සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ප්‍රඥාවේ මූලික ලක්ෂණ

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

සංසාරේ දෙවියෙකුට වේවා ,මනුස්සයෙකුට වේවා වාසනාවට පිහිටන්න ඕන මූලික ම දේ තමා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල් දහම් කෙනෙකුට වැඩෙන්නට නම් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන දේ තමා ප්‍රඥාව. ප්‍රඥාවට තව වචනයක් සඳහන් වෙනවා ධර්මයේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරයේ එහෙම නැත්නම් ප්‍රඥාවේ ලක්ෂණ මොකක්ද? එහි ස්වභාවය මොකක්ද?
ප්‍රඥාව නැතිනම් යෝනිසෝ මනසිකාරය කෙනෙකුගේ හිතේ තිබෙනවා කියමු. ඒක ඔහේ තිබෙනවා. ඒක හරියට වතුරෙන් උඩට ආපු නෙළුම් පොහොට්ටුව වගේ. එවිට බාහිරින් ලැබෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට හිරු කිරණ වගේ. එතකොට හිරු කිරණ වැදුනොත් අර නෙළුමේ පෙති බලෙන් දිගහරින්න දෙයක් නැහැ. පෙත්ත පෙත්ත දිග හැරෙනවා.
ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ නිර්මල ධර්මයත් ඒ ආකාරයට කෙනෙකුට ඇසුනොත් ඔහුට අවබෝධ වෙන්න වුවමනා ආකාරය යෝනිසෝ මනසිකාරය හැදෙනවා. ඒ තමා යෝනිසෝ මනසිකාරයේ , ප්‍රඥාවේ තිබෙන ලක්ෂණය. එහෙනම් ධර්මය අහන කෙනෙකුට, ධර්මයේ හැසිරෙන කෙනෙකුට අභ්‍යන්තර වශයෙන් උපකාරි වන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ නා නා ප්‍රකාරයේ අදහස් තිබුණු නා නා ප්‍රකාර මත තිබුණු මිනිස්සු හිටියා. හැබැයි ඒ බොහෝ දෙනාට තිබුණා නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම, ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම. හැබැයි තිබුණා කිව්වාට ඒ තිබෙන බව තමන් දන්නේ නැහැ. තමන් දැනගන්න ඕනත් නැහැ. තමන්ට දැනගන්න ක්‍රමයකුත් නැහැ. නිර්මල ධර්මය තමන්ට ඇසුනානම් එය ඇසුණු ධර්මය අවබෝධ කරවීම යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණය යි. යෝනිසෝමනසිකාරය නැති කෙනෙක් දිවා රාත්‍රි ධර්මය ශ්‍රවණය කළත් ඔහු ඉන්නේ පරණ තැනම යි.
මෙහි තේරුම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල බලෙන් ගන්න බැහැ කියන එකයි. අපේ හිතේ තිබෙන ප්‍රඥාව වැඩ කරන ආකාරය, යෝනිසෝ මනසිකාරය පිබිදෙන ආකාරය ලෝකයේ දන්නේ බුදු කෙනෙකුන් පමණයි . එය අන් කෙනෙකුට සොයන්න බැහැ. අදත් ලෝකයේ හරියට ඉන්නවා විමුක්තිය හොයාගෙන යන අය. විමුක්තිය හොයාගෙන ගියාට විමුක්තිය ලැබෙන්නේ නැහැ. එයට හේතුව තමා ප්‍රඥාවේ තිබෙන අඩුව සහ නිර්මල දහම අසන්නට නො ලැබීම.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ පිරිසක් සිටියේ ඔය ප්‍රඥාවේ, යෝනිසෝමනසිකාරය පිහිටපු අය. බුදුජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙසිය තිස් හයක් ගත වූ විටයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ. ඒ කාලයේ ලංකාවේ හිටිය මනුස්සයන්ටත් තිබුණා යෝනිසෝ මනසිකාරය කියන දේ. පිටින් ලැබුණේ ධර්මය යි. ධර්මය ලැබෙනවිට ම අවබෝධ වුණා. ප්‍රඥාවෙන් ලොව බලන්න හැකියාව තිබෙන අයට බුදුරජාණන් වහන්සේ වදාළා අනිත්‍ය වශයෙන් දකින්න කියලා. එවිට ඔවුන් යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න ගන්නවා. දුක් වශයෙන් දකින්න කියනවා. අනාත්ම වශයෙන් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ ‘මෝඝරාජ’ කියන නුවණැති පුද්ගලයාට කියනවා “සුඤ්ඤතෝ ලෝකං අවක්ඛස්සු මෝඝරාජ සදා සතෝ ” මෝඝරාජ, හැම තිස්සේම සිහියෙන් ලෝකය දෙස බලන්න හිස් දෙයක් වගේ කියා.
එතන ලෝකය කිව්වේ මොකක්ද? ඇස, කණ, නාසය, දිව,කය, මනස දෙසයි බලන්න කීවේ. හිස් දෙයක් වගේ. මොකෙන් හිස්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් වගේ ලෝකය දෙස බලන්න කිව්වා. එහෙම ලෝකය දෙස බලනවිට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා “අත්තානුදිට්ඨිං ඌහච්ච” එහෙම හිස් දෙයක් වගේ ලෝක දෙස බලද්දී අර තමාගේ වසඟයේ පවත්වන්න පුළුවනි කියලා තමන් ගාව තිබුණු දැඩි මතය ඉදිරිලා යනවා. “ඒවං මච්චුතරෝ සියා” එතකොට ඔබ මාරයා තරණය කරනවා, මාරයාව පරාජය කරගෙන යනවා. “ඒව ලෝකං අවෙක්ඛන්තං” ඒ ආකාරයට ලෝකය ලෙස බලද්දී “මච්චුරාජා න පස්සති” මාරයාට ඔබ නොපෙනේ.
බුදුරජාණන් වහන්සේ මෝඝරාජට ඒ කාරණය පැහැදිලි කරන්නේ ඒ මෝඝරාජගේ හිතේ තිබෙන ප්‍රඥාවේ ප්‍රමාණයට යි. මෝඝරාජට ඒ කතාව කියනවිට ඔහුගේ යෝනිසෝ මනසිකාරය ඔහුගේ ප්‍රඥාව සමඟ බද්ධ වෙනවා. ඊට පස්සේ ඒක වැඩ කරනවා. සුළු වෙලාවකින් ධර්මය අවබෝධ කරනවා. අප දැන් ධර්මය පාඩම් කරනවා. මෙනෙහි කරන්න බලනවා. මෙනෙහි කරන්න බැරිනම් තේරුම් ගන්න බලනවා. ඒක වහගෙන දෘෂ්ඨි එනවා. ඒක වහගෙන පැටලැවිලි එනවා. මොකක්ද හේතුව? ප්‍රඥාවේ අඩුවයි.
බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට එක එක ශ්‍රාවකයන්ගේ ස්වභාවය බලමින් ඒ ඒ ස්වභාවයේ අයට ධර්මය වදාළා. දේශනා කරද්දී ඒ භික්ෂූන් වහන්සේලාට ප්‍රඥාව විවෘත වෙනවා. අද වර්තමාන ලෝකයේ මිනිසුන්ට නැත්තෙත් ප්‍රඥාවයි.
ප්‍රඥාවන්තයා එතෙර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමි වුණා. සකදාගාමි වුණා. සෝවාන් වුණා. ඒ ප්‍රඥාවන්තයින්ටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය විවෘත වුණේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය විවෘත වෙන්නේ සම්මා දිට්ඨියෙන්නම් ඒ සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ ප්‍රඥාවන්තයාට නම් ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා.
සම්මා දිට්ඨිය ඇතිවුණාම පදනම මොකක් ද? පදනම තමා ඔහු සැණෙකින් හඳුනාගන්නවා මේ කුසල්, මේ කුසල් මුල්. මේ අකුසල්, මේ අකුසල් මුල්. මේ තමා ප්‍රඥාවේ ආරම්භය. එවිට ප්‍රඥාවේ ආරම්භය කුසල් අඳුනාගන්න එක. කුසල් මුල් අඳුනගන්න එක. මේ කුසලයක් කියා තමන්ගේ කුසල් හඳුනා ගන්නවා. මේ කුසලයට මුල් වූ කාරණාව කියා ඒක හඳුනා ගන්නවා. මේ අකුසලය කියා තමන්ගේ අකුසලය හඳුනා ගන්නවා. මේ අකුසලයට මුල් වූ කාරණය කියා එයත් හඳුනා ගන්නවා.
කුසලය හඳුනාගත් විට කුසලයට මුල් වී තිබෙන්නේ ලෝභය නැතිකම. එහෙම නැත්නම් ද්වේශය නැතිකම, නැත්නම් මෝහය නැතිකම. අකුසලය තමන් තුළ හටගත් විට අකුසලය හටගන්න මුල් ව වී තිබෙන්නේ එක්කෝ ලෝභය, නැත්නම් ද්වේශය නැත්නම් මුලාවයි. මේ නුවණින් හඳුනා ගැනීම තමා ප්‍රඥාවේ මූලික ලක්ෂණය.
කෙනෙක් ඉන්නවා මහා දැනුමක් තිබෙනවා. ලොකු විෂය පථයක් දන්නවා. අප ගත්තොත් සාගරය ගැන, අකාසේ ගැන, පොළොව ගැන, ගහකොළ සතාසීපාව ගැන දන්නවා. මේ ඔක්කෝම විස්තර කියනකොට මිනිසුන් කියනවා මොහු මහා නුවණැත්තෙක් කියලා. නමුත් ඔහු කුසල් දන්නේත් නැත්නම්, කුසල් මුල් දන්නේත් නැත්නම්, අකුසල් දන්නෙත් නැත්නම් අකුඅසල් මුල් දන්නේත් නැත්නම් නුවණින් කළයුතු කිසිවක් කරන්න බැහැ.
එවිට බලන්න අපට මේ ජීවිතේට විශාල ලෙස උපකාරි වෙන්නේ දැන උගත්කම ම නොවේ. අත්දැකීම් ගොඩක් තිබීම නොවේ. අත්දැකීම්වලින් , කියවීමෙන් මනුෂ්‍යයා මෝරනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. මා විශ්වාස කරන්නේ මනුෂ්‍යයා මෝරන්නේ ප්‍රඥාවෙන්ම යි. ඒ මෝරන්න උපකාරි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකයේ වෙන කිසි කෙනෙකුට කරන්න බැහැ. ධර්මය තිබෙන ලෝකය මිම්ම හඳුනනවා. ඒකයි උන්වහන්සේ දේශනාකළේ මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ට යි කියලා. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා දිහා බලලා උන්වහන්සේ ධර්මය කියනවා කිව්වම ඒක අවබෝධ වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ කාලේ පුන් පොහොය දවසක සාතාගිරි හේමවත කියලා යක්ෂයෝ දෙනෙක් ආකාසේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගැන කතා වුණා. කාලි කියන උපාසිකාවක් සොල්දරේ වාඩි වෙලා එය අසාගෙන හිටියා. ඈට ඇහෙනවා මේ කතන්දරේ. ඇය සෝවාන් වුණා. හිරු නැඟෙන්නේ කොහෙන්ද? හිරු රැස් වැටෙන්නේ කොතැනට ද? එතැන තිබෙනවා නම් පිපෙන දෙයක් එය පිපෙන එක ස්වභාවයක්.
හිරු රැස් පොකුණට වැටෙද්දී නෙළුම තිබෙන්නේ පොකුණ අස්සේ නම්, වතුර අස්සේ නම්, පිපෙන්නේ නැහැ. ඒ නිසා මේ විග්‍රහය හොඳයි තමන්ගේ ජීවිතය තේරුම් ගන්න. අපේ ජීවිත වෙනසක් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මේක කුසල් කියා හඳුනන්නට සමාර්ථ නැත්නම්, මේක තමා කුසලයට මුල් වෙලා තිබෙන්නේ කියා තමන්ට පෙනෙන්නේ නැත්නම් තමන් කුසල් වඩන්නේ කොහොම ද? අකුසල් දුරු කරන්නේ කොහොමද ඒ එකක්වත් බැහැ.
ඒ නිසා අප තේරුම් ගන්න ඕන මාර්ගඵල බාහිර කිසිම දෙනෙකුට දෙන්න බැහැ. ඒක කරන්න පුළුවන් බුද්ධ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පමණයි.
උන්වහන්සේ ඒ කෙනාගේ ප්‍රඥාාව කොහොමද කියලා බලනවා. මොකද සමහරවිට ඔහුගේ ප්‍රඥාවට වුවමනා කරන පුංචි එළිය ඔහුගේ හිතේ පැළ වෙලා තිබෙන්නේ ගොඩක් කාලෙකට කලින්. එවිට ඒක පත්තු වෙන රටාවට උන්වහන්සේ ධර්මය කියනවා. සමහර අවස්ථාවක සමහරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අහන්නේ වෙන ප්‍රශ්නයක්. නමුත් උන්වහන්සේ වෙන උත්තරයක් දෙනවා. හැබැයි ඒ උත්තරය අහනකොට ඔහු සෝවාන් වෙනවා. ඔහුගේ ප්‍රඥාව අවදි වෙන්නේ ඒ පිළිතුරෙන්.
ඒනිසා අප සියලුම දෙනාට බුද්ධ දේශනා තුළින් යෝනිසෝ මනසිකාරය ඇතිකරගෙන, සම්මා දිට්ඨිය දියුණු කරගෙන, චිත්ත ප්‍රසාදය ස්ථිරව පවත්වා ගන්නටත්, අකුසල් ප්‍රහාණය කරගන්නටත් වාසනාව ලැබේවා.
නයනා නිල්මිණි

ආර්ය භූමියේ ප්‍රථම පියවර ජය ගැනීම

කොළඹ ශී‍්‍ර සම්බෝධි විහාරාධිපති 

ශාස්ත්‍රවේදී
දරණාගම කුසලධම්ම නා හිමි

සාතිෂය දීර්ඝ වූ සංසාරෙහි සැරිසරන සත්වයාට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුව හොත් සතර අපායේ ඉපදෙමින් අනන්ත අප්‍රමාණ වු දුකකට වැටීමට ඇති ඉඩකඩ අප්‍රමාණය. මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්මාදී සුගතිවල ඉපදුනත් එහි ආයුකාලය අවසන් වූ වහාම පූර්වයෙහි සිදුකරන ලද අකුසලයන්හි විපාක වශයෙන් දුගතියට වැටේ. මෙසේ සුගතියත් දුගතියත් අතර දෝලනය වෙමින් අනන්ත වූ ගමනක සැප මෙන්ම දුකද විඳිමින් ගමන් කරනවා විනා ඒකාන්ත සැපයක් නම් නොලැබෙන්නේමයි. එබැවින් සසර නම් අසුරු ගසන ප්‍රමාණයක් වත් මේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකය වටින්නේ නැතැයි තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.
නිර්වාණ මාර්ගය හෙළිවී පවතින්නේ බුද්ධෝත්පාද කාලයක පමණක් බව මනාව දැනගත යුතුය. බුදු දහම පවත්නා තාක් කල් නිවන් මඟ හෙළි වී පවතින්නේය. සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කර වදාළේ නිර්වාණය කරා අප්‍රමාදව ගමන් කරනු කැමැතිවුන් හට ඒකාන්තයෙන්ම ප්‍රතිඵල ලබා දෙන ධර්මයක් හැටියටයි.
සති යනු සිහියයි. සිහිය විවිධ අරමුණු ඔස්සේ විසිර යා නොදී රැක ගැනීම සිහිය පිහිටුවා ගැනීම හෙවත් සතිපට්ඨානය නම් වන්නේය. සිහිය පවත්වාගත යුතු ස්ථාන වශයෙන් සතරක් වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම ස්ථාන වශයෙන් සතරක් වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යනු ඒ සතරය. සතර සතිපට්ඨානය යයි නම් කරන්නේ ඒ නිසාය. මෙලොවදීම සසරින් එතෙර වීමේ අදිටන සහිතව සතර සතිපට්ඨානය වැඩිය යුතු වන්නේය. “සත්තානං විසුද්ධියා සෝක පරිද්දවාන සමතික්කමාය.”
සසුනේ මහණ භික්ෂුව කයෙහි කය අනුව බලමින් වාසය කරයි. කේෂා, ලෝමා, නඛා , දන්තා යන විසින් පිළිකුල් බවද හරයක් නැති බවද දුඟද හමන දේවල් වලින් පිරුණු බවද යන මූලික දැනුම ලැබිය යුතුය. සත්ව පුද්ගල සංඥාවෙන් බැහැරව කය ගැන බැලිය යුතු යථාර්ථවාදී දැක්ම එයයි. “ආතාපි සම්පාජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස” යන මේ බුද්ධ දේශනාව පිළිබඳ ශ්‍රද්ධාවෙන් බුදුහිමියන්ගේ යථාකාරි තථාවාදී කියන දෙයක් කරන, නිවැරැදි, දෙයක්ම පවසන ගුණය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මෙනෙහි කර ඒකාන්තයෙන් සැබෑවක්ම දේශනා කරන බව සිහි කටයුතු වන්නේය.
තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළා වූ මේ උතුම් සත්‍යය මා විසින් දැකිය යුතුය. ශ්‍රද්ධාව තහවුරු කරගෙන එය සසල නොවනසේ, පිහිටුවා ගෙන ආතාපි වීර්යයෙන් යුතුව අභිද්‍යා දෝමනස්සයන්ගෙන් දක්වන්නේ දැඩි ලෝභය සහ දුක් දොම්නසයි. මේවා නුවණ දුබල කරන නීවරණයන්ය.මේ මාර්ගය වැඩීමට බාධා පමුණුවන ප්‍රධාන නීවරණ දෙක වන්නේ කාමච්ඡන්දය යන ඉඳුරන් පිනවීමට ඇති කැමැත්තත් ව්‍යාපාදය නම් වන ද්වේෂයත් යන නීවරණ දෙකය. අභිද්‍යාව හා දෝමනස්සය නැති කිරීම යනු වීර්යය දියුණු කිරීමට අවශ්‍ය උපස්ථාම්භන සැලසීමයි.
නුවණ හා සිහිය සමාධිය දක්වාම වැඩිය යුතුය. කයෙහි කය අනුව බැලිය යුත්තේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයටයි. කුමක් හෝ කිරීම මෙයින් අදහස් නොවේ’. කෙසේ හෝ කිරීමද නොවේ. “යානිමානි ආවුසෝ භද්ද කුසලානි සීලානි වුත්තානි භගවතා ඉමානි කුසලානි සීලානි යාවදේව චතුත්තං සතිපට්ඨානං භාවනාය වුත්තානි භගවතා” යනුවෙන් ආනන්ද හිමියන් භද්‍රස්ථවිරයන්ට වදාළේ – ඇවැත්නි භද්දය භාග්‍යවතුන් වහන්සේ යම් කුසල සීලයක් වදාරන ලදද ඒවා සතර සතිපට්ඨානය වැඩීම” පිණිස වදාරන ලදහ”.
සතිපට්ඨානය නිවන් අවබෝධය පිණිසම නිවන් මඟට බැස ගැනීම පිණිසම දේශනා කළහ. “ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තං ගමය ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා” මහණෙනි, මෙ සතර සතිපට්ඨානය නම් සත්වයනට රාගාදී කෙලෙස් දුරු කිරීම පිණිසද, කනගාටුවීම්, හැඬීම් ඉක්මවීම පිණිසද දුක් දොම්නස් නැති කරනු පිණිසද ලෝකෝත්තර මාර්ගය හා ඥානය ලැබනු පිණිසද නිවන ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ද ඇත්තා වූ නිර්වාණය කරා එක එල්ලේම යන මාර්ගයයි .
