සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.

පුද්ගලයෙක් නොමැති නම් කර්ම විපාක විඳින්නේ කවරෙක්ද?

පුද්ගලයෙක් නැතිනම් කර්ම විපාක විඳින්නේ කවරෙක්දැයි සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. පුද්ගලවාදයක් නැති තැන කර්මවාදයක් ද නැත. පරමාර්ථ වශයෙන් ගන්නා ධාතු ආයතන, ස්කන්ධ පව් කරනවා, පින් කරනවා යැයි පැවසීමෙන් තේරුමක් නැත. පුද්ගලවාදයෙන් තොරව කර්ම විපාක පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පහසු නැත. ඒනිසා කර්මවාදය තේරුම් ගැනීමේ දී සම්මුතියේ පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීම් පදනම් කරගෙන කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනාවලදී පුද්ගලයෙකු පින් පව් කරන බව හැඟෙන ප්‍රකාශ තිබෙන බව දක්නට ඇත.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථෙතං පුනප්පුනං 
තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

අයෙක් යම් පිනක් කරන්නේ නම් ඔහු විසින් ඒ පින නැවත නැවත කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැතිනම් අවම වශයෙන් ඒ කෙරෙහි වන ඇල්ම හෝ තබාගත යුතුය. එයට හේතුව පින් රැස් කිරීම සැපයට හේතුව වන නිසාවෙනි.
මේ ආදී විවිධ ප්‍රකාශයන් තුළින් බුදුරජාණන් වහන්සේ තරම් විපාක විග්‍රහ කර ඇත්තේ සම්මුතියෙහි පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීමෙන් බව අපට වටහා ගත හැකිය. සත්ත්වයා කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය දායාද කොට ඇත්තේය යන ප්‍රකාශ තුළ ද ඒ අදහස විද්‍යාමාන වේ.

සියල්ල සිදුවන්නේ පෙර කළ කර්මය අනුවද?

සබ්බං පුබ්බේකතහේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදුදහම පිළි නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව, උණක් වැළඳුණත් එය ද පුර්ව කර්මයක විපාකයක් ලෙස සිතන සියල්ල කර්මයටම භාර කරන අයද සිටිති. කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේ පෙර කරන ලද කර්මයක්, විපාකයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඒ තැනැත්තා ඉපදී ජීවත්වීමට නම් සිව්පසය සම්පාදනය කරගත යුතුය. මේ ලොව උපදින කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවිත් විය නොහැකිය. ආහාර පානාදිය සොයා ගැනීමේදී තමන්ගේ වෙහෙසීම, කැපවීම බෙහෙවින් අවශ්‍ය වේ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් ලැබෙනතුරු බලා සිටින්නෝ කුසීතයෝ ය. තම ශරීරයට ලෙඩක් රෝගයක් වැළඳුන විටත් එයද කර්මයට භාර කරන අය සිටිති. ගිරිමානන්ද සූත්‍රයට අනුව ලෙඩරෝග විවිධ හේතුන් නිසා වැළැඳේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා ආදී වශයෙන් දක්වා ඇත්තේ එයයි. එහි කම්මවිපාකජා ආබාධා යනුවෙන් ද ලෙඩ වර්ගයක් දක්වා ඇත්තේ කලින් සඳහන් කළ කිසිඳු රෝගයකට හසු නොවන රෝග දක්වනු පිණිසයි. එසේ ම බුදුදහම නියාම ධර්ම පහක් දක්වා ඇත. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන් දක්වා ඇත්තේ එයයි. ඒවායි එහි ද කර්මය එකක් පමණි. සියල්ල නොවේ. නමුත් මෙහි දී අප අවබෝධ කරගත යුත්තක් වන්නේ මේ නියාම ධර්මයන්ගෙන් කර්ම නියාමය අන් නියාම ධර්ම හමුවේ ප්‍රබලව නැඟෙන අවස්ථාව ඇති බවයි.

කර්මය විපාක දෙන හැටි

කර්මයක් කළ විගසම එය විපාක ලැබෙන්නේ නැත. එය පැසී මෝරා විපාකදීමට කාලයක් ගත වේ. කළා වූ පාප කර්මය ගව දෙනගේ තනය ඇල්ලූ විගස කිරි නික්මෙන්නාක් මෙන් එකණෙහි විපාක නොදේ. එම කර්මය ඔහු දවමින් අලුවලින් වැසුණු ගිනි අඟුරක් සේ ඔහු පසුපස්සේ ගමන් කෙරේ. කුඹුරක් වපුරන ලද මිනිසාට එහි අස්වැන්න ක්ෂණිකව ලබාගත නොහැකිය. ඒ සඳහා මාස ගණන් ගත වෙයි. එලෙසින් ම සෑම කර්මයක ම විපාක එසැණෙකින් නොලැබේ. එහෙත් ඇතැම් කර්ම විපාක කළ විගසින් ලැබී ඇති බවද අප අමතක කළ යුතු නොවේ. විංචාමානවිකාව පොළොව පළාගෙන ගියේද එවන් කර්ම විපාකයක් ලෙසින් බව වටහා ගත යුතුය. බොහෝ දෙනා හොඳ කර්මයක් කළ සැනෙකින් එහි විපාක එකෙණෙහි ම බලාපොරොත්තු වෙති. නරක කර්මයක් කළ විට විපාක නො පතති. නොසිතූ වෙලාවක නරක කර්මයක් විපාක දුන් විට තමන් කළ හොඳ කර්ම මතක් කොට අප කොපමණ හොඳ කලත් වැඩක් නැත. අපටමයි කරදර වන්නේ ආදී වශයෙන් සිතා දුකට පත්වන්නේ මේ කර්ම විපාකයෙහි වැටහීමක් නැති නිසාය.
කර්මය පින් සහ පව් වශයෙන් කොටස් දෙකකි. කාය කර්ම, වාග් කර්ම සහ මනෝ කර්ම වශයෙන් කොටස් තුනකි. නැවත කයින් කරන හොඳ කර්ම, වචනයෙන් කරන හොඳ කර්ම, සිතින් කරන හොඳ කර්ම වශයෙන් ද, කයින් කරන නරක කර්ම, වචනයෙන් කරන නරක කර්ම, සිතින් කරන නරක කර්ම වශයෙන් සය ආකාරයකට ද බෙදේ.

දශවිධ අකුසල කර්ම

කයින්, වචනයෙන් සහ සිතින් සිදුකරන නරක කර්ම හෙවත් පව් දශවිධ අකුසල කර්ම වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, කේලාම්කීම, ඵරුෂවචන කීම, හිස් වචනකීම, විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය යි. මෙහිදී ප්‍රාණඝාතය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.

ප්‍රාණඝාතය

සත්ත්වයෙකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය නම් වේ. උපන් ලෝකයේ හැටියට සත්ත්වයෙකුට තම ජීවිතින්ද්‍රිය පවත්වන්නට නියමිත කාලය තිබියදී ජීවිතින්ද්‍රිය හෙවත් ජීවිතය පවත්වන්නට ඉඩ නොදී කිසියම් උපක්‍රමයකින් අතරතුර දී ජීවිතින්ද්‍රිය වනසා දැමීම ප්‍රාණඝාතය යි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.
1). පණ ඇති සතෙකු වීම,
2). සතාට පණ ඇති බව මරණ කෙනා දැන සිටීම,
3). මරණ චේතනාව,
4). මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම,
5). එම උපක්‍රමය කරණ කොට ගෙන සතා මරණයට
පත්වීම.
කිසියම් පාප කර්මයක් සිදුවීමේ දී ඒ ක්‍රියාව හා යෙදෙන චේතනාවේ ප්‍රබලභාවය අනුව සැකැසෙන කර්ම විපාකය ද ප්‍රබලත්වයට පැමිණේ. උදාහරණයක් ලෙසින් මරණ චේතනාව ප්‍රබල වෙන තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දරුණු විපාක සහිත එකක් වන්නේය. මරණ චේතනාව දුර්වල වෙත තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දුර්වල විපාකය ද දුර්වල විපාක සහිත වූ එකක වන්නේ ය. මෙම චේතනාව ම අභිප්‍රාය වශයෙන් දැක්විය හැකිය.
ඇතැම් කෙනෙක් නිවැරැදි මඟට ගැනීමේ අදහසින් යම් පුද්ගලයෙක් වරදක් කරන විට තදින් දොස් කිව හැකිය. එසේ දොස් කියන විට ඒ තැනැත්තාගේ සිත තුළ ද්වේශය නම් වූ අකුසල මූලය ඇති වේ. ඒ ද්වේශය මුල් කර ගෙන කරනු ලබන වචීකර්ම නිසා ඵරුෂ වචන නම් වූ පාපකර්මය සිදු වූවත් එය ප්‍රබල පවක් නොවන්නේ ඒ බැණීම සිදුකරන තැනැත්තාගේ අභිප්‍රාය වූයේ සැබැවින් ම වරද කළ තැනැත්තාට බැණ ඔහු අපහසුතාවට පත්කිරීම නොව ඔහු වරදින් මුදවා ගැනීමයි. එහිදී ඒ තැනැත්තාට පවක් සිදු වුවත් එය ප්‍රබල පවක් නොවන්නේ දොස් කීමේ චේතනාව අභිප්‍රාය හොඳ වූ බැවිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය. එසේ ම මාර්ග අවබෝධයට පත් කිසිවෙකුත් කිසිදා ආනන්තරීය පාපකර්ම සිදු කරන්නේ ද නැත. ආනන්තරීය පාප කර්ම පහකි. 1). තම මව මැරිම, 2). තම පියා මැරීම, 3). රහත් උතුමෙකු මැරීම, 4). බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) . සංඝ භේදය සිදුකිරීම

කර්ම විපාක වශයෙන් බලන කල ආනන්තරීය පාප කර්ම නියත මිථ්‍යාදෘෂ්ටික වූවෙක් තම මරණයට පෙර ඒ දෘෂ්ඨිය අත හැරියේ නම්, ඔහුට මාර්ගඵලාවබෝධයට එම අතීත මිථ්‍යාදෘෂ්ටික භාවය බාධාවක් වන්නේ නැත. එහෙත් ආනන්තරීය පාප කර්මය කළවුන් හට කවර ක්‍රමයකින්වත් එම කර්මය සිදු කළ ආත්ම භවයෙහිදී මාර්ගඵලාවබෝධය සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එසේ ම මරණින් මතු අපායගාමි වීමෙන් වැළැකිය හැක්කේ ද නැත. නියත මිථ්‍යාදෘෂ්ටිකයා මරණයට පළමු සිය මිථ්‍යාදෘෂ්ටිය අත්හළහොත්, ඉන්පසු කුසලයෙහි යෙදුණොත් මඟඵල අවබෝධ කර ගත හැකි සේම මරණින් පසු සුගතියෙහි ද ඉපදීමට අවස්ථාව ඇත. නමුත් ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම එම කර්ම විපාකවලට මුහුණ දිය යුතු වේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය.
යමෙක් ආනන්තරීය පාප කර්මවල විපාක වළකන අදහසින් මේ විශ්වයේ පවතින සෑම සක්වලක ම මහා සෑයවන් ස්වර්ණ ස්තූප කරවූවත්, සක්වල පුරා වැඩ සිටින මහා සංඝරත්නය එක්තැන් කොට මහා දානයක් පිදුවත්, එසේ ම බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක් අල්වාගෙන මැරෙන තුරාවට මෙය නම් අත් නො හරිමියි කියා බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කළත්, මරණින් මතු නිරයේ ඉපදීම ඒකාන්ත බව අටුවාවෙහි සඳහන්.

ආනන්තරිය පාප කර්මය සිදුවන - සිදු නොවන ආකාරය

ආනන්තරීය පාප කර්ම සිදුකළ හැක්කේ මනුෂ්‍ය ලෝකයෙහි සිටිනා මිනිසුන්ට ය. අයෙක් තම මිනිස් මව, පියා හෝ රහතන් වහන්සේ නමක් ඝාතනය කළේ ද, ඒ තැනැත්තාට ආනන්තරීය පාප කර්මය සිදු වේ. මෙහිදී අපගේ අවධානයට ගතයුතු දෙයක් ඇත. මාතෘ ඝාතක, පිතෘ ඝාතක, හෝ අරහන්ත ඝාතකයි. ආනන්තරීය පාප කර්මයේදී මරණයට පත්වෙන තැනැත්තා ගැන දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ නැත. මරණ චේතනාව තිබේනම්, මරන්නේ කිසියම් හෝ ප්‍රාණියෙකු බව දනීනම්, ඒ දැනුවත්කමින් යුතුව ඝාතනය සිදුකරයි නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ඇතැම් කර්ම විපාක සත්ත්වයාගේ ගුණ මහාත්වය අනුවත්, ඇතැම් කර්ම විපාක චේතනා මහාත්වය අනුවත් තීරණය වේ. මෙහිදී මරණ චේතනාව සුළු වශයෙන් හෝ තිබිය යුතු අතර, මවට, පියාට මහරහතන් වහන්සේට ආවේණික වු ගුණ තිබෙන නිසා ඒ ගුණය අනුව කර්ම විපාකය තිරණය වේ. කර්මයකින් විපාක සැකැසෙන්නට කර්මයට ගොදුරු වන තැනැත්තාගේ ස්වභාවය අත්‍යාවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස නිරෝධ සමාපත්තියෙන් නැඟිසිටි මහරහතන් වහන්සේම පූජා කරන දානය දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙසින් ඒ භවයේදීම සුව විපාක උදාරක දෙයි. එය ආවේණික විපාකයකි. ධර්මතාවයකි. දානය පිරිනමන පුද්ගලයා තමන් දානය පුදන්නේ රහතන් වහන්සේ නමකට ය යන දැනුවත්කම ඇතත්, නැතත් ඒ දානයට අනුරූපී කර්ම විපාකය සැකැසේ. එලෙසින් තමන් වෙතින් මිය යන්නේ තම මවද, පියාද, මහරහතන් වහන්සේ නමක්ද යන්න දැන සිටියත්, නොසිටියත්, ඒ පණ ඇති සත්ත්වයෙක් බව දන්නේ නම්, සත්ත්ව ඝාතන චේතනාව පවතින්නේ නම්, එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. ධර්මතාව එයයි. තවද තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය හා අනෙක් සුගතීන්හි ඉපිද සිටින සත්ත්වයන්ට ආනන්තරීය පාප කර්ම සිදුකළ නොහැකියි. තිරිසන් සතෙක් තම මව හෝ පියා මරණයට පත් කළාට ආනන්තරීය පාප කර්මයක් සිදු නොවේ. මහාසාවද්‍ය පාප කර්මයක් පමණක් සිදුවේ. තමන්ගේ මව හෝ පියා බව නොදැන සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතනයෙන් ද ආනන්තරීය පාප කර්මය සිදුනොවේ.

