සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මරණය පිළිබඳව නිවරැදි අවබෝධයක් තිබිය යුතුයි

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 

ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි

මරණය පිළිබඳව අප තුළ පවතින්නේ ද්වේෂයක් හෙවත් තරහවක් වෙයි. අප මරණයට පත්වීම පිළිබඳව අප තුළ තරහවක් තිබෙනවා සේම අපට ප්‍රයෝජනවත් අයෙකු මරණයට පත්වීම පිළිබඳව විශාල තරහවක් ඇතිවේ. මරණයට පත්වූ තැනැත්තාගෙන් ලැබුණ ප්‍රයෝජනය වැඩි වන තරමට අප තුළ ගොඩ නැගෙන තරහව වැඩිවෙයි. ඔහුගෙන් හෝ ඇයගෙන් තිබෙන්නාවූ ප්‍රයෝජනය අඩු වුවත් ඔහුට හෝ ඇයට අප මානසිකව බැඳී සිටිනවා නම්, අප තනිකර දමමින් ඔහු හෝ ඇය මෙම භවය තුළින් නික්මෙන විට අප තුළ ඒ පිළිබඳව විශාල තරහවක් ඇතිවේ.
මරණයක් අවස්ථාවකදී අප කෑගසමින් අඬනු ලබන්නේ එම නිසයි. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවක් තුළ තරහවක් අප තුළ ගොඩ නැගුණ විට ඔහුට හෝ ඇයට ඒ පිළිබඳව සෘජු ප්‍රතිචාරයක් අපට දැක්විය හැකිය. ඔහු හෝ ඇය අප ප්‍රකාශ කරනු ලබන්නාවූ කරුණු කාරණා පිළිබඳව සැලකිළිමත් නොවන අවස්ථාවන් තුළ ඔහුට හෝ ඇයට තරවටු කිරීමේ හැකියාව අප තුළ පවතී. කවුරු හෝ පුද්ගලයකු මරණයට පත්වූ විට එම මරණකාරයාට මරණය සම්බන්ධව හෝ ඔහු මරණයට පත්වීම සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට තරවටු කිරීමේ හැකියාව අපට නැත. කවුරු හෝ පුද්ගලයකු මරණයට පත් වූවිට එම මරණකාරයාට මරණය සම්බන්ධව අපට අත්වුණ ඉරණම පිළිබඳව චෝදනාවක් කරගැනීමට අවශ්‍ය වුවත් අපට එය කළ නොහැකි වන්නේ මේ වන විටත් ඔහු මරණයට පත් වී ඇති නිසයි. එම තැනැත්තා මේ වන විට මරණයට පත්වී අවසාන නිසාම එම හැඟීම් එලියට දැමීම සඳහා අප හැඬීම කරනු ලබයි.
මරණ අවස්ථාවන් තුළ පිරිමින්ට වඩා මරණයකදී හඬනු ලබන්නේ දරුවන් සහ කාන්තාවන්ය. මරණයකට පසුව කාන්තාවකට දැනෙන අනාරක්ෂිත බව පිරිමින්ට දැනෙන්නේ නැත. කවුරු මරණයට පත්වුවද, එම අනාරක්ෂිත බව පිරිමියාට වඩා කාන්තාවකට වැඩියෙන් දැනෙයි. පිරිමින්ට එවැනි තත්වයක් විශාල ලෙස දැනෙන්නේ නැත. මෙම සංසාරය තුළ අප ඇවිදින විට බොහෝ අවස්ථාවල පිරිමින් පිරිමින් ආකාරයෙන් උපත ලබන අවස්ථා වැඩියි.
සංසාරය තුළ ගමන් කිරීමේදී කාන්තාවක් කාන්තාවක් ලෙසම ඉපදීමට තිබෙන අවස්ථා වැඩියි. කාන්තාවක පිරිමියකු වීමටත් පිරිමියකු කාන්තාවක වීමටත් තිබෙන ඉඩ මඳක් හෝ අඩුවෙයි. අප ජීවත්වන පරිසරය විසින් අපගේ විඤ්ඤාාණය සකසනු ලබයි. පිරිමින් ලෙස ඉපදුන යමෙකුට ස්ත්‍රීත්වයට අදාළ වන චෛතසිකයන් නිර්මාණය වීමට හේතු නොපවතී. එවැනි සිතිවිල්ලක් නිර්මාණය වීම සඳහා පාරිසරික සිතිවිල්ලක් හෝ වෙනත් සමාජමය සිතිවිල්ලක් ඇති නොවේ. පිරිමියා අධ්‍යාපනය ලබන්නේත්, රැකියාව කරන්නේත්, හැසිරෙන්නේත් සම්පූර්ණයෙන් පිරිමින්ට අදාළ වන ආකාරයටයි. කාන්තාවක හැසිරෙනු ලබන්නේත්, කටයුතු කරනු ලබන්නේත් සම්පූර්ණයෙන්ම කාන්තාවට අදාළ වන පරිසරයකයි. එය මරණය දක්වාම එම ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගන යාම නිසාම චුති ච්ත්තයට එක්කාසු වනුයේ එම කරනු ලැබුවාවූ කර්මයයි.
ඒ අනුව භවාංග සිත සැකසෙයි. ඒ අනුව පිරිමියෙක් පූර්ණයෙන්ම කටයුතු කර ඇත්තේ අනුන්ගේ ආරක්ෂාව සපයන්නකු ලෙසයි. පිරිමින් මරණයකදී නොහඬා සිටින්නේ එම නිසයි. මරණයක් පිළිබඳව ද්වේෂයක් පිරිමින් තුළ නොපවතින බව ඒ තුළින් ප්‍රකාශ වන්නේ නැත. විශේෂයෙන්ම තමන්ගේ මව, තමන්ගේ දරුවකු, තමන්ගේ බිරිඳ වැනි තමන්ගේ පැවැත්මට ඉතාම සම්බන්ධ වන අයෙකු මිය යාම තුළ පිරිමියකුට වුුවද, ද්වේශ සහගත සිතක් උපදී. කාන්තාවකට දැනෙන ආකාරයට වඩා ටිකක් වෙනස් ආකාරයකට පිරිමින්ට එය දැනෙයි. කෙසේ වුවත්, මරණයකට පසුව අප තුළ පවතින දුක ශෝකය ෙවිදනාව සම්පූර්ණයෙන්ම පඨවි මූලික වූ කාරණාවන්ය. ද්වේෂය මුල් වුුණ සිත තුළින් ඒවා උපදින බව අප දැනගත යුතුයි. ද්වේෂ තිබෙන සිතකට පිළිතුර සොයා ගත යුත්තේ මෛත්‍රීය තුළින්මයි.ද්වේෂය නැතිකර ගැනීමට මෛත්‍රිය වැඩිකර ගැනීම හැර පඨිඝයෙන් ගැලවීමට වෙන ක්‍රමයක් නොපවතී.
මෛත්‍රී භාවනාව වඩන්නන් බ්‍රහ්ම ලොව තුළ උපදින බව ප්‍රකාශ කරයි. බඹ ලොව තුළ උපදින්නේ අනාගාමී ඵලය දක්වා ගිය පිරිසයි. රහතන් වහන්සේලා ලෙස බඹලොව සිට වැඩ සිටිමින් පිරිනිවන් පානු ලබයි. ඝඨීකාර මහා බ්‍රහ්මයාත් රහතන් වහනසේ නමක් ලෙස වැඩ සිටියි. සහම්පතී මහා බ්‍රහ්මයාද රහතන් වහන්සේ නමකි.