“කාය යැයි කියනු ලබන රූප සමූහය සත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුඛ ශුභාදී වශයෙන් නොමනා පරිද්දෙන් නොබලා ආශ්වාස ප්‍රශ්වාසාදි ඒ ඒ කායයන් හැටියටම බලන්නා වූද අනිත්‍යාදී වශයෙන් බලන්නා වූද ප්‍රඥාව හා යුක්ත වන සිහිය කායානුපස්සා සතිපට්ඨාන නම් වේ.” රේරුකානේ චන්දවිමල මහා නා හිමි බෝධි පාක්ෂික ධර්ම විස්තරය.
කායානු පස්සනාවේදි ඉන්ද්‍රිය ධර්ම වැඩන්නේ කෙසේද? වීර්යය හා නුවණින් කිරීමෙනි. ගින්නක් ඇවිලවීමට කැමැති අයෙක් ඒ සඳහා අමු දේවල් භාවිතා කළොත් ගින්න නිවී යයි. මහත් වූ ගින්නකට තව තවත් වියළි දේවල් දැමුවොත් ගින්න වඩාත් ප්‍රබල වේ. මේ කරුණ උපමා කරමින් දේශනා කරන්නේ සමාධිය සඳහා සිත වැඩීමේදී පුහුණුව බහුලව කරන විට සිත සැඟවේ. හැකිලේ. නැවත නැවතත් එවිට සමාධිය වඩන්නට ගියහොත් ගින්නට අමුදර එක් කිරීම වැනිවේ. කළ යුත්තේ වියළි දේ එක් කිරීමයි. සමාධි සිත වැඩීමේදී සිත සැඟවේ නම් එබඳු කමටහන් වල නොයෙදී වෙනත් විතර්ක සහිත අරමුණකට යා යුතුය. එය ගින්නට වියළි දේවල් දැමීම වැනිය.
එවිට එම අරමුණින් මිදී මේ ආකාරයට සිත හැකිලීමට හේතුව විමසා බලන අරමුණකට මාරු විය යුතුය. මහ ගින්නක් ඇවිළෙන අවස්ථාවක තව තවත් වියළි දර යෙදුවොත් ගින්න තව තවත් දියුණුවේ. එවිට අමු දර යොදා පාලනය කරගත යුතුය. එසේම සිත බැහැරට යා හැකි විට,අරමුණින් ඉවතට යන බව පෙනේ නම් එයට හේතුව විමසා බැලිය යුතුය. ඒ නිසා එම අවස්ථාවේදී විදර්ශනාව නතර කර සමථ කමටහනකට යා යුතුය. නැතහොත් සිත උද්ධච්චයට හෙවත් විසිරීමට ලක් විය හැක. විරිය, සතිය හා සම්පජඤ්ඤය (නුවණ) වෙත යොමු කළ යුතුය. එයද ප්‍රතිඵලදායක නොවී වැරදුනොත් ශ්‍රද්ධාව වෙත ළඟා වෙමින් සංවේගජනක වස්තුන් මතකයට නගා ගත යුතුය.
මෙහිදී පේ‍්‍රත ලෝකය ගැන අසා තිබෙන බෙහෙවින් සංවේදනාත්මක තොරතුරු සිහිපත් කළ යුතුය. පේ‍්‍රත වස්තුවෙහි එන කතා වස්තු කියවා තිබේ නම් එය පහසුවෙන් කළ හැකි වන්නේය. පේ‍්‍රතයින්ගේ සා පිපාසය ආදි කර්මය බලවත් වූවන් පිළිබඳ තොරතුරු විමසිය හැක. මුළු ශරීරයේ හාත්පස ගිනි ඇවිළෙන හා එම වේදනාවෙන් පෙළෙන පේ‍්‍රතයින් සිටී. එසේම ශරීරය කුණු වී තුවාල වී ඕජස් වැගිරෙන පේ‍්‍රතයන් සිටී. තුවාල සහිත ගවයෙකු වට කරගෙන කපුටන්, කවුඩන්, නිලමැස්සන් ගවයාගේ තුවාල වලින් මස් කඩාගෙන කන්නාසේ තුවාල සහිත පේ‍්‍රතයින් වට කරගත් සෙසු පේ‍්‍රතයින් එම තුවාලවලින් මස් කඩා කමින් ඕජස් උරා බොයි.
සංසාරගත පැවැත්මේ මෙවන් බිහිසුණු දුක් සහිත තොරතුරු මතකයට නගා ගෙන සසර බිය ඇති කරගැනීම ධර්මය දැකීමට මහත් පිටු බලයක් වේ. නිරයේ ඉතා දරුණු ලෝදිය ගින්දර මත පැසවන පිළිස්සෙන ආකාරය සිහියට නගා ගත යුතුය. එබඳු දුකක් මටද උරුම විය හැකියි. ඒ නිසා සසර යනු අවිනිශ්චිත ගමනකි.
ශ්‍රද්ධාව, විරිය, සිහිය, නුවණට උපකාර කරගෙන සමාධිය දියුණු කිරීමට උත්සාහ ගැනීම ප්‍රතිඵල දායකය. කයෙහි කුණපයන් දෙස කය අනුව බැලීම කළ යුත්තේ පෙර සඳහන් දේවල්වලට පිළිතුරු ලැබෙන ආකාරයටයි. කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිම විනය්‍යෙ ලෝකේ. අභිද්‍යා දෝමනස්ස. ම් ශාසනයේ විවේක තුනකි. එනම් කාය, චිත්ත, උපධි යනුයි. කාය විවේකය යනු කායික වාචසික ක්‍රියා වලින් ලබන නිදහසයි. චිත්ත විවේකය යනු දානාදී පින්කම් අවස්ථාවලදි නිකලෙස් තාවකාලිකව යටපත් වීමයි. විෂ්කම්භන යනු සමථය වැඩීමේදී ප්‍රථම ධ්‍යානයට එළඹුණු විට කෙලෙස් යටපත් වීමයි. එයද තාවකාලිකයි. සිතට මේ තාක් තිබුණේ රූප බැලීම, ශබ්ද ඇසීම ආදී අධික වැඩකටයුතු රාශියකි. එබඳු ආශාවන් නතර කළ යුතුය. උපාධි විවේකය යනු කෙලෙස් හා ආශ්‍රව සමුච්ඡේද වශයෙන් නැවත හට නොගන්නා අයුරින් ප්‍රහීණ කිරීමෙන් ඇති කරගන්නා මානසික සුවයයි.

