සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ආරක්‌ෂාවට පිරිතක්‌ භාවනා කර්මස්‌ථානයක්‌

කරණීය මෙත්ත සූත්‍රය සරළ සිංහලෙන් 01 

'ස්‌වාමීනි, මම රාත්‍රියේදී මේ මේ වගේ භයානක රූප දකිනවා. භයානක ශබ්ද ඇසෙනවා. මේ වගේ ගඳ දැනෙනවා. ඒ නිසා මගේ හිත සමාධිගත වෙන්නේ නැහැ.' සෑම භික්‌ෂුන් වහන්සේ නමක්‌ම ඒ ලෙසින් ප්‍රකාශ කළා. 

මහා ස්‌ථරවිරයන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා 'ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වස්‌ වැසීම් දෙකක්‌ දේශනා කර තිබෙනවා. පෙර වස්‌ වැසීම, පසු වස්‌ වැසීම කියලා. අපිට මේ සෙනසුන ගැළපෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් වෙන සුදුසු සෙනසුනකට යමු. එහෙම කතා කරගෙන හැම දෙනාවහන්සේම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‌ෂුන් දැක අහනවා, 'මහණෙනි, වස්‌ කාලය තුළ චාරිකාවේ යන්න එපා කියලා මම ශික්‌ෂා පද පනවා තිබෙනවා නේද? ඇයි ඔබලා චාරිකාවේ හැසිරෙන්නේ' යෑයි භික්‌ෂුන් වහන්සේගෙන් විමසුවා. 

එවිට එම භික්‌ෂුන් වහන්සේලා සියලු විස්‌තර බුදුරජාණන් වහන්සේට සැලකළා. බුදුරජාණන් වහන්සේ දිවැසින් බැලුවා ඒ සෙනසුන හැර ඒ භික්‌ෂුන්ට සුදුසු වෙනත් සේනාසනයක්‌ දඹදිව කොහෙ හරි තිබෙනවාද කියලා. එබඳු තැනක්‌ දඹදිව කොහේවත් නැති බව ඒ භික්‌ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා. 

'මහණෙනි, ඔබලා ඔය සේනාසනයේම වැඩ හිඳිමින් කෙලෙස්‌ නැති කරගන්න. වෙන ඔබලාට ගැළපෙන තැනක්‌ නැහැ. මහණෙනි, ඒ සෙනසුනටම යන්න. එහිම වාසය කරන්න. ඒ දෙවිවරුන්ගේ ආකාරයට කැමැති වෙන්න. මේ පිරිත ඉගෙනගන්න. මේ සූත්‍රයම ඔබලාට පිහිටත් ආරක්‌ෂාවක්‌ වෙනවා, භාවනා කමටහනත් මෙයමයි. එසේ පවසා 'කරණීය මෙත්ත' සූත්‍රය දේශනා කළා.

මහණෙනි, දැන් ඒ සෙනසුනටම ආපසු යන්න. ඔබලා ආරණ්‍යයේදී පරිහරනය කරන දේවල් දැනගත යුතුයි. තමා තුළ උපදවා ගත යුතුයි මෛත්‍රී භාවනා වඩන ක්‍රම දෙක. ඒ කිව්වේ හැම තැනදීම මෛත්‍රී කළ යුතු පිළිවෙළ හා අංගසම්පූර්ණ ධ්‍යාන දක්‌වාම මෙත් වඩන හැටි. මේ දෙයාකාරයටම මෙත් වඩන්න.

'ද්වේ අසුභාආකාර දෙකටම අසුභ භාවනාවේ යෙදෙන්න. ඒ තමයි දෙතිස්‌ කුණපය සහ නව සීවතකය'. 'ද්වේ මරණ සති' මරණ සති භාවනාවත් හැම තැනම වැඩිය යුතු මරණ සහිත හා අංග සම්පූර්ණ මරණ සතිය වැඩීම කියන ආකාර දෙකටම ඒ භාවනාව පුරුදු කරන්න. අෂ්ට මහා සංවේග වස්‌තු සිහිකරන්න. ඒ මහා සංවේග වස්‌තු අට ජාති-ඉපදීම, ජරා-වයසට යාම, ව්‍යාධි - ලෙඩවීම, මරණ - මරණයට පත්වීම, සතර අපාදුක, අතීතයේ විඳි දුක, සංසාර චක්‍ර දුක, අනාගතයේ විඳින්න සිදුවන සංසාර චක්‍ර දුක, දැන් තිබෙන ආහාර සෙවීමේ දුක, මේ ලෙසින් සෙනසුනකදී පරිහරණය කළ යුතු දේ දේශනා කර මෛත්‍රී භාවනාවත්, පිරිතත්, විදර්ශනා පාදක ධ්‍යානයත් යන ත්‍රිවිධ කරුණු ඇතුළත්ව මේ සූත්‍රය දේශනා කළා.

කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ තේරුම ගාථාවෙන් ගාථාවට...

කරණීය මෙත්ත කුසලේන
යංතං සන්තං පදං අභිසමෙච්ච
සක්‌කෝ උජූච සූජූ ච 
සුවචෝ චස්‌ස මුදු අනතිමානී

මත්ථි කියන්නේ ප්‍රතිපදාව, නිවන් මාර්ගය. කරණීය කියන්නේ කළ යුතුයි. බුදුදහමේ උගන්වන්නේ යමක්‌ තමන්ට අහිත පිණිස අයහපත පිණිස, අවැඩ පිණිස පවතිනවා නම් ඒ සියල්ල නොකළ යුතුයි. කළ යුතු නොකළ යුතු දේ දන්න ඒ පිළිබඳව දක්‌ෂ කෙනාට කියන්නේ 'මත්ත කුසලේන' කියලා. ව්‍යාකරණානුකූලව මේ වචනයේ තේරුම ප්‍රතිපදාවේ දක්‌ෂ කෙනා විසින් කියන එකයි.

'යන්තං සන්තං පදං අභිසමෙච්ච' ඒ ශාන්ත පදය කියලා හඳුන්වන්නේ නිවනට පත්ව වාසය කිරීමට කැමැති කෙනා විසින් කෙටියෙන්ම කිව්වොත් ත්‍රිවිධ ශික්‌ෂා පිරිය යුතුයි. සීල, සමාධි, ප්‍රඥ වැඩිය යුතුයි. සීල විපත්තිය, දිට්‌ඨි විපත්තිය, ආචාර විපත්ති, ආජීව විපත්ති නොකළ යුතුයි. සීල විපත්ති කිව්වේ තමන්ට නියමිත ශීලය බිඳගන්න හොඳ නැහැ. ගිහි අය පන්සිල් කඩාගන්න හොඳ නැහැ. දිට්‌ඨි විපත්ති කිව්වේ තමාගේ සම්මා දිට්‌ඨියට බාධා ඇති කර ගන්න හොඳ නැහැ. ආචාර විපත්ති බුද්ධ ශාසනයේ වත්පිළිවෙත් ධර්මවලට. ආචාර සමාචාර කියන්නේ ඒ නිසා නිවන් අවබෝධ කරගන්න කැමැති කෙනා තෙරුවන් වැඳීම. පෝයට සිල් ගැනීම, දානමාන දීම, කැමැති කෙනා පූජනීය ස්‌ථානය පිරිසිදු කිරීම කියන වත් පිළිවෙත් නවත්වන්න හොඳ නැහැ. ආජීව විපත්ති ඇති කරගන්න හොඳ නැහැ. ආජීවය කිව්වේ ජීවත්වන ජීවනෝපාය. එය ධාර්මික විය යුතුයි. අධාර්මිකව ජීවත්වන කෙනාට නිවන අවබෝධ කරන්න බැහැ. ඒවා කරන්නේ නැහැ වගේම කළ යුතු දේවලුත් තිබෙනවා.

