සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ලජ්ජා බිය නැතිකම නිවන්මඟ වැසීමයි

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

අභිධර්මයෙහි දී අකුසල ගණයෙහි එන සිතිවිලි දා හතරක් ගැන සඳහන් වෙනවා. එයින් ප්‍රබල අකුසල සිතිවිලි දෙකක් ලෙස අහිරික හා අනොත්තප්ප යන සිතිවිලි දෙක පෙන්වා දෙන්නට පුළුවනි. ‘අහිරික’ කියලා කියන්නේ ලජ්ජාවක් නැහැ කියන අදහසයි. මොනවාට ද? ලජ්ජාවක් නැත්තේ පහත් ලාමක පවිටු වැඩවල යෙදීමට යි. මේ අහිරිතකය හෙවත් ලජ්ජා නැතිකම තිබේ නම් ඕනම අකුසලයක් කරන්නට සිතට බලපෑමක් ඇති වෙනවා. අනිත් සිතිවිල්ල වන ‘අනොත්තප්ප’ කියලා කියන්නේ ලාමක පහත් පවිටු වැඩ කරන්නට සිතේ කිසිදු බියක් නැති ස්වභාවය යි. පළඟැටියා ගින්නට බියක් නො ගෙන ගින්න හා ගැටෙනවා වගෙයි. හැබැයි, මේ අහිංසක පළඟැටියා ඒ ගින්නෙන් ම විනාශ වෙලා යනවා. ඒ ආකාරයෙන් ම පවට බියක් නොදක්වා ක්‍රියා කරන තැනැත්තා ඒ පාපයෙහි ගැලිලා අවසානයේ දී නොයෙකුත් විපත්තිකර තත්ත්වයන්ට මෙලොව හා පරලොව වශයෙන් ගොදුරු වෙලා මහත් දුක්කන්දරාවක් උරුම කර ගන්නවා. මෙම සිතිවිලි දෙකෙහි ම විරුද්ධ පාර්ශ්වයක් ද තිබෙනවා. ඒකට කියනවා හිරි හා ඔත්තප්ප කියා. ඒ සිතිවිලි දෙක අපට දැක ගන්නට පුළුවන් වන්නේ අභිධර්මයෙහි එ න පරිදි පස්විසි ශෝභන චෛතසිකයන්හි දී යි. ඒ සියල්ල කුසල සිතිවිලි යි. මෙහි දී ‘හිරි’ කියා සඳහන් වන්නේ ලාමක පහත් පවිටු වැඩ කිරීමට ඇති ලජ්ජාව යි. මෙය උපමා කරන්නේ වැදගත් පවුල් පසුබිමක හැදුණු වැඩුණු කුල කාන්තාවකට යි. ඊළඟ සිතිවිල්ල ඔත්තප්ප යන්නෙහි ප්‍රතිවිරුද්ධ ‘අනොත්තප්ප’ යන්නයි. අනොත්තප්ප කියා කියන්නේ පවිටු ලාමක වැඩ කිරීමට තිබෙන බියවන ස්වභාවය යි. හරියට වෙසඟනක් මෙන් උපමා කෙරෙනවා. වෙසඟනක සමාජයට බියසුලු බවක් දක්වනවා. තමන් නීතියේ රැහැනට අසුවෙයි කියා රහසිගතව ජීවත් වන්නට හැම විටම සූදානම් වෙනවා. මෙම ‘හිරි ඔත්තප්ප’ යන සිතිවිලි දෙක ගත්තහම ‘හිරි’ නම් සිතිවිල්ල පුද්ගලයාගේ සිත ඇතුළතින් එහෙම නැතිනම් හෘදය සාක්ෂියෙන් හට ගන්නා ස්වභාවයක් දරනවා. ‘ඔත්තප්ප’ සිතිවිල්ල බාහිර වශයෙන් සමාජයෙන් එල්ල වන චෝදනා මත බලපවත්වන ස්වභාවයක් දරනවා. මේ නිසා හිරි ‘අත්තාධිපතෙය්‍ය’ ලෙසත් ‘ඔත්තප්ප’ බාහිරින් එල්ල වන්නක් නිසා ‘ලෝකාධිපතෙය්‍ය’ ලෙසත් ධර්මයෙහි විස්තර වෙනවා. මෙම ලෝකයේ පවත්නා තාක් නීති රීති හා සදාචාරාත්මක සම්ප්‍රදායයන් ගොඩනැගෙන්නේ හිරි ඔත්තප්ප යන සිතිවිලි දෙක පදනම් කරගෙන බවයි. බුදුදහමෙන් විස්තර වන්නේ ලෝක පාලකධර්ම වශයෙනුයි.
