සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අන්තරාභවයක්‌ පිළිගැනීම අධර්මයක්‌ද?

කිවුල්දෙණියේ විජිතනන්ද හිමි,
නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය, මැටිකුඹුර, පොල්ගහවෙල

අන්තරා භවය කියන්නේ ඈත අතීතයේ පටන්ම වාද විවාදවලට ලක්‌වූ ප්‍රධාන කාරණයක්‌. වර්තමානයේ ථෙරවාදී සංකල්පය තුළ මේ කාරණය ධර්ම විරෝධී මතයක්‌ විදියට බැහැර කරන බව පෙනී යනවා. නමුත් හේන්පිටගෙදර ඥනසීහ, කන්නිමහර සුමංගල, බලංගොඩ ආනන්ද මෛත්‍රීය වගේ විමර්ශනශීලී යතිවරුන් අන්තරා භවයක්‌ තියෙන බව හේතු සාධක සහිතව යම් මට්‌ටමකට කරුණු පෙන්වා දුන්නා.ඒ වුණත් අදත් ගිහි පැවිදි බහුතරයක්‌ අන්තරාභවයට විරුද්ධව මත ප්‍රකාශ කරන බව පෙනී යනවා. බුද්ධ වචනය නිවැරැදිව අර්ථ විවරණ කර ගැනීමට නොහැකි වීමත්, සාම්ප්‍රදායික ධර්ම විරෝධී මත කරපින්නා ගැනීමත් තමයි ඒකට හේතු වෙලා තියෙන්නෙ.

අන්තරාභව කියන වචනය බුද්ධ දේශනාවේ නැතත්, මරණයත් උපතත් අතර අවස්‌ථාව බුද්ධ දෙශනාවේ හඳුන්වාදී තියෙන්නේ ගන්ධබ්බ, සංජාති කියන වචනවලින්. ජාතිය විග්‍රහ කරන දේශනාවේ ජාති, සංජාති, ඔක්‌කන්ති, අභිනිබ්බන්ති, ඛන්ධනාංපාතුභාවෝ,ආයතනානං පටිලාභෝ කියල කාරණා හයක්‌ පෙන්වා තියෙනවා. කෙනෙක්‌ගෙ මරණින් පසු ඊළඟ ජාතිය තීරණය වෙන්නේ මරණාසන්න අන්තිම චිත්ත වීථිය තුළදී. උදාහරණයක්‌ විදිහට යම් සත්ත්වයෙක්‌ මේ ජීවිතයෙන් පසු මනුස්‌ස ජාතියේ උපත ලබනවා කියල හිතුවොත් මරණාසන්න අන්තිම චිත්ත වීථියේදී මනුස්‌ස ජාතියේ ඉපදීමට කර්මානුරූපව තීන්දුව ලැබෙනවා. මේ තීන්දුවේදී සත්ත්වයා මරණයට පත්වෙන්න පෙර අවසාන චිත්ත වීථිය තුළ මිනිස්‌ ගන්ධබ්බයා සකස්‌ වෙනවා. ඉහත කාරණා හයේ ජාතිය විදියට හඳුන්වන්නේ මේ අවස්‌ථාව.

මේ විදියට මිනිස්‌ ජාතියේ ඉපදීමට තීරණය වූ කෙනා, චිත්ත වීථිය අවසන් වෙනවත් එක්‌කම මනුස්‌ස ගන්ධබ්බයෙක්‌ විදියට මේ කය අත්හැරල අන්තරාභවයේ සැරිසරනවා. ඉහත කාරණා හයේ සංජාති කියල හඳුන්වා තියෙන්නෙ මේ මනෝමය කායික අන්තරාභව අවස්‌ථාව. මේ ගන්ධබ්බයා තමයි කර්මානුරූපීව මවු ගැබකට බැස ගන්නෙ. ගන්ධබ්බෝච පච්චුපට්‌ඨිතෝ හෝති, ගන්ධබ්බා අවක්‌ඛන්ති (ඔක්‌කන්නි) හොන්ති කියල සඳහන් වෙන්නෙත්, අන්තරාභිවකයා මවු ගැබකට බැස ගැනීම. මේ විදියට බැස ගත්තු ගන්ධබ්බයා මවු ගැබ තුළ පිහිටීම අභිනිබ්බන්ති කියල හඳුන්වනවා. ඒ පිහිටියට පස්‌සෙ සකන්ධයන්ගෙ පහලවීමත්, ආයතන ප්‍රතිලාභයක්‌ සිද්ධවෙනවා. මේ කාරණා හයේ ප්‍රභේදය නිවැරැදිව තෝරා ගන්න බැරිවීම නිසා, සංජාතික නම් අන්තරාභවය විග්‍රහ වෙන බුද්ධ දේශනාව යටපත් වෙලා තියෙනවා.

