලක්ෂණ මොනවාද? කියා ඇසුවා. ඒ බමුණා කියනවා ස්වාමිනි, ඒ සඳහා කරුණු පහක් අවශ්‍යයි. ඒ තමා 1. ඔහු බ්‍රාහ්මණ කුලයෙන් ඉපදෙන්න ඕන. 2. පාරිශුද්ධභාවයක් තිබෙන්න ඕන. 3. හොඳ රූපයක් තිබෙන්න ඕන, 4. ත්‍රිවේදය පරතෙරට ගිය කෙනෙක් වෙන්න ඕන, පිරිසට නායකකම දෙන්න පුළුවන්කම, හැදිච්චකම, ගුණවත්කම තිබෙන්න ඕන 5. ඔහුට හොඳ ප්‍රඥාවක් තීක්ෂණයක් තිබෙන්න ඕන කියා කිව්වා. සෝමදණ්ඩ ඔබ කිව්වානේ කෙනෙක් පාරිශුද්ධභාවයකින් උපදින්න ඕන හොඳ බමුණෙක් වෙන්න කියා. ඒ කාරණය නැති අයට බැරිද? බමුණෙක් වෙන්න. ඔහු කියනවා එහෙම නැති අයටත් පුළුවන් හොඳ බමුණෙක් වෙන්න. සෝමදණ්ඩ ලස්සන රූපයක් නැති අයට බැරිද? හොඳ බමුණක් වෙන්න. බමුණා නැවත කියනවා ඇත්තටම රූපය ප්‍රශ්නයක් නොවේ හොඳ බමුණෙක් වෙන්න. ඊළඟට අසනවා හොඳ බමුණෙක් වෙන්න ත්‍රිවේදය පරතෙරටම දැනගත යුතුද? සෝමදණ්ඩ කියනවා එසේ අවශ්‍ය නැහැ. පරතෙරට දන්නේ නැති වුවත් කෙනෙකුට හොඳ බමුණෙක් වෙන්න පුළුවන්. ඊළඟට සීලයයි, ප්‍රඥාවයි අතහැර හොඳ බමුණෙක් වෙන්න බැරිද අසනවා. එවිට සෝමදණ්ඩ කියනවා ස්වාමිනි, සීලයයි, ප්‍රඥාවයි අතහැර නම් හොඳ බමුණෙක් වෙන්න බැහැ. සෑම දෙයකටම මුලින්ම සීලය අවශ්‍යයි. සීලයෙන් සමාධිය වර්ධනයටත්, සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් කරනවා. ඒ නිසා හොඳ මිනිසෙකු වෙන්න ප්‍රඥාව විතරක් තිබිලා මදි. ගුණවත්බව හැදුනුකම අවශ්‍යයි. ඒ නිසයි සඳහන් වෙන්නේ හුදෙකලා ප්‍රඥාවට පවතින්න බැහැ සීලයේ ගුණය සද්පුරුෂ ධර්මය අවශ්‍යයි. එවිට ඔහු දියුණුවට, ආලෝකයෙන් ආලෝකයට පත්වන බව සෝමදණ්ඩ සූත්‍රය අනුව පැහැදිලි වෙනවා.
ඒ නිසා ඔබ සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.
නයනා නිල්මිණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දුෂ්කථාවෙන් සුන්දර කථාවකට


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'අස්‌සද්ධස්‌ස භික්‌ඛවෙ සද්ධා කථා, දුක්‌ කථා, දුස්‌සීලස්‌ස සීල කථා දුක්‌ කථා, අප්පස්‌සුතස්‌ස බාහුසච්චකථා, දුක්‌ කථා, මච්ඡරියස්‌ස චාග කථා දුක්‌ කථා, දුප්පඤ්ඤස්‌ස පඤ්Æ කථා දුක්‌කථා ති'

'මහණෙනි, ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධාකථා දුෂ්කථාය. දුසිල් පුද්ගලයාට ශීල කථා දුෂ් කථාය. අල්පශ්‍රැත පුද්ගලයාට බහුශ්‍රැත බව පිළිබඳ කතා දුෂ්කථාය. මසුරු පුද්ගලයාට ත්‍යාග කථා දුෂ්කථාය. දුෂ්ප්‍රාඥ පුද්ගලයාට ප්‍රඥ කථා දුෂ්කථාය.'

