සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කාන්තාවක් වන්නේ පාපකර්මයකින් ද.....

අතීත වූ , අනාගත වූ, වර්තමානයේ වූ , ඝන වූ , සූක්ෂම වූ , හීන වූ, ප්‍රණීත වූ . දුර පිහිටියා වූ, නො එසේ නම් ළඟ පිහිටියාවූ සියලු රූපය 'මාගේ නොවේ මම නොවේ මාගේ ආත්මය නොවේ' යයි මෙසේ යථාර්ථය ඇත්ත ඇතිසැටියෙන් දියුණු කල ප්‍රඥාවෙන් දත යුතුය. -- බුදුරජාණන් වහන්සේ
යශෝධරාව කාන්තාවක් වුවේ කාමයේ වරදවා හැසිරීම නිසා හෝ වෙනත් පාපයක් නිසා නොවේ. සසරේ කල උතුම් පාරමිතාවක් නිසාය. පුරුශයන්ව සිටි සමහර අය කාමයේ වරදවා හැසිරීම නිසා කාන්තාවන් වන අවස්ථාද ඇත (ඉසිදාසි කතාව). නමුත් මෙය සෑම කාන්තාවකටම අදාල නැත.
මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභකාරණයක් බව බුදුදහම පෙන්නා දී ඇත. එමෙන් ම අංග සම්පූර්ණ ලක්ෂණ සම්පන්තියක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කරුණකි. අංග සම්පූර්ණ ලක්ෂණ සම්පත්තිය ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙන්කර නැත. නැණ නුවණ ඇතුව, ප්‍රදේශයක බුද්ධෝත්පාද කාලයක, අංගවිකලත්වයෙන් තොරව සුදුසු මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් එය ක්ෂණ සම්පත්තිය යි. ක්ෂණ සම්පත්තියෙන් යුතුව ස්ත්‍රියක් ව හෝ පුරුෂයෙක්ව හෝ ඉපදීම අතිශයින් ම දුර්ලභ කාරණයකි. මවුකුසේ දී සිදුවන ජීව විද්‍යාත්මක සාධක ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරයි. ස්ත්‍රිය පහත් ය. දුබලය. පුරුෂයා උසස් ය. ප්‍රබලය යනුවෙන් මැනීමට නිර්ණායකයක් බුදුදහමේ ඉදිරිපත් කොට නැත.
මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභකාරණයක් බව බුදුදහම පෙන්නා දී ඇත. එමෙන් ම අංග සම්පූර්ණ ක්ෂණ සම්පන්තියක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කරුණකි. අංග සම්පූර්ණ ක්ෂණ සම්පත්තිය ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙන්කර නැත. නැණ නුවණ ඇතුව, ප්‍රදේශයක බුද්ධෝත්පාද කාලයක, අංගවිකලත්වයෙන් තොරව සුදුසු මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නම් එය ක්ෂණ සම්පත්තිය යි. ක්ෂණ සම්පත්තියෙන් යුතුව ස්ත්‍රියක් ව හෝ පුරුෂයෙක්ව හෝ ඉපදීම අතිශයින් ම දුර්ලභ කාරණයකි. මවුකුසේ දී සිදුවන ජීව විද්‍යාත්මක සාධක ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරයි. ස්ත්‍රිය පහත් ය. දුබලය.
පුරුෂයා උසස් ය. ප්‍රබලය යනුවෙන් මැනීමට නිර්ණායකයක් බුදුදහමේ ඉදිරිපත් කොට නැත. ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, අධාර්මිකව පාප කි‍්‍රයාවන්හි යෙදෙන්නේ නම් ඔවුහු වසලයෝ ය. උත්පත්තියෙන් කිසිවෙක් වසල නොවේ. ලිඟු භේදයෙන් ද වසලත්ත්වයට නො පැමිණේ. (න ජච්චා වසලෝ හෝති)
ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ සත්වයකුගේ උපතේ මුල් ම අවස්ථාවේදී ය. ස්ත්‍රී පුරුෂ එක්වීමකින් මාතෘ ගර්භයක කලලයක් හටගනී. ඒ කලලයට ගන්ධබ්බයෙක් එළඹෙයි. මේ කරුණු තුන සම්පූර්ණ වූ විට මවුකුසක දරුවකු පිළිසිඳ ගනී. ඒ ඒ අවස්ථාවේදී ම කාය - භාව - වස්තු දශක තුන ඇතිවෙයි. කාය යනු ශරීරය යි. භාව යනු ස්ත්‍රී භාවය හෝ පුරුෂභාවය හෝ පිහිටීම යි. වස්තු නම් හදය වස්තුව යි. මේ දශක තුන පහළවීමට පුරාකෘත කර්ම බලවේගයක් බලපාන නමුත් ස්ත්‍රීත්වය පාප කර්මයකින් ඇතිවන්නක් බව මුල් බුදුසමයෙහි සඳහන් වී නැත. එය ජීව විද්‍යාත්මක ප්‍රභේදයක් පමණි. එහෙත් පුරුෂයන්ට නැති ස්ත්‍රීන්ට පමණක් ආවේණික දුක් ගැන අංගුත්තර නිකායේ ‘ආවේණික දුක්ඛ සුත්‍රයෙන්’ පැහැදිලි කර ඇත. එනම් විවාහයට පත්වීමේ දී දෙමවුපිය සහෝදර හිතවතුන්ගෙන් වෙන්වීමට සිදුවීම. වැඩිවියට පත්වීමෙන් , සැමියාට ඇප උපස්ථාන කිරීමට සිදුවීම මේ ජීවවිද්‍යාත්මක හා සමාජ හැඩගැසීම් අනුව සිදුවන දුක් වේදනා කීපයකි.
