සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි

උන්වහන්සේට බුදුබව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු !

දෙවියන්ගේ ද්වාරය හරහා සෘෂිකේශියට

මැදියම් රැය මහ පොළොවේ මොන ඉසව්වද යන්න පැහැදිලි නැති සීතල අන්ධකාරයේ ඇන්ජිම, ගොරහැඩි හඬ නංවමින්ද, නලාව අනවරතව හඬා වැටෙමින්ද, වංගුවල ඇඹරෙමින් ද අබලන් තැන්වල ඉහළ පහළ විසිවෙමින් ද ඒ සියල්ල අතරේ අධිවේගයකින් ද බස්රිය ඉදිරියට ගමන් කරයි.
උත්තර ප‍්‍රදේශය හරහා වැටී ඇති මේ මග ඔස්සේ බස්රථය ඇදෙන්නේ හිමාලය ආශ්‍රීත උත්තර ඛණ්ඩය බලාය. බස්රථයේ ගමන අවසාන වන්නට නියමිතව ඇත්තේ ඍෂිකේශි නගරයෙනි. ඒ සඳහා තව කොපමණ දුරක් ගෙවිය යුතු ද තව කොපමණ කාලයක් ගත කළ යුතු දැයි මම නොදනිමි. මේ ගමන යා යුතුව ඇත්තේ වෙහෙස, නිදිමත, බසයේ දුෂ්කරකම යන මේ සියල්ල විඳදරා ගනිමිනි. එය එසේ වුවද මේ අන්ධකාරය නොවිනි නම් ඇස ගැටෙන දසුන් අතිශයින්ම නෙත්කළුය. සිත්කළුය. ඇළදොළ, පොකුණු, ගහකොළ, කෙත්වතු, එළු, ගව, බැටළු රැළ ඒ අතර වෙති. මේ ප‍්‍රදේශය වනාහි එදා මෙදාතුර භාරතය සමෘද්ධිමත් කළ, සශ්‍රීක භූමිභාගවලින් එකකි. කෘෂිකර්මය පදනම් කොට ගත් මේ ජනපදවල ජනජීවිතයේ නොයෙකුත් අවශ්‍යතා ඉටුකරන අනේකවිධ කර්මාන්ත ද මෙහි වෙයි.
බස්රථය එක් අවස්ථාවක කුඹල් කාර්මිකයන්ගේ ජනපදයක් මැදින් ගමන් කරමින් තිබිණි. එය කුඹල් ගමක් බව හඳුනාගත හැක්කේ රැුයේ ඇවිලෙන, වළන් දැවෙන පෝරණු නිසාවෙනි. මීට පෙර ද පසුව ද මා භාරතයේ කුඹල් ගම් දැක ඇත. වරෙක මම කුඹල් ගමක දින කීපයක් ගතකළෙමි. එයින් එක් රැුයක් පහන් කළේ කුඹල් හලකය. රෙදිවලට පසු මිනිසාට අත්‍යවශ්‍ය භාණ්ඩය වන්නේ වළඳයි. කෝටි සංඛ්‍යාත ජනකායක් වෙනුවෙන් වළන් නිපදවීම ද සුළු පටු දෙයක් නොවේ. ඒ නිසාම භාරතයේ කුඹල් ගම් නොව කුඹල් පුරවරයන් ද දැකිය හැකිය. අතීතයේ ද කුඹල් ගම් හා සංචාරක පැවිද්දන් අතර විශේෂ සබැඳියාවක් පැවතිණ. බස්රියක් තුළ ගෙවෙන මේ රාත‍්‍රියේ ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියේ බුද්ධ චරිතයේ ද සුවිශේෂී අවස්ථාවක් කුඹල්හලක් හා බැඳී පවතින බැවිණි. ඒ පුක්කුසාති පිළිබඳ කථාවයි.
පැරණි ‘‘ගාන්ධාරය’’ පිහිටියේ වයඹ දිග භාරතයේ ය. එය වර්තමානයේ පකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට අයත්ය. වර්තමානයේ එම දේශසීමා ආසන්නයේ පිහිටි ‘‘කන්ධහාර්’’ පැරණි ගාන්ධාරයේ වත්මන් ශේෂයන්ය. ගාන්ධාරය ඈත අතීතයේ සිටම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් විය. එයට පදනම් වූ ප‍්‍රධාන සාධකය වූයේ මධ්‍ය භාරතය හරහා ගමන් කළ ප‍්‍රධාන වෙළඳ මාර්ගය ගාන්ධාරය හරහා ගමන් කොට සේදමාවත හා සම්බන්ධ වීමයි. එම නිසාම ගාන්ධාරය ධන ධාන්‍යයෙන් ආඪ්‍ය සමෘද්ධිමත් රාජ්‍යයක් වීය. මගධයේ පසිඳු ව්‍යාපාරික (සිටු) සුදත්ත (අනේ පිඬු) මේ වෙළඳ මාර්ගයේ සුවිශේෂී ව්‍යාපාරිකයෙක් විය. ඒ නිසාම ඉහත වෙළඳ මාර්ගය හා බැඳුන රාජ්‍යවල රජවරු සිටුවරු සමඟ ඔහුට මනා සබැඳියාවක් තිබිණි. එහි විශේෂත්වය ඔවුත් අතරින් බොහෝදෙනා එකිනෙකා දැන හඳුනා නොතිබීමයි. ඒ අදෘෂ්‍ය මිත‍්‍රයන්ය. 
ගාන්ධාරයේ පුක්කුසාති රජු හා මගධයේ සුදත්ත සිටු අතර වූ සබැඳියාව ද එවැන්නකි. සුදත්ත සෝතාපන්න උපාසකයකු වීමෙන් අනතුරුව සිය මිත‍්‍රයන්ට ද ධර්මය නැමති මහඟු සම්පත ලබාදෙන්නට තීරණය කොට රන්  පත් ඉරුවල ධර්මය ලියවා එම මිත‍්‍රයින් වෙත යවන ලද්දේය. පුක්කුසාති රජුට ද ඒ ආකාරයෙන් ධර්මය ලිව් රන් පත්ඉරු ලැබිණි. එම ලිපිය කියවූ පමණින්ම සෝතාපන්න ඵලයට පත්වූ රජතුමා රාජ්‍ය අතහැර පැවිදි වෙස්ගෙන බුදුරජුන් මුණගැසීමේ අරමුණ ඇතිව මධ්‍යමණ්ඩලය වෙත යන අරමුණෙන් රජමැදුරෙන් පිටත් විය. එය ඉතා දිගු පා ගමනක් විය. වත්මන් ඉන්දියාවේ පංජාබ්, ගුජරාට්, හර්යානා, දිල්ලි, අලහාබාද්, වාරානසී යන ප‍්‍රදේශවලට අයත් භුමිය හරහා මේ මග වැටී තිබිණි. බුදුරජුන් වැඩසිටි ඉසව්ව සොයා ආ එතුමන් රාජගිරියට ළඟාවිය. ඒ එක්තරා සන්ධ්‍යාවක්ය. ඒ නගරයට ඇතුළුවීමට හෝ පිටවීමට කාලය නොවූ අතර අන් අයට මෙන්ම පුක්කුසාති පැවිද්දාට ද නගරයෙන් පිටත රාත‍්‍රිය ගතකරන්නට සිදුවිය.
පැවිදි වෙස්ගත් රජතුමන් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගනු ලැබුවේ කුඹල් හලකි. තවත් මොහොතකින් වෙනත් පැවිද්දකු ද එහි පැමිණ නවාතැන් ගැනීම සඳහා අවසර පැතීය. ඒ අවසරය ලැබුණ නිසාවෙන් පසුව පැමිණි පැවිද්දා ද කුඹල් හලේ පසෙක අසුනක් පනවාගත්තේය. මේ අතීත පැවිද්දන්ගේ සිරිතයි. පැරණි පැවිද්දා එලෙස කුඹල්හල්වල අසුන් ගනු ලැබුවේ කුමක් නිසාවෙන්ද? එය විශේෂිත වූවකි. මේ කුඹල් හල්වල නිපදවනු ලබන මැටිබඳුන් පුලූස්සනු ලබන්නේ රාත‍්‍රී භාගයේය. ඒ සඳහා මනාව ඉදිකළ පෝරණු තිබේ. ඒවා ශීත කාලයේ හොඳහැටි උණුසුම ගෙනෙන පෝරණු වෙයි. එමෙන්ම උෂ්ණකාලයේ ශීත රකින පරිසරයක් ද මෙහි තිබේ. අනා පදම්කළ මැටිගොඩවල් ද, ජලය රැස් කරන පොකුණු ද කුඹල් කර්මාන්ත භූමිවල තිබේ. (බොහෝවිට මේ කර්මාන්තය පවතින්නේ ගංගා ආශ‍්‍රිතවයි) ඒ නිසාම මෙහි ජල සාංද්‍රතාව හොඳින් පවතී.
සංචාරක පැවිද්දකුට පමණක් නොව  ඕනෑම කෙනකුට  ඕනෑම ඍතුවකදී කුඹල්හල හොඳ නවාතැනකි. වැසි කාලවලද වළන් නොතෙමෙන්න, 
ගිනි නොනිමෙන්න, ආවරණ ඉදිකර තිබේ. වැසි සමයේ ද අවශ්‍යනම් පැවිද්දාට පහසුවෙන් කුඹල්හලේ නැවතිය හැකි ය. එහෙත් වැසි සමය පැවිද්දන් සංචාරවල නියැලූණ යුගයක් නොවේ.
බුද්ධ කාලීන භාරතීය පැවිද්දන්ගේ පැවැත්ම හා චර්යා තේරුම් ගැනීම සඳහා වත්මන් භාරතීය පැවිද්දන් හා ඔවුන්ගේ චර්යා තේරුම් ගැනීම ඉතාම වැදගත් වේ. භික්‍ෂු විනයේ දී අනුගමනය නොකළයුතු යයි සඳහන් වන බොහෝ පුරුදු තවමත් බෞද්ධ නොවන පැවිද්දන් අතර පවතී. එමෙන්ම භික්‍ෂුන් සඳහා පැනවූ විනය නීතිවල අවශ්‍යතාව ද මේ පරිසරය තුළ මොනවට පැහැදිලි වේ. භික්‍ෂු විනයේ එක් පාර්ශ්වයක් වන ධුතාංග වත්මන් භාරතයේ බෞද්ධ නොවන පැවිදි පාර්ශ්ව අතර ද දක්නට ලැබේ. එය ඔවුන්ගේ විශේෂ වූ චර්යාවක් ලෙස නොව, සාමාන්‍ය පැවිදි ගති ලක්‍ෂණ ලෙස පවත්වාගෙන යනු ලැබේ.
ඉහත දැක්වූ පුක්කුසාති පැවිද්දා ද රාජගිරියට පැමිණියේ දිගු මගක් ගෙවාගෙනය. අතර මග වූ අම්බලම්, වනවදුලූ, රුක්ගොමු හි එතුමන්ගේ රාත‍්‍රීන් ගෙවිණ. ගොවියන්, කාර්මිකයින්, වෙළෙන්දන් අතර නවාතැන් ගත් එතුමන් ගැල්කරුවෝ, මග පෙන්වන්නන් හා සහචරයෝ වූහ. එමෙන්ම දායකයෝ ද වූහ. මෙවැනි වූ චාරිකා අත්දැකීම් සිහිනුවණ ඇත්තවුන්ට ජීවිතය හදුනාගන්නටත්, ආධ්‍යාත්මික වර්ධනයටත් උපකාරී වේ. පුක්කුසාති සෝතාපන්න වූයේ දහම්පත කියවූ මොහොතේය. ඒ ගාන්ධාරයේ දී ය.
එම අසිරිමත් රැයේ කුඹල් හලේ පිදුරු එලා සකසාගත් ඇතිරිල්ලක අසුන් ගත් පැවිද්දන් දෙදෙනා අතර මෙබඳු සංවාදයක් ඇති විය.

