සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න

රුවන්වැල්ල, වහරක දම්සක් විහාරයේ 
ප්‍රධාන අනුශාසක 
ගම්පහ මහානාම හිමි

බුදුරජාණන් වහන්සේ අපට මනාව සංවරවීම පිළිබඳව ධර්මයෙහි උගන්වා ඇත. අප විසින් සංවර කර ගත යුතු කාරණා තුනකි. එනම් සිත, කය සහ වචනයයි. ඒ අතරින් මා ඔබට මෙම ලිපිය මගින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ වචනය සංවර කර ගැනීමේ වටිනාකම මෙන්ම එය නිවන පිණිස උපකාර වන ආකාරයයි.
බුදුරජාණන් වහන්සේ අපට නිවන පිණිස උතුම් මාර්ගයක් පෙන්වා ඇත. එනම් අංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ විග්‍රහ වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කාරණා ප්‍රගුණ කිරීම පිළිබඳවයි. සීලය අංග තුනකි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සමාධි යටතේ අංග තුනක් විග්‍රහ වේ. එනම් සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධිය ප්‍රඥා කොටස යටතේද අංග දෙකක් විග්‍රහ වේ. එනම් සම්මා දිට්ඨියත්, සම්මා සංකල්පයත්ය.මෙසේ බෙදා දැක්වීමේදි මුල් මාර්ග අංග දෙක ප්‍රඥා කොටසට අයිති වුවද නිවන් මග ඔබ තුළ ප්‍රගුණ වන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් බව මනාකොට තේරුම් ගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ සමාධියෙන් නොව ප්‍රඥාවෙන් අවසන් වන වැඩපිළිවෙලකි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ සම්මා වාචා විග්‍රහ කරන්නේ මෙසේය.

මුසාවාදා වේරමණි – බොරු කීමෙන් වැළකීම 
පිසුනා වාචා වේරමණී – කේලාම් කීමෙන් වැළකීම 
ඵරුසා වාචා වේරමණී – පරුෂ වචන කීමෙන් වැළකීම 
සම්ඵප්පලාපා වේරමණී – සම්ඵප්ප්‍රලාපයෙන් වැළකීම යනුවෙනුයි.

එම නිසා නිවන පිණිස අප සැවොම ඉහත කී කාරණා වලින් වැළකී වචනය සංවර කිරීම අනිවාර්ය වේ. බොරුවෙන් වැළකී සත්‍ය වචන පමණක්ම කතා කිරීමටද, එකිනෙකා බිඳෙන, අසමඟිවෙන වචන කථා කිරීමෙන් වැළකී ඔවුනොවුන් සමඟිවන වචන පමණක්ම කථා කිරීමටද, අන්‍යයන්ගේ සිත් රිදෙන, කනට අමිහිරි අපි‍්‍රය පරුෂ වචනයෙන් වැළකීමටද, තමන්ටත් අන් අයටත් අර්ථය පිණිස නොපවතින හිස්වචන කථා නොකොට අර්ථවත් වූ අවබෝධය පිණිස පවතින්නා වූ දස කථාවේම පමණක් යෙදෙන්නටද අප වගබලා ගත යුතුය. එසේම උත්සාහ කළ යුතුය. එසේ සම්මා වාචා යන මාර්ග අංගය පුරුදු පුහුණු කරගනිමින් දුෂ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තාට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ගඵල අවබෝධය අනිවාර්යයෙන්ම ලැබිය හැකිය.
මුවින් වචන පිට කිරීමේදී අප කිහිප වරක් සිතිය යුතුය. ඒ සඳහා මනා සිහියකින් වාසය කළ යුතුය. වචන පරිහරණයෙන් මිනිස්සු බොහෝ අකුසල් රැස්කර ගනිති. එමෙන්ම යහපත් වූ වචනයෙන් බොහෝ පින්ද රැස්කර ගත හැකි වේ. අසිහියෙන් මෙන්ම අනවබෝධයෙන් මුවින් පිටවන වචන නිසා සිදුවෙන මහා විපත් වර්තමාන සමාජයෙහිද බහුලව දැකිය හැකිය.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතවිජං 
අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද, අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යම්පි තථාගතෝ වාචං ජනාති භූතං තච්ඡ අනත්ථසංහිතං සා ච 
පරෙසං පියා මනාපා, තම්පි තථාගතෝ වාචං න භාසති

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දකිති. එමෙන්ම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. නමුත් ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අත්ථසංහිතං

සා ව පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤ තථාගතෝ හෝති 
තස්සා වාචාය වෙයියාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන්‍යයන්ට පි‍්‍රයමනාප වෙන්ට පුළුවනි. ඒ වචනය තථාගතයන් වහන්සේ කාලානුරූපව පවසති වශයෙනි.
මේ උතුම් දේශනාවෙන් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ කොයිතරම් පාරිශූද්ධ වූත්,අර්ථවත් වූත් වචන පරිහරණය කළ උත්තමයෙක්ද යන වග අපට මනාව ප්‍රත්‍යක්ෂ වේ. එසේම මෙම කාරණා තුළින් පිළිබිඹු වන්නේද බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න නම් වූ උතුම් බුදු ගුණයයි.අවබෝධ ඤාණයට ගැළපෙන වචන පමණක්ම කථා කළ උත්තමයෙක් බවද අපට මනාව පැහැදිලි වේ. නමුත් අද ජීවත් වන බොහෝ දැන උගත් යැයි සම්මත මිනිසුන් පවා තම දැන උගත්කමට නොගැළපෙන බොරු කේලම්, පරුෂවචන සහ හිස්වචනයෙන් යුක්තව මිච්ඡා වාචාවෙන් යුක්ත වීම අවාසනාවට කරුණකි. එම නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වන අපද අනිවාර්යයෙන්ම වචනය සංවර කරගත යුතු වේ. ඒ සඳහා මනා සිහි නුවණකින් කටයුතු කරමින් හොඳින් සිතා බලා වචනය හැසිරවීමට වගබලා ගත යුතු වේ.
වචනය නිසා අකුසල් කරගත් බොහෝ දෙනා පේ‍්‍රත ලෝකයේ ඉපිද විඳින අනේක දුක් පිළිබඳ කතා පුවත් රාශියක් ඛුද්දක නිකායේ පේ‍්‍රත වස්තු නමැති බුද්ධ දේශනාවන් හි සඳහන් වේ. එමෙන්ම නිරය,තිරිසන් අපාය ආදි දුගතිවල උප්පත්තිය ලැබීමටද වචනය අසංවර වීම හේතු වේ. බුද්ධ කාලයේ වාසය කළ කෝකාලික භික්ෂුව ඊට කදිම නිදසුනකි. අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේට අභූතයෙන් චෝදනා කොට වචනයෙන් ආර්යය උපවාදය නමැති බරපතල අකුසලය සිදු කර ගනිමින් අදටත් නිරයේ ඉපිද අනන්ත අප්‍රමාණ දුක් විඳී. එහෙයින් ශ්‍රාවකයින් වන අප බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සම්මා වාචා තුළ පිහිටා ම කටයුතු කළ යුතුය. එය නිවන් මගේ එක් මාර්ගයක් සේම ඒ තුළින් අප නිවනට වඩාත් සමීප වේ. අතිශය දුක්ඛිත වූ සංසාරයේ මහා ගැටලුවක් බවට පත් වී ඇති සමහර කාරණා විමසා බැලීමේදි පුංචි වචනයක් වැරදීම ඊට හේතු වී ඇත. එම නිසා වචන කථා කිරීමේදී අප ප්‍රවේශම් වීම අනිවාර්ය කරුණකි. වැඩිපුර කථාබහ ඇතිව වාසය කිරීමද වචනයෙන් පව් රැස් වීමට හේතු වේ. ඒ කෙසේද යත් අසිහියෙන් වචන පරිහරණය කිරීමේදී බොරු, කේලාම්, පරුෂ වචන, හිස්වචන ඔවුනටත් නොදැනීම ඔවුන්ගේ මුවෙන් පිටවීමයි.අවශ්‍ය දේ පමණක් කථා කිරීමෙන් අපට වචනය පහසුවෙන් සංවර කරගත හැකිය.
එමෙන්ම අන් අයගේ අපි‍්‍රය,අමනාප වචන ඉවසීමටද අප පුරුදු විය යුතුය. එසේ නැතහොත් මහා විපත් පවා සිදු වීමට ඉඩකඩ ඇත. අවශ්‍ය දේ පමණක් අවශ්‍ය කාලයේදී සහ අවබෝධය පිණිසම පමණක් හේතුවන අර්ථ සහිත වූ වචන පමණක්ම කථා කළ බුදුරජාණන් වහන්සේගේ වචන පරිහරණය ඉතා අසිරිමත්ය. එමෙන්ම උන්වහන්සේ වචන පරිහරණය කළේ සියලු සත්වයන් වෙත පහළ වු මහා කරුණාව මුල් කර ගනිමින් සසර දුකින් එතෙරවීමට අනුග්‍රහ පිණිසමය.උන්වහන්සේගේ අතිශය පිවිතුරු වු අර්ථය පිණිසම පවතින වචන භාවිතය පිළිබඳව සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍ර දේශනාවේදීි විග්‍රහ වේ.
යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා න තං තථාගතෝ වාචං භාසති

යම් වචනයක් සිදු නොවු බවද? අසත්‍ය බවද, අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දන්නා නමුත්, එය අන්‍යයන්ට අපි‍්‍රයද, අමනාපද ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යංපි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං 
අනත්ථසංහිතං සා ව 
පරෙසං අප්පියා අමනාපා තම්පි තථාගතෝ වාචං න හාසති

යම් වචනයක් සිදු වූ බවද? සත්‍ය බවද? අනර්ථ සහිත බවද, තථාගතයන් වහන්සේ දනිති. එමෙන්ම එය අන් අයට අපි‍්‍රයයි. අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ නැත.
යඤ්ච ඛෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච 
පරෙසං අප්පියා අමනාපා තත්‍ර කාලඤ්ඤෑ තථාගතෝ හෝති 
තස්ස වාචාය වෙයි්‍යාකරණාය

යම් වචනයක් සිදු වූ බවද, සත්‍ය බවද, අර්ථ සහිත බවද,තථාගතයන් වහන්සේ දනිති. ඒ වගේම එය අන් අයට අපි‍්‍රයයි, අමනාපයි. ඒ වචනය තථාගතයන් වහන්සේ පවසන්නේ කාලානුරූපවයි.
ගමනක අතරමං වී සිටින අපට මේ ලැබුණු දුර්ලභ මිනිසත් බව උපයෝගි කරගනිමින් සතර සතිපට්ඨානය තුළ වාසය කරමින් වචනය සංවර කරගෙන නිවන් මඟ ප්‍රගුණකොට චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුය. එමෙන්ම අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිත පහදාගෙන ශ්‍රද්ධා සම්පත්තිය ඇතිකර ගැනීම පිණිස ද උපකාර වන බව නොඅනුමානය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X