රහතන් වහන්සේ සතු බලය

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

අප දකින රහත් බලය

අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද අප නිරන්තරයෙන් ම කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව ම පෙළෙමින් ඒ ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන සාංසාරික සත්ත්වයන් බවට පත් වී සිටින නිසයි. මේ නිසා මේ රහත් බව යන වචනය ඇසෙන පමණින් අපේ උපාසක උපාසිකාවෝ සාධුකාර දෙන්නට යොමු වෙනවා. එහෙම නම් මේ රහත් බවේ කිසියම් බලගතු ශක්තියක් බලයක් තිබෙන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ රහත් බවේ ශක්තිය කුමක්ද යන්න පැහැදිලි කර දීම සඳහා “ඛීණාසවබල” නමින් ම සූත්‍රයක් රැයක් දේශනා කර තිබෙනවා. අංශ්‍රව හෙවත් සත්වයා සසර බැඳ තබන සිත කිලිටි බවට පත් කරන කෙලෙස් සිඳ බිඳ සහමුලින් නැති කිරීම යන අර්ථය මේ “බීණාසව“ යන වචනයෙන් තේරුම් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඛීණාශ්‍රවයන් වහන්සේ සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ දී කෙරෙන ධර්ම සාකච්ඡාවක ආකාරයෙන්, සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ මේ සාකච්ඡාව පැවැත් වීමෙන්ම ඛීණාශ්‍රවයන් වහන්සේ නමක් සතු ශක්ති හෙවත් බල පිළිබඳ අපට පැහැදිලි වන්නේ මෙම රහත් බවට කෙතරම් බලගතු උත්තරීතර මානසික තත්ත්වයක් ලැබී තිබෙනවා ද යන්නයි.

පළමුවන බලය

එවැනි ඛීණාශ්‍රව බල අටක් මෙහිදී කියැවෙනවා. එහිදී පෙන්වා දී ඇති පළමු වැනි බලය වන්නේ රහතන් වහන්සේ ලෝකයේ පවතින සියලු ම දෑ සංස්කාර ගණයට වැටෙනවා. ඒ සංස්කාර සියල්ල අනිත්‍යයයි. ඉතින් මේ කාරණය බෞද්ධයන් වශයෙන් අප කියනවා. පිළිගන්නවා. ‘සබ්බේ සංඛාරා අනිච්චා’ යනුවෙන් මේ පාඨ ඉදිරිපත් කර අප දේශනාත් පවත්වනවා. ඇත්තෙන්ම අප කිසිවෙක් එය අනිත්‍ය බව මනා නුවණින් හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙත් රහතන් වහන්සේට මෙය බලයක් වන්නේ උන්වහන්සේ විසින් මෙම සංඛාර අනිත්‍යය වශයෙන් මනා නුවණින් දැක තිබීම යනු එය තවත් දකින්නට විමසන්නට දෙයක් නැති ලෙස සහමුලින්ම හරියට ම දැක තිබෙනවා. ඒ නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ. දැන් අප එහෙම පිරිසක් නොවෙයි. අපිත් ඛීණාශ්‍රවයන් වහන්සේ සතු ඒ ශක්තිය ඒ ආකාර ම බව වචනයෙන් ප්‍රකාශ කරනවා. එය පිළි ගන්නවා. ඒ වුණත් ඒ අපි සංස්ඛාරයන්ගේ ඇලෙනවා. යම් යම් දේ ගැන ආශාව බැඳීම ඇති කරගන්නවා. එහෙම වුණත් රහතන් වහන්සේ තමන් වහන්සේ තුළින් මේ ආශ්‍රවයන් සපුරා ම ඉවත් ව ඇති බව පසක් කරගෙනයි උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ.

දෙවන බලය

දෙවන බලය ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ මෙම සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාමයන් ගිනිගෙන දිලිසෙන අඟුරුවළක ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සිත මේ ආකාරයෙන් මෙම කාමාදි ආශ්‍රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අඟුරුවළකට මෙම කාමයන් උපමා කොට රහතන් වහන්සේ දකින්නේ අඟුරුවල ඇතුළේ පමණක් නොව එය වටේ හාත්පසින්ම රත්කරවන ස්වරූපයකින් යුක්ත වන නිසායි. මේ ආකාරයෙන් සත්වයාගේ සිත කාමාදී ආශ්‍රයන්ගෙන් දැඩි ලෙස පෙළෙන ආකාරය උන්වහන්සේ මනා නවුණින් දැන ගෙනම එම බලය තමන් සතු බව අත්විඳිනවා.

තෙවන බලය

රහත් බවේ තෙවන ශක්තිය ලෙස ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් ම පලසමවත් සුවයට යොමුවන බවයි. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් ම වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක ම උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවක් එයින් කියැවෙනවා. එමෙන් ම කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ ම මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්‍රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

සිවුවන බලය

එමෙන් ම රහත් බවේ සිවුවන බලය හෙවත් ශක්තිය වන්නේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා ඒ සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ වචන මට්ටමෙන් අප මේ අනුපස්සනා හතර ගැන කියනවා. ඒ වගේම ධර්මානුකූලව විස්තර වශයෙන් දැන ගෙන ප්‍රකාශ කරනවා. ධර්ම සාකච්ඡාවක් මාතෘකා වශයෙන් යොදා ගෙන සාකච්ඡා කරනවා. එහෙත් ඒ අප එසේ කරන්නේ මේ සතර සතිපට්ඨාන වැඩීමකින් අවසාන වශයෙන් යථාවබෝධයකින් තොරවයි. එහෙත් රහතන් වහන්සේ ඒ රහත් බවට පත්වීම යන්නෙන් ම අදහස් කරන්නේ උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි. එය සතරවන බලය ලෙසයි සඳහන් වන්නේ.