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයෙහි, සතරවැනි පණ්‌ණාසකයේ සද්ධර්ම වර්ගයට අයත් දුක්‌ කථා සූත්‍ර දේශනාවට අයත් ධර්ම කොට්‌ඨාසකුයි. දහම් මගේදී පුද්ගල නුවණ සහ එහි චර්යාවන් පිළිබඳව මනාවූ අවබෝධයක්‌ අවශ්‍යයි. පරීක්‌ෂාකාරී නුවණ හෙවත් සම්පඡඤ්ඤයෙන් යුතු සතිමන්ත අයෙක්‌ විය යුතු බව දැක්‌වෙයි. මෙම ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ගිහි හෝ පැවිදි හෝ වේවා, කල්‍යාණවන්ත වූ සත්පුරුෂ ස්‌වභාවයෙන් සමන්නාතග වෙයි. මෙවිට මෙම සත්පුරුෂ, සතිමන්ත ශ්‍රාවකයා විසින් කුසල පක්‌ෂයේම රැඳී සිටිනු ලැබේ. මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන්නේද එවැනිම ධර්ම පර්යායෙකි. පුද්ගල ආශ්‍රයේදී නොමනා කථා හෙවත් දුෂ් කථාවෙන් බැහැරව සුන්දර කථාවම සුවසේ පිළිපදින නිරාමිෂ ප්‍රීතියෙන් යුතු දහම් මගකට උපකාර දහම් පෙළකි.

යම් කෙනෙක්‌, ශ්‍රද්ධාව නොමැති අයකුට ශ්‍රද්ධාවෙන් හෝ ශ්‍රද්ධාව පිළිබඳ කතා කරන්නේ නම්, එය දුෂ්කථාවක්‌ බවට පත්වෙයි. එයට හේතුව කුමක්‌ද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට දේශනා කරති. 

'අස්‌සද්ධෝ භික්‌ඛවේ සද්ධා කථාය කච්ඡමානාය අභිසඡ්ජති, කුප්පති, ව්‍යාපඡ්ජති, පතිත්ථියති, කෝපඤ්ච, දෝසඤ්ච, අප්පච්චයං ච පාතු කරෝති. තං කිස්‌ස හේතු? තං හි සෝ භික්‌ඛවේ සද්ධාසම්පදං අත්තනි න සම්පස්‌සති. නච ලභති තතො නිදානං පීතිපාමුච්ඡං, තස්‌මා අස්‌සද්ධස්‌ස සද්ධා කථා දුක්‌කථා'.

'මහණෙනි, ශ්‍රද්ධා නැතියේ ශ්‍රද්ධා පිළිබඳව කථාව කරන විටම, කෝපයෙන් නැගෙයි. කිපෙයි. තරහවට පත්වෙයි. විරුද්ධව නැගී සිටියි. කෝපය, ද්වේෂය සහ නොසතුට ප්‍රකට කරයි. එයට හේතුව කුමක්‌ද? ශ්‍රද්ධා සම්පත්තිය තමා කෙරේ නොමැති බව දකින්නේය. ඒ නිසාම ප්‍රීති ප්‍රමෝදය නොලබන්නේය. ඒ නිසා අශ්‍රද්ධයාට ශ්‍රද්ධා කථාව, දුෂ්කථාව බවට පත්වෙයි.' ශ්‍රද්ධාව නම් තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ අවබොධයෙන් ලබන ප්‍රසාද ලක්‌ෂණ ගුණයයි'. 'සද්ධෝ හෝති සද්දහති තථාගතස්‌ස බෝධිං, ඉතිපි සෝ භගවා අරහං...' ආදී ලෙසිනි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක, ආදී ලෙසින් නව අරහාදී බුදුගුණයන් අවබෝධයෙන් දකිමිනි. 'බෝධිය' නම් වූ චතුරාර්ය සත්‍ය දර්ම මාර්ගයට ප්‍රතිපදා මාර්ගය සකසා ගැනීමයි. එම සැදැහැති සිත හැකිතාක්‌ දුරට රාගාදී කෙලෙසුන්ගෙන් බැහැරව පවතී. එම සිත සන්සුන්ය. සිත නිවන දහම් රසයෙන් පෝෂණය වීම නිසා ප්‍රමෝදය පවතී. ශ්‍රද්ධාව නැති පුද්ගලයාට එවැනි අත්දැකීමක්‌ නැත. ඔහුට හෝ ඇයට ඇත්තේ කෙලෙස්‌වලින් ලබන පාපී කසට රසය පමණකි. කැමැති රුවෙහි රාගයෙන් ඇලීලබන තාවකාලික වූ තුවාලයක්‌ කැසීමෙන් ලබන ස්‌වල්පවූ සුවයත්, අකමැති රුවෙහි ගැටීමෙන් ලබන දොම්නස්‌ සහගත ගැටීමෙන් යුතු ආවේගත් බඳු අත්දැකීම්ය. අපවිත්‍ර දැයෙහි සිටින පණුවාට එහි අපවිත්‍ර බව නොදැනෙන්නා සේ, මෙසේ අශ්‍රද්ධාවත් පුද්ගලයාට ශ්‍රද්ධාවෙහි ඇති සුවය නොදැන, අශ්‍රද්ධාවෙන් චිත්ත චෛතසිකම සුවය ලෙස දැනෙයි. හඟියි. ඒ අනුවම හැසිරෙයි.

'මහණෙනි, කුමක්‌ නිසා දුසිල්වත් පුද්ගලයාට සීල කථාව දුෂ්කථා වේද? දුෂ්සීලයා ශීල කතාව කරනු ලබත්ම කෝපයෙන් ආවේගයට පත්වෙයි. කිපෙයි. තරහවට පැමිණෙයි. විරුද්ධව නැඟී සිටියි. කෝපය, ද්වේෂය සහ නොසතුටම ප්‍රකට කරයි. ඒ කුමක්‌ නිසාද? එම සීල සම්ප්‍රදාව තමා කෙරේ නොදක්‌නේය. එම නිසා සීලය හේතුකොට ගෙන ප්‍රීති ප්‍රමෝදය නොලබන්නේය. ඒ නිසා දුසිල්වත් පුද්ගලයාට සීල කථාව දුෂ්කතා වෙයි.' 

ශීලය නම් කායික සහ වාචසික සංවරයයි. සිල්වත් තැනැත්තා සිරිත්විරිත් දන්නේ වෙයි.ඒ අනුව ශික්‌ෂණය ලැබුවෙක්‌ වෙයි. කුඩා අණු කුඩා වරදෙහි පවා අවබෝධයෙන් යුතු බිය ඇති අයෙක්‌ වෙයි. එවැනි සිල්වත් බවක්‌ නැති, පස්‌පව් හා දස අකුසල් කරන, පාපයෙහි ලඡ්ජා බිය නැති, දුස්‌සීල තැනැත්තාට සීලය ගැන පැවැසීම 'වහ කදුරු', 'නයාට අඳුකොළ' වැනි විය හැකිය. බොහෝ පාපී පුද්ගයෝ සිල්වත් උතුමන්ට නිගරු කරන්නේ එබැවිනි. එවැන්නෝ සිල්වත් බව හෙවත් 'හැදුණු බව', සංවරය, ශික්‌ෂණය දෙස දකින්නේ 'මෝඩ බයාදු, ඔතෑනි, අකර්මණ්‍ය' බවක්‌ ලෙසය.

තුන්වැනුව භාග්‍යවතුන් වහනසේ දේශනා කරති. 'මහණෙනි, කවර හෙයින් අල්පශ්‍රැතයාට බහුශ්‍රැතයා පිළිබඳ කථාව දුෂ්කථා වේද? මහණෙනි, අල්පශ්‍රැතයා, බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව කරණු ලබත්ම කෝපයෙන් නැඟී සිටියි. කිපෙයි. තරහවට පත්වෙයි. දැඩිව නැගී සිටියි. කෝපය හා ද්වේෂය සමඟ නොසතුට ප්‍රකට කරයි. ඒ කුමක්‌ නිසාද? මෙම පුද්ගලයා ශ්‍රැත සම්පදාව තමා කෙරේ නොදක්‌නේය. ඒ නිසා ඔහු හෝ අය ප්‍රීති ප්‍රමෝදය නොලබන්නේය. ඒ නිසාම අල්පශ්‍රැතයාට බහුශ්‍රැත කථාව දුෂ්කථාවක්‌ බවට පත්වෙයි.

