සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කෙලෙස් බර දුරු කරන ශ්‍රද්ධාව

බිබිල යල්කුඹූර 
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය 
පදියතලාවේ ඥානවිමල හිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වුයේ තුන්ලෝ වැසි දනන්ගේ මෙලොව පරලොව ජීවිත සුඛිත මුදිත කරගෙන සංසාරික ජීවිත කෙළවර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරදීම පිණිසය. මෙකී කර්තව්‍ය බෞද්ධ සම්ප්‍රදායේ සඳහන් වන්නේ බුද්ධ කිස යනුවෙනි. කිස යනු කළ යුතු දේ යනුයි. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝ තලයෙහි පහළ වන්නේ නම් එය මිනිසත් බව ලැබු සෑම දෙනාගේම මහත් භාග්‍යසම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එහි සුවය දැනෙන්නේ මිනිසත් බවැ ලැබූ අය පමණක් නොව තිරිසන් සතුන්ටත් වෙනත් ජීවි අජීවි වස්තූන්ටත් එලෙසම දැනෙන්නේය. අප සම්බුදුරජාණන් වහන්සේගේ උපත (බෝසත් උපත) සිදු වූ දින මුළු ලොව පුරා මහත් ආහ්ලාදයකින් පිරී ගිය බව සැබවි. එහි ආලෝකය ජීවි අජීවි සියලු වස්තුන්ටම දැනුණ බව අරුමයක් නොව.මේ අනුව නිතැතින්ම කියැවෙන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම යනු මිනිසත් බව ලැබු සියලු දෙනාට වැඩදායක අවස්ථාවක් ලෙසයි.
මේ ලොව පිළිබඳ සැබෑ තතු හොඳින්ම අවබෝධ කරගත් උත්තරීතරම පුද්ගලයෙක් වන්නේ නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේමය. ලෝකවිදූ යන උතුම් බුදු ගුණයෙන්ද උන්වහන්සේ පිදුම් ලබන්නේ ඒ ගුණය උන්වහන්සේටම පමණක් ඇති නිසාවෙනි. උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණ සත්‍යයක් ඇත. එම සත්‍යය අප සරලවම හඳුන්වන්නේ ශ්‍රී සද්ධර්මය ලෙසිනි. එහි ආරක්ෂා කිරීමටත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට හුදී දනන්ට ඒ නිර්මල වූ ගැඹුරු වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට සසර ගමන කෙටි කිරීමට දායක වුවෝ මහා සංඝරත්නයයි. බෞද්ධ දර්ශනය තුළ ‘තෙරුවන’ යනුවෙන් හඳුන්වන්නේ මේ උතුම් රත්නයන්ටය. තෙරුවන් සරණ ගිය තැනැත්තා බෞද්ධ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වන්නේ බෞද්ධ උපාසක යන උත්තරීතර නාමයෙනි.
නිවැරදි ලෙසම තෙරුවන් සරණ ගිය තැනැත්තා ය. සැබෑ බෞද්ධයෙකු වන්නේ, නිසි ලෙසින් තෙරුවන් සරණ ගිය තැනැත්තෙක් තුළ “ශ්‍රද්ධාව“ නම්වු උතුම් ගුණාංගය පවතී. මේ අනුව තෙරුවන් සරණ යන්නේ නම් ඒ හා සමානව කියැවෙන වචනයක් වන්නේ ශ්‍රද්ධාව යන්නයි. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බොහෝ දේශනාවන් තුළ ශ්‍රද්ධාවන්තයා පිළිබඳව සඳහන් වේ. මේ ලිපියෙන් පින්වත් ඔබට ශ්‍රද්ධාවන්තයා පිළිබඳවත් ශ්‍රද්ධාව පිළිබඳවත් අවබෝධයක් ලබා ගත හැකිවේ.
ත්‍රිපිටකයේත් ත්‍රිපිටකයට සම්බන්ධ බොහෝ අටුවා ටීකා ග්‍රන්ථයන්හි ශ්‍රද්ධාව යන්නට අරුත් සපයා තිබේ. උදානට්ඨකථාවේ එයට ලබා දී ඇති අර්ථය වන්නේ කර්ම ඵල හා තෙරුවන් කෙරෙහි ඇති කර ගන්නා වු ඇදහීමයි. ධම්මසංගිණි අටුවාවේ දක්වා ඇත්තේ තමා පිළිබඳව හෝ පවත්නා ඇදහීම් මාත්‍රය ශ්‍රද්ධාව යනුවෙනි. මේ අනුව සරලවම අවබෝධ කරගන්නේ නම් මෙලොව ජීවිතයේත් පරලොව ජීවිතයේත් සුබ සිද්ධිය උදාකර ගැනීම පිණිස ඇති වන්නා වූ චෛතසිකයක් ලෙස ශ්‍රද්ධාව නම් කළ හැකිය. බුදු දහම මිනිස් හදට ඇතුළු වීමට ප්‍රථම ඔවුන් විශාල ගස්වලට පර්වතයන්ට ගල්වලට මහත් භක්තියකින් වන්දනාමාන කළ බව සාසන ඉතිහාසයෙන් පෙනේ. ඉර සඳ තාරුකා වැනි දේ පවා ඔවුන් සැලකුයේ මහා අද්භූත වස්තුන් ලෙසය.මේවා නිර්මාණය කළේ ඊශ්වර නමින් හැඳින්වෙන දෙවියා බව ඔවුහු සැලකූහ. ඒ නිසා ඒවාට වැඳුම් පිදුම් කිරීමට නිතැතින්ම ඔවුන් යොමුවූ බව පෙනේ. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවන් වූ ක්‍රියාවක් කරන්නේ නම් එය අරුත් රහිත , නිශ්ඵල ක්‍රියාවක් වන බවයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී යමෙක් තෙරුවන් සරණ ගියේ නම් ඒ මනා වැටහීමකින් යුක්තවය. තෙරුවන් සරණ ගිය තැනැත්තා තුළ අවිවාදයෙන්ම තිබිය යුතු ගුණාංගයක් නම් ශ්‍රද්ධාවෙන් සමන්විත වීමය. මේ වචනය පිළිබඳ ව්‍යාකරණානුකූලව අර්ථ දැක්වුවහොත් මනා අරුතක් ලබා ගැනීමට හැකි වන්නේය. සංස්කෘත භාෂාවෙන් ශ්‍රද්ධා යනුවෙන්ද පාලියෙන් සද්ධා යනුවෙන් ද සඳහන් එය සිංහලින් භාවිතා වන්නේ සැදැහැ යන නමිනි. එය පාලි සද්ධා යන්න තත්භව වීමකි. තවත් අරුත් දක්වන්නේ නම් හොඳින් විශ්වාසය ඇති කර ගැනීම ආකාරවති ශ්‍රද්ධාව ලෙසත් වැරදි ලෙස විශ්වාස කිරීම අමුලික ශ්‍රද්ධාව ලෙසත් ගැනිය හැකිය.මේ වදන භාවිතකිරීමේදි නොදැනුවත්කම නිසා වැරැදි ලෙස ව්‍යවහාර කිරීමක්ද යම් අවස්ථාවලදි පෙනේ. ත්‍රිපිටකයේ ඇති බොහෝ සූත්‍රවලදී මේ පිළිබඳව යම් යම් අරුත් ගැබ් වී ඇත. ත්‍රිපිටකයේ ඇති අභිධර්ම කොටසේ චෛතසික ධර්මයන් තුළද මෙය අන්තර්ගතය. එහිදී පෙන්වා දෙන්නේ කිලුටට පත්විය හැකි වූත් නැවත පිරිසුදු විය හැකි වන්නා වූත් චෛතසිකයක් ලෙසය.
මෙහි ඇති වැදගත්කම පිළිබඳ දක්වන්නේ නම් බෞද්ධ දර්ශනයේ ඇති බොහෝ ධර්ම කාරණාවන්වලදි ශ්‍රද්ධාවට ප්‍රමුඛත්වයක් ලැබී තිබීමයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි පඤ්ච ඉන්ද්‍රියන්ට ද පඤ්ච බලයන්ට ද චතු සම්පදාවන්හි ද සප්තාර්ය ධනයෙහිද පසළොස් චරණ ධර්මයන්හිද මෙයට ලැබී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. ඉහතින් දැක්වූ ලෙස ශ්‍රද්ධාවේ ඇති මුල්බෙදීම වන්නේ අමූලිකා හා ආකාරවති යනාදී ලෙස කොටස් දෙකකට බෙදීමයි. සම්බුදුදහම ලොව පහළ වීමට ප්‍රථමවද ශ්‍රද්ධාව යන සංකල්පය භාවිත වී ඇත. මුලින් සඳහන් කළ පරිදි එකල ගස්, ගල් පර්වතයන්ටත්, ඉර, සඳු, තරු ආදියටත් වැස්ස,අව්ව ගින්න ආදියටත් දේවත්වයෙන් සැලකු පිරිස් ජීවත් වූහ. ඔවුන් තුළ වුයේ කරුණූ නිසි ලෙස අවබෝධ කර නොගත් අවිචාරවත් ඇදහීමකි. මෙය අමුලිකා ශ්‍රද්ධාවයි. විචාරශීලිව කරුණූ හොඳ හැටි අවබෝධ කරගෙන ශ්‍රද්ධාව ඇති කර ගත්තෝ ආකාරවති ශ්‍රද්ධාවෙන් යුක්ත වූහ. බුද්ධ දේශනාව තුළ සම්භාවනාවට පත් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවමය . අමූලිකා ශ්‍රද්ධාවෙන් යමෙක් කටයුතු කරන්නේ නම් ඔහුගේ ජීවිතය පරිහානියට පත්වන්නේමය. ඒ ඔහු මංමුලා වුවෙකු ලෙස කටයුතු කිරිමට පෙළඹීමයි. නිවන් අවබෝධ කරගැනීම තෙක් මනා සිහියෙන් යුක්තව ගමන් කිරීමට අවශ්‍ය වන කරුණකි. එහෙත් අමූලිකා ශ්‍රද්ධාවට නතු වූවෝ වැරදි වැටහීම් ඇති කරගෙන සසර ගමන තව තවත් දීර්ඝ කර ගනිති. මෙයට හොඳ උදාහරණයක් ලෙස මජ්ක්‍ධිම නිකායේ චංකී සූත්‍රය සඳහන් කළ හැකිය.
ආකාරවති ශ්‍රද්ධාව යනු මෙයින් ප්‍රතිවිරුද්ධ අංශයයි. මුලින් සඳහන් කළා සේම විචාර පූර්වකව යමක් පිළිබඳ මනා අවබෝධයෙන් සිතා හරිදේ අල්වා ගැනීමටත් වැරදි දේ ඉවත් කිරීමටත් ඇති හැකියාවයි. මෙයින් ගම්‍ය වන්නේ. මෙහිදී ඉතා වැදගත් සිදුවීමක් බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වේ. එනම් සම්බුදු හිමියන් පිළිබඳ යමෙකුට තමා ගැන හෝ ධර්මය ගැන සැක සංකා ඇත්නම් ඒ පිළිබඳව විමසීමේ හැකියාව ලබා දී තිබීමයි. කාලාම සූත්‍රයේදි වුවද තමන්ට නිවැරදිව සිතා තීන්දු තීර්ණ ගැනීමේ ස්වාධීන අවස්ථාව හිමිකර දී තිබේ. අප යම් කෙනෙක් පිළිබඳව පිරිසුදු චේතනාවක් පහළ වීමට නම් ඒ තැනැත්තා පිළිබඳව මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යුතුය. බුදුරදුන් පිළිබඳව නිසි අවබෝධයක් විශ්වාසයක් නැත්තෙකුට උන්වහන්සේ පිළිබඳ ප්‍රසාදය ඇති කරගත නොහේ. ශී‍්‍ර සද්ධර්මය ද මහා සංඝරත්නය පිළිබඳවද ඉහත පරිදිමය. ඒ නිසාවෙනි. බුදු දහම තුළ සැකයට ඉඩක් නොලැබෙන සේ සියල්ල මනාව වටහා ගැනීමට හා විචාරශීලිව තීරණ ගැනීමට අවස්ථාව උදාකර දී තිබෙන්නේ. එසේ මනා වැටහීමක් ඇත්තාහට අවේච්චප්පසාදය ඇතිවේ. එනම් නැවත කිසිම කරුණක් නිසාවත් තමාගේ සිතුවිලි වෙනස් කරන්නේ නැත. එකම අරමුණක පිහිටයි. ඒ අරමුණ ද ධර්මානුකූල බෞද්ධ ප්‍රතිපදාවන්ට සමීපය.
සම්මා සම්බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් උපදින්නේ උන්වහන්සේ මිනිසුන් අතර ඉපිද ඔවුන් අතරම හැදී වැඩී ලොවෙහි තතු මැනවින් දැන හැඳින මහාභිනිෂ්ක්‍රමණයත් දුෂ්කර ක්‍රියාවේ වර්ෂ 06 ක් තරම් දීර්ඝ කාලයක් යෙදී උතුම් සම්මා සම්බෝධියට පත්වීම පිළිබඳව සාක්ෂ්‍ය හෝ සාධක පෙනෙන්නට තිබීමයි. සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මනුෂ්‍යත්වයත්. මහා කරුණාව පිළිබඳවත් ප්‍රඥාවෙන් පරිපූර්ණ බවත් උන්වහන්සේගේ ජීවිතය තුළින්ම අපට මැනවින් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන්ම උන්වහන්සේ දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කරුවකු නොව මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතරම හැදී වැඩී සම්බුද්ධත්වයට පත්ව දේවත්වය ඉක්මවා ගිය උත්තරීතර මනුෂ්‍යයෙකු වීමද වැදගත් වෙයි. මීට අමතරව විශුද්ධී මාර්ගයෙහි සඳහන් වන පරිදි බුදුවරයෙකු පවා කල්පයක් තිස්සේ තවත් බුදුවරයෙකුගේ බුදුගුණ වර්ණනා කිරීම සිදු කළ ද කල්පය අවසන් වන්නා මිස සම්බුදුගුණ අවසාන නොවන බව ප්‍රකාශ වීම ආදියෙන් සම්බුදු ගුණ කදම්භය පිළිබඳ අවබෝධයක් ඇතිකරගත හැකිවේ.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය පමණක් නොව ශී‍්‍ර සද්ධර්මය පිළිබඳව ද නොවෙනස් වන ශ්‍රද්ධාවක් ඇති කරගැනීමට හැකි වන්නේ ආකාරවති ශ්‍රද්ධාවෙන් සම්ප්‍රයුක්ත තැනැත්තාටමය. සම්බුදු හිමියන් අරිය පරියේසන සූත්‍රයේදි ධර්මය පිළිබඳ පැහැදිලි කරමින් දේශනා කළේ “මා විසින් අවබෝධ කරගත් ධර්මය ගැඹූරුය. දැක්මට අපහසුය.අවබෝධයට අපහසුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් දැකගත නොහැකිය. නිපුණය,පණ්ඩිතයන් විසින් දත යුතුය,” යනුවෙනි. එසේ නම් එමඟින් අපට අවබෝධ විය යුත්තේ එහි ඇති ස්වභාවයයි. සන්දෘෂ්ටික වු අකාලික වු ශ්‍රී සද්ධර්මය අවබෝධයට මනා බුද්ධියක් තිබිය යුතුමය. නොඑසේ නම් වැරදි වැටහීම් ඇති කරගෙන විචිකිච්ඡාවෙන් යුක්තව කටයුතු කළහොත් සිදුවන්නේ පරිහානියමය.මහා සංඝරත්නය පිළිබදව දැනීමද ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට මනා පිටුවහලක් වන්නේමය. මනාවූ මාර්ගයට පිළිපන් උන්වහන්සේලා ඤාණයෙන් පරිපූර්ණය.
ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලි කරණීය යනාදී ගුණයන්ගෙන් සම්භාවනාය. ඝොර බිරම් සසරින් එතෙර ව අනුන්ද එයින් මුදාලීමට නිරාමිස පී‍්‍රතියෙන් යුක්තව සසුනේ යෙදෙන උන්වහන්සේලා කෙරෙහිද ධර්මයට හිතැති එමඟෙහි නියුක්ත ශ්‍රද්ධාවන්තයාගේ චෛතසිකයන් පරිපූර්ණය.
මීට අමතරව තවත් ඉතා වැදගත් කරුණක් ධර්මයේ දැක්වේ. එනම් ශ්‍රද්ධාවන්ත තැනැත්තා තුළ තිබෙන්නා වූ ගුණධර්ම පිළිබඳව සඳහන් වීමයි. ඉහත දැක්වූ කරුණු ප්‍රධානතම ඒවා වන අතර පහත දැක්වෙන සාධක ද ඔහු තුළින් නිරූපණය වන බවයි අප අවබෝධ කර ගත යුත්තේ.
සිල්වතුන් දැකීමට කැමති, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරිමට කැමති, මසුරු මළ සිතින් ඉවත් කිරීමට උත්සාහ කිරීම ආදින්ගෙන් සමන්විත වන්නේ නම් ඔහු ශ්‍රද්ධාවන්තයෙකු බව ධර්මයේ සඳහන්ය. ඉහතින් දැක්වු ලක්ෂණයන්ට අමතරව අත්ථසාලිනී නම් අටුවාවෙහි ශ්‍රද්ධාවන්තයෙකු තුළ පවත්නා තවත් ලක්ෂණ කිහිපයක් නිරවුල්ව පෙන්වා දී ඇත. මාණික්‍යය ජලයට බහාලූ පසු එම ජලය පවිත්‍රත්ත්වයට පත්වන්නේ යම් සේද බුද්ධාදී උතුම් රත්නයන් මනසට නැගෙන විට කෙලෙස් නමැති මඩ බොර ගතිය යටපත් වී පිරිසුදු ජලය මෙන් සිත නිර්මලත්වයට පත්වේ. එසේ නිර්මලත්වයට පත් වු සිතකින් යුත් පුද්ගලයාට දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, තෙරුවන් ඇසුරු කිරිමට සිත් ඇති වීම ආදි කුසල චේතනාවන් ඇති වන බව පෙන්වා දී ඇත. ශ්‍රද්ධාව පිළිබඳව ද අත්ථසාලිනි අටුවාවේ අතිශය වැදගත් වන කරුණක් අන්තර්ගත වේ. එනම් සසර නමැති සයුරින් එතෙර වීම සිතන තරම් පහසු කරුණක් නොව අතිශය දුෂ්කර කරුණක් වන බවයි. සසර දිග් වන්නේ කෙලෙස් ප්‍රහීණ නොකළ නිසාවෙනි. කෙලෙස් නමැති ඕඝය ප්‍රහිණ කිරීම සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව බව එහි එන ධර්ම කරුණකි. ශ්‍රද්ධාවන්තයා තුළ කෙලෙස් බර අඩු බවයි. එයින් ගම්‍ය වන්නේ ශ්‍රද්ධාවන්ත තැනැත්තා නිතැතින්ම ප්‍රඥාව කරා කෙමෙන් ළඟා වීමට උත්සුක වන බව මනාව පැහැදිලි වේ.
ශ්‍රද්ධාව ඉහතින් පෙන්වා දුන් පරිදි එහි ප්‍රමුඛතම ප්‍රභේද අපි මනාව හඳුනාගත්තෙමු. ඊට අමතරව තවත් ප්‍රභේද රාශියක් ද දැක ගත හැකිය. ඒවා නම්,
සම්පසාදන ලක්ඛණ සද්ධා 
සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා 
සද්දහන ලක්ඛණ සද්ධා 
ඕකප්පන ලක්ඛණ සද්ධා 
ආගම ලක්ඛණ සද්ධා 
අධිගම ලක්ඛණ සද්ධා
යනු ඒ ප්‍රභේදයන්ය. මේවායෙන් විශේෂිත වූ අරුත් ගැබ්ව පවතින බව පෙනේ. සම්පසාදන ලක්ඛන සද්ධා යන්නෙන් ලෝභ,දෝෂ මෝහාදි කෙලෙස් යටපත් කර සිතෙහි ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාවයි. සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව ඇති වන්නේ දාන ශීලාදි පින්කිරිමෙහි කෙතරම් බාධක ආවද ඒ පිළිබඳ නොසලකා සියලු බාධක මැඬගෙන ඉදිරියට යන තැනැත්තාටය. සද්දහන ලක්ඛන ශ්‍රද්ධාව යන්නෙන් ගම්‍ය වන්නේ තෙරුවන් කෙරෙහි අඥාන, සංශය, දුර්ඥාන යන කෙලෙස්වලින් තොරව තතු මනාව දැන ඇතිකර ගන්නා වූ අචල, ස්ථාවර වූ ශ්‍රද්ධාවයි. ඕකප්පන ශ්‍රද්ධාව බුද්ධාදී උතුමන් වහන්සේලාගේ ඇති ගුණ තතු ලෙස දැන එහි පත්ලටම ගොස් ඇතිකරගත්තා වූ ශ්‍රද්ධාවයි. බෝසතාණන් වහන්සේලා ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව ආගම නමින්ද ආර්ය ශ්‍රාවකයින්ට පහළ වන ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධා නමින්ද නම් කළ හැකිය.
අප දැන් ශ්‍රද්ධාවත් භක්තියත් පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා මේ දෙකෙහි බලපෑම කෙබඳු දැයි යළිත් විමසා බලමු. බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ශ්‍රද්ධා සංකල්පයෙන් ප්‍රසාදය ලෝලත්වය හෝ පේ‍්‍රමය ආදි අරුත් කිහිපයක් ගම්‍ය වුවත් එය භක්තිය යන මනෝභාවයෙන් සපුරාම ප්‍රතිවිරුද්ධ සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාව නම් ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා චිත්ත ප්‍රසාදයයි. එය නිරායාසයෙන්ම පුද්ගලයාගේ මනස තුළ හටගන්නා මනෝභාවයකි. එහෙත් භක්තිය යන්න මෙයට ඉඳුරාම වෙනස් වුවකි.
සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යමක් දෙස බුද්ධිමත්ව බලන ලෙසයි. මේ කරුණ සඳහා උන්වහන්සේ තමන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා දායක වූයේ බුද්ධිය බව පෙන්වා දී තිබේ. මජ්ක්‍ධිම නිකායේ වීමංසක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ භක්තියෙන් යුක්ත තැනැත්තාට නිවන් සාක්ෂාත් කිරීම කිසිදු දිනෙක සඵල කර ගැනීමට හැකියාවක් නොවන බවයි. තමන් සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ වුවද සැකයක් ඇත්නම් එය ද විචාරා නැතිකර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි. ඒ සැකය වුව නිවන් මඟට පිවිසෙන්නට වෑයම් කරන්නාට අහිත පිණිස හේතු කාරණාවක් වන්නට පුළුවන.
උන්වහන්සේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ දාළිද්දිය සූත්‍රයේදී මෙසේ දේශනා කළ සේක. යම් අයෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි අචල වු ශ්‍රද්ධාවෙන් සමන්විත වන්නේ නම් එහි මැනවින් පිහිටන්නේ නම් යහපත් වූ ආර්යකාන්ත ශීලය ප්‍රශංසා කරන ලද බවයි. එහිදීම යමෙක් සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇත්ද ඥාන දර්ශනයෙන් ඍජු වේද ඔහු නොදිළින්දෙකි. (බුද්ධාදී උතුමන් වහන්සේලා ද එලෙස වදාරති) ඔහුගේ ජීවිතය හිස් නොවේ. එහිම අභිසමය සංයුත්තයේදී උන්වහන්සේ දේශනා කරන්නේ යමෙක් තුළ තෙරුවන් පිළිබඳ පැහැදිලිව අචල ශ්‍රද්ධාව ඇත්ද ඔහු ප්‍රඥාව කරා ළඟා වන බවයි. මජ්ක්‍ධිම නිකායේ භික්ඛූ වග්ගයේ කීටාගිරි සූත්‍රයේදි පෙන්වා දෙන්නේ ලෝකයේ විද්‍යමාන වන පුද්ගලයින් අතුරින් ශ්‍රද්ධාවන්තයා ද එක් අයෙක් බවයි.
ශ්‍රද්ධාව යනු ප්‍රඥාව කරා ගමන් කරන මඟෙහි මුල්ම පියවර බව මුලින් පෙන්වා දෙන ලදී. ප්‍රඥාවෙන් ආලෝකවත් තැනැත්තාට නිවන් මඟට පහසුවෙන් එළඹිය හැකිය.
නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අප යන ගමන් මඟේදී ඒ සඳහා පිරිය යුතු සෑම ධර්ම කරුණක්ම බොහෝ විට ශ්‍රද්ධාවෙන් ඇරඹි ප්‍රඥාවෙන් කෙළවර වන බව පැහැදිලි වේ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ රාගාදීපෙය්‍යාල සූත්‍රයේදී නිවන් අරමුණූ කරගත් තැනැත්තා වැඩිය යුතු ධර්මතා පසක් පෙන්වා දේ. එනම් සද්ධා බලය, විරිය බලය, සති බලය. සමාධි බලය, පඤ්ඤා බලය යනාදියයි. පටිසම්භිදා මග්ගයෙහිද සම්බුදු හිමියන් පෙන්වා දෙන්නේ “මහණෙනි, ශ්‍රද්ධාව නමැති ඉන්ද්‍රිය බෝධි පාක්ෂික ධර්මයක් වන්නේය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් වන්නා වූ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේද පරලොව හිත පිණිස හේතුවන්නා වූ කරුණු අතරින් පළමු කරුණ වන්නේ ශ්‍රද්ධාවයි. (සද්ධා , සීල, චාග, පඤ්ඤා) එහිම සත්තක නිපාතයේ සංඛිත්තධන සූත්‍රයේදි සප්ත ධන අතර පළමුවෙන්ම සඳහන් වන්නේද ශ්‍රද්ධාවයි. එහිම අන්තර්ගත (සත්තක නිපාතයේ සත්තධම්ම සූත්‍රයේදී සද්පුරුෂයෙකු සතු ධර්මතා රාශියක් දක්වා ඇත.එහි දී ද ප්‍රමුඛ වන්නේ ශ්‍රද්ධාවයි,
ඉහත කරුණු අනුව ශ්‍රද්ධාව යනු හුදු වචනාර්ථයට පමණක් සීමා වූවක් නොව නිවන් මඟට ප්‍රවිෂ්ඨවීම සඳහා මහෝපකාරි ධර්ම කාරණාවක් බව පැහැදිලි වේ. කසී භාරද්වාජ සූත්‍රයේදී සම්බුදු හිමියන් භාරද්වාජයන්ට පෙන්වා දුන්නේ සසුන කෙතක් වන්නේ නම් ශ්‍රද්ධාව යනු එහි වපුරන බීජය වන බවයි. ඉහතින් දැක්වු කරුණු සැලකිල්ලට ගෙන නිර්වාණගාමී මඟෙහි යෙදෙන අපත් ආකාරවති ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රඥාසම්පන්නව උතුම් වූ නිවන් මඟ විවර කර ගනිමු.

