සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

පුද්ගලයාටත් පරිසරයටත් හානි කරමින් උපයන ධනය අධාර්මිකයි

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත 

උඩුහාවර ආනන්ද හිමි

බුදුරදුන්ගේ ඉගැන්වීම පරලොව දියුණුව පමණක් අරමුණු කරගත් එකක් ලෙස සිතන අය සිටිති. ඒ අයගේ ආකල්පය වන්නේ දුක පිළිබඳ අවධාරණය කරන ආගමකින් මෙලොව සැප පිණිස හේතුවන කිසිවක් නූගන්වන බවයි. සැබැවින්ම බුදුරදුන්ගේ කේන්ද්‍රීය ඉගැන්වීම වන්නේ දුක හා එයින් මිදෙන මග පැහැදිලි කිරීමයි. එය බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කළ සේක.
එහෙත් කාලයත් සමඟ උන්වහන්සේගේ ධර්මයට සවන් යොමුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විශාල ගිහි අනුගාමිකයන් පිරිසක් ඇති විය. මෙම පිරිසට අයත් සියලු දෙනාගේම ඒකායන අරමුණ වූයේ නිවන් අවබෝධ කිරීම නොවේ. ඔවුන්ගෙන් ඇතමෙකු නිවන් අරමුණු කරගෙන පූර්ණකාලීනව කටයුතු කළ අතර තව පිරිසක් පින් දහම් රැස්කරමින් සසර සැපවත් කරගැනීමට කටයුතු කළහ. එම පිරිසගේ අවශ්‍යතාව වූයේ සැපවත් ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා බුදුරදුන්ගේ සදාචාර ප්‍රතිපත්ති භාවිතයට ගැනීමයි. මෙම අරමුණ ඇතිව කටයුතු කළ ගිහි පිරිසේ සිටි අය අතරින් දීඝජානු කෝලිය පුත්‍රයා නම් කළ හැකිය. ඔහු බුදුරදුන් වෙත පැමිණ ඉල්ලා සිටියේ දෙලොව දියුණුව පිණිස හේතුවන ප්‍රතිපදාව පැහැදලි කරදෙන ලෙසයි. බුදුරජාණන් වහන්සේ ඔහුට දෙලොව පිණිස හේතුවන ගිහි ප්‍රතිපදාව කවරේදැයි පැහැදිලි කළ සේක. එම ගිහි ප්‍රතිපදාවට ආර්ථික සමෘද්ධිය පිණිස ඉවහල්වන ප්‍රතිපත්තිද ඇතුළත් වේ. මේ අනුව ආර්ථික සමෘද්ධිය පිණිස ඉවහල්වන සදාචාර ප්‍රතිපත්ති සමූහයක් බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට හඳුන්වා දුන් සේක.
එම සදාචාරාත්මක ප්‍රතිපත්ති යටතේ දැහැමින් ධනය නිෂ්පාදනය කරන්නේ කෙසේද? (ධම්මේන භොගෙ හරියෙසති) එය පරිභෝජනය කරන්නේ කෙසේද, (අත්තානං සුඛෙති පීණෙති– එය කළමනාකරණය කරගන්නේ කෙසේද (සංවිභජති පුඤ්ඤානි කරොති) එය පරිභෝජනය කිරීමේදී ඇතිකරගත යුතු ආකල්ප සම්පත්තිය කුමක්ද? ආදී වශයෙන් ධන නිෂ්පාදනය හා පරිහරණ කිරීමට හා අදාළ ඉගැන්වීම් සමූහයක් ගිහි සමාජය සඳහා ඉදිරිපත් කර තිබේ. විමුක්තිය ඒකායන අරමුණ කරගත් පැවිදි සමාජයට භෞතික නොවන ආධ්‍යාත්මික ධනය වශයෙන් සැලකෙන සප්ත ආර්ය ධනය රැස්කළ යුතුයැයි අනුශාසනා කළහ. භෞතික ධනය එක්රැස් නොකරන පැවිද්දාගේ මූලික අවශ්‍යතා සැපයෙන්නේ ගිහි සමාජයෙන්ය. ගිහි සමාජය ධනය නිෂ්පාදනය නොකළහොත් ආධ්‍යාත්මික සමාජයේ පැවැත්ම අර්ථවත් නොවේ.
