සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සිතත් සිතිවිලිත් නිවැරැදිව හඳුනාගන්න

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි
 සැබෑවටම සතුට සංතෘෂ්ටිය සොයාගෙන යන ගෘහස්ථ ජීවිත ගත කරන සෑම කෙනෙකුටම පත්තකම්ම නම් වූ මේ සූත්‍ර දේශනාව මහත් වූ සුවදායක බවක් ඇති කරන බව පැහැදිළියි.

තුන්ලොවක් සැනසූ සියල්ල දත් තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දහම් කරුණු මොනතරම් ජීවිතවලට වටිනවාද කියල ඔබම නුවණින් සිතල බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ගෘහපතිය, යම් කලෙක මේ උපාසක, උපාසිකාවකගේ ආර්ය ශ්‍රාවකයකුගේ ඉහත සඳහන් කළ අයුරින් දැඩි ලෝභ සහිත ආශාව අභිජ්ඣාව විෂම වූ ලෝභය සිතේ පවතින උපක්ලේෂයක් හැටියට දැකගෙන සිතේ නිතර හටගන්න ක්ලේෂයක් සිතිවිල්ලක් හැටියට දැකගෙන ඒ කෙලෙස් සිතුවිලි එනම් අභිජ්ඣා විෂම වූ ලෝභය ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ප්‍රහාණය වෙනවා. ව්‍යාපාදයේ ඇති භයානක බව, උපක්ලේෂයක් බව දැකගෙන, එය සිතෙන් බැහැර කරන්න උත්සාහ කරනවා. බැහැර වෙනවා. ථිනමිද්ධය, නිදිමත ගතිය, අලස ගතිය උපක්ලේෂයක් හැටියට තේරුම් අරගෙන සිතෙන් බැහැර කරන්නට උත්සාහ ගන්නවා. බැහැර වෙනවා. ඒ වගේ ම සිතේ නොසන්සුන්කම හා පසුතැවීමත් උපක්ලේෂයක් හැටියට දැනගෙන සිතේ හට ගන්න කෙලෙස් බව දැනගෙන, එය ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව, එනම් බුද්ධා දී අටතැන්හි සැකය, හරියට පාරක් දන්නෙ නැතිව අරමුණක් නිසිලෙස නැතිව, හතරමං හන්දියකට පැමිණුන කෙනෙකුට මොන පැත්තකට හැරෙනවා ද? ගමන් කරනවා ද සිතා ගන්න බැරිවෙනවා වගේ විචිකිච්ඡාව නම් වූ උපක්ලේෂය මැනවින් තේරුම් අරගෙන ඒ උපක්ලේෂයන් සිතින් බැහැර කරනවා. ඒ වගේ ම ප්‍රහාණය වෙනවා. අන්න මෙවැනි කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් කියල කියනවා. පෘථුල ප්‍රඥාවක් තියෙන කෙනෙක් කියල කියනවා. ආපාත දන්නේ යැයි කියනවා. ඉදිරිය මැනවින් දකිනවා. අනාගතයේ හොඳ මොකක්ද? මොන ආකාරයට හැසිරුණොත් ද ජීවිතය යහපත් කර ගන්න පුළුවන්, නොකළයුතු දේවල් මොනවාද? කියල තේරුම් ගන්නවා. ඒකට කියනවා ආපාත දන්නේ වෙයි කියලා. මෙයට කියනවා ප්‍රඥා සම්පත්තිය කියා. නැතිනම් ප්‍රඥා සම්පදාව කියල. ප්‍රඥාවෙන් යුක්තයි කියල.
මෙන්න මේ විදිහට සද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, ප්‍රඥා සම්පදා යම් කෙනෙකුගේ ජීවිතයට එකතු වුණොත් අර ඉහතින් සඳහන් කළ ලෞකික ජීවිතයකට ධර්මානුකූලවම ඒ දහම් කරුණු ඉටුකරගන්න පුළුවන්. ඔබ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුණු කෙනෙක් ඒ වගේ ම සතුටට පත් වූ කෙනෙක් බවට පත්වෙනවා. මේ දහම් කරුණු විමසා බලන විට පැහැදිලි වෙන්නෙ කෙනෙකුගේ ජීවිතයේ පිරිසුදු කමත්, අපිරිසුදුකමත්, එහෙම නැත්නම් කෙනෙකුගේ ජිවිතයේ දියුණුවත් පිරිහීමත් පවතින්නෙ ප්‍රධානම කරුණ නම් තමන්ගෙ සිත හා සිතිවිලියි.
සිත, සිතිවිලි හරියට දැන හඳුනාගෙන සකස් කොට ගත්තොත් බාහිර වස්තූන් නිවැරැදි ආකාරයකින් ලබාගෙන කයිනුත්, මනසිනුත් නීරෝගීව දීර්ඝායු සම්පත්තිය ලබන්න පුළුවන් බව පැහැදිලි වෙනවා. යම් කෙනෙක් සතුටට කියල මිල මුදල් ලක්ෂ ගණනාවක් කෝටි ගණනාවක් සොයාගෙන යන්න පුළුවන්. ඒත් ඒ අය සතුට ලබන්නෙ නැතිවෙන්න පුළුවන්. මෙතෙක් සඳහන් කළා වගේ සද්ධා, සීල, චාග, ප්‍රඥා සම්පදා ගුණයන්ගෙන් සම්පන්න නොවීම නිසාය. තවත් කෙනෙක් මෙම ගුණයන් තමන්ගේ ජීවිතවලට එකතු කර ගත්තහම ලක්ෂ කෝටි ගණන් මුදල් නැතිවුණාට දුකක් කරදරයක් නැතිව ජීවත්වෙන්න තරම් ධනයක් ඒ ජීවිතවල උපයාගෙන තියෙනවා. හැකි ආකාරයෙන් දෙමාපියෝ, අඹු දරුවෝ, ස්වාමි භාර්යා යුතුකම් සිද්ධ කරනවා. ඒ අයගේ සිත්වල පිරුණු සතුටක් තියෙනව කියල අද්දැකීමෙන් ම කියනවා. ධර්ම අවබෝධයෙන් තොර කෝටි ගණනාවක් එකතු කරගත්තත් සතුටක් නැතිව ජීවත්වෙන කෙනෙකුට වඩා ධර්මානුකූලව ජීවිතය පවත්වල ස්වල්ප වූ ධනයෙන් පවා මහත් වූ සතුටකින් ජීවත්වෙන අය ගැන ඔබට කුමක් ද? සිතෙන්නෙ. මේ දෙවනුව සඳහන් කළ සතුටෙන් ජීවත්වන අය බොහොම වැදගත්. මමත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෙ කියල ඔබේ ඔය සුපසන් සිතට දැනෙනවාද? මොහොතකත් සිහිපත් කරල බලන්න.
