සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දුර්ලභ වූ දහම් කරුණු හතර අවබෝධයෙන් දකින්න

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අද දවසෙ බලාපොරොත්තු වෙන්නෙ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් “පත්තකම්ම” නම් වූ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දහම් කතාවක් පෙන්වා දෙන්නයි.
තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කලෙක දිනක්, අනේපිඬු සිටාණන්, බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වන්දනා කර එකත්පසක වාඩිවුණා. එසේ එකත්පසක වාඩි වූ අනේපිඬු සිටාණන්ට බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම කතාව පැහැදිලි කළා. සැබෑවට ම සංතෘෂ්ටිය, සතුට සොයාගෙන යන ගෘහස්ථ ජීවිත ගත කරන හැම කෙනෙකුටම මෙම දහම් පෙළ මහත් වූ සුවදායක බවක් ඇති කරන බව පැහැදිළි වෙනවා. මේ කියවන ඔබත් ඔබේ ජීවිතයට ගළපාගෙන ම මේ දහම් කතාව බලන්න.
“චත්තාරො මේ ගහපති ධම්මා ඉට්ඨා
කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං”
ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ දහම් සතරක් පවතිනවා.

නැවතත් එහි තේරුම සරලව සඳහන් කළොත් තමන් කැමැති දේවල් ඉටුකරගන්න බලාපොරොත්තු වන, සිත සතුටු කරන, සිතේ ප්‍රියභාවයක් ඇති කරන දුර්ලභ වූ දහම් කරුණු සතරක් පවතිනවා. ඒ කවුරු වෙනුවෙන් ද සතුට සැනසිල්ල සොයාගෙන යන ගෘහස්ත ජීවිත ගත කරන අය වෙනුවෙන්මයි.
සද්පුරුෂ ලෝකාය් පළමු ධර්ම කරුණ – මට භෝග සම්පත් ලැබෙන්න, එහෙත් ධර්මානුකූලවමයි. ඒ භෝගසම්පත් ලැබෙන්නට ඕනෙ. සද්පුරුෂ යම් කෙනෙක් තමන්ගෙ සිතේ තියෙන කැමැත්ත ඉටු කරගන්නට සිතන්නෙ අන්න ඒ විදිහටයි. එනම් ධර්මානුකූලවම මට යම් ධනයක් ලැබෙන්න කියන අදහසයි. දෙවැනි කරුණ නම් ධර්මයෙන් ඈත්වෙන්නෙ නැතිව භෝග සම්පත් ලබාගෙන ඒ වගේ ම තමන්ගේ ඥාතීනුත් අත්හැර ගන්නෙ නැතිව තමන්ට අකුරු ඉගැන්වූ ගුරු දෙමාපියන් බැහැර කරන්නෙ නැතිව තමන්ගේ පිරිවර සම්පත්තිය වැඩෙන්න තමන් හා එකතු වෙන්න කියන අන්න ඒ හැඟීමයි. මෙයත් සද්පුරුෂ ලෝකයා සිතන කරුණකි.
ධර්මානුකූල ජීවිතයෙන් බැහැරවෙන්නෙ නැතිව ඥාතීන් පවා අත්හරින්නෙ නැතිව, ගුරුවරුන් තමන්ගෙන් බැහැර වෙන්නෙ නැතිව පරිවාර සම්පත්තියත් ලබාගෙන කාලයක් ජීවත්වෙන්න ඕනෙයි කියන කරුණයි. එනම් දීර්ඝායුෂ සම්පත්තිය ලබන්නට ඕනෙ කියන කරුණයි. ලෝකයේ සද්පුරුෂ මනුෂ්‍යයෝ සිතේ තියෙන බලාපොරොත්තුවක්, සිහිනයක් ඉටුකරගන්න ඕනෙ කියන අදහස් අතර ඒ තුන්වෙනි ධර්ම කරුණයි.
හතරවෙනි ධර්ම කරුණ නම් ධර්මයෙන් බැහැර වෙන්නෙ නැතිව ධනයකුත් ලබල, ඥාතීනුත් එකතු කරගෙන, ගුරුවරුන්ගෙනුත් බැහැර වෙන්නෙ නැතිව, පරිවාර සම්පත්තියත් ඇතුව කාලයක් දීර්ඝායු සම්පත්තිය ලබාගෙන ජීවත්වෙලා මරණයෙන් පසුව දෙව්ලොවක එනම් සුගතියක ඉපදෙන්නට හැකියාවක් ලැබේවායි කියන අදහසයි. සිත්වල තියෙන බලාපොරොත්තු ඉටුකර ගන්න කැමැති ප්‍රිය සිතිවිලි හැටියට දකින දුර්ලභ වූ දහම් කරුණු හතර මේ ආකාරයෙනුයි විස්තර වන්නේ.