පස්වන බලය

මී ළඟ පස්වැනි බලය හෙවත් ශක්තිය ලෙස පෙන්වා දෙන්නේ රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි ද සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි. මේ යෝගාවචරයන් හෝ භික්ෂුවක් නිවන් අරමුණුූ කොට සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත. මේ අනුව යෝගාවචරයා ඡන්දය හෙවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ කැමැත්ත අධික කොට ගෙන සිතේ ඒකාග්‍රතාව ඇති කිරීම ප්‍රධාන කොටගෙන සෘද්ධිපාදය මෙන්ම වීර්යය, චිත්ත, විමංසා යන තුනෙන් එකක් මුල්කරගෙන සෘද්ධිපාදයන් වඩන විට එහි විශාරදත්වයට එම යෝගාවචරයා පත් වෙනවා, දැන් මෙයින් අදහස් කරන්නේ මෙම ඉහළ තත්ත්වය ඇති කර ගැනීමද රහත් බවේ තවත් බලයක් ශක්තියක් ලෙසයි.

සයවන බලය

මීළඟට රහත් බවේ සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ ම අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්‍රිය පහ පිළිබඳ අවශ්‍යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව කියැවෙනවා.

සත්වන බලය

රහත් බවේ සත්වැනි ශක්තිය හෙවත් බලය ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. චතුරාර්යසත්‍යාවබෝධය පිණිස අවශ්‍ය කරන බෝධ්‍යාංග සතු මෙ ආකාරයෙන්ම සපුරාගෙන ඇති බව. එම හත නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කරගෙන තිබිය යුතුව ම පවතිනවා. එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට ද පත්වෙනවා.

අටවන බලය

අවසාන හෙවත් අටවැනි බලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්‍රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.

උත්තරීතර ශක්තියක් හා බලයක්

මෙතෙක් අප විසින් බුද්ධ දේශනාව අනුව පැහැදිලි කෙරුණු රහත් බවේ මෙම බල ශක්ති අපට සම්පූර්ණ වීම රහත් බව යන්නෙන් අදහස් කෙරෙනවා. එහෙම නම් රහත් බවක් ලබන උත්තමයා මොන විදියෙන් මානසික වශයෙන් උසස් තත්ත්වයකට පත්ව සිටිනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. එයින් පැහැදිලි වෙන තවත් කරුණක් වන්නේ මේ තත්ත්වයට පත් වන්නට ඇති කර ගත යුතු සූදානම කෙතරම් බරපතළ කාර්යයක් වෙනවා ද යන්නයි. තමන් තුළ මේ කියන බල ශක්ති අට සම්පූර්ණ වූ උත්තමයාට පමණක් එම උත්තරීතර තත්ත්වයට පත් වුණා යන්න නිවැරැදිව ප්‍රත්‍යක්ෂ වෙනවා. අප මේ හැම බලයක් ම විස්තර කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව වාච්‍යාර්ථයෙන් ම පමණයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කය මෙන්ම සිතද සැමදා පවිත්‍ර කර ගැනීමට බැරිද

වර්තමානයේ වැඩි පිරිසක් පන්සලකට ගොස් සිල් සමාදන් වන්නේ හෝ මල්පහන් පූජා කරන්නේ පසළොස්වක පෝය දිනයට පමණකි. පුරා මාසයක්ම අපිරිසුදු වූ සිත් එක දිනක සුළු වේලාවෙන් පවිත්‍ර කරගත හැකිද යන්න සිතා බලනු වටී. මාසයකින් පිරිසුදු නොකර පැවැති ගෙයක් , මිදුලක් වුවද නැවත පවිත්‍ර කිරීමට කෙතරම් වේලාවක් හා ශ්‍රමයක් යෙදවිය යුතුද?
කුඩා දරුවා ගේ සිට වියපත් මහල්ලා දක්වා සෑම කෙනෙකුගේම ශරීරය පිරිසුදුව තබාගැනීමට උනන්දු වෙති. කොතරම් කාර්ය බහුල අයෙකු වුවද දිනපතා කිසියම් කාලයක් දත් මැද මුහුණ කට සෝදා ගැනීමට හා ඇඟපත පවිත්‍ර කොට නා ගැනීමට කාලය මිඩංගු කරන්නේ එතුළින් සුවයක් ලැබෙන නිසාමය. එසේ ශරීරය පවිත්‍ර කර ගත් විට ගත සිත ප්‍රබෝධමත් වී කිසියම් නැවුම් බවක් දැනෙයි. රෝග පීඩාවක් හේතුවෙන් ස්නානය කිරීමට නොහැකිව දින කීපයක් සිටින විට ශරීරයට පීඩාවක් මෙන්ම අපහසුතාවයක් දැනෙයි. එවැනි අවස්ථාවන්ට පත්වූ බොහෝ දෙනෙකු පවසන්නේ රෝගයට වඩා නාන්නට නැති අමාරුව වැඩිපුර දැනෙන බවය.
අපගේ ශරීරය දිනපතා කෙසේ පිරිසුදු කරගත්තත් එය නැවත නැවත අපිරිසුදු වන්නා සේ ම සිතද නිරතුරුවම අපිරිසුදුතාවයන්ට ගොදුරු වෙති. එය තමාටවත් නොහැඟෙන නොපෙනෙන ස්වභාවයෙන් යුක්තය. ශරීරය අපිරිසුදු වූ විට එය තමාටම මෙන්ම දකින අයටද පිළිකුලක් දැනෙන නිසා ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දු වන බොහෝ දෙනා බාහිරට නොපෙනෙන සිත අපිරිසුදු වූ විට එය පිරිසුදු කර ගැනීමට නොසිතයි, උනන්දු නොවෙයි. රාග, ද්වේෂ මෝහා දී චේතනා හෙවත් නා නා විධ ආශාවන්, තරහ ගති හා හරි වැරදි නිවැරැදිව තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා සිත් අපවිත්‍ර වෙති.