අර මුලින් සඳහන් කළ ඉටුවඩන, මනවඩන, ප්‍රිය ස්වභාවයෙන් සිතන දුර්ලභ වූ දහම් කරුණු ප්‍රතිලාභයට එනම් සැපත ලබා ගන්න තවත් දහම් කොටසක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නල දෙනවා. ඒ මොනවාද? මේ ආර්ය ශ්‍රාවකයා එනම් උපාසකයෙක් හෝ උපාසිකාවක් උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහදිය මහන්සියෙන් යම් වූ ධර්මානුකූලව දහමේ ම හැසිරෙමින් යම් ධනයක් ලබල කරුණු හතරක් ඉෂ්ඨ කරනවා. ධර්මයේ සඳහන් කළේ,
“අරියසාවකො උට්ඨාන විරියාදිගතේ හි
භෝගේහි බාහාබලපරිචිතේහි
සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි
ධම්මලද්දේහි චත්තාරි කම්මානි කන්තා හෝති”
දැන් බලන්න ප්‍රාණඝාත කරල, සොරකම් කරල නෙමෙයි ධනය ලැබුවේ, උට්ඨාන වීර්යයෙන්, නොපසුබට වීර්යයෙන්, බාහු බලයෙන්, දහඩිය මුගුරු වගුරවල මහන්සිවෙලා තමයි දැහැමිව ධර්මානුකූලව ම ඒ භෝග සම්පත් ලැබුවේ. එහෙම ලබල පැත්තකට දමල තියන්නෙ නැහැ. අනිත්‍ය වූ ලොවක් තුළ ධර්මානුකූලව හරි හම්බ කරගත්ත දේවල් යහපත් වූ කරුණු වෙනුවෙන් ම යොදවනවා. ඒ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙලොව ආර්යය ශ්‍රාවකයෙක් උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහඩිය මහන්සියෙන්, ධර්මානුකූලව දහමේ හැසිරෙමින් සොයාගත්ත ඒ ධනයෙන්, භෝගවලින් තමා සුඛිත කරනවා. එනම් තමා සතුටින් ජීවත් වෙනවා. අවශ්‍ය ආකාරයෙන් ආහාර ගන්නවා. ඇඳුම් පැළඳුම්වලට වියපැහැදම් කරනවා. ලෙඩට දුකට විය පැහැදම් කරනවා. තමාට අවශ්‍ය දේවල් ලබාගන්නට නිවැරැදි ආකාරයට වියපැහැදම් කරනවා. තමන් සතුටින් ජීවත්වෙනවා කීවේ ඒකයි. ලෙඩක් දුකක් කරදරයක් නැතිව හොඳින් ජීවත්වෙන්න පුළුවන් සිතයි, ගතයි හයිය කෙනෙක් බවට පත් කර ගන්නවා. ඉතාම හොඳින් සැප සේ ජීවිතය පවත්වනවා. දැඩි ආශාවක්, තෘෂ්ණාවක් නැහැ. එනමුත් ලද භෝග සම්පත්තියෙන් සුවසේ ප්‍රසන්නව ජීවිතය පවත්වනවා. ඔබගෙ ජීවිතවලට ගැළපුවොත් මේ වගෙයි.
සාමාන්‍යයෙන් තුන්වේලම ඉතාම හොඳින් පෝෂ්‍යදායී ආහාර ගන්නවා. තැනට ගැළපෙන ආකාරයෙන් අඳින්න පළඳින්න පුළුවන් ඇඳුම් පැළඳුම් ආභරණ තියෙනවා. ගමනක් බිමනක් යන්න පවා තමන්ට යම් විටක යාන වාහන තියෙන්න පුළුවන්. මෙන්න මේව තමයි සඳහන් කළේ හොඳින් සැපසේ ජීවිතය පවත්වනවා කියල. තමන් නිවැරැදිව ලබාගත්ත ධනයෙන් තමන් සතුටින් පරිහරණය කරමින් ජීවත්වෙනවා වගේ ම මවුපියන්වත් සුඛිත මුදිත කරනවා. සැපෙන්, සතුටින් ජීවිතය පවත්වන්නට උපකාර කරනවා. එවැනි සිතකට මොනතරම් නිවීමක් සුවපත්භාවයක් ඇතිවෙන්නට පුළුවනිද?