අන්තරාභවයට විරුද්ධව කරුණු දක්‌වන බොහොමයක්‌ උදවිය, තමන්ගෙ මතය සනාථ කරන්න ඉදිරිපත් කරන ප්‍රධාන සාධකයක්‌ තමයි, දහමෙ සඳහන් වන චුති - පටිසන්ධි කතාව. අද වෙනකොට පටලවාගෙන තියෙන ප්‍රධාන න්‍යාය ධර්මයක්‌ තමයි මේ. මේ අන්තරාභව කතාව යම් පමණකට හරි පිළිගත්තු, ඒ වගේම කාරණය ඔප්පු කරන්න උත්සාහ ගත්තු නායක හාමුදුරුවන් අතර එක්‌ නමක්‌ තමයි, අපවත්වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රය හාමුදුරුවෝ. උන්වහන්සේ අන්තරාභවය පිළිගත්තත්, ඒ සම්බන්ධයෙන් සමහරු අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිවෙලා තියෙනවා. අන්තරාභවයක්‌ පිළිගත්තොත් ඒ කාරණය චුති - පටිසන්ධියට ගළපන්නෙ කොහොමද කියල එක්‌ අවස්‌ථාවක ප්‍රශ්නයක්‌ ඇහුවම, තමන්ටත් ඒ කාරණය ගැටලු සහගත බවත්, කහවුරු හරි ඒ කාරණා දෙක ගළපා පෙන්වනව නම් ඒක අගේ කොට සලකන බවත් උන්වහන්සේ නිහතමානීව ප්‍රකාශකර තියෙනවා. ඒකෙන් පේන්නෙ උන්වහන්සේටත් අන්තරාභවය සහ චුති - පටිසන්ධිය අතර ලිහාගන්න බැරි ගැටලු තිබිච්ච බව.

අභිධර්මයේ මරණාසන්න චිත්ත වීථිය තුළ, චුතිය සහ පටිසන්ධිය සිද්ධ වෙන්නෙ කොතැනද කියල පැහැදිලිව පෙන්වා තිබුණත්, ඒ කාරණය තෝරා ගන්න තරම් ඥනයක්‌ නැතිවීම නිසා, ලෝක සම්මත උගතුන් පවා මේ කාරණය පටලවාගෙන තියෙනවා. ඒ නිසා මේ චුති - පටිසන්ධි කතාව වර්තමානයේ සමාජගත වෙලා තියෙන්නෙ, මරණය චුතිය හැටියටත්, නැවත උපත ලැබීම පටිසන්ධිය හැටියටත් සලකළා. නමුත් ඒ කාරණයම තමයි හුඟ දෙනකුට පැටලිච්ච තැන. මොකද බුද්ධ දේශනාව තුළ නැවත භවයක උපත ලැබීම පටිසන්ධිය කියල පෙන්වපු දේශනාවක්‌ ත්‍රිපිටක පෙළ දහම තුළින් මේ දක්‌වාම හමුවෙලා නෑ. එහෙම තියේ නම්, ඒක පෙන්වා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

සත්ත්වයෙක්‌ නැවත භවයක උපතට යැම, බුදුදහම තුළ පෙන්වා තියෙන්නෙ ඔක්‌කන්ති, ගබ්බාවක්‌කන්ති ආදී වචනවලින්. ඒ වගේම මවු ගැබක උපත 'ගන්ධබ්බෝ පච්චුපට්‌ඨිතෝ හෝති' කියන කාරණයෙන් පැහැදිලි කර තියෙනවා. හැබැයි මේ කිසිම තැනක උපත ඇල්ලීම පටිසන්ධිය (පිළිසිඳ ගැනීම) කියලා පෙන්වපු දේශනාවක්‌ ත්‍රිපිටක දහමෙ නෑ. එහෙම නම් චුතිය සහ පටිසන්ධිය, අභිධර්මයට අනුව මේ විදියට තේරුම් ගන්න ඕන. චුතිය සහ පටිසන්ධිය සිද්ධ වෙන්නෙ කෙනෙක්‌ මරණයට පත්වෙන්න පෙර ඇතිවන මරණාසන්න චිත්ත වීථිය තුළ. මේ මරණාසන්න චිත්ත වීථියේ චිත්තක්‌ෂණ 17 න් 14 ක්‌ ගියාම තමයි, චුතිය සිද්ධ වෙන්නෙ. ඊළඟට චුතියට වහාම, අතරක්‌ නැතිවම 15 වැනි චිත්තක්‍ෂණයේදී පටිසන්ධිය සිද්ධවෙනවා. 16, 17 කියල තවත් ජවන චිත්තක්‍ෂණ 2 ක්‌ ගියාම මරණාසන්න චිත්ත වීථිය කෙළවර වෙනවා. එතකොට තමයි සත්වයා ඒ භවයෙන් මරණයට පත්වීම සිද්ධ වෙන්නෙ.