මිනිසුන්ගේ අධ්‍යාත්මික පරිහානියට මූලික හේතුව වී ඇත්තේ තම ශරීරය පිරිසුදු කර අලංකාරව තබා ගැනීමට කාලය වෙන්කරගන්නා බොහෝ දෙනෙකු තම සිත පවිත්‍ර කොට පෝෂණය කිරීමට දිනපතා අවම වශයෙන් විනාඩි දෙක තුනක් වත් වැය නොකිරීමය.
අප ජීවත් වන ගෙදර දොර, වත්තපිටිය ආදී පරිසරය වුවද දිනපතා අතුගා පිරිසුදු කරගත් විට සිරියාවන්ත බවක් ගෙන දෙයි. නමුත් එය දිනපතා කරගැනීමට නොහැකි වුවොත් එවන් තැනක සිටීමට පවා පි‍්‍රයමනාපයක් නැතිව යයි. සිතේ ස්වභාවයද එසේමය. එය දිනපතා පිරිසුදු කරගැනීමට හැකි අයගේ සිත් සුවයෙන් හා සැහැල්ලු ගතියෙන් පවතී. එවන් අයගේ මුහුණුවල පවා අමුතුම සිරියාවක් ඇතිවන අතර එවන් අය දකින අය තුළද පැහැදීමක් ප්‍රසාදයක් ඇති කරවයි.
අද ගම් දනව් පුරා රූපලාවන්‍යගාර දකින්නට ලැබෙන අතර ඒවාට ගොස් තම රුපය අලංකාර කර ගන්නෝද බොහෝය. ඒ වෙනුවෙන් මුදලින් දහස් ගණනින් ගෙවීමටද ලෝභ නොවෙති. දීර්ග බෞද්ධ සංස්කෘතියකට උරුමයක් ඇති අපගේ මුතුන් මිත්තනියෝ තම සිත, කය දෙකම පිරිසුදු කර ගැනීමට එදා ගියේ පන්සලටය. මේ නිසාම වැවයි දා ගැබයි ගමයි, පන්සලයි අපේ උරුමය විය. එදා සතියකට වරක් නැතිනම් සතර පෝයට පන්සලට ගොස් සිත පිරිසිදු කරගත් මෙරට බෞද්ධ ජනතාව මනා කායික හා මානසික පාරිශුද්ධතාවයෙන් යුක්තව සිටිබව දැනට අවුරුදු හැට හැත්තෑව පසුකළ වැඩිහිටියන් හොඳින් දනිති.
වර්තමානයේ වැඩි පිරිසක් පන්සලකට ගොස් සිල් සමාදන් වන්නේ හෝ මල්පහන් පූජා කරන්නේ පසළොස්වක පෝය දිනයට පමණකි. පුරා මාසයක්ම අපිරිසුදු වූ සිත් එක දිනක සුළු වේලාවෙන් පවිත්‍ර කරගත හැකිද යන්න සිතා බලනු වටී. මාසයකින් පිරිසුදු නොකර පැවැති ගෙයක් , මිදුලක් වුවද නැවත පවිත්‍ර කිරීමට කෙතරම් වේලාවක් හා ශ්‍රමයක් යෙදවිය යුතුද එසේනම් මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් අපිරිසුදු වුණ සිතක් පසළොස්වක පෝය දිනක සුළු වේලාවක් තුළදී පිරිසුදු කරගැනීමට නොහැකිමය. සිත පිරිසුදු කර ගැනීමට පන්සලකටම යා යුතුයැයි නියමයක්ද නැත. දිනපතා නෑමට, දත් මැදීමට ඇඳුම් පිරිසුදු කරගැනීමට කාලයක් යොදවන්නාක් මෙන්ම තම තමන්ගේ සිත් පිරිසුදු කරගැනීමටද සුළු වෙලාවක් වෙන්කර ගැනීමට බැරි එහි ඇති වටිනාකම බොහෝ දෙනෙකු නොදන්නා නිසාය. එසේම සිතේ අපිරිසුදුභාවය පිටට නොපෙන්වා නො හඟවා සිටීමට හැකිවීම නිසාද සිත පිරිසුදු කරගැනීමට උනන්දු නොවෙයි.
සිත පිරිසුදුව ආරක්ෂා කරගැනීමේ වටිනාකම තේරුම්ගෙන ඒ සඳහා වෙනම කාලයක් යොදා ගැනීමට නොහැකිනම් කෙතරම් කාර්ය බහුල අයෙකුට වුවත් මුලින්ම නිදාගැනීමට පෙර නිදියහනේම වාඩිවී චතුආරක්ෂක භාවනාව සිහි කරන්න. බොහෝ දෙනෙකු දන්නා පහත සඳහන් ගාථා ධර්මයේ මෙකී භාවනාව අන්තර්ගත කොට ඇත.
නමාමි බුද්ධං ගුණසාගරං තං 
සත්තා සදා හොන්ති සුඛී අවේරා 
කායෝජි ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ 
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී ගුණ මෙනෙහි කරමින් සිතේ ශ්‍රද්ධාව වඩවා ගන්න. මේ සඳහා ස්වකීය භාෂාවෙන් අර්ථය සිහිකර ගනිමින් ඉතිපිසෝ ගාථාව කිහිප වරක් සිහියට නගා ගන්න. දෙවනුව සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න. තෙවනුව තම තමන් ගේ ශරීර තුළ පවතින පිළිකුල් සහගත ස්වභාවය ගැන සිතන්න. මේ ශරීර කෙතෙක් පිරිසුදු කර හැඩ වැඩ කළත් එය නැවත නැවත ජරාවට පත් වන්නේ ස්වභාවයෙන්ම මෙය පිළිකුල් සහගත නිසාය. සිව් වැනිව කිසියම් දිනක අන් සියලුම සත්වයන් මෙන්ම තමාද මරණයට පත්වන බව මෙනෙහි කොට නිදාගන්න. අඛණ්ඩව දිනපතා සිදු කිරීමෙන් මෙහි ඇති වටිනාකම මෙන්ම සත්‍යබවද තමාටම දැනෙනු ඇත.
ආශාවන් තුනීවි ආශාවන් පසු පස හඹායන ගති අඩුවීම, තරහව ,වෛරය ,ද්වේෂය හීනවී යාම, නොරිස්සුම් ගති පහව ගොස් සිතේ කරුණාව , අනුකම්පාව , දයාව තුළින් කලකිරීම්, පසුතැවීම් උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකිවීම, ලෙඩ දුක් හා මරණ හමුවේ දුක් නොවී පසුතැවිලි නොවී සිටීමේ මානසික ශක්තියක් ඇති වෙයි.
සිත පිරිසුදු වන විටදී ඔහුගේ ගතිගුණද පිරිසුදු වෙයි. තම නිවස මෙන්ම අවට පරිසරයද පිරිසුදුව තබා ගැනීමට උන්නදුවක් ඇතිවෙයි. කරන කියන කටයුතු කාර්යක්ෂමව , නිවැරැදිව, පිරිසුදුව කිරීමට හැකිවෙයි. කායිකවත් මානසිකවත් නිරෝගි පිරිසුදු පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙයි.
මාසයකට වරක් සිල් සමාදන් වී හෝ මල් පහන් පූජා කළ පමණින් සිත පවිත්‍ර කරගැනීම කළ හැකිද යන්න තම තමාම තේරුම් ගන්න. තම ශරීරය මෙන්ම අප එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා සෑම දෙයක්ම එදිනෙදාම පිරිසුදු කරගන්නාක් මෙන්ම උප උපන් මොහොතේ සිට මැරෙන තුරුත් ඉන් නොනැවතී භවයෙන් භවයට විවිධ ස්වරූප ගනිමින් ක්‍රියාත්මකව පවතින සිත දිනපතා පිරිසුදු කළ යුතුද නැද්ද යන්න මෙම ලිපිය කියවූ ඔබම නිගමනයකට බැසගන්න.

