සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සම්මුති මුසාව සහ ආර්ය මුසාව

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය - කන්නිමහර-වතුරුගම.

සාමාන්‍ය ජීවිතයේදී මුසාවාදය ලෙස සලකනුයේ තමන්ට යම් දෙයක්‌ හෝ කෙනෙක්‌ අත්පත්කර ගැනීමට, තමන්ගේ සහ තමන්ගේ කුලයේ ගෞරවය ආරක්‌ෂා කරගැනීමට, තව කෙනෙකුට නින්දා අපහාස කිරීමට, තව අයෙකුගෙන් පළිගැනීමට, තමන් රැස්‌කරගත් හෝ ගොඩනඟාගත් දේ ආරක්‌ෂා කිරීමට, තව අයකු රැවටීමට, තව අයෙකුට සමච්චල් කිරීමට, උසුළු විසුළු කරමින් සිනහා ගැන්වීම් ආදිය සඳහා සිදුකරන්නා වූ අසත්‍ය ප්‍රකාශයන්ය. 

සමහරු තමන්ට නැති සම්පත් දේපල ආදිය ඇතැයි කියා බොරු කියයි. සමහරු තමන්ට ඇති සම්පත් නැතැයි කියා බොරු කියයි. සමහරු සමත් නොවූ විභාග සමත් වූවා යෑයි බොරු කියයි. සමහරු හොරකම් වංචා ආදී වැරදි වැඩ කර ඒවා නොකළ බවට බොරු කියයි. සමහරු තමන්ගේ කුලය, බලය, වයස යනා දී දේ ගැන බොරු කියයි. මේවා සම්මුතිය තුළ සිදුකරන මුසාවන්ය. බුදුපියාණන් වහන්සේ විහිළුවකටවත් බොරුවක්‌ නොකියන ලෙස දේශනා කර ඇත. 

අප මහ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීමෙන් පසු කිසිවිටක බොරුවක්‌ කියා නැත. එක්‌ ආත්මයක බෝධිසත්වයන් වහන්සේ පංච අභිඥා සහ අෂ්ඨ සමාපත්ති සහිතව හරිත්තච නම් තාපසයෙක්‌ වශයෙන් සිටින අවස්‌ථාවේ බරණැස්‌ රජුගේ ආරාධනයෙන් රාජ උයනේ වස්‌ වසන ලදී. දිනක්‌ අහසින් රාජ මාලිගයට පිණ්‌ඩපාත වඩින තාපසයාට වස්‌ත්‍ර ඉවත් වූ රාජ දේවිය දැක යටපත් වූ කාමරාගය ඉස්‌මතු වී දේවිය සමඟ කාමයේ හැසිරිණි. එතැන් පටන් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවිය. සටනක නිරත වන රජතුමාට මේ බව සැලවිය. නමුත් විශ්වාස නොකළේය. නැවත රාජධානියට පැමිණ දේවියගෙන් සහ හරිත්තච තාපසයාගෙන් මේ බව විමසන විට ලැබුණේ එකම පිළිතුරකි. එනම් 'එසේ සිදුවිය' යන සත්‍යයි. නුවණැති රජතුමා සත්‍ය දැනගත් බැවින් හරිත්තච තාපසයා කෙරෙහි නො කිපිණ. පසුව නැවත ධ්‍යාන වඩා තාපසයා වනගත විය. එනම් ගෞතම බුදුපියාණන් වහන්සේ තමා බෝධිසත්වයන් වශයෙන් සිටියදී පවා කොතරම් සත්‍යයට ගරුකර ඇත්දැයි යන්න මෙම කථා වස්‌තුවෙන් ප්‍රකට වේ. 

යම් අයෙක්‌ ලෝකයේ පවතින දේවල් මගේ කරගෙන උපාදානය කරගෙන ඇත්නම් ඔහුට හෝ ඇයට බොරු කීමට සිදුවේ. මන්ද ලෝකයේ පවතින දේවල් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියා ගත් නිසාය. නමුත් ලෝකයේ යථාර්ථය හෙවත් සත්‍ය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ලෙස ගත් කෙනාට ලෝකයේ 

රැස්‌කර ගැනීමට දෙයක්‌ නොමැත. ඔහු හෝ ඇය කරනුයේ මගේ කරගත් ලෝකය අතහැරීමයි. එනම් යමක්‌ මගේ කරගත්ත කෙනාට බොරු කියන්න සිදුවෙනවා. ලෝකයේ කිසිවක්‌ තමන්ට අයිති නොවේ. ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලියක්‌ කිසිසේත්ම මගේ කරගත නොහැක. 