එහෙනම් අභිධර්මයට අනුව චුතිය සහ පටිසන්ධිය සිද්ධ වෙන්නෙ මස්‌ ලේ කයක්‌ සහිත සත්ත්වයෙක්‌ගෙ නම් මස්‌ ලේ කයේ මරණය සිද්ධවීමට පෙර මරණාසන්න චිත්ත වීථිය තුළදී, එහෙම නැත්නම් මස්‌ ලේ කයේ මරණින් පසු ගන්ධබ්බ අවස්‌ථාවෙදි වුණත්, චුති - පටිසන්ධිය සිද්ධවෙන්න පුළුවන්. එවිට චුතියට අනුව පටිසන්ධිය සිද්ධ වෙනවයි කියන්නෙ, අතරක්‌ නැතිව මරණාසන්න අවසාන චිත්ත වීථිය තුළම චිත්තක්‍ෂණ දෙකක ක්‍රියාවලියක්‌. ඉතිං මේ කාරණය මරණය සහ උත්පත්තියට ආදේශ කරගෙන, වරදවා තේරුම් ගත් ධර්ම විවරණයක්‌ ආයුධ කරගෙන, අන්තරාභවයක්‌ නෑ කියන්නෙ මොන තරම් මෝඩ අදහසකින්ද?

ඒ වගේම අභිධර්මයේ පටිසන්ධිය විග්‍රහවෙන තැනක 'පටිසන්ධික්‌ඛනෙ විපාකා අභ්‍යාකථානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයො' කියල පටිසන්ධි ක්‍රියාවලිය බාහිර කිසිම දෙයක ආධාරයක්‌ නැතිව තනිකරම කර්ම බලයෙන් සිද්ධ වෙන බව පෙන්වා දී තිබෙනවා. ඊළඟට මවු ගැබක උප්පත්ති වීම 'ඔක්‌කන්තික්‌ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ' කියල සංජාතිකයා/ගන්ධබ්බයා මවු ගැබකට ඇතුල් වුණාම ඒ ගන්ධබ්බයාගේ නාම රූප, මවු ගැබේ නාම රූප සමග එකිනෙකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වන බව පෙන්වා තියෙනවා. එහෙමනම් මවු ගැබකට ඇතුළුවීම ඔක්‌කන්තිය මිසක්‌ පටිසන්ධිය (පිළිසිඳ ගැනීම) නොවන බව බුද්ධ දේශනාවෙන්ම පැහැදිලිව පෙන්වා තියෙනවා. එවිට නැවත උප්පත්තිය, පරිසන්ධිය විදියට අද තෝරන්නෙ මොන ධර්මයට අනුවද කියන ගැටලුව මතුවෙනවා.

මේ කාරණය උදාහරණකින් පැහැදිලි කරන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක්‌ මැරිල ඊළඟට තිරිසන් ජාතියේ උපතකට හේතු සකස්‌ වී තිබුණා නම්, ඒ පුද්ගලයාගේ මරණාසන්න අවසන් චිත්ත වීථිය තුළ 14 වැනි චිත්තක්‍ෂණයේදී මිනිස්‌ ගතිය අවසන් වෙනවා. එවිට ඒ පුද්ගලයගෙ චුතිය කියල කියන්නෙ මෙන්න මේ මනුස්‌ස ගතියෙන් චුත වීම හෙවත් මනුස්‌ස ගතිය අවසන්වීම. ඊළඟට චුතියෙන් පස්‌සෙ 15 වැනි චිත්තෂණයේදී තිරිසන් ජාතියේ පටිසන්ධිය සිද්ධ වෙනවා. ඉතිරි චිත්තක්‌ෂණ දෙකත් ගිහින් චිත්තක්‌ෂණ 17 ම සම්පූර්ණ වෙනවත් එක්‌කම ඒ පුද්ගලයා මරණයට පත්වෙනවා. දැන් පුද්ගලයා මැරෙනකොට මස්‌ ලේ කය අත්හැරලා පිටවෙලා යන්නෙ තිරිසන් ගන්ධබ්බයෙක්‌. ඒ තිරිසන් ගන්ධබ්බය තමයි ඊළඟට ඒ ජාතියෙ තිරිසන් මවු කුසකට ඔක්‌කන්ති වෙලා තිරිසන් මස්‌ ලේ කයකින් ලෝකයට බිහිවෙන්නෙ.