මනසේ සහ කයේ ස්වභාවය

වල්පොල ගෝතම හිමි

ප්‍රඥාවට අප ආලෝකය කියා කියනවා. ආලෝකය කියන්නේ අඳුරක් නසන්න තිබෙන දෙයක්. අප දන්නවා යම් තැන ආලෝකයක් දැල්ලුවොත් පමණයි අඳුර දුරු වෙන්නේ. එසේ නැතුව අපට කවදාවත් අඳුර උස්සලා තියන්න බැහැ. අඳුර අයින් කරන්නට නම් ආලෝකයක් තිබෙන්න ඕන.ප්‍රඥාව ආලෝකයක් කිවුවේ ප්‍රඥාව අලෝකයක් ලෙස යම්කිසි අඳුරක් නසනවා. නසන්නේ අවිද්‍යා අඳුරයි.
අවිද්‍යාව කියන්නේ අනවබෝධය යි. මේ ලෝකය ගැන අපට යම් අනවබෝධයක් තිබෙනවානම් ඒ අනවබෝධය නසන්න තමා මේ ප්‍රඥා ලෝකය උපකාරි වෙන්නේ. අවිද්‍යාව නසන්නයි තණ්හාව ඇතිවෙන්නේ. ඔබ දන්නවා පටිච්චසමුප්පාදය මුලින් තිබෙන්නේ අවිද්‍යාව. තණ්හාව තිබෙන්නේ මැද. එසේනම් මුල තිබෙන අවිද්‍යාව නැසුවොත් තමා ඒ අවිද්‍යාව නිසා හට ගන්නා තණ්හාව නැතිවෙන්නේ. එසේනම් තණ්හාව නසන්න අපට කෘතිම ආකාරයට එක එක දේ කරමින් මට එපා කියා ඈත් කළාට ඒක කරන්න බැහැ. තණ්හාව නසන්නනම් අප කළයුත්තේ අවිද්‍යාව නැසීමයි. අවිද්‍යාව නසන්නනම් ප්‍රඥාවම දියුණු කළ යුතුයි. ඒ ප්‍රඥාව දියුණු කරන්න කෙනෙක් උත්සහා කරනවානම් ඔහු මේ ධර්මයට අනුව නුවණින් විමසීමම යි කළ යුත්තේ. ඒ අනුව සිහිය පැවැත්වීමයි කරන්න ඕන.අද අප සාකච්ඡා කරනවා මනස තුළ ඇතිවෙන සිතුවිලිවලට, මනෝභාවයට අනුව යම් කෙනෙකු කොහොමද කය තුළ සකස් වෙලා තිබෙන සතරමහ ධාතු තමන් සිතන ආකාරයත් සමඟ වෙනස් වෙන්නේ කියා. ඒ ස්වභාවය නිසා පුද්ගල සංඥාවක් ඇතිවෙලා තිබෙන්නේ. අප විමසමු මේ ධාතුන්ට ඒ ධාතු කොතරම් එකතු ද කියා.බුදුරජාණන් වහන්සේ වදාළා ධාතුවල පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු මහා ධාතුයි. මේ මහ ධාතු ඉඩ අරගෙන තිබෙන්නේ අවකාස ධාතුවෙන්. ඕනෑම හතරමහ ධාතුන්ගෙන් හටගත් දෙයට ඉඩක් ඕන. යම් තැනක ආකාස ධාතුව නැත්නම් එතැන පඨවි ආපෝ, තෝජෝ වායෝ ධාතුන්ගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේනම් මේ කය මහ ධාතුන්ට අමතරව ආකාස ධාතුවකුත් තිබෙනවා. හිස් අවකාශයක් මේ කය තුළ පවත්වනවා ඒ අවකාශය ආකාස ධාතුවටමයි අයිති. කණ් සිදුරු ආමාශයේ තිබෙන ඉඩ, ගලනාල ආදි නොයෙක් තැන්වල හිස් අවකාශයක් තිබෙනවා. මේවා තමා ආකාස ධාතුව කියන්නේ. මේවා සියල්ලට කැමැතිවීමක් කරන්නේ විඤ්ඤාණ ධාතුව විසින්. විඤ්ඤාණ ධාතුවට පුළුවන් මේ ධාතුන් තමන්ට ඕන ඕන ආකාරයට හසුරුවා ගන්න.
විඤ්ඤාණය කියන්නේ යම්කිසි දෙයක් දැන ගැනීමයි. ඒ විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යමක් වෙන්කරලා දැන ගන්නවානම් ඒ වෙන්කර දැන ගැනීම තමා විඤ්ඤාණය කියන්නේ. ඔබ පුවත්පතක් බලනවිට ඒ පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා ප්‍රවෘත්ති රාශියක්. ඒ ප්‍රවෘත්ති වලින් එක එක ප්‍රවෘත්තිය කියවනවා. ඒ ප්‍රවෘත්තිය කියවන විට ඒ අවට තිබෙන තවත් ප්‍රවෘත්ති ගොඩක් තිබුණත් අප ඒවා දැන ගන්නේ නැහැ. අනෙක් ප්‍රවෘත්ති සියල්ලෙන්ම එක ප්‍රවෘත්තියක් වෙන්කරලා තෝරාගෙන එය පමණක් දැන ගන්නවා. ඒ ආකාරයට මනැසින් අප යම් වෙන් කිරීමක් කර ඇසින් රූප බලන්නේ. මනැසින් යම් වෙන් කිරීමක් කරලයි කනින් ශබ්ද අසන්නේ. ශබ්ද ඕන තරම් ඇසෙන්න තියෙයි. නමුත් අප අසන්නේ එක ශබ්දය යි. කෙනෙක් හොඳින් ධර්ම දේශනාවකට සවන් දීගෙන ඉන්නවිට එතැන විදුලි පංකාවේ ශබ්ද ඔරලෝසු තත්පර කට්ටේ සද්ද, නොයෙක් ආකාරයේ අවට ශබ්ද තිබෙන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවටම කන් දීගෙන ඉන්නවිට අර ඇසුන ශබ්ද කෙරෙහි අවධානයක් නැහැ. එසේ වෙන්කරලා දැන ගැනීමේ ගතියක් තිබෙනවා. ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, සිතේ අරමුණු දැන ගැනීම මේ ස්වභාවය තමා විඤ්ඤාණය කියන්නේ. මේ විඤ්ඤාණයෙන් යමක් දැන ගන්නේ කයේ ධාතු වෙනස් වීමෙන්. ඒ කයේ ධාතු වෙනස්වන අයුරු හොඳින් විමසීමෙන් සිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන්.
යම් කෙනෙකුට තද සිතක් එනවිට ඔහුගේ සිතේ මේ බාහිරව ඇති වූ දේ පිළිබඳව අභ්‍යන්තරයේ තරහක් මතුවෙන විට කයේ තද ගතියක් ඇතිවෙනවා. හිසේ දහඩිය ගතියක් ඇතිවෙනවා. ඇඟේ පිපිරුම් දීමක් ඇතිවෙනවා. තරහක් ඇතිවන විට තද වෙනවා. ඒ තදවීම කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ගේ යම් තදවීමක් ඇතිවෙනවා. ඝනවීමක් වෙනවා. ඒ ඝනබව තරහ දුරුවූ ගමන් ටික ටික අඩුවෙනවා. ඊට පස්සේ සැහැල්ලු කයක් වෙනවා. සැහැල්ලුව මෛත්‍රී සංඥාව ආදි හොඳට පුරුදු කරලා මේ මනැස සම්ූර්ණයෙන්ම එයට යොමුකරන විට සැහැල්ලුව ඇතිවෙනවා. කෙලෙස් තරහ ආදියත් සමඟ එකට ඉන්න කොට තිබෙන්නේ තද ගතියක්. ඒකයි තරහ ආවිට අප කියන්නේ මට තදවුණා කියලා. ඒ තද ගතියට එනවිට ඔබට සමහර වෙලාවට අතමිිට මොළවා ගන්නවා. මේ හැම දෙයකින්ම කෙරෙන්නේ තදකර ගැනීමක්. මේ සතරමහ ධාතුන් හටගත් කය අභ්‍යන්තරයේ තදවීමට අමතරව බාහිර ඉරියවු වශයෙන් අප තදකර ගන්නවා. මේ සියල්ලම වෙන්නේ විඤ්ඤාණ ධාතුවේ ක්‍රියාකාරීත්වය සමඟයි. එහෙනම් තරහ ඇතිවීමත් සමඟ එන ධාතු තදවීමට අමතරව එහි වර්ණයත් වෙනස් වෙනවා අප දන්නවා සමහර කෙනෙකුට තරහ ආවාම මූණ රතුවෙනවා. කේන්තියෙන් පුපුර පුුපුර ඉන්නවා. එහෙම නැත්නම් මුදු කයේ ස්වභාවය ටිකක් තද ගතියට අඳුරු ගතියට හුරුවුණේ ඇයි? ඒ අඳුරු ගතියට එන්නේ තරහ කියන කෙලෙස් මනැසේ ඇති වෙන්නේ කයේ තිබෙන ලේ ධාතුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
ලේවල පැහැය අඳුරු වෙන බව අටුවාවේ තිබෙනවා. ශරීරයේ ධාතුව සම්පූර්ණයෙන් මනැසේ විඤ්ඤාණ ධාතුවත් සමඟ ක්‍රියාකාරිවෙලා විඤ්ඤාණ ධාතුවෙන් දැකපු අහපු දේ ආදිය තුළින් ඇතිවූ තරහ ආපෝ ධාතුවට බලපානවා. තරහ කියන දේ සමඟ ඔබට කායිකව වෙනසක් ඇතිවෙද්දීම ධාතු වශයෙන් මෙනෙහි කිරීමේදී ඒ මෙනෙහි කිරීමේදී තරහ දුරු කරගන්න පුළුවන්. මෙතැන ධාතු ස්වභාවය විමසලා තරහ එන්න දුන් ගතිය වගේම මෛත්‍රීයක් සමඟ සැහැල්ලුවක් ඇතිවෙනවා. ඒ වගේම තරහ ඇති වුණාම මුහුණ තද ගතියෙන් අව පැහයක් ආවත් මෛත්‍රී සහගතයේදී මුහණ පැහැපත් වෙනවා. ඒකයි මෛත්‍රීය හොඳට පුරුදු කරන කෙනෙකුගේ මුහුණ පැහැපත් වෙන්නේ. මෙත්තානි සූත්‍රයේදී සඳහන් වෙනවා මෙත්සිත ඇති වෙද්දී ආපෝ ධාතුව සහිත ලේ ධාතුවේ පැහැය සම්පූර්ණයෙන් ප්‍රසන්න පැහැයට හැරෙනවා. ඒ ලේ තරහ සිතක් ඇතිවෙද්දී අඳුරු වෙන්නත්, මෛත්‍රී සහගත වෙද්දී ප්‍රසන්න වෙන්නත් හේතු වෙනවානම් ලේ මගේ ද? මගේ නම් මම කැමැතියි නිතරම ප්‍රසන්නව තිබෙනවානම්. තරහ සිතක් ඇතිවෙද්දීත් අඳුරු වෙන්න එපා. ප්‍රසන්නව තිබේවා කියා සිතුවත් ඔබට එහෙම කරන්න බැහැ. තරහ සිත ඇතිවෙන විට ලේ අඳුරු ස්වභාවය ගන්නවාම යි. එහෙනම් ලේ ඔබේ නොවේ. දකින්න ඒක ඔබේ දෙයක් නොවන විදිහට. එවිට වැඩෙන්නේ අනාත්ම සංඥාව. එක එක වෙලාවට එක එක ස්වභාවයට වෙනස්වෙනවා නම් එහි අනිතය බව තේරෙනවා. මේ ධාතු මනසිකාරයක් සමඟ එහි අනිත්‍ය දකිමින් අනාත්මය දකිමින් දුකක් වශයෙන් විමසන්න ඔබට පුළුවන්නම් මේ මනසේ ස්වභාවයට අනුව කය වෙනස් වෙන හැටි. කයේ ස්වභාවය මානසික ස්වභාවය කොතරම් කිට්ටු සම්බන්ධයක් තිබෙනවාද? කියා විමසිය හැකියි. ඔබ දන්නවා තරහ ගියාම නින්ද යන්නේ නැහැ. ඇයි එහෙම නින්ද නො යන්නේ. නින්දක් ඇති වෙන්න සම්පූර්ණයෙන් කයේ ස්වභාවය සැහැල්ලුව තිබෙන්න ඕන. අප නිදාගන්න ගියාට පස්සේ කිටි කිටියේ හිර වූ ස්වභාවයෙන් නින්දට යන්නේ නැහැ බොහෝම සැහැල්ලුවෙන් තමා ඇඳේ ඉන්නේ. එහෙම සැහැල්ලු බව තිබෙද්දී නින්ද යනවානම් තරහ ඇති වූ වෙලාවේදී ඇයි නින්ද නො යන්නේ? ඒ බර නිසයි. කෙලෙස් සහිත හැම තැනම බරයි. බර තිබෙද්දී නින්ද යන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා අප චිත්‍රපටියක් බලද්දී නින්ද යන්නේ නැහැ. පැය පහක් හයක් හරි එය බලා ගෙන ඉන්නවා. නමුත් බණ භාවනා කරද්දී නින්ද යනවා. සමහර අය හරි කැමැත්තෙන් මේ ධර්ම මාර්ගයට එකතු වෙන අය ඉන්නවා. හැබැයි කෙතරම් කැමැත්තෙන් ආවත් නින්ද යනවා. මෙතැන දී එහෙනම් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ භාවනා කරද්දී සැහැල්ලු බවත් එනවා. චිත්‍රපටියක් බලද්දී තරහෙන් ඉද්දී ඇඟේ බර ගතියක් එනවා නම් කෙලෙස් එක්ක බරයි නම් ඒ නිසයි නින්ද යන්නේ නැත්තේ. චිත්‍රපටියක් බලද්දී ඔබේ සිතේ බරක් හට ගන්නේ. බර වැඩිවෙන්න වැඩි වෙන්න නින්ද යන්නේ නැහැ. භාවනා කරනකොට ධර්මය අසනවිට සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තමාට මධ්‍යස්ථව පාලනය කරගන්න බැරි වුණොත් නින්ද යනවා. එහෙනම් කෙලෙස්, සිතේ ඇතිවෙනවිට කය සැහැල්ලු වෙනවා වගේම බර වැඩිවෙනවා කියා තේරුම් ගන්න ඕන. පැහැය වෙනස් වෙනවා වගේම බර ගතිය හැදෙන එකෙනුත් ඔබට තේරෙන්න ඕන තමන් කොතරම් කැමැති වුවත් තරහ සිතක් ඇතිවෙලා තිබෙද්දී මේ ඇඟ බර වෙන්න එපා සැහැල්ලු වෙන්න කියා සිතුවාට එහෙම වෙන්නේ නැහැ. ඒ ඔබේ නොවේ නිසා. තරහ සිත ඇතිවෙනවිට විඤ්ඤාණ ධාතුවට අනුව මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ අනුව රූප ධාතු සම්පූර්ණයෙන්ම ඒවට අනුව බර වෙනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට සිදුවෙන්නේ නැහැ.