බුදුදහමින් කිසිවිටෙකත් කාන්තාව අවතක්සේරුවට පත් කොට නැත. භික්ෂුණී සාසනය මුලින් ප්‍රතික්ෂේප කිරීමෙන් කාන්තාවන් බුදුදහමින් ද අවතක්සේරුවට පත්වී ඇතැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් එය එසේ නො වේ. බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවය සුදුසු අවස්ථාව බලා කටයුතු කිරීමයි. එනිසා ය භික්ෂුණී ශාසනයක් බිහිකිරීම දෙ වතාවක් ප්‍රතික්ෂේප වූයේ. බුද්ධත්වයේ දී ම තම සාසන ව්‍යුහය සකස් කරගෙන තිබුණු බව විමසීමෙන් යුතුව මහාපරිනිර්වාණ සූත්‍රය කියවන විට පෙනීයන කරුණකි. එම සාසන ව්‍යුහය නම් භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා යනුවෙන් ගොඩ නගාගෙන තිබුණි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව සිදුහත් තවුසා බුද්ධත්වයට පත් වහාම මාරයා පැමිණ ‘ඔබවහන්සේ මෙතෙක් වෙහෙස දැරූයේ බුද්ධත්වය ලබා ගැනීම පිණිස යි. දැන් එය මස්තක ප්‍රාප්ත වී ඇත. එහෙයින් පිරිනිවන් පාන්නැ’ යි ආරාධනා කළේ ය. එම මාර ආරාධනය නො පිළිගත්තේ ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සහේතුක ව පරවාදයන් මථනය කරන භික්ෂූන් ඇති වී නො සිටි නිසා ය. එවැනි භික්ෂූන් ඇති වූ විට මාරයා නැවත පැමිණ පිරිනිවන් පෑමට ආරාධනා කළේ ය. එම ආරාධනාව ඉහත කී ගුණයන්ගෙන් යුත් භික්ෂුණීන් ඇති නො වූ නිසා ප්‍රතික්ෂේප විය. තෙවැනි වතාවට පිරිනිවීමට කළ ආරාධනාව එබඳු උපාසකයන් නැති නිසා ද සිවුවැනිව කළ ආරාධනාව එබඳු උපාසිකාවන් පහළ වී නො සිටි නිසා ද ප්‍රතික්ෂේප විය. මෙයින් පැහැදිලි වන්නේ භික්ෂුණී ශාසනයක් ඇතිකිරීමේ අදහස බුදුරජාණන් වහන්සේට මුල සිට ම පැවති බව ය. ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම දෙවතාවක් ම ප්‍රතික්ෂේප කළසේක් සුදුසු අවස්ථාව එනතුරු ය.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ද පුරාණ දීපංකර බුදුරදුන්ට නැගණියක් ව ඉපදී සිටිය බව සඳහන් වේ.
කාන්තාවක් මරණින් පසු දෙව්ලොව උපන්නත් බොහෝ වශයෙන් දිව්‍යාංගනාවන් වශයෙන් උපත ලබන බව විමානවත්ථු ආදි පොතපතින් පැහැදිලි වෙයි. බ්‍රහ්ම ලෝකයන්හි පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත හෝ නැත. එහෙත් බ්‍රහ්මත්වය පුරුෂාර්ථ වාචීව ව්‍යවහාර කෙරේ. බ්‍රහ්ම ලෝකයක ඉපදීමට ස්ත්‍රීත්වය බාධාවක් ද නො වේ. කාන්තාවක් වුව ද ධ්‍යාන උපදවාගෙන ධ්‍යානය නො පිරිහී මරණයට පත්වුවහොත් ඊළඟට උපදින්නේ ලබාගත් ධ්‍යානයට අනුකූ®ලව බ්‍රහ්ම ලෝකයක ය.