ශ්‍රැතවත් පුද්ගලයාගේ ස්‌වභාවය කුමක්‌ද? ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැනැත්තා) ශ්‍රාවකයා ශ්‍රැතධර වූයේ, මුල, මැද, අග නම් තුන්තැනම යහපත්වූ සම්පූර්ණ වූ ධර්ම රසයෙන් පිරුණු යම් දහම් කොටසක්‌ මාර්ග බ්‍රහ්මචරියාවම මතුකරන්නේනම්, එබඳු ධර්මයෝම ඔහු හෝ ඇය විසින් අසනු ලැබේ. සිතෙහි දරාගෙන සිටියි. වචනයෙන් පුරුදු කරනු ලැබෙයි. සිතෙන් විමසනු ලැබෙයි. විදර්ශනා නුවණින්ම දකිනු ලැබෙයි. මෙවැනි මඟක්‌ ඇති කථාවක්‌, ධර්ම සුවයක්‌ නොලදසිතක්‌ ඇත්තාට ගෝචර නොවෙයි. එම පුද්ගලයා හසුවී සිටින්නේ පඤ්ඤ නීවරණ ධර්මයන්ටය. යම් පුද්ගලයන්ට බහුශ්‍රැත කථාව ඇසෙන විට නිදිමත අලසකම ඇතිවන්නේ එබැවිනි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරති. මහණෙනි, කුමක්‌ නිසා මසුරු පුද්ගලයා හට ත්‍යාග කථාව දුෂ්කථාව වේද? මසුරාට ත්‍යාග කථාව තරත්ම කෝපයෙන් ආවේගයට පත්වෙයි. කිපෙයි. තරහගනියි. දැඩිව විරුද්ධ නැගී සිටී.කෝපය හා ද්වේෂය පෙන්නුම් කරයි. නොසතුට මතු කරයි. ඒ කුමක්‌ නිසාද? මසුරු පුද්ගලයා ත්‍යාග සම්ප්‍රදා තමා කෙරේ නොදකින්නේය. ඒ හේතුකොටගෙන ප්‍රීති ප්‍රමෝදය නොලබන්නේය. ඒ නිසා මසුරු පුද්ගලයාට ත්‍යාග කථාව දුෂ්කථාව වෙයි. ත්‍යාගී පුද්ගලයාගේ ස්‌වභාවය කෙසේද? ත්‍යාගවන්තයා, මසුරුමල ඇති සිතින් මිදී, දෙන්නට සේදූ, අත් ඇතිව පිදීමෙහි ඇලුනේ, ඉල්ලන්නට නිසි වූයේ, පරීක්‌ෂාකාරීව සිහිනුවණින් විමසා බලා දන්දෙමින් වාසය කරයි. මෙවැනි පරිචයක්‌ නොමැති මසුරු පුද්ගලයාට දීම දානය, පරිත්‍යාගය යහපත් කථාවක්‌ වන්නේ නැත. ඔහුට සිතෙන්නේ ඔහුගේ ධනය නැතිවෙන මගක්‌ හෝ කථාවක්‌ ලෙසය.

මහණෙනි, කුමක්‌ නිසා දුෂ්ප්‍රාඥයාට ප්‍රඥ කථාව දුෂ් කථා වේද? දුෂ්ප්‍රඥ පුද්ගලයා ප්‍රඥ කථා කරනු ලබත්ම ආවේගයට පත්වෙයි. කිපෙයි. තරහවට පත්වෙයි. දැඩිව නැගී සිටී. කෝපය, ද්වේෂය හා නොසතුට ප්‍රකට කරයි. ඒ කුමක්‌ නිසාද? මෙම පුද්ගලයා ප්‍රඥ සම්ප්‍රදාය තමා කෙරේ නොදකින්නේය. ඒ හේතුකොටගෙන ප්‍රීති ප්‍රමෝදය නොලබන්නේය. ඒ නිසාම දුෂ්ප්‍රඥයාට ප්‍රඥ කථාව දුෂ්කථාවෙයි.

ප්‍රඥ කථාව වන්නේ දුක්‌ ක්‌ෂයවීමට යන කෙලෙස්‌ සංසිඳවීම ඇසුරු කොට, පවත්නා ස්‌කන්ධයන්ගේ හටගැනීම නැති කරීමට සමත් ආර්ය ප්‍රඥවයි. (අරිය සාවකො පඤ්ඤවා හෝති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය, නිබ්බේධිකාය, සම්මා දුක්‌ඛක්‌ඛය ගාමිනියා). මෙවැනි ප්‍රඥ කථාවක්‌, මෙවැනි අවබෝධයක්‌ නැති හෝ අවබෝධයකට කැමැත්තක්‌ ඇති දුෂ්ප්‍රඥයාට එපාවෙයි. එහිදී ඔහු හෝ ඇය අකමැති වෙයි.

