සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

පුද්ගල ශක්‍යතාව වයසින් මැනිය හැකි ද?

කොළඹ මාලිගාකන්ද,
විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය,
පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී,
රාජකීය පණ්ඩිත, දර්ශනපති
කන්දේගම දීපවංසාලංකාර හිමි

භාග්‍යවතුන් වහන්සේ රජතුමාට දේශනා කරනුයේ මේ ලෝකයේ කරුණු සතරක් උදෙසා කුඩා යැයි අවමන් කිරීම හෝ පරිභව කිරීම හෝ නොකළ යුතු බවයි.
යම් කිසිවෙක් ඉතා අඩු වයසින් ඉහළට යනු දැක සුසුම්ලන, ඒ තැනැත්තා ගැන සිදුරු සොයන පිරිස් සුලභ වන අතර, දිරිදෙන අගයන පිරිස් දුලබ වීම මෙලොව සදාතනික සත්‍යයක් සේ පවතියි.
දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙන කොසොල් මහරජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ
“භවම්පි නො අනුත්තරං සම්මාසම්බොධිං
අභිසම්බුද්ධොතපටිජානාති” එනම් තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා යැයි එකහෙලා පැවසීමට හැකිද? යනුවෙනි.
එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ඍජු පිළිතුර වූයේ මෙලොව යම් කිසිවෙක් උදෙසා “සම්මා සම්බුද්ධ” යනුවෙන් පැවසිය හැකි නම් එය නිසැකව ම තමන් වහන්සේ උදෙසා පැවසිය හැකි බවයි.
එයින් කොසොල් රජතුමාට කුකුසක් හටගත්තේය. එනම් වයසින් හා පැවිද්දෙන් නවකයෙකු වන තථාගතයන් වහන්සේ මෙතරම් ශ්‍රේෂ්ඨත්වයකට පත්වූයේ කෙසේ ද? යන්න යි. “භවං ගොතමො දහරො චෙව ජාතියා නවො ච පබ්බජ්ජා”
එවිට භාග්‍යවතුන් වහන්සේ රජතුමාට දේශනා කරනුයේ මේ ලෝකයේ කරුණු සතරක් උදෙසා කුඩා යැයි අවමන් කිරීම හෝ පරිභව කිරීම හෝ නොකළ යුතු බවයි. එම කරුණු සතර නම්, දරුවා, උරගයා, ගින්න, භික්ෂුව යන සතරයි. විශේෂයෙන් ම තමන්ගේ යහපත දකින නුවණැති පුද්ගලයෙක් කිසිවිටෙක තමන්ට වඩා වයසින් හෝ සමාජ, ආර්ථික හේතූන් නිසා හෝ පහළ මට්ටමේ වූවෙකුට නින්දා කිරීම්, අපවාද කිරීම් හා බාධා කිරීම් නොකළ යුතුය. ඇතැමුන් දුරදිග නො බැලීමෙන් කුඩා වියේ පසුවන්නන් හෝ සමාජ ආර්ථික ශක්තීන් දුර්වල මට්ටමේ පසුවන්නන් දරුණු ලෙස අපහාසයටත්, උපහාසයටත් ලක්කිරීම විලාසිතාවක් කොටගෙන තිබේ. ඇතැමුන්ගේ දියුණුව වැළැක්වීම පිණිස නොයෙකුත් දුෂ්ට වූ ප්‍රයෝග සිදුකිරීම අතිශය භයානක විපාක උදා කරන අකුසලයකි. එය ආරම්භයේ දී මිහිර දනවන්නක් වුවත්, එහි අවසානය අතිශය ඛේද ජනක ය. තමන්ගේ නොහොබිනාකම් පරයා සිය ප්‍රතිවාදියා ජීවන විජිතය ජයගන්නා විට එය දකින, ඇසෙන සැම විට තම සිත තමාට හොරා ඉකි ගසා හඬන්නේ හෘදසාක්ෂිය රාව ප්‍රතිරාව නංවමිනි. සිත ලෙඩ වීමෙන් ගතත් ලෙඩ වන්නේ නිරා යාසයෙනි. අවසානයේ දී අනවශ්‍ය පීඩනයක් මනසට නංවා ගැනීමෙන් ජීවිතයේ අවසානය ද අපහසුවෙන් ගෙවන පිරිස් සමාජයේ විරල නොවේ. එබැවින් තම දියුණුව අපේක්ෂා කරන නැණවත් පුද්ගලයා කිසිදු විටෙක අන්‍යයන්ට බාධා කිරීම්වලින් වැළකෙන්නට උත්සාහ කළ යුතුය. රාජකුමාරයා වයසින් බාල යැයි යමෙක් ඔහු නොසලකා හැරිය හොත් හෝ ගැරහීම් කළ හොත් මතු දිනෙක කුමරුගේ අභිෂේකයෙන් පසු ගැරහූ තැනැත්තාට උදාවන කල දවස සිතින් සිතාගත හැකි ය. මෙහි දී විශේෂයෙන් මතක තබාගත යුත්තක් වන්නේ යමෙකුට දඬුවම් කිරීම නිග්‍රහ කිරීම වුවත් යහපත් චේතනාවෙන් සිදු කරන්නේ නම් එය නිධානයක් පෙන්වා දෙන්නාක් මෙන් සැලකිය යුතු බව බුද්ධ දේශනාවයි.