කෝසල සංයුත්තයේ ‘ධීතු’ සූත්‍රයෙන් පෙන්නා දී ඇත්තේ ඇතැම් ස්ත්‍රියක් පුරුෂයකුට වඩා ශ්‍රේෂ්ඨ වියහැකි බව ය. කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදී සිටිනවිට මල්ලිකා දේවියට දුවක් උපන්නාය යන පණිවුඩය ලැබුණි. එය ඇසීමෙන් රජතුමා බලවත් කනස්සල්ලට පත්විය. බුදුරජාණන්වහන්සේ කාන්තාව පුරුෂයකුට වඩා ශ්‍රේෂ්ඨ වියහැකි බවත් එනිසා ඇය පෝෂණය කළයුතු බවත් වදාළහ. බමුණන් ස්ත්‍රිය හැඳින්වීමට සාදාගෙන ඇති වචන ස්ත්‍රියගේ පහත් බව පෙන්වීමට උචිත අයුරු යොදාගත් බව පෙනේ. ‘අබලා’ ‘ද්වංගුලපඤ්ඤා’ ආදී වචන ඊට නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය.
සංයුක්ත නිකායේ ‘සෝමා’ සූත්‍රයෙහි දැක්වෙන පරිදි විවේකීව සිටින සෝමා තෙරණිය වෙත පැමිණි මාර දිව්‍යපුත්‍රයා පැවසුවේ ‘සෘෂීන් විසින් ලැබිය යුතු පදවි දැඟුල් නුවණ ඇති කාන්තාවන්ට නො ලැබිය හැකි බව යි.
එවිට සෝමා තෙරණිය මාරයාට ප්‍රකාශ කළා ‘සිත සමාධිගතව සතිය පවතින කල්හි ධර්මය අවබෝධ කරගත් තැනැත්තාට ස්ත්‍රිත්වය කුමක් කරයි ද? මාරය, මම ස්ත්‍රියක්මි, පුරුෂයෙක් මි’ යනුවෙන් සිතන කෙනෙකුට ඔබේ ඔය අදහස කියන්න, යනුවෙනි. ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය බුදුරදුන්ගෙන් පිරිනිවන් පාන්නට අවසර ගැනීමට පැමිණි අවස්ථාවේ දී දැක්වූ පෙළහර මුගලන් තෙරුන්ගේ පෙළහර පෑමට නො දෙවැනි යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා මුඛයෙන් දේශනා කොට ඇත.
මනුෂ්‍යාත්මභාවය ලැබීම දුර්ලභ යැයි දෙසු තැන ගැහැණිය ද ගැනෙනුයේ මනුෂ්‍ය ගණයට ම ය. පාප කර්මයකින් කාන්තාව උපදින්නේ නම් දුර්ලභ විය නොහැකි ය. සෝමා තෙරණිය මාරයාට කී දෙයින් පැහැදිලි වන්නේ ඈ ස්ත්‍රී පුරුෂභාවයක් ගැන නො සිතන බව ය. පරමාර්ථ වශයෙන් බලන කල සත්වයා යනු සංස්කාර පුඤ්ජයන් ය. එහි ස්ත්‍රී පුරුෂත්වයක් නැත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්මයේ විශේෂ විභාග

කර්ම යනු පින් පව් දෙවර්ගයට ම සාධාරණ නාමයෙකි. කර්මයෝ ඔවුන් විසින් සිදු කරන්නා වූ කෘත්‍යයන්ගේ වශයෙන් ද විපාක දෙන ආකාරයාගේ වශයෙන් ද විපාක දෙන කාලයාගේ වශයෙන් ද විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් ද ප්‍රභේදයට පැමිණෙති.
1. කෘත්‍ය කර්ම චතුෂ්කය
ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය යි කෘත්‍ය වශයෙන් කර්මය සතර වැදෑරුම් වේ.
ජනක කර්මය
මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නා වූ කුශලාකුශල කර්මය ජනක කර්මය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වේ. අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නො පැමිණෙති. ප්‍ර‍තිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.
සුගති දුර්ගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනකකර්ම එක් පුද්ගලයකුට ඇත්තේ ය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයෙකි. ජනකකර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්ත්වයකු එක් එක් භවයක ජීවත් වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලය ය. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්ත්වයා නැවත සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.
කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය
මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.
විශේෂයෙන් සැලකිය යුතු කරුණක්
මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.