අප කැමැති වුවත් අකැමැති වුවත් මේ ක්‍රියාවලිය එහෙමම වෙනවා. මෙතැන තිබෙන සම්බන්ධය අනාත්මයි. එහෙනම් මනසට එන රාග, ද්වේශ, මෝහය ආදි සිතුවිලිවලින් කය වෙනස් වෙනවානම් ඔබට කැමැති කැමැති ආකාරය සිදුවෙන්නේ නැත්නම් ඒක කයක්ද, නැත්නම් අනිත්‍ය වූ වෙනස්වන කයක්ද කියා බලන්න. එක සිතුවිල්ලකදී එක විදිහකට අනෙක් සිතුවිල්ලදී තව විදිහකටනම් මේ එක එක සිතුවිල්ලට කය වෙනස්වෙනවා නම් කය අනිත්‍යය යි. මෙසේ විමසනවිට ධාතු මනසිකාරය ඔස්සේ අනිත්‍ය දකින්න, දුකක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකිමින් මේ ධාතු මනසිකාරය පුරුදු කරගෙන තමන්ගේ ජීවිත අවබෝධය ඇතිකර ගන්න.
ඔබට මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන තව තවත් ධාතු වශයෙන් විමසමිින් ධාතු මනසිකාරය විමසමින් ප්‍රඥා ලෝකයෙන් අවිද්‍යා අන්ධකාරය දුරුකර ගන්නට භාග්‍ය සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය නොකළ යුතු වෙළඳාම් තුළ ගැබ්ව ඇත්ද?


ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහසභාව

කලින් පළවූ ලිපියේදී අප පෙන්වා දුන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ යෑයි දෙයකින් පානාතිපාතා සූත්‍රය අනුව ප්‍රථම සිල්පදය විනාශවී යන අයුරු සහ 'දිට්‌ඨං සුතං පරිසංකිතං' සම්බුද්ධ දේශිත සූත්‍රය අනුව මොහොතක්‌ මොහොතක්‌ පාසා කුණුවී ජරාවට පත්වී යන නවදොරින් ජරාව වැගිරෙන දෙතිස්‌ කුණුප කොටස්‌ ඇති සත්ව මළ සිරුරක්‌ කෝටි තුන් වතාවක්‌ පිරිසිදු නොවන බවයි. එවැන්නක්‌ ලේඛනගතකොට ඇත්තේ විකෘති මනස්‌ ඇති තෘෂ්ණාභරිත ආත්මවාදී අටුවාකාරයින් බව තාර්කිකව ඔප්පුකොට පෙන්වා දුනිමු.

ඇතැම් පැවිදි උතුමන්ලා පෙන්වාදෙන පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ වූ මාංශ වෙළඳපළෙන් මිලදීගත හැකිය. ඒවා තමන් වහන්සේලා වෙනුවෙන් මරන ලද සතුන්ගේ මංශ නොවේය. ඒවා ත්‍රිකෝටික පරීක්‌ෂණ තුනෙන්ම සමත්වූ මාංශය. එනම් දැකීමෙන් අසා දැන ගැනීමෙන් සහ සැකයක්‌ ඇතිවීමෙන්ද පිරිසිදු බවට පත්වූ මළකුණුය. වැළඳීමේ දොaෂයක්‌ නැත යන්න ඔවුනගේ බොළඳ තර්කයන්ය. කන්න සිතුණාම කබරගොයා තලගොයා බවට පත්වන මෙවන් බෞද්ධ සමාජයක ඔවුන්ගේ මනසට නොපෙනුනේ සම්බුදුරදුන් නොකළයුතු වෙළඳාම් වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථමය මාංශ වෙළඳාම සහ දෙවනුව සතුන් වෙළඳාමය බවය.

නොකළ යුතු වෙළඳාම් පහෙන් එනම් මාංශ සත්ව, ආයුධ, වසවිස සහ මත්ද්‍රව්‍යවලින් සිදුවන්නේ ඒකාන්තයෙන්ම සත්ව සහ මනුෂ්‍ය ජීවිත විනාශය බව සම්බුදුපියාණන් ඒකාන්තයෙන්ම දේශනාකොට ඇති බවත් ඒවායින් ප්‍රථමය මාංශ වෙළඳාම බවත් මාංශ වෙළඳාම යනු ඉල්ලුමට සැපයුම න්‍යාය පරිදි මිලදී ගැනීමෙන් තව තව සතුන් නිරපරාදේ මරණයට පත්කිරීම බවත් දැන තේරුම් ගැනීමට අමුතු නුවණක්‌ අවශ්‍ය නැත. ඒ අනුව නොකළයුතු වෙළඳාමක්‌ තුළින් පැමිණෙන මරණ දුක්‌ අඳෝනාව කෝටි තුන් වතාවක්‌ පිරිසිදු පින් කන්දක්‌ යෑයි පිළිගැනේ නම් එම වෙළඳාමෙහි නිරත සත්ව ඝාතනවලට මුදල් යොදන වෙළෙන්දාද රැකියාව පිණිස සතුන් මරණ ඝාතකයාද අතිශය පුණ්‍යවන්ත පුද්ගලයින් බවද සැලකුව මනාය.

මෙකී පුණ්‍යවන්ත ඝාතකයන්ගේ පින්වන්ත ඝාතන හේතුකොටගෙන දාන පාත්‍රයට මාංශ වඩින බැවින් එම පුණ්‍යවන්තයාටද නොඅඩුව පිං අනුමෝදන් කළ යුතුය. එහෙත් එය කිසිදා කිසිවකු නොකරන්නේ ඔවුන්ගේ කරුමය නිසා වන්නට ඇත. එහෙත් නොකළ යුතු වෙළඳාමකින් මාංශ මිලදී ගෙන උයාපිහා දානය සකස්‌කර එම දුර්දාන්ත මල අඳෝනා පාත්‍රයට බෙදන උත්තම දායකයන්ට සහ ඔවුන්ගේ මළගිය ප්‍රාණකාරයන්ට නොඅඩුව පිං අනුමෝදන් වේ. අප නම් අදහස්‌ කරන්නේ එවන් ත්‍රිකෝටික පුණ්‍යවන්ත මාංශ ලැබෙන්නේ ඝාතකයාගේ පිහිකොටයේ පිහිටෙන් නිසා එම පිහිකොටයද දාන මේසය උඩ තබාගෙන අනිමිසලෝචන පූජාවෙන් ඒ දෙසද ඇසිපිය නොහෙලා බලාසිටිය යුතු බවය. බොළඳ අටුවාකාරයින්ගේ ත්‍රිකෝටික සිහිනය සම්පූර්ණවන්නේ එවිට බව සිතාගනු මැනවි.

තවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ප්‍රථම සික්‌ෂාපදය සිඳ බිඳ ලෑමට එකී පරීක්‌ෂණ තුනෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධිය සමත් නම් එකී ත්‍රිකෝටික පාරිශුද්ධිය අනෙක්‌ සිල්පදවලටද අදාළ විය යුතුමය. සම්බුදුවරයෙක්‌ කිසිදා ප්‍රධාන ශික්‌ෂාපදය වෙනුවෙන් මුක්‌තියක්‌ නොදෙනු ඇත. ඒ සම්බුද්ධ ඥනයට තෘෂ්ණාවට මගපාදන මුක්‌තියක්‌ කිසිසේත් සම්ප්‍රාප්ත නොවන නිසාය.

