සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

නිවනට නියත වීමට නම්...

ගම්පහ සිරිසීවලී හිමි

සත්වයා සසරෙහි බැඳ තබන දස සංයෝජන නම්වූ රැහැන් දහයක්‌ ඇත. එනම්, 

1. සක්‌කාය දිට්‌ඨි

2. විචිකිච්චා

3. සීලබ්බත පරාමාස

දිට්‌ඨ හා සංයෝජන වේ. (කෙලෙස්‌ ධර්ම)

4. කාම රාග 5. පටිඝ 6. රූපරාග 7. අරූපරාග 8. මාන 9. උද්ධච්ච 10. අවිඡ්ජා වේ.

මේ දහයෙන් මුලින්ම සඳහන් තුන දිට්‌ඨි නිසා සංයෝජන වේ. දිට්‌ඨි යනු වරදවා පිළිගැනීමය. වැරැදි මතයට ඒමයි. නොපිටට සිතීමයි. මිත්‍යාදෘෂ්ටියයි. දිට්‌ඨිය යනු ඕඝයකි. භයාකම කෙලෙස්‌ ධර්මයකි. ඒවා නැති කළ හැක්‌කේ විදර්ශනා භාවනාවෙනි.

සම්බුද්ධ ශාසනයක්‌ පහළවූ කල - සද්ධර්මය ලොවට පහළවූ කල පමණක්‌ මුලින් උපුටා දැමිය හැකි, අන් වෙනත් කිසිම කලෙක එසේ නැති කළ නොහැකි, විදර්ශනාවෙන්ම නැති කළ යුතු, දුරුකළ යුතු, සමුච්ඡේදනය කළ යුතු බැහැර කළ යුතු කෙලෙස්‌ ධර්ම තුනකි. ආර්ය භූමියේ මුල්බැස ගැනීමට, සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, ආර්ය ශ්‍රාවකභාවය ලැබීමට, නිවනට නියතවීමට, සම්බෝධි පරායන වීමට, සතර අපායෙන් සදහටම අත්මිදීමට ඉහතකී සංයෝජන මුලින් උපුටා දැමීම අනිවාර්ය වේ.

ඒ සඳහා මුලින්ම කළ යුතු පූර්වකෘත්‍යයක්‌ හෙවත් පෙර සූදානමක්‌ ඇත.එය සපුරාගත යුතුය. එනම්,

1. සත්පුරුෂ සංසේචනය 2. සද්ධර්ම ශ්‍රවණය 3. යෝනිසෝ මනසිකාරය 4. ධම්මානු ධම්ම පටිපදාවයි.

මෙකී ධර්මතා ඔබවෙත විද්‍යමාන වේ නම්, ඉහතකී ප්‍රතිලාභ ලැබීමට ඔබට හැකිය.එසේ නොමැති නම් අද අදම සතියෙන්. සිහියෙන්, යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රායෝගිකත්වයෙන් ප්‍රතිවේදයට පැමිණ නිවනට නියත වූවෙක්‌ වන්න. සංයුත්ත නිකායේ දුතිය සාරිපුත්ත සූත්‍රයේ මේ බව වඩාත් පැහැදිලි කරදී ඇත.

ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ බුද්ධ පුත්‍ර ශාරිපුත්ත මහතෙරුන් වහන්සේගෙන් සෝතාපත්ති අංග කවරේදැයි විමසූහ.

'කථමන්නු ඛෝ සාරිපුත්ත, සෝතාපත්ති අංගන්ති,

- සපපුරිස සංසේවෝ හි භන්තේ සොතාපත්ති අංග

- සද්ධම්මං සවණං සෝතාපත්ති අංග

-යෝනිසෝ මනසිකාරෝ සොතාපත්ති අංග

- ධම්මානු ධම්ම පටිපත්ති සොතාපත්ති අංග

එහිදී ඉහත අයුරින් සෝතාපත්ති අංග පැහැදිලි කරදෙති.බුදුපියාණන් වහන්සේ සාධුකාරදී එය අනුමත කළහ.

ඉහත දැක්‌වූ ප්‍රතිපදාවට අනුගතවන ආර්ය ශ්‍රාවකයාට පහත දැක්‌වෙන ප්‍රතිලාභද හිමිවේ.

- ධර්මය ශ්‍රවණය කරන ආර්යය ශ්‍රාවකයා ආර්ය උතුමන් හදවතින්ම දකී.

- ආර්ය ධර්මය හ»නාගැනීමේ දක්‌ෂ වේ.

- ආර්ය ධර්මයේ හික්‌මීම ඇතිවේ.

- ආර්ය මගඵලලාභීන් දකී.

- සත්පුරුෂ ධර්මයේ දක්‌ෂ වේ.

- සත්පුරුෂ ධර්මයේ හික්‌මේ.

- මෙනෙහි කළ යුතු දහම දැනගනී.

- සිහි නොකළ යුතු පාපධර්මයන් මෙනෙහි නොකරයි.