සමහර තිරිසන් සත්තු පැටවු, බිත්තර බිහි කරන්නෙ එක කාලයකට විතරයි. අනෙක්‌ කාලවලදි ඒ සතුන්ගෙ සංවාසයක්‌ සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේ පැටවු, බිත්තර බිහි නොවන කාලයට යම් සතෙක්‌ මරණයට පත්වෙලා ඒ වගේ තිරිසන් උපතකට යන්න හේතු සකස්‌ වෙලා තිබුණොත් කොහොමද ඒවගේම උපතකට යන්නෙ? ඒ තිරිසන් සත්තු අතර සුසුදු කාලයකදි සංවාසයක්‌ සිද්ධවෙලා ගර්භාෂ සකස්‌ වෙනකල්, අන්තරාභව අවසථාවෙ ගන්ධබ්බයන් විදියට ඉන්න සිද්ධ වෙන්නෙ නැද්ද? ඒ විදියට වර්ෂ ගණනාවක්‌ හෝ අනතරාභවයෙ ඉඳලා සුදුසු කාලයේදි ගර්භාෂවලට ඔක්‌කන්ති වෙලා පැටවු හෝ බිත්තර හැදිල මෙලොවට බිහි වෙනවා. අන්තරාභවයට විරුද්ධ කරුණු ඉදිරිපත් කරන උදවිය මේ වගේ අවස්‌ථාවලට දෙන උත්තරය මොකක්‌ද?

සත්ත්වයා මරණයට පත්වෙලා මෙලොවින් පරලොවට ගමන් කරනවා, පරලොවින් මෙලොවට එනවා. මෙලොව මොකක්‌ද? පරලොව මොකක්‌ද? මනුස්‌ස, දේව, බ්‍රහ්ම තිරිසන් ආදී සත්ත්වයන් කියන්නෙ මෙලොව ජීවත්වන සත්ත්ව ප්‍රජාව. මරණයෙන් පස්‌සෙ කෙනෙක්‌ මනුස්‌ස, දේව, බ්‍රහ්ම තිරිසන් ආදී තත්ත්වයක ඉපදුණාම ඒක පරලොව නොවෙයි, මෙලොව. පරලොව කියන්නෙ ගන්ධබ්බ හෙවත් අන්තරාභවය අවස්‌ථාව. මෙලොව කියන්නෙ ගන්ධබ්බ අවස්‌ථාවෙ ඉඳන් දෙව්, මිනස්‌, තිරිසන් ආදී භවවල ඉපදීම. සත්ත්වයා මෙලොවින් පරලොවටත්, පරලොවින් මෙලොවටත් එනව කිව්වම ඒකෙන් කියන්නෙ, මේ ලෝකෙන් මරණයට පත්වෙලා අන්තරාභවයටත්, අන්තරා භවයෙන් මෙලොවටත් පැමිණීම. මෙලොව පරලොව දක්‌නා මහණ බමුණන් සිටින බව පිළිගැනීම දස වස්‌තුක සම්මා දිට්‌ඨියේ එක්‌ අංගයක්‌. එතකොට කවුරිහරි අන්තරා භවය පිළිගන්නෙ නැත්නම්, ඒ පුද්ගලයා දස වස්‌තුක සම්මා දිට්‌ඨියටත් විරුද්ධ වන්නෙක්‌.

චුතුපපාත ඥනයෙන් ලෝකය දෙස බලා වදාරන තථාගතයන් වහන්සේට, හතරමං හන්දියක උඩු මහලක සිට බලන කෙනකුට ගෙවල්වලින් පිටවෙන, ගෙල්වලට ඇතුළුවන, අතරමග සිටින අප පැහැදිලිව පේන්නෙ යම් විදියකටද, මැරෙන අය, උපදින අය අතර සිටින අය, දිවැසින් දකින බව සඳහන් වෙනවා. මේ කාරණයෙන් පේනවා මේ කය අත්හැරල වෙන කය උපත කරා යන ගන්ධබ්බයා ඉන්ද්‍රියන්ගේ පූර්ණ සත්වයෙක්‌ බව. එහෙම නොවන තත්ත්වයක්‌ නම් පිටවන, ඇතුළුවන සත්ත්වයන් දිවැසින් දකින බව උන්වහන්සේ වදාරන්නෙ නෑ.