ආශ්‍රව ප්‍රහාණය

ගම්පහ සිරිසීවලී හිමි

බලන්න! ඔබේ සිතුවිලිවලින් මන කලතන තරමක්‌. මහා ජලාශයක මහා හඬින් කැලති, කැලතී කැකෑරෙන දිය සුළි වගේ මන කැකෑරෙනවා. මනස්‌ගාත යනු එයයි. මන ඝාතනය වීමයි. සමහරවිට ඔබ නොදැනුවත්වම යම් අරමුණක්‌ මත දින ගණනක්‌ මන දෝලනය වෙනවා.
පොඩි සිදුරක්‌ ඇති කුරුම්බා කෝම්බයකට වඳුරෙක්‌ අත අමාරුවෙන් දමයි. ලොඳ හූරයි. මිට මොලවා ගනී. නමුත් මොලවාගත් අත එළියට ගත නොහැක. දැඩි ලෝභයෙන් - කෑදරකමින් අත ඉවතට ගැනීමට උත්සාහ කරනවා. හූරාගත් ලොඳ අත හැරීමක්‌ නැත. මේ හේතුවෙන් මාරාන්තික දුකට පත් වේ. මෙසේ සත්වයාත් දැඩි වූ සිතින් අල්ලාගත් රූපාදී අරමුණු නිසා භවගාමී සංකාර ඇතිකර ගනී. ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී දුක්‌ ලබනවා. එහෙයින් සංයෝජන ප්‍රහාණයෙන් සසර ගමන නතර කිරීමට නම් අනුපිළිවෙළින් දිගින් දිගටම හටගන්නා සිතුවිලි අතහැරීමට වගබලාගත යුතුය. ඒ සඳහා එකම මග රූපයේ යථාර්ථය දැක එයින් මිදීමයි. අරූපී නම් ධර්මතාව වැඩීමයි. චිත්ත පාරිශුද්ධි භාවයට මන මත රූප සංකල්පනා පහළනොවීමේ ප්‍රතිපදාවේ යෙදීමයි. විඤ්ඤානයාගේ හටනොගැනීම නම් වූ රූප සංඛාර හට නොගැනීම බව දත යුතුය. ශාන්ති නායකයාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයෙන් ඒ සඳහා සුදුසු පරිසරයක්‌, ක්‍රමෝපායක්‌ නිර්දේශිතයි. 

මෙහිදී ශ්‍රාවකයාගේ පළමු අවධානය යොමුකරන්නේ,

- යෝනිසො මනසිකාරය හා

- අයෝනියෝමනසිකාරය නම් වූ ධර්මතා ගැනයි 

යෝනිසෝ මනසිකාරය ඇති ශ්‍රාවකයාට හටනොගත් ආශ්‍රව හටගන්නේ නැත. හටගත් ආශ්‍රව දුරුවෙනවා. - අයෝනිසෝ මනසිකාරය ඇති අයට හට නොගත් ආශ්‍රව හටගන්නවා. හටගත් ආශ්‍රව වඩා වැඩිවෙනවා. මේ ගැන සතිමත් විය යුතුය. පළමු පූර්වකෘත්‍යයයි.

1. අත්ථි භික්‌ඛවේ ආසවා - දස්‌සනා පහාතබ්බා

2. අත්ථි භික්‌ඛවේ ආසවා - සංවරා පහාතබ්බා

3. අත්ථි භික්‌ඛවේ ආසවා - පටිසේවනා පහාතබ්බා

4. අත්ථි භික්‌ඛවේ ආසවා - අධිවාසනා පහාතබ්බා

5. අත්ථි භික්‌ඛවේ ආසවා - පරිව-ජනා පහාතබ්බා

6. අත්ථි භික්‌ඛවේ ආසවා - විනෝදනා පහාතබ්බා

7. අත්ථි භික්‌ඛවේ ආසවා - භාවනා පහාතබ්බා

ඉහත දැක්‌වූ ආකාර හත මගින් ආශ්‍රව හෙවත් කෙලෙස්‌ ධර්ම තුනීකර ප්‍රහාණය කළ යුතුය. කෙලෙස්‌ නැතිකිරීමට නිශ්චිත එකම ක්‍රමයක්‌ නොමැති බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. ක්‍රම බොහෝය. හේතුව මනාවදැන ගැනීමත් හේතුව නැති කිරීමෙන් පලය නැති කිරීම පහසු බවත් සිහියෙන් - නුවණින් වීර්යයෙන් යෝගාවචරයා දක්‌ෂ විය යුතුය. 