හිරි ඔතප්
අපේ බුදුරජාණන් වහන්සේ විසින් ‘හිරොත්තප්ප’ නමින් සූත්‍රයක් දේශනා කර තිබෙනවා. මේ සූත්‍ර දේශනාවට අනුව හිරි ඔතප් නොමැති පුද්ගලයාට කිසිදු දිනෙක සසරින් එතර විය නො හැකි බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. එය උන්වහන්සේ එම සූත්‍ර දේශනාවේ දී පියවරෙන් පියවර පැහැදිලි කර දී තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මෙම හිරි, ඔතප් චෛතසික දෙක පුද්ගලයාගේ සසර ගමන කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කරනවා ද කියන කාරණය යි. ඒ නිසා ම අභිධර්මයෙහි දී සියලු අකුසල සිත්හි යෙදෙන ප්‍රධාන චෛතසික හතර අතර මෙම අහිරික, අනොත්තප්ප යන දෙක ද දොළොසක් වන අකුසල සිත්හි යෙදෙන බව පැහැදිලි කර දී තිබෙනවා.
මී ළඟට අප බුදුරජාණන් වහන්සේගේ මෙම සූත්‍ර දේශනාවෙන් හිරි ඔතප් චෛතසික දෙක නොමැති වූ විට එය නිවන් මඟ අවුරාලන ආකාරය විස්තර කර ඇති ආකාරය විමසා බලමු.

චිත්ත සමාධිය
මෙම සමාධිය යනුවෙන් අදහස් කරන්නේ කුසල පක්ෂයෙහි සිත් පිළිබඳ ඒකාග්‍රතාව යි. එය විස්තර වශයෙන් ගත්තහම සමාධානය යන අර්ථයෙන් සමාධිය විස්තර වෙනවා. ඒ අනුව සමාධානය වන්නේ සිත හා සිතින් බැඳුණු සිතිවිලි විවිධ අරමුණු කරා යාමට ඉඩ නො දී එක අරමුණෙක පිහිටුවා ගැනීම යි. ඉතින් මේ කුසල පක්ෂයෙහි චිත්තේකග්‍රතාව නැති වුවහොත් සිදු වන්නේ ඒ නිසා ම, යථාභූත ඥානය හෙවත් ඇති දේ ඒ ආකාරයෙන් ම දක්නා ඥානය අහිමි වෙනවා. මෙය ඇත්ත ඇති හැටියෙන් දක්නා නුවණට යථාභූත ඥානදර්ශනය යනුවෙන් ප්‍රකාශ කෙරෙනවා. මෙම ඥානදර්ශනය නම් ඇත්ත ඇති හැටියෙන් දැකීම යි. ඒ තත්ත්වයට පත්වන පුද්ගලයා ආර්ය මාර්ගයට පිවිසි අයෙකුම වෙන්නටත් ඕන බව විසුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ වෙනවා. මෙසේ මාර්ගඵල ලාභියෙකුට විනා පුහුදුන් අයෙකුට මෙම යථාභූත ඥානය පහළ වන්නේ නැහැ. මෙසේ යථාභූත ඥානය පහළ නො වූ අයට සියලු සංස්කාර ධර්මතාවන් පිළිබඳ භයක් ඇති කර ගන්නා ඥානය හෙවත් ‘නිබ්බිදා විරාගය’ ඇති වෙනවා. මෙය සමහර ධර්ම ග්‍රන්ථවල තරුණ විදර්ශනාව ලෙස හැඳින්වෙනවා. එනම් විදර්ශනාඥානය විකසිත වීමට ආරම්භ වන තරුණ අවස්ථාවයි. එය නිබ්බිදා විරාගය ලෙස මේ ‘හිරෝත්තප්ප’ සූත්‍රයෙහි සඳහන් වෙනවා.