තිරෝකුඩ්ඩ සූත්‍රයේ, පරලොව ගිය ඥතීන් පෙර භවයේ හිටපු තමන්ගෙ නිවසට ඇවිත් ඒ පරිසරය තුළ වාසය කරන බව සඳහන් වෙනවා. මිය පරලොව යන අය මරණයත් සමගම වෙන භවයක උපත කරා යනව නම්, මරණින් පසු තමන්ගෙ නිssවස ඇසුරු කරගෙන ඉන්නෙ කොහොමද? මේ මියගිය අය ඥති ප්‍රේත නෙවෙයි. මේ කාරණය අද වරදවා වටහාගෙන තියෙන කාරණයක්‌. ප්‍රේත කියන්නෙ අනුන්ගෙන් ජීවත්වෙන්නා කියන අදහස. (පර හේ අත - ප්‍රේත) මේ ඥති ප්‍රේතයන් කියන්නේ උපතක්‌ කරා නොගිය, මරණින් පසු අන්තරාභව තත්ත්වයේ සිsටින ගන්ධබ්බ කායිකයන්. සත්ත්වයා මරණයත් සමග උපත කරා යනව නම්, කෙනෙක්‌ගෙ මරණින් පසු සිදුකරන හත්දවසෙ, තුන් මාසෙ, අවුරුද්දෙ දානමාන පිංකම්වලින් පරලොව ගිය අයට කිසි ප්‍රයෝජනයක්‌ නෑ.

ඥාති ප්‍රේතයන් වශයෙන් සිටින අන්තරා භවිකයන්ට, ඥතීන්ට දෙන පිංපෙත් නිසා සුගති අත්බැව් කරා යන්න බොහෝ සෙයින් උපකාර වෙනවා. දේව, බ්‍රහ්ම, නිරය වගේ තැන්වල උපදින අයට පුණ්‍ය පාප ශක්‌තීන් බලවත්වීම නිසා, අන්තරාභවයක කාලයක්‌ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ. නිදා පිබිදියකු වගේ සුගති, දුගතිවල උපත කරා යනවා. මනුස්‌ස, තිරිසන් වගේ අත්බැව් ලබන අය, දින කිහිපයක්‌ හෝ ගන්ධබ්බ අවස්‌ථාවෙ ඉඳල උපත කරා යනවා. පර්යේෂණාත්මකව ඔප්පු කරගත් පුනරුප්පත්ති කතාවලත් තමන්ගේ අවසන් කටයුතු කරපු ආකාරය, තමන් වෙනුවෙන් පිංකම් සිදුකරපු ආකාරය දැක බලාගත් හැටි කියල තියෙනවා. මරණයත් සමගම උපතක්‌ කරා ගියා නම්, ඒ සිදුවීම දැක ගන්නෙ කොහොමද?

බයිපාස්‌ වගේ සැත්කම් කරන අවසථාවල, මස්‌ ලේ ශරීරයෙන් සූක්‍ෂම කය ඉවත් වෙලා සැත්කම් කළ හැටි, වෛද්‍යවරු කතා කළ දේවල්, රෝහලට ආපු තමන්ගෙ ඥතීන්ගෙ විස්‌තර, ඒ වෙලාවෙ තමන්ගෙ ගෙවල්වල සිදුවෙච්ච තොරතුරු පවා නිවැරැදිව කියපු අවස්‌ථා ඕන තරම් තියෙනවා. මස්‌ ලේ කයින් ඉවත්වූ සූක්‍ෂම කායිකයාට පෙනීම, ඇසීම, හැඳිනීම ආදිය තියෙන බවමෙයින් පේනවා. පුද්ගලයෙක්‌ මරණයට පත්වෙනකොට සිද්ධ වෙන්නෙත් සූක්‍ෂම කය මස්‌ ලේ කයින් ඉවත් වීම. අන්තරා භව අවස්‌ථාව කියන්නෙ මේ සූක්‍ෂම කායිකත්වයට පත්වීම. පොට්‌ඨපාද සූත්‍රයේ මේ සූක්‍ෂම කය උපමාවලිනුත් පෙන්වා තියෙනවා. කඩුවකින් කොපුව එළියට ගැනීම, තණකොළ ගසකින් ගොබය ඉවත් කිරීම වගේ අවස්‌ථාවල. ඒ දෙක වෙන වෙනම තියෙන්නෙ යම් විදියකටද, මස්‌ ලේ කය සහ සූක්‍ෂම කයත් එබඳු බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා.