මේ ලෝකයට මාව බිහිකළ දෙමවුපියෝ පවා දැන් සතුටින් ජීවත්වෙනවා. අද දවසේ මම මේ ධන සම්පත් සොයාගෙන සතුටින් ජීවත්වෙන්නෙ මගේ දෙමවුපියෝ මා මේ ලෝකයට බිහිකරල කුඩා කළ පටන් ඉතා හොඳින් හැදූ වැඩූ නිසයි. ලොකුමහත් වෙනකොට, තරුණ වයසට පත්වෙනකොට, සිය දහසක් පිරිස තමා වටා එකතු වුණත්, නුඹ සමඟ ඉන්නවා ය කියල අත්වැල් පටලාගෙන සිටින්න තරම් ජීවිතයට එකතු වුණත්, මුලින් ම දරුවනේ කියල සම්මුතිය තුළ නමුත් නුඹ මගේ කියල කතා කළ දෙමාපියෝ සිත්වලින් අමතක වෙනේනෙ නැහැ. ඒ නිසා ඒ දෙමාපියන්වත් සතුටු කරනවා. සැපසේ තබනවා. සම්පත්වලින් සතුටින් බලසම්පන්න කරනවා. ඉතාම හොඳින් සැපවත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දෙනවා. තමන් සතුටින් ජීවත්වෙලා, දෙමාපියොත් සතුටින් තබලා, ඊළඟට අඹු දරුවන් ස්වාමියා බිරිඳ වශයෙන් දරුවන් වශයෙන් ඒ අයටත් කළ යුතු යුතුකම් වේනම් ඒවා කරනවා.
ඒ විතරක් නෙමෙයි දැසිදස් කම්කරුවන්ටත්, අන්න එවැනි අවස්ථාවක් සලසා දෙනවා. ඒ අය සතුටු කරනවා. සැපයෙන් තබනවා. සැපයෙන් බල සම්පන්න කරනවා. ඉන් අදහස් කළේ අප සතුටින් ජීවත්වෙනවා කියල හිතන්න සතුටුවෙන්න තරම් ඒ සිත් හයිය කරනවා කියන එකයි. ඒ වගේ ම ඉතා ම හොඳින් සැපසේ ජීවිත පවත්වන්න ඒ අයට අවස්ථාව සලසා දෙනවා. තමන්ගේ ස්වාමියාට, බිරිඳට, දරුවන්ට වගේ ම දැසි දස් කම්කරුවන්ටත් තමන් යුතුකම් කරනවා.
අපි මෙහෙම සිතමු, තමාගේ ගෙදර වැඩට කෙනෙක් සිටිනවාය කියල, සේවකයෙක්, සේවිකාවක් සිටිනවා කියන අදහසම නොවෙන්නට පුළුවනි. තමාගේ ගෙදර හදන බාස්උන්නැහැ කෙනෙක්, ඒ වගේ ම අනිකුත් කටයුතු කරන්න අවශ්‍ය යම් කාරුණික අයෙක්, වත්තපිටිය සුද්ද පවිත්‍ර කරන්න යම් අයෙක්, එවැනි කෙනෙකුට පවා සැපසේ සිටින්න අවශ්‍ය යම් ධනයක් දෙනවා. වියපැහැදමක් දෙනවා. ගෙවීමක් කරනවා. දුක් වෙන්න නෙමෙයි සතුටුවෙන්නට ම ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා. ඊළගට තමන් ධර්මානුකූලව සොයාගත්ත ධනයෙන් තමනුත් සතුටුවෙලා ක්‍රමක් ක්‍රමයෙන් හැමදෙනාම සතුටෙන් පවත්වන්න හැකි ආකාරයෙන් උදව් උපකාර කරන ආකාරය පැහැදිලියි.
ඒ වගේ ම තමන්ගේ හිත මිතුරු අයටත් උදව් උපකාර කරනවා. අවශ්‍ය වෙලාවක දී යහළු හිතමිතුරන්ටත් උදව් උපකාර කරන්න ඕනෙ. ඒ අයත් සැපවත් කරනවා ඒ අයත් බලසම්පන්න කරනවා. ඒ අයටත් හොඳින් ජීවත්වෙන්න හැකි ආකාරයෙන් උදවක් උපකාරයක් කරනවා. මේ තමයි සඳහන් කළේ ධර්මානුකූලව, උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන්, දහදිය මහන්සියෙන්, දැහැමිව ජීවත්වෙමින් සොයාගත්ත ධනයෙන් කරන යුතුකම් කියල.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X