‘ඔබ කුමන දේශයක සිට පැමිණෙන්නේද?’
‘මම ගාන්ධාරයේ සිට පැමිණෙමි’
‘ඔබ කොතැනකට යන්නේද?’
‘මම මගේ ශාස්තෲවරයාණන් වහන්සේ වෙත යමි’
‘ඔබට මීට පෙර ඔබගේ ශාස්තෘවරයාණන් වහන්සේ හමුව තිබේ ද?’
‘නැත’
‘දුටුවොත් හැඳිනිය හැකි ද?’
‘නැත’
ඉන් අනතුරුව දෙදෙනා අතර දිගු ධර්ම සාකච්ඡාවක් වීය. ඒ සාකාච්ඡුාව අවසන් වනවිට තමා ඉදිරියේ සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේය යන්න පුක්කුසාතිට වැටහිණි. ඒ වනවිට පුක්කුසාති අනාගාමී භාවයට පත්වී අවසන්ය.
මේ බුද්ධ ශාසනයේ ස්වාභාවය සේම බුදුරජාණන් වහන්සේගේ චර්යා පිළිබඳව වටහා ගත හැකි විශේෂ අවස්ථාවකි. උන්වහන්සේ ජනසමාජ පැවතියේ සාමාන්‍ය පැවිද්දකු ලෙසය. එමෙන්ම උන්වහන්සේ විවිධ පැවිදි කණ්ඩායම් ඇසුරු කළහ. විවිධ සම්ප‍්‍රදායන්වලට අයත් පැවිදි කණ්ඩායම් බහුල වූ 
රාජගිරිය හා ගයාව වැනි ප‍්‍රදේශවලදී ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. ත‍්‍රිපිටක සාහිත්‍යයේ සූත‍්‍ර කීපයක ම විවිධ පැවිදි කණ්ඩායම් සමග බුදුරාජාණන් වහන්සේ කළ සාකච්ඡුා සහ සංවාද දැකිය හැකිය. ඉන්ද්‍රුිය භාවනා සූත‍්‍රය එවැනි වාර්තාවක් සපයයි.
රාත‍්‍රිය පුරා ගමන් කරමින් තිබූ බස්රියට වී මම මේ සිදුවීම් මෙනෙහිකරමින් සිටියෙමි. පුක්කුසාති පිළිබඳව සිදුවීම වාර්තා කරන සහ අදාළ ධර්ම සාකච්ඡුාව සඳහන්වන සූත‍්‍රය වන්නේ ධාතුවිභංග සූත‍්‍රයයි. මේ සූත‍්‍රයේ අඩංගු ධර්ම කරුණු විශේෂ අවධානයකට යොමු විය යුතුව තිබේ. මහායාන දර්ශනයේ පදනම වන්නේ ප‍්‍රඥාපාරමිතාහෘදය සූත‍්‍රයයි. එය එම දර්ශනයේ හදවතයි. ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රයත්, ධාතුවිභංග සූත‍්‍රයත් අතර විශේෂ සමානකම් දක්නට ඇත. මේ සූත‍්‍රදෙක අතර පවතින සාමානතාව හා අසමානතා මහයාන හා ථේරවාදය සංසන්දනාත්මකව හඳුනාගන්නට ඉතාම වැදගත් සාධක වෙයි. 
ධාතුවිභංග සූත‍්‍රයේදී ස්කන්ධ ධර්ම අනාත්ම ලෙස විග‍්‍රහ කරද්දී, ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රය ස්කන්ධ ධර්ම ශූන්‍ය ලෙස විග‍්‍රහ කරයි. ඒ අනුව මේ දර්ශන දෙක තුළ ශුන්‍ය හා අනාත්ම යන කාරණා පිළිබඳව වෙනසක් දක්නට ඇත. මේ වචන භාවිත කරමින් එකිනෙකා ඉදිරිපත් කිරීමට උත්සහ කළේ කුමක් ද, දර්ශන විෂයේදී හා විමුක්ති මාර්ගයේදී මේ කරුණු අදාළ වන්නේ සහ වැදගත් වන්නේ කෙසේ ද, යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. සහෝදර සම්ප‍්‍රදායයන්ගේ මෙවැනි මූලාශ‍්‍ර අධ්‍යනය හා සංසන්දනාත්මක විග‍්‍රහයන් කාලීන වූ අවශ්‍යතාවකි. කරුණු හා අවස්ථා පිළිබඳ ථේරවාද, මහායාන, තන්ත‍්‍රයාන සම්ප‍්‍රදායවල භික්‍ෂූන් අතර පැහැදිලි සංවාදයක් පැවතිය යුතුය.

