රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ විසින් ‘චීවරය’ අනුමත කිරීම පිළිබඳ විස්තර, මහාවග්ග පාළියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේදී ජීවක වෛද්‍යවරයා පැමිණ,’ස්වාමීනි , මට චණ්ඩපජ්ජෝත රජුගෙන් “සීවෙය්‍යක” නම් වටිනා වස්ත්‍ර දෙකක් ලැබුණා. ඒවා ඔබ වහන්සේට පූජා කරනවා. පිළිගන්න. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුර දරන්නෙ. මගේ අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපති චීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති චීවර පිළිගැනීමට අනුමත කරන්න ‘යයි ඉල්ලා සිටියේය. ජීවකගේ එම ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ගහපති චීවරය අනුමත කරමි. යමෙක් කැමැති නම් පාංශුකූල සිවුර දරන්න.යමෙක් කැමති නම් ගහපති සිවුර දරන්න. මහණෙනි, ලැබෙන සිවුරකින් සතුටුවීම මම පසසමියයි වදාළහ.
මෙහි සඳහන් සිවුරු වර්ග දෙකක් ඇත. පාංශුකූල සිවුරු, ආ. ගහපති සිවුරු
පාංශුකූල සිවුරු
පැරණි දඹදිව මිනී රෙදිවල ඔතා සොහොනට ගෙන ගොස් දමති. සමහරු සොහොනේ වළ දමා ඒ මත පස් ගොඩගසා රෙද්දකින් වසති. පාංශු කූල යනු පස්ගොඩය. ඒ පස්ගොඩ උඩින් වැසු රෙද්දකින් පාංශුකූල වස්ත්‍ර නම් වෙයි. තවද පාංශකූල සඤ්ඤාවෙන් ගන්නා රෙදිවලින් සකස් කළ සිවුරුත් ඇත. සල්පිල්, සොහොන්, කසළගොඩ ආදියේ දමාගිය රෙදි, ගින්නෙන් දැවුණු, සතුන් විසින් කන ලද කිසිකෙනෙකුට අයිතියක් නැති රෙදි ආදිය යම් කෙනෙක් ගත්තත්, ඔහු සොරකමක් කළ කෙනෙක් නොවේ. එනිසා ‘අල්පේච්ඡ’ වූ (බලාපොරෝතු අඩු) චාම් දිවියක් ගතකළ භික්ෂූන් වහන්සේලා අනුන් විසින් අත්හැරදැමු වස්ත්‍රවලින් සකස් කළ සිවුරු (පාංශුකූල) ම දැරූහ. පාංශුකූල චීවර පමණක්ම දැරීම, ධූතාංග දහතුනෙන් එකකි. එබැවින් යම්කිසි භික්ෂුවක් කැමති නම් පාංශුකූලචීවර දැරීමටත් ගහපති චීවර දැරීමටත් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලදී.
ගහපති චීවර
ගහපති චීවර වශයෙන් සැලකෙන්නේ දායකයන් විසින් සංඝයාට පූජා කෙරෙන මසා නිම කරන ලද චීවර සහ සිවුරු මසා ගැනීමට පූජා කෙරෙන රෙදි ආදියයි. දායකයන්ගේ කැමැත්ත පරිදි, පෞද්ගලික එක් භික්ෂුවකට, ආයතනයකට හෝ පොදු ආයතනවලට හෝ සාංඝික ව පූජා කෙරෙන සිවුරු, ගහපති චීවර වශයෙන් හැඳින්වේ. එනිසා සිවුර වශයෙන් මසා නිම කළ චීවර ද සිවුර මසා ගැනීමට රෙදිද ගහපති චීවර ම වන්නේය. එවැනි සිවුරු කඨින චීවර පූජාවලදීත් සංඝයාට පූජා කළ හැකිය. එබැවින් කඨින චීවර පූජාවද ගහපතිචීවර පූජාවකි.
සිවුරේ සැකැස්ම
මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා විසින් චීවර වශයෙන් භාවිත කර ඇත්තේ ‘කාසායවත්ත’ හෙවත් කසට පාට ඇති කඩ නොකැපූ සිවුරුය. පාංශුකූල චීවර පවා රෙදිකෑලි එක්කර මසාගත් පොරෝණයක් වැනි සිවුරකි.
දිනක් බුදුරජාණන් වහන්සේ, භික්ෂු පිරිසක් සමඟ රජගහනුවර සිට දක්ඛිණාගිරියට චාරිකාවේ වඩින අතර මඟදී විශාල වෙල්යායක් දක්නා ලදී. එහි ලියදි දිග් අතටත් හරස් පැත්තටත් මනාව බෙදා මනාව සකස් කර තිබිණ. එය ලොකු නියරවලින් සහ හරස් නියරවලින් , හතරැස් ලියදි වෙන් කරන ලද විශාල කුඹුරු යායකි. පිළිවෙළකට සකස් කරන ලද ඒ කුඹුරු පෙන්වා බුදුරජාණන් වහන්සේ, ‘ආනන්දය, මේ හතරැස් කුඹුර මෙන් දිග හා පළල නියර ඇති අතරතුර බැඳි කුඩා හරස් නියරවලින් යුක්ත මගධ ක්ෂේත්‍රය, දුටුවෙහිද? යි ඇසූහ. ‘එසේය ස්වාමීනි, මගධ ක්ෂේත්‍රය, දුටුවෙමි. ‘ආනන්දය චීවරයත් එසේම කඩ කපා සකස් කරන්න උත්සාහවත් වන්න’යි වදාළ සේක.
ආනන්ද හිමියෝ එය පිළිගෙන වේළුවනාරාමයට පැමිණ මගධයේ දක්ඛිණාගිරියේ කුඹුරුවල ස්වරූපයට අනුරූප ලෙසට සිවුරක් සකස් කිරීමට තීරණය කළහ. උන්වහන්සේ රෙදි සොයාගෙන කඩ කපා මසා පඬුගසා සකස් කළ සිවුර, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. එම චීවරය පරීක්ෂා කළ බුදුරජාණන් වහන්සේ,
මහණෙනි, මා විසින් කෙටියෙන් කියන ලද කාරණය, ආනන්ද විස්තර වශයෙන් අවබෝධකරගෙන දිග පළලනුවා ද හරස්නුවාද මහ මැඬිලි ද කුඩා මැඬිලි ද වස් අත්තද ඇළ අතුද ගෙළ පටිය ඇල්ලීමද කෙණ්ඩ පටිය ඇල්ලීමද නුවා අතු, බාහුව මත සිටින නුවා ද ඇතිව කඩ කපා මැසු සිවුර, රළුය, පැවිද්දන්ට සුදුසුය. සොරුන් විසින් පැහැරගන්නේ හෝ සොරකම් කරන්නේ නැත. ආනන්ද පණ්ඩිතය. නුවණැතිය, මහණෙනි, කඩ කැපූ දෙපොට සිවුරද කඩ කැපී තනිපොට සිවුරද කඩ කැපූ අඳනද අනුමත කරමි.
මෙම චීවරය සුඛෝපභෝගී නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි. එය භික්ෂුවකට සීතල, උෂ්ණය, මැසිමදුරු කරදර ආදියෙන් ආරක්ෂා වීමටත් විලිවසා ගැනීමටත් ප්‍රමාණවත්ය. පාංශුකූල චීවර දුෂ්කර වුවත් එය සියලුම භික්ෂූන් විසින් දැරිය යුතු චීවරයක් නොවේ. තමන්ගේ කැමැත්ත අනුව භික්ෂුවකට පාංශුකූල හෝ ගහපති සිවුර දැරිය හැකