සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ආශ්‍රව ප්‍රහාණය

ගම්පහ සිරිසීවලී හිමි

බලන්න! ඔබේ සිතුවිලිවලින් මන කලතන තරමක්‌. මහා ජලාශයක මහා හඬින් කැලති, කැලතී කැකෑරෙන දිය සුළි වගේ මන කැකෑරෙනවා. මනස්‌ගාත යනු එයයි. මන ඝාතනය වීමයි. සමහරවිට ඔබ නොදැනුවත්වම යම් අරමුණක්‌ මත දින ගණනක්‌ මන දෝලනය වෙනවා.
පොඩි සිදුරක්‌ ඇති කුරුම්බා කෝම්බයකට වඳුරෙක්‌ අත අමාරුවෙන් දමයි. ලොඳ හූරයි. මිට මොලවා ගනී. නමුත් මොලවාගත් අත එළියට ගත නොහැක. දැඩි ලෝභයෙන් - කෑදරකමින් අත ඉවතට ගැනීමට උත්සාහ කරනවා. හූරාගත් ලොඳ අත හැරීමක්‌ නැත. මේ හේතුවෙන් මාරාන්තික දුකට පත් වේ. මෙසේ සත්වයාත් දැඩි වූ සිතින් අල්ලාගත් රූපාදී අරමුණු නිසා භවගාමී සංකාර ඇතිකර ගනී. ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී දුක්‌ ලබනවා. එහෙයින් සංයෝජන ප්‍රහාණයෙන් සසර ගමන නතර කිරීමට නම් අනුපිළිවෙළින් දිගින් දිගටම හටගන්නා සිතුවිලි අතහැරීමට වගබලාගත යුතුය. ඒ සඳහා එකම මග රූපයේ යථාර්ථය දැක එයින් මිදීමයි. අරූපී නම් ධර්මතාව වැඩීමයි. චිත්ත පාරිශුද්ධි භාවයට මන මත රූප සංකල්පනා පහළනොවීමේ ප්‍රතිපදාවේ යෙදීමයි. විඤ්ඤානයාගේ හටනොගැනීම නම් වූ රූප සංඛාර හට නොගැනීම බව දත යුතුය. ශාන්ති නායකයාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයෙන් ඒ සඳහා සුදුසු පරිසරයක්‌, ක්‍රමෝපායක්‌ නිර්දේශිතයි. 

මෙහිදී ශ්‍රාවකයාගේ පළමු අවධානය යොමුකරන්නේ,

- යෝනිසො මනසිකාරය හා

- අයෝනියෝමනසිකාරය නම් වූ ධර්මතා ගැනයි 

යෝනිසෝ මනසිකාරය ඇති ශ්‍රාවකයාට හටනොගත් ආශ්‍රව හටගන්නේ නැත. හටගත් ආශ්‍රව දුරුවෙනවා. - අයෝනිසෝ මනසිකාරය ඇති අයට හට නොගත් ආශ්‍රව හටගන්නවා. හටගත් ආශ්‍රව වඩා වැඩිවෙනවා. මේ ගැන සතිමත් විය යුතුය. පළමු පූර්වකෘත්‍යයයි.

1. අත්ථි භික්‌ඛවේ ආසවා - දස්‌සනා පහාතබ්බා

2. අත්ථි භික්‌ඛවේ ආසවා - සංවරා පහාතබ්බා

3. අත්ථි භික්‌ඛවේ ආසවා - පටිසේවනා පහාතබ්බා

4. අත්ථි භික්‌ඛවේ ආසවා - අධිවාසනා පහාතබ්බා

5. අත්ථි භික්‌ඛවේ ආසවා - පරිව-ජනා පහාතබ්බා

6. අත්ථි භික්‌ඛවේ ආසවා - විනෝදනා පහාතබ්බා

7. අත්ථි භික්‌ඛවේ ආසවා - භාවනා පහාතබ්බා

ඉහත දැක්‌වූ ආකාර හත මගින් ආශ්‍රව හෙවත් කෙලෙස්‌ ධර්ම තුනීකර ප්‍රහාණය කළ යුතුය. කෙලෙස්‌ නැතිකිරීමට නිශ්චිත එකම ක්‍රමයක්‌ නොමැති බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. ක්‍රම බොහෝය. හේතුව මනාවදැන ගැනීමත් හේතුව නැති කිරීමෙන් පලය නැති කිරීම පහසු බවත් සිහියෙන් - නුවණින් වීර්යයෙන් යෝගාවචරයා දක්‌ෂ විය යුතුය. 