මා මේ රාත‍්‍රියේ ගමන් කරමින් සිටින්නේ වෛදික චින්තනයේ කේන්ද්‍රස්ථානයක් වන ඍෂිකේශිය වෙතයි. ගෙවී ගිය අඩ සියවස තුළ බටහිර සංස්කෘතියට ද ප‍්‍රබල බලපෑමක් ඇතිකරමින් පැතිර ගිය පෙරදිග ආධ්‍යාත්මික රැල්ලේ කේන්ද්‍රස්ථානය වූයේ ද මේ ඍෂිකේෂියමැයි. මෑත භාගයේ භාරතීය ආධ්‍යත්මිකත්වයේ සංකේතය බවට පත්වූයේ ද ඍෂිකේෂියයි. ඍෂිකේෂිය ලෝකයට විවෘත වෙමින් පැවති මුල් අවධියේදී අතිපූජ්‍ය 
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ මේ යෝගීන් අතර වාසය කළහ. අපේ සමාජය භෞතිකවාදී චින්තනයට යටත්ව පැවති යුගයේ එයින් වෙන් වූ  චින්තනයකට සාමාජය රැුගෙන යාමේ අවශ්‍යතාව දුටු ප‍්‍රාඥයා උන්වහන්සේය. ඒ සඳහා අවශ්‍ය යම් පසුබිමක් උන්වහන්සේ ගොඩනැගූහ. මෑත යුගයේ මේ ප‍්‍රදේශයන්හි සැරිසැරූ ලාංකික භික්‍ෂුන් අතලොස්ස අතර උන්වහන්සේ සිටින අතර, ආධ්‍යත්මික ගවේශණයක යෙදෙමින් මෙහි සැරිසැරූ පළමුවැන්නා වන්නේද උන්වහන්සේය. විවිධ භාවනා ක‍්‍රම පිළිබඳව තුළනාත්මක අධ්‍යයනයක දැනුමසේම සමකාලීන භාරතීය ආධ්‍යාත්මික ගුරුවරුන් සමග සබැඳියාවන් පැවතියේ ද උන්වහන්සේටය. 