අප දැන් මේ අයුරින්ම දෙවැනි සිල්පදය වන මම අන් සතු දෙයක්‌ සොරකම් නොකරමි, පැහැර නොගනිමි, නොගන්වමි, අනුබල සහ අනුමතද නොකරමි යන්න විග්‍රහයට ගනිමු. සොරකම් කරන ලද පිරිකරක්‌ භික්‌ෂුන්ට පූජා කිරීමට ගෙනවිත් ඇත. හදිසියෙන්ම දානනිවසට පැමිනුණේ ආරාධිත භික්‌ෂුන් නොවන අතර ඒ වෙනුවට නායක ස්‌වාමීන් වහන්සේ විසින් එවන ලද වෙනත් භික්‌ෂුන් වහන්සේය. කෙසේ හෝ උන්වහන්සේලාගේ දෙසවනට අසන්නට ලැබුණේ සොරකම් කරන ලද පිරිකර පූජා භාණ්‌ඩ ගෙනවුත් ඇති බවයි. ත්‍රිකෝටික මාංශ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ යෑයි ඇවැත් නැතැයි සිතන, ඒ අනුව ක්‍රියාකරන පුණ්‍යවන්තයින් මේ අවස්‌ථාවේදීද ත්‍රිකෝටික පරීක්‌ෂණ තුන ගැන විමසිලිමත් වනු ඇත. මෙම සොරකම සිදුකර ඇත්තේ තමන් වහන්සේලා වෙනුවෙන් නොවේය. මෙතැනට පැමිණීමට නියමිතව තිබුණේ වෙනත් භික්‌ෂුන් වහන්සේලාය. එහෙත් ඒ වෙනුවට අප සහභාගි වී ඇත. එමනිසා මෙය ත්‍රිකෝටික පාරිශුද්ධ සොරකමකි. ත්‍රිකෝටික පාරිශුද්ධ සොරබඩුය. අප වෙනුවෙන් නොවේමය, සැකයකුදු නොමැත.එසේ නම් මෙම ත්‍රිsකෝටික පාරිශුද්ධ හොරබඩු වූ පිරිකර පිං අනුමෝදන් කර ලබාගත්තාට කිසිදු ඇවතක්‌ සිදුනොවේ. මෙසේ දෙවැනි සිල්පදයද ත්‍රිකෝටික මුක්‌තියෙන් ගැලවී ඇත.

එසේම අප තුන්වැනි සිල්පදයද මෙලෙසම විග්‍රහ කරමු. දායකයන් හෝ වෙනත් අයකු සුන්දරිකාවක ගෙනවුත් ඇත. ඒ ද විශේෂිත අයෙක්‌ වෙනුවෙන් නොවේ. මිල ගෙවන ඕනෑම අයකුටය. ත්‍රිකෝටික පරීක්‌ෂණ තුනෙන්ම සමත්ව ඇත. පරිභෝජනය කළාට වරදක්‌ නැත. තුන්වැනි ශික්‌ෂාපදය මුක්‌තියෙන් රැකෙනු ඇත.

තවද සතරවැනි ශික්‌ෂාපදයට ත්‍රිකෝටික පාරිශුද්ධය අනුගත කර බලමු. බොරු මුසා පවසා මුදල් වංචාකර ඇත. එම මුදල් ගෙන ආවේ සෙනසුනේ අලුත්වැඩියා කටයුතු සඳහාය. තමන් වහන්සේ වෙනුවෙන් පුද්ගලිකව නොවේය. මේ අනුව ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද තමන් වහන්සේලා වෙනුවෙන් නොවේ නම් එය කැපය. මුසාකී තැනැත්තාට මිස තමන් එයදැන කියාගත්තද තමන්ට ඇවැත් නැත යනුවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මුසාවද මෙසේ අනුමත කළ හැකි විය යුතුය.

එසේම නොකළ යුතු වෙළඳාම් පහෙන් අවසාන පස්‌වැන්න වන මත්පැන්වලටද ත්‍රිකෝටිකය පිහිටට ගත හැකිය. මත්පැන් පෙරනවා තමන් වහන්සේලා දුටුවේද නැත. සොයා බැලීමේදීද තමන් වෙනුවෙන් පුද්ගලිකව නොවේමය. මිලදී ගන්නා ඕනෑම කෙනකුටය. කිසිදු සැකයකුත්නැත. දිට්‌ඨං සුතං පරිසංතිතං යන විකෘති අටුවන්ගේ දහම අනුව පරීක්‌ෂණ තුනෙන්ම සමත්ය. අනිවාර්යයෙන්ම ත්‍රිකෝටික පාරිශුද්ධ මත්පැන්ය. දායකයකු ලවා ගෙන්වා ගෙන හෝ තමන්ම වෙළඳසැලට ගොස්‌ තමන් වෙනුවෙන් නොවේයෑයි සැකහැර දැනගෙන නොකළ යුතු වෙළඳාමට උඩගෙඩි දී ත්‍රිකෝටික බෝතලක්‌ මිලදී ගත හැකිය. පරිභෝජනය කළ හැකිය. ඇවැත් නැත. ඒ ළඟම තිබෙන කුකුල් කඩයෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ කුකුලකුද මිලදී ගත හැකිය. ඇවැත් නැත. සියල්ල ත්‍රිකෝටිකය. තමන් වහන්සේ බේරී ඇත.

මෙම විග්‍රහ අනුව පංචශීලය පමණක්‌ නොව අෂ්ඨාංග ශීලය, දස ශීලය, අධිශීලය, කෝටියක්‌ සංවර ශීලයද තමන් වහන්සේ වෙනුවෙන් නොවන බව සිතා සිඳබිඳ ලෑම දහමට අනුගතකරගත හැක.

සුදනනිෘ සුදන සාධුනිෘෘ දැන් අපට පවසන්න ප්‍රථම සිල්පදයට පමණක්‌ ත්‍රිකෝටික පාරිශුද්ධ මුක්‌තිය දිය යුතුද? දිය හැකිද? සම්බුදුවරයකු එසේ දේශනා කරාවිද? ඇයිද ඔබ ඒහි පස්‌සිකෝ න්‍යායෙන් සත්‍යය නොසොයන්නේ. අඳුරු වළාවෙන් ඔබ සිත් මෝහනයට පත්වෙලාද? එසේ නම් දැන්වත් අඳුරින් එළියට වඩින්න සුදන සාධුනිෘ

බොළඳ අනුවණ අටුවාචාරීන්ට වැරැදී ඇත්තේ ඔවුන්ගේ තෘෂ්ණාභරිත සිත් ඔවුන්ටම මුදාගන්නට නොහැකිවූ නිසාය. ප්‍රථම ශික්‌ෂාපදය සිඳලීමට පමණක්‌ මුක්‌තියක්‌ දී ඇත්තේ එම නිසාය. කෙනකු කී පමණින්, ලියූ පමණින් ඒවා සම්බුද්ධ දේශනා නොවේ. කාලාම බමුණාට කාලාම සූත්‍රයෙන් බුදුරදුන් නොහෙලා පැවැසූ දෙය යළි යළි සිහිපත්කර ගනු වටී. අප මේ පවසන, ලියන දෙයටද කාලාම සූත්‍රය අදාළය. එසේ විය හැකිද? මෙසේ විය හැකිද? යනුවෙන් තම තම නැණ පරිදි තාර්කිකවන්න.

ඔබේ සිත ඔබටම සුවපත්කර ගත හැකිය. සුදනනි! සුදන සාදුනි!!
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X