අහිරික, අනොත්තප්ප
අහිරික, අනොත්තප්ප චෛතසික දෙක ප්‍රබල වූ විට ඒ පුද්ගලයාගෙන් ඉන්ද්‍රිය සංවරයක් ඇති නො වන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙහි දී ඉන්ද්‍රිය සංවරය කියා කියන්නෙ අපේ ඇස, කන, නාසය ආදී මෙම බාහිර අරමුණු ලබා ගන්නා මාර්ග පහයි. ලජ්ජා බිය නැති වූ පුද්ගලයා මෙම ඉන්ද්‍රිය පාලනයක් ගැන සිත යොමු කරන්නේ නැහැ. ඒ නිසා තම ඉන්ද්‍රියයන් පිනවීම අරමුණු කොට ඕනම ලාමක ක්‍රියාවක් කරන්නට පෙළඹෙනවා. අප ජීවත් වෙන මේ සමාජය තුළ ඕන තරම් මෙයට නිදසුන් ලබා ගන්නට පුළුවන්. දිනපතා පුවත්පත්, රූපවාහිනි නාලිකා ආදිය බලන විට මේ සමාජයේ විවිධ දුරාචාර, බලාපචාරවලට හේතු වී තිබෙන්නේ මේ ඉන්ද්‍රිය පිනවීම ලජ්ජා බියෙන් තොරව කරන්නට යාමේ ප්‍රතිඵලයක් නිසයි. එවිට ඒ සමාජයමත් දූෂිත බවට පත් වෙනවා. අපකීර්තිය බහුල වෙනවා. ශිෂ්ට සමාජයෙන් නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක්වීම නොවැළැක්විය හැකි යි. කිසියම් පුද්ගලයෙක් ඉන්ද්‍රිය සංවරය ඇතිව තම ජීවිකාව ගත කරනවා යන්නෙහි අදහස වන්නේ ඒ අය සමාජයේ සම්භාවනා ලබන ශික්ෂණයක් හෙවත් ශීලයක් ඇති චරිතවත් අයෙකු බවයි. ඉතින් ඉන්ද්‍රිය සංවරය ගිලිහුණු සැණින් ඒ පුද්ගලයා ශීලයෙන් පිරිහුණු අයෙකු බවට පත් වෙනවා. ශීලයෙන් ගිලිහුණා යන්නෙහි තේරුමත් ඒ පුද්ගලයා කෙරෙන් සමාධියත් ගිලහුණා යන්නයි. සීලයක් නොමැති තැන සමාධියක් ඇති නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් ‘ජටා’ සූත්‍රයේ දී පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං’ යනුවෙන් සීලයෙහි පිහිටීම සිත වැඩි දියුණු කිරීමේ පදනම බව, මෙම ශීලය පිළිබඳ පැහැදිලි විස්තරයක් විසුද්ධි මාර්ගයෙන් අපට බලා තේරුම් ගන්නට පුළුවන්. කොහොමත් සාමාන්‍ය අර්ථයෙන් ගත්විට ශීලය කියා කියන්නේ හික්මීම යි. ඉතින් ලජ්ජා බය දෙක නැතිනම් ඉන්ද්‍රිය සංවරය ගිලිහීම තුළින් ඔහු සමාජයේ අශීලාචාරවත් අයෙකු බවට පත් වීම නො වැළැක්විය හැකියි. ඒ නිසා ම ඔහු වෙතින් චිත්ත සමාධිය දුරස්ථ වෙනවා. ශීලය හැම විටම චිත්තේකාග්‍රතාව වැඩීමට අවශ්‍ය වෙන නිසයි. සසර මග කෙළවර කර ගැනීමේ අරමුණෙන් සිල් පුරන භික්ෂුවක් වේ නම් උන්වහන්සේ පාංසුකුලිකාංගාදී 14 වන ධුතාංග සමාධානය වැදගත් වෙනවා. මේ අතර භික්ෂු භික්ෂුණීන්ට, සාමණේරයන්ට, සාමණේරීන්ට, උපාසකයන්ට හා උපාසිකාවන්ට වශයෙන් මේ ධුතාංග