එය එසේ වුවද මේ ඍෂිකේෂියට මා කිරිකෝඩුය. තවමත් මා සිටින්නේ අතරමගය. එය මා නොදන්නා තැනකි. එය කුමනාකාරයේ තැනක් ද එහි පැවතුම් කෙසේද යන්න පිළිබඳව පැහැදිලි නැත. මෙහිදී මට ඇති එකම උපකාරය ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගෙන් ලැබුණ ලිපිය පමණි. ඒ ලිපිය මට ලැබුණ ආකරය ද විශේෂිතය. නාහිමියන් සමග කරනලද යම් යම් සාකච්ඡුාවලදී උන්වහන්සේ ඍෂිකේශිය පිළිබඳව සඳහන් කළ අවස්ථා බොහෝය. මට ද යම් අවස්ථාවකදී එහි යන ලෙස, වරින්වර උන්වහන්සේ සිහිපත් කර තිබිණි.
එහෙත් මා ඒ පිළිබඳව දැක්වු උනන්දුව ප‍්‍රමාණවත් නොවේ. 1998 දී පොසොන් පෝයට පසුව මා නාහිමියන් මුණගැසීමට තීරණය කරනු ලැබුවේ හේතු කීපයක් ඇතිවය. ධම්මසිද්ධි හිමියන්ගෙන් දැනගත් යම්යම් කරුණු නිරවුල්කොට තහවුරු කරගැනීම හා ධම්මසිද්ධි හිමියන් සම්බන්ධව ද යම් තොරතුරු ප‍්‍රමාණයක් දැන ගැනීමට තිබූ අවශ්‍යතා එහිලා මූලික විය.
දෙවැන්න වූයේ ඉදිරි වස්කාලයේ නාහිමිපාණන් වහන්සේ ගතකරන්නේ කෙසේද යන්න දැනගැනීමටත් ඒ කාලය තුළ උන්වහන්සේ ඇසුරේ ගතකිරීමට අවසර ලබාගැනීමටත් ය. මා මේ ගමන යාමට අදහස් කරමින් සිටිද්දී ‘‘සතීන්ද්‍රිය හිමියන්ට’’ හා උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට නාහිමියන් බැහැදැක වැඳ පුදාගැනීමේ වුවමනාව තිබිණි. ඒ නිසා ඒ ගමන මා ගියේ එම පිිරිස ද සමගය.
අපි බළන්ගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයට ගියෙමු. එහෙත් උන්වහන්සේ කොළඹට වැඩමකර තිබිණි. කොළඹදී උන්වහන්සේ වාසය කරන ස්ථාන දෙකක් තිබේ. ඉන් එකක් චිත්ත විවේකාශ‍්‍රමයයි. එය කෝට්ටේ වික‍්‍රමසිංහ පුරයේ පිහිටා තිබේ. අනෙක මහරගම වටයවත්තයි. මින් කොතැනක උන්වහන්සේ වැඩසිටී ද යන්න පැහැදිලි නැත. එහෙත් අපි කොළඹට යාමට තීරණය කළෙමු. උන්වහන්සේ වැඩ සිටියේ මහරගම චන්ද්‍රසේකරාරාමයේය. අප එහි යනවිට උන්වහන්සේ තරමක වෙහෙසකින් හා රෝගී ස්වරූපයකින් පසුවූහ. ඒ උන්වහන්සේ තායිවානයේ සංචාරය නිමාකර පැමිණි අලූතය. ඒ ගමන තමන්ට සෑහෙන වෙහෙසකර වූ බව උන්වහන්සේ පැවසූහ. අප මුළින්ම නාහිමියන් මුණගැසුණේ උන්වහන්සේගේ කුටිය තුළදීය. උන්වහන්සේ  සිටියේ සයනය මත වැතිරගෙනය. තමන් වහන්සේට වඳින සියලූ දෙනාට අශිර්වාද කරන ලද්දේ තරමක අපහසුවෙනි.
 කවදත් නා හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය කාලගුණය වැනිය. එක මොහොතක රෝගීව සිටින උන්වහන්සේ තව මොහොතකදී නිරෝගීව ද සිටිති. එදින ද එසේ ම විය. පැය භාගයකට පමණ පසුව උන්වහන්සේ කුටිය ඉදිරිපස ආලින්දයේ පුටුවක වැඩ සිටිනවා දක්නට ලැබිණි. මම නැවත ද උන්වහන්සේ වෙත ගොස් වස්කාලය පිළිබඳව විමසුවෙමි. එවිට  උන්වහන්සේ ඒ පිළිබඳව නිශ්චිත උත්තරයක් නොදෙන ලදී. සමහර විට ගෙදරක විය හැකිය යන්න පිළිතුර විය. එය නැවත ප‍්‍රශ්න කළ යුත්තක් නොවේ යයි මගේ හිත කිව්වේ ය. ඉන්පසු උන්වහන්සේ කුටිය දෙසට අත දිගුකර මේසේ උඩ තිබෙන කොලෙයි පෑනයි ගේන්නැයි පැවසූහ. මා ඒ කොලය ද පෑන ද ගෙනවිත් පිළිගැන්වීමි. උන්වහන්සේ එහි ලිපියක් ලිවූහ. එය තුනට නැමූ නාහිමිපාණන් වහන්සේ මා වෙත දිගුකර ඍෂිකේශි යද්දී ගෙනියන්නැයි පැවසූහ.
ඒ උන්වහන්සේගේ මේ ජීවිතයේදී උන්වහන්සේ හමු වූ අවසන් අවස්ථාවයි. අනතුරුව එළඹුන වස්කාලය තුළ උන්වහන්සේ අපවත් වූහ. අනඳමෙත් නාහිමියන් පිළිබඳව මට ඇති පැරණිම මතකය, මගේ වයස දොළහයේදී පමණ වූ මතකයකි. රසවාහිනි සඟරාවක (එම සඟරාව මට ලැබුණේ ධම්මසිද්ධි හිමියන්ගෙනි) නාහිමියන්ගේ ලිපියක් සහ ඡුායාරූපයක් පළවී තිබිණි. එම ලිපියේ සඳහන්ව තිබුණේ නාඩි වාක්‍ය හා සම්බන්ධ වූ තොරතුරුය. මම ඒ සඟරාව සුරක්‍ෂිතව තබාගතිමි. එමෙන් ම උන්වහන්සේගේ නම මගේ හිත තුළට තදින්ම කාවැදී රැඳිණි. ඒ අතරතුර කාලයේදී නාහිමියන්ගේ ශිෂ්‍යයකු වූ බටගල්ලේ මේධානන්ද නාහිමියන්ට අපේ ගමේ පන්සල පැවිරිණි. මිහින්තලා කන්දට දකුණෙන් පිහිටි කටුපොත කන්ද නමින් හැඳින්වෙන කඳුගැටයේ පිහිටි මේ පන්සල ආරණ්‍ය සේනාසනයකි. මෙම ස්ථානය අතීතයේ ප‍්‍රාචීන පබ්බත නම් විය. මේ ආරණ්‍යයේ  භාරකාරත්වය පැවරුනේ අනඳමෙත් නාහිමියන්ගේ ශිෂ්‍යයකුට බැවින්, උන්වහන්සේ ද ඉදිරියේදී මේ ස්ථානයට වැඩම කරන්නේය යන අදහස එකල කා තුළත් වීය. මේධානන්ද හිමියන් ද වරින් වර එම අදහස කුළුගැන්වූහ. ඒ හැම අවස්ථාවකම මගේ සිත බලාපොරොත්තු සහගත විය. එහෙත් ඒ බලාපොරොත්තුව ඉටුවන්නට කලක් ගතවිය. උන්වහන්සේ වඩිනවා යැයි පැවසූ හැම අවස්ථාවකම අවසාන මොහොතේ වැඩම කරන ලද්දේ, නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි නා හිමිනමකි.
කලක් ගත විය. 1983 ජූලි කලබලවලින් පසුව මම ආරණ්‍යයේ නතරවීමි. ඒ පැවිදිවීම පිළිබඳව අධිෂ්ඨානය ඇතිවය. ඒ වන විට මම උපතින් දහතුන්වන වියේ පසුවීමි. ආරණ්‍යයේ සාමාන්‍ය දින චර්යාව වූයේ, දවල් දානයෙන් පසු සියලූ භික්‍ෂුන් කඳු ඉහළ කුටිවලට වැඩම වීමයි. නැවත උන්වහන්සේලා පහළට වඩින්නේ සවස පහටයි. වෙන කෙනකු නොවේ නම් පහළ ගල්ලෙන තුළ මා තනිව කාලය ගත කළ යුතුය. දුටු ගැමුණු රජතුමා සාදා පූජාකරනලද බව තහවුරු වන සෙල්ලිපියක් ද සහිත මෙම ගල්ලෙන සුවිසල් ය. ආරණ්‍යයේ දාන ශාලාවද, මුළුතැන්ගෙය ද ආගන්තුකයන් හා නේවාසිකයන් එක් රැුස්වන ශාලාව ද පැවතියේ මේ ගල්ලෙන තුළමය. ඒ ලෙනෙහි ඒ සඳහා ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබේ.
එක් දිනක් ගල්ලෙන ඉදිරිපස ගල උඩ වාඩිවී පොතක් කියවද්දී දවල් දෙකට පමණ කිසියම් භික්ෂුවක් තවත් සාමණේර හිමිනමක සමග ගල්ලෙන දෙසට වඩිනු දුටුවෙමි. මා උන්වහන්සේලා දුටුවේ ළඟටම පැමිණි පසුවයි. ආගන්තුක භික්‍ෂුවක් වඩින විට අනුගමනය කරන්නට උගන්වා තිබූ ආකාරයට වත් පිළිවෙත් ඉටු කළෙමි. ඉදිරියට ගොස් වැන්දෙමි. ඇතුළට වඩින්නැයි ආරාධනා කළෙමි. උන්වහන්සේ කිසිදු අපහසුතාවයකින් තොරව පඩි කීපය නැග ලෙන තුළට වැඩම කොට අසුනේ වැඩ සිටියහ. මේ ස්ථානය එතරම් පහසුකම් තිබු ස්ථානයක් නොවේ. ඊළගට මා කළයුතු වූයේ පැන් පිළිගැන්වීමයි. මා මුල්තැන්ගෙයි කළයෙන් පැන් කෝප්පයක් රැුගෙන විත් පිළිගැන්වීමි. පැන් කොප්පය රැුගෙන එනවිට, මා කියවමින් සිටි පොත උන්වහන්සේගේ අතේ විය. (හර්මන් හෙසගේ සිද්ධාර්ථ නවකථාවේ සිංහල පරිවර්තනය) උන්වහන්සේ පැන් කොප්පය වළඳද්ඳී ‘ඔය ළමයා ද මේ පොත කියවන්නේ’ යයි විමසූහ. ‘මම එහෙමයි’ යනුවෙන් පිළිතුරු දුනිමි. එවිට උන්වහන්සේ පොතේ පිටුවක් පෙරලා එහි පේලි කීපයක් මට පෙන්වූහ. මා ඒ  පිටුවත් පේලි කීපයත් මතක තබාගතිමි. එදා ඒ පිටුව හා පේලි මතක තිබුණා පමණි. එහි තිබු දේ තේරෙන්නට තවත් කලක් ගත විය.
එහෙත් එයින් ගම්‍ය වන අරුත තවමත් වැටහෙමින් පවති. එදාට වැඩිය අද වැටහෙන දෑ බොහෝ ය. හෙට තව බොහෝ දෑ එහි තිබෙනු දැකිය හැකිවනු ඇත. සිද්ධාර්ථ ගංගාවට ඇහුම්කන් දුන්නා සේම මම තවම ඒ වැකියට ඇහුම්කන්දෙමි. මගේ චිත්තාභ්‍යන්තරය  තුළ එය කොතෙක් කිඳා බැස ඇතිද යත් මට ඒ වදන් සිහියට නැගෙන්නේ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ වදන් වැලක් ලෙසිනි.
පොත පසෙක තැබූ උන්වහන්සේ මගේ දකුණත ගෙන එහි රේඛා පරීක්‍ෂා කළහ. මම උන්වහන්සේ දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ උන්වහන්සේ මුහුණ තිබු ආකාරය තවමත් මට මතකය. අත පරීක්‍ෂා කරන ගමන් පන්සලේ හාමුදුරුවරු පහළට වඩින්නේ කීයට දැයි උන්වහන්සේ විමසූහ. පහටයි මම පිළිතුරු දුනිමි. ‘‘එහෙම නම් ආපහු වඩින්නම් ඒ ඇත්තන්ට බාධාකරන්න  ඕන්නෑ යි’’ පවසමින් උන්වහන්සේ පිටත් වීම සඳහා නැගී සිටියහ. එවිට කවුරු වැඩියා කියලා ද කියන්න  ඕනෑ යි විමසීමි. පිළිතුරු වශයෙන් උන්වහන්සේ ‘‘මේ බලන්ගොඩ හාමුදුරුවෝ...............’’ යයි පවසනවා මට මතකය.
මට මතක එපමණයි. සියල්ල අමතක විය. මේ කව්ද යන්න වටහාගත හැකි විය. මම පඩි කීපය බැස්සා නොව ඉගිලූණෙමි. මා නතර වූයේ ගෙඩිය ළඟයි. (ගෙඩිය යනු ආරණ්‍ය සේනාසනවල ගංඨාරය වෙනුවට භාවිතාවන දැවමය උපකරණයකි) හැකි වෙර යොදා ගෙඩිය ගැසීමි. එය නියමිත විදිහට නාද කළ ගෙඩියක් නොවීය. මගේ හිත තුළ ඇති වූ උද්දාමය නිසාම වූ පහර දීමකි. ගෙඩියේ හඬ ඇසූ අරණ්‍යවාසී හිමිවරු මොහොතකින් එහි වැඩම කළහ. නාහිමිපාණන්වහන්සේ ඉන් පැය භාගයකට පමණ පසු පිටත්ව ගියහ. එසේ පිටත් වෙද්දී එහි සිටි ධම්මසිරි හිමියන්ට මා බලංගොඩ රැුගෙන එන්නැයි පැවසූ බව පසුව දැනගතිමි.
ඒ මගේ පළමු මුණ ගැසීමයි. මේ මුණ ගැසීම් දෙක අතර කාලය තුළ බොහො දේ සිදු විය. මේ වන විට උන්වහන්සේ අපවත් වී මාස කීපයක් ගෙවී ගොස් තිබේ. මා ඒ දෙස උපේක්‍ෂා සහගතව බලා සිටිමි. උන්වහන්සේ සිය සාංසාරික ගමන් මගේ එක් පාරමිතාමය චර්යාවක නියුතුව සිටියහ. මිහිතලය මත එක් යුගයක කොටස් කරුවකු වූහ. එය දුෂ්කර කාල පරිච්ෙඡ්දයකි. ඒ බාධක උන්වහන්සේ අභිබවනය කළහ.   
අද මේ බස්රිය ගමන් කරමින් තිබෙන්නේ කලෙකට පෙර ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ ගමන්කළ මගය. අදට වැඩිය දුෂ්කර වූ යුගයක මේ මග තොට සොයාගෙන උන්වහන්සේ එහි වැඩම කළහ. ඒ එළි කළ මග දිග අද මම ගමන් කරමින් සිටිමි. එදා දුෂ්කරකම් එලෙසින්ම මෙදා නැත. ඊට වඩා වූ පහසුකම් තිබේ. එහෙත් එදා සිටි උතුමන් අද ඍෂිකේෂිය තුළ නැත. එදා නාහිමියන් ඇසුරු කළ ඍෂිකේෂියේ සුවිශේෂී චරිතයක් වූ ස්වාමි නාරායනානන්ද තුමන් ද අද මෙහි නැත. එහෙත් එතුමන්ගේ ශිෂ්‍යයෝ එහි සිටිති.
අනඳ මෙත්් නාහිමි ඍෂිකේෂියේදී යෝගීන් ඇසුරු කරමින් කාලය ගත කළහ. එමෙන්ම එහිදී යම් යම් අභ්‍යාස ද ප‍්‍රගුණ කළහ. උන්වහන්සේ වැඩි කලක් ගතකර ඇත්තේ ස්වාමි යෝගානන්ද ආශ‍්‍රමයේ ය. වරෙක උන්වහන්සේ එම ආශ‍්‍රමයෙන් පිටත් වූ දවස මෙසේ සිහිපත් කරති.
‘‘ස්වාමි නාරායනානන්දතුමා මට පොත දීලා කිව්වා, මා මේ පොත කියෙව්වා දැන් මට මෙයින්  වැඩක් නෑ කියලා. මා ඔබට මෙය දැන් පරිත්‍යාග කරනවා කියලත් කිව්වා. ඊළගට මා සමග ස්වල්ප දුරක් ආවා. බස් එක එනතුරු ටික වෙලාවක් පේමන්ට් එකේ රැුඳී සිටියා. ඒ ඉන්න අතරතුර එතුමා කිව්වා මේ අපේ‍්‍රල් මාසේ ලබපු හැටියේ මැයි. මේ සැරේ අපේ‍්‍රල් උෂ්ණය බොහොම බලවත් වෙයි. ඒ නිසා ඉක්මනින් ලංකාවට එන එක නුවණට හුරුයි........ මේ මාසයේ මැද හරියේ තද උෂ්ණය එනවා. ඉවසාගන්න බැරිතරම් උෂ්නය ඇති වුණාම මා දීපු යෝග උපදේශ අනුව තමන්ගේ ඇඟවටා සීතල ඇති කරගන්න. එවිට උෂ්ණයෙන් පීඩාවක් වෙන්නේ නෑ කියලා එතුමා කිව්වා. ඉතිං එතුමන්ට ආචාර කරලා බසයට නැගිලා පිටත් වුණා’’
වර්ෂ 1999 මාර්තු මස එක් දිනයක හිමිදිරියේ මම ඒ බස් නැවතුම්පොලේදී බසයෙන් බැස්සෙමි.