මේ ධර්ම කරුණු හතර පිළිබඳව අපි තරමක් පුළුල් ආකාරයෙන් විමසල බලමු. ලෝකයේ මනුෂ්‍යයෝ මොන භාෂාවකට, ආගමකට, ජාතියකට අයිති වුණත් ඔවුුන්ගේ වචනවලට සිතිවිලිවලට ඇතුළු කොට බැලුවොත් මෙවැනි අදහස් පෙළක් හැම කෙනෙක් ම සිතන බව බලාපොරොත්තු වන බව පැහැදිලියි. පළමු කරුණ මතකයිනෙ, කාටවත් කරදරයක් නැතිව ප්‍රාණඝාත සොරකම් කිරීම් ආදී වැරැදි ක්‍රියාවන්ගෙන් බැහැර වෙලා එනම් බුදු දහමට අනුව නම් පස්පව් දස අකුසල්වලින් බැහැරවෙලා, ධනයක් සොයා ගන්නවා කියන අදහසයි.
මෙය ලෝකයේ හැම ගුණයහපත් වූ මනුෂ්‍යයෙකුගේ ම සිතිවිල්ලක් බව පැහැදිලියි. අනුන්ට දුක්දීල අනුන්ගෙ දේවල් සොරකම් කරගෙන තමන්ට අයිති නැති දේවල් වංචාවෙන් ලබාගෙන ධනයක් කොයිතරම් එකතු කර ගත්තත් සිතට සතුටක් නැහැ කියල. ලෝකයේ සද්පුරුෂ මනුෂ්‍යයෝ සෑම කෙනෙකුට ම පැහැදිලියි. උගත් ලෝකයා ඒක තේරුම්ගන්නවා. මේ ලෝකයේ සෑම කෙනෙක් ම සොයාගෙන යන්නෙ සතුටයි, මානසික සංතෘෂ්ටියයි. තවත් කෙනෙකුගේ සතුට නැතිකරලා, තවත් කෙනෙකුගේ ජීවිතයට හෝ ජීවිතවලට දුක්දීල, භෝග සම්පත් එකතු කරගන්න එකේ ප්‍රයෝජනය කුමක් ද කියල ඔය සිත්වලට දැනෙනවා.
ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ සද්පුරුෂ මනුෂ්‍යයෙකුගේ ඉටුවඩන, මනවඩන, ප්‍රිය වඩන දුර්ලභම කරුණක් තමයි ධර්මානුකූලවම යම් භෝගයක් ලබාගත යුතුයි කියන අදහස. ඔබටත් ඒ ගැන පැහැදිලිවෙනවා ඇති. අධර්මයෙන් යමක් සොයාගත්තොත් ඒක හරියට ගිනිකන්දක්, ගිනි බෝලයක් වගේ මොනයම් වෙලාවක හෝ තමන්ට මහත් විනාශයක් උදාකර දෙන බව පැහැදිලියි. තමන්ට පමණක් නෙමෙයි ඒවා පරිහරණය කරන්න එකතු කර ගන්නා මව් දෙමව්පියෝ, ස්වාමිභාර්යා, දූ දරුවන්ගේ පටන් හැමටම තමන් දුකකට ආරාධනා කිරීම හෝ දුක් කැඳවා දෙන බව තමන්ට මතක් වේවි. ඒ නිසා තමයි යම් ධනයක් සොයා ගන්නවා නම් ධර්මානුකූලව ම සොයාගත යුතුයි කියල බුදු දහමෙ පෙන්වා දෙන්නෙත් ඒ වගේම ගුණයහපත් සද්පුරුෂ මනුෂ්‍යයෝ කල්පනා කරන්නෙත්.