සියදිවි නසා ගැනීම පාපයක්‌ද?

කොළඹ මරදාන, විෙද්‍යාදය පිරිවෙණේ 
ආචාර්ය මුලනේ ගුණානන්ද හිමි
අද වනවිට ලෝකයේ ඉහළ යන දැවෙන සමාජ ප්‍රශ්න රාශියකි. මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවීම, වැරැදි ඉඳුරන් පිනවීම ඇතිවන මාරාන්තික සමාජ රෝග මෙන්ම ඒ හා බැඳුණු ගබ්සාකිරීම් හා මානසික ආතතීන් සහ සියදිවි නැති කර ගැනීම් ඒ අතරින් සුවිශේෂී වේ. මේ සියලු සමාජ ගැටලු එකක්‌ අනෙකාට සාපේක්‌ෂව පවතින නිසා, එක්‌ ගැටලුවක හට ගැනීම තවත් ගැටලු රාශියක මූලාරම්භය වන බව පෙනේ. අප මෙහිදී අවධානය යොමුකරනුයේ සියදිවි නසා ගැනීම ලොව්තුරු දහමට අනුකූලව ප්‍රාණඝාත අකුසලයක්‌ද? නැද්ද? යන්න පිළිබඳ ධර්මානුකූල විවරණයක්‌ කිරීමටය.

කෙනකු අවි ආයුධවලින් හෝ වෙනත් බාහිර උපක්‍රමවලින් තම ජීවිතයට හානිකොටගෙන දිවියෙන් සමුනග්නේද එය සියදිවි නසාගැනීම ලෙස සාමාන්‍ය පිළිගැනීමය. ඇතැමෙක්‌ එම දිවි හානිය තියුණු අවියකින් සිදුකර ගනිති. සමහරෙක්‌ එය වස විස පානයෙන් සිදුකර ගනිති. තවත් සමහරකේ යමක එල්ලී බොටුව සිරකර ගැනීමෙන් හෝ නූතන තාක්‌ෂණික මෙවලම්වලට ශරීරය හසුකර ගැනීමෙන් හෝ සිදුකර ගනිති.

මානසික සෞඛ්‍ය ඒකකයේ වාර්ෂික වාර්තාවන්ට අනුව දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් එකළොස්‌ දෙනෙක්‌ සියදිවි නසාගනිති. ඒ අනුව වසරකට පුද්ගලයන් 4000 ක්‌ පමණ එසේ තම දිවිය තොර කර ගනිති. මෙලෙස දිවි නොකරගන්නාවූ පිරිස්‌ අතර බහුතරයක්‌ වයස 20 ත් 45 ත් අතර වෙති. 2011 දී නිකුත් කළ පොලිස්‌ වාර්තාවල සඳහන් වන්නේ මෙරට තරුණ තරුණියන් 3770 දෙනකුට සියදිවි නසාගෙන ඇති බවයි. ඔවුන් අතර කාන්තාවන් 231 දෙනකුද සිටින බව එහි වැඩිදුරටත් පෙන්වා දේ. මේ සංඛ්‍යා ලේඛනවල සීග්‍රවර්ධනයක්‌ 2014 වන විට ඇතිවී තිබෙන බව පෙනේ.

සියදිවි නසා ගැනීමට ඇත්තේ දිගුකාලීන ඉතිහාසායකි. පුරාණ ඉන්දියාවේ සැමියා මළ වැන්දඹු බිරිඳ සැමියාගේ දැවෙන සෑයටම පැන දිවි තොරකර ගැනීම සිරිත විය. එය 'සති පූජා' නමින් හැඳින්විණි. පුරාණ ජපන් ජාතිකයෝද යුද්ධයේදී පරාජයටද ළංවන විට යටත්a නොවී සියදිවි තොරකර ගැනීම සිරිත විය. එය 'හරාකිරි' නම් විය. වසර තුන්දහස්‌ පන්සියයකට වඩා පැරැණි 'භගවත් ගීතාව' නම් ග්‍රන්ථයේ අටවැනි පරිච්ඡේදයේ 22-23 යන පද්‍යවලින්ද යම්කිසි තෝරාගත් දිනයක, තෝරාගත් වේලාවක කැමැති ක්‍රමයකට මෙලොවින් සමුගැනීම යහපත්බව සඳහන් වේ. අතීතය මෙසේ වුවද නූතනයේ කිසිදු ශිෂ්ටසම්පන්න ජාතියක්‌ සියදිවි නසා ගැනීම නොහොත් මේ ආත්ම ඝාතන අනුමතකරන්නේ නැත. වර්තමානයේ බොහෝ රටවල් සියදිවි තොර කරගනනන්ට නීතියෙන් දඬුවම් කිරීම සිදුකරනු ලබවයි. ශ්‍රී ලකාවේද දණ්‌ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ සියදිවි නසා ගැනීමට තැත්කරන කෙනකුට දඬුවම් කළ හැකි අතර එසේ දිවිතොර කර ගැනීමට අනුබල දෙන හා පොළඹවන කෙනකුට 299 වගන්තිය යටතේද දඬුවම් කිරීමට නීති සම්පාදනය වී ඇත. දිනෙන් දිවෙන උඩු දුවන මේ සමාජ ගැටලුව සම්බන්ධයෙන් නීති අණපනත්වල ස්‌වභාවය එසේ වුවද දිනපතා තම ජීවිතය විනාශ කර ගැනීමට පෙළඹෙන පිරිසෙහි වැඩිවීමක්‌ මිස අඩුවක්‌ නම් දක්‌නට නොලැබේ. ඊට හේතුකාරක රාශියකි. මිනිස්‌ සිතේ හටගන්නාවූ හදිසි ආවේගශීලීබව, සයිකෝෂියාව, විෂාදය, හෙවත් මානසික අවපීඩනය සහ මනෝව්‍යාධීන් පුද්ගලයා සියදිවි නසා ගැනීමට පෙළඹවන බව බටහිර පිළිගත් මතයයි. සිග්මන් ප්‍රොයිඩ්ගේ මතය වන්නේ පුද්ගලයාට ජීවත්වීමේ ආශාව මෙන්ම ජීවිතය නැතිකර ගැනීමේ ආශාවක්‌ද ඇති බවයි. ඒ ආශාව සංසිඳවීමට පුද්ගලයා දිවි තොර ගැනීමට විවිධ උපක්‍රම අත්හදා බලන බව ඔහුගේ මතයයි.