ලෝකය තුළ සැප සොයන පුද්ගලයා මුසාවන් හතරක්‌ තුළ නිරත වෙමින් රැස්‌කිරීම සිදුකරයි. ඒවා ආර්ය මුසාවන්ය. මේවා සම්මුතිය තුළ මුසාවන් ලෙස නොගනී. මෙම වැරදි වැටහීම් තුළින් මුසාවන් සිදුකරනුයේ විපරීත සිතකිනි. එබැවින් ඒවා විපල්ලාස ලෙස ද සැලකේ. මෙම විපරීත සිතින් ඇතිකරගන්නා මුසාවන් තුළ සංඥාවක්‌, විත්තයක්‌, සහ දෘෂ්ටියක්‌ පවතී. යම්කිසි අයෙකු රහත්වන තුරාවටම මෙම මුසාවන් සිදුකරයි.

- අසුබ දේ සුබයි කියන මුසාව - අසුභෙ සුභන්ති විපල්ලාසො

අප කන බොන ආහාරයත් එම 

ආහාරයෙන් සෑදුන ශරීරයත් කබලිංකාර ආහාරය ලෙස හඳුන්වයි. මනවඩනා රූපය ලෙස සලකන්නේ ද කබලිංකාර ආහාරයයි. පළමු මුසාව වන්නේ එම අසූචිවලින් පිරුණ කයත්, කාලා අසූචි පිටකරන කන බොන ආහාරයත්, හොඳයි, ලස්‌සනයි, මැනවයි, අත්පත් කරගන්න ඇත්නම් හොඳයි, යනාදී වශයෙන් අසුබ දෙය සුබ වශයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙසේ අසුබ දේ සුබ වශයෙන් ගැනීමෙන් කාමයන් දැඩිව අල්වාගැනීම හෙවත් කාම උපාදානය ඇති වේ. එම උපාදානය වූ කාමයන්වල යෙදීමෙන් සසරට ගැට ගැසීමක්‌ හෙවත් කාමයෝගය ඇති වේ. එසේ ගැටගැසුණ දේ එකතුවීම දැඩි ලෝබයේ ගැටගැසීම හෙවත් අභිඡ්Cධාකායගන්ථො ලෙස හැඳින්වේ. මෙසේ පොතක්‌ මෙන් ගැටගැසුණ කාමයන්ගේ පල්වීමක්‌ හෙවත් කාම ආශ්‍රවයන් ඇති වී කාම සැඩපහරට හෙවත් කාම ඕඝයට හසුවේ. ඒ තුළින් රාගය නැමති හුල හෙවත් රාග සල්ලය ක්‍රියාත්මක වී විඥනය රූපයේ බැසගනී. (රූපූපගං විඤ්ඤාණං තිට්‌ඨති). එම හේතුවෙන් අසූචි ගොඩක්‌ අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් අගති ගමනක්‌ හෙවත් ඡන්දයෙන් අගති ගමනක්‌ ගොස්‌ නැවත නැවත දුක හදාගෙන ගමන් කරයි.

- දුක්‌ දේ සැපයි කියන මුසාව - දුක්‌බෙ සුඛන්ති විපල්ලාසො

ජීවිත පැවැත්මේ ඇත්තේ දුක්‌ ගොඩකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ සියල්ල දුකකි. ගෙදරදොර වැඩකටයුතු, රාජකාරී වැඩකයුතු, අධ්‍යාපන කටයුතු, ගොවිතැන් කටයුතු, යුතුකම් වගකීම් මේ සියල්ල මහ දුකකි. අනික්‌ කෙනා අභිභවා මෙම දුක, සැප ලෙස සෙවීමට උදේ සිටන් රෑ වෙනකම් රෑ සිටන් එළිවෙනකම් මහා උපායාසයක යෙදෙයි. නමුත් මේ සියල්ල තමා සැපයි කියා ගනියි. එනම් දුක්‌ දේ සැපයි කියා ගැනීම දෙවන බොරුවයි.

තමන්ගේ ජීවන පැවැත්මේ නිතරම ස්‌පර්ශ වන දුක සැපක්‌ ලෙස ගැනීම සඳහා විවිධ සීල-ව්‍රත ආදියෙහි ඇලී සිටියි. මෙහිදී අනාගත භවය දැඩිව ගැනීම තුළින් සීලබ්බත උපාදානය ඇතිවේ. අනාගතයේ වෛද්‍යවරයා වීම සඳහා කෙනකු දැඩි ලෙස පාඩම් කරන්නේ ද මෙම උපාදානය හේතුවෙනි. මෙසේ භවය පැවැත්විය හැකි යෑයි කල්පනා කිරීම භව යෝගයයි. මෙහිදී අපේක්‌ෂා කරන සැපය නොව සත්‍ය වශයෙන්ම ස්‌පර්ශ වන්නේ දුක බව දැනෙනවාත් සමඟම ව්‍යාපාදයෙහි ගැටගැසේ. මෙය ඛ්‍යාපාදකායගන්ථො ලෙස හැඳින්වේ. මෙලෙස භවය පැවැත්වීමේ දී භව ආශ්‍රවය ඇති වී භවය නමැති සැඩපහරට හෙවත් භව ඕඝයට හසුවේ. මෙහිදී දුක දේ සැප ලෙස ස්‌පර්ශ වන නිසා ද්වේශ හුලක්‌ හෙවත් ද්වේශ සල්ලය තමන්ට එල්ල වේ. මෙහි දී පෙර වේදනාව නැවත පතයි. එහි දී විඥනය වේදනාව තුළ බැසගනී. (වෙදනූපගං විඤ්ඤාණං තිට්‌ඨති). දුක්‌ඛය ම ස්‌පර්ශ වන නිසා තමන් ද්වේශයෙන් අගති ගමනක්‌ යැම සිදුවේ.

- මම නොවන දේ මගේ යෑයි ගැනීමේ මුසාව - අනත්තනි අත්තාති විපල්ලාසො 

මගේ කය, මගේ ස්‌වාමියා, මගේ බිරිඳ, මගේ දරුවන්, මාගේ දේපළ, මගේ වාහනය, මගේ රැකියාව ලෙස සියල්ල මගේ කියා ගත්ත ද ඒවා මගේ නොවන දේවල්ය. එසේ මගේ නොවන දේ මගේ කියා ගැනීම තෙවන බොරුවයි.

ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ස්‌පර්ශ වන රූප සහ ඒ තුළින් හටගන්නා වේදනා නැවත නැවත ස්‌පර්ශ කරමින් මගේ නොවන දේ මගේ වශයෙන් දෘෂ්ටිගත වී දිට්‌ඨි උපාදානය සිදු වේ. එම දෘෂ්ටියෙහි ම නැවත නැවත යෙදීම නිසා දිට්‌ඨි යෝගය ඇති වේ. මෙසේ මගේ නොවන දේ මගේ ලෙස වරදවා වටහා ගැනීම නිසාත් එම සංස්‌කාරයන්වලට ඇලීම නිසාත් එම දෘෂ්ටියෙහි ගැට ගැසීමක්‌ තුළින් පරාමාසකායගන්ථො වේ. එබැවින් එම දෘෂ්ටිය තුළ පල්වීමක්‌ හෙවත් දෘෂ්ටි ආශ්‍රවය ඇති වී දිට්‌ඨියේ සැඩපහරට හෙවත් දෘෂ්ටි ඕඝයට හසු වේ. දැන් මගේ නොවන දේ මගේ යෑයි වන දෘෂ්ටි හුලක්‌ හෙවත් ඊතලයක්‌ තමන්ට වදී. එය දෘෂ්ටි සල්ලයයි. එහි දී විඥනය සංඥාවෙන් සාදන චේතනා අල්ලාගෙන (සඤ්ඣදූපගං විඤ්ඤාණං තිට්‌ඨති) කැමැත්තෙන් සාදාගත් චිත්ත සංඛාර බිඳෙයි යෑයි බියකින් අගතිගමනක්‌ (භයා අගතිගමනං) යයි.

- අනිත්‍ය දේ නිත්‍යයි ලෙස ප්‍රකාශ කරන බොරුව - අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො

ගේදොර ඉඩකඩම්, තමන්ගේ කය ඒවගේම සිත ආදී සෑම දේම වෙනස්‌ වේ. එනම් ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවර්ථනය වේ. නමුත් තමන් මේවා වෙනස්‌වන දේවල් වෙනස්‌ නොවන ලෙස අල්ලා ගනී. එනම් අනිත්‍ය දේ නිත්‍ය යෑයි ලෙස ගැනීම සිවුවන බොරුවයි.

මෙසේ වෙනස්‌වන දේ මගේ යෑයි දෘෂ්ටිගත වීම නිසා අත්තවාද උපාදානය ඇති වේ. මෙම සත්‍ය නොදන්නා නිසා අවිද්‍යාව තුළ යෙදෙයි. එය අවිද්‍යා යෝගය යි. අසත්‍ය දේ සත්‍ය වශයෙන්ම ගැටගැසීම නිසා ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො වෙයි. ඒ තුළින් ඇතිවන පල්වීම හේතුවෙන් අවිද්‍යා ආශ්‍රවය ඇතිවේ. එම නිසා අවිද්‍යා සැඩ පහරට හසු වී ගසාගෙන යයි. එය අවිද්‍යා ඕඝයයි. මෙම අවිද්‍යාව නිසා අනිත්‍ය දෙයක්‌ නිත්‍ය වශයෙන් මුලාව නැමති හුලක්‌ හෙවත් මෝහ සල්ලයක්‌ තමන්ට වදී. එහිදී සංස්‌කාර අල්ලාගෙන විඥනය පවතින අතර (සඬඛාරූපගං විඤ්ඤාණං තිට්‌ඨති) ඒ තුළින් මෝහයෙන් අගති ගමනක්‌ (මොහා අගතිගමනං) යයි.

මෙලෙස සිදුකරන සම්මුති මුසාවෙන් වෙන්ව එමෙන්ම ආර්ය මුසාවෙන් ද වෙන්ව සිට පිරිනිsවෙන රහතන් වහන්සේ නමක්‌ බවට පත්වීමට අධිෂ්ඨානයෙන් ඉදිරියට යැමට සත්‍යම අවබෝධ කර ගනිමු.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X