අනෙක් අතට ආධ්‍යාත්මික ධනය පදනම් කරගත් පැවිදි සමාජයෙන් ලැබෙන පූර්වාදර්ශය වන අල්පේච්ඡතාව සුභරතාව වැනි පරමාදර්ශයන් හේතුවෙන් ගිහි සමාජයට ධන නිෂ්පාදනයට අයත් දැහැමි පිළිවෙත පිළිබඳ අවබෝධයක් ලැබේ. කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව ධන නිෂ්පාදනය දැහැමින් සිදුකළ යුත්තක් වේ. (ධම්මේන භෝගේ පරියේසති) ධම්ම යන අතිශය ගැඹූරු අර්ථයකින් මෙන්ම විශේෂ අර්ථයකින් පිටක ග්‍රන්ථවල භාවිතා වේ. බුදුසමයට අනුව ධම්ම යන්න යම් වචනයකට හෝ සංකල්පයකට මුලින් හෝ අගින් යෙදුන විට එයින් විශේෂ අර්ථයක් ඉදිරිපත් වෙයි. භොගේ පරියෙසති යන්නෙහි මූලික අර්ථය ධන සම්පත් සෙවීම යන්නයි. එසේ කීවිට එයින් කවර ආකාරයේ හෝ ධනය සෙවීමක් අදහස් වේ. එහෙත් ධම්ම යන්න එයට එක්කළ විට එයින් ධාර්මික ධනෝපාර්ජන ක්‍රමය පමණක් අදහස් වේ. ඒ අනුව බුදුරදුන්ගේ ඇගයීමට ලක්වන්නේ දැහැමින් ධනය ඉපැයිය හැකි මාර්ග පමණි. දැහැමි ක්‍රමයකින් මෙපමණ ප්‍රමාණයක් ඉපැයිය යුතුයැයිද සීමාවක් දක්වා නැත. ගිහි බෞද්ධයාට දැහැමි ක්‍රමයකින් උපරිම ලෙස ධනය ඉපැයිය හැකිය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ගිහි බෞද්ධයාට ධනය ඉපැයීමට කිසිදු තහංචියක් පනවා නැත. එහෙත් එය ධාර්මිකව කළ යුතුය යන කොන්දේසිය බුදුසමයෙන් හඳුන්වා දී තිබේ. ඒ අනුව ධනය ඉපැයීම දැහැමි ක්‍රමයක් උපයෝගී කරගෙන කළ යුතුය යන්න බුදුසමයේ පිළිගැනීමයි.
දැහැමි ක්‍රමයකින් තොරව වැරදි පිළිවෙතකින් ධනය ඉපැයීම ගිහි බෞද්ධ ප්‍රතිපදාව අනුව වරදකි. ගිහි සැප හා පැවිදි සැප යනුවෙන් සැප වර්ග දෙකක් පිළිබඳ දහමෙහි සඳහන් වේ. ගිහි ජීවිතයෙන් අපේක්ෂිත සැපය සඳහා ධනය අත්‍යාවශ්‍ය වේ . ප්‍රමාණවත් ධනයක් නොමැති තැන ගිහි සැපතක් අපේක්ෂා කළ නොහැකිය. මෙනිසා දිළිඳුබව ගිහි ජීවිතයට දුකක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව බුදුසමය ආධ්‍යාත්මික මෙන්ම භෞතික අංශයෙන්ද ඇතිවෙන දිළිඳුකම පිටුදකින ඉගැන්වීමකි. බුදුසමය ආධ්‍යාත්මික ධනය මෙන්ම භෞතික ධනයත් අගයකොට සලකනු ලැබේ.මෙම පසුබිම යටතේ බුදුසමය ආර්ථික සමෘද්ධිය ඇතිකරගැනීමට අවශ්‍ය මගපෙන්වීම මැනවින් ලබාදෙයි. ධනය ඉපැයීම හා පරිහරණය පිළිබඳ බුදුරදුන් විසින් නොයෙක් පුද්ගලයන් අරභයා කළ දේශනා එක්රැස්කළ විට බෞද්ධ ආර්ථික දර්ශනයක් සකස්කරගත හැකිවේ. ඒ සියල්ල සදාචාරාත්මක පදනමකින් යුක්තව ඉදිරිපත්කර තිබීම බෞද්ධ ආර්ථික දර්ශනයේ සුවිශේෂී ලක්ෂණයයි.
සදාචාරාත්මක පදනමකින් තොරව සොයා සපයාගන්නා ධනය අදහැමි ධනයක් ලෙස අර්ථකථනය කෙරේ. ධම්මපදයේ දැක්වෙන පරදි නුවණැති පුද්ගලයා තමා නිසාවත්, අනුන් නිසාවත් පව්කම් නොකරන්නේය. එසේම අධාර්මික ක්‍රමයකින් ලැබෙන ධනයද රටද සමෘද්ධියද කිසිවිටෙකත් කැමැති නොවෙන්නේය.ඒ අනුව අධර්මයෙන් ලබන සමෘද්ධියක් බුදුසමයෙන් අගය කරනු නොලැබේ. බුදුසමයෙන් අගයන්නේ ධාර්මිකව ලබන සමෘද්ධියයි. එහෙත් එය පහසු කටයුත්තක් නොවන බව බුදුසමයේ පිළිගැනීමයි.අධාර්මික ක්‍රම මගින් ඉක්මනින් පොහොසත් විය හැකිය. ධම්මපදයේ වෙනත් ගාථාවක දැක්වෙන පරිදි පවට ලජ්ජා භය නැති කපුටෙකු මෙන් ගසා කෑමෙහි දක්ෂ පුද්ගලයාට පහසුවෙන් ජීවත් විය හැකි වුවත් එය කිලිටි ජීවිතයක් ලෙස සලකනු ලැබේ.අධර්මයෙන් ධනය සෙවීම පහසු කටයුත්තක් වුවද එය භුක්ති විඳීමේදී සැබෑ සුවයක් හා ආශ්වාදයක් ලැබිය නොහැකිය. අධර්මයෙන් ධනය උපයාගත් පුද්ලයාගේ හෘදය සාක්ෂිය විසින් නිතර ප්‍රශ්න කරනු ලැබීම හේතුවෙන් ඔහුට මානසික වශයෙන් නිදහසක් හෝ සතුටක් භුක්තිවිඳිය නොහැකිය. පුද්ගලයා විසින් සිදුකළ පාප කර්මයේ බලපෑමෙන් කෙසේවත් ඔහුට නිදහස් විය නොහැකිය.කල්ගත වී නමුත් එහි විපාක විඳීමට සිදුවෙයි. අධර්මයෙන් ධනය සොයාගෙන සමෘද්ධිමත් වූ පුද්ගලයන් පසුකලෙක එහි විපාක වශයෙන් පීඩාවට පත්වන ආකාරය එදිනෙදා සිදුවීම්වලින් තහවුරු කරගත හැකිවේ.
අල්ලසින්, දූෂණයෙන් හා අයථා ක්‍රම මගින් දිනාගත් කීර්තිය හා සමෘද්ධිමත්බව දීර්ඝ කාලීන එකක් නොවේ. එය කෙටිකලකින්ම අවසන් විය හැකිය. එහෙත් සෙමින් යන ගමනට දීර්ඝ කාලීන පැවැත්මක් තිබේ. බුදුසමයෙන් ඉගැන්වෙන දැහැමින් ධනය ඉපැයීම සෙමින් සිදුවන්නකි. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ බඹරෙකු මල නොතලා රොන් ගන්නාක් මෙන් සමාජයට හා පරිසරයට හානි නොකර ධනය උපයන පුද්ගලයාගේ එම ධනය තුඹසක් වැඩෙන්නාක් මෙන් වර්ධනයට පත්වන බවයි. තුඹසක් නිර්මාණය කරන වේයා එය එක් දිනකින් නිමා නොකරයි. ඒ සඳහා දිගු කලක් ගත කරයි. මෙය තුඹසක් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකිවේ. එහෙත් එසේ දිගු කලක් තිස්සේ ගොඩ නගන තුඹස ශක්තිමත් එකකි. එය ශක්තිමත් පදනමකින් යුක්ත වේ. එසේම බෞද්ධ සදාචාර ප්‍රතිපදාව අනුව දැහැමි පිළිවෙතක පිහිටා සෙමින් ධනය සොය සපයා ගන්නා පුද්ගලයාගේ සමෘද්ධිමත් ජීවිතය ශක්තිමත් එකකි. එය පහසුවෙන් විනාශ කළ නොහැකිය. බෞද්ධ ප්‍රතිපදාව අනුව බෞද්ධයෙකුට ලොව ප්‍රධානතම ධනවතා බවට පත්විය හැකිය.