ප්‍රංශ ජාතික ප්‍රකට සමාජ විද්‍යාඥයකු වූ එමිල් ඩුර්කයිම් දක්‌වන්නේ පුද්ගල සියදිවි නසා ගැනීම් ප්‍රභේද තුනකින් විස්‌තර කළ හැකි බවයි. එහි පළමුවැන්න ආත්මී සියදිවි නසා ගැනීමයි. පුද්ගලයන් සමාජයේ ජීවත්වනවිට තමන්ට සමාජයෙන් ලැබිය යුතු වරප්‍රසාද හා විවිධ හිමිකම් පිළිබඳ අපේක්‌ෂාවෙන් සිටී. එකී අපේක්‌ෂාවන් අහිමිවූ විට පුද්ගලයා තුළ ඉච්ඡාභංගත්වයක්‌ ඇතිවී හුදකලා තත්ත්වයක්‌ නිර්මාණවය වේ. එවිට ඔවුන් තුළ සියදිවි නසා ගැනීමට සිතක්‌ පහළ විය හැකිය. එය ඩර්කයිම්ගේ විග්‍රහයට අනුව ආත්මීය දිවිනසා ගැනීමකි. එසේම සමාජයේ සිදුවන විවිධ පළිගැනීම් හා අසාධාරණ ක්‍රියාවන් නිසා ඊට ප්‍රතිචාර දැක්‌වීමක්‌ ලෙස තමන්ගේ ජීවිතය වුවද අහිමිකර ගැනීමට පෙළඹේ. එය ඩුර්කයිම්ගේ විග්‍රහයට අනුව පරහිතකාමී සියදිවි නසා ගැනීම නම් වේ. මේ පරහිතකාමී දිවිනසා ගැනීම් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේද සුලභව කතා පුවත් සඳහන් වේ. එමිල් ඩුර්කයිම්ගේ අනෙක්‌ විග්‍රහයවන්නේ සමාජ තරගකාරීත්වයට හසුවී එය උග්‍රවූ විට ඊට අනුකූලත්වය දැක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පුද්ගලයන් සියදිවි තොර කරගන්නා බවයි. එය අනෝමීය සියදිවි නසා ගැනීම ලෙස හැඳින්වේ. මේ සමාජ ප්‍රශ්නය දෙස බටහිර වියතුන් දරන මතවාදය මෙලෙස සඳහන් කළේ ලොව්තුරු දහමෙහි එය විග්‍රහවන ස්‌වභාවය පිළිබඳ වටහා ගැනීම පහසුවන හෙයිනි.

ලොව්තුරු දහම අපට මඟපෙන්වන්නේ මේ මිනිසත් බව පරම දුර්ලභවූවක්‌ බය. (කිච්ඡො මනුස්‌ස පටිලාභො) සසර අපමණ පින්කොට ලබාගත යුතු තත්ත්වයක්‌ ලෙස එය දක්‌වා ඇත. එලෙස පින්කොට ලැබූ දුර්ලභ මිනිසත් බව තව කෙනකුට හෝ තමන්ට විනාශ කර ගැනීමට බුදුසමය කිසිවිටෙක අනුබල නොදේ. බුදුන්වහන්සේ විනයෙහි භික්‌ෂුන්ට පැනවූයෙ දැන දැන තිරිසන් සතුන් මැරීම පාච්ත්තිය ආපත්තියක්‌ ගෙන දෙන බවයි. (යො පන භික්‌ඛු සංචිච්ච පාණං ජීවිත වේරොපෙය්‍ය පාචිත්තයං) එහෙත් භික්‌ෂුවක්‌ මනුෂ්‍ය ප්‍රාණියකු ජීවිතයෙන් තොරකරන්නේද එය මහා බරපතළ පාරාජික ඇවැතකි. මහණකම පවා අහෝසිවන ආපත්තියකි. නමුත් සියදිවි නසා ගැනීම විනයේ පනවා ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක්‌ ලෙස නොවේ. 'නච භික්‌ඛවෙ අන්තානං පාතෙතබ්බං යො පාතෙය්‍ය ආපත්ති දුක්‌කටස්‌ස්‌ යන බුද්ධ වචනයෙන් පෙන්නුම් කරන්නේ ආත්මය නොනැසිය යුතු බවයි. යමෙක්‌ දිවි නසා ගන්නේ නම් ඔහුට දුක්‌කට ආපත්තියක්‌ වන බවයි විනයේ ඉගැන්වෙන පාචිත්තිය, පාරාජිත දුක්‌කම යන ආපතති ගැන මෙහිදී විමසීම වටී. පරාජිකා යනු මහා බරපතළ කර්මයන්ට යොදන නමකි. එය කරටිය සිඳුණු තල්ගසක්‌ නැවත රෝපණය නොවන්නා සේ ප්‍රකෘති ස්‌වභාවය නැවත ලබා ගැනීමට නොහැකි ආපත්තීන්ය. පාචිත්තිය යනු ඊට වඩා ලිහිල්වූ පිරිසිදුවීමට ඉඩ අවකාශ ඇති වැරැදිවලට යෙදෙන නමකි. දුක්‌කට යනු ඊට වඩා ලිහිල්වූ කුඩා ආපත්තීන්ය. විනයෙහි සියදිවි නසා ගැනීම දුක්‌කට ආපත්තියක්‌ ලෙස දක්‌වා ඇති බැවින් ඇතැමෙකු එය වැරැදි අයුරින් අර්ථ නිරූපණය කළ හැකිය. විනයට අනුව පාරාජික ඇවැතක්‌ තරම්වත් බරපතළ නොවන නිසා සියදිවි නසා ගැනීමක්‌ තුළින් අපාගත නොවන්නේ යෑයි ඔවුහු තර්කද ගොඩනගති. මෙය දහමට අනුගතව විසඳිය යුතු ගැටලුවකි. බුදුසමය හැමවිටම පුද්ගලයාගේ ඊළඟ භවය විනිශ්චය කරන්නේ මරණාසන්නවූ (චුතිසිත) මුල්කොටගෙනය. චුතිසිත යහපත්වූයේ නම් ප්‍රතිසන්ධි චිත්තය ශක්‌තිත් වන බව ථෙරවාදීන්ගේ පිළිගත් මතයයි. ධර්මාශෝක මහරජු වෙහෙර විහාර අසූහාරදහසක්‌ සාදවා මහා පින්කම් කළ මහෝපසාකයකු වුවද ඔහුගේ චුතිසිත්තය අයහපත්වී හිමාලයේ පිඹුරකුව ඉපදුන බව සඳහන් වන පුවතින් මේ චුති සිත්තයේ බලගතු බව වටහාගැනීමට හැකිය.