මේ ශාසනයේ ගිහි - පැවිදි හැම දෙනාම 'සම්මා පයෝඡේති' යහපත් ප්‍රතිපදාවේ යෙදිය යුතුය. 'අඛණ්‌ඩ සීලෝ' නොකැඩුණු සීලය ආරක්‌ෂා කළ යුතුය. භික්‌ෂුන් එක්‌විසි අනේසනයෙන් වැළකිය යුතුය. ඒ කිව්වේ ගිහි අයට නොදිය යුතු දේවල් විසි එකක්‌ තිබෙනවා. ඒවා ගිහි අයට වැඩක්‌ නැහැ. ඊළඟට පෙන්වා දෙනවා ශාන්ත පදය කියන නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා පුරුදු කළ යුතු ගුණධර්ම කීපයක්‌. පළමුවැනි එක 'සක්‌කෝ' දක්‌ෂ විය යුතුයි. සමර්ථ විය යුතුයි. සීලය ඉවසීමට දක්‌ෂ විය යුතුයි. උෂ්ණත්වය ඉවසීමට දක්‌ෂ විය යුතුයි. ඩැහැ ලේ බොන මැස්‌සන්ගෙන්, මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් වන පීඩා ඉවසීමට දක්‌ෂ විය යුතුයි. නපුරු වචන ඉවසීමට දක්‌ෂ විය යුතුයි. හුදු මහත් සියලු ශාසනික වත් පිළිවෙතේ දක්‌ෂ විය යුතුයි. දෙවන ගුණය 'උජූච'. එනම් සෘජු විය යුතුයි. සෘජු බව කියන්නේ ඇද නැති බව. 'කායවංක' කියන්නේ කයින් පව් කිරීම. 'වචී වංක' කියන්නේ වචනයෙන් පව් කිරීම. 'මනෝ වංක' කියන්නේ මනසින් පව් කිරීම අතහැර දමා කයින්, වචනයෙන්, සිතින් අවංකව වාසය කිරීමට පුරුදු වෙන්න. එය තමයි සෘජු බව. 'සූජූච' වඩාත් සෘජු විය යුතුයි. ඒ කිව්වේ ඉතාම අවංක කායික ක්‍රියා ඇති ඉතාම අවංක වචන ඇති, ඉතාම අවංක සිතුවිලි සිතන කෙනෙක්‌ විය යුතුයි. කෙටියෙන්ම පවසනවා නම් මුළු හදවතින්ම සිල්වත්ව, ගුණවත්ව, අවංකව ජීවත් විය යුතුය. වංචනික බවින් අත් මිදිය යුතුය.

'සුවචෝ' කියන්නේ කීකරු බව. කාට කීකරු නැති වුණත් තෙරුවන්ට ඒ කිව්වේ ධර්මයට කීකරු විය යුතුය. අම්ම, තාත්තා වැරැදි දෙයක යොදවන්න හදන විට අකීකරු වුණාට කමක්‌ නැහැ. හැබැයි සීලයට - ගුණයට කීකරු විය යුතුය. 'මුදු' යනු නම්‍යශීලී කෙනෙක්‌ වීමයි. සීලයට, ගුණයට නැමෙන, ගරු කරන, සලකන කෙනෙක්‌ විය යුතුය. 'අනතිමානී' නිහතමානී කෙනෙක්‌ වීම. තමන් අන් අයට වඩා උසස්‌ කියන මානය, මම අන් අයට සමානයි කියන මානය, මට බෑ, මං දක්‌ෂ නැහැ කියන හීනමානය නැති නිහතමානී කෙනෙක්‌ විය යුතුය. 