සක්‌කාය දිට්‌ඨිය යනු කුමක්‌දැයි පළමුව හඳුනා ගත යුතුය. 'සක්‌කාය' යනු පංච උපාදානස්‌කන්ධයට හෙවත් හිතට කියන නමක්‌. හිත හටගන්නේ ගොරෝසු කය ආශ්‍රිතව ඇති ආයතන හය මුල්කරගෙනය. මේ හිතත්, කයත් දෙක එකතුවූ ජීවිත පැවැත්ම ස්‌වභාව ධර්මයකි. සුද්ධ ධර්මයන්ගේ හෙවත් ධාතූන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයකි. මේ ධර්මතාවය හරිහැටි නොදැන මම - සතා - පුද්ගලයා යනුවෙන් නම් කරගෙන පරිපාලනයට යටත් කර ගැනීමට උත්සාහ කර උපාදාන තත්ත්වය ඇතිකරගෙන ඇත.සම්මුතිය හා පරමාර්ථය ධර්ම ගැන විදසුන් විමසුම මගින් ලෝක ව්‍යවහාරය හා පරමාර්ථ ව්‍යවහාරය පැහැදිලි කර ගැනීමෙන් 'සක්‌කාය දිට්‌ඨිය' නැතිකරගත හැක.

මඡ්ධිම නිකායේ චුල්ලවේදල්ල සූත්‍රයේත් සංයුත්ත නිකායේ සක්‌කායදිට්‌ඨි සූත්‍රයේත් 'සක්‌කාය දිට්‌ඨිය' කුමක්‌දැයි නිරවුල්ව තේරුම්ගත හැකි ධර්ම විවරණයක්‌ අනතර්ගතය.

චුල්ලවේදල්ල සූත්‍රයේ ධම්මදින්නා මහ රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ අනාගාමී උපාසකතුමාත් අතරවූ ප්‍රශ්නෝත්තර ධර්ම විවරණය ඉතා වැදගත් තැනක්‌ ගනී.

විශාඛා උපාසකතුමා - සක්‌කායෝ සක්‌කායෝති අයෙ වුච්චති

කතමෝ නූ ඛෝ අයෙ සක්‌කෝ වුත්තෝ භගවතා

ආර්යයාවෙනි, සක්‌කාය, සක්‌කාය යෑයි කියනු ලැබේ. කුමක්‌ද මේ සක්‌කාය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව?

ධමම්දින්නා රහත් මෙහෙණින් වහන්සේ - පංචඛෝඉමේ ආවුසෝ විශාඛ, උපාදානඛෙධා සක්‌කායෝ වුත්තො භගවතා.

විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ පංච උපානස්‌කන්ධයට සක්‌කාය යනු දේශනා කරති. 

සෙයයථිදං? ඒ කෙසේ යත් දැනගන්න.

1. රූප උපාදානස්‌කන්ධය 2. වේදනා උපාදානස්‌කන්ධය 3. සංඥ උපාදානස්‌කන්ධය 4. සංඛාර උපාදානස්‌කන්ධය 5. විඤ්ඤාන උපාදානස්‌කන්ධය

ඉමේ ඛො ආවුසෝ විශාඛ, පඤචූපාදානක්‌ඛනෙධා 'සක්‌කා' වුත්තො භගවතාති.

විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ පංච උපානස්‌කන්ධයට 'සක්‌කාය' යෑයි දේශනා කරති.

කය හා සිත එකට පරිබද්ධයි. කය වැඩ කරන්නේ හිතක්‌ හටගත්තොත් පමණි. ඒ හිත හටගැනීමට කය උපකාරී වේ. ලෝකය හෙවත් හිත ක්‍රියාකිරීමට කය අත්‍යවශ්‍ය ය. මේ දෙකේ එකතුව සංඛාර ගොඩකි. සමූහයකි. පුංජයකි. හේතුවක්‌ නිසා හටගත් ස්‌වභාවධර්මයකි. ශක්‌ති සමූහයක ප්‍රවර්තතනයකි. වේගයක්‌ නිසා ශක්‌තියක්‌ හටගනී. ශක්‌ති හතරක සාමූහිකත්වය රූපයකි. රූපදෙකක එකතුව විඤ්ඤාණයාගේ ප්‍රකටවීමකි. විඤ්ඤානය හටගත් වහාම නාම ධර්ම ප්‍රකට වේ. සාමූහිකව ප්‍රවර්තනය වන ශක්‌ති සමූහයක ඇතිවෙමින් නැතිවෙමින් පවතින ග්‍රහ වස්‌තුවක්‌ වේ. මෙයට සතා - පුද්ගලයා-මම- දෙවියා, බ්‍රහ්මයා වශයෙන් පනවාගෙන පුද්ගල අරෝපණයක්‌ පනවා ගැනීමක්‌ කරයි. ඒ ලෝක සම්මුතිය වේ. මේ සම්මුතිය නිත්‍ය, සැප, ආත්ම වශයෙන් අනවබෝධයෙන් වැරදි පිළිගැනීම දෘෂ්ටි ගතවීම එල්බ ගැනීම 'සක්‌කාය' දිට්‌ඨිය වශයෙන් හඳුන්වයි.