උපස්තම්භක කර්මය
කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්ත්වයාහට ජීවත්වීමට උපකාර වන්නා වූ කුශල වූ ද අකුශල වූ ද කර්ම උපස්තම්භක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නො පැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපස්තම්භක කර්මයෝ වෙති. අකුශල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීම ය. සත්ත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ම ද උපස්තම්භක වෙති. යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක් ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහි කොට ප්‍රීති වේ නම් කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසු ව ඇති වන්නා වූ කුශල චේතනාවන්ගේ අනුග්‍ර‍හයෙන් පළමු කර්මය බලවත් වේ. පසු ව ඇති වන්නා වූ ඒ කුශල චේතනාවන්ගෙන් අනුග්‍ර‍හය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක් ව තුබුණේ ද පසුව උසස් පල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය යි.
උපපීඩක කර්මය
නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.
උපඝාතක කර්මය
ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාධයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍ර‍තිසන්ධිය දෙන කල්හි ඔවුහු ම ජනක කර්මයෝ ද වෙති. ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයකට පැමිණ සත්ත්වයාගේ ජීවිතය නසන්නේ ය. කුශල පක්ෂයේ ද උපඝාතක කර්ම ඇත්තේ ය. නරකයෙහි උපන් පසු කළ පින් සිහි වී ඉන් ච්‍යුත ව දෙව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිදී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේ ද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතු ය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්ත්වයා නසා ජනකත්වයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතැමෙක් උපච්ඡේදනය පමණක් කෙරෙති. මරණාසන්නයේ දී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයකැයි කිය යුතු ය. උපච්ඡේදක කර්ම යනු ද උපඝාතක කර්මයට ම ව්‍යවහාර කරන අන් නමෙකි.
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පුද්ගල ශක්‍යතාව වයසින් මැනිය හැකි ද?

කොළඹ මාලිගාකන්ද,
විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය,
පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී,
රාජකීය පණ්ඩිත, දර්ශනපති
කන්දේගම දීපවංසාලංකාර හිමි

භාග්‍යවතුන් වහන්සේ රජතුමාට දේශනා කරනුයේ මේ ලෝකයේ කරුණු සතරක් උදෙසා කුඩා යැයි අවමන් කිරීම හෝ පරිභව කිරීම හෝ නොකළ යුතු බවයි.
යම් කිසිවෙක් ඉතා අඩු වයසින් ඉහළට යනු දැක සුසුම්ලන, ඒ තැනැත්තා ගැන සිදුරු සොයන පිරිස් සුලභ වන අතර, දිරිදෙන අගයන පිරිස් දුලබ වීම මෙලොව සදාතනික සත්‍යයක් සේ පවතියි.
දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙන කොසොල් මහරජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ
“භවම්පි නො අනුත්තරං සම්මාසම්බොධිං
අභිසම්බුද්ධොතපටිජානාති” එනම් තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා යැයි එකහෙලා පැවසීමට හැකිද? යනුවෙනි.
එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ඍජු පිළිතුර වූයේ මෙලොව යම් කිසිවෙක් උදෙසා “සම්මා සම්බුද්ධ” යනුවෙන් පැවසිය හැකි නම් එය නිසැකව ම තමන් වහන්සේ උදෙසා පැවසිය හැකි බවයි.
