සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මහායාන සම්ප්‍රදායෙහි බෝධි සත්ත්ව සංකල්පය විදහා දක්‌වන දස භූමි න්‍යාය

බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලසීමාවේදී මෙන්ම ඉන් පසුකාලීනව ද බුද්ධ භාෂිත ඉගැන්වීම් පිළිබඳ විවිධ මතවාද ඇතිවිය. මේ සඳහා ශාසනික වශයෙන් වැදගත් තොරතුරු රැසක්‌ පෙළ සාහිත්‍යයෙන් සපයා ගත හැකිය. ඒ අතර දේවදත්ත තෙරුන්ගේ ක්‍රියාකලාපය, සුදින්න තෙරුන්ගේ ක්‍රියාකලාපය, උදායි තෙරුන්ගේ ක්‍රියාකලාපය ආදිය ප්‍රධාන වේ. බුදුදහමෙහි මූලික හර පද්ධතියට පටහැනි මත දැරීම මෙහි ප්‍රාථමික අවස්‌ථාවයි. ඒ අනුව මුල් බුදු සමයේ ඇතුළත් ඇතැම් නිරවද්‍ය ධර්ම කරුණු සාවද්‍ය කොට ඉදිරිපත් කිරීමක්‌ මෙහිදී දක්‌නට ලැබේ. ප්‍රකෘති ධර්ම කරුණු විකෘති කොට දැක්‌වීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනයවී විකාශනය වීමට ශතවර්ෂ ගණනක්‌ ගතවන්නට ඇත. මෙම තත්ත්වය හමුවේ ලොව ඇති කිසිදු ආගමක්‌ හෝ දර්ශනයක්‌ හෝ පවතින ආකාරයෙන් පවත්නේ යෑයි අනුමාන කළ නොහැකිය. මේ අනුව කාලීන අවශ්‍යතා සපුරා ගැනීමේදී ආගමික සංකල්පයන්ගේ යම් යම් වෙනස්‌කම් සිදුවීම සුලබය. 

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසකු වශයෙන් පිළිගන්නා ථෙරවාදීන් බුද්ධ භාෂිතාගත තෙවළා දහම තම මුල් ගුරුවරයා ලෙස සලකයි. බුදුන්වහන්සේ යනු උතුම් මිනිසකු බවත් මිනිසත්බව ඉක්‌මවූ තත්ත්වයට පත්වූ බවක්‌ ථෙරවාදීන් පිළිගනී. එහෙත් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයකට පසු උන්වහන්සේ පිළිබඳ මෙන්ම උන්වහන්සේගේ ධර්මය පිළිබඳ විවිධ මතභේද හා මතවාද බෙහොමයක්‌ හට ගැනුණි. ද්වතීය ධර්ම සංගායනාවෙන් පසු ඇතිවූ මහා සාංඝික නිකාය එබඳු මතවාද දැරූ පිරිසකගෙන් යුක්‌ත විය. පුද්ගලයා තුළ ආධ්‍යාත්මික ශික්‌ෂණයක්‌ ඇතිකොට විදර්ශනා ප්‍රඥාවෙන් පරිපූර්ණ පුද්ගලයකු බවට පත් කරවීමට මුල් බුදුසමය උත්සාහ ගනී. මෙයම මුල් බුදුසමයෙහි පරම නිශ්ඨාව ලෙස සැලකේ. මුල් බුදුසමය මෙම පදනම මත සකස්‌ වුවද රහතන් වහන්සේ පිළිබඳ අර්ථ නිරුපණය මතභේදාත්මක විය. ඒ අනුව මෙහි අවසන් ප්‍රතිඵලය රහත් බව හා රහතන් වහන්සේ පිsළිබඳ භික්‌ෂු සමාජය තුළ ඇතිවූ මතභේදාත්මක විචාරයයි. කථාවස්‌තුප්‍රකරණය හා එහි අට්‌ඨකතාව විස්‌තර කරන්නේ මහායාන සම්ප්‍රදාය බිහිවීමට මෙම ගැටලුව හේතුවූ බවයි. මේ හේතුවෙන් මතභේද සහිත රහත් බව හා රහතන් වහන්සේ පිළිබඳ සංකල්පය පසෙකින් තබා ඒ වෙනුවට බෝධිසත්ත්ව සංකල්පය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු විය. ඒ අනුව බෝධිසත්ත්ව සංකල්පය මහායාන මූල සිද්ධාන්තය විය. කණිෂ්ක සංගීතියෙන් පසු ස්‌ථාවර තත්ත්වයකට පත් මහායාන සම්ප්‍රදාය පසුකාලීනව ප්‍රබල තත්ත්වයකට පත්ව ඇත.

මානසික වශයෙන් හා භෞතික වශයෙන් මනුෂ්‍යත්වය ඉක්‌මවූ රහතන් වහන්සේ වෙනුවට හිත සුව සලසන බෝධිසත්ත්ව වන්දනයට බොහෝදෙනා ක්‍රම ක්‍රමයෙන් නැඹුරු විය. එමෙන්ම රහත් බවට පත්වීම දුෂ්කර කාර්යයක්‌ බවත් බෝධිසත්ත්ව තත්ත්වයට පත්වීම එතරම් දුෂ්කර කාර්යයක්‌ නොවන බවත් මහායානිකයන්ගේ අදහස විය. ඔවුන් බුදුන් වහන්සේද බෝධි සත්ත්වවරයකුට සමාන කොට දැක්‌වීමට තරම් පසුබට නොවීය. එමෙන්ම මහායාන සංකල්පය මත පදනම්ව ඇති න්‍යායයන් කිහිපයක්‌ මහායාන දර්ශනයෙහි දක්‌නට ලැබේ- බෝධිසත්ත්ව සංකල්පය

- සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා සියල්ලෝම කටයුතු කිරීම

- පැවිද්දෙහි පරමාර්ථය තමන් පමණක්‌ දුක්‌ දුරු කිරීමෙන් පමණක්‌ නොව බෝසත් බවෙන් සමස්‌ත ප්‍රජාවගේ දුක්‌ දුරු කිරීමට කටයුතු කිරීම

- බෝසත් බවට පත්ව ලබන බුදුබව අලෞකික තත්ත්වයක්‌ බවත් බුද්ධකාය සදාතනික බවත් අවබෝධ කර ගැනීම

- ත්‍රිකාය සම්පත්තිවාදය විශ්වාස කිරීම

- පාරමිතාවාදය, දස භූමි වාදය විශ්වාස කිරීම

බුද්ධත්වයේ ප්‍රාථමික අවස්‌ථාව ලෙස සැලකෙන බෝසත් අවධිය පිළිබඳ ථෙරවාදීන්ට වඩා විශේෂ උනන්දුවක්‌ දක්‌වන්නේ මහායානිකයන්ය. ඔවුන් පිළිගත් මතය නම් උත්තරීතරයාගේ (බෝසත්වරයාගේ) පරම යුතුකම විය යුත්තේ මානව සමාජයට සේවය කිරීමයි. මෙහිදී දයානුකම්පිත හැඟීමෙන් බුදුවරුන් ඉදිරියෙහි සපථ වන බෝධිසත්ත්වවරයා දස භූමීහු අතික්‍රමණය කොට බුද්ධත්වයට පත්වෙති. මෙම දස භූමීන් උත්තරීත්වය උදෙසා බෝධි සත්ත්ව සන්තානයෙහි හටගන්නා ගුණධර්මයන් වීමද විශේෂිතය. මෙම දස භූමීන් පුද්ගලයකු ලබන එක්‌තරා අධිගම තත්ත්ව සමූහයකි. දස භූමිකා සූත්‍රයේදී බෝධි සත්ත්වවරයකු විසින් බුද්ධත්වය ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු දස භූමීන් ප්‍රමාණකොට දක්‌වා තිබේ.

01. ප්‍රමුදිතා

බෝධිසත්ත්ව සංකල්පයට අයත් දස භූමීන් අතර පළමුවැන්න ප්‍රමුදිතාවයි. ඈත දුර සිටින්නකු බොහෝ කලකට පසු දැකීමෙන් ඇතිවන සතුටක්‌ මෙන් ධර්මකාය සෙවීමෙන් ඇතිවන ආධ්‍යාත්මික සතුට ප්‍රමුදිතාවයි. මෙහිදී පුද්ගලයා විසින් බුදුබව ලබන්නෙමියි යන ඉතා දැඩි අධිෂ්ඨානය ඇතිකර ගැනීම අපේක්‌ෂිතය. මේ සඳහා උසස්‌ පුද්ගලයන්ගෙ ඇසුර ද ලබාගත හැකිය. මෙවැනි ඇසුරක්‌ ලබන්නෝද, ඇසුරට ලක්‌වන්නෝද බෝසත්වරුන් ලෙස හඳුනාගත හැකිය. බෝසත්වරයකුගේ සිත කරුණාව, මෛත්‍රිය, භක්‌තිය, භය, ලඡ්ජාව ආදී ගුණාංගයන්ගෙන් අනූන වන අතර පරෝපකාරී බෝසත්වරයා සුපුරුදු දිනචරියාවකින් කාලය ගත කරයි.

පළමුවන අවස්‌ථාව - සතර දිශාවෙහි සිටින බුදුවරුන්ට වන්දනාමාන කිරීම.

දෙවැනි අවස්‌ථාව - බුදුවරුන්ගේ ශික්‌ෂා පද ආරක්‌ෂා කිරීම

තෙවැනි අවස්‌ථාව - තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද නිර්වාණය අවබෝධ කරගන්නා තෙක්‌ හමුවන සෑම බුදුවරයකුම දැකීම

සිව්වන අවස්‌ථාව - සියලු පාරමිතාවන් හා සියු ගුණාංගයන් දියුණු කර ගැනීම සඳහා ඊට අවශ්‍ය අවබෝධය ලබාගැනීම

පස්‌වැනි අවස්‌ථාව - සෑම සත්ත්වයකුම බුදුබවට පත්කිරීම

සයවන අවස්‌ථාව - සෑම දෙයක්‌ පිළිබඳ විශේෂ දැනීමක්‌ ලබාගැනීම

සත්වන අවස්‌ථාව - සෑම සත්ත්වයකුම ප්‍රීතියට පත්කිරීම

අටවන අවස්‌ථාව - එක හා සමාන භාවනා ක්‍රම පුරුදු කිරීම

නවවන අවස්‌ථාව - බෝසත් ධ්‍යාන ගුණ දියුණු කිරීම

දසවස අවස්‌ථාව - බුදුබව ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ධර්ම හා සියලු ගතිගුණ ප්‍රගුණ කිරීම

2. විමලා 

තුන්දොරින් හා දස අකුසලයෙන් මිදී ලබන පවිත්‍රත්වය විමලා නම් වේ. අවංක, ක්‍රියාශීලී, කීකරු, අනතිමානී ගුණාංගයන්ගේ ප්‍රතිබිම්බය විමලාවයි. එමෙන්ම මෙහිදී බෝසත්වරයා සතර සංග්‍රහ වස්‌තුවට අයත් ප්‍රිය වචනය පුරුදු කිරීමට විශේෂ උනන්දුවක්‌ දක්‌වයි.

3. ප්‍රභාකරි

අෂ්ට සමාධි, චතුර්විධ බ්‍රහ්ම විහාර සම්පූර්ණත්වය මෙමගින් උදාකරයි. මෙහිදී බෝසත්වරයා සියලු ධර්මයන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ආදී ලක්‌ෂණයන්ගෙන් යුක්‌ත බවත් ඒවා විනාශයෙන් කෙළවර වන බවත් අවබෝධ කරගනී. ඉපදෙමින්-මැරෙමින්, මැරෙමින්-ඉපදෙමින් ගෙවන සසර දුක්‌ ගිනි නිවා ප්‍රඥව උපදවා ගැනීමේ කැමැත්තත් ප්‍රභාකරි භූමියේදී ඇති කරවයි.

4. අර්චිස්‌මති 

මෙහිදී සතර සතිපට්‌ඨානය (කායානුපස්‌සනා, වේනදානුපස්‌සනා, චිත්තානුපස්‌සනා, ධම්මානුපස්‌සනා), සතර සම්‍යක්‌ ප්‍රධාන (නූපන් කුසල් ඉපදවීමට උත්සාහ කිරීම, නූපන් අකුස්‌ නොඉපදවීමට උත්සාහ කිරීම, උපන් අකුසල් දුරු කිරීමට උත්සාහ කිරීම, උපන් කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීම), සතර සෘද්ධි පාද (ඡන්ද, චිත්ත, විරිය, විමංසා) පංච ඉන්ද්‍රිය (චක්‌ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය), ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ගුණධර්මයන් වර්ධනය කර ගැනීමට බෝසත්වරයා පෙළඹෙයි. තවද මෙහිදී බෝසත්වරයාට අධිෂ්ඨාන සම්පන්නවීමේ අවශ්‍යතාවද පැනනඟී. බෝසත්වරයාගේ සිතෙහි ඇතිවන ප්‍රාණවත් බව හේතුකොට ගෙන ලෝකයෙහි යථා තත්ත්වය (උප්පාද, ඨිති, භංග) පිළිබඳ තත්ත්වාබෝධයක්‌ ඇති කර ගනී. එමගින් ලෝකය පිළිබඳ මෙන්ම තමා පිළිබඳවත් යම් අවබෝධයක්‌ ඇති වේ.


5. සුදුර්ජයා


අර්චිස්‌මති භූමියේදී පුරුදු පුහුණු කළ බෝසත් ගුණ ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ ලබාගැනීමට සුදුර්ජයා භූමිය උපකාරී වේ. මෙහිදී බෝසත්වරයා තම සිත පාලනය කර ගැනීමට මෙන්ම අන්‍යයන්ගේ සිත් පුහුණු කිරීමටත් උත්සුක වෙයි. සුදුර්ජයා භූමියේදී බෝසත් සිතෙහි ඇතිවන පාපී සිතුවිලි යම් ප්‍රමාණයකට හෝ යටපත් කිරීම වැදගත් කොට සලකා තිබේ. එසේ නොකරන්නේ නම් බෝධිය පිළිබඳ ආලෝකයක්‌ හෙවත් අවබෝධයක්‌ බෝසත්වරයාට නොලැබේ.