සන්තුස්‌සකෝ ච සුභරෝ ච 
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ

'සන්තුස්‌සකෝච' යනු ලද දෙයින් සතුටු වීමය. ලද ආහාරයකින්, ලැබුණු ඇඳුමකින්, ලැබුණු නිවහනකින්, ලැබුණු බෙහෙත් පිරිකර ආදියෙන් සතුටුවීමයි. කෑමට ලැබෙන ආහාරය මිහිරි විය හැකියි. හොඳට සකසා තිබිය හැකියි. හොඳට පිළිවෙළට සකසා නැති විය හැකියි. මේ මේ ආකාරයේ ආහාරයක්‌ ලැබුණත් මේවා කන්න පුළුවන්ද යෑයි සිතන්නේ නැතිව, හූනෝ වගේ චක්‌, චුක්‌ ගාන්නේ නැතිව, පිඟන්, වළං පොළොවේ ගහන්නේ නැතිව ලැබෙන මොහොතේත් අනුභව කරන වේලාවේත් විකාර නොදක්‌වා සිටීම ලද දෙයින් සතුටු වීමයි. ඇඳුම්-පැළඳුම්, ගෙවල්-දොරවල්, බෙහෙත්-හේත් මේ හැම දෙයක්‌ම ලැබුණු විදියකින් සතුටෙන් භාර ගැනීම 'සන්තුස්‌සකෝ ච' නමැති ගුණයයි. 'සුභරෝ ච' යනු පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක්‌ වීමයි. සමහර කෙනෙක්‌ පිඟාන පුරවා මොණර මස්‌ එක්‌ක කෑම දුන්නත් මුහුණ හකුළුවා ගන්නවා. නොසතටු බව දක්‌වනවා. එවැනි අය පෝෂණය කිරීම අපහසුයි. රස ඇති හරි, රස නැති හරි, දුප්පත් වූ හරි, පෝසත් වූ හරි ස්‌වල්ප වූ හරි බොහෝ වූ දෙයක්‌ ලැබී සතුටුව ප්‍රසන්න මුහුණක්‌ ඇතිව සිටීමට පුළුවන් ස්‌වභාවය ඉතා වටිනවා. කොහොම හරි ඉතා පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක්‌ විය යුතුයි. 

'අප්පකිච්චෝ ච' අල්ප කටයුතු ඇති කෙනෙක්‌ විය යුතුයි. අල්ප කටයුතු ඇති කෙනෙක්‌ වීමට නම් කම්මාරාමාතා කියන අධික වැඩ කටයුතුවල ඇලී වාසය කිරීමෙන් වෙන් විය යුතුය. භස්‌සාරාමාතා අධික ලෙස කතා කරමින් එහි ඇලී ගැලී වාසය කිරීමෙන් වැළකිය යුතුය. ගණඝංගණිකාරාමාතා' පිරිසෙහි ඇලී වාසය කිරිමෙන් වැළකී හුදකලාව වාසය කළ යුතුය.

ඔබට සිතෙන්න පුළුවන් කොහොමද පිරිසෙන් වෙන් වී හුදෙකලාව ඉන්නෙ කියලා. එහෙම සිතන්න එපා. කාලයෙන් කාලයට විහාරස්‌ථානයක නතරවී භාවනා කරන්න පුරුදු විය යුතුයි. හාමුදුරු කෙනෙක්‌ වුණත්, ථෙර, මධ්‍යම නවක කියන භිකෂුන්ගේ වැඩ, සාමණේර උපාසක උපාසිකා යන අයගේ වැඩවලින් නිදහස්‌වී තමන්ගේ කෙස්‌, රැවුල් බෑම, සිවුරු පාත්‍රා සකස්‌ කර ගැනීම පමණක්‌ කරමින් භාවනාවේ යෙදී වාසය කළ යුතුය.