- රූපය යනු ස්‌වභාවධර්මයක්‌, ශක්‌තීන්ට ආවේණික ක්‍රියාකාරකමක්‌, වේගයක්‌ නිසා හටගත් දෙයක්‌. මේ දැනුවත්බව නැති නිසා රූප උපාදානය වේ.

- වේදනාව කියන්නේ ස්‌වභාව ධර්මයක්‌. හේතු ප්‍රත්‍යයක්‌ නිසා හටගත් දෙයක්‌. ඊට ආවේණික ක්‍රියාකාරකම් සිදුවීම ස්‌වභාවිකයි. නොදැනුවත් බව නිසා වේදනා උපාදානය කරගනී,

- සංඥව කියන්නේ ස්‌වභාවධර්මයක්‌. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්‌. ඊට ආවේණික ක්‍රියාකාරකම් සිදුවීම ස්‌වභාවිකයි. එහි යථාර්ථය ගැන නොදැනීම, නොදැනුවත් බව නිසා සංඥ උපාදානය කරගනී.

සංඛාර යනු ස්‌වභාවධර්මයකි. හටගත්තාවූ අර්ථයෙන් ක්‍රියාකාරක අර්ථයෙන් සංඛාර නම් වේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයකි. ඊට ආවේණික ක්‍රියාකාරකම් එහි විද්‍යමාන වේ. මේ යථාර්ථය නොදැනීම නිසා සංඛාර ධර්ම උපාදානය කරගනී.

- විඤ්ඤානය යනු ස්‌වභාවධර්මයකි. සත්වයා සම්බන්ධව විද්‍යමාන වන ආයතන හෙවත් ස්‌වභාවධර්මයන් ඇසුරුකරගෙන ප්‍රකට වන තවත් ස්‌වභාවධර්මයකි. යථාර්ථය හෙවත් ප්‍රකෘතිය මූලස්‌වභාවය ගැන නොදැනගැනීම නිසා විඤ්ඤාණ උපාදානස්‌කන්ධය හටගනී.

මේ පංච උපාදානස්‌කන්ධය ස්‌වභාවධර්මයකි. පඨවි ආදී මූල ශක්‌ති පදනම්ව ප්‍රකට වන්නා වූ විද්‍යාමන වන්නාවූ ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයකි. විදසුන් නුවණින් මේ බව නොදැනීම නිසා නොවෙනස්‌ව පවත්නා සතෙක්‌, පුද්ගලයෙක්‌, මමෙක්‌, පනවාගෙන නිත්‍ය, සැප, ආත්ම, සංඥවෙන් දෘෂ්ටිගත වීම සක්‌කාය දිට්‌ඨිය වේ.

අත්දැකීම්, විඳ ගැනීම්, හැඳින ගැනීම්, ක්‍රියාකාරකම් සලායතන සම්බන්ධයෙන් සිදුවේ. මෙහි පුද්ගලයකුගේ ක්‍රියාකාරීත්වයක්‌ නොපළවේ. ක්‍රියාවක්‌ ඇත, කරන්නෙක්‌ නැත'. 'කම්මස්‌ස කාරකො නථි.'

නිවනට නියතවීමට මග හෙළිපෙහෙළි කරන සතර සතිපට්‌ඨානයේ කායගතානු සතිපට්‌ඨාන පරිච්ඡේදයේ ධාතු මනසිකාර පබ්බය නම්වූ කොටස හොඳින් අධ්‍යනය කර ලෝකය හෙවත් පංච උපාදානස්‌කන්ධය නම්වූ ස්‌වභාවධර්මය හටගත් ස්‌වභාවය යෝනිසෝ මනසිකාරයෙන් අධ්‍යයනය කර විදසුන් නුවණින් දැක භව නිරෝධය කරන්න.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මාර වසඟයට අසුවුණාද?

මාකඳුර ශ්‍රී සරණංකරාරාම විහාරවාසී 
ශාස්ත්‍රවේදී

හීනටිපනේ සීලරතන හිමි

මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් දුක්විඳින දෙව් මිනිසුන් සහිත ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන් මේ සසර දුකින් මුදවා ලීමට මග පෙන්වද්දී සත්වයා සසර තුළම රඳවා ගැනීමට වෑයම්කළ මාරයකු පිළිබඳව බුදුසමයෙහි නිතර අසන්නට ලැබේ.

