සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ජීවිතය බුදුදහම සහ ඉලක්කය

දර්ශනපති, රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
අප අපේ ජීවිත වඩාත් යහපත් ආකාරයෙන් ගත කරන්නේ කොහොමද භෞතික වශයෙන් යහපත් කර ගන්න සුඛිත මුදිත කරගන්නේ කොහොමද හැමගේම උත්සාහය සාර්ථක ජීවිතයක්. නැහැ, බැහැ නොකියන ජීවිතයක්. මෙහිදී ඉලක්කය ජීවිතයේ විවිධ අවස්ථාව විවිධ විය හැකියි. දරුවෙකුට, තරුණයෙකුට, වැඩිහිටියෙකුට ජීවිත වයස් අනුව ඉලක්කද වෙනස් විය හැකියි. ඒ ඉලක්කවලට ජීවිතය යොමුකරවා ගන්න බුදුදහම තුළින් වඩාත් නිවැරැදි ආදර්ශයක් ලබාගත හැකියි.
ජීවිතය, ඉලක්කය සහ බුදුදහම කියන වචන තුනම එකට බැඳී යා යුතු වෙනවා. ඉලක්කයක් අවශ්‍ය ජීවිතයකටයි. ඉලක්කය නැති වුණොත් අපේ ජීවිත මංමුලා වෙනවා. රැකියාවක් කරන අයෙකුට ඉලක්කයක් අවශ්‍යයි. නැත්නම් ඔහුට ඔහුගේ රැකියාව දියුණු කර ගත නොහැකි මෙන්ම ඔහු ඉෂ්ඨකරන සේවය කවරාකාර ද කෙසේ කළයුතුද කියා අරමුණක් නැහැ. මේ ආකාරයට අපේ ජීවිතය සෑම ස්ථානයක්ම සෑම කොටසක්ම ජයග්‍රහණය කරා ගෙනයන්න හැකියාව තිබෙන්නේ ඉලක්කගත වුණොත් පමණයි. මේ ඉලක්කගත වීම වඩාත් නිවැරැදිව අපට පෙන්වා දෙන්නේ තථාගත දර්ශනය තුළිණුයි.
අප හැමෝම කැමැතියි මැරි මැරී ඉපදී දිර දිරා යන මෙම දුක්ඛිත ජීවිතයෙන් අත මිදෙන්න. බුදුදහමට අනුව බෞද්ධයාගේ පරම ඉලක්කය නිවනයි. මේ නිවනට ඉලක්කගත වුණොත් ජීවිතයට අනෙක් කරුණු බේරුම් කරගත හැකියි. මේ ඉලක්කයට යන්නට තිබෙන්නේ එක මඟයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මේ මඟ ගියොත් නිවන කරා ඉලක්ක වුණොත් හැම පැත්තෙන්ම පිරිසුදු වෙනවා. ඔහු සිල්පද රකිනවා. මේ පිරිසුදු භාවය ඇතිවන්නේ ඉලක්කගත අරමුණ තිබෙනවා නම් පමණයි. මේ නිවැරැදි මාවතට පිවිසි පුද්ගලයා ශෝකයෙන් අඬන වැළපෙන කෙනෙකු නොවේ. ඔහු සියලු දුක් දොම්නස් සියල්ලම සංසිදවා ගන්නා කෙනෙක්. ඤාණයෙන් තොර බුද්ධිහීන කෙනෙකු බවට පත් නොවී ආර්ය ධර්මයට සවනත යොමු කරනවා. ආර්ය ධර්මය කියවනවා. ආර්ය ධර්මයේ හික්මෙනවා. ඒ තුළම ඤාණය වැඩෙනවා. එවිට නිවන ප්‍රත්‍යක්ෂ වනවිට ජීවිතයේ කළයුතු සියලු දේ සිදුවෙනවා. හිස්තැනක් නැහැ. ඒ නිසා බෞද්ධයාගේ ප්‍රධාන ඉලක්කය වූ නිවන කරා යාමේදී අතිරේක ඉලක්කයන් සියල්ල සම්පූර්ණ වෙනවා. ඒක මේ වගේ දෙයක්. හොඳ විශාල ඉඩමක ලස්සන මන්දිරයක් හදන්න කෙනෙකුට ඉලක්කයක් තිබෙනවා. ඔහු ඉලක්කය හොඳින් සම්පූර්ණ කර ගන්නවා. ඒ නිවස හදනවා. නමුත් ඔහුට හොඳ නිදන කාමරයක් අවශ්‍යයි කියන අදහස තිබුණාට ඒ ගැන අමුතුවෙන් හිතන්න ඕන නැහැ. මහා මන්දිරයක් නිර්මාණය කළා කියන්නේ අවශේෂ ඉලක්කය වූ කාමරය ගොඩනැඟී තිබෙන්නේ. ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ වූ නිවනට හිත යොමුකළා කියන්නේ ඒ සඳහා අප ඉලක්ක ගත වුණා කියන්නේ ඤාණය වැඩීම, චිත්ත පාරිශුද්ධිය ඇතිවීම, දුක් දොම්නස් නැසීම, විශුද්ධිය සිත තුළ ඇතිකර ගැනීම ආදි සියලු කරුණු කාරණා සම්පූර්ණ වී තිබෙනවා.