පුද්ගලයන් පස්‌ දෙනකුගේ කථා පුද්ගලයන් පස්‌ දෙනකුට සුකථා (යහපත්) කථාවෙයි. සැදැහැතියාට ශ්‍රද්ධා කථාව සුකථාවෙකි. සිල්වතාට සීල කථාවද, බහුශ්‍රැතයාට බහුශ්‍රැත කථාවද, ත්‍යාගියාට ත්‍යාග කථාවද, ප්‍රඥවන්තයාට ප්‍රඥ කථාවද, සුකථා වෙති. මෙහිදී මෙම යහපත් පුද්ගලයෝ ආවේග පිට නොකරත්. නොකිපෙති. තරහ නොගනියි. දැඩිව නැගී නොසිටී. කෝපය ද්වේෂය හා නොසතුට පළ නොකරයි. ඒ කුමක්‌ නිසාද? යහපත් පුද්ගලයෝ තමන් වෙත එම ගුණ තිබෙන බව දැකගන්නෝය. ඒ නිසා ප්‍රීති ප්‍රමෝදය ලබන්නෝය. ඒ නිසාම එම කථා එම සත්පුරුෂයන්ට සුකථා (යහපත්) කථාවෙයි. ඔබත් මෙම පඤ්චවිධ ගුණයන්ගෙන් සමන්නාගත කල්‍යාණවන්ත ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකා පෙළට එකතු වෙන්න. ඔබටද ආර්ය දහමින්, ලබන ආර්ය ධනයට හිමිකම් ඇතිව දහමින් ලද ප්‍රීති ප්‍රමෝදයෙන් සැනහී චතුසච්ච අවබෝධයට මඟ සලසා ගත හැකිවනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.
ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයයි. සැවැත්නුවර පිඬු පිණිස වඩින භික්ෂුන් වහන්සේ නමකි. කොසොල් රජතුමා ගේ එක බන්ධනාගාරයක් උන්වහන්සේ ගේ ඇස ගැටේ.
එහි දැඩි වධ බන්ධනයට හසුව දුක් විඳීන සිරකරුවෝ ය. ඒ දුක දැක සංතාපයට පත් වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ අසති.
“ස්වාමීනි! බුදුපියාණන් වහන්ස. රජ ගෙයෙහි අපමණ දුක් පීඩා විඳින සිරකරුවන් දැක අපි බොහෝ දුකට පත් වීමු. යකඩ දැල් අතර සිරවී ගත කරන මේ බන්ධනයට වඩා වැඩි තවත් බැඳුම් තිබේද? බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.
“නතං දළහං බන්ධනමාහු ධීරා - යදාය සං දාරුංජං බබ්බජඤ්ච
සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු - පුත්තේසු ධාරේ සුචයා අපේඛා
එතං දළහං බන්ධනමාහු ධීරා - ඔහාරිනං සිථිලංදුප්පමුඤචං
ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්තී - අනපේක්ඛිනෝ කාම සූඛං පහාය”

“මහණෙනි, යකඩයෙන් කරන ලද, දැවයෙන් කරන ලද සහ රැහැනින් කරන ලද යම් බැඳුමක් වේද ඒ සියල්ල පහසුවෙන් සිඳලිය හැකි ය. ඒ නිසා නුවණැත්තෝ මේවා දැඩි බැඳුම් සේ නොසලකති. යමෙක්, ආභරණ කෙරෙහි, දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි වූ දැඩි බැඳුම් ඇත්තෙක් වේද ඒ බන්ධනය අවි ආයුධයකින් සිඳලිය නොහැකි ය. නුවණැත්තෝ දැඩි බන්ධනය ලෙස දකින්නේ තණ්හාව නමැති බැම්මයි.
බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට පෙන්වා දුන් මාර්ගය අද අප ගේ ජීවිත හැඩ ගසා ගැනීමට මහත් උපකාරි වන බව මාගේ විශ්වාසයයි.
අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත‍්‍රාදීන්, ආහාරපාන, වස්ත‍්‍රාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි. එහි රූප තිබේ.
ශබ්ද තිබේ. ගන්ධය, රසය, ස්පර්ශය තිබේ. නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන.
කාම බන්ධනයේ ස්වභාවය එයයි. ලෞකික ධ්‍යාන උපදවාගෙන සිටින අය පවා එම ධ්‍යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව කාලයේ සිටම නෙක්ඛම්ම පාරමිතාව පිරුවේ කාමයෙහි ඇළුණු පසුව අත්විඳින්නට වන අසහනකාරිත්වය, එහි තිබෙන දුක්ඛ සහගත බව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කොට සිටි බැවිනි. කාමයෙහි වූ ආදීනව දැකිය යුතු බව උන්වහන්සේ සෑම මොහොතකම තම ශ‍්‍රාවක පිරිසට ඉගැන්වූයේ ය.
කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ ‘අලගද්දුපම සූත‍්‍රයේ’ දී උපමා මගින් පෙන්වා දුන්හ.
“අත්ථි කන්කලුපමා කාමා”
කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්‍යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.
මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප‍්‍රමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.
“මංස පේසු උපමා කාමා”
කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.
බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග‍්‍රහ කරති.
“තිනික්කු උපමා කාමා”
පෙ‍්‍ර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් ‘මාව පිච්චෙනවා වගේ’ ‘මම ගිනි අරගෙනයි ඉන්නේ’ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.
ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.
“අංගාර කාසු උපමා කාමා”
කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්‍යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.
කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?
ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්‍යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.
කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.
‘සුපින කූපමා කාමා’
කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්‍ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.
අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.
තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.
“යාචිත උපමා කාමා”
කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.
බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.
“රුක්ඛ පලුපමා කාමා’
පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.
“අතිසුනු උපමා කාමා”
කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප‍්‍රායෝගික සිදුවීමකි.
අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.
“සක්ති සලුපමා කාමා”
අලගද්දුපම සූත‍්‍රයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.
කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.
බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.
“සප්ප සිරූපමා කාමා”
සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.
ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්‍ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප‍්‍රහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.
ඒ සඳහා අලගද්දුපම සූත‍්‍රය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.
ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්‍යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බඹයක් පමණ වු ශරීරයට මුළු විශ්වයම විඳගත හැකියි

කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අසිරිමත් දහම සිතිවිලි සිතට ගැනීමෙන් අපේ සිත පුණ්‍යවන්ත වෙනවා. ජීවිතය නිවරැදි කරගෙන ජීවිත ආලෝකය ලබාගෙන අසිරිමත් ගමනක් ආධ්‍යාත්මික ගමනකින් සුවපත් වීමට මඟ සැලසෙනවා.
මේ සිත යම්කිසි වස්ත්‍රයකට උපමා කරන්න පුළුවන්. පිරිසුදු සුදුපාට වස්ත්‍රයකට යම්කිසි සායම් ටිකක් දැම්මොත් එය ලස්සනට සායම් කර ගන්න පුළුවන්. හැබැයි බොහෝ අවපැහැ ගැන්වූ මඬ තැවරුණ දූවිලි ගෑවුනු වස්ත්‍රයකට සායම් පොවන්නට ගියොත් අප බලාපොරොත්තු වන ලස්සන ඒ වස්ත්‍රයෙන් ගන්නට බැහැ. ඒ වගේ තමා අපේ සිතේ නරක නපුරු භයානක ක්ලේෂ ධර්ම අනවශ්‍ය සිතිවිලි පුරවාගෙන අඬ අඬා වැළපි වැළපී ශෝක කරමින් පශ්චාත්තාප වෙමින් අප ජීවත් වුණොත් මේ ජීවිතයේ අර්ථයක් සොයා ගන්නට අපහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා යම් දවසක් ආරම්භ කරන මොහොතේම පුණ්‍යමය සිතිවිලි වලින් ඔබේ සිත සුවපත් කර ගන්න කියා. සිත ප්‍රභාශ්වර කරගත්විට මුළු ජීවිතයටම එය අර්ථයක් එකතු කරනවා. ධර්මයට සිත යොමු කිරීම තුළින් ඔවුන් ජීවිතයේ අභිවෘද්ධිය කරා ගමන් කරනවා. ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙනවා. පන්සල ඕන නැහැ, ස්වාමින් වහන්සේ ඕන නැහැ මම මට හිතෙන ආකාරයට ජීවත් වෙනවා කියා හිතන අය නො දැනීම බොහෝම භයානක පාපී ජීවිත උරුමකර ගන්නවා.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය විවිධ උපමා රූපක ඔස්සේ වුවත් අපට උගතහැකිව තිබෙනවා. උන්වහන්සේ දේශනා කළේ එකම ධර්මය වුවත් හැම කෙනාටම එය බලපාන ක්‍රමය වෙනස්. දිනක් එක්තරා තරුණයෙක් තථාගතයන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. මොහුට තේරුණා මේ ජීවිතය බොහෝම භයානකයි. මේ මනුස්ස ජීවිතයේ ආයුෂ බොහෝම කෙටියි. හරියට පුංචි දිය කඩිත්තක් වගේ මේ මිනිස් ආයුෂ. දිය කඩිත්ත තද හිරු රෂ්මිය වැටීමෙන් දවසින් දෙකෙන් මුළුමනින්ම සිඳී යනවා. අපේ ආයුෂත් ඒ වගේ. ඒ නිසා ඉක්මනින් අප්පමාන පදය පුරන්න ඕන කියා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා.
සෑම කමටහනක්ම හැම කෙනෙකුටම ගැලපෙන්නේ නැහැ. ඔබ භාවනාකරන විට නිතරම මෛත්‍රී භාවනවා වඩනවා ඇති. නමුත් එය හැමටම ගැලපී යන්නේ නැහැ. එයට හේතුව අපේ චරිත බොහෝම වෙනස්. බලන්න ඔබ, ඔබේ චරිතය හඳුනනවාද? අප අතර ප්‍රධාන චරිත හයක් තිබෙනවා. ඒ තමා රාග චරිත , ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. රාග මිශි‍්‍රත අරමුණු වැඩි කෙනෙකුට මෛත්‍රී කමටහන ගැලපෙන්නේ නැහැ. ඔහුට අසුභ භාවනාව වැඩීමට උපදෙස් දියයුතු වෙනවා. ඒ වගේම ද්වේෂ චරිතයට මෛත්‍රී භාවනාව ගැලපෙනවා. ඔබ සිතන්න ඔබේ චරිතය කුමක්ද කියා. ඒ වගේම සමහර චරිත තිබෙනවා ඉක්මණින් මුලාවේ වැටෙනවා. පැටලෙනවා. සොයන්නේ බලන්නේ, විිමසන්නේ නැහැ.