කරුණාව වේශයෙන් - ඝාතන චේතනාව

ඇතැම් අය අනුන් කෙරෙහි කරුණා සිත් උපදවා ගෙන ඔවුන් දුකින් මුදවාලීමේ අදහසින් පරපණ නසන්නට පෙළඹෙති. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී වසර ගණනාවක් ඇඳ මත හොවිමින් සිටින අය දෙස බලා “අනේ මේ තැනැත්තා මේ දුකින් මිදෙනවානම් හොඳය” යැයි සිතා එම තැනැත්තාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජීවිතය තොර කිරීමට පෙළඹෙති. එයද ප්‍රාණ ඝාතයකි. එසේ ජීවිතය අහිමි වන්නේ කිසියම් මවකට නම් පියෙකුට නම්, ඔවුන්ගේ ජීවිතය අහිමි කිරීමට මුල් වූ දරුවන්ට එහිදී ආනන්තරීය පාප කර්මය සිදුවේ. කෙතරම් දුක් වින්ඳත් මේ ලොව සිටින සියලු සත්ත්වයෝ ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැති ය. කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන ද්වේශය නිසාද මරණය නම් අකුසලය සිදුකළ හැකිය. දුක් විඳින සත්ත්වයන් දුකින් මුදවාලීම කරුණාව වුවත්, ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයෙන් කෙනෙකුගේ ජීවිතය විනාශ වේ නම්, එය පාප කර්මයකි. මෙවන් අවස්ථාවලදී බොහෝ විට සිදුවන්නේ ලෙඩ දුක්වලට ගොදුරු වී සිටින පුද්ගලයා දෙස බලා සිටීමට ඇති අකැමැත්ත, අපහසුව නිසා ඔහු හෝ ඇය මරණයට පත්කිරීමයි.
විවිධ රෝගාබාධවලට ගොදුරු වී මාස ගණන් රෝහල් ගත ව සිහි විසඥව සිටින, යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පණ නළ රැඳී තිබෙන, මැරුණා යැයි සහතික නොකළ, ඇතැම් මාපියන් එම යන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් මරණයට පත්වේ. තදබල ද්වේශ චේතනාවක් නැතිවුවද, ඒ ක්‍රියාව නිසා තම මව හෝ පියා මරණයට පත්වෙන බව දැනීමක් එම දරුවන්ට ඇත. එය දැනුවත් ම එම ක්‍රියාව සිදු කිරීමන් එම දරුවන් ආනන්තරීය පාප කර්මයට හසුවේ. තම දරුවන් එම කර්මයෙන් මුදවාලීමට නම්, දෙමාපියන් කල් ඇතිව ම තමන් එවන් තදබල රෝගී අවස්ථාවකට පත්වුවහොත් එවන් යන්ත්‍රවලට නොදමන ලෙස දන්වා තැබිය යුතුය. එසේ නොමැති මාපියන්ගේ ජීවිත ගැන වෛද්‍යවරුන්ට තීරණය කරන්නට ඉඩ දී සිටීමෙන් දරුවන්ට එම කර්මයෙන් වැළැකිය හැකිය.

ලෝහිතුප්පාදක පාප කර්මය

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙළවීම “ලෝහිතූප්පාදක” නම් ආනන්තරීය පාප කර්මය ලෙස දක්වා ඇත. බුදුරජාණන් වහන්සේගේ ශරීරය කිසිවෙකුට හෝ කැඩිය, බිඳිය නොහැකිය. අභේද්‍ය එකකි. තද පහරක් ගැසුවද බුදු සිරුර තුවාල නොවේ. ලේ කැටි ගැසීමක් පමණක් සිදුවේ. දේවදත්ත හිමියන් උන්වහන්සේට ගිජ්ඣකූට පර්වතයේදී පෙරළෙන ලෙස ගලින් ගැලවී ගිය ගල් පතුර වැදීමෙන් ද සිදුවූයේ බුදු සිරි පා තුළ ලේ කැටි ගැසීමක් පමණි. ඒ බුද්ධානුභාවය යි. අටුවා ඉගැන්වීමට අනුව යමෙක් චෛත්‍ය බිඳී නම්, බෝධින් වහන්සේ කපා දමයි නම්, බුද්ධ මන්දිර ධාතු මන්දිර, බුදුපිළිම විනාශ කරයි නම්, ඔහුද ආනන්තරීය පාප කර්මයකට හා සමාන මහාසාවද්‍ය පාප කර්මයක් සිදු කර ගන්නෙක් වෙයි.

