සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මනසේ සහ කයේ ස්වභාවය

වල්පොල ගෝතම හිමි

ප්‍රඥාවට අප ආලෝකය කියා කියනවා. ආලෝකය කියන්නේ අඳුරක් නසන්න තිබෙන දෙයක්. අප දන්නවා යම් තැන ආලෝකයක් දැල්ලුවොත් පමණයි අඳුර දුරු වෙන්නේ. එසේ නැතුව අපට කවදාවත් අඳුර උස්සලා තියන්න බැහැ. අඳුර අයින් කරන්නට නම් ආලෝකයක් තිබෙන්න ඕන.ප්‍රඥාව ආලෝකයක් කිවුවේ ප්‍රඥාව අලෝකයක් ලෙස යම්කිසි අඳුරක් නසනවා. නසන්නේ අවිද්‍යා අඳුරයි.
අවිද්‍යාව කියන්නේ අනවබෝධය යි. මේ ලෝකය ගැන අපට යම් අනවබෝධයක් තිබෙනවානම් ඒ අනවබෝධය නසන්න තමා මේ ප්‍රඥා ලෝකය උපකාරි වෙන්නේ. අවිද්‍යාව නසන්නයි තණ්හාව ඇතිවෙන්නේ. ඔබ දන්නවා පටිච්චසමුප්පාදය මුලින් තිබෙන්නේ අවිද්‍යාව. තණ්හාව තිබෙන්නේ මැද. එසේනම් මුල තිබෙන අවිද්‍යාව නැසුවොත් තමා ඒ අවිද්‍යාව නිසා හට ගන්නා තණ්හාව නැතිවෙන්නේ. එසේනම් තණ්හාව නසන්න අපට කෘතිම ආකාරයට එක එක දේ කරමින් මට එපා කියා ඈත් කළාට ඒක කරන්න බැහැ. තණ්හාව නසන්නනම් අප කළයුත්තේ අවිද්‍යාව නැසීමයි. අවිද්‍යාව නසන්නනම් ප්‍රඥාවම දියුණු කළ යුතුයි. ඒ ප්‍රඥාව දියුණු කරන්න කෙනෙක් උත්සහා කරනවානම් ඔහු මේ ධර්මයට අනුව නුවණින් විමසීමම යි කළ යුත්තේ. ඒ අනුව සිහිය පැවැත්වීමයි කරන්න ඕන.අද අප සාකච්ඡා කරනවා මනස තුළ ඇතිවෙන සිතුවිලිවලට, මනෝභාවයට අනුව යම් කෙනෙකු කොහොමද කය තුළ සකස් වෙලා තිබෙන සතරමහ ධාතු තමන් සිතන ආකාරයත් සමඟ වෙනස් වෙන්නේ කියා. ඒ ස්වභාවය නිසා පුද්ගල සංඥාවක් ඇතිවෙලා තිබෙන්නේ. අප විමසමු මේ ධාතුන්ට ඒ ධාතු කොතරම් එකතු ද කියා.බුදුරජාණන් වහන්සේ වදාළා ධාතුවල පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු මහා ධාතුයි. මේ මහ ධාතු ඉඩ අරගෙන තිබෙන්නේ අවකාස ධාතුවෙන්. ඕනෑම හතරමහ ධාතුන්ගෙන් හටගත් දෙයට ඉඩක් ඕන. යම් තැනක ආකාස ධාතුව නැත්නම් එතැන පඨවි ආපෝ, තෝජෝ වායෝ ධාතුන්ගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේනම් මේ කය මහ ධාතුන්ට අමතරව ආකාස ධාතුවකුත් තිබෙනවා. හිස් අවකාශයක් මේ කය තුළ පවත්වනවා ඒ අවකාශය ආකාස ධාතුවටමයි අයිති. කණ් සිදුරු ආමාශයේ තිබෙන ඉඩ, ගලනාල ආදි නොයෙක් තැන්වල හිස් අවකාශයක් තිබෙනවා. මේවා තමා ආකාස ධාතුව කියන්නේ. මේවා සියල්ලට කැමැතිවීමක් කරන්නේ විඤ්ඤාණ ධාතුව විසින්. විඤ්ඤාණ ධාතුවට පුළුවන් මේ ධාතුන් තමන්ට ඕන ඕන ආකාරයට හසුරුවා ගන්න.