“තිලමුට්ටි” ජාතකය ඒ සඳහා ඇති හොඳම නිදසුනයි. එනිසා යහපත් සිතින් යමෙකුට අවවාද අනුශාසනා කිරීමට සමාජය මැළි නොවිය යුතුයි.
දෙවෙනි කාරණාව වශයෙන් හඳුන්වා දී ඇත්තේ උරගයා ය. විස සහිත කුලයක උපන් සර්පයා කුඩා වුව ද ඌට නොපනත්කම් කළහොත් ඔහුගේ ප්‍රතික්‍රියාව අතිශය භයානක විය හැකි ය. සූත්‍රයට අනුව උරගයා කුඩා වයසේ පසු වුවද විසෙහි අඩුවක් නොමැත. ලොකු විපතක් ඔහුට සිදු කළ හැකිය. තේජස් වූ උරගයා (සර්පයා) නොයෙක් වේශයන්ගෙන් ඔබ මොබ හැසිරෙයි. එවිට තමන්ට විපත් පමුණුවන ලද්දවුන්ට සිය තේජසින් හානි නොකරයි යැයි කාට නම් කිව හැකි ද? එනිසා අනාගතය පිළිබඳ දකින්නට ශක්තිය ඇති නැණවත් පුරුෂයන් විසින් කිසිදු විටෙක කුඩා යැයි සලකා විසකුරු සතුන්හට රීදවීම් නො කළ යුතුය. වේදනාවෙන් පිරි කෙනෙකුගේ ප්‍රතික්‍රියාව කවර ස්වරූපයකින් යුක්ත වන්නේ දැයි පූර්ව නිගමන කළ නොහැකි නිසාවෙනි. මෙහිලා අත්තූපමාව ප්‍රායෝගිකත්වයට ගන්නේ නම් බොහෝ විපත්වලින් විනිර්මුක්ත විය හැකි ය.
තුන්වෙනි කාරණය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ගින්නය. ගින්න ද කුඩා යැයි යමෙක් නො සලකා හැරියහොත් ඔහුට අත්වන ඉරණම අතිශය දරුණු විය හැකි ය. එනිසා කුඩා වුව ද ගින්න පිළිබඳ සැලකිළිමත් වීම තම යහපත දකින්නකු විසින් සිදු කළ යුතු ය. ප්‍රමාණයෙන් කුඩා වුව ද ගින්න සතු ශක්තිය අනල්පය. නිවසක් ගමක් ප්‍රදේශයක් වටිනා ජීවිත ද එකවර දවා හළු කිරීමේ හැකියාව ගින්නක් සතුව ඇති බව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වූවන් හා කථා කිරීමෙන් පැහැදිලි වේ.