ක්ලේශ මාර, මෘත්‍යුමාර අභිසංඛාර මාර, ස්ඛන්ධ මාර, දේවපුත්‍ර මාර යනුවෙන් මාරයින් පස් දෙනෙකු ගැන සඳහන් වී ඇතත්, දේවපුත්‍ර මාර හැර ඉක්බිති සිව් දෙන සංකල්පීය මාරයෝය. දේවපුත්‍ර මාර යනු දෙවියෙකි. ඔහු පරනිර්මිත වසවර්ති නම් දිව්‍ය ලෝකයෙහි වාසය කරයි. දෙවියන් අතර වැඩිම ආයුෂ වින්දනය කරන්නේත් ලෞකික ජීවිතයේ වැඩිම කාම සම්පත් විඳින්නාත් වසවර්ති මාරයාය. ඉතා දීර්ඝ ආයුෂයක් කම් සැප විඳිමින් ගත කරන නිසා ඔහුට එම දිව්‍යාත්ම භාවයෙන් චුතව යන බවක් කල්පනා නොවෙනවා විය හැකිය. සදාකාලිකවම පංචකාම සම්පත්තියෙහි ඇලී ගැලී වාසය කෙරෙතැයි සිතෙන නිසා පස්කම් සුවය පිටුදකින සසරින් මිදීමට ක්‍රියාකරන පැවිද්දන් කෙරෙහි ඔහු මනාපයක් නොදක්වයි.

මාරයාගෙන් බාධා

බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කිරීමත් බුද්ධත්වයට පත්වීමත් ධර්ම දේශනා කිරීමට තීරණය කිරීමත් වැළැක්වීමට වෑයම් කළ මාරයා බුදුරදුන් සත්සතිය ගතකරමින් අජපල් නුගරුක් මූල වැඩ වෙසෙද්දී නොපමාව පිරිනිවන් පෑමටද ආරාධනා කළේය. ඉන් පසුවත් නොයෙක් අවස්ථාවලදි බුදුරදුන්ට බාධා කළ බව සංයුත්ත නිකායේ මාර සංයුත්තය ඇතුලු ත්‍රිපිටක දේශනාවන්හි දැක්වේ. උරුවේලාහි නේරංජරා නදී තෙර අජපාල නිග්‍රෝධ මුලයෙහි බුදුරදුන් වැඩ වසද්දී බුදුරදුන්ගේ විසුද්ධිමාර්ගය ගැන ඔහු චෝදනා කළේය. තවත් අවස්ථාවක මහ ඇතෙකුගේ වෙස් ගෙන බුදුරදුන් තැති ගැන්වීමට පැමිණි බව සඳහන් වේ. බරණැස ඉසිපතනයේදී බුදුරදුන් තමන්ගේ මාර පාශයට හසුවී ඇතැයි කියා පෑවේය. මගධයෙහි ‘පංචශාලා’ නම් බමුණුගමට බුදුරදුන් පිඬු සිඟා වැඩිය කල්හි මාරයා එගම නිවැසියන්ට ආවේශව පිණ්ඩපාතය දීමෙන් වැළැක්වූ බව පිණ්ඩ සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරදුන් කල්පයක් වැඩ සිටීමට හැකි බව අනඳ හිමියන්ට පවසද්දී ඒ සඳහා ආරාධනා කිරීමෙන් අනඳහිමියන් වළක්වාලීමට මාරයා ක්‍රියා කළ බව මහා පරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් වෙයි. මෙබඳු සිදුවීම් රාශියක් ත්‍රිපිටකයේ ඇතුළත්ව තිබේ.
බුදුරජාණන් වහන්සේට මෙන්ම භික්ෂු භික්ෂුණීන්ටත් මාරයා විවිධ අවස්ථාවන්හි බාධා පැමිණවීය. මාර සංයුත්තයේ සම්බුල සූත්‍රයේ එන තොරතුරකට අනුව ශාක්‍ය ජනපදයෙහි සිලාවති ගමෙහි බවුන් වඩිමින් සිටි භික්ෂූන් වෙත බමුණු වෙසක් මවාගෙන එළැඹ “ඔබලා තරුණය, ඉතාකලු වූ කෙස් ඇත්තෝය. මානුෂික කාම සම්පත් පරිභෝග කරන්න, මේ ආත්මභාවයෙහි වින්ද යුතු සුව හැර කල්ගෙවා වින්ද යුතු සුව කරා නොදුවන්න”යි පැවසීය. අඹවනයෙහි විසූ “ආළවිකා” නම් භික්ෂුණිය වෙත එළඹ
නත්ථි නිස්සරණං ලොකෙ – කිං විවේකෙන කාහසි 

භුඤ්ජස්සු කාමරතියො – මාහු පච්ඡානුතාපීනී’ති

මාරයාගේ උපකාරය කාටද?