විඤ්ඤාණය කියන්නේ යම්කිසි දෙයක් දැන ගැනීමයි. ඒ විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යමක් වෙන්කරලා දැන ගන්නවානම් ඒ වෙන්කර දැන ගැනීම තමා විඤ්ඤාණය කියන්නේ. ඔබ පුවත්පතක් බලනවිට ඒ පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා ප්‍රවෘත්ති රාශියක්. ඒ ප්‍රවෘත්ති වලින් එක එක ප්‍රවෘත්තිය කියවනවා. ඒ ප්‍රවෘත්තිය කියවන විට ඒ අවට තිබෙන තවත් ප්‍රවෘත්ති ගොඩක් තිබුණත් අප ඒවා දැන ගන්නේ නැහැ. අනෙක් ප්‍රවෘත්ති සියල්ලෙන්ම එක ප්‍රවෘත්තියක් වෙන්කරලා තෝරාගෙන එය පමණක් දැන ගන්නවා. ඒ ආකාරයට මනැසින් අප යම් වෙන් කිරීමක් කර ඇසින් රූප බලන්නේ. මනැසින් යම් වෙන් කිරීමක් කරලයි කනින් ශබ්ද අසන්නේ. ශබ්ද ඕන තරම් ඇසෙන්න තියෙයි. නමුත් අප අසන්නේ එක ශබ්දය යි. කෙනෙක් හොඳින් ධර්ම දේශනාවකට සවන් දීගෙන ඉන්නවිට එතැන විදුලි පංකාවේ ශබ්ද ඔරලෝසු තත්පර කට්ටේ සද්ද, නොයෙක් ආකාරයේ අවට ශබ්ද තිබෙන්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවටම කන් දීගෙන ඉන්නවිට අර ඇසුන ශබ්ද කෙරෙහි අවධානයක් නැහැ. එසේ වෙන්කරලා දැන ගැනීමේ ගතියක් තිබෙනවා. ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, සිතේ අරමුණු දැන ගැනීම මේ ස්වභාවය තමා විඤ්ඤාණය කියන්නේ. මේ විඤ්ඤාණයෙන් යමක් දැන ගන්නේ කයේ ධාතු වෙනස් වීමෙන්. ඒ කයේ ධාතු වෙනස්වන අයුරු හොඳින් විමසීමෙන් සිටියොත් ඔබට තේරුම් ගන්න පුළුවන්.
යම් කෙනෙකුට තද සිතක් එනවිට ඔහුගේ සිතේ මේ බාහිරව ඇති වූ දේ පිළිබඳව අභ්‍යන්තරයේ තරහක් මතුවෙන විට කයේ තද ගතියක් ඇතිවෙනවා. හිසේ දහඩිය ගතියක් ඇතිවෙනවා. ඇඟේ පිපිරුම් දීමක් ඇතිවෙනවා. තරහක් ඇතිවන විට තද වෙනවා. ඒ තදවීම කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතුන්ගේ යම් තදවීමක් ඇතිවෙනවා. ඝනවීමක් වෙනවා. ඒ ඝනබව තරහ දුරුවූ ගමන් ටික ටික අඩුවෙනවා. ඊට පස්සේ සැහැල්ලු කයක් වෙනවා. සැහැල්ලුව මෛත්‍රී සංඥාව ආදි හොඳට පුරුදු කරලා මේ මනැස සම්ූර්ණයෙන්ම එයට යොමුකරන විට සැහැල්ලුව ඇතිවෙනවා. කෙලෙස් තරහ ආදියත් සමඟ එකට ඉන්න කොට තිබෙන්නේ තද ගතියක්. ඒකයි තරහ ආවිට අප කියන්නේ මට තදවුණා කියලා. ඒ තද ගතියට එනවිට ඔබට සමහර වෙලාවට අතමිිට මොළවා ගන්නවා. මේ හැම දෙයකින්ම කෙරෙන්නේ තදකර ගැනීමක්. මේ සතරමහ ධාතුන් හටගත් කය අභ්‍යන්තරයේ තදවීමට අමතරව බාහිර ඉරියවු වශයෙන් අප තදකර ගන්නවා. මේ සියල්ලම වෙන්නේ විඤ්ඤාණ ධාතුවේ ක්‍රියාකාරීත්වය සමඟයි. එහෙනම් තරහ ඇතිවීමත් සමඟ එන ධාතු තදවීමට අමතරව එහි වර්ණයත් වෙනස් වෙනවා අප දන්නවා සමහර කෙනෙකුට තරහ ආවාම මූණ රතුවෙනවා. කේන්තියෙන් පුපුර පුුපුර ඉන්නවා. එහෙම නැත්නම් මුදු කයේ ස්වභාවය ටිකක් තද ගතියට අඳුරු ගතියට හුරුවුණේ ඇයි? ඒ අඳුරු ගතියට එන්නේ තරහ කියන කෙලෙස් මනැසේ ඇති වෙන්නේ කයේ තිබෙන ලේ ධාතුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
ලේවල පැහැය අඳුරු වෙන බව අටුවාවේ තිබෙනවා. ශරීරයේ ධාතුව සම්පූර්ණයෙන් මනැසේ විඤ්ඤාණ ධාතුවත් සමඟ ක්‍රියාකාරිවෙලා විඤ්ඤාණ ධාතුවෙන් දැකපු අහපු දේ ආදිය තුළින් ඇතිවූ තරහ ආපෝ ධාතුවට බලපානවා. තරහ කියන දේ සමඟ ඔබට කායිකව වෙනසක් ඇතිවෙද්දීම ධාතු වශයෙන් මෙනෙහි කිරීමේදී ඒ මෙනෙහි කිරීමේදී තරහ දුරු කරගන්න පුළුවන්. මෙතැන ධාතු ස්වභාවය විමසලා තරහ එන්න දුන් ගතිය වගේම මෛත්‍රීයක් සමඟ සැහැල්ලුවක් ඇතිවෙනවා. ඒ වගේම තරහ ඇති වුණාම මුහුණ තද ගතියෙන් අව පැහයක් ආවත් මෛත්‍රී සහගතයේදී මුහණ පැහැපත් වෙනවා. ඒකයි මෛත්‍රීය හොඳට පුරුදු කරන කෙනෙකුගේ මුහුණ පැහැපත් වෙන්නේ. මෙත්තානි සූත්‍රයේදී සඳහන් වෙනවා මෙත්සිත ඇති වෙද්දී ආපෝ ධාතුව සහිත ලේ ධාතුවේ පැහැය සම්පූර්ණයෙන් ප්‍රසන්න පැහැයට හැරෙනවා. ඒ ලේ තරහ සිතක් ඇතිවෙද්දී අඳුරු වෙන්නත්, මෛත්‍රී සහගත වෙද්දී ප්‍රසන්න වෙන්නත් හේතු වෙනවානම් ලේ මගේ ද? මගේ නම් මම කැමැතියි නිතරම ප්‍රසන්නව තිබෙනවානම්. තරහ සිතක් ඇතිවෙද්දීත් අඳුරු වෙන්න එපා. ප්‍රසන්නව තිබේවා කියා සිතුවත් ඔබට එහෙම කරන්න බැහැ. තරහ සිත ඇතිවෙන විට ලේ අඳුරු ස්වභාවය ගන්නවාම යි. එහෙනම් ලේ ඔබේ නොවේ. දකින්න ඒක ඔබේ දෙයක් නොවන විදිහට. එවිට වැඩෙන්නේ අනාත්ම සංඥාව. එක එක වෙලාවට එක එක ස්වභාවයට වෙනස්වෙනවා නම් එහි අනිතය බව තේරෙනවා. මේ ධාතු මනසිකාරයක් සමඟ එහි අනිත්‍ය දකිමින් අනාත්මය දකිමින් දුකක් වශයෙන් විමසන්න ඔබට පුළුවන්නම් මේ මනසේ ස්වභාවයට අනුව කය වෙනස් වෙන හැටි. කයේ ස්වභාවය මානසික ස්වභාවය කොතරම් කිට්ටු සම්බන්ධයක් තිබෙනවාද? කියා විමසිය හැකියි. ඔබ දන්නවා තරහ ගියාම නින්ද යන්නේ නැහැ. ඇයි එහෙම නින්ද නො යන්නේ. නින්දක් ඇති වෙන්න සම්පූර්ණයෙන් කයේ ස්වභාවය සැහැල්ලුව තිබෙන්න ඕන. අප නිදාගන්න ගියාට පස්සේ කිටි කිටියේ හිර වූ ස්වභාවයෙන් නින්දට යන්නේ නැහැ බොහෝම සැහැල්ලුවෙන් තමා ඇඳේ ඉන්නේ. එහෙම සැහැල්ලු බව තිබෙද්දී නින්ද යනවානම් තරහ ඇති වූ වෙලාවේදී ඇයි නින්ද නො යන්නේ? ඒ බර නිසයි. කෙලෙස් සහිත