එයින් කොසොල් රජතුමාට කුකුසක් හටගත්තේය. එනම් වයසින් හා පැවිද්දෙන් නවකයෙකු වන තථාගතයන් වහන්සේ මෙතරම් ශ්‍රේෂ්ඨත්වයකට පත්වූයේ කෙසේ ද? යන්න යි. “භවං ගොතමො දහරො චෙව ජාතියා නවො ච පබ්බජ්ජා”
එවිට භාග්‍යවතුන් වහන්සේ රජතුමාට දේශනා කරනුයේ මේ ලෝකයේ කරුණු සතරක් උදෙසා කුඩා යැයි අවමන් කිරීම හෝ පරිභව කිරීම හෝ නොකළ යුතු බවයි. එම කරුණු සතර නම්, දරුවා, උරගයා, ගින්න, භික්ෂුව යන සතරයි. විශේෂයෙන් ම තමන්ගේ යහපත දකින නුවණැති පුද්ගලයෙක් කිසිවිටෙක තමන්ට වඩා වයසින් හෝ සමාජ, ආර්ථික හේතූන් නිසා හෝ පහළ මට්ටමේ වූවෙකුට නින්දා කිරීම්, අපවාද කිරීම් හා බාධා කිරීම් නොකළ යුතුය. ඇතැමුන් දුරදිග නො බැලීමෙන් කුඩා වියේ පසුවන්නන් හෝ සමාජ ආර්ථික ශක්තීන් දුර්වල මට්ටමේ පසුවන්නන් දරුණු ලෙස අපහාසයටත්, උපහාසයටත් ලක්කිරීම විලාසිතාවක් කොටගෙන තිබේ. ඇතැමුන්ගේ දියුණුව වැළැක්වීම පිණිස නොයෙකුත් දුෂ්ට වූ ප්‍රයෝග සිදුකිරීම අතිශය භයානක විපාක උදා කරන අකුසලයකි. එය ආරම්භයේ දී මිහිර දනවන්නක් වුවත්, එහි අවසානය අතිශය ඛේද ජනක ය. තමන්ගේ නොහොබිනාකම් පරයා සිය ප්‍රතිවාදියා ජීවන විජිතය ජයගන්නා විට එය දකින, ඇසෙන සැම විට තම සිත තමාට හොරා ඉකි ගසා හඬන්නේ හෘදසාක්ෂිය රාව ප්‍රතිරාව නංවමිනි. සිත ලෙඩ වීමෙන් ගතත් ලෙඩ වන්නේ නිරා යාසයෙනි. අවසානයේ දී අනවශ්‍ය පීඩනයක් මනසට නංවා ගැනීමෙන් ජීවිතයේ අවසානය ද අපහසුවෙන් ගෙවන පිරිස් සමාජයේ විරල නොවේ. එබැවින් තම දියුණුව අපේක්ෂා කරන නැණවත් පුද්ගලයා කිසිදු විටෙක අන්‍යයන්ට බාධා කිරීම්වලින් වැළකෙන්නට උත්සාහ කළ යුතුය. රාජකුමාරයා වයසින් බාල යැයි යමෙක් ඔහු නොසලකා හැරිය හොත් හෝ ගැරහීම් කළ හොත් මතු දිනෙක කුමරුගේ අභිෂේකයෙන් පසු ගැරහූ තැනැත්තාට උදාවන කල දවස සිතින් සිතාගත හැකි ය. මෙහි දී විශේෂයෙන් මතක තබාගත යුත්තක් වන්නේ යමෙකුට දඬුවම් කිරීම නිග්‍රහ කිරීම වුවත් යහපත් චේතනාවෙන් සිදු කරන්නේ නම් එය නිධානයක් පෙන්වා දෙන්නාක් මෙන් සැලකිය යුතු බව බුද්ධ දේශනාවයි.

“තිලමුට්ටි” ජාතකය ඒ සඳහා ඇති හොඳම නිදසුනයි. එනිසා යහපත් සිතින් යමෙකුට අවවාද අනුශාසනා කිරීමට සමාජය මැළි නොවිය යුතුයි.
දෙවෙනි කාරණාව වශයෙන් හඳුන්වා දී ඇත්තේ උරගයා ය. විස සහිත කුලයක උපන් සර්පයා කුඩා වුව ද ඌට නොපනත්කම් කළහොත් ඔහුගේ ප්‍රතික්‍රියාව අතිශය භයානක විය හැකි ය. සූත්‍රයට අනුව උරගයා කුඩා වයසේ පසු වුවද විසෙහි අඩුවක් නොමැත. ලොකු විපතක් ඔහුට සිදු කළ හැකිය. තේජස් වූ උරගයා (සර්පයා) නොයෙක් වේශයන්ගෙන් ඔබ මොබ හැසිරෙයි. එවිට තමන්ට විපත් පමුණුවන ලද්දවුන්ට සිය තේජසින් හානි නොකරයි යැයි කාට නම් කිව හැකි ද? එනිසා අනාගතය පිළිබඳ දකින්නට ශක්තිය ඇති නැණවත් පුරුෂයන් විසින් කිසිදු විටෙක කුඩා යැයි සලකා විසකුරු සතුන්හට රීදවීම් නො කළ යුතුය. වේදනාවෙන් පිරි කෙනෙකුගේ ප්‍රතික්‍රියාව කවර ස්වරූපයකින් යුක්ත වන්නේ දැයි පූර්ව නිගමන කළ නොහැකි නිසාවෙනි. මෙහිලා අත්තූපමාව ප්‍රායෝගිකත්වයට ගන්නේ නම් බොහෝ විපත්වලින් විනිර්මුක්ත විය හැකි ය.
තුන්වෙනි කාරණය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ගින්නය. ගින්න ද කුඩා යැයි යමෙක් නො සලකා හැරියහොත් ඔහුට අත්වන ඉරණම අතිශය දරුණු විය හැකි ය. එනිසා කුඩා වුව ද ගින්න පිළිබඳ සැලකිළිමත් වීම තම යහපත දකින්නකු විසින් සිදු කළ යුතු ය. ප්‍රමාණයෙන් කුඩා වුව ද ගින්න සතු ශක්තිය අනල්පය. නිවසක් ගමක් ප්‍රදේශයක් වටිනා ජීවිත ද එකවර දවා හළු කිරීමේ හැකියාව ගින්නක් සතුව ඇති බව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වූවන් හා කථා කිරීමෙන් පැහැදිලි වේ.