6.අභිමු

ඉදිරියෙහි සිටීම යන අර්ථයෙන් සත්ත්වයාගේ පුනරුප්පත්තිය හා නිර්වාණය පිළිබඳ දැනීම අභිමු නම් වෙයි. මෙහිදී සසර දුක්‌ විඳින සත්ත්වයන් පිsළිබඳ නියම තත්ත්වය (අවිද්‍යාව, සංස්‌කාර, නාමරූප, දුක්‌ඛ, වේදනා, තෘෂ්ණාව, ජාති, ජරා, මරණ) වටහා ගැනීමට බෝසත්වරයාට අවස්‌ථාව හිමිවෙයි.

7. දූරංගමා 

තිදොර සංවරව උසස්‌ තත්ත්වයටද පත්ව බොහෝ දුර ගිය සිතැත්තේ අවබෝධයෙන් පසු සර්වඥතා ඥානය ලබයි. එහෙත් මේ වනවිට බෝසත්වරයා නිවන ළඟා කරගෙන නොමැති අතර කෙලෙස්‌ සම්පූර්ණයෙන් දුරු වූ බවක්‌ද නොපෙනේ.8. අචලා

ලෝකය හා සත්ත්වයා පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කොට ගෙන ලෝකෝත්තර තත්ත්වයට පත්වීම අචලා නම් වෙයි. මෙහිදී ලෝකය කිසිවකුගේ නිර්මාණයක්‌ නොවන බවත් එය සහේතුකව හටගත් දෙයක්‌ බවත් ඇතිවූ සියල්ල නැතිවීම ස්‌වභාවකොට ඇති බවත් බෝසත්වරයා අවබෝධ කර ගනී. නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය කෙලෙස්‌ නැසී ම සම්පූර්ණයෙන්ම ඉටු කළ තත්ත්වයට පත්වන අතර බෝසත්වරයා පාරිශුද්ධත්වයේ කෙළ පැමිණි පුද්ගලයකු බවටද පත් වෙයි.

9. සාධුමති

මෙහිදී බෝසත්වරයා ධ්‍යාන, මාර්ග, මාර්ග ඵල ඥනය පිsළිබඳ අවබෝධයක්‌ ලබා සම්‍යක්‌ සම්බුද්ධත්වයට පත්වෙයි.

10. ධර්ම මේඝා

ඉතා අපහසුවෙන් අවබෝධ කරගත් ධර්මකාය අන්‍ය සත්ත්වයාට පැහැදිලි කර දීම හා එම සත්ත්වයන් සුමඟට යොමුකිරීම බෝසත්වරයාගේ යුතුකමකි. වගකීමකි. දැවෙන සත්ත්වයන්ගේ සිත් නිවාලීම ධර්ම මේඝා භූමියේදී සිදුවේ.

මහායාන සම්ප්‍රදායට අනුව බෝධි සත්ත්වයකු විසින් ධර්මාවබෝධය ලබන අවස්‌ථා ගණන දහයකි. එම අවස්‌ථාවන් දස භූමි න්‍යාය ලෙස හැඳින්වේ. පාරමිතා නමින් හඳුන්වන්නේ ද දස භූමීන්ය. ථෙරවාද සම්ප්‍රදායට අනුව බුද්ධත්වයට පත්වන බෝසත්වරයකු විසින් පූරණය කළ යුතු පාරමිතා ගණන දහසකි. එම පාරමිතාවන් දස පාරමිතා නමින් හැඳින්වේ. මේ අනුව ථෙරවාද හා මහායාන සම්ප්‍රදාද්වයට අනුව බුද්ධත්වය ලබන බෝසත්වරයකු විසින් සම්පූර්ණ කළ යුතු ගුණාංග ගණන ගණනින් සමානය. එහෙත් සංකල්ප වශයෙන් ගත් කල එකිනෙකට වෙනස්‌ය. එහෙත් මෙම තත්ත්වයන් සම්පූර්ණ කිරීමෙන් බෝධි සත්ත්ව භූමියෙන් මිදීම හා උතුම් අධිගමයට පත්වීමට හැකි බව ථෙරවාදීන්ගේ හා මහායානිකයන්ගේ අදහසයි.

බී.එම්.ඒ.ඡේ.බී. කරුණාරත්න, 
සිව්වන වසර (විශේෂවේදී), 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X