අටලොස්වන පියවර
‘‘මහණෙනි, යම් සේ කන්දෙන් ගලා බසින, වැටුණ වැටුණ දේ පහළට ගෙන යන, දුර ගමන් යන, දුර ගමන් කරන වේගවත් සැඩපාර ඇති ගඟක් වෙයි. ඉඳින් එහි දෙතෙර වැවුණ වැලූක් තණ, කුස තණ, බබුස් තණ, බෙරු තණ, දුබලගස් ඇත. ඒවා ගඟට නැමී ඇත. ඒ ගෙඟ් සැඩපහරින් ගසා ගෙන යන මිනිසෙක් ඒවායෙහි එල්ලූණොත් ඒවා මුල් පස් සමඟ ඉදිරෙයි. එයින් මහා විනාශයට පත්වෙයි. එමෙන් මහණෙනි, ආර්යයන් නොදක්නා, නූගත් පෘථග්ජනයා..  . ඒ හේතුවෙන් මහා විනාශයට පත්වෙයි’’
භාගිරථ රජතුමා හිමාලය පර්වතයට වී දිගුකලක් තපස් රකිමින් සිටියේය. ඒ තපස වූයේ ලෞකික වූ සියලූ බැඳීම්වලින් තොරව වනේ ඵලාපල බුදිමින්, උපවාස කරමින් නිරන්තරයෙන් බ‍්‍රහ්ම නාමය සිහිකිරීමයි. දිගු කලකට පසු මේ අධිෂ්ඨාන පූර්වක තපස කෙරෙහි ප‍්‍රසාදයට පත් බ‍්‍රහ්ම, භාගිරථ ඉදිරියේ පෙනී සිටියේය. එසේ පාදුර්භූත වූ බ‍්‍රහ්ම ඔහු අමතා ‘‘ඔබට අවශ්‍ය මොනවා දැයි’’ විමසීය. එකල්හි භාගිරථ මෙසේ කීහ.
‘‘ඔබතුමන්ගේ පිහිට නිසාවෙන් මට සියල්ල ලැබී ඇත.’’ ‘‘එම පිළිතුරින් ප‍්‍රසාදයට පත් බ‍්‍රහ්ම ‘‘නුඹට අවශ්‍ය යමක් වේ නම් පවසන්නැ’’යි කීය. එකල්හි භාගිරථ මෙසේ පැවසීය. ‘‘දෙව්ලොව වසන ඔබගේ දියණිය වන ගංගා කුමරිය පෘථිවිය වෙත ලබාදෙනු මැනවි.’’ එකල්හි බ‍්‍රහ්ම සිය දියණිය ‘‘ගංගා කුමරිය’’ පෘථිවිය වෙත එවනු ලැබුවාය.
ඒ ‘‘ගංගා’’ නම් වු නදියේ උප්පත්ති කථාවයි. භාරතීය සංස්කෘතියේ ජීවන උල්පත, ගංගා නදියේ ඇරඹුම සිදුවන්නේ සෘෂිකේශියෙන් උතුරේ පිහිටි හිමවත් කඳු අතරයි. ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ ගංගා නදිය යම් සේ පූජනීය ද එලෙසින්ම මේ ප‍්‍රදේශයේ භූමිය ද පූජනීය ය. මෙහි සියලූ පර්වතයන්, කඳු සිඛරයන්, පාංශු ස්ථරයන්, දියදහරාවන් පූජනීය වේ. ඒ නිසාම ඒ එකිනෙක හා බැඳුන පූජනීය වෘතාන්ත ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ රැව්පිළිරැව් දෙමින් පවති.
ගංගා මාතා ජී හෙවත් ගංගා නදියේ උපත පිළිබඳව ජන වික්‍ඳ්ක්‍ඳාණය තුළ එවැනි වූ වෘත්තාන්තයක් පවතිද්දී සොබා දහමේ නියාමයන්ට අනුව ගංගා නම් වු නදිය (ගංගා නම් ගඟ) හිමාලීය කඳු අතර නිර්මාණය වෙමින් පහළ තැනිතලා වෙත ගලා හැළෙමින් පවතී. එය ඇරඹුණේ කවදාක සිට ද යන්න පිළිබඳව නම් මිනිසාට අවබෝධයක් නැත. එය නම් දෙවියන්ම දන්නා දෙයකි. ගංගාවේ ආරම්භය සිදුවන්නේ සෘෂිකේශියේ ඉහළ ගංගෝත්තරියේදී ය. සාම්ප‍්‍රදායික පිළිගැනීම අනුව ගංගාවේ ආරම්භය ගෝ මුඛයයි. ගෝ මුඛය යනු ගොනකුගේ මුවේ හැඩය ගත් (එසේ වුවද එවැනි හැඩයක් නම් එම ලෙනේ දක්නට නැත. සමහරවිට පසුකලෙක භූවිපර්යාසයන් සිදුවී හැඩය වෙනස් වූවාද විය හැකිය) ගල්ලෙනකි.
මිනිස් ඇසට ග‍්‍රහණය වන ගංගා නදියේ පළමු දිය දහර ගලා එන්නේ එතැනිනි. එසේ හෙයින් මෙම ස්ථානය නදියේ ඇරඹුම ලෙස පිළිගැනීම හේතු යුක්තිය. ඉන් ඉහළදී දකින්නට ලැබෙන්නේ මිදුන අයිස් (ග්ලැසියර* තට්ටුය. එම අයිස් තට්ටු දියවෙමින් ඊට යටින් ගංගාවේ ආරම්භක දිය දහරා ගලාවිත් ගෝ මුඛය තුළින් පහළට ගලා හැලේ. සැබවින්ම මේ පිහිටීමම අද්භූත ජනක හැඟීම් අවුලූවාලයි. එසේ හෙයින්ම ගෝ මුඛයෙන් ඉහළ කොටස ආකාශ ගංගාව ලෙස පැරණියෝ නම් කළහ.
>ගෝ මුඛයට තරමක් දුරින් නැගෙනහිරින් පිහිටි බේද්‍රරනාත් හා බදිරනාත් නමින් හැඳින්වෙන දිය දහර දෙක රුද්‍රප‍්‍රයාගය නමින් හැඳින්වෙන ස්ථානයේදී එකට හමුවේ. එතෙක් කුඩා දිය දහරක් වන ගංගාව සුවිසල්ව ගලා හැළෙන්නට පටන්ගන්නේ මේ ස්ථානයේ සිටය. ආරම්භක ස්ථානයේ සිට කි.මී.30ක් පමණ දකුණින් පිහිටි ගංගා දෑලවර භූමිය සෘෂිකේශිය නමින් හැඳින්වේ. මෙය දිගු කලක් පැවිද්දන්ගේ වාස භූමිය වූ අතර මෑත භාගයේ සිට හින්දු ආගමේ කේන්ද්‍රස්ථානයක් බවට ද බටහිර ලෝකයේ ප‍්‍රබල ලෞකික සංස්කෘතියට අභියෝග කළ ආධ්‍යාත්මික සංස්කෘතියක කේන්ද්‍රස්ථානය බවට ද පත්විය. හිමාලීය චින්තන ගවේෂණයේදී මේ භූමිය ද ඉතාම වැදගත් වේ.
භාරතීය සංස්කෘතියේ ජීවනාලිය ගංගා නදිය බවට පත්වන්නේ ඒ මහා ජලකඳ ඔවුන්ගේ ආර්ථික දේශපාලනික ක‍්‍රියාවලියේ සාධකයක් නිසා පමණක් නොව ඔවුන්ගේ චින්තනයේ උල්පත් සේම මහෝඝයන් ද මේ නදිය ආශ‍්‍රිතවම බිහිවූ නිසාවෙනි. යම් විදිහකින් ඔබට ගංගෝත්තරීයේ සිට බෙංගාලයේ ගංගා මෝය තෙක් සංචාරය කළහැකි නම් භාරතීය සංස්කෘතියේ පැහැදිලි හරස්කඩක් දැකිය හැකි වනු ඇත. එය භාරතීය චින්තනය අධ්‍යයනය කිරීමේ මග ද වනු ඇත. ගංගා නදියේ උල්පත් ගංගෝත්තරි ප‍්‍රදේශයේ පවතින්නා සේම භාරතීය චින්තනයේ උල්පත්ද එම ප‍්‍රදේශයේම දකින්නට ඇත.
සෘෂිකේශිය දිගුකලක සිට පැවිද්දන්ගේ වාසස්ථානයක් විය. එහෙත් බුදුරදුන් ජීවමාන කාලයේ හෝ ආසන්න පසු කාලයේ හෝ මෙම ප‍්‍රදේශයේ ජනප‍්‍රියතාවක් හෝ ප‍්‍රකට බවක් දකින්නට නැත. පැරණි බෞද්ධ සාහිත්‍යයේ හෝ ජෛන සාහිත්‍යයේ හෝ වෛදික සාහිත්‍යයේ හෝ මේ ප‍්‍රදේශය ගැන සඳහන් නොවේ. ජාතක පොතේ එන සමහර කරුණු අනුව ඒ මේ ප‍්‍රදේශය යැයි සිතෙන අවස්ථා ඇත. රාමායනය හෝ මහභාරතයේ කතුවරුන්ගේ සටහන් සාම්ප‍්‍රදායික පිළිගැනීම් තරම් පැරණි නොවේ. මේ ප‍්‍රදේශය පිළිබඳ පැරණිම සටහන් දකින්නට ඇත්තේ අශෝක යුගයේය. එම යුගයේ මේ ප‍්‍රදේශය හැඳින්වූයේ අහෝගංගා පබ්බත හෝ උපරිගංගා පබ්බත යන නම්වලිනි. එය වත්මන් ගංගෝත්තරී යන්නට සමාන වේ.

වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමා


ඍෂිකේශියේ සිටි කාලවල විශේෂ යෝගියෙකු පිළිබඳ වරින් වර අසන්නට ලැබිණි. මුලදී මගේ අවධානය එතරම් දුරකට ඒ වෙත යොමු නොවුණි. එහෙත් ඒ යෝගියා පොදුවේ සියලූ ආචාර්යවරුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ යෝගියෙකු ලෙස වැටහුණ නිසාත්, මට අසන්නට ලැබුණ වෙනත් කථාවනුත් නිසාවෙන් මේ යෝගියා පිළිබඳ මගේ කුතුහලය වැඩිවිය. මේ අතර සිදුවූ එක් සිදුවීමක් නිසාවෙන් මේ යෝගියා පිළිබඳව අවබෝධයක් ලබාගන්නට හැකි වූ අතර ගැටලූ කීපයකට මුහුණ දෙන්නට ද ඍෂිකේශියෙන් ඉක්මනින් පිටව යන්නට සිදුවිය.

මේ විශේෂ යෝගියා ”නාගරාජ් බාබාජී” ය. මෙහිදී මා දැන හඳුනාගත් යෝගීන්ගෙන් එතුමා පිළිබඳ තොරතුරු විමසමින් සිටියෙමි. ඍෂිකේශිය වැනි තැන්වල තිබෙන ලොකුම ගැටලූව කිසියම් තොරතුරක් පැහැදිලිව ලබාගැනීමට තිබෙන අපහසුවයි. විටක එකම කාරණය පිළිබඳව විවිධාකාර තොරතුරු තිබේ. විවිධාකාර දේ පිළිබඳව එකම අදහස් ප‍්‍රකාශ වේ. එමෙන්ම උත්තර නොදීම, පැහැදිලි කරන්නට අකමැති වීම, වැනි දෑද ගැටලූය. ධර්මශාලාවේ හා වෙනත් හිමාලීය පන්සල්වලද ඒ ලක්‍ෂණය තිබිණි. වරෙක නාගරාජ්තුමන් අතීතයේ සිටි කෙනෙකු ලෙස කථාකරන අතර තවත් පිරිසක් එතුමන් ගැන කථාකරන්නේ තවම ජීවත්ව සිටින කෙනෙකු ලෙසයි. මෙයද මට හරි හැටි පැහැදිලි නොවූවකි.

මා නාගරාජ්තුමන් පිළිබඳ තොරතුරු සාකච්ඡුා කරමින් සිටි අවස්ථාවක මා මිත‍්‍ර යෝගීතුමන් මට චිත‍්‍රයක් පෙන්වන ලදී. එය තරුණ පෙනුමක් ඇති යෝගියකුගේ ජීවමාන රූපකාය දක්වන චිත‍්‍රයකි. ඔහු එය නාගරාජ්තුමන් ලෙස හැඳින්විය. එම රූපය දෙස බලාසිටිද්දී මගේ සිහියට ආවේ උදේ ගංගා ඉවුරේදී මේ යෝගියා මා දුටුවා නේද යන්නයි. මෙහි බැ?රුම්කම් හා වට පිටාව පිළිබඳ අවබෝධයක් නොතිබූ මම උදෑසන ගංඉවුරේදී මෙතුමන් දුටු බව පැවැසීමි. එකල්හි මගේ මිත‍්‍රයා පුදුමයෙන් මා දෙස බලා ඇත්තටම ඔබ එතුමා දුටුවාදැයි ඇසීය. ඔව් මේ වගේ කෙනෙක් දුටුවා යයි පැවසීමි. එතුමා මොනවා කරනවා ද දුටුවේ යයි යළි ඔහු විමසීය. ස්නානය කර දියෙන් ගොඩ එනු මම දුටිමි යි පැවසීමි. ඔහු තව තවත් කරුණු හාරා අවුස්සන්නට විය. ඔහුගේ කුතුහලය දැඩිය. මම එය වැදගත් කොට නොසැලකීමි. එහෙත් මේ විශේෂත්වයට හේතුව දැනගැනීමේ උවමනාව මා වෙත විය. ඒ නිසාම මම ඔහුගෙන් ඇයි මෙතරම් විශේෂයක් යයි විමසීමි. එවිට ඔහු ”ඇයි? විශේෂයක් නැත්තේයි විමසීමි. එතුමන් ලේසියෙන් කෙනෙකුට දර්ශනය වෙන්නේ නෑ. ඒක දුර්ලභ කාරණයක්.” මම නැවතත් විමසීමි ”ඔබ කිව්වා මේ ඔබේ ගුරුවරයා කියලා. එතුමන් ජීවත්වන බවත් කිව්වා. ඒ මේ ප‍්‍රදේශයේ බවත් කිව්වා. ඉතිං හදිස්සියේ ගංඉවුරේදී එතුමන් දකින්නට ලැබීමේ තිබෙන විශේෂ කුමක්ද?”