ඊළඟ ගුණය 'සල්ලහුකවුත්ති' යනු සැහැල්ලු ගති ඇති කෙනකු වීමය. ඉන් අදහස්‌ වනුයේ බොහෝ බඩු බාහිරාදිය ගොඩගහන්නේ නැතිව තමන්ට අවශ්‍ය දේ පමණක්‌ පරිහරණය කිරීමෙන් බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ජීවත්වීමට පුරුදුවීමයි. 'සන්තින්ද්‍රියෝ ච' ශාන්ත ඉඳුරන් ඇති කෙනෙක්‌ විය යුතුය. ඉන්ද්‍රීය යනු ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නමැති හයයි. මේ ඉන්ද්‍රිය හය ශාන්ත කරගත යුතුය. අපි ඇස අශාන්ත වන ආකාරය බලමු. 'රූපං දිස්‌වා සතී මුට්‌ඨා' රූපයක්‌ දුටු ගමන් අපිට මොකද වෙන්නේ? අපේ සිහිය මුළා වෙනවා. සිහිය නැතිවෙනවා. මේ බණ කියන වේලාවේ ඔබ දකින්න කැමැතිම කෙනෙක්‌ මේ ශාලාව මැදින් ගියොත් හැමෝම බලනවා. බලද්දී පොඩි කරන්ට්‌ එකක්‌ වැදුනා වගේ බලාගෙනම ඉන්නවා. මොකද වුණේ? මොනවාද කරන්නේ? මේ මොකවත් මතක නැහැ. ඒකට තමයි සිහි මුළාවෙනවා කිව්වේ. සිහි මුළා වී ඊළඟට මොකද කරන්නේ. 'පියනිමිත්තන - මානසිකරෝතෝ' අර ලස්‌සන රූපය සිහිකරනවා. ඒ තැන සිතනවා. සිතා බලන්න, ලස්‌සන රූපයක්‌ බලපු වෙලාවක්‌ ගැන. මුලින්ම සිහිය මුළා වෙනවා. ඊළඟට ඒ කෙනා ගැන හිතනවා. මාර ඇඟක්‌නෙ තියෙන්නේ. එයා ඇවිදිනවා හරිම ලස්‌සනයි. මාව නම් පිස්‌සු වැටුණා. ඒ වගේ අර රූපය ගැන සිතනවා. එහෙම හිතද්දී 'සාරත්ත චිත්තෝ වේදේති' ඇලුණු සිතින් විඳිනවා. ඒ කිව්වේ අර රූපයට ඇති වුණු ආශාව මුල් වී සැප වේදනාවක්‌ හට ගන්නවා. තමන්ට ආශ්වාදයක්‌ ලැබෙනවා. 

ඊළඟට 'තඤ්ච අඡ්ෙCධාaසාය තිට්‌ඨති' ඒ රූපය ඇතුළත ගිලී ඉන්නවා. ඒ කියන්නේ අර රූපය බලවත්ව හිතට කාවද්දාගෙන ඉන්නවා. එලෙස සිටින විට 'තස්‌ස වඩ්ඩන්ති වේදනා අනේකා රූඵ සම්භාවා' ඔහුට රූපය මුල්වී නොයෙක්‌ වේදනා වැඩෙනවා. නොයෙක්‌ ආශ්වාස දැනෙනවා. අභිඡ්Cධා විභේසා ච චිත්ත මස්‌සූප භඤ්ඤති' අධික ආශාවයි වෙහෙසයි ඔහුගේ සිතට පීඩා ඇතිකරනවා. නමුත් අධික ලෙස කාම සැපයට කැමැති කෙනාට මේක පීඩාවක්‌ ලෙස වැටහෙන්නේ නැහැ. රූප නිසා හටගන්නා අධික ආශාව, වෙහෙස දැනෙන්නේ සංසාරයෙන් එතෙර වෙන්න මහන්සි ගන්න කෙනාට. දැන් බලන්න රූපයක්‌ බලා අපේ හිත කොයි තරම් අශාන්ත වුණාද? රූපය දැකපු මොහොතෙම සිහිය මුළා වුණා. පිය රූපය සිහිකරන්නට පටන් ගත්තා. ඇලුනු සිතින් වින්දා. ඒ අරමුණු බලවත්ව අරගෙන ඒ අරමුණු තුළ හිටියා. එහෙම සිටිද්දී අධික ආශාවයි, වෙහෙසයි හිතට වද දුන්නා. මේ සියල්ලම තුළ දුක රැස්‌වෙනවා. දුක ගොඩගැහෙනවා. සංසාරය හැදෙනවා. ඒ නිසා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කළා.