1. දස්‌සනා පහාතබ්බා යනු දර්ශනයෙන් හෙවත් විදසුන් නුවණින් අනිත්‍ය, දුක්‌ඛ, අනත්ත ත්‍රිලක්‌ෂණය වැඩීමෙන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. ඒ බව රතන සූත්‍රයේ 'සහාවස්‌ස දස්‌සන සම්පදාය - තයස්‌සු ධම්මා ජහිතා භවන්ති...' යනුවෙන් වදාළේ එයයි. කාමාශ්‍රව, භවාශ්‍රව, අවි-ජාශ්‍රව නැති කිරීමයි. 'ආශ්‍රව' යනු අමනසිකාරය නිසා පල්වෙවී වැඩෙන කෙලෙස්‌ ධර්මයි. සීල සූත්‍රයෙන් දර්ශන සම්පත්තිය ඇතිකර ගෙන දස සංයෝජනප්‍රහාණය කරන ආකාරය පැහැදිලි කර ඇත. එම සූත්‍ර දේශනාවෙන් පංචඋපාදාන ස්‌කන්ධය හෙවත් සිත අනිච්ච, දුක්‌ඛ, අනත්ත වඩන අයුරුත් සියලුම ආර්ය ඵලලාභීත්වය ධම්ම නියාමතාවයට අනුව සිදුවන බවත් අර්ථවත් කර ඇත. 

2. දෙවනුව සංවරා පහාතබ්බා - ඇස, කණ, නාසය ආදී ඉඳුරන් සංවර කර ගැනීමෙන් ආශ්‍රව වලකාගත හැක.

'චක්‌ඛුනා සංවරො සාධු

සාධු සොතෙන සංවරො

ඝාණෙන සංවරො සාධු

සාධු ජිව්හාය සංවරො

කායෙන සංවරො සාධු

සාධු වාචාය සංවරො

මනසා සංවරො සාධු

සාධු සබ්බත්ත සංවරො

සබ්බත්ත සංවරො භික්‌ඛු

සබ්බ දුක්‌ඛා පමුඤ්චති'

ආයතනහයෙන් සංවර වීම සියලු දුකෙන් මිදීමට හේතුවේ. 

අයෝනිසෝ මනසිකාරය නිසා ආයතන සංවරය නොමැති තැන දුකට හේතු වූ තණ්‌හාව ඇති වේ. ඉන්ද්‍රිය සංවරය මගින් කෙලෙස්‌ නැතිකිරීම සමස්‌ත ධර්මස්‌කන්ධයෙන්ම අනුමත කර ඇත. පැහැදිලි කර ඇත. සීල,සමාධි, ප්‍රඥ බලගන්වනු ලබන්නේ සංවර වීමෙනි. සියලුම ආර්යඵල ලාභීත්වය සඳහා අරියකාන්ත ශීලයෙන් සමත්විය යුතුය. කෙලෙස්‌ වසඟයට පත්වන්නේ ඉන්ද්‍රිය අසංවරයෙනි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය ආර්ය විනයේ කෙසේ විය යුතුදැයි පහදා දෙති.

ජංගලා ප්‍රදේශයේ සුවේළු වනයේ මුනින්ද්‍රයාණන් වහන්සේ වැඩ සිටින සමයක සුප්‍රසිද්ධ 'පාරාසිථිය' බ්‍රාහ්මණ ගුරුවරයාගේ ශිෂ්‍යයෙක්‌ වූ 'උත්තර' නම් මානවකයා බුදුන්වහන්සේ මුණ ගැසීමෙන් පසු මෙසේ පිළිසඳරක්‌ විය.

ගෞතමයාණන් වහන්සේ - උත්තර, ඔබගේ ආචාර්ය බ්‍රාහ්මණතුමා 'පාරාසිවිය' ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය සංවරය උගන්වනවාද?

උත්තර මානවකයා - ගෞතමයාණන් වහන්ස, එසේය, පාරාසිවිය බ්‍රාහ්මණතුමා ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය සංවරය උගන්වනවා.

ගෞතමයාණන් වහන්සේ - උත්තර, එතුමා කවර ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරය උගන්වනවාද? 

උත්තර මානවකයා - ගෞතමයාණන් වහන්ස, ඇසින් රූප නොබැලීම, කනින් ශබ්ද නොඇසීම, නාසයෙන් සුවඳ දුගඳ නොගැනීම, ආදී වශයෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නා ලෙසයි ආචාර්යවරයා ඉන්ද්‍රිය සංවරය උගන්වන්නේ.
ගෞතමයාණන් වහන්සේ - උත්තර, 'පාරාසිවිය' බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම අනුව අන්ධයන්ට ඉන්ද්‍රිය සංවරය හොඳින් සිදුවෙනවා. ගොළුවන්ට ඉන්ද්‍රිය සංවරය හොඳට පිහිටවනවා. හේතුව ආන්ධයන්ට රූප පේන්නේ නැහැනේ. බිහිරන්ට ශබ්ද ඇසෙන්නේ නැහැනේෘ
ගෞතමයාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් උත්තර මානවකයා බිමට හරවාගත් මුහුණින් යුතුව කිසිවක්‌ කර කියා ගත නොහැකිව නිහඬ විය. එවිට ගෞතමයාණන්වහන්සේ ආනන්ද හිමියන් අමතා ආනන්ද, පාරාසිවියගේ ඉන්ද්‍රිය භාවනාව එකකි. ආර්ය විනයේ ඉන්ද්‍රීය භාවනාව අනිකකි. වෙනස්‌ එකකි. ආනන්ද හිමියන්ගේ ආරාධනාවෙන් ගෞතම දේශනාව වදාළහ.
ආනන්ද, භික්‌ෂුව ඇසින් රූප දකී. මනාප රූපයේ කැමැත්ත ඇති වේ. අමනාප රූපයෙහි අකමැත්ත ඇති වේ. නැතහොත් ඒ රූපයේ මනාප අපනාප බව හෙවත් මැදහත් බව ඇති වේ. (සුඛ වේදනාව, දුක්‌ඛ වේදනාව, උපේක්‌ඛා වේදනාව) සිහියෙන් යුත් සතියෙන් යුත්, යෝනිසෝ මනසිකාරයෙන් යුත් භික්‌ෂුව තමා තුළ හෙවත් සිත තුළ රූපය කෙරෙහි මනාපයක්‌ ඇති වූ බව දැනගනී. අමනාපයක්‌ ඇති වූ බව දැනගනී. මැදහත් සිතක්‌ හටගත් බව දැනගනී. මේ සිත සංකත ධර්මයක්‌, ස්‌වභාව ධර්මයක්‌, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්‌. එය නිවීම පිණිස, සැනසිල්ල පිණිස, සැපය පණිස හේතු නොවේ. ඕලාරික හෙවත් කෙලෙස්‌ වැඩෙන ස්‌වභාවයෙන් යුක්‌තයි. මනාප නිසා ඇලෙන ස්‌වභාවයද, (සුඛ වින්දනය), අමනාපය නිසා ගැටෙන ස්‌වභාවයද (දුක්‌ඛ වින්දනය), මනාප - අමනාප තත්ත්වයේදී මැද බවද (සුඛ දුක්‌ඛ මසුඛ) එම නිසා මුලාවීමෙන් ශාන්ත ප්‍රනීත බවක්‌ කිසි ලෙසකින් ප්‍රකට නොවන බවත් දකී. එසේ බලාපොරොත්තු විය නොහැක. හේතුව අන්තගාමී නිසා, රූපයාගේ යථාර්ථය විනිවිද දකින යෝගාවචරයා උපේක්‌ෂාව අරමුණෙහි ස්‌වභාවය, හටගත් සිතේ ස්‌වභාවය, යථාභූත බව හෙවත් ප්‍රකෘතිය විනිවිද දැක අන්තයකට නොගොස්‌ අවබෝධයෙන්ම තණ්‌හාවෙන් සිත මුදාගනී. එළඹ සිටි සිහියෙන් වෙසෙන භික්‌ෂුව ආර්ය විනයේ උගන්වන උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව මෙසේ ඇතිකරගෙන වාසය කරයි.
මෙසේ ඇස, කන, නාසය, දිව, කය, මන ඉන්ද්‍රිය සම්බන්ධයෙන් විමසුම් බුද්ධියෙන් භාවිතේන්ද්‍රිය ඇති පුද්ගලයාට ඉන්ද්‍රිය භාවනාව මනා සේ වැඩේ. මේ මානසික සංවරයෙන්ම යෝනිසෝ මනසිකාරයෙන්ම ඉඳුරන් දමනය කළ යුතු වේ. එසේ නොමැතිව ඇස්‌ පියාගෙන රූපය නොබැලීමෙන් හෝ කටපියාගෙන වචන පිට නොකිරීමෙන් හෝ කණට ඇබයක්‌ ගසාගෙන කණට වැටෙන හඬ නොඇසීමෙන් හෝ දිවෙන් රස නොලැබීමෙන් හෝ ඉන්ද්‍රියට අරමුණු නොගෙන සිටීමෙන් ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඉන්ද්‍රිය භාවනාව නොවැඩේ. කතා නොකර සිටීමෙන් වචනයෙන් සිදුවන සියලු වැරැදි සිදුනොවේ නම් ගොළුවා මුළු ජීවිත කාලය තුළම වචී දුෂ්චරිතයෙන් මිදුනා වේ. ජීවිත කාලය තුළම කුසල් වැඩෙනු ඇත. අත් පා නැති නපුංසකයා ප්‍රාණ ඝාතය, අදින්නාදානය, කාමමිච්ඡාචාරය සිදු නොකරයි. එසේ නම් කාය දුෂ්චරිතයෙන් මිදුනා වේ. එමෙන් කුසල්ද වැඩෙනු ඇත. චේතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා' ඉහත වැරැදි අදහස්‌ මත ගොඩනැගෙන වාරිත්‍රයක්‌ වේ නම් ඒ සියලු දැ සීලබ්බත පරාමාසය අකුසල චෛතයිකයක්‌ම වේ.