එතකොට අන්තරාභවයක්‌ නැතැයි කියල ගත්තොත්, පර්යේෂණාත්මකව වර්තමානයේ සොගෙන තියෙන පුනරුප්පත්ති සිද්ධාන්තවලටත්, ගළපන්න බැරි වෙනවා. ඒ වගේම බුද්ධ දේශනාවන් සමගත් පරස්‌පරතාවන් ගොඩනැඟෙනවා. බුදුන් වහන්සේ වච්චගොත්තට වදාළ දේශනාවක මෙහෙම සඳහන් වෙනව. වච්චය, මේ කය බහා තබයිද, (මරණය) වෙන කයකට නොපැමිණියේද, ඔහුට කුමක්‌ උපාදාන වේද? එවිට තණ්‌හාව උපාදාන කරගෙන වාසය කරන බව සඳහන් වෙනවා. මේ කය අතහැරලා වෙන කයකට නොගිය, අතර අවස්‌ථාව මොකක්‌ද? ඒකත් මහායාන මතයක්‌ද? අන්තරාභවය පිළිකෙව් කරන අය මේකට දෙන පිළිතුර මොකක්‌ද? ඒ කතාව ත්‍රිපිටකයට පසුව ඇතුළු කළ එකක්‌ බව කියල ධර්මය බැහැර කරන්න පුළුවන්ද?

අනාගාමී පුද්ගලයන් අතර අන්තරා පරිනිබ්බායී කියල ආර්ය පුද්ගලයෙක්‌ ඉන්න බව ධර්මයේ සඳහන් වෙනවා. මේ ආර්ය පුද්ගලයා නැවත භවයක ඉපදීමට හේතුවන කාම රාග, රූප රාග, අරූප රාග කියන උප්පත්ති පටිලාභී සංයෝජන ප්‍රහීන කර තියෙන්නෙ. ඒ නිසා අන්තරා පරිනිබ්බායී අනාගාමී ආර්යන් වහන්සේ මරණින් පසු සුද්ධාවාසයේ උපදින්නෙ නෑ. මාන, උද්ධච්ච, අවිද්‍යා කියන භව පටිලාභී සංයෝජන පවතින නිසා මේ ජීවිතයේදී පිරිනිවන් පාන්නත් බෑ. මේ වගේ අය මරණින් පසු තුන් භවයේ කිසි තැනක ඉපදෙන්නෙ නැතිව අන්තරා භව තත්ත්වයට පත්වෙනවා. ඒ අවස්‌ථාවේදී මාන, උද්ධච්ච, අවිද්‍යා කියන සංයෝජන ප්‍රහීන කර අන්තරාභවයේදී භව පැවැත්ම කෙළවර කර පිරිනිවන්පාන නිසා ඒ අය අන්තරා පරිනිබ්බායී කියල හඳුන්වනවා. අන්තරාභවයට විරුද්ධ වෙන අය, අතර පිරිනිවන් පාන මේ වගේ අය ගැන කියන්නෙ මොකක්‌ද? කාම, රූප, අරූප රාගයන් ප්‍රහීන කළ මේ අනාගාමීන් සුද්ධාවාසයේ ඉපදෙන හැටි පෙන්වා දෙන්න. අටුවාවල අන්තරා පරිනිබ්බායී පුද්ගලයා විග්‍රහ කරන්න ගිහින්, සුද්ධාවාසයෙදි සම්පූර්ණ ආයුෂ නොගෙවා, අතරමගදී පිරිනිවන් පාන නිසා අන්තරා පරිනිබ්බායී වෙනව කියල වැරැදි අර්ථ කථනයක්‌ දීල තියෙනවා. අටුවා ඇදුරන්, අන්තරා පරිනිබ්බායී ආර්යන් වහන්සේ උප්පත්ති පටිලාභී සංයෝජන ප්‍රහීන කළ බව අමතක කර තියෙන බව මේ අටුවා විවරණයෙන් පැහැදිලි වෙනවා.