'ඒවං ආචිනතෝ දුක්‌ඛං' මෙසේ දුක රැස්‌ කරන කෙනාට 'ආරා නිබ්බන්ති වුච්චති' නිවන දුර බව. එහෙම නම් රූප බලා සිත අශාන්ත කරගත්තත්, ශබ්ද අසා හිත අසංවර ගත්තත්, සුවඳ ආඝ්‍රාහණය කර රස විඳ පහස ලබා හිත අසංවර කරගත්තත්, සිතුවිලි සිතා, සිත අසංවර කර ගත්තත් සංසාරය දික්‌වෙනවා මයි. නිවනින් අපිව ඈත් වෙනවා මයි. ඒ නිසා නිවන් මගේ යන කෙනා 'ශාන්ත ඉන්ද්‍රිය ඇති කෙනෙක්‌ විය යුතුය. 

අපි දැන් බලමු කොහොමද ඉන්ද්‍රිය සංවර කරගන්නේ කියල. රූපයක්‌ දකිද්දී ඒ රූපය ආසාව හරි, තරහව හරි, මුළාව හරි හට ගන්න එකක්‌ නම් 'දිට්‌ඨේ දිට්‌ඨ මත්තං' දැක්‌කොත් දැක්‌කා පමණක්‌ විය යුතුයි. රූපයක්‌ පේනවා නම් රූපයක්‌ රූපයක්‌ යෑයි සිතන්න. නැත්නම් පේනවා පේනවා කියා සිතන්න. එසේ සිතන විට ඒ බැලීම තුළ තිබෙන්නේ පෙනීම කියන ක්‍රියාව පමණක්‌ බව අපට වැටහෙනවා. පෙනීමක්‌ හැර ඒ තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ආත්මයක්‌ නැහැ. සාරයක්‌ නැහැ. මේ අවබෝධය කාලයක්‌ යද්දී ඇතිකරගත හැකියි. මේ ආකාරයෙන් කෙලෙස්‌ උපදින ශබ්දයක්‌ ඇසෙන විට 'ඇසෙනවා.. ඇසෙනවා' යනුවෙන් පමණක්‌ සිතන්න. ගඳ,සුවඳ දැනෙන විටත්, රස දැනෙන විටත් 'දැනෙනවා දැනෙනවා' කියා පමණක්‌ සිතන්න. ...

පහස ලැබෙන විට 'පහසක්‌ පහසක්‌' යනුවෙන්ම සිතන්න. අනවශ්‍ය සිතුවිලි හිතට එද්දී 'සිහිවෙනවා සිහිවෙනවා' යෑයි සිතන්න. මේ ක්‍රමයත් එක්‌ක ඔබේ ඉන්ද්‍රිය හයම ශාන්ත වෙනවා. හරියට එළියට පිවිසෙන දොරවල් හයක්‌ තියෙන ගෙදරක එ දොරවල් හයම වසා දැමුවහොත් කිසිවකුට ඇතුළට පැමිණිය නොහැකිය. ඒ වගේ ඉන්ද්‍රිය හයම සංවර කර ගත් විට අපේ සිතට කෙලෙස්‌ එනවා අඩුය. ඊළඟ ගුණය 'නිපකෝ' යනු නුවණ, ප්‍රඥව යි. නිවන් මඟ යන කෙනකුට 'සිලානුරක්‌ඛන ප්‍රඥව' එනම් සිල් ආරක්‌ෂා කර ගැනීමේ ප්‍රඥව තිබිය යුතුය. එය නැතිනම් පන්සිල් රැකීමට නොහැකිය. අද බොහෝ අටසිල් ගන්නා අය ගෙදරදී පන්සිල්වත් රකින්නේ නැත. සමහර අය සතුන් මරන්නේ නැත. සොරකම් කරන්නේ නැත. කාමයේ වරදවා යෙදෙන්නේ නැත. මත්පැන් බොන්නේ නැත. ඒ වුවද බොරු කියයි. ඒ ඇයි? සිල් රැකීමේ ප්‍රඥව නැති නිසාය. සිල් කාටවත් රැක්‌කවීමට නොහැකිය. එය තමන්ම ප්‍රඥවෙන් දැන කළ යුත්තකි. 'චීවර විචාරනාදී ප්‍රඥාව' ඇඳුම් පැළඳුම් ආදිය වුවත් ධාර්මිකව සොයා ගන්න. භික්‌ෂුවක්‌ නම් සිවුරු ආදිය සොයා ගන්න 'චීවර විචාරනාදී ප්‍රඥව' තිබිය යුතුයි. 

