සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කය මෙන්ම සිතද සැමදා පවිත්‍ර කර ගැනීමට බැරිද

වර්තමානයේ වැඩි පිරිසක් පන්සලකට ගොස් සිල් සමාදන් වන්නේ හෝ මල්පහන් පූජා කරන්නේ පසළොස්වක පෝය දිනයට පමණකි. පුරා මාසයක්ම අපිරිසුදු වූ සිත් එක දිනක සුළු වේලාවෙන් පවිත්‍ර කරගත හැකිද යන්න සිතා බලනු වටී. මාසයකින් පිරිසුදු නොකර පැවැති ගෙයක් , මිදුලක් වුවද නැවත පවිත්‍ර කිරීමට කෙතරම් වේලාවක් හා ශ්‍රමයක් යෙදවිය යුතුද?
කුඩා දරුවා ගේ සිට වියපත් මහල්ලා දක්වා සෑම කෙනෙකුගේම ශරීරය පිරිසුදුව තබාගැනීමට උනන්දු වෙති. කොතරම් කාර්ය බහුල අයෙකු වුවද දිනපතා කිසියම් කාලයක් දත් මැද මුහුණ කට සෝදා ගැනීමට හා ඇඟපත පවිත්‍ර කොට නා ගැනීමට කාලය මිඩංගු කරන්නේ එතුළින් සුවයක් ලැබෙන නිසාමය. එසේ ශරීරය පවිත්‍ර කර ගත් විට ගත සිත ප්‍රබෝධමත් වී කිසියම් නැවුම් බවක් දැනෙයි. රෝග පීඩාවක් හේතුවෙන් ස්නානය කිරීමට නොහැකිව දින කීපයක් සිටින විට ශරීරයට පීඩාවක් මෙන්ම අපහසුතාවයක් දැනෙයි. එවැනි අවස්ථාවන්ට පත්වූ බොහෝ දෙනෙකු පවසන්නේ රෝගයට වඩා නාන්නට නැති අමාරුව වැඩිපුර දැනෙන බවය.
අපගේ ශරීරය දිනපතා කෙසේ පිරිසුදු කරගත්තත් එය නැවත නැවත අපිරිසුදු වන්නා සේ ම සිතද නිරතුරුවම අපිරිසුදුතාවයන්ට ගොදුරු වෙති. එය තමාටවත් නොහැඟෙන නොපෙනෙන ස්වභාවයෙන් යුක්තය. ශරීරය අපිරිසුදු වූ විට එය තමාටම මෙන්ම දකින අයටද පිළිකුලක් දැනෙන නිසා ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දු වන බොහෝ දෙනා බාහිරට නොපෙනෙන සිත අපිරිසුදු වූ විට එය පිරිසුදු කර ගැනීමට නොසිතයි, උනන්දු නොවෙයි. රාග, ද්වේෂ මෝහා දී චේතනා හෙවත් නා නා විධ ආශාවන්, තරහ ගති හා හරි වැරදි නිවැරැදිව තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා සිත් අපවිත්‍ර වෙති.

මිනිසුන්ගේ අධ්‍යාත්මික පරිහානියට මූලික හේතුව වී ඇත්තේ තම ශරීරය පිරිසුදු කර අලංකාරව තබා ගැනීමට කාලය වෙන්කරගන්නා බොහෝ දෙනෙකු තම සිත පවිත්‍ර කොට පෝෂණය කිරීමට දිනපතා අවම වශයෙන් විනාඩි දෙක තුනක් වත් වැය නොකිරීමය.
අප ජීවත් වන ගෙදර දොර, වත්තපිටිය ආදී පරිසරය වුවද දිනපතා අතුගා පිරිසුදු කරගත් විට සිරියාවන්ත බවක් ගෙන දෙයි. නමුත් එය දිනපතා කරගැනීමට නොහැකි වුවොත් එවන් තැනක සිටීමට පවා පි‍්‍රයමනාපයක් නැතිව යයි. සිතේ ස්වභාවයද එසේමය. එය දිනපතා පිරිසුදු කරගැනීමට හැකි අයගේ සිත් සුවයෙන් හා සැහැල්ලු ගතියෙන් පවතී. එවන් අයගේ මුහුණුවල පවා අමුතුම සිරියාවක් ඇතිවන අතර එවන් අය දකින අය තුළද පැහැදීමක් ප්‍රසාදයක් ඇති කරවයි.
අද ගම් දනව් පුරා රූපලාවන්‍යගාර දකින්නට ලැබෙන අතර ඒවාට ගොස් තම රුපය අලංකාර කර ගන්නෝද බොහෝය. ඒ වෙනුවෙන් මුදලින් දහස් ගණනින් ගෙවීමටද ලෝභ නොවෙති. දීර්ග බෞද්ධ සංස්කෘතියකට උරුමයක් ඇති අපගේ මුතුන් මිත්තනියෝ තම සිත, කය දෙකම පිරිසුදු කර ගැනීමට එදා ගියේ පන්සලටය. මේ නිසාම වැවයි දා ගැබයි ගමයි, පන්සලයි අපේ උරුමය විය. එදා සතියකට වරක් නැතිනම් සතර පෝයට පන්සලට ගොස් සිත පිරිසිදු කරගත් මෙරට බෞද්ධ ජනතාව මනා කායික හා මානසික පාරිශුද්ධතාවයෙන් යුක්තව සිටිබව දැනට අවුරුදු හැට හැත්තෑව පසුකළ වැඩිහිටියන් හොඳින් දනිති.