ඒ මෝහ චරිත. ශ්‍රද්ධා චරිතයා යම් දෙයක් හොඳට සොයාබලා විමසාබලා යමක් විශ්වාස කරනවා. ඒ වගේම බුද්ධි චරිතයා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තයි. ඒ තැනේ හැටියට අවශ්‍ය කරන ආකාරයට කටයුතු කරනවා. විතක්ක චරිත ඇති පුද්ගලයා විවිධ විතර්ක සිත තුළ පහළ කරගෙන ඇත්ත පෙනි පෙනී ඇත්ත යට කරනවා. විිවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒනිසා දැන් ඔබට යම්තරමට හරි තේරෙනවා ඇති මගේ චරිතය මේ වගේ නේද කියා.
ඉතින් මේ තරුණ හිමියන් කමටහන් අරගෙන වනයකට ගමන් කළා. තුන් මාසයක් වීර්යෙන් භාවනා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ සිතුවා මම බුදුරජාණන් වහන්සේ හමුවෙලා මේ ගැන කියන්න ඕන කියා ජේතවනාරාමයට එන්න පිටත් වුණා. ගමන අතර මඟ ලස්සන ඇළ, දොළ හමුවෙනවා. මල් පිපුන ගස් මුණ ගැහෙනවා. උන්වහන්සේ වඩින අතර ටිකක් දහවල වුණා. මහපාරේ ඈත වතුර තිබෙනවා වගේ උන්වහන්සේ දුටුවා. ළංවෙලා බලද්දී එතැන වතුරක් නැහැ. නමුත් ආයෙමත් ඈතින් ඒ වතුර පෙනෙනවා. එලෙස උන්වහන්සේ දුටුවේ මිරිඟුවක්. ඒ මිරිඟුව දැක හිතනවා අපේ ජීවිතයත් හරියට මිරිඟුවක් වගේ. මුළු සමාජයම එකම මිරිඟුවක්. අපේ ඇසට හමුවන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට හසුවන ගන්ධ, දිවට හසුවන රස, කයට හසුවන පහස, කියන මේ ලෝකය භාණ්ඩ වර්ග පහකින් යුක්තයි. මේ ලෝකය සංකීර්ණ නැහැ. ලෝකය සංකීර්ණ කරගන්නේ මනස, හිත මතයි කියා තේරුනා.
ඔබ බලන්න, ඔබේ නිවසේ කෙතරම් භාණ්ඩ වර්ග තිබෙනවාද? ගමේ, පළාතේ, රටේ, ලෝකයේ කෙතරම් භාණ්ඩ වර්ග තිබෙනවාද? නමුත් මේ භාවනාවට සිත යොමු කර සිටි හිමියන්ට තේරෙනවා මේ ලෝකය, සමාජය සංකීර්ණ නැහැ. මෙහි තිබෙන්නේ භාණ්ඩ වර්ග පහක ප්‍රශ්නයක් පමණයි. මේ විශ්වයම පුංචි බඹයක් පමණ ශරීරය ඉලක්ක කරගෙන ඇතිබව දැක්කා. අපේ මේ පුංචි ඇස් දෙකට මේ විශ්වයේම තිබෙන රූප විඳගන්න පුළුවන්. ඇසට බැරි ලෝකය කනට පුළුවන්, කනට බැරි ලෝකය නාසටය පුළුවන්, නාසයට බැරි ලෝකය දිවට පුළුවන්. දිවට බැරි ලෝකය කයෙන් විඳගන්න පුළුවන්. පුංචි බඹයක් සහිත මේ ශරීරයට මුළු මහත් විශ්වයම විඳ ගත හැකි බවත්, ඒ තුළ මනස ආකූලබවට සංකීර්ණභාවයට ගමන් කරන හැටිත් මේ ස්වාමින් වහන්සේ මිරිඟුව දෙස බලමින් සිතන්නට පටන් ගත්තා. දැන් උන්වහන්සේගේ සිත හරි ප්‍රභාශ්වරයි. උන්වහන්සේ අචිරවතී ගංඟාවට බැස දිය පහසු වුණා. ගඟේ වතුර එකට හැප්පෙන හැටි බලාගෙන හිටියා. ගංඟා ජලයේ පෙණ මතුවෙන ආකාරය බලාගෙන හිටියා. එවිට දුටුවා වේගයෙන් ඒ පෙණ බිඳෙනවා, කැඩෙනවා. විනාශ වෙනවා. තේරුණා මේ ජීවිතය පෙණ හා සමානයි කියා. හැම මොහොතකම මේ ශරීරයේ ශෛල ඇතිවෙන නැතිවෙන ආකාරය දුටුවා. මේ හිමියන්ගේ සිත තව තවත් ප්‍රබල භාවයට, පරිශුද්ධ භාවයට, දැනුවත් භාවයට ගමන් කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා කමටහන් ගත් හිමියන් දැන් කොහිද? උන්වහන්සේගේ මානසික දියුණුව කොහොමද? කියා. බුදුරජාණන් වහන්සේ දුටුවා සසරින් එතෙර වෙන්නට දැන් උන්වහන්සේට උදව්වක් අවශ්‍ය බව දැනී ආකාසයෙන් වැඩම කොට රශ්මි බුද්ධ රැස්මාලාව විහිදෙව්වා. මේ බුදුකිරණ දකින ඒ හිමියන්ගේ සිත තවත් ප්‍රභාශ්වර වුණා. දැන් උන්වහන්සේට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ ආකාසයේ වැඩ සිටමින් වදාළා පින්වත් මහණ, යම්කිසි පුද්ගලයෙක් මේ ශරීරය පෙණ පිඬක් සමාන කර දකින්න උත්සාහ කරනවා නම්, ප්‍රඥාව මතුවෙනවානම් එය ඉතා හොඳයි. මේ ජීවිතය මිරිඟුවක් කියා දකිනවානම්, දැනෙනවානම් එයත් ඉතා හොඳ අවස්ථාවක්. එහෙම දකින අයගේ සිත හොඳට පන්නරය ලබනවා. ප්‍රඥා භාවය ලබනවා. ඒ ප්‍රඥාව දියුණු කරගත් ආයුධයෙන් මාරයාට පහර දීලා මාරයාට සොයා ගන්නට බැරි ආකාරයට යන්නට භාග්‍යය ලැබෙනවා කියා වදාළා. මේ ගාථාව ඇසෙනවිටම භාවනාවට සිත යොමු කළ හිමියන්ට හොඳට ඒ කරුණු වැටහුනා. සිතේ සියලු සෛල අවදි වුණා. සිත පුරාම පී‍්‍රතියක් දැණුනා. උත්තම රහත් භාවයට පත්වුණා කියා මේ දේශනාවේ සඳහන් වෙනවා.
රහත් භාවය ලබන්නේ පංච උපාධානස්කන්ධයෙහි උපාධාන ශක්තිය නැතිකර ගෙනයි. රහතන් වහන්සේ ජීවත් වෙනවා නමුත් උන්වහන්සේට නැවත වාරයක් මරණයක් මුණ ගැහෙන්නේ නැහැ. පරිනිර්වාණය කියන්නේ මරණය නොවේ. මැරෙන පුද්ගලයා භවයක් ලබනවා. පරිනිර්වාණයට පත්වෙන උතුමන්ට නැවත භවයක් නැහැ. අප අතර මැරෙන කෙනාගේ සිත තුළ බීජ වර්ග තුනක් තිබෙනවා. ඒ කර්ම බීජ, ක්ලේෂ බීජ, ස්මෘත බීජ. කර්ම බීජ කියන්නේ පින හෝ පව්. පින තිබෙන අය උත්තම ජීවිත ලබනවා. පාපය වැඩිනම් සතර අපායේ ඉපදී දුක් විඳිනවා. ක්ලේෂ බීජ තිබෙනවානම් අප සසර ට ඇදෙනවා. ස්මෘත බීජ කියන්නේ මතක සටහන් මඟින් සසරට ඇදෙනවා. මැරෙන කෙනා තුළ බීජ තිබෙනවානම් පැළවෙනවා. භවයක් ලබනවා. කර්ම ඇතිකළ භව ඇත. කර්ම නැති කළ භව නැත. බීජ ඇති කළ භව ඇත. බීජ නැති කළ භව නැත. රහතන් වහන්සේට කීනාසව කියන්නේ ඒකයි. සියලු බීජ ක්ලේෂ සියල්ල සහමුලින්ම නැතිකළ උත්තමයා.
ඒ නිසා රහතන් වහන්සේගේ මනසේ ක්ලේෂ බීජ නැහැ. රහත් මනසේ ස්මෘත බීජ නැහැ. රහත් මනසේ පින් හෝ පව් දෙකම නැහැ. ඒනිසා නැවත භවයක් ගමනක් නැහැ. ඒ නිසයි උන්වහන්සේ පරිනිර්වාණයට පත්වුණා කියන්නේ. පරිනිර්වාණය කියන්නේ ගෞරවයට පමණක් කියන වචනයක් නොවේ. මරණයට වඩා සපුරාම වෙනස්. බීජ වර්ග ක්ෂය කළ, නැවත ගමනක් නැති කළ මාරයාටවත් ගිය ගමන සෙවිය නොහැකි අවස්ථාවයි. එය අසිරිමත් නිවීයාමක් පමණයි.
නයනා නිල්මිණි

 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X