(ලොව නිවනෙත් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහිද? කාමරතිය,විඳුව, පසුතැවිලි නොවව) යි පැවසීය. මෙපරිද්දෙන් සෝමා, විජයා, ගෝතමී ආදි බොහෝ භික්ෂුණීන් වෙතද පැමිණ ඔවුන් අධෛර්යමත් කිරීමට උත්සාහ කළ බව පෙනේ.
මාරයාගේ භූමිකාව කුමක්ද? යන්න යථෝක්ත විස්තරවලින් වටහා ගත හැකිය. අදද මාරයා සත්වයා සසරට ඇද දමන හා සසරින් මිදීයාමෙන් වළක්වන පාපිෂ්ට ක්‍රියාදාමයෙන් බැහැර වී සිටිතැයි නොසිතිය යුතුය. එදා මෙන්ම අදත් නොපසුබට උත්සාහයෙන් ඔහු මිනිසුන් අතර ක්‍රියාත්මක වී සිටින බව අප නුවණින් වටහා ගත යුතුය. බෞද්ධ සමාජය තුළින් පවා නිතර ඇසෙන මැසිවිල්ලක් නම් ‘අසාධාරණව හා අධාර්මිකව විවිධ ජාවාරම්වල යෙදෙන අය යහමින් මුදල් උපයමින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකරන නමුත් දැහැමින් ජීවත්වන අයට විවිධ දුක් කරදර මධ්‍යයේ ඉතා දුකසේ කාලය ගතකරන්නට සිදුව ඇති බවයි සතුන් දිවි තොරකරන , හොරකම් කරන, හෝ මත්ද්‍රව්‍ය නිපදවන හා අලෙවි කරන දුශ්චරිතවත් ජීවිත ගතකරන අය ගෙවල් දොරවල් යානවාහන ආදියෙන් පොහොසත්ව සමෘද්ධිමත් ජීවිත ගත කරන බව සැබෑවක් සේ පෙනේ. අධාර්මික ජීවිත ගතකරන මිනිසුන්ගේ දෙවියා මාරයාය. ඔවුන් මාරයා වෙනුවෙන් දේවාල ඉදිකොට පුද පූජා නොකළත් පව්කාර ජීවිත ගතකරමින් සසර දිගු කරගන්නා මිනිසුන්ට මාරයාගේ උපකාරය ඉඳුරාම ලැබේ. ඔවුන් මාරයාගේ අභිලාෂය අනුව ක්‍රියාකරන බැවිනි. ඔවුන් තමන් කරන පාපී කටයුතු හේතුවෙන් අපාගතවන නමුත් මාරයාට එය ප්‍රශ්නයක් නොවේ. ඔහුට වුවමනා කරන්නේ සත්ව ප්‍රජාව සසරෙහි ගැලී සිටීම පමණි.
අසාධාරණව හා අධාර්මිකව ධනය උපයන්නන්ට මාරයාගේ සහාය නොකඩවා ලැබෙන අතරම වැඩෙන සම්පත් නිසා වඩවඩා උද්දාමයට පත්වන ඔවුහු තව තවත් තම ව්‍යාපාර තරකරගනිමින් මාරයාගේ පාශයෙහි තවතවත් සිරවෙති. මේ රැවටිල්ලට ගොදුරු වී තාවකාලික වින්දනයක් ලැබීමට සිතන ඇතැම්හු සසරින් මිදීම පසෙක ලා තමනුත් එම මගටම පිවිසෙති. එයද මාරයාගේ අරමුණක් ඉටුවීමකි.
සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවය සමෘද්ධිමත් ජීවිත ගත කරන්නන් අන් අයගේ ඊර්ෂ්‍යාවට භාජනය වීමයි. එහෙත් අධාර්මිකව ධනය උපයන හා මිථ්‍යා කාමය සොයන්නන් කෙරෙහි අප තුළ ඇතිවිය යුත්තේ ‘අනේ මොවුන්ට සතර ආපායාදී දුගතිවලට වැටී දුක්විඳින්නට සිදුවෙනවා’ නොවේද? යනුවෙන් සිතා අනුකම්පාවක් මිස ඊර්ෂ්‍යාවක් නොවේ.