බුදුන්සරණ යන ගිහි ශ්‍රාවකයෙකු තමන් ආර්ථික වශයෙන් දිළිඳු යැයි පවසන්නේ නම් එය බුදුරදුන්ගේ ධර්මයට කරන නිගාවක් වේ. ලොව අනෙකුත් ජාතීන්ට මෙන්ම ආගමිකයන් අබිබවා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජීවිතයක් හා රටක් නිර්මාණය කිරීමට බුදුරදුන්ගේ මගපෙන්වීම ප්‍රමාණවත් වේ. එබැවින් නුවණැති බෞද්ධයන් මේ පිළිබද දීර්ඝ වශයෙන් කල්පනා කළ යුතුවේ. 
කාමභෝගී ගිහි සැප භෞතික ධනය මත පදනම් වන හෙයින් එය නොමැති තැන ගිහි සැපත අර්ථවත් නොවේ. ගිහි ජීවිතය අර්ථවත් කරගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදුසමය ධන නිෂ්පාදනය සඳහා දැහැමි ක්‍රමයක් යෝජනා කරයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි මෙම ක්‍රමවේදය ඇතුළත් වේ.
ඒ අනුව බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ සහසික නොවී ධනය නිෂ්පාදනය කිරීමයි. (ධම්මේන භොගෙ පරියෙසති අසාහසෙනාති) අසහාසික යන්නෙන් අදහස් වන්නේ සහසික නොවන ආකාරයෙන් ධනය ඉපැයීමයි. වචනාර්ථය අනුව සහසික වීම යනු ප්‍රචණ්ඩකාරී ස්වභාවයයි. ඒ අනුව යමෙක් පරිසරය හෝ මානව වර්ගයා වෙත ප්‍රචණ්ඩවෙමින් ඒවාට හානිකරමින් සූරාකමින් අධාර්මික ලෙස ධනය උපයන්නේ නම් එය සහසිකව ධනය ඉපැයීමක් ලෙස නම් කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලයාට හා පරිසරයට හානිකරමින් ධනය නිපදවීම අධාර්මික වේ. ධන නිෂ්පාදනය ධාර්මිකව කළයුතුය යන්න මෙයින් ගම්‍ය වේ. බුදුසමය ධන නිෂ්පාදනය සඳහා කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වණිජ්ජා) ගවපාලනය (ගොරක්ඛ) ආරක්ෂක සේවය (ඉස්සත්ථ) රාජ්‍ය සේවය (රාජපොරිස) වෙනත් ශිල්පකර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) යනුවෙන් අවස්ථා හයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යටතේ හඳුන්වාදෙයි. මෙම ධන නිෂ්පාදන අවස්ථා බුදුසමය උදාවන අවදියේ දැහැමි රැකියා වශයෙන් පිළිගෙන තිබේ. හයවන අවස්ථාව තරමක් පූළුල් අයුරින් වටහාගත යුතුවේ. මුල් පහට අයත් නොවන වෙනත් පෞද්ගලික ආයතනගත දැහැමි රැකියා මෙන්ම දැහැමි ස්වයං රැකියා ද එයට අන්තර්ගත කළ හැකි වේ. කවර රැකියාවක් වුවද එය ඉහතින් දැක් වූ පරිදි ධාර්මික හා සහාසික නොවීම අවශ්‍ය වේ.
එසේම වාණිජ ව්‍යාපාරයකින් ධනය ඉපැයීමේදී බෞද්ධයෙකු විසින් අනුගමනය නොකළ යුතු ව්‍යාපාර පහක් උපාසක අකරණීය සූත්‍රයේ දැක්වේ. ඒ අනුව බෞද්ධ ව්‍යාපාරිකයෙකු විසින් අවි ආයුධ වෙළෙඳාම (සත්ථ වණිජ්ජා) වහල් වෙළෙඳාම (සත්ත වණිජ්ජා) මස් පිණිස සතුන් වෙළෙඳාම (මංස වණිජ්ජා) මත් ද්‍රව්‍ය වෙළෙඳාම (මජ්ජ වණිජ්ජා) සහ විෂ වෙළෙඳාම (විස වණිජ්ජා) නොකළයුතුවේ. වර්තමාන ලෝක තත්ත්වය අනුව මෙම වෙළෙඳාම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්‍රියාත්මක වේ. පළමුවැන්න වන සත්ත වණිජ්ජා යන්නෙන් සියලු ආයුධ අදහස් නොවේ. ගෘහ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරනු ලබන කැති, උදළු ආදී විවිධ උපකරණ තිබේ. සත්ථ වනිජ්ජා යන්නෙන් අදහස් කෙරෙන්නේ සෘජුවම මිනිස් ඝාතනය අරමුණු කරගෙන නිපදවන අවි ආයුධය. අටිඨකතා විවරණය අනුව දෙවැන්නෙන් අදහස් වන්නේ මිනිස් වෙළෙඳාමයි. (මනුස්සවික්කයො) සත්ත යන පදය මිනිසා ඇතුළු සෙසු ජීවීන් හැඳින්වීම පිණිසද පිටක ග්‍රන්ථවල භාවිත කොට තිබේ. ඒ අනුව එයින් මිනිසුන් හා සතුන් යන දෙවර්ගයම අදහස් කළ හැකිය. මිනිසුන් වහල් මෙහෙය පිණිස අලෙවි කිරීම යුරෝපයේ පැවතී තත්ත්වයකි. ලංකාවේ වහල් මෙහෙය සඳහා මිනිසුන් අලෙවි කළ බවක් ඓතිහාසික වශයෙන් වාර්තා නොවෙන්නේ බුදුසමයේ ආභාසය නිසා විය හැකියි. සෙසු වෙළෙඳාම අතරින් මස් පිණිස සතුන් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය හා මත් පැන් මෙන්ම විෂ වෙළෙඳාම ද මූලික බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල නොවේ. මෙම පංචවිධ ව්‍යාපාර බෞද්ධයන් නොකළයුතු ව්‍යාපාර ලෙස පිළිගෙන තිබේ. අටුවාවෙහි දැක්වෙන පරිදි එම ව්‍යාපාර තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතුයැයි පිළිගෙන තිබේ. ඉහතින් සඳහන් කළ දැහැමි ධනෝපාර්ජන ක්‍රම හය අනුගමනය කිරීමේදී එම ව්‍යාපාර වඩාත් ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය දිරිය ලබාදෙන උපදෙස් රැසක් දහමෙහි ඇතුළත් වේ.

බෞද්ධ සදාචාර දර්ශනයෙන් අවධාරණය කරන්නේ ධනෝපාර්ජනය සඳහා භාවිත කරන ක්‍රමවේදය දැහැමිවිය යුතු බවයි. බුදුසමයට අනුව යම් ව්‍යාපාරයක දැහැමි හෝ අදහැමි බව තීරණය කිරීමේදී එම ව්‍යාපාරය පුද්ගලයාට හා පරිසරයට කුමන ආකාරයේ බලපෑමක් කරන්නේද යන්න සැළකිල්ලට යොමු කෙරේ. එසේම එම ව්‍යාපාරය මූලික බෞද්ධ ඉගැන්වීම්වලට කොතෙක්දුරට අනුකූල වන්නේද යන්නද සළකා බැලේ. පව හා අකුශලය දුරින්ම දුරුකළ යුතුය යන්න බුදුසමයේ මූලික පිළිගැනීමයි. ඒ අනුව පවට හා අකුශලයට අනුබල සැපයෙන කිසිඳු ක්‍රියාවක් බුදුදහමින් අනුමත නොකරයි. කොතෙක් ලාභදායක වුවත් අදැහැමි ධනෝපායන ක්‍රමයකට බෞද්ධ ආර්ථික ප්‍රතිපදාවෙන් ඉඩක් නොලැබේ. අධාර්මික ක්‍රියාවෙහි අනිටු විපාක වර්තමාන ජීවිතයට පමණක් නොව මතු ජීවිතයටද අදාළ වේ. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් පෙන්වා දෙන්නේ මෙම යථාර්ථයයි. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පුද්ගලයා අධෛර්ය කරන්නක් නොවේ. එය පුද්ගලයාට අර්ථවත් නිවැරදි ජීවිතයකට මඟ පෙන්වන ඉගැන්වීමකි.කර්මය හා කර්මඵල විශ්වාසය ඇතිවිට පුද්ගලයා කොතෙක් ලාභදායි වුවත් අධාර්මික ධනෝපාර්ජන ක්‍රමයක් අනුගමනය නොකරයි. ධනය අවශ්‍ය වන්නේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමටය. දීර්ඝ කාලීන වශයෙන් එය පරලොව සැපත පිණිස හේතුවන පින් රැස් කරගැනීමටද කිරීමටද උපයෝගී වේ. එහෙත් අධාර්මික ධනය නිසා මෙලොවදී යම් සැපතක් ලැබුණත් කර්ම කර්මඵල විශ්වාසය අනුව එය පුද්ගලයාට දෙලොවින්ම පරාජය අත්පත්කරදෙනු ඇත. අධර්මයෙන් ධනය සොයා සපයා ගත් පුද්ගලයන්ට විඳීමට සිදුවී තිබෙන විවිධ දුක්ඛදායක තත්ත්වයන් දෙස බැලීමෙන් මෙය වටහා ගත හැකිවේ.