දෙවැනි කරුණ සිතුවෙ කුමක් ද ධර්මානුකූලව ම භෝග සම්පත් ලබාගෙන මීළඟට ඥාතීනුත් අවශ්‍යයයි. ඒ වගේ ම තමන්ට අකුරු කියූ ලෝකය පෙන්නා දීපු ගුරු දෙමාපියනුත් අවශ්‍යයයි. ඒ වගේ ම පිරිවර සම්පත්තියත් අවශ්‍යයයි. ධර්මානුකූල ධනයක් සොයාගත්තත්, තමන්ගෙ ජීවිතවලින් ඥාතීන් බැහැරවෙලා නම් ඒ ජීවිතවල තනිකම හුදකලාව පාළුව බොහොම තියෙන්න පුළුවන්. සම්මුති ලෝකය තුළ කෙනෙකුට තනිව ජීවත්වෙන එක පහසු නැහැ. මොනතරම් සම්පත් තිබුණත්, තමන්ගෙ ජීවිතේ දුක - සැප බෙදා ගන්න විශේෂයෙන් ම ලෙඩක් දුකක් කරදරයක් ඇති වෙන කොට තමාගේ ලඟින් ඉන්න හිත හදවත තේරුම් ගත්ත යම් අයෙක් හෝ පිරිසක් නැති වුණාම ඒ ජීවිතයට මොනතරම් අපහසුවක් දැනෙයි ද කියල ඔබට තේරුම් ගන්න පුළුවනි.
බොහෝ අය සඳහන් කරනවානේ මොනවා නැතිවුණත් ලෙඩක් දුකක් හැදුණු වෙලාවක සිත සතුටුවෙන්නවත් ළඟට පැමිණිල වචනයක් හරි කතා කරමින් සිටින අය හැබෑවටම ගුණයහපත් ඥාතීන් කියල. ඒ නිසා ධර්මානුකූලව ධනයක් සොයා ගන්නවා වගේ ම ඥාතීනුත් අවශ්‍යයයි. සද්පුරුෂ මනුෂ්‍යයෝ තමන්ට ලෝකය පෙන්නල දීපු ගුරු දෙමව්පියෝ කවදාවත් අමතක කරන්නෙ නැහැ. ඒ අයත් අවශ්‍යයයි. ඒ වගේ ම පරිවාර සම්පත්තියත් අවශ්‍යයි. ගමක රටක ජීවත්වෙන කොට සියල්ලම තනියම කරගත නොහැකියි. අවශ්‍ය නැතක බොහෝ පිරිසක් තමා සමඟ එකතුවෙන කොට මහා කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් වගේ ඒ සිත්වලට දැනෙනවා.
ඔබම සිතල බලන්න, ගමේ බොහෝ කෙනෙක් අවශ්‍ය වෙලාවක දි තමන් සමඟ සිටින කොට විශේෂයෙන් ම දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවක ශෝකයක්, වේදනාවක් සිත්වල හටගත්ත වෙලාවක දි බොහෝ පිරිසක් එකට එකතු වෙනකොට අර සිත්වල ඇතිවෙච්ච දුක ශෝකය සන්තාපය තුනීවෙන බව පැහැදිලියිනෙ. එයත් මේ ලෝකයේ සිත්වල හටගන්න ප්‍රිය ස්වභාවයට කැමැති දුර්ලභම කරුණක්. බුදු දහමෙ පෙන්නල දෙන දුර්ලභ දහම් කරුණක් කියල.
තුන්වනුව සඳහන් කළේ ධර්මානුකූලවම ඥාතීනුත් පවත්වගෙන ගුරුදෙමව්පියොත් එකතු කරගෙන පිරිවර සම්පත්තියත් පවත්වගෙන කාලයක් දීර්ඝායුෂ සම්පත්තිය ලබල ජීවත්වෙන්න ඕනෙ කියන අදහසයි. මොනතරම් ධනයක් ලැබුණත් එය නිවැරැදිව වුණත් බොහෝ ඥාතී පිරිසක් තමන් වටා ජීවත් වුණත් දීර්ඝායු සම්පත්ති ලබන්න බැරිවුණ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ සැබෑ වටිනාකම වෙන්නෙ නැහැ. ධර්මානුකූලවම ස්වාමිභාර්යා, දෙමව්පියෝ, ඥාති හිතමිත්‍රාදීන් සමගින් බොහෝ පිරිසක් සමඟින් ඔවුනොවුන්ට උදව් උපකාර වෙමින්, සතුටින් ජීවත්වෙන්නට පුළුවනි නම් දීර්ඝායුෂ සම්පත්තිය ලබන්නට පුළුවනි නම් ඒක මහත් වූ සුවයකුයි. එහෙම නම් සද්පුරුෂ ලෝකයාගේ සිත්වල ඒ කරුණත් තමන් ඉටුකරගන්න කැමැති කරුණක් හැටියට සිත්වල තියෙනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X