වර්තමානයේ වැඩි පිරිසක් පන්සලකට ගොස් සිල් සමාදන් වන්නේ හෝ මල්පහන් පූජා කරන්නේ පසළොස්වක පෝය දිනයට පමණකි. පුරා මාසයක්ම අපිරිසුදු වූ සිත් එක දිනක සුළු වේලාවෙන් පවිත්‍ර කරගත හැකිද යන්න සිතා බලනු වටී. මාසයකින් පිරිසුදු නොකර පැවැති ගෙයක් , මිදුලක් වුවද නැවත පවිත්‍ර කිරීමට කෙතරම් වේලාවක් හා ශ්‍රමයක් යෙදවිය යුතුද එසේනම් මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් අපිරිසුදු වුණ සිතක් පසළොස්වක පෝය දිනක සුළු වේලාවක් තුළදී පිරිසුදු කරගැනීමට නොහැකිමය. සිත පිරිසුදු කර ගැනීමට පන්සලකටම යා යුතුයැයි නියමයක්ද නැත. දිනපතා නෑමට, දත් මැදීමට ඇඳුම් පිරිසුදු කරගැනීමට කාලයක් යොදවන්නාක් මෙන්ම තම තමන්ගේ සිත් පිරිසුදු කරගැනීමටද සුළු වෙලාවක් වෙන්කර ගැනීමට බැරි එහි ඇති වටිනාකම බොහෝ දෙනෙකු නොදන්නා නිසාය. එසේම සිතේ අපිරිසුදුභාවය පිටට නොපෙන්වා නො හඟවා සිටීමට හැකිවීම නිසාද සිත පිරිසුදු කරගැනීමට උනන්දු නොවෙයි.
සිත පිරිසුදුව ආරක්ෂා කරගැනීමේ වටිනාකම තේරුම්ගෙන ඒ සඳහා වෙනම කාලයක් යොදා ගැනීමට නොහැකිනම් කෙතරම් කාර්ය බහුල අයෙකුට වුවත් මුලින්ම නිදාගැනීමට පෙර නිදියහනේම වාඩිවී චතුආරක්ෂක භාවනාව සිහි කරන්න. බොහෝ දෙනෙකු දන්නා පහත සඳහන් ගාථා ධර්මයේ මෙකී භාවනාව අන්තර්ගත කොට ඇත.
නමාමි බුද්ධං ගුණසාගරං තං 
සත්තා සදා හොන්ති සුඛී අවේරා 
කායෝජි ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ 
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී ගුණ මෙනෙහි කරමින් සිතේ ශ්‍රද්ධාව වඩවා ගන්න. මේ සඳහා ස්වකීය භාෂාවෙන් අර්ථය සිහිකර ගනිමින් ඉතිපිසෝ ගාථාව කිහිප වරක් සිහියට නගා ගන්න. දෙවනුව සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න. තෙවනුව තම තමන් ගේ ශරීර තුළ පවතින පිළිකුල් සහගත ස්වභාවය ගැන සිතන්න. මේ ශරීර කෙතෙක් පිරිසුදු කර හැඩ වැඩ කළත් එය නැවත නැවත ජරාවට පත් වන්නේ ස්වභාවයෙන්ම මෙය පිළිකුල් සහගත නිසාය. සිව් වැනිව කිසියම් දිනක අන් සියලුම සත්වයන් මෙන්ම තමාද මරණයට පත්වන බව මෙනෙහි කොට නිදාගන්න. අඛණ්ඩව දිනපතා සිදු කිරීමෙන් මෙහි ඇති වටිනාකම මෙන්ම සත්‍යබවද තමාටම දැනෙනු ඇත.
ආශාවන් තුනීවි ආශාවන් පසු පස හඹායන ගති අඩුවීම, තරහව ,වෛරය ,ද්වේෂය හීනවී යාම, නොරිස්සුම් ගති පහව ගොස් සිතේ කරුණාව , අනුකම්පාව , දයාව තුළින් කලකිරීම්, පසුතැවීම් උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකිවීම, ලෙඩ දුක් හා මරණ හමුවේ දුක් නොවී පසුතැවිලි නොවී සිටීමේ මානසික ශක්තියක් ඇති වෙයි.
සිත පිරිසුදු වන විටදී ඔහුගේ ගතිගුණද පිරිසුදු වෙයි. තම නිවස මෙන්ම අවට පරිසරයද පිරිසුදුව තබා ගැනීමට උන්නදුවක් ඇතිවෙයි. කරන කියන කටයුතු කාර්යක්ෂමව , නිවැරැදිව, පිරිසුදුව කිරීමට හැකිවෙයි. කායිකවත් මානසිකවත් නිරෝගි පිරිසුදු පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙයි.
මාසයකට වරක් සිල් සමාදන් වී හෝ මල් පහන් පූජා කළ පමණින් සිත පවිත්‍ර කරගැනීම කළ හැකිද යන්න තම තමාම තේරුම් ගන්න. තම ශරීරය මෙන්ම අප එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා සෑම දෙයක්ම එදිනෙදාම පිරිසුදු කරගන්නාක් මෙන්ම උප උපන් මොහොතේ සිට මැරෙන තුරුත් ඉන් නොනැවතී භවයෙන් භවයට විවිධ ස්වරූප ගනිමින් ක්‍රියාත්මකව පවතින සිත දිනපතා පිරිසුදු කළ යුතුද නැද්ද යන්න මෙම ලිපිය කියවූ ඔබම නිගමනයකට බැසගන්න.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X