මාරයාගේ උපක්‍රම

මාරයා ඉතා උපක්‍රමසීලිය. ඔහු ඇතැම්විට තම අරමුණ උදෙසා මිනිසුන් යහපතෙහි යෙදවීමට පවා ඉඩ තිබෙන බව මාරතජ්ජනීය සූත්‍රයෙන් පෙනේ. මුගලන් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරදුන් දවස සිටි “දුසි” නම් මාරයකු ගැන එහිදී සඳහන් කරති. පළමුව ඔහු බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී භික්ෂු සංඝයාට පරුෂ වචනයෙන් ආක්‍රෝශ පරිභව කරවයි. එහිදී බුදුරදුන්ගේ උවදෙසින් භික්ෂූහු ඔවුන්ට මෙත් වඩති.ආක්‍රෝශ පරිභවයෙන් භික්ෂු සංඝයාගේ සිත් කැළඹීමට පත් කිරීමට නොහැකිවුණු තැන ඔහු බමුණු ගැහැවියන්ට ආවේශ වී සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කරවයි. සිව්පසයෙහි ලොල්ව මහා සංඝයා සිත් පෙරළියකට පත් වෙතැයි සිතුවද එසේ නොවන්නේ බුදුරදුන් අසුභ භාවනාව වඩන්නට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන නිසාය. දායකයෝ මරණින් මතුදෙව් ලොව උපදිති. දෙව්ලොව ඉපදීමද මාරයාගේ අරමුණ යම් තරමින් හෝ ඉටුවීමකි. දිව්‍යමය කාමසම්පත්තීන්ට ගිජුවන දෙවියන් බව දුකින් මිදීමට ප්‍රමාදවන බැවිනි. අවසානයේදී දුසී මාරයා මිනිසකුට ආවේශ වී බුදුරදුන්ගේ අගසව්වකු වන “විධුර” ශ්‍රාවකයන් වහන්සේගේ හිසට ගලකින් පහර දෙවයි. හිස පැලී ලේ වගුරවමින් එතුමෝ බුදුරදුන් පසුපස වඩිති. මාරයා ඒ සැණෙකින් දේවාත්මයෙන් චුතව නිරයේ උපදී. මහ රහතන් වහන්සේලාට පවා මෙසේ අකටයුතුකම් කරන මාරයා පුහුදුන් සත්වයනට කුමක් නොකල හැකිදැයි සිතීම වටී.
මාරයා තම සැබෑ වේෂයෙන් හෝ අන්‍යවේෂයකින් අප ඉදිරිපිටට නොපැමිණෙන නමුත් ඔහු අපගේ මනස විකෘතියට පත් කොට අප පාපයට නැඹුරු කරන්නට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එබැවින් ධර්මයෙහි පිළිසරණ ලබමින් දැහැමි ජීවිතයක් ගත කරමින් මාර උපක්‍රමයන්ට හසු නොවී සසර දුකින් අත්මිදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උනන්දු වීම සියල්ලන්ගේ අභිලාෂය විය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසල සිත නිසල කරවන දහම

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

බු දුරජාණන් වහන්සේ විසින් මංමුලා වූ සත්වයාට භයානක සසරින් එතෙරවිය හැකි ආශ්චර්යවත් ධර්මයක් වදාළ සේක. උන් වහන්සේ විසින් දෙසා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් ඒ සියලු දෙනාම දුකෙන් නිදහස් වෙයි.
ඒ වගේම නිතර නිතර සද්ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත පාරිශුද්ධභාවයට පත්වෙනවා. සිත නිවැරැදි වෙනවා. සිත නිවැරැදි වනවිට මෙලොව ජීවිතය නිවැරැදි වීමට පටන් ගන්නවා. ජීවිතය නිවැරැදි වීම නිසාත්, කුසලයට නැඹුරුව ගමන් කිරීම නිසාත් සසර මඟ වරදින්නේ නැතිව නිසි පාර සොයාගෙන සුවපත්වීම කරා ගමන් කිරීමට භාග්‍යය උදාවෙනවා. ඒ නිසා මේ දහම සම්මා සතිය උපදවාගෙන, සතිය බලවත් කරගෙන සීලයෙන්, ප්‍රඥානුසාරීව විමසා බලන්නේ නම්, මහත් ආලෝකයක්, ආශිර්වාදයක්, ශාන්තියක් ලබා ගන්නට පුළුවනි.