මේ ධර්ම මාර්ගය ඉලක්ක කරාගෙන යන ගමනට තථාගතයන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. අප දැනගත්ත, හඳුනාගත්ත, නැඟගත්ත ජයග්‍රහාහි මාවත අනෙක් පැත්ත හරවන්න අමාරුයි. ගහෙන් ඉදී වැටුන කොළයක් වගේ. ගුරු පාට වී වැටුන කොළය කවදාවත් නැවත සවි වෙන්නේ නැහැ වගේම ඒ කොළය කොල පාට වන්නෙත් නැහැ. ඒ වගේ නිවැරැදි දර්ශනය දැක්මක් තුළින් අපේ ජීවිත සාර්ථක කර ගන්නවා නම්, කෙටි ක්‍රම නොමැතිව වැරැදි සාවද්‍ය ක්‍රමවලට හසුනොවි මේ මාර්ගයේ ගමන් කරනවානම් එතැන තමා ජීවිතය දිනන මඟ වන්නේ. තව උපමාවක් වදාළා. මහා කළු ගලක් තිබෙනවා. මේ යෝධ කළු ගලෙන් කුට්ටියක් ගැලවිලා මහා ප්‍රපාතයකට වැටෙනවා. කවදාවත් පහළට වැටුනු ගල් කැබැල්ල අර දෙබෑ වුන ගල් කැබැල්ල උඩට ගිහින් අර ගලට සවි වෙන්නේ නැහැ. ඒ වගේ නිවැරැදි දර්ශනයක්, දැක්මක්, දහමක් තුළින් අපේ ඉලක්ක කරා යනවා නම් අපේ ඉලක්ක කාටවත් නැතිකරන්න වෙනසකට පෙරලන්න බැහැ. තල් ගසක් මැදින් කැපුවොත් කවදාවත් ඒ තල්ගස නැවත ලියලන්නේ නැහැ. ඒ වගේ ධර්මයට අප ඉලක්කගත වෙනවානම් ඒ ඉලක්කගත වීම තුළින් අපේ ජීවිතයට ලැබෙන ශාන්තිය, සහනය, සැනසීම කවදාවත් අනෙක් පැත්ත හරවන්න බැහැ.
ඒ වගේම ඉලක්කගත වන කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය ලක්ෂණ මොනවාද ඒ තුළින් සාර්ථකත්වය ලබන්න පුළුවන්ද සහ ඒ ඉලක්කයෙන් ඒ ක්‍රමෝපායෙන් පිට පැන්නොත් අප විඳින දුක් ගැහැට කුමක්ද කියාත් අප අපේ අවධානය යොමු කරන්න අවශ්‍යමයි. අංගුත්තර නිකායේ චතුක්ක නිකායේ සුන්දර සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒ “අස්සජානි” සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්ට හේතු වුණේ තථාගතයන් වහන්සේ සහ ශ්‍රාවකයන් පිරිසක් චාරිකාවක වඩිනවා. ඊට ඉස්සරහින් අශ්වයෝ ටිකක් දුවගෙන ගියා. තථාගතයන් වහන්සේ වදාළා මහණෙනි, බලන්න අර අශ්වයන් දෙස. උන් සියල්ලම එක වගේ නැහැ. මුලින්ම යන අශ්වයා ඉතාමත් ජවයකින් දුවන්නේ. අර පස්සෙන්ම යන අශ්වයා බොහෝම කම්මැලියි. සමහර අය මන්දගාමියි. මේ අශ්වයන් අතරත් විවිධතාවයක් තිබෙනවා. අශ්වයෝ ගොඩාක් සිටියාට හොඳ අශ්වයෙක් වෙන්න හැම කෙනෙකුටම බැහැ. අජානීය අශ්වයා තමා බලවත් වෙන්නේ යැයි වදාළා. මේ බලවත් අශ්වයෙක් වෙන්ට නම් කරුණු හතරක් අවශ්‍යයි 1. හොඳ දක්ෂ අශ්වයෙක් වීමට සෘජු කෙනෙක් වෙන්න ඕන. ඇදට ගමනක නැති, ඇදට වැඩ නො කරන සෘජුව යන සෘජුව කෙනෙක් වෙන්න ඕන. 2. ජවය හොඳට තිබෙන්න ඕන. පියවර තබන ක්‍රමය ගැන, ගැම්ම හොඳින් තිබෙන්න ඕන. ගැම්ම අඩුනම් වේගය අඩු වෙන්න පුළුවන්. 3. ඉවසීමත් හොඳ ලක්ෂණයක්. අශ්වා රෝහකයා දෙන පණිවුඩ ඉවසන්න පුළුවන් වෙන්න ඕන. අජානීය අශ්වයා තරහින් දුවන්නේ නැහැ. මොනතරම් කරදර බාධක ආවත් දුවන්නේ ඉතා ඉවසීමෙන්. 