එහෙත් ඔහු සිටියේ අනවශ්‍ය තරම් කලබලයෙකිනි. ඔහු මදක් දුරින් සිටිකෙනකුට ද අඩගැසීය. ඔහුද ද විශ්මය දනවමින් කථා කළේය. ඒ අනුව මෙය ලේසි කාරණයක් නොවන බව මට පැහැදිලි වන්නට විය. මා ඉදිරියේ ඉතිරි වූයේ ප‍්‍රශ්න වැලකි. ඒ චිත‍්‍රයේ දැක්වෙන ආකාරයේ කෙනෙකු මා දුටු බව පැහැදිලිය. ඒ ඇස් හා මුහුණ මට හොඳාකාරවම මතකය. මට එය තවමත් පැහැදිලිය. ඒත් මා දුටුවේ ඔවුන් අදහස් කරන කෙනාද, නගරයේ තරුණ තරුණියන් ජනප‍්‍රිය පුද්ගලයන් අනුකරණය කිරීම විලාසිතාවක් වනවා සේම ආධ්‍යාත්මික ක්‍ෂේත‍්‍රයේද ජනප‍්‍රිය පුද්ගලයින්, ගුරුවරුන් අනුකරණය කිරීම විලාසිතාවකි. ජේසුස් වහන්සේ මෙන් කොණ්ඩය සහ රැුවුල වවාගෙන ඇඳුම් ඇඳගත් කී දෙනෙක් මට ම මුණගැසී ඇත. අරියධම්ම හාමුදුරුවෝ අනුකරණය කරන තරුණ භික්‍ෂූන් කී දෙනෙක් ලංකාවේ සමාජයේ ඉන්නවාද? ඉදින් ජනප‍්‍රිය සහ පූජනීය යෝගිවරයෙකුගේ ස්වරූපයට වෙස් ගත් නවක යෝගියෙකු සිටිය නොහැකිද? මා උදේ දුටුවේ එවැන්නෙකු නොවිය හැකිද?

මගේ විග‍්‍රහයට ඔවුන් එකඟ නැත. ඔවුන් තරයේ කියා සිටියේ මෙවැනි ස්වරූපයේ වෙනත් කිසිවෙකු ඍෂිකේශියේ නොමැති බවයි. එසේ සිටී නම් ඔහු ඔවුනටද මුණගැසිය යුතුය. (එය ද සත්‍යයකි) එපමණක් නොව ඔවුන් දැන සිටිය යුතුය. මා උදේ මෙවන් කෙනෙකු දුටුවේ නම් ඒ වෙන කිසිවෙකු නොව ඒ නාගරාජ් තුමාම බව ඔවුන්ගේ අදහස විය. පැය කීපයක් ඇතුළත මෙය තුඩින් තුඩ පැතිර යන කථාවක් බවට පත්විය.

බොහෝ දෙනා මේ සිද්ධිය මගෙන් විමසන්නට විය. මා ලංකාවේ බෞද්ධ භික්‍ෂුවක බව දැනගත් විට ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවිය. මෙහිදී එක හොඳක් සිදුවිය. ඒ නාගරාජ්තුමන් පිළිබඳව වැඩි වැඩියෙන් තොරතුරු දැනගත හැකි වීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස නාගරාජ්තුමා හා ලංකාව අතර සබඳියාව ද මට දැනගත හැකිවිය. ඒ අනුව ඍෂිකේශියේ චින්තනයට ලංකාව දායක වූ ආකාරය ද පැහැදිලි විය. ඒ ලාංකික දායකත්වය තේරුම් ගැනීමටත් ආධ්‍යාත්මික චින්තනයක ඉතිහාසය තේරුම් ගැනීමටත් ඒ වෘත්තාන්තය මෙහි සටහන් කළ යුතුවේ.


උත්තර භාරතීය සංස්කෘතිය ගංගා නදී දෑලවරේ ගොඩනැගුනා සේම දක්‍ෂිණ භාරතීය සංස්කෘතිය ගොඩනැගුණේ කාවේරි නදී දෑලවරේය. වර්තමානයේ ”පරංගිපෙට්ටි” නමින් හැඳින්වෙන ජනපදය අතීතයේ සිටම කාවේරි ඉවුරේ වූ ප‍්‍රකට වාණිජ නගරයක් විය. එහි ප‍්‍රධාන කෝවිලේ පුජකතුමන්ගේ පුතණුවන් ලෙස ක‍්‍රි.ව. 203 නොවැම්බර් 30 වන දින උපත ලද කුමරුවා දෙමාපියන් විසින් ”නාගරාජ්” යන නාමයෙන් හඳුන්වන ලද්දේය. මේ දරුවා වයස අවුරුදු පහේදී කෝවිල් දොරටුව අභියස දී පර්සියන් ජාතිකයකු විසින් පැහැරගන්නාලදුව වහලකු ලෙස කල්කටාවේදී විකුණන ලදී.

ළදරුවා මිලදී ගන්නා ලද්දේ බ‍්‍රාහ්මණයකු විසිනි. ඔහු නාගරාජ් වහලකු ලෙස නොසැලකු අතර සිය දරුවකු ලෙස හදාගන්නා ලද්දේය. ඔහුට නිදහසේ හැසිරීමට ද ඉඩකඩ ලැබිණි. කාලයකට පසු ඔහු සන්‍යාසි කණ්ඩායමක් සමඟ එකතුවිය. පැරණි භාරතයේ සන්‍යාසීන් ලෙස හැඳින්වූයේ පූර්ණකාලීන පැවිද්දන්ටය. වෛදික, ජෛන, සේම බෞද්ධ පැවිද්දන් ද සන්‍යාසීන් ලෙස හැඳින්විය. ඔවුහු සංචාරක ජීවිතයක් ගත කළ පිරිසක්ය. ඒ නිසාවෙන් නාගරාජ්ට තැනින් තැන සංචාරය කරන්නටද ආගම දහම ඉගෙනීමටද අවස්ථාව සැලසිණි. එහෙත් ඔහු කුමන සම්ප‍්‍රදායකට අයත් ආගම දහසක් උගත්තේද යන්න පැහැදිලි නැත. වර්තමානයේ සාමාන්‍ය පිළීගැනීම වේදය ආශ්‍රීත දහමක් උගත් බවයි. මේ සංචාරක ජීවිතයේ ඵලයක් ලෙස ඔහු බරණැසට පැමිණියේය.

එහිදී මුණගැසුන තවත් සංචාරක කණ්ඩායමක් සමඟ පසුකලෙක ලංකාවේ උතුරු වෙරළට පැමිණීයේය. දීර්ඝවූ සංචාරකයින් පසුව ඔහු ”කතරගම” වෙත ගියේය. එහිදී ඔහු බෝගර්නාථ නැමති යෝගියෙකු ඇසුරේ භාවනා පුහුණුව ලබා තිබේ. ”නාගරාජ්” භාරතයේදී ඇසුරු කළ සන්‍යාසීන් කව්ද සහ ලංකාවේ සිටි ”බෝගර්නාථ” යනු කවුරුන්ද යන්න විමසිය යුතුව තිබේ. නාගරාජ්තුමාට කර්තෘත්වය පැවරෙන ”බෝගර් යෝග” නම් කෘතියේ තොරතුරු අනුව බෝගර්නාථතුමා ”චීන” ජාතිකයෙකි. මෙම නමේ අරුත අනුව ”නාග” හෝ ”මකර” යන අදහස එයයි. මේ තොරතුරු අනුව ඉතාම වැදගත් කාරණයක් පැහැදිලිවෙයි. මේ වන විට, එනම් ක‍්‍රි.ව. තෙවන සියවස වනවිට චීන ජාතික භාවනානුයෝගීයකු ලංකාවේ විසූ බවයි. ඔහු ආචාර්ය වරයෙක්ද වීය. එය විය නොහැක්කක් හෝ පුදුමයට කරුණක් නොවේ. මෙම යුගයේ චීන ලංකා සබැඳියාවන් ඓතිහාසිකව ද පුරාවිද්‍යාත්මකව ද තහවුරුව තිබේ. මෙය ලාංකීය භික්‍ෂූන් පමණක් නොව භික්‍ෂුණීන්ද චීනයේ බුදුදහම උගන්වමින් සිටි යුගයයි. බෝගර්නාථතුමාගෙන් නාගරාජ්තුමා ඉගෙනගත් භාවනා ක‍්‍රම ලෙස සඳහන් වන්නේ සාධනා, ධ්‍යාන කිරිය හා තපසයි.