සියදිවි නසා ගැනීමෙන් පසුව ලබන ඊළඟ ජීවිතය ගැන අප විමසිය යුත්තේ ද මෙකී මරණාසන්න සිත මුල්කොටගෙනය. සමාජයෙහි සියදිවි නසාගන්නවුන් අතරින් ඇතැමෙක්‌ ආධික කාමාශාවෙන් මුසපත්වී එකී කාම වස්‌තූන් තමන් සන්තක කරගන්නට බැරිවූ විට දිවිතොර ගනිති. ඇතැමෙක්‌ ලැබූ ලාභයන්හි ගිජුවී ආභයක්‌ සිදුවඋQ විට දරාගත නොහැකිව දිවිතොර කර ගනිති. තවත් සමහරෙක්‌ ලැබූ මිනිසත් භවයේ වටිනාකම නොදැන නොයෙක්‌ දෘෂ්ටිවාදයන් මත හිඳිමින් අන්තගාමීව මුලාවී දිවිතොර කර ගනිති. මෙකී ආශාව, ද්වේශය, මෝහය මුල්කොටගෙන යමකු දිවිතොර ගත් විට ඊළඟ භවය සැපවත් යෑයි කාට නම් නිගමනය කළ හැකිද? දූසිත සිතින් මිය යනවිට ඊළඟ භවය නිර්මාණය වන අයුරු විස්‌තර වන බුද්ධ දේශනාවක්‌ ඉතිවුත්තක පාලියේ දක්‌නට ලැබේ. එය මෙසේය.

'සිත දූෂණයවී ඇති වේලාවේදී යමකු මියගයේ නම් ඔහු නරකයෙහි උපදින්නේය. කුමක්‌ නිසාද යත් ඔහුගේ සිත දූෂණය වී ඇති බැවිනි. එබඳු පුද්ගලයා මළ පසු ගෙන දැමුවාක්‌ මෙන් නරකයට වැටෙන්නේය' මෙහි මුලින් සඳහන් කළ සියලු පිරිස්‌ දිවිනසාගත්තේ රාග, ද්වේෂ, මෝහ මුල්කොටගත් දූෂිත සිතින්ය. එනිසා එය සාවද්‍ය දිවි නසා ගැනීමකි. ඔවුන් මරණින් පසු අනිවාර්යයෙන්ම දුගතිගාමී වේ. නමුත් නිරවද්‍ය වූ දිවිනසා ගැනීමක්‌ ගැනද අපට දහමෙන් පෙන්වාදී ඇත. එය ලෞකික අරමුණු අභිබවා ගිය ලෝකෝත්තර ඵළ සාධනය සඳහා හේතුවන්නකි. එමිල් ඩුර්කයිම් නම් සමාජ විද්‍යාඥයා පෙන්වාදෙන පරහිතකාමී සියදිවි නසා ගැනීමද සියයට සියයක්‌ මේ නිරවද්‍ය වූ සියදිවි නසා ගැනීම හා නොගැළපුනද යම් සමානකමක්‌ ප්‍රකට කරන බව පෙනේ. 

ඩුqර්කයිම්ගේ අදහසට අනුව ඉන්දියාවේ තිබුණ 'සතිපූජාව' හා ජපානයේ 'හරාකිරි' ක්‍රියාව මේ මේ පරහිතකාමී සියදිවි නසා ගැනීමට සමානකමක්‌ දක්‌වයි. එහෙත් බුදුසමයේ ඉගැන්වෙන නිරවද්‍ය වූ සියදිවි නසා ගැනීම එකී සියලු අරමුණු අභිබවා යන්නක්‌ ලෙස දැක්‌විය හැකිය. මන්දයත් සතිපූජාවෙන් හා හරාකිරි ක්‍රියාවලියෙන් රාග, ද්වේෂ, මෝහ වර්ධනයවීම නොවැළැක්‌විය හැකි බැවිනි. දහමේ ඉගැන්වෙන නිරවද්‍ය වූ සියදිවි තොරකර ගැනීමෙන් එසේ රාග, ද්වේෂ, මෝහ වර්ධනය වන්නේ නැත. දහමෙහි නිරවද්‍ය වූ දිවිනසා ගැනීමක්‌ සම්බන්ධයෙන් අප දන්නා ප්‍රකට කතා පුවත වන්නේ සිරිසඟබෝ පුවතයි. කහවණු දහසකට මිල නියමවූ සිරිසඟබෝ රජුගේ හිස රජු විසින් දුප්පත් මගියකුට සියතින්ම සිඳ දුන්නේ ලෝකෝත්තර ඵල සාධනය කිරීම අරමුණු කොට ගෙනමය. එහි රාග, ද්වේෂ, මෝහ කිසිවක්‌ නැත. චුති චිත්තයද අතිශය ප්‍රසන්න වූවක්‌මය. එනිසා එය නිරවද්‍ය වූ දිවිනසා ගැනීමකි. එසේම අප මහා බෝසතාණන් පාරමීදම් පුරන එක්‌ භවයකදී ව්‍යාඝ්‍ර ෙනුවක්‌ කිසිදු ආහාරයක්‌ නැතිව කුසගින්නේ තම දරුවන් කන්නට තැන්කරන විට ව්‍යාග්‍රයාට ආහාරයක්‌ වූයේද උසස්‌ අරමුණක්‌ මුල්කොට ගෙන මිස රාග, ද්වේෂ, මෝහවලින් වර්ධනය වූ මනසකින් නොවේ. මීට අමතරව බුදුන් ජීවමාන කාලයේදී ඇතැම් භික්‌ෂුන් සසර කළකිරී පෙරමුව වැද්දකු පසුව මහණවූ මිගල්ණ්‌ඨික භික්‌ෂුවට කියා බොටුව කපා දිවි තොරකර ගත් පුවතක්‌ද විනයේ සඳහන් වේ. එසේම සියදිවි නසාගත් ගෝධික නම් භික්‌ෂුවකගේ පුවතක්‌ද දහමේ සඳහන් වේ. උන්වහන්සේගේ කතා පුවත මේ නිරවද්‍ය වූ සියදිවි නසා ගැනීමට අපට ගත හැකි හොඳම නිදසුන වේ.