තෙවනුව පටිසේවනා පහාතබ්බායි - සාපිපාසා, රෝගාබාධ, සීත උෂ්ණ අවස්‌ථාවලදී ආහාර පාන, බෙහෙත්ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, බඩු බාහිරාදිය පරිහරණය කළයුතු වේ. ඒ සෑම අවස්‌ථාවකම තමන් 'පරපටි බද්ධා මේ ජීවිකා ඕරොපේතා' යනාදී වශයෙන් සිහියෙන් යුක්‌තව අනුන්ගෙන් ලැබෙන දෙයකින් යෑපෙන, කල් ගෙවන ජීවිත පැවැත්මක්‌ ඇති කෙනෙක්‌ය යන ප්‍රත්‍යාවේක්‌ෂාවෙන් යුතුව ලැබෙන දැ පරිහරණය කළ යුතුය. එසේ වීමෙන් බඩුබාහිරාදිය හෙවත් භෞතික මෙවලම් කෙරෙහි ආශ්‍රව නූපදීනු ඇත. ආසව දුරුවේ. 
සිව්වෙනුව අධිවාසනා පහාතබ්බා - අධිවාසනායනු ඉවසා දරා ගැනීමේ මානසික ශක්‌තියයි. සීත, උෂ්ණ, ඉවසීම, බඩගින්න, පිපාසය දරාගැනීම, ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, කටුක තියුණු කායික දුක්‌වේදනා ඉවසීම, අනුවණ දුර්දාන්ත මිනිසුන්ගේ අපහාස උපහාස නුවණින් ඉවසීමයි. නමුත් ඉහත කරුණු ගැන පුහුදුන් මානසිකත්වය ඇති අයට ඉවසීමේ දරාගැනීමේ නොහැකියාව නිසා ආශ්‍රව වඩාත්ම වැඩේ. සතිමත් යෝගාවචරයාට ලෝකයේ ප්‍රකෘති ස්‌වභාවය ගැන දැනුවත්වීම මතම අධිවාසනා පහාතබ්බා හෙවත් ඉවසීමෙන් ආශ්‍රව දුරුකරගත හැක.



පරිව-ජනා පහාතබ්බා පස්‌වැන්නයි.

නුවණින් බැහැර කිරීම, ශාසනික ප්‍රතිපදාවට භාවනානුයෝගී ජීවිතයට වනමෘගයන් හෙවත් නපුරු අලි ඇතුන් ගහන වන ප්‍රදේශ, දරුණු කොටි-වලස්‌ ගහන ප්‍රදේශ, විෂ ඝෝර සර්පයන් නොමැති ප්‍රදේශ දැනගෙන තැන නොතැන හඳුනා ගැනීම කළ යුතු වේ. ගවයන් බල්ලන් ආදී සතුන්ද වනදුර්ග, ගිරිදුර්ග කටුකොහොලින් යුත් යෝග්‍ය නොවන තැන අතහැරීමත් අපාය සහාය හෙවත් පාප මිත්‍රාදීන් දුරින් දුරු කිරීම ආශ්‍රව නැති කිරීමට ඉතා හිතකරයි.