සංඝභේද පාප කර්මය

සංඝ භේද කර්මය ආනන්තරීය පාප කර්මවලින් වඩාත් බලවත් කර්මයක් ලෙසින් දක්වා ඇත. එය කල්පස්ථායී අකුසල කර්මයක් ලෙස දක්වා තිබේ. සංඝ භේද පාප කර්මය ගිහියන්ට අදාළ නොවේ. උපසම්පදා භික්ෂුූන්ට පමණි. එය සාමාන්‍ය භික්ෂූන් වහන්සේ දෙනමක් අතර ඇති වන අමනාපයක් නොව වෙන් ව විනය කර්ම සිදු කරන්නට යාම තරම් ප්‍රබල භේදක් විය යුතුය. උපසම්පදා ස්වාමින් වහන්සේ අවම වශයෙන් නව දෙනෙක් සිටින තැනක ඇති කරනු ලබන භේදය මෙහිදී සංඝ භේදයක් ලෙස දක්වා ඇත.
ආනන්තරීය පාප කර්ම පහෙන් සංඝ භේදය වාග් කර්මයකි. අනෙක් කර්ම හතරම කාය කර්මයෝ ය. නමුත් වාග් කර්මය අණකිරීම් හා ප්‍රයෝග යෙදීම වශයෙන් භාවිත වේ. ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ කාය කර්මය සිදු වූ පසුවයි. කයින් සිදු කරනු ලබන ආනන්තරීය පාප කර්ම කල්පස්ථායී කර්මයෝ නොවෙති.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිත විසිතුරුය විසකුරුය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා.
ස්වාමින් වහන්ස, අප කරන,කියන, සිතන සියලුම දේටම බලපාන්නේ අපේ සිතයි. සිත හදාගන්න පුළුවන්නම් අප කරන කියන දේත් යහපත් වෙනවා. ඉක්මණින් කිලුටුවන, දූෂිතවන මේ සිත ආරක්ෂාකරගත යුත්තේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ට පුළුවන් නම් තමන්ටම පහනක්, ආලෝකයක් වෙන්න එය ඉතා වැදගත් බව. මේ සිත ප්‍රභාශ්වර සිතක් ලෙස ආලෝකයක් සොයායන ගමනකට එකතුකර ගන්න හැකියාව ඇත්නම්, එතැනමයි ශාන්තිය තිබෙන්නේ. අපේ ජීවිතය, අපේ සිත නිවැරැදි මාර්ගයට ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත් වැදගත් වෙනවා. නිවැරැදි මාර්ගයට ගත් සිත අපටම පිළිසරණ වෙනවා. වෙනත් බාහිර පිළිසරණක් ඇත්තේම නැහැ. මේ සිත හදාගන්න අප අපටම දූපතක්ම වෙන්න, අප අපටම පහනක් වෙන්න, අපට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම යි.

ධර්මයේ සඳහන් වෙනවා චිත්ත කියා වචනයක්. චිත්ත කියන්නේ සිත විසිතුරු නිසයි. අපේ සිත ප්‍රභාශ්වරයි. විසිතුරුයි. විසිතුරු සිත විසකූරු සිතක් ලෙස පත්වන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ. විසිතුරු සිත විසකූරු සිතක් ලෙසට පත්වුණොත් එතැන ජීවිත ගිනි ගන්නා ස්වභාවයට පත්වෙනවා. මේ විසිතුරු සිත විසකූරු බවට පත්වන්න ප්‍රධාන කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ
1). අවිද්‍යාව,
2). ව්‍යාපාදය
3). මිත්‍යාදෘෂ්ඨිය.
අවිද්‍යාව කියන්නේ දැඩි ආශාවයි. මේ සිතෙහි නො සන්සිඳුනු ආශාවක් තිබෙනවා නම් සිත කිළුටු වෙනවා. අස්ථිර ලෝකයේ බොහෝ පැතුමන් වලින් සිත පුරවාගෙන ඉන්නවා නම්, ඔහුට සැනසීමක් නැහැ. ගැටුම්, ප්‍රශ්න, කරදරමයි ඇතිවෙන්නේ. ව්‍යාපාදය නම් – අනුන් වැනසීමට, නැසීමට, පෙළන්නටමයි, සිත දුවන්නේ. එවැනි සිතක් තිබෙන පුද්ගලයාට සැනසීමක් නැහැ. ජීවිතයේ සතුටක් නැහැ. විඳවීම පමණයි තිබෙන්නේ. ඒ නිසා ව්‍යාපාදය භයානකයි. මිත්‍යාදෘෂ්ඨිය නම්- වැරැදි දැකීම සහ වැරැදි අවබෝධය මෙයට අයත්. වැරැදි අවබෝධය නිසා ධර්මය අධර්මය කර ගන්නවා. අධර්මය ධර්මය ලෙස පටලවා ගන්නවා. සාර දේ අසාර ලෙසත්, අසාර දේ සාර ලෙසත් දකිනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රභාශ්වර සිත, විසිතුරු සිත, ආලෝකමත්, පින්වන්ත සිත ආරක්ෂා කර ගන්න කියා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යාදෘෂ්ඨිය වගේ භයානක පාපී අකුසල සිත අපේ සිතින් ටිකෙන් ටික හඳුනාගෙන මේ සිත ප්‍රභාශ්වර ලෙස තබා ගැනීමට නම්, ධර්ම මාර්ගයට සමීප විය යුතුමයි.
මේ ප්‍රභාශ්වර සිත උඩ සිටින දෙවියකු නොවේ අපිරිසුදු කරන්නේ. පරිසරයේ තිබෙන ගහකොළ, ඇළදොළ ගංගා නොවෙයි අපිරිසුදු කරන්නේ. එය තම තමන් විසින්ම කර ගන්නා දෙයක්. අපේ සිත තුළ තිබෙන ගිජුකම මත සිතට එල්ල වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නිසා සිත අපිරිසුදු වෙනවා. ඒවාට යට නොවී මේ සිත ආරක්ෂා කර ගත්විට සිතේ දියුණුවක් ඇතිවෙනවා. නිවෙන, සැනසෙන පුද්ගලයෙකු විය හැක්කේ එවිටයි.
එදිනෙදා ජීවිතයේදී අප කවුරුත් කේනිති ගන්නවා. විටක එය යටපත් වෙනවා. යටපත් නොකර ගන්නා කේන්තිය තුළින් විශාල විනාශයක් වුවද සිදුවිය හැකියි. මේ කේන්තිය යටපත් කර ගත හැක්කේ, පාලනය කර ගත හැක්කේ කෙසේද?
බුදුරජරාණන් වහන්සේ අපට නිතර කියන්නේ සිත පාලනය කර ගන්නා ලෙසයි. සිත අවනත කර ගන්නා ලෙසයි. සිත හදා ගන්නා ලෙසයි. කෝපයට වෛරයට, පටිඝයට, දුවන සිත පාලනය කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සඳහාමයි අප මෙසේ ධර්මය සාකච්ඡා කරන්නේ, භාවනා කරන්නේ, දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ. මේ හැම දෙයක් තුළම සිත හදන වැඩපිළිවෙලකුයි තිබෙන්නේ. සිත දමනය කිරීම තුළින් පමණයි අපට සැපය උරුම කරගත හැක්කේ.