බුද්ධ දේශනාවේ සඳහන් වෙන විදියට ලෝක විනාශයේදී ලෝන්තරික නරකයේ ඉන්න සත්තු හැර අනෙක්‌ සියලු සත්ත්වයෝම මරණින් පසු ආභස්‌සර බඹ ලොව ඉපදෙනවා. සත්ත්වයා මැරෙනකොටම උපත කරා යනවා කියන අන්තරාභව විරෝධීව මත ප්‍රකාශ කරන අයට කියන්න තියෙන්නෙ, ලෝක විනාශයේදී සියලු සත්ත්වයන් මරණයට පත්වෙලා ආභස්‌සර බඹ ලොව ඉපදෙන ක්‍රමය පෙන්වා දෙන්න කියල. ආභස්‌සර බඹ ලොව ඉපදෙන්න රූපාවචර ද්විතීය ධ්‍යානය උපදවා ගත් අය පමණයි. සතර අපාගත සත්ත්වයන් පවා ලෝක විනාශය වෙද්දි ආභස්‌සර බඹ ලොව ඉපදෙනවා නම්, ඒ අය ධ්‍යාන ලබන ආකාරය පහදා දෙන ලෙසත්, අන්තරාභවය නැතැයි කියන අයට මතක්‌ කර දෙන්න ඕන.

දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන විදියට බ්‍රහ්මයන් පිරිහිලා, මනුස්‌ස පරිණාමය සිද්ධවෙලා තියෙන බව පැහැදිලිය. මේ අවස්‌ථාව වෙනකොට සතර අපාය, දෙව් ලොව ආදිය සකස්‌ වෙලා නෑ. බ්‍රහ්ම කල්පිත මනුස්‌සයන් තුළ ඇතිවන සුචරිත, දුෂ්චරිත නිසා සුගති, දුගති දෙක නිර්මාණය වෙනවා. තිරිසන් ලෝකය මුලින්ම හැදෙනකොට දුෂ්චරිත නිසා බ්‍රහ්ම කල්පිත මිනිස්‌සු මරණයට පත්වෙලා මුල්ම තිරිසන් සතුන් පහල වුණේ කොහොමද? ගැබකට ඉපදෙන්න තිරිසන් සතුන්ට මුල් කාලයේ පරිසරය නැති නිසා, සූක්‍ෂම කායිකව අන්තරාභවයෙ ඉඳල පොළොව රස ධාතු ඇසුරු කර ක්‍රමයෙන් ඝනීභවන ශරීර සකස්‌ වෙනවා. මේ විදියට හටගන්න සත්ත්වයන්ගෙන් තිරිසන් පරපුර බිහිවෙනවා. මේ කාරණයෙනුත් පැහැදිලි වෙන්නෙ, ගන්ධබ්බ අවස්‌ථාකින් තොරව ආරම්භක තිරිසන් ලෝකය පහල නොවන බව. 

බුද්ධ කාලයේ හිටපු අම්බපාලි කියන ගණිකාව අඹ ගසකිනුත්, චිංචිමානවිකාව සියඹලා ගසකිනුත්, පොක්‌ඛසාරති බමුණා නෙළුම් මලකිනුත් උපන් බව සඳහන් වෙනවා. මේ තුන් දෙනා පෙර භවයේ මරණයත් සමග අන්තරාභවයට ඇවිත්, ඒ සූක්‍ෂම කය මේ ලෝකයේ පවතින අඹ, සියඹලා, නෙළුම් වගේ දේවල් රස ධාතුව කාලයත් උරාගෙන ඝනීභවන මස්‌ ලේ කයවල්වලින් ලෝකයට පහල වුණා. මනුස්‌සයන් ඕපපාතිකව පහළ වෙන්නෙ මේ ක්‍රමයට. මරණයත් සමගම උපත සිදුවෙනවා නම්, ඕපපාතික මිනිස්‌සු ලෝකයට පහල වෙන ක්‍රමයක්‌ නෑ, අන්තරාභව කතාව බැහැර කරන්න ගියොත්, ඉහතින් සඳහන් කළ කිසිම දෙයක්‌ හේතුඵල සහිතව පැහැදිලි කරන්න බැරිවෙනවා වගේම බොහෝ කාරණාවන් සමග පරස්‌පරතාවන් මතුවෙනවා.