ධන නිෂ්පාදනයේදී එය කෙසේ කළ යුතුද? යන්න සම්මා ආජීවය යටතේ සාකච්ඡාවට භාජනය කර ඇති අයුරු මහාචත්තාරීසක සූත්‍රයෙන් පැහැදිලි වේ. ව්‍යාපාරික ලෝකය තුළ භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන්ම ඒවා අලෙවි කිරීමේදී විවිධ කූට උපක්‍රම භාවිතා කරනු ලැබේ. ලාභයම අරමුණු කරගත් මෙම ව්‍යාපාර මඟින් පාරිභෝගික අයිතීන් දැඩි ලෙස උල්ලංගනය කෙරේ. උක්ත සූත්‍රයේ පෙන්වාදෙන ආකාරයට ලාභාපේක්ෂාවෙන් කෙරෙන විවිධ රැවටීම් කුහනා යනුවෙන් නම්කර තිබේ. එසේම නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයාට හඳුන්වාදීම සඳහා මාධ්‍ය භාවිතය අවශ්‍ය වේ. එහෙත් භාණ්ඩයේ අන්තර්ගත තත්ත්වය හා ප්‍රයෝජනයට වඩා වැඩි යමක් මවාපාමින් පාරිභෝගිකයා මුලාවට පත් කිරීම ලපනා ලෙස නම්කළ හැකිය. එසේම තමා නිපදවන ලද භාණ්ඩ අලෙවියේ දී ඒ හා සමාන වෙනත් නිෂ්පාදක ආයතන මඟින් ඉදිරිපත් කරන ලද භාණ්ඩ අවතක්සේරු කරමින් තම නිෂ්පාදනය පමණක් හුවා දැක්වීම නිප්පේසිකතා ලෙස හැඳින්විය හැකිය. කවර භාණ්ඩයක් වුව අලෙවි කිරීමේදී එයින් යම් ප්‍රමාණයක ලාභයක් අපේක්ෂා කිරීම වරදක් නොවේ. එහෙත් ලාභයම ඒකායන අරමුණ කරගෙන භාණ්ඩ අලෙවි කිරීම වරදක් වේ. ඒ අනුව ලාභයෙන් ලාභය සෙවීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) අදහැමි ක්‍රියාවකි. භාණ්ඩ අලෙවියේදී සිදුකරනු ලබන වංචනික ක්‍රියා රැසක් සමඤ්ඤඵල සූත්‍රයේ තුලාකූට යටතේ ඉදිරිපත් කරතිබේ. මෙම ඉගැන්වීම් පෙරටත් වඩා නූතන වෙළෙඳ ලෝකයට අදාළ වන්නේ එහි දැක්වෙන කූට උපක්‍රම භාණ්ඩ නිෂ්පාදනයේ දී මෙන්ම අලෙවි කිරීමේදීත් බහුල වශයෙන් සිදුවන හෙයිනි. මිනිස් පරිභෝජනයට නුසුදුසු, විවිධ විෂ ද්‍රව්‍ය යෙදූ ආහාරපාන රැසක් වෙළෙඳ පොලේ දක්නට ලැබේ. එවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මිනිස් ජීවිතයේ වටිනාකම, සදාචාරය හා නීතිය යුක්තිය පසෙකලා ලාභයම ඒකායන අරමුණකරගත් වෙළෙඳ ප්‍රජාවක් බිහි වී තිබීම නිසයි. බුදුරදුන් පෙන්වා වදාළ දැහැමි ආර්ථික පිළිවෙත අවබෝධ කරගැනීමෙන් හා ක්‍රියාවට නැංවීමෙන් මෙම දුර්වලතා යම්පමණකට හෝ පාලනය කරගත හැකිවේ. බුදුරදුන්ගේ අනුශාසනාව පරිදි මල නොතලා රොන් ගන්නා බඹරෙකු සෙයින් ස්වභාවික පරිසරයට මෙන්ම මානව වර්ගයාටත් හානි නොකර දැහැමි ක්‍රමයකින් දැහැමි අයුරින් ධනය නිෂ්පාදනය කිරීම බෞද්ධ පිළිවෙත වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X