ප්‍රභේද වෙනවා. කෙසේ වුවත් අපි යම් භික්ෂුවක් පාංසුකුලිකාංගය සමාදන් වන්නේ නම් උන්වහන්සේ ඊට අදාළ වන වස්ත්‍ර 23ක් පමණ ධර්මයෙහි සඳහන් බැවින් එම වස්ත්‍රයක් සොයා ගෙන එය ද කැබලි වශයෙන් ඉරා කිසිදු වටිනාකමක් නැති කොට සිවුරක් ලෙස පරිභෝග කරනවා. බොහෝ විට බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයෙහි මළකුණු ඔතා අමුසොහොනෙහි දමා ගොස් ඇත. මළකුණු හා පණුවන් තැවරුණු වස්ත්‍ර, කසළ ගොඩවල් ආදියෙහි දැමූ වස්ත්‍ර, ස්ත්‍රීන්ගේ ගැබ්මල පිස දමා ඉවත් කරන ලද වස්ත්‍ර වැනි රෙදි මෙම සිවුරු කර ගැනීම සඳහා යොදා ගෙන තිබෙනවා. ඇත්තෙන් ම මෙයින් සිදු වන්නේ භික්ෂුව අල්පේච්ඡතා ගුණයෙන් ශක්තිමත් වීමයි. එම භික්ෂුව විවිධ අය විසින් පූජා කරන ලද වස්ත්‍ර හෝ සිවුරු දරන්නෙක් නොවෙයි. මෙවැනි ධුතාංග සමාදානයෙන් සිදු වන්නේ භික්ෂුවගේ ශීලය වඩාත් ඔපවත් වීමයි. ඒ වගේ ම අනෙකුත් භික්ෂුණීන්, උපාසක උපාසිකාවන් වූව ද මෙසේ ධුතාංග සමාදන් වන විට ඒ අයගේ ශීලය ද ඔපවත් වෙනවා. එවිට සමාධිය මැනවින් පිහිටනවා. සිල්වත් නො වුණහොත් සමාධිය පිහිටන්නේ නැහැ.

විදර්ශනා ප්‍රඥාව
මෙම ඉහත අවස්ථාව නොමැති වූ විට සිදු වන්නේ අර්හත්වයට පත් වීමට නොහැකි වීමයි. එනම් විදර්ශනා ප්‍රඥාව සපුරා නොගැනීම යි. මේ ආකාරයෙන් බලන විට මෙම හිරි ඔතප් ඇති පුද්ගලයා ක්‍රමානුකූලව මෙම පියවර හත පසු කර අර්හත්වයට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ අපට පැහිදිලි කරනවා. එනම් හිරි ඔතප් නිසා ඉන්ද්‍රිය සංවරයත්, එයින් ශීලයත් ආරක්ෂා වී සමාධියත් ඇති වී ඒ නිසා ම යථාභූතඥානය පහළ වී ඒ මගින් නිබ්බිදා විරාගය හෙවත් විදර්ශනාව විකසිත වී නිබ්බිදා විරාගය ඇති වී මෙන් විමුක්ති ඥාන දර්ශනය හෙවත් අර්හත්වය, සම්පූර්ණ වෙනවා. එය උපමාවකින් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දක්වනවා. එනම් කිසියම් ගසක් මැරුණට පස්සේ එහි කොළ අතු වියළි යනවා. ඊට පස්සේ ගහේ පොත්ත, ඒ ය ට සිවිය, අරටුවත් වියළී යනවා. ඒ ආකාරයෙන් හිරි ඔතප් නැති තැනැත්තා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන්ගේ උතුම් මිනිස් දිවිය විනාශ කර ගත් හෙවත් මරණයට පත් කර ගත්තා හා සමානය. එනම් ඒ ජීවිතයෙන් තමාටවත් සමාජයටවත් කිසිදු පළක් වන්නේ නැහැ. සිදු වන්නේ නපුරක් අයහපතක් ම පමණක් ම යි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X