මෙහිදී මතක්‌ කළ යුතුයි ඇඳුම් ඇඳීම ගැන. ඒ ඇඳුම් ඇඳීමත් නුවණින් කළ යුතු නිසා. අඟ පසඟ ප්‍රදර්ශනය කරමින් තමනුත් සිතින් දූෂිතවී අන් අයත් කෙලෙස්‌ ගොඩක්‌ බවට පත් කරන්නේ නැතිවම සිටීමට නුවණ අවශ්‍ය වේ. ඔය අසංවර ඇඳුම් අඳින්නේ මෝහය අධික අය. ඒ අය දිහා බලා අවවාද කරන්න යන්න එපා. ඒක ඒ අයගේ අම්මාට, තාත්තට, මහත්තයට අයිති දෙයක්‌. නමුත් මේ අයත් බත් කන්නේ නැතිව වෙන දෙයක්‌ කෑවා නම් හොඳයි කියා හිතුවට කමක්‌ නැහැ. 

ඊළඟට තිබිය යුත්තේ 'අවසාදි සප්පාය පරිජානක ප්‍රඥව'. එනම් මේ ආවාසය මට ගැළපෙනවාද? මට හොඳ මොන වගේ ආහාරද? මොනවා කෑවොත් ද වෙහෙසක්‌ නැතිව සමථ විදර්ශනා වඩන්න පුළුවන් වෙන්නේ. මට වැඩිපුරම ගැළපෙන්නේ මොන ආකාරයේ ඉරියව්ද? මේවා ගැනත් දැනුමක්‌, ප්‍රඥවක්‌ තිබිය යුතුයි. මේ හැම දේම ගැන නුවණටයි 'නිපකෝ' කිව්වේ. 'අප්පගබ්බෝ' කයින් වචනයෙන් - සිතින් උඩඟු බව නැති කළ යුතුයි. සිල්වතුන්, ගුණවතුන්, වැඩිහිටියන් දුටු විට හුනස්‌නෙන් නැගිටීම, ඉදිරියේ යා යුතු කෙනාට ඉදිරියෙන් යැමට ඉඩදීම, අසුනදිය යුතු කෙනාට ආසනය දීම මේ වගේ උසස්‌ ක්‍රියාවලින් උඩඟු බව නැතිවෙනවා. ඊළඟ ගුණය 'කුලේසු අනනුගිද්ධෝ'. එනම් කුලයන්හි නො ඇලීම. කුල කියන්නේ මිනිසුන් එක්‌ක ගැලී වාසය කිරීම. සමහර කෙනෙක්‌ ලාභ සත්කාර ලබාගැනීමේ තණ්‌හාවෙන් මිනිසුන් සමග ඇලී ගැලී ඉන්නවා. තව සමහර කෙනෙක්‌ පුරුද්දට වගේ ඇලී ගැලී වසනවා. 'සහසෝකී' ඔවුන් ශෝක වන විට තමනුත් සතුටුවෙනවා. සැපවත් වූ විට තමන්ටත් එය සැපයක්‌. ඔවුන් දුක්‌ වෙද්දී ඒක තමන්ගේම දුකක්‌ ලෙස දැනෙන්නේ. නිවන පිණිස හිත මෙහෙයවූ කෙනා මේ ස්‌වභාවය අත්හැරිය යුතුයි. ඊළඟට 'නච බුද්ධං සමාචරේ කිඤ්චි යේන විඤ්­ පරේ උපවෙද්‍යයුං' නුවණින් විමසා කටයුතු කරන බුද්ධිමතුන් කෙනකු කියන කුඩා වරදකවත් නොයෙදිය යුතුයි. මේ ආකාරයෙන් කරණීය ධර්ම 14 ක්‌ අකරණීය ඒ කියන්නේ නොකළ යුතු එක්‌ කාරණාවකුත් දේශනා කර ඊළඟට මෙත් භාවනාව විස්‌තර කිරීම ආරම්භ කළා. 
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X