එපමණටම ගින්න බලවත් ය. නිවසේ දැල්වෙන කුඩා කුප්පි ලාම්පුව කළ විපත්වල තරම පුවත්පත් බැලීමෙන් තහවුරු කරගත හැකි ය. එනිසා මෙහි දී භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජුට උපදෙස් දෙනු ලබන්නේ සමාජයේ කුඩා යැයි සම්මත වූවන් දෙස මෙතෙක් බැලූ ආකාරය වෙනස් කරගත යුතු බවයි. කොසොල් රජු යනු සමස්ත සමාජයම නොවූවත් සමස්තයේ එක් අයෙකි. එබැවින් මෙම දේශනාව හුදෙක් කොසොල් රජු උදෙසාම උපයෝගිවන්නක් නොව සමස්ත සමාජය අරභයා දේශනා කළ එකකි. එනිසා සුළු දේ කෙරෙහි පවා සැලකිළිමත් වීම අප විසින් සිදු කළ යුත්තකි.
සිවුවෙනි කාරණාව වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර දක්වන්නේ කුඩා භික්ෂුවයි. භික්ෂුවද වයසින් කුඩා වූවද ප්‍රගුණ කරන ලද සීලාදි ගුණ දහමින් වැඩිහිටියන් පවා අභිබවායන ආකාරය ත්‍රිපිටක සාහිත්‍යය තුළින් අනාවරණය කරගත හැකිය. ඇතැම් විට සිය ආචාර්යවරු ද ඉක්මවා නොයෙකුත් අභිඥාවන් දියුණු කළ පුවත් ඒවායෙහි අන්තර්ගතව පවතියි. වර්තමානයේ වුව ද සසුන් බඹසර වසන තිර අදිටන් ඇති යොවුන් හිමිවරු නොයෙකුත් ආර්ය තලවල හා ඊට සීමාසන්නව වෙසෙන බව සත්‍යයකි. සීල තේජසකින් යුක්ත උත්තමයන් වෙත යමක් පිළිගැන්වීමෙන් ලැබෙන ආනිසංසයන්හි ස්වභාවය කුමන ස්වරූපයක් උසුලන්නේ ද යන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. සිල්වත් ගුණවත් උතුමන් විෂයෙහි සිදුකරනා නොපනත්කම්වල විපාක ද ඒ අයුරින්ම සිදුවන බව සිහිතබා ගැනීම උභයලෝක සුබසිද්ධියට හේතු වන්නකි. කුඩා ස්වාමීන් වහන්සේලා කිසියම් ආගමික කටයුත්තක් සඳහා වැඩම වුවහොත් ඇතැමුන් උන්වහන්සේලා ඊට සහභාගි කරවාගනු ලබන්නේ දැඩි ප්‍රසාදයකින් නොවේ. එයින් ඔවුන්ගේ ශ්‍රද්ධාවට සිදු වී ඇති හානියේ තරම පැහැදිලි වේ.
අද කුඩා භික්ෂුව මතු දිනෙක ලොවට ශාන්තිය උදාකරන්නෙකු වියහැකිය. එදිනට ඒ හා එකතු වී සතුටු වන්නකු මිස සුසුම් ලන්නෙකු හෝ පසුතැවෙන්නෙකු හෝ නො විය යුතු ය. එනිසා කිසිදු විටෙක වයසින් බාල යැයි සිතා භික්ෂුව වෙත නොසලකා හැරීම හෝ ගැරහීම හෝ නො කළ යුතු ය. ධර්ම සූත්‍රය නම් මේ සූත්‍ර දේශනාව තුළින් කරුණු හතරක් කුඩා යැයි සලකා ගැරහීම් හෝ නොසලකා හැරීම් හෝ නොකළ යුතු බව අවධාරිතය. මෙම සූත්‍රය ඇසුරෙන් සමාජය දෙස බලන්නට හැකි නම් පුද්ගල ශක්‍යතා වයස් භේදයකින් තොරව සිදුවන බව වටහා ගත හැකි ය. එවිට පුද්ගලන්ට සිදු කරන බාධා කිරීම් මග හැරී යනු ඇත. ඔවුන්ගේ දියුණුව දකින විට නොරුස්නා ගතියක් හෝ සුසුම් ලෑමක් හෝ සිදු නොවී ඒ දියුණුවේ කොටස් කරුවෙකු වීමේ ගැඹුරු සතුට නිහඬව අත්විඳීන්නෙකු බවට පත්විය හැකි ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොවැඩුණ සිත දමනයට ක්‍රම පහක්

බලංගොඩ, කොටවෙහෙරමංකඩ 
දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාමාධිපති, 
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති 
ශාස්ත්‍රපති වැලිපත පඤ්ඤානන්ද හිමි


නමෝ තස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස

‘අපරිපක්කාය මේඝිය චේතෝ විමුක්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති”.......