”සධානා” යන්න ”සත්” යන්න මුල්කරගෙන බිහිවූ ශබ්දයක් නිසා එය ”සති” යන්නට සමීප කමක් දක්වයි. නාගරාජ් පරපුරේ වර්තමානිකයින් සාධනා යන්න විස්තර කරන ආකාරය තුළද සතිපට්ඨාන සම්ප‍්‍රදායේ ලක්‍ෂණ දැකිය හැකිය. ”ධ්‍යාන කිරිය” යන්න ”කර්මස්ථාන” යන්නට සමාන වුවකි. එමෙන්ම සතර ඉරියාපථ පිළිබඳව කියවෙන ”කිරිය යෝග” නැතිනම් ”කර්ම යෝග” ද ඔවුන් අතර දකින්නට ලැබේ. ”තපස” පිළිබඳ කරන විග‍්‍රහය තුළ දකින්නට ලැබෙන්නේ පැවිදි ජීවිතයේ ලක්‍ෂණයයි. මේ හැම තැනකම දක්නට ලැබෙන්නේ බෞද්ධ ලක්‍ෂණයි. මෙහිදී සලකා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ ක‍්‍රි.ව. දෙවන සියවස වනවිට වෛදික චින්තනය තුළ භාවනාව එතරම් දුරට වර්ධනයවී නොතිබීම පිළිබඳ කාරණයයි. ඒ අනුව පැහැදිලි වන්නේ නාගරාජ්තුමා ලංකාවේදී බෞද්ධ භාවනා සම්ප‍්‍රදායයන් පුහුණුවූ බවයි.

නාගරාජ්තුමා කතරගමදී බෝගර්නාථතුමා සමග නුගසෙවණක වාසය කරමින් නොකඩවා භාවනා පුහුණුව ලැබුවේය. ඉන් අනතුරුව නැවත දක්‍ෂිණ භාරතයට ගොස් තිබේ. එහිදී ”අගස්ති ඍෂිවෙතින්” ප‍්‍රාණයාම හා කුණ්ඩලිනි යෝග උගත් බව සඳහන් වේ. ඉන්  අනතුරුව එතුමන් නැවතත් බරණැස වෙත ගමන් කොට තිබේ. පසු කලෙක එතුමා ගංගා නදිය දිග ඉහළට ගමන් කළේය. එහි උපරීමයට ගමන් කළ එතුමා බදිරනාන්හි නතර විය. ඒ වන විට එය බෞද්ධ විහාරයකි.
නාගරාජ්තුමන් පිළිබඳ බෞද්ධ පොතපතක කිසිවක් සොයාගත නොහැක. එයට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ බෞද්ධ සම්ප‍්‍රදාය තුළ කිසියම් නිස්චිත නිකායකට අයත් නොවූ පැවිද්දෙක් වූ නිසා ද විය හැකිය. භාෂාවකින් භාෂාවකට නම්ගම් පරිවර්තනය වෙද්දී මුල් ස්වරූපය හඳුනාගත නොහැකි ආකාරයෙන් විකෘති වේ. මෙතුමා පිළිබඳව තොරතුරු සඳහන් ග‍්‍රන්ථ තිබෙන්නේ පැරණි ද්‍රවිඩ බසිනි. එය ද මෙතුමා නිවැරදිව තේරුම් ගැනීමට බාධාවකි.

එය කෙසේ වුවද එතුමා ගංගෝත්තරියට හා බදිරනාථයට පැමිණියේ එහි බෞද්ධ වටපිටාවක් පැවති යුගයේය. එය වෛදිකයින් අතට පත්වූයේ එයිනුත් වසර හයසීයකට පමණ පසුවය. නාගරාජ්තුමන් ලැබූ බෞද්ධ ආභාසය හා එතුමන් ප‍්‍රදේශයට ඇතිකළ බලපෑම මත ඍෂිකේශියේ චින්තනය වැඩෙන්නට ඇත. එසේ වුවද මෙතුමා බෞද්ධයෙකු හෝ භික්‍ෂුවක ලෙස හඳුන්වාදීම නොකළයුතු යැයි හැෙඟ්. නාගරාජ්තුමා භාරතයේ සියලූ ආධ්‍යාත්මික විද්‍යාවන් හා භාවනා සම්ප‍්‍රදායයන් උගත් සහ පුහුණු වූ කෙනෙකු ලෙස හැඳින්වීම උචිතය.

හින්දු සාහිත්‍ය තුළ එතුමන් පිළිබඳව විස්තර ඇතුළත්ව තිබේ. එහෙත් මේ චරිතය සුවිශේෂී චරිතයක් ලෙස මතුව ආවේ ගෙවුන සියවසේදීය. එයට බලපෑ ප‍්‍රධාන හේතුව ස්වාමි පරමහංස යෝගානන්දතුමන්ගේ මූලිකත්වයෙන් බිහිවූ ආධ්‍යාත්මික ව්‍යාපාරය තුළ නාගරාජ් බාබා ජී ආචාර්යවරයෙකු ලෙස සැලකීමත් නිසාය. මේ අතරම කිරිය යෝග හා සාදනා භාවනා සම්ප‍්‍රදාය නැවත මතුව භාරතය පුරා භාවනාව පිළිබඳව ප‍්‍රබෝධයක් ඇතිවීම ද මෙයට හේතු විය.
මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් තිබේ. සාහිත්‍යාගත තොරතුරු අනුව බාබා ජී තුමා ඉපදුණේ ක‍්‍රි.ව. 203 දීය. ඒ මීට වසර 1796 කට පෙරය. එය එසේ වෙද්දී භාරතීය යෝගීන් පිළිගන්නා ආකාරයට නාගරාජ් තුමා තවමත් ජීවත් වෙති. ඒ අනුව වසර 1796 ක් වයසැති මිනිසෙක්? මෙය ඔවුහු තරයේ විශ්වාස කරන දෙයකි. ඔවුන්ගෙන් සමහරක් ප‍්‍රකාශකරන පරිදි ඊටත් වැඩිය වයස්ගත අයද ජීවත් වෙති. ඒ අතර නාගරාජ් බාබා ජී තුමන් විශේෂ අවධානයකට ලක් වූ කෙනෙකු හා ආන්දෝලනයට තුඩුදුන් කෙනෙකු ද වෙයි. ස්වාමි පරමහංස යෝගානන්ද තුමන් පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටින්නේ එතුමන්ට නාගරාජ් තුමන් මුණගැසුන බවයි. දිල්ලි නුවර පිහිටි යෝගානන්ද මධ්‍යස්ථානයෙන් මා දැනගත් පරිදි ඉහත ද සඳහන් යෝගියෙකු විසින් මට පෙන්වූ චිත‍්‍රයද මේ හමුවේ ප‍්‍රතිඵලයකි. එම සිතුවමේ පිටපතක් මට ලබාදුන්න ද පසු කලෙක එය මට අහිමිවිය.


වසර දෙදහසකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ කථා පසෙක තබා වසර සීයකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ ඇසීමද අපේ සමාජයට පුදුමාකාර වූවකි. කායික විද්‍යාව හා රසායන විද්‍යාව දන්නා බැවින් බටහිර වෛද්‍ය ශාස්ත‍්‍රයට මිනිසුන් නොමැරී බේරා ගැනීමට හා ආයුෂ දිගුකර ගැනීමට හැකිය. ඒ ටික කලකට පමණි. නාමරූප ධර්මයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන කෙනෙකුට ජීවිතය තමන්ගේ අතට ගත හැකිවීම ද පුදුමයට කාරණයක් නොවේ. අනදමෙන් නාහිමියන්ගේ පැවැත්ම තුළ තිබූ අත්දැකීම් ද මෙයට යම් නිදසුනක් ලෙස ගතහැකිය. උන්වහන්සේ ශතවර්ෂාධික කාලයක් ජීවත්වූහ. එයට හේතුවූ කරුණු අතර යෝග භාවනාව ද වැදගත් සාධකයක් බව උන්වහන්සේ නිතර පැවසූහ. උන්වහන්සේද හිමාලයේ ජීවත්වන වසර දෙදහසක් පමණ වන ඒත් තරුණ පෙනුමක් ඇතියෝගියෙකු පිළිබඳ වරින්වර ප‍්‍රකාශ කොට තිබේ.

නාගරාජ් බාබා ජී තුමන් ජීවත්ව සිටීම විවාදාපන්නය. ඒ පිළිබඳව නොයෙකුත් මතවාද තිබිය හැකිය. කිසිවිටක නොවිසඳෙන ගැටලූ ද ඉතිරිවනු ඇත.  ඕනෑම කෙනෙකුට හිතට එන සරල විසඳුමක් ද ඇත. ඒ බාබා ජී තුමන් ජීවත්ව සිටි නම් මිනිස් සමාජයට ඇවිත් එළිදරව් වීමයි. (තමන් ජීවත්ව සිටින බව ඔප්පු කිරීමයි)  එහෙත් වසර දහසකට වැඩිය ජීවත්වූ යෝගියෙකුගේ අරමුණ හා කාර්ය භාරය එයද. එවැන්නක් කළ යුතුද? යෝගියෙකුගේ ජීවිතය යනු අලෞකික වූ උත්තරීතර දෙයකි. එය ලෞකික වූ වුවමනාවන් ඉටුකරන ජීවිතයක් නොවේ.


නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X