අන්තරාභවයට විරුද්ධව මත ප්‍රකාශ කරන අය කතාවත්ථු ප්‍රකරණයේ මොග්ගලීපුත්තතිස්‌ස මහ රහතන් වහන්සේ විසින් පරවාද ඛණ්‌ඩනය කරමින් අන්තරාභවය ප්‍රතික්‌ෂේප කළ කාරණය ගෙනහැර දක්‌වනවා. කතාවත්ථුවේ සඳහන් වන අන්තරා භවවාදය මොකක්‌ද කියල පළමුව වටහාගත යුතුයි. එතනදී සකවාදීන්, අන්තරා භවිකයාට රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ කියන ස්‌කන්ධ පහ තියේද කියල ඇහුවාම, පරවාදීන් ඒක නෑ කියල ප්‍රකාශ කරනවා. මේ අනුව කතාවත්ථුවේ සඳහන් අන්තරාභවය සහ අද කතා කරන මරණයත් උපතක්‌ අතර පවතින අන්තරාභවය හෙවත් ගන්ධබ්බ අවස්‌ථාව කාරණා දෙකක්‌. මේ ගන්ධබ්බයා ස්‌කන්ධයන්ගෙන් වගේම ඉන්ද්‍රියන්ගෙන් යුත්, දිවැසකට දකින්න පුළුවන් තත්ත්වයක්‌. ඒ නිසා කතාවත්ථුවේ ප්‍රතිෂේප කළ අන්තරාභවය සහ අද කතා කරන අන්තරාභවය පටලවා නොගත යුතුයි.

අන්තරාභවය නැතැයි කියන අයට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මේක පිළිගන්න බැරි නම් දිවැස්‌ පහල කරගෙන ඒ තුළින් හෝ බලාගෙන සත්ත්වයා මරණයත් සමග නැත උපදිනවා, නැත්නම් අන්තරාභවයේ ඉඳ උපත කරා යනවද කියල බලාගන්න කියල. ඒ විදිහට බලන්න පුළුවන් දිවැස්‌ලාභී උතුමන් වර්තමානයේ ඉන්න නිසා, අන්තරාභවය ඒකාන්ත සත්‍යයක්‌ බව සංකා විරහිතව සනාථ වෙලා තියෙනවා.

ලෝකයේ වඳවෙලා ගියා කියන සියලු සත්ත්වයන් සූක්‍ෂම කායිකව ගන්ධබ්බ ලෝකයේ තවමත් වාසය කරනවා. යම් සත්ත්ව පරපුරක අවසන් සතා මරණයට පත්වෙලා, ඒ සත්ත්ව යෝනියේ ඉපදීමට හේතු තිබුණ නම්, ඒ සතා මැරිල අන්තරාභවිකයෙක්‌ විදියට වාසය කරනවා. නමුත් ඒ සතාට නැවතත් මේ ලෝකයේ ඉපදෙන්න ඒ ජාතියේ සත්ත්වයන් නැති නිසා, ගන්ධබ්බ ලෝකයේ ඉන්න සිද්ධ වෙනවා. වසර දහස්‌ ගණනක්‌ හෝ අන්තරාභවයේ ඉඳල ඒ සත්ත්වයන්ට ඉපදීමට හේතු වන භෞතික පරිසරය මේ ලෝකයේ නැවත සකස්‌ වුණොත්, ඒ රස ධාතු ඇසුරු කරගෙන මුලින්ම ඕපපාතිකව ඇවිත් සත්ත්ව පරපුර බිහිවෙනවා.

මෙතෙක්‌ සොයා නොගත් අලුත් සත්ත්වයන් බිහිවෙලා තියෙන බව සත්ත්ව විද්‍යාඥයින් අදත් පවසනවා. ඒ විදිහට පහල වෙන්නෙ ඒ සත්ත්වයන් ගන්ධබ්බ ලෝකයේ ඉන්න නිසා. කීඩෑවන් වගේ ගොයමට හානි කරන සත්තු ඇතිවෙන්න පටන් ගත්තෙ ඉතා මෑත කාලයේ. මනුස්‌සයන්ගෙ දූෂ්‍යතාවයනුත් මුල්වීමෙන්, අවශ්‍ය පරිසර සාධක හැදෙන කොට ගන්ධබ්බ කීඩෑවන් ලෝකයට පහල වුණා. ගන්බ්බයන් ලෝකයේ නොසිටියා නම්, ඒ සත්ත්වයන් මේ මෑත යුගයේ බිහිවුණේ කොහොමද? විද්‍යාඥයින් මේ විදිහට පහල වන සත්ත්වයන් අලුත් ජීවීන් විදිහට සැලකුවත්, කවදා හරි මිහිපිට වාසය කළ සත්ත්වයන්, ජීවත්වීමට අවශ්‍ය පරිසර සාධක නැති නිසා හෝ වෙන ක්‍රමවලින් හෝ විනාශවෙලා ගන්ධබ්බ ලෝකයට ගිය සත්ත්වයන්. මේ සියලු කාරණා අනුව බලන කොට අන්තරාභවය නැතැයි කියල හේතු සාධක සහිතව කරුණු ඉදිරිපත් කරන්න බෑ. ප්‍රඥවන්තයෝ විමසුම් නුවණින් සත්‍යය වටහා ගනිත්වා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X