සැදැහැවත්නි,
ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මේඝිය සූත්‍රයයි. තථාගතයන් වහන්සේ චාලිකා නගර සමීපයෙහි වූ චාරිකා පර්වතයෙහි වැඩවසන සමයක උපස්ථායක වූයේ ආයුෂ්මත් මේඝිය ස්වාමීන් වහන්සේය.
දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි.

මේ අඹවනය ප්‍රසාද වෙයි. රමණීයයි. මෙය පධන්වීය¸ වඩනු කැමති කුලපුත්‍රයෙකුට ඉතා සුදුසුයි. බුදුරදුන් අවසර දෙන්නේ නම් පධන් වීය¸ සඳහා මම මේ අඹවනයට එන්නෙමි”යි සිතා බුදුරදුන් හමුවීමට ගියේය.
බුදුසිරිපා වැඳ තමන්වහන්සේගේ සිතට ආ කාරණය කියා සිටියේය. මේ අවස්ථාවේ බුදුරදුන් ලබාදෙන පිළිතුර අනුවයි. මේඝිය හිමියන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වන්නේ.
“මේඝිය තව කෙනෙක් එනතෙක් ඔබ මගෙ ළඟ ඉන්න. තව ටිකක් ඉවසන්න.” යැයි මේඝිය තෙරුන්ට වදාළා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ කරුණු කාරණා බුදු නුවණින් දැනගෙනය. සත්‍යපාරමි පුරණ ලද උන්වහන්සේට නිකරුණේ වචන පිටකිරීමට අවශ්‍ය නොවේ. නමුත් මේඝිය තෙරුන්ගේ සිතට ලොකු පසුබෑමක් ඇති වුණි. දුක් කෙළවර කරන්න. භාවනා වඩන්න අවසර නොදීම පිළිබඳව සිතිවිලි ගලාගෙන එයි. ස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඉදිරියේ කළ යුත්තක් නැහැ. සියලු දුක් නසා අවසානයි. නමුත් මට බොහෝ දුරක් යාමට ඇති බැවින් මා හට අවසර දෙන්නේ නම් පධන් වීර්ය පිණිස යන්නෙමියි දෙවන වතාවටද ඉල්ලීය. මේඝිය තවත් කෙනෙක් එනතෙක් ඉවසන්න. මේ අවස්ථාවේදීත් මේඝිය තෙරුන්ට අවසර නොදීම නිසා තවදුරටත් බුදුරදුන්ට ආයාචනා කරන්නට විය. භාග්‍යවතුන් වහන්සේට අනාගතයේ කටයුතු කිසිවක් නැත. නැවත නැවත ඉපදීමක් හෝ කළ යුත්තක් නැත. නමුත් මට කළ යුතු වැඩ බොහෝමයි. නැවත නැවත කිරීමක් ඇත. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන්නේ නම් පධන් වීය¸ වඩන්න. මම ඒ අඹ වනයට යමි යැයි තුන්වන වරටත් ඉල්ලා සිටියේය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත එසේ කීමට අවශ්‍ය නැහැ. සත්‍යපාරමිතා පුරන ලද බුදුරදුන් යමක් දේශනා කරන්නේ බුදු නුවණින් කරුණු දැනගෙනය. නමුත් මේඝිය තෙරුන්ට ඒවා නොතේරෙයි . එම නිසා තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට නැවත නැවත ඉල්ලා සිටියි. බුදුරජාණන් වහන්සේ මේඝිය තෙරුන්ට කරුණු කියද්දී තවදුරටත් ඉල්ලන විට උන්වහන්සේ අවසර දුන්හ.
ඔබට කෙලෙස් නසන්න, වීය¸වඩන්න යන්න ඕනෑ කියද්දී මම විරුද්ධ වන එක සුදුසු නැහැ. කැමැති ආකාරයට ගොස් භාවනා කරන්න යැයි බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. සතුටට පත් මේඝිය සම්බුදු සිරිපා වැඳ එතනින් පිටත්ව ජන්තු ග්‍රාමයේ කිමිකාලා නදිය අසල රමණීය අඹතුරු මුලට ගොස් වාඩිවී පධන් වීය¸ වඩන්න ආරම්භ කළේ නිසසල පරිසරයේ ඇති සුන්දරත්වය විඳගෙනය. බද්ධ පර්යංකයෙන් වාඩිවී ඇස් පියාගෙන භාවනා කිරීමට ආරම්භ කරන විට
මේඝිය හාමුදුරුවන්ගේ සිතට කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගලා එන්නට විය. ආරම්භ කළ භාවනාවට ඉඩක් නොලැබේ. විවිධ කාම විතර්කයන්ගෙන් හිත කිළිටි වෙයි.