හැම තැනම බරයි. බර තිබෙද්දී නින්ද යන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා අප චිත්‍රපටියක් බලද්දී නින්ද යන්නේ නැහැ. පැය පහක් හයක් හරි එය බලා ගෙන ඉන්නවා. නමුත් බණ භාවනා කරද්දී නින්ද යනවා. සමහර අය හරි කැමැත්තෙන් මේ ධර්ම මාර්ගයට එකතු වෙන අය ඉන්නවා. හැබැයි කෙතරම් කැමැත්තෙන් ආවත් නින්ද යනවා. මෙතැන දී එහෙනම් තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ භාවනා කරද්දී සැහැල්ලු බවත් එනවා. චිත්‍රපටියක් බලද්දී තරහෙන් ඉද්දී ඇඟේ බර ගතියක් එනවා නම් කෙලෙස් එක්ක බරයි නම් ඒ නිසයි නින්ද යන්නේ නැත්තේ. චිත්‍රපටියක් බලද්දී ඔබේ සිතේ බරක් හට ගන්නේ. බර වැඩිවෙන්න වැඩි වෙන්න නින්ද යන්නේ නැහැ. භාවනා කරනකොට ධර්මය අසනවිට සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තමාට මධ්‍යස්ථව පාලනය කරගන්න බැරි වුණොත් නින්ද යනවා. එහෙනම් කෙලෙස්, සිතේ ඇතිවෙනවිට කය සැහැල්ලු වෙනවා වගේම බර වැඩිවෙනවා කියා තේරුම් ගන්න ඕන. පැහැය වෙනස් වෙනවා වගේම බර ගතිය හැදෙන එකෙනුත් ඔබට තේරෙන්න ඕන තමන් කොතරම් කැමැති වුවත් තරහ සිතක් ඇතිවෙලා තිබෙද්දී මේ ඇඟ බර වෙන්න එපා සැහැල්ලු වෙන්න කියා සිතුවාට එහෙම වෙන්නේ නැහැ. ඒ ඔබේ නොවේ නිසා. තරහ සිත ඇතිවෙනවිට විඤ්ඤාණ ධාතුවට අනුව මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ අනුව රූප ධාතු සම්පූර්ණයෙන්ම ඒවට අනුව බර වෙනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට සිදුවෙන්නේ නැහැ.

අප කැමැති වුවත් අකැමැති වුවත් මේ ක්‍රියාවලිය එහෙමම වෙනවා. මෙතැන තිබෙන සම්බන්ධය අනාත්මයි. එහෙනම් මනසට එන රාග, ද්වේශ, මෝහය ආදි සිතුවිලිවලින් කය වෙනස් වෙනවානම් ඔබට කැමැති කැමැති ආකාරය සිදුවෙන්නේ නැත්නම් ඒක කයක්ද, නැත්නම් අනිත්‍ය වූ වෙනස්වන කයක්ද කියා බලන්න. එක සිතුවිල්ලකදී එක විදිහකට අනෙක් සිතුවිල්ලදී තව විදිහකටනම් මේ එක එක සිතුවිල්ලට කය වෙනස්වෙනවා නම් කය අනිත්‍යය යි. මෙසේ විමසනවිට ධාතු මනසිකාරය ඔස්සේ අනිත්‍ය දකින්න, දුකක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකිමින් මේ ධාතු මනසිකාරය පුරුදු කරගෙන තමන්ගේ ජීවිත අවබෝධය ඇතිකර ගන්න.
ඔබට මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන තව තවත් ධාතු වශයෙන් විමසමිින් ධාතු මනසිකාරය විමසමින් ප්‍රඥා ලෝකයෙන් අවිද්‍යා අන්ධකාරය දුරුකර ගන්නට භාග්‍ය සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X