ගෝධික තෙරුන් ඉසගිලි පර්වතය වාසභූමිය කොටගත් භික්‌ෂුවකි. එසේම උන්වහන්සේ නිතර රෝගාබාධයන්ට ලක්‌වෙති. උන්වහන්සේ බොහෝ උත්සාහකොට ලෞකික ධ්‍යානයක්‌ ලබාගත්හ. ලෞකික ධ්‍යානයන් වනාහි වහා වෙනස්‌වන සුළුය. නැවත නැවත ධ්‍යානයට සමවැදී එය දියුණු නොකළහොත් වහා ධ්‍යානයෙන් පිරිහෙන්නේය. ගෝධික තෙරුන් බොහෝ රෝගාබාධ ඇති හෙයින් වරක්‌ දෙවරක්‌ නොව පස්‌වාරයක්‌ම ධ්‍යානයෙන් පිරිහිණි. හයවැනි වාරයෙහි තෙරුන් මෙසේ සිතීය.

'මා ධ්‍යානයෙන් පිරිහී ගිය අවස්‌ථාවකට මරණය සිදුවුවහොත් මාගේ ඊළඟ උපවත අවිනිශ්චිතය. යම් විටෙක ධ්‍යානය තිබියදී මරණය වුවහොත් බඹලොව ඉපදීම නිශ්චිතය. එනිසා ධ්‍යානයක්‌ තිබෙන දැන් දිවි නසා ගනිමි' මෙම සිතුවිල්ල මාරයා දැක උන්වහන්සේ මෙයින් රහත් වේ යෑයි බියවී එය වැළැක්‌වීමට බුදුන්වහන්සේට සැලකර සිටියේය. එවිට ගෝධික තෙරුන් මහත්වූ වේදනා සහිත වුවද එය ඉවසා දරාගෙන සියතින්ම ගෙළ සිඳ දැමූහ. එම වේදනාවම කමටහන් ලෙස ගෙන ගෙල සිඳෙන මොහොතෙහිම රහත්වූහ. මෙය උසස්‌වූ අර්ථයක්‌ මුල්කොටගත් නිරද්‍ය වූ සියදිවි නසා ගැනීමකි. එම නිරවද්‍ය වූ දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලක්‌ වන්නේ නැත. එසේම අපායාදී දුගකීන්හි ඉපදීමටද හේතුවන්නේ නැත. මන්දයත් එහි රාග, ද්වේෂ, මෝහ සිතුවිලි කිසිවක්‌ නූපන් බැවිනි. කෙලෙස්‌වලින් ගහණවූ දූෂිත මනසින් නූතන අධිවේගී සමාජ රටාව තුළ සියදිවි නසාගන්නාවූ පිරිස්‌ අපාගත වන්නේද නැද්ද යන්න විමසා බැලිය යුතු වන්නේද ගෝධික තෙරුන්ගේ මෙකී පුවතද සැලකිල්ලට ගෙනය.

බුදුසමය නිරවද්‍යවූ සියදිවි නසා ගැනීම අකුසලයක්‌ හෝ අපාගත වීමක්‌ සඳහා හේතු නොවන්නේය යන කරුණ ඉස්‌මතු කිරීම මගින් කිසිවිටෙක සියදිවි නසා ගැනීමට අනුබල දීමක්‌ සිදු නොකෙරේ. එයින් ඉස්‌මතු කරන්නේ ලොව සියදිවි නසා ගැනීමක්‌ නම් එය නිරවද්‍ය වූ ස්‌වාර්ථ ඵල සාධනය සඳහාම විය යුත්තක්‌ බවයි. බුදුසමය ලෞකික, ලෝකෝත්තර ඵල සාධනයන්හි ඒකාන්ත ශුද්ධ භූමිය දුර්ලභ මිනිසත්භාවය බව පිළිගනී. පුද්ගලයා සෝවාන් ආදී අධිගමනයන්ට පත්වන්නේද සතර අපායාදී දුගතීන්ට පත්වීමට අවශ්‍ය දැ රැස්‌කරන්නේද මේ මනුෂ්‍යභාවය තුළින් බව බුදුසමය පිළිගනී. එනිසා බුදුසමයෙන් ඉගැන්වූ මේ ආත්ම ඝාතනය ගැන ඔබ මෙසේ සිතිය යුතුය. 

සැබවින්ම ආත්මය නම් අස්‌ථිරමය. එහි වෙනස්‌ නොවන්නේ යෑයි කියා ගත යුතු දෙයක්‌ නැත. එහි මරණින් මතු ගෙන යා හැකි එකම දේ වන්නේ සංවර්ධනය කළ සිතුවිලි පමණක්‌මය. එනිසා මා මේ දිරායන රූපස්‌කන්ධය නිසා කුමක්‌ ලබන්නේද? ඒකාන්තයෙන්ම මා නැසිය යුත්තේ ආත්මය වෙලා බැඳ තබාගෙන සිටින පාපී සිතුවිලිමය. ගෝධික තෙරුන් නැසුවේද ඒ පාපී සිතුවිලිමය. එම පාපී සිතුවිලි නමැති ආත්ම ඝාතනයට මාගේ සියදිවි නසාගැනීම වේවාෘ සිතන්න. ඔබටත් එලෙස දිවි නසාගන්නට හැකිනම් ඔබ කොතරම් වාසනාවන්තද? 
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X