එපමණටම ගින්න බලවත් ය. නිවසේ දැල්වෙන කුඩා කුප්පි ලාම්පුව කළ විපත්වල තරම පුවත්පත් බැලීමෙන් තහවුරු කරගත හැකි ය. එනිසා මෙහි දී භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජුට උපදෙස් දෙනු ලබන්නේ සමාජයේ කුඩා යැයි සම්මත වූවන් දෙස මෙතෙක් බැලූ ආකාරය වෙනස් කරගත යුතු බවයි. කොසොල් රජු යනු සමස්ත සමාජයම නොවූවත් සමස්තයේ එක් අයෙකි. එබැවින් මෙම දේශනාව හුදෙක් කොසොල් රජු උදෙසාම උපයෝගිවන්නක් නොව සමස්ත සමාජය අරභයා දේශනා කළ එකකි. එනිසා සුළු දේ කෙරෙහි පවා සැලකිළිමත් වීම අප විසින් සිදු කළ යුත්තකි.
සිවුවෙනි කාරණාව වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර දක්වන්නේ කුඩා භික්ෂුවයි. භික්ෂුවද වයසින් කුඩා වූවද ප්‍රගුණ කරන ලද සීලාදි ගුණ දහමින් වැඩිහිටියන් පවා අභිබවායන ආකාරය ත්‍රිපිටක සාහිත්‍යය තුළින් අනාවරණය කරගත හැකිය. ඇතැම් විට සිය ආචාර්යවරු ද ඉක්මවා නොයෙකුත් අභිඥාවන් දියුණු කළ පුවත් ඒවායෙහි අන්තර්ගතව පවතියි. වර්තමානයේ වුව ද සසුන් බඹසර වසන තිර අදිටන් ඇති යොවුන් හිමිවරු නොයෙකුත් ආර්ය තලවල හා ඊට සීමාසන්නව වෙසෙන බව සත්‍යයකි. සීල තේජසකින් යුක්ත උත්තමයන් වෙත යමක් පිළිගැන්වීමෙන් ලැබෙන ආනිසංසයන්හි ස්වභාවය කුමන ස්වරූපයක් උසුලන්නේ ද යන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. සිල්වත් ගුණවත් උතුමන් විෂයෙහි සිදුකරනා නොපනත්කම්වල විපාක ද ඒ අයුරින්ම සිදුවන බව සිහිතබා ගැනීම උභයලෝක සුබසිද්ධියට හේතු වන්නකි. කුඩා ස්වාමීන් වහන්සේලා කිසියම් ආගමික කටයුත්තක් සඳහා වැඩම වුවහොත් ඇතැමුන් උන්වහන්සේලා ඊට සහභාගි කරවාගනු ලබන්නේ දැඩි ප්‍රසාදයකින් නොවේ. එයින් ඔවුන්ගේ ශ්‍රද්ධාවට සිදු වී ඇති හානියේ තරම පැහැදිලි වේ.
අද කුඩා භික්ෂුව මතු දිනෙක ලොවට ශාන්තිය උදාකරන්නෙකු වියහැකිය. එදිනට ඒ හා එකතු වී සතුටු වන්නකු මිස සුසුම් ලන්නෙකු හෝ පසුතැවෙන්නෙකු හෝ නො විය යුතු ය. එනිසා කිසිදු විටෙක වයසින් බාල යැයි සිතා භික්ෂුව වෙත නොසලකා හැරීම හෝ ගැරහීම හෝ නො කළ යුතු ය. ධර්ම සූත්‍රය නම් මේ සූත්‍ර දේශනාව තුළින් කරුණු හතරක් කුඩා යැයි සලකා ගැරහීම් හෝ නොසලකා හැරීම් හෝ නොකළ යුතු බව අවධාරිතය. මෙම සූත්‍රය ඇසුරෙන් සමාජය දෙස බලන්නට හැකි නම් පුද්ගල ශක්‍යතා වයස් භේදයකින් තොරව සිදුවන බව වටහා ගත හැකි ය. එවිට පුද්ගලන්ට සිදු කරන බාධා කිරීම් මග හැරී යනු ඇත. ඔවුන්ගේ දියුණුව දකින විට නොරුස්නා ගතියක් හෝ සුසුම් ලෑමක් හෝ සිදු නොවී ඒ දියුණුවේ කොටස් කරුවෙකු වීමේ ගැඹුරු සතුට නිහඬව අත්විඳීන්නෙකු බවට පත්විය හැකි ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X