අපගේ සිතට යම් කේන්තියක් ආ විට එය යටපත් කරන එක හොඳයි. නමුත් ඊට වඩා නිවැරැදි වන්නේ ඒ කේන්තිය එතැනින් ඉවත් කර අමතක කර දැමීමයි. ඔබ දන්නවා රබර් බෝලයක් වතුර යට යම් බරක් තබා රැදෙව්වාට ඒ බර ටිකක් හෝ එහාට මෙහාට වුණොත් ඒ රබර් බෝලය නැවත උඩට එනවා. ඒ වගේ යම් කේන්තියක් සිතට ආවිට එය යට කරනවා. නමුත් ඒ කේන්තිය නැවත ඒ ක්ෂණයෙන්ම මතුවෙන්න පුළුවන්. එය භයානකයි.
අංගුත්තර නිකයේ දේශනාවක මෙසේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ යම් ස්ථානයක වැඩ සිටින විට එතැනින් විසකූරු සර්පයෙක් ගමන් කළා. එදා දේශනාවට මේ සර්පයා උපමා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මෙතැනින් ගිය සර්පයා දුටුවාද? එහෙමයි ස්වාමිනි, මහණෙනි, ඔය විසකූරු සර්පයන් කොටස් හතරකට බෙදන්න පුළුවන්.
1) දෂ්ඨ කළ විට යම් විෂක් දැනෙනවා. ඊට පසු ඒ විෂ දැනෙන්නේම නැහැ.
2) දෂ්ඨ කළ ගමන් ඒ විෂ දැනෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගියපසු විෂ දැනෙන්න පටන් ගන්නවා.
3) දෂ්ඨ කරන විටත්, ඉන් පසුවත් එකසේම විෂයි.
4) දෂ්ඨ කළවිටත් විෂ නැහැ. පසුවත් විෂ නැහැ.
තථාගතයන් වහන්සේ වදාළා මේ මිනිසුන්ගේ සිත මේ ආකාරයට ක්‍රම හතරකට බෙදෙනවා. පළමු පුද්ගලයාගේ සිතට යම් තරහක් ආ විට ඒ තරහ සිතිවිල්ල හඳුනාගෙන එය යටපත් කරනවා. පසුව එය අමතක කර දමනවා. දෙවැන්නා යම් කරුණකට තරහ ගන්නවා. ඒත් මුහුණට කියනවා ආ, කමක් නැහැ ඒක අමතක කරන්න කියා. නමුත් සිත යට ඒ තරහ සිතිවිල්ල තබා ගෙන අවශ්‍ය අවස්ථාව ආ විට පළිගන්න පසුබට වෙන්නේ නැහැ. ඔහු භයානකයි. තුන්වැන්නා දෂ්ඨ කළවිටත්, ඉන්පසුත් ඉතා විෂයි. ඒක මේ වගේ. සමහර අය තරහ ගිය මොහොතෙත් වෛරයෙන් කටයුතු කරනවා. ඉන් පසුවත් ඒ වෛර පෝෂණය කරමින් කටයුතු කරනවා. හතර වැනි සර්පයා දෂ්ඨ කරන විට විෂ නැහැ. දෂ්ඨකළ පසුවත් විස නැහැ. ඒ වගේ අපේ සිතට ගැටීමක් ආ විට ඒ මොහොතේම කේන්ති ගන්නේ නැත්නම්, පසුවත් කේන්ති ගන්නේ නැත්නම් ඒ සිත තමයි දියුණුව කරා යන්නේ. ඔහුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කළා වෙන්නේ.
ඒ නිසා ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළවිටත්, ඉන් පසුවත් විෂ ගෙන දෙන දේ නොවේ. නැත්නම් ඒ මොහොතේ විෂ නැතිව පසුවට විෂ පැතිරෙන දේත් නොවේ. ඔබ උත්සාහ කළ යුත්තේ දෂ්ඨ කළ මොහොතේත් ඉන් පසුවත් විෂ නොමැති වාගේ ඒ මොහොතේත් වෛර නොබඳින, පසුවත් වෛර නොබඳින කෙනෙකුª වන්නට උත්සාහ කිරීමයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම, කියවීම වගේම භාවනා තුළින් සිත යහපත් කර ගන්නට පුළුවන්නම් එය ජීවිතය යහපත් කිරීමට උපකාර වෙනවා.
ඒ නිසා මේ සිත තේරුම් ගෙන සාංසාරික ක්‍රෝධය, වෛරය, පළිගැනීම් දුරු කොට සිත රැකගත් විට සිත වර්තමානයේ ජීවත් කිරීම විශාල පහසුවක් වෙනවා. ඒ වගේම අනාගතයේදීත් දියුණුව කරා ගෙනයාමට පහසුවක් වෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 

ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද?
මිනිසුන්ට ජීවිතය නැතිවෙන්න තරමි හේතුවක් නැහැ. ශරීරයත් සමඟ බැදුන සල්ලි , පැවතුන ශරීරයත් සමඟ බැඳුන ගෙවල් දොරවල්, යාන වාහන, ශරීරයත් සමඟ බැඳුන මේ මහා පොලොවේ වැලි කැට, වැලිකැට උඩ ගහපුු ඉණි සමඟ, අසීමිත සුවඳක් සමඟ මනුස්සකම කුඩා කරගන්න මිනිසුන්ට පුළුවන් වුණාද? හරිහමිබ කරපු දේවල් දුක් මහන්සියෙන් අරගෙන යනවාද? එකම අයෙක්වත් හදාපු ගෙදරක ගඩොලක් රැගෙන යනවාද? ඒ එකක්වත් බැරි වුණාට පුපුරන ලෝභකම , කුණු වුන අමනුස්සකම හදවත ඇතුළත තියාගෙන කවදා නිවන් දකින්නද?
මැරෙන කොටත් අරගෙන යන වෛරය , මැරෙන කොටත් අරගෙන යන ද්වේශය , මැරෙන කොටත් අරගෙන යන්න සිතාගෙන සිටින තරහව ජාති ජාතිත් වෛර කරනවා කියා සිතාගෙන සිටින පවිකාර සිතිවිල්ල අරගෙන කොහේ යන්නද? කබරයෙකුවෙලා ගැරඩියකුවෙලා කොරවක්කකුවෙලා කපුටකුවෙලා පැන පැන යන ගෙමිබකුවෙලා ගෙවන්න බැහැ. ජීවිතය සුන්දරයි. ජීවිතය හරිම මනස්කාන්තයි. ජීවිතය හදඅදනා සුළුයි ජීවිතය මනබඳනා සුළුයි. එම ජීවිතයට නිදහසේ පියාසලන්න ඉඩදෙන්න.
ජීවිතය යනු දේපල එක්කාසු කිරීම නොවෙයි. අපට වඩා මිනිසුන් දේපල එකතුකළා. එකතු කරපු දේපල සියල්ලම අපටම දීලා ගියා. අප කරන්නේත් ඒ ටිකම තමයි. වර්තමානය කියන්නේ අතීතයේ පොටෝකොපියක්. ගෙනයන කිසිවක් නැති වුණත් එකතු කරන එක අඩුනොකරන අප හරිහමිබ කළාට වරදක් නැහැ.ඒත් මනුස්සකම නැතිකරගෙන අමුනුස්සයන් වීමට තරම් එම දේ සාධක වුණේ කොහොමද? අප බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන්. රම්‍ය, සුරම්‍ය, සුභ අතහැරපු මහා මාලිගාව අතහැරපු මන්දිර අතහැරපු සිංහාසනය කිරීටය අසිපත අතහැරපු පාවහන් මිරිවැඩිසඟල , අතහැරපු ඔටුන්න අතහැරපු බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන් වූ අප බුද්ධං සරණං ගච්ඡාමි කියමින් සිය වතාවක් කිවුවත් බුදුන් සරණ යා හැකිද? දශමස්ථානයකින් වත් බුදුහාමුදුරුවන්ගේ කීමක් පිළිපදින්නේ නැති අප මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව සල්ලිකාරකම ඉතිරිකරගන්න එකේ වටිනාකම , මනුස්සකම ඉතිරි කරගන්නේ නැතිව ලොකුකම ඉතිරි කරගන්න එකේ වටිනාකම කුමක්ද? මේවා දැන දැන අමනුස්සයන් වගේ ජීවත් වීමට උත්සාහ කරනවා. සත්තු වගේ ජීවිතය ගෙවන්න උත්සාහ කරනවා.