4. ඒ වගේම සූර බවත් අජානීය අශ්වයාගේ ලක්ෂණයක්. අශ්වයාගේ දෙපැත්තේ දෙන්නා ගේ ජවය තේරුම් ගන්න ඕන. බුදුහිමියන් මේ අජානීය අශ්වයාගේ කරුණු පෙන්වා දී ධර්මය තුළ ඉලක්කගත වීමටනම් මෙලොව පරලොව ජීවිත සුවපත් කරගෙන දෙලොව ජීවිතය ජය ගන්නට නො වරදින ගමනක් යන්නට මේ අශ්වයාට තිබෙන කරුණු හතර අපට වදාළා. සෘජු නැත්තා වංකයි. කෙනෙකුට එක දෙයක් කියනවා. අනෙක් පුද්ගලයාට තව දෙයක් කියනවා. වචනයත් ඉතා වංකයි. කියන්නේ එකක්. කරන්නේ තව එකක්. එවිට ඉලක්කයෙන් පිට පනිනවා. ඒ වගේම කරන දේ පිළිබඳව ලොකු උනන්දුවක්, අධිෂ්ඨානයක්, වීර්යයක්, කැමැත්තක් තිබෙන්න ඕන. ඒ වගේම ඉවසීම තිබෙන්න ඕන. ඒ වගේම ශූර බව තිබෙන්න ඕන. කැම්මැලි නම්, ධර්මයට කැමැත්තක් නැතිනම් ඒ පිළිබඳව හැඟීමක් හෝ මෝදු කරගත් ඤාණයක් නැතිනම් මේ ශූර බවින් පිට පනිනවා. ඒ නිසා කෙනෙකුට ඉලක්කගත වීමට නම් අස්සජානි සූත්‍රය පිටිවහලක් වෙනවා.
මේ හැම දෙයටම බලපානේනේ අපේ සිතයි. අපේ සිතෙන් තොරව ක්‍රියාත්මක වීමේදී ඉලක්කයක් කරා යන්න අමාරුයි. සිතත්, කයත් දෙක එකට සුසංයෝග කරගෙනයි ඉලක්ක සාර්ථක කර ගත යුතු වන්නේ. බුද්ධ කාලයේ බමුණෙක් සිටියා. මේ බමුණා ශාස්තී‍්‍රව ඉලක්කයට තමන්ගේ ශිෂ්‍යයන් හැඩගස්වන්න දක්ෂයි. ගෝලයන් අතරින් තිදෙනෙකු තෝරා ගත්තා. එක් ගෙඩි, මල් අතු පිරුණු ගසක දීප්තිමත් ඇසක් ඇති කෘතිම හැදු කුරුල්ලෙක් තැබුවා. පළමු ගෝලයාට ඊතලයයි දුන්නයි දී කැමැති ආකාරයට විදින්න කිව්වා. ඔහු ගසට, ගෙඩිවලට, මල්වලට, කුරුල්ලාට ඉලක්ක කළා. ගුරුවරයා අසනවා ඉලක්කය කුමක්ද මොනවාද පෙනෙන්නේ ගුරුතුමනි, මට ගසේ ගෙඩි, අතු, මල්, කොළ පෙනෙනවා. ගුරුවරයා දැනගත්තා මොහුට හරි ඉලක්කයක් නැතිබව. දෙවැනි ගෝලයාටත් දුන්නා. ඔහු ඉලක්ක කළා. ඔහුගෙනුත් අසනවා මොනවද පෙනෙන්නේ. ගුරුතුමනි මට කුරුල්ලෙක් පෙනෙනවා කියා ඌගේ විස්තර කිව්වා. ඔහුගෙත් ඉලක්කය සාර්ථක නැහැ. තුන්වැනියාටත් ඊතලය දුන්නා. මොනවාද දකින්නේ කියා ඇසුවා. ඔහු කියනවා ගුරුතුමනි, කුරුල්ලාගේ දීප්තිමත් ඇස මට එක එල්ලේ පෙනෙනවා කිව්වා. මගේ හී තුඩු ඇස වෙතයි එල්ල වෙන්නේ. ගුරුතුමා ඔහුගේ ඉලක්කයට ප්‍රශංසා කළා. මේ උපදේශන කථාවෙන් පැහැදිලි වන්නේ අපේ ජීවිත වල විවිධ ඉලක්ක තිබෙනවා. සමහර අයට ගෙයක් හදා ගන්න, තව අයෙකුට වාහනයක් ගන්න, නැත්නම් විවාහයක්, දරුවෙක්,
සමාජයේ තානාන්තරයක් ලබන්න ආදී විවිධ ඉලක්ක තිබෙන බව හැබෑව. නමුත් මේ හැම දෙයටම වඩා හොඳ ගුණවන්ත ධාර්මික මිනිසෙකු ලෙස තමන් සමාජයේ මතුවෙන්න ඕන කියන ඉලක්කය තිබෙනවානම් අර සියලුම ඉලක්ක සාදනය වෙනවා.
නයනා නිල්මිණි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X