1. දස්‌සනා පහාතබ්බා යනු දර්ශනයෙන් හෙවත් විදසුන් නුවණින් අනිත්‍ය, දුක්‌ඛ, අනත්ත ත්‍රිලක්‌ෂණය වැඩීමෙන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. ඒ බව රතන සූත්‍රයේ 'සහාවස්‌ස දස්‌සන සම්පදාය - තයස්‌සු ධම්මා ජහිතා භවන්ති...' යනුවෙන් වදාළේ එයයි. කාමාශ්‍රව, භවාශ්‍රව, අවි-ජාශ්‍රව නැති කිරීමයි. 'ආශ්‍රව' යනු අමනසිකාරය නිසා පල්වෙවී වැඩෙන කෙලෙස්‌ ධර්මයි. සීල සූත්‍රයෙන් දර්ශන සම්පත්තිය ඇතිකර ගෙන දස සංයෝජනප්‍රහාණය කරන ආකාරය පැහැදිලි කර ඇත. එම සූත්‍ර දේශනාවෙන් පංචඋපාදාන ස්‌කන්ධය හෙවත් සිත අනිච්ච, දුක්‌ඛ, අනත්ත වඩන අයුරුත් සියලුම ආර්ය ඵලලාභීත්වය ධම්ම නියාමතාවයට අනුව සිදුවන බවත් අර්ථවත් කර ඇත. 

2. දෙවනුව සංවරා පහාතබ්බා - ඇස, කණ, නාසය ආදී ඉඳුරන් සංවර කර ගැනීමෙන් ආශ්‍රව වලකාගත හැක.

'චක්‌ඛුනා සංවරො සාධු

සාධු සොතෙන සංවරො

ඝාණෙන සංවරො සාධු

සාධු ජිව්හාය සංවරො

කායෙන සංවරො සාධු

සාධු වාචාය සංවරො

මනසා සංවරො සාධු

සාධු සබ්බත්ත සංවරො

සබ්බත්ත සංවරො භික්‌ඛු

සබ්බ දුක්‌ඛා පමුඤ්චති'

ආයතනහයෙන් සංවර වීම සියලු දුකෙන් මිදීමට හේතුවේ. 

අයෝනිසෝ මනසිකාරය නිසා ආයතන සංවරය නොමැති තැන දුකට හේතු වූ තණ්‌හාව ඇති වේ. ඉන්ද්‍රිය සංවරය මගින් කෙලෙස්‌ නැතිකිරීම සමස්‌ත ධර්මස්‌කන්ධයෙන්ම අනුමත කර ඇත. පැහැදිලි කර ඇත. සීල,සමාධි, ප්‍රඥ බලගන්වනු ලබන්නේ සංවර වීමෙනි. සියලුම ආර්යඵල ලාභීත්වය සඳහා අරියකාන්ත ශීලයෙන් සමත්විය යුතුය. කෙලෙස්‌ වසඟයට පත්වන්නේ ඉන්ද්‍රිය අසංවරයෙනි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරය ආර්ය විනයේ කෙසේ විය යුතුදැයි පහදා දෙති.

ජංගලා ප්‍රදේශයේ සුවේළු වනයේ මුනින්ද්‍රයාණන් වහන්සේ වැඩ සිටින සමයක සුප්‍රසිද්ධ 'පාරාසිථිය' බ්‍රාහ්මණ ගුරුවරයාගේ ශිෂ්‍යයෙක්‌ වූ 'උත්තර' නම් මානවකයා බුදුන්වහන්සේ මුණ ගැසීමෙන් පසු මෙසේ පිළිසඳරක්‌ විය.

ගෞතමයාණන් වහන්සේ - උත්තර, ඔබගේ ආචාර්ය බ්‍රාහ්මණතුමා 'පාරාසිවිය' ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය සංවරය උගන්වනවාද?