ක්ෂණ සම්පත්තිය ලැබුණ විට

මෙගොඩින් එගොඩටඅප මේ ගත කරන ජීවිතය වටිනා ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතය බුද්ධෝප්පත්ති කාලයක ලැබීම තවත් වටිනවා. බුදු බණට නැමුණ සිතක් උරුමවීම ඊටත් වඩා වටිනවා. ඒ සියල්ලට වඩා ඇස්, කන්, හොඳින් පිහිටා අංගවිකල නොවී ත්‍රිහේතුක උපතක් ලැබීමත් වටිනවා. ඉහත කරුණු හතර ඔබට ලැබුණා නම්, ඒ අවස්ථාව දුර්ලභයි. ඒ ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා. ක්ෂණ කියන්නේ මොහොත. නමුත් මේ සම්පත්ති ලැබුණ අවස්ථාව වටිනා ගමනක් යන්න ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි පුද්ගලයෙක් වෙන්න සෝතාපන්න භාවය, සකදාගාමි, අනාගාමි, අරිහත්භාවය කරා ගමන් කරන්නට පුදුමාකාර ශක්තියක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළේ “අප්පමාදේනසම්පාදේථ” මෙතරම් වටිනා අවස්ථාවක් ලැබුණ විට පමානොවී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.
දිනක් බුදුරජාණන් වහන්සේ ගංගාවක් අසලට වැඩියා. ගඟ දෙස බලා සිටියා. සමහර අය ගංගාවෙන් ශරීරය පිරිසුදු කර ගන්නවා. තවත් පිරිසක් මෙගොඩ සිට එගොඩට පීනන්න උත්සාහ කරනවා. සමහර අය ගඟ මැද දක්ෂ ලෙස එකම ඉරියව්වෙන් ඉන්නවා. කිහිප දෙනෙක් ගඟ තරණය කර එගොඩට පිහිනා යනවා. මේ කාරණය උපයෝගි කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ සසර නමැති මහා ගඟ තරණය කිරීම හා ඒ ගමන අනුව පුද්ගලයන් හතර දෙනෙකු වෙන්කොට පෙන්වා වදාළා.
අනුසෝතගාමි පුද්ගලයා - අනුසෝතගාමි කියන්නේ සැඬ පහරට හසුවී සැඬ පහර යන පැත්තට තල්ලු වීමයි. සංසාරය නිතරම අප තල්ලු කරන්නේ නරකට, නපුරට, ප්‍රපාතයකට,හෝ හෙළටයි. එවිට මනුස්ස ජීවිතයෙන් අප ප්‍රයෝජන ගත් අය නොවේ. වැරැදි කරන සමාජයේ වැරැදි කරමින් පංච දුෂ්චරිතයේ යෙදෙන සමාජයේ ඒ ආකාරයට යෙදමින් සිටින පිරිස අනුසෝතගාමි පිරිසයි.
පටිසෝතගාමි - මේ අය ගංගාවේ ඉහළට පිහිනාගත් අයයි. සැඬ පහරට විරුද්ධව ඉහළට ගිය අය. මේ ජීවිතය පාපයෙන් මුදවා පිනට හරවා ගන්නටත් ඒ පින කුසලයක් බවට පත්කර ගන්නටත් උත්සාහ කරනවා. ධර්ම ගංගාව සමඟ එකතුව උඬුගං බලා පිහිනීමක්. එය පටිසෝතගාමියි. පටිසෝතගාමි තලයෙන් උපරිමභාවයට පත් වූ උතුමන් වහන්සේ අපේ ශාන්ති නායකයාණන් වහන්සේ යි. අල්ලාගෙන, බැඳීගෙන ජීවත්වන සමාජයක අතහැරීම නො බැඳීම නො රැඳීම, නො ගැටීම පුරුදු කිරීමෙන් ජීවිතය සුවපත් කරන ලෙසයි උන්වහන්සේ වදාළේ. ඒ පටිසෝතගාමියි ජීවිතය යි.
ඨිතත්තතෝ - ගඟ මැද දක්ෂ ලෙස සිටින පිරිස වගේ. පහළට යන්නෙත් නැහැ ඉහළට යන්නෙත් නැහැ එක ඉරියව්වෙන් ගඟ මැද බොහෝ වෙලාවක් සිටිනවා. මේ ධර්මය හරහා සිත සමාධිගත කර ඒ අය බ්‍රහ්ම ලෝකවලට ගමන් කරනවා. නමුත් එතැනින් එහාට යන්නට උත්සාහයක් නැහැ. සමාධිය සුවයක් කරගෙන ජීවත් වෙනවා.
තින්නෝ පාරම්ගතෝ - මේ පුද්ගලයා ගඟට බැස ගඟ මැදට ගිහින් එගොඩ බලා පිහිනනවා. එහෙම අය අද සමාජයේ අඩුයි. ගඟ පැත්තට හැමෝම දිව්වාට නැවත ආ පස්සට හැරෙනවා. මේ ආකාරයට ගඟ තරණය කරන පුද්ගලයා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ඡා කියන සසරට අප බැඳ තබන සංයෝජන ධර්ම දහයම කඩා බිඳගෙන ගමන යන පුද්ගලයා යි. ඔහු නැවත සසරට වැටීමක් නැහැ.

විලයි - සිතයි

ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සිත ගැඹුරු නිහඬ විලකට උපමා කොට වදාළා. විලේ කෙතරම් මල් පිපිලා තිබුණත් කෙතරම් විශාල වුවත් විල කැලඹිලානම් ඒ විලේ තිබෙන මල්වල සුවඳ පැතිරෙන්නේ නැහැ. සුවඳට වඩා විල යට කැළඹුණ මඩවල දුගඳ විල පුරා පමණක් නොවේ පරිසරය පුරාද විහිදී යනවා. ඒ විලේ මාළු සිටියත්, විල පිරෙන්න වතුර තිබුණත් වැඩක් නැහැ ඒ විල කැළඹිලානම්, බොර වෙලානම්. ඒ වගේ අපට තිබෙන සිතත් විල වගේ. විලේ වතුර අපවිත්‍ර නොවී කැළඹෙන්නේ නැතිව නිසොල්මනේ තිබෙනවිට වචනයෙන් කියන්න බැරි ලස්සනක් තිබෙනවා. ඒ විලේ ඉන්න ලස්සන ලස්සන මාළු පවා පෙනෙනවා. මල්වල සුවඳ පැතිරෙනවා. ඒ පිරිසුදු වතුරෙන් විඩාවට පත් කෙනෙකුට සිහිල් වන්නට වුවත් පුළුවන්. කැළඹුණ විලේ වටිනාකමක් නැහැ. නො කැළඹීව පවතිනවිට ඒ විලේ වටිනාකමක් ලස්සනක් තිබෙනවා.
මනුස්ස සිතත් කැළඹෙනවා. ඇස හරවා රූප නමැති සුළඟ කන හරහා ශබ්දය නමැති සුළඟ, නාසය හරහා සුවඳ නමැති සුළඟ, දිව හරහා රස නමැති සුළඟ, කය හරහා ස්පර්ෂය නැමති සුළං වලින් සිත කැළඹෙනවා. මේ ආකාරයට දොරටු පහෙන් හමන විට අපේ සිත නමැති ලස්සන සිත කැළඹෙනවා. අරමුණු සිත තුළ විශාල ලෙස ගොඩ ගැසෙනවා. කැළඹුණ සිත විඩාවට, මහන්සියට, තෙහෙට්ටුව පත්වෙනවා. කැළඹුණ විල තුළ මඩ ගඳ හැම තැනම හමනවා වගේ කැළඹුණ සිතත් අපේ සිතේ සුවපත්භාවය නැති කරනවා. අරමුණු විසුරුණ විට ජීවිතය විඳවන්නට සිදුවෙනවා.

අන්තයට යාම අගතියයි

අද අප සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන “අගතිගමන” සූත්‍රයයි. අගතිය කියන්නේ පහළට වැටීමයි. එහෙම නැත්නම් යම් දෙයක කොනක් අල්ලාගෙන ඒ පිළිබඳවම සොයමින් සිටීමයි. එවිට අගතිගාමි වෙන්න එපා යැයි අප කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අගතිගාමි වීමත් සමඟම දෘෂ්ඨිගාමි වෙන බව. යම් දිට්ඨියකට අප හසුවෙනවා. බුුුද්ධ කාලයේදී දෘෂ්ඨි කාන්තාරයක් තිබුණේ. මිනිසුන් එයට ග්‍රහණය වෙලා සිටියා. ඒ වගේම විකාර ලෙස දෘෂ්ඨින්ගෙන් ආකූල වෙලා සිටියා. වැරැදි දර්ශන ඔස්සේම ගමන වරදවා ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳ අවදිමත් කෙනෙක් වන්න. ආලෝකමත් කෙනෙක් වන්න. සසර ගමන හඳුනාගන්න. ඒ සඳහා අගතිගාමි නොවී සිටින්න. මහණෙනි, මේ අගතිගාමි නොවී සිටීමේ ක්‍රම හතරයි. කැමැත්ත, ද්වේශය, මුලාව හෝ මෝහය, භය නිසාත් අගතියට පත්වෙනවා.
අටුවාවේදී අගතිය කියන දේ මෙසේ විස්තර කරයි. යම් අන්තයකට කොණකට යාම අගතියයි. නො කටයුත්ත කරයි. සතර අගතියට ඇලුනාම අප කරන්නේ පාපකර්මයි. අකුසල මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා අටමහා නිරයට ඇද දමන කරුණු කාරණා හඳුනාගන්න කියා අගතිගාමි සූත්‍රයේ සඳහන්.
ඡන්දය (කැමැත්ත)අගතියට යෑමේදී යම් දෙයක් පිළිබඳව කැමැත්තක් ඇතිවුණාම ඒ කැමැත්ත නිසාම අප වැරැදි සිදු කරනවා. මේ කැමැත්ත නිසා සුදුස්සා නුසුදුස්සා වෙනවා. නුසුදුස්සා සුදුස්සා වෙනවා.
ද්වේශයෙන් අගතියට යාමත් අප ධර්ම මාර්ගය ප්‍රමාද කරනවා. නිතරම ද්වේශයෙන් ජීවත්වෙනවිට ලේ ධාතුව නරක් වීම නිසා ලෙඩවීමත් වැඩියි. නිරෝගිව සිටින්නටනම් සිත සුවපත්ව තිබෙන්න ඕන.
ඒ වගේම මෝහයත් අප විපතට පත් කරනවා. ඔහු ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ. ශ්‍රවණය කළත් ධර්මය වැටහෙන්නේ නැහැ. ගුරු උපදේශයක් නැහැ. මේ සඳහා ධර්ම සාකච්ඡා කිරීම, ගැටළු තැන් ගුරුවරයෙකුගෙන් අසා දැනගැනීම ආදිය සිදුකිරීමෙන් මෝහය දුරුකරගත හැකියි. මෝහයෙන් මුලා වූ විටත් අගතියට වැටෙනවා.
සමහර අය භය වූ විටත් ඕනෑම වැරැද්දකට පෙළෙඹෙන්න පුළුවන්. භයෙන් අගතියට යනවා. එයින් සසරට වැටෙනවා.
මේ කරුණු හතරට කෙනෙක් යොමු වුණොත් ඔහුට සසරේ ගමන් කිරීමටත්, අට මහ නිරයට වැටෙන්නටත් සිදුවෙනවා. ඒ නිසා මේ කරුණු හතර අවබෝධ කොට එයින් වැළකිය හැකිනම් සසර සුවපත් කරගත හැකි බව බුද්ධ දේශනාවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X