බුදුරජාණන් වහන්සේගෙන් තෙවරක්ම ඉල්ලා අවසර ගෙන උදාකරගත් අවස්ථාවෙන් කිසිම ඵලක් නැහැ. මේ භාවනාවෙන් කිසි ඵලක් නොවන බව මේඝිය තෙරුන්ට කල්පනා වුණි. මෙම ස්ථානයේ මේඝිය හිමියන් ආත්ම පන්සියයක් රජකම් කර ඇත. ඒ සිතිවිලි විතර්ක නැවත ගලා එන බව මේඝිය තෙරුන්ට නොදැනේ.
මේඝිය තෙරුන් භාවනාව අතහැර නැවත භාග්‍යවතුන් වහන්සේ සමීපයට යයි. තමන් භාවනාව ආරම්භ කරනවාත් සමඟම සිතට එන කාමවිතර්ක ආදිය පිළිබඳ බුදුරදුන්ට මතක් කරන ලදී. බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණ ඇති උත්තමයෙකි. එහෙයින් මේඝිය තෙරුන්ට කරුණාවෙන් කරුණු පහදා දුන් සේක.
මේඝිය, දමනය නොවුණ, වැඩිච්ච නැති සිත දමනය කිරීමට ක්‍රම පහක් ඇති අතර ඒවා දැන අනුගමනය කළ යුතුයි.
මේඝිය, වැඩිච්ච නැති දමනය නොවුණ සිත හදාගැනීමට පළමු කාරණාව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. මගඵල ලැබීමට අවශ්‍ය මාර්ග පහදා දෙන්නේ කල්‍යාණ මිත්‍රයායි. එම සහාය නොලැබුණොත් ප්‍රතිඵලයක් නොලැබේ. කල්‍යාණ මිත්‍රයාගේ කරුණාන්විත උපදේශය විමුක්තිය ලැබීමට අවශ්‍ය පළමු කාරණයයි. දෙවැනි කාරණය සිල්වත් බවයි. සිල්වත් ගුණවත් අය අනුමාත්‍රවූ පාපයේ බිය දකියි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැසිරීම් තිබිය යුතුයි. ලද දෙයින් සතුටුවන අල්පේච්ඡ අයෙක් විය යුතුයි. ලද දෙයින් සතුටු වන්නාගේ ජීවිතය සරලයි. භාවනා වඩන්නාට එය අවශ්‍යම තුන්වන අංගයකි. අකුසල් දුරු කිරීමට වීය¸ වඩන අයෙක් විය යුතුයි. පටන් ගන්නා වීය¸ ඇති බව ජීවිතයට අවශ්‍යයි. කෙලෙස් නැසීමට එයද එක් කාරණාවක් වන්නේය. එය සිව්වැන්නයි. උදයව්‍යගාමිණී වූ ආර්ය වූ නිර්වේදය ඇසුරු කළ මනාව දුක් කෙළවර කිරීමට ප්‍රඥාව අවශ්‍ය වෙයි. මේ පංචධර්ම වීර්යයෙන් යුතුව අනුගමනය කළ යුතුවන අතර භාවනාවට හිත යොමු කළ යුතු බව පැහැදිලි කළහ. මේඝිය, පැවිද්දකු විසින් මෙම පංච ධර්මයෙහි පිහිටා ඉන්පසු සතර ධර්ම වැඩිය යුතුයි. රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභ භාවනාව වැඩිය යුතුයි. ව්‍යාපාදයේ ප්‍රහාණය පිණිස මෛත්‍රි භාවනාව වැඩිය යුතුයි. විතර්ක සිතුවිලි එහෙ මෙහෙ දුවන විට ආනාපාන සති භාවනාව වැඩිය යුතුයි. අස්මිමානය සමුච්ඡේදනය පිණිස අනිත්‍ය සංඥාව වැඩිය යුතුයි. එවිට අනාත්ම සංඥාව පිහිටන්නේය. අනාත්ම සංඥාවෙන් අස්මිමානය නැතිවී යන්නේය. මේ ආත්මයේදීම නිවන් දකින්න හැකියාව ලැබේ. මේ අයුරින් මේඝිය තෙරුන්ට නියම කල්‍යාණ මිත්‍රයෙකු මෙන් බුදුරජාණන් වහන්සේ කරුණු පහදා වදාළහ.
මේඝිය සූත්‍රය තුළින් අප කාගේත් නොදැමුණු සිත වැඩිච්ච නැති සිත සකස් කර ගැනීමට වැදගත් උපදේශයක් ලැබෙන හෙයින් ජීවිතයට එකතුකරගෙන සිත පිහිටුවා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න. උතුම් බුද්ධ දේශනාවට හිත යොමු කිරීමෙන් ලැබු ආනිසංසයෙන් නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගන්න.
තෙරුවන් සරණයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X