උත්තර මානවකයා - ගෞතමයාණන් වහන්ස, එසේය, පාරාසිවිය බ්‍රාහ්මණතුමා ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය සංවරය උගන්වනවා.

ගෞතමයාණන් වහන්සේ - උත්තර, එතුමා කවර ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරය උගන්වනවාද? 

උත්තර මානවකයා - ගෞතමයාණන් වහන්ස, ඇසින් රූප නොබැලීම, කනින් ශබ්ද නොඇසීම, නාසයෙන් සුවඳ දුගඳ නොගැනීම, ආදී වශයෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නා ලෙසයි ආචාර්යවරයා ඉන්ද්‍රිය සංවරය උගන්වන්නේ.
ගෞතමයාණන් වහන්සේ - උත්තර, 'පාරාසිවිය' බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම අනුව අන්ධයන්ට ඉන්ද්‍රිය සංවරය හොඳින් සිදුවෙනවා. ගොළුවන්ට ඉන්ද්‍රිය සංවරය හොඳට පිහිටවනවා. හේතුව ආන්ධයන්ට රූප පේන්නේ නැහැනේ. බිහිරන්ට ශබ්ද ඇසෙන්නේ නැහැනේෘ
ගෞතමයාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් උත්තර මානවකයා බිමට හරවාගත් මුහුණින් යුතුව කිසිවක්‌ කර කියා ගත නොහැකිව නිහඬ විය. එවිට ගෞතමයාණන්වහන්සේ ආනන්ද හිමියන් අමතා ආනන්ද, පාරාසිවියගේ ඉන්ද්‍රිය භාවනාව එකකි. ආර්ය විනයේ ඉන්ද්‍රීය භාවනාව අනිකකි. වෙනස්‌ එකකි. ආනන්ද හිමියන්ගේ ආරාධනාවෙන් ගෞතම දේශනාව වදාළහ.
ආනන්ද, භික්‌ෂුව ඇසින් රූප දකී. මනාප රූපයේ කැමැත්ත ඇති වේ. අමනාප රූපයෙහි අකමැත්ත ඇති වේ. නැතහොත් ඒ රූපයේ මනාප අපනාප බව හෙවත් මැදහත් බව ඇති වේ. (සුඛ වේදනාව, දුක්‌ඛ වේදනාව, උපේක්‌ඛා වේදනාව) සිහියෙන් යුත් සතියෙන් යුත්, යෝනිසෝ මනසිකාරයෙන් යුත් භික්‌ෂුව තමා තුළ හෙවත් සිත තුළ රූපය කෙරෙහි මනාපයක්‌ ඇති වූ බව දැනගනී. අමනාපයක්‌ ඇති වූ බව දැනගනී. මැදහත් සිතක්‌ හටගත් බව දැනගනී. මේ සිත සංකත ධර්මයක්‌, ස්‌වභාව ධර්මයක්‌, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්‌. එය නිවීම පිණිස, සැනසිල්ල පිණිස, සැපය පණිස හේතු නොවේ. ඕලාරික හෙවත් කෙලෙස්‌ වැඩෙන ස්‌වභාවයෙන් යුක්‌තයි. මනාප නිසා ඇලෙන ස්‌වභාවයද, (සුඛ වින්දනය), අමනාපය නිසා ගැටෙන ස්‌වභාවයද (දුක්‌ඛ වින්දනය), මනාප - අමනාප තත්ත්වයේදී මැද බවද (සුඛ දුක්‌ඛ මසුඛ) එම නිසා මුලාවීමෙන් ශාන්ත ප්‍රනීත බවක්‌ කිසි ලෙසකින් ප්‍රකට නොවන බවත් දකී. එසේ බලාපොරොත්තු විය නොහැක. හේතුව අන්තගාමී නිසා, රූපයාගේ යථාර්ථය විනිවිද දකින යෝගාවචරයා උපේක්‌ෂාව අරමුණෙහි ස්‌වභාවය, හටගත් සිතේ ස්‌වභාවය, යථාභූත බව හෙවත් ප්‍රකෘතිය විනිවිද දැක අන්තයකට නොගොස්‌ අවබෝධයෙන්ම තණ්‌හාවෙන් සිත මුදාගනී. එළඹ සිටි සිහියෙන් වෙසෙන භික්‌ෂුව ආර්ය විනයේ උගන්වන උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව මෙසේ ඇතිකරගෙන වාසය කරයි.
මෙසේ ඇස, කන, නාසය, දිව, කය, මන ඉන්ද්‍රිය සම්බන්ධයෙන් විමසුම් බුද්ධියෙන් භාවිතේන්ද්‍රිය ඇති පුද්ගලයාට ඉන්ද්‍රිය භාවනාව මනා සේ වැඩේ. මේ මානසික සංවරයෙන්ම යෝනිසෝ මනසිකාරයෙන්ම ඉඳුරන් දමනය කළ යුතු වේ. එසේ නොමැතිව ඇස්‌ පියාගෙන රූපය නොබැලීමෙන් හෝ කටපියාගෙන වචන පිට නොකිරීමෙන් හෝ කණට ඇබයක්‌ ගසාගෙන කණට වැටෙන හඬ නොඇසීමෙන් හෝ දිවෙන් රස නොලැබීමෙන් හෝ ඉන්ද්‍රියට අරමුණු නොගෙන සිටීමෙන් ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඉන්ද්‍රිය භාවනාව නොවැඩේ. කතා නොකර සිටීමෙන් වචනයෙන් සිදුවන සියලු වැරැදි සිදුනොවේ නම් ගොළුවා මුළු ජීවිත කාලය තුළම වචී දුෂ්චරිතයෙන් මිදුනා වේ. ජීවිත කාලය තුළම කුසල් වැඩෙනු ඇත. අත් පා නැති නපුංසකයා ප්‍රාණ ඝාතය, අදින්නාදානය, කාමමිච්ඡාචාරය සිදු නොකරයි. එසේ නම් කාය දුෂ්චරිතයෙන් මිදුනා වේ. එමෙන් කුසල්ද වැඩෙනු ඇත. චේතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා' ඉහත වැරැදි අදහස්‌ මත ගොඩනැගෙන වාරිත්‍රයක්‌ වේ නම් ඒ සියලු දැ සීලබ්බත පරාමාසය අකුසල චෛතයිකයක්‌ම වේ.