හයවැන්න විනෝදනා පහාතබ්බා

ආශ්‍රව නුවණින් අතහැරීමයි. කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, විහිංසා සිතුවිලි ජනිතවීමට හට ගැනීමට බොහෝ ඉඩකඩ ඇති තැන් හඳුනාගෙන අතහැරීම කාම සිතුවිලි හටගත්තාම ඉවසන්නේ නැහැ. ද්වේෂය, මෝහය, හටගත්තාම ඉවසන්නේ නැහැ. දුරින් දුරු කරනවා. හටගන්න කොටම අවදිමත් සතියෙන්ම ආදීනව දැක දුරුකිරීම, කාම විත්තක, ව්‍යාපාද විත්තක, විහිංසා විතක්‌කයි.
සත්වැන්න භාවනා පහාතබ්බයි සමථ, විදර්ශනා භාවනා මගින් මන ශක්‌තිමත් කර කෙලෙස්‌ මුලින් උපුටා දැමීමයි. සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම වඩාගෙන පටිච්ච සමුප්පාද, හේතුඵල, චතුරාර්යය සත්‍ය ත්‍රිලක්‌ෂණ අවබෝධය මතින් භාවනා මගින් සසර ගමන නිමාකිරීමේ ප්‍රතිපදාවයි.
ආසව ධර්ම හෙවත් කෙලෙස්‌ හඳුනා ගැනීමත් ඒවා නැතිකිරීමේ සම්‍යක්‌ ප්‍රතිපදාවත් සබ්බාසව සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. හේතු ගැන මනා අවබෝධයක්‌ ඇතිකරගත යුතුය. ප්‍රතිපදාවේ යෙදීමෙන් ආත්ම ප්‍රත්‍යවේක්‍ෂණය කිරීමෙන් තමන්ට ලැබෙන කායික මානසික චෛතසික සුවය හෙවත් නිරාමිස සැපය යෝගාවචරයා මෙලොවදීම ආර්ය ඵලලාභීත්වයෙන් දැක ගනී. දැන ගනී. 
මෙමගින් සත් සිත් බෝධි පාක්‌ෂික ධර්ම වැඩේ. යෝගාවචර බෝධි සත්ව ගුණෝපේත ආර්ය ශ්‍රාවක භාවය ලැබ නිවනට නියත 'නියතො සම්බෝධි පරායණෝ' උත්තමයෙක්‌ වේ.

මෙසේ 

- අසේස - ඉතිරි නොකොට

- විරාගො - විරාගීව

- නිරෝධෝ - රෝද නොමැතිව

- චාගො හිතෙන් අත්හැරීම

- පටිනිස්‌සගෙගා - දුරුකිරීම

- මුක්‌ති - මිදීම

- අනාලයෝ - ආලය නොකිරීම, නොඇල්ම

ඉහත ධර්මතා තමා තුළ විද්‍යමාන වෙන්න, වෙන්න සත්‍ය වෙත, විද්‍යාව වෙත ළංවනු ඇත. ලෝක ධර්මයන්ගෙන් වෙන්වීම, මිදීම, නොඇල්ම වශයෙන් පැහැදිලි වන්නේ නිරෝධයේ යථාර්ථයයි. සංකාර නිරෝධයෙන්, විඤ්ඤානයාගේ නිරෝධයෙන්, භව නිරෝධයයි. සංකල්පනා වශයෙන් අතීත, අනාගත සිදුවීම් හා සිදුකළ යුතු දැ එකිනෙක ගැටගසා සිතින් රවුම් ගැසීම එකින් එක එකතු කර පෝෂණය කිරීම මතක ගබඩා කිරීම, මතකය සනාථ කිරීම සඳහා අවධියෙන් සිටීම නිසා උපාදාන නම් ස්‌වභාවය හටගනී. එයම චිත්තජ වී කම්මජ බවට පත් වේ. මුහුකුරා යයි. පරිපාකයට යයි. යෝනිසෝ මනසිකාර මතින් අතීත අනාගත අරමුණු පුනරාවර්තනය නොවීම නිසා වර්තමානයේ විඤ්ඤාණයාගේ පෝෂණය සිදු නොවේ.
අවබෝධයෙන් යෝනිසෝ මනසිකාරයෙන් සිටීම යනු අධ්‍යාත්මයෙන් අවදිවීමයි. ඉහත දැක්‌වූ කරුණු මත ජීවත්වීම නොව අවබෝධය මත ආයාසයෙන් තොරව සිටීමට ඔබ පෙළඹෙයි. චාරිත්‍ර විධ, ආගමික ඉගැන්වීම් මත කෘත්‍රීම ජීවිතයකට තල්ලුකිරීමක්‌ නැත. මේ මග අවදානම්ය. හේතුව කවදාවත් නොකළ බැවිනි.
දුක විහරණයට ප්‍රතිපක්‌ෂ විඤ්ඤාණයාගේ පෝෂණයට නොවැදගත් ක්‍රමයකි. මෙහිදී ඔබ සන්සුන්වීම වැදගත්ය. ඉවසා සිටීමට දක්‌ෂ විය යුතුය. විඳ දරා ගැනීමේ හැකියාව තිsබිය යුතුය. ඔරොත්තුදීමේ උත්තම ගුණයන්ගෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය. ධර්මය ප්‍රගුණ කරන්න දෙයක්‌ නොවේ. අධර්මය හඳුනාගැනීම ඉතා ශ්‍රේෂ්ඨය. හේතුව ඒ තුළ සියලුම ගුණධර්ම මතුවීම ස්‌වභාවිකය. සචිත්ත පරියෝදපනය වීමයි. පිරිසිදු සිත මතුවීමයි. සමාජ සාධාරණය සමාජ සාධාරණය සමාජ සාදාචාරය යනු මිනිසුන් විසින් මානසිකව මවාගත් මනඃකල්පිත දේවල්ය. අසාධාරණයෙන් හා දුරාචාරයෙන් තොරව සිටීම යනු ස්‌වකීයත්වයෙන් තොරව විසීමම වේ.
මුලින් සඳහන් කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාරාසිවිය බමුණාගේ දර්ශනය අනුව කථා කිරීම නැවැත්වීමෙන්, බලාසිටීම නැවැත්වීමෙන් අසා සිටීම නැවැත්වීමෙන් එක විදිහකට එක්‌තරා නිහඬ බවක්‌ පෙනේ. එය පෙනෙන මානයේ තීරණයකි. එහෙත් එයනියම නිහඬ බව නොවේ. භාවනාවේදී පවා අරමුණු ගෙන මනසිකාරය කරන බැවින් අනස්‌සිතොච විහරති නම්වූ ධර්මතාවට කිසිසේත් ළංනොවනු ඇත. මෙනෙහි නොකිරීමේ පදනම මත 'නච කිංචිලෝකේ උපාදියති' කිසිම ලෝක ධර්මයක්‌ උපාදානය නොවීම වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X