‍ෙමි පියකරු රටක් විකසිත රටක්,සුන්දර රටක්, මහා මනස්කාන්ත සමාජයක්, මැරෙන තුරුම සිනාමුසු මුහුණින් ජීවත් විය හැකි දේශයක් , ආදරණිය අමිමාගේ අමිමාකම , ආදරණීය තාත්තාගේ තාත්තාකම බුදුහාමුදුරුවෝ දේශනා කළේ වචන තුනක් වූ පුත්තා වත්ථු මනුස්සානං යනුවෙන් දරුවන් අපට තිබෙන ලොකුම වස්තුව ලෙස .උන්වහන්සේ දේශනා කළ සන්තුටිඨි පරමං ධනං යන සතුට පරම ධනය . අප හමිබ කරනු ලබන්නේ ධනය නොවෙයි. සල්ලිවලට වඩා ධනය වෙනස්. ධනයට වඩා සල්ලි වෙනස් . සල්ලිවලින් මිළදී ගන්න හැකි වුණාට ධනයෙන් මිළදී ගන්න බැහැ. හරියට නිදන ඇඳ වගේ. ඇඳ පනස් දහසක් වුණාට නින්ද සල්ලි වලට ගන්න බැහැ. පොත් සල්ලිවලට ගන්න පුළුවන් වුණාට දැනුම සල්ලිවලට ගන්න බැහැ. ෙමිකප් සල්ලිවලට දාන්න පුළුවන් වුණාට හිනාව සල්ලිවලට ගන්න බැහැ. බේත් සල්ලිවලට ගත්තාට නිරෝගිකම සල්ලිවලට ගන්න බැහැ. ඇඳුමි සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ලජ්ජාව සල්ලිවලට ගන්න බැහැ. ගැහැනු මිනිස්සු සල්ලිවලට ගන්න පුළුවන් වුණාට ආදරය සල්ලිවලට ගන්න බැහැ. සල්ලිවලට ගන්න බැරි හැම දෙයක්ම ධනයෙන් ලබාගත හැකියි. එම නිසයි බුදුපියාණන් වහන්සේ සන්තුටිඨි පරමං ධනං යනුවෙන් සතුට පරම ධනය ෙවි යනුවෙන් දේශනා කරනු ලැබුෙවි.
house කියන්නේ ගෙදර home කියෙන්නේ නිවසයි. මෙය එකකට එකක් වෙනස් වූ දෙකක්. house හදන්නේ ගල් වැලි සිමෙන්ති යකඩවලින් . home හදන්නේ ආදරයෙන් ලෙන්ගතුකමෙන් දයාවෙන් ස්නේහයෙන් .තීන්ත ගාන්නේ සිවිලින් ගසන්නේ තිරෙරිදි දමන්නේ ලබන්නේ ගෙයක් මිස නිවස නොවෙයි. නිවස ලස්සන කරන්නේ ආදරයෙන්. කරුණාවෙන් පොඩිදුවගේ සිනා වැලයි. පොඩි පුතුගේ කතා පෙළයි. ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි. එතන නිවහනයි එය ගනු ලබන්නේ ධනයෙන් මිස සල්ලිවලින් නොවෙයි.මේ ස්නේහේවන්ත දයාබර හෝම් එක හවුස් එකක් නොවෙයි. හෝම් කියන වචනය පාවිචිචි කරන්නේ සන්තෝෂය තිබෙන තැනටයි. එම නිසයි වෙඩින් දවසට පසුවදා ඇටි හෝම් වෙන්නේ.ඇටි හවුස් නොවේයි. එම නිසයි හවුස් කමින් වන්නේ නැතිව හෝමි කමිං වන්නේ. සිනාව රැඳෙන තැන හෝමි එකක්. ඔබට තිබෙන්නේ හෝමි එකක්ද? හවුස් එකක්ද? සත්‍ය වශයෙන්ම ඔබට තිබෙන්නේ ගෙදරක්ද? නිවසක්ද? නිවස ගෙට වඩා වෙනස් බව සිතන්න. සල්ලිවලට වඩා ධනය වෙනස් බව සිතන්න .
ශරීරයට වඩා ජීවිතය වෙනස් බව සිතන්න. මේ තුළින් ජීවිතය තිබෙනවාද? එසේ නැත්නම් තිබෙන්නේ ශරීරයයි සල්ලි ගෙයයි,පමණද? යන ප්‍රශ්නයට පිළිතුර ඔබ විසින් සමිපාදනය කර ගත යුතුයි. ජාතියට මඟ කියන්න අවශ්‍ය වෙලාවක වැරදුන තැන් කියන්න අවශ්‍යයයි. එය පිළිපැදීම ඔබගේ කාර්යයක්. අපට වුණේ මොකද? කියලා සොයලා බලන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X