තෙවනුව පටිසේවනා පහාතබ්බායි - සාපිපාසා, රෝගාබාධ, සීත උෂ්ණ අවස්‌ථාවලදී ආහාර පාන, බෙහෙත්ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, බඩු බාහිරාදිය පරිහරණය කළයුතු වේ. ඒ සෑම අවස්‌ථාවකම තමන් 'පරපටි බද්ධා මේ ජීවිකා ඕරොපේතා' යනාදී වශයෙන් සිහියෙන් යුක්‌තව අනුන්ගෙන් ලැබෙන දෙයකින් යෑපෙන, කල් ගෙවන ජීවිත පැවැත්මක්‌ ඇති කෙනෙක්‌ය යන ප්‍රත්‍යාවේක්‌ෂාවෙන් යුතුව ලැබෙන දැ පරිහරණය කළ යුතුය. එසේ වීමෙන් බඩුබාහිරාදිය හෙවත් භෞතික මෙවලම් කෙරෙහි ආශ්‍රව නූපදීනු ඇත. ආසව දුරුවේ. 
සිව්වෙනුව අධිවාසනා පහාතබ්බා - අධිවාසනායනු ඉවසා දරා ගැනීමේ මානසික ශක්‌තියයි. සීත, උෂ්ණ, ඉවසීම, බඩගින්න, පිපාසය දරාගැනීම, ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, කටුක තියුණු කායික දුක්‌වේදනා ඉවසීම, අනුවණ දුර්දාන්ත මිනිසුන්ගේ අපහාස උපහාස නුවණින් ඉවසීමයි. නමුත් ඉහත කරුණු ගැන පුහුදුන් මානසිකත්වය ඇති අයට ඉවසීමේ දරාගැනීමේ නොහැකියාව නිසා ආශ්‍රව වඩාත්ම වැඩේ. සතිමත් යෝගාවචරයාට ලෝකයේ ප්‍රකෘති ස්‌වභාවය ගැන දැනුවත්වීම මතම අධිවාසනා පහාතබ්බා හෙවත් ඉවසීමෙන් ආශ්‍රව දුරුකරගත හැක.



පරිව-ජනා පහාතබ්බා පස්‌වැන්නයි.

නුවණින් බැහැර කිරීම, ශාසනික ප්‍රතිපදාවට භාවනානුයෝගී ජීවිතයට වනමෘගයන් හෙවත් නපුරු අලි ඇතුන් ගහන වන ප්‍රදේශ, දරුණු කොටි-වලස්‌ ගහන ප්‍රදේශ, විෂ ඝෝර සර්පයන් නොමැති ප්‍රදේශ දැනගෙන තැන නොතැන හඳුනා ගැනීම කළ යුතු වේ. ගවයන් බල්ලන් ආදී සතුන්ද වනදුර්ග, ගිරිදුර්ග කටුකොහොලින් යුත් යෝග්‍ය නොවන තැන අතහැරීමත් අපාය සහාය හෙවත් පාප මිත්‍රාදීන් දුරින් දුරු කිරීම ආශ්‍රව නැති කිරීමට ඉතා හිතකරයි.

හයවැන්න විනෝදනා පහාතබ්බා

ආශ්‍රව නුවණින් අතහැරීමයි. කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, විහිංසා සිතුවිලි ජනිතවීමට හට ගැනීමට බොහෝ ඉඩකඩ ඇති තැන් හඳුනාගෙන අතහැරීම කාම සිතුවිලි හටගත්තාම ඉවසන්නේ නැහැ. ද්වේෂය, මෝහය, හටගත්තාම ඉවසන්නේ නැහැ. දුරින් දුරු කරනවා. හටගන්න කොටම අවදිමත් සතියෙන්ම ආදීනව දැක දුරුකිරීම, කාම විත්තක, ව්‍යාපාද විත්තක, විහිංසා විතක්‌කයි.
සත්වැන්න භාවනා පහාතබ්බයි සමථ, විදර්ශනා භාවනා මගින් මන ශක්‌තිමත් කර කෙලෙස්‌ මුලින් උපුටා දැමීමයි. සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම වඩාගෙන පටිච්ච සමුප්පාද, හේතුඵල, චතුරාර්යය සත්‍ය ත්‍රිලක්‌ෂණ අවබෝධය මතින් භාවනා මගින් සසර ගමන නිමාකිරීමේ ප්‍රතිපදාවයි.
ආසව ධර්ම හෙවත් කෙලෙස්‌ හඳුනා ගැනීමත් ඒවා නැතිකිරීමේ සම්‍යක්‌ ප්‍රතිපදාවත් සබ්බාසව සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. හේතු ගැන මනා අවබෝධයක්‌ ඇතිකරගත යුතුය. ප්‍රතිපදාවේ යෙදීමෙන් ආත්ම ප්‍රත්‍යවේක්‍ෂණය කිරීමෙන් තමන්ට ලැබෙන කායික මානසික චෛතසික සුවය හෙවත් නිරාමිස සැපය යෝගාවචරයා මෙලොවදීම ආර්ය ඵලලාභීත්වයෙන් දැක ගනී. දැන ගනී. 
මෙමගින් සත් සිත් බෝධි පාක්‌ෂික ධර්ම වැඩේ. යෝගාවචර බෝධි සත්ව ගුණෝපේත ආර්ය ශ්‍රාවක භාවය ලැබ නිවනට නියත 'නියතො සම්බෝධි පරායණෝ' උත්තමයෙක්‌ වේ.

මෙසේ 

- අසේස - ඉතිරි නොකොට

- විරාගො - විරාගීව

- නිරෝධෝ - රෝද නොමැතිව

- චාගො හිතෙන් අත්හැරීම

- පටිනිස්‌සගෙගා - දුරුකිරීම

- මුක්‌ති - මිදීම

- අනාලයෝ - ආලය නොකිරීම, නොඇල්ම

ඉහත ධර්මතා තමා තුළ විද්‍යමාන වෙන්න, වෙන්න සත්‍ය වෙත, විද්‍යාව වෙත ළංවනු ඇත. ලෝක ධර්මයන්ගෙන් වෙන්වීම, මිදීම, නොඇල්ම වශයෙන් පැහැදිලි වන්නේ නිරෝධයේ යථාර්ථයයි. සංකාර නිරෝධයෙන්, විඤ්ඤානයාගේ නිරෝධයෙන්, භව නිරෝධයයි. සංකල්පනා වශයෙන් අතීත, අනාගත සිදුවීම් හා සිදුකළ යුතු දැ එකිනෙක ගැටගසා සිතින් රවුම් ගැසීම එකින් එක එකතු කර පෝෂණය කිරීම මතක ගබඩා කිරීම, මතකය සනාථ කිරීම සඳහා අවධියෙන් සිටීම නිසා උපාදාන නම් ස්‌වභාවය හටගනී. එයම චිත්තජ වී කම්මජ බවට පත් වේ. මුහුකුරා යයි. පරිපාකයට යයි. යෝනිසෝ මනසිකාර මතින් අතීත අනාගත අරමුණු පුනරාවර්තනය නොවීම නිසා වර්තමානයේ විඤ්ඤාණයාගේ පෝෂණය සිදු නොවේ.
අවබෝධයෙන් යෝනිසෝ මනසිකාරයෙන් සිටීම යනු අධ්‍යාත්මයෙන් අවදිවීමයි. ඉහත දැක්‌වූ කරුණු මත ජීවත්වීම නොව අවබෝධය මත ආයාසයෙන් තොරව සිටීමට ඔබ පෙළඹෙයි. චාරිත්‍ර විධ, ආගමික ඉගැන්වීම් මත කෘත්‍රීම ජීවිතයකට තල්ලුකිරීමක්‌ නැත. මේ මග අවදානම්ය. හේතුව කවදාවත් නොකළ බැවිනි.
දුක විහරණයට ප්‍රතිපක්‌ෂ විඤ්ඤාණයාගේ පෝෂණයට නොවැදගත් ක්‍රමයකි. මෙහිදී ඔබ සන්සුන්වීම වැදගත්ය. ඉවසා සිටීමට දක්‌ෂ විය යුතුය. විඳ දරා ගැනීමේ හැකියාව තිsබිය යුතුය. ඔරොත්තුදීමේ උත්තම ගුණයන්ගෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍යය. ධර්මය ප්‍රගුණ කරන්න දෙයක්‌ නොවේ. අධර්මය හඳුනාගැනීම ඉතා ශ්‍රේෂ්ඨය. හේතුව ඒ තුළ සියලුම ගුණධර්ම මතුවීම ස්‌වභාවිකය. සචිත්ත පරියෝදපනය වීමයි. පිරිසිදු සිත මතුවීමයි. සමාජ සාධාරණය සමාජ සාධාරණය සමාජ සාදාචාරය යනු මිනිසුන් විසින් මානසිකව මවාගත් මනඃකල්පිත දේවල්ය. අසාධාරණයෙන් හා දුරාචාරයෙන් තොරව සිටීම යනු ස්‌වකීයත්වයෙන් තොරව විසීමම වේ.
මුලින් සඳහන් කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාරාසිවිය බමුණාගේ දර්ශනය අනුව කථා කිරීම නැවැත්වීමෙන්, බලාසිටීම නැවැත්වීමෙන් අසා සිටීම නැවැත්වීමෙන් එක විදිහකට එක්‌තරා නිහඬ බවක්‌ පෙනේ. එය පෙනෙන මානයේ තීරණයකි. එහෙත් එයනියම නිහඬ බව නොවේ. භාවනාවේදී පවා අරමුණු ගෙන මනසිකාරය කරන බැවින් අනස්‌සිතොච විහරති නම්වූ ධර්මතාවට කිසිසේත් ළංනොවනු ඇත. මෙනෙහි නොකිරීමේ පදනම මත 'නච කිංචිලෝකේ උපාදියති' කිසිම ලෝක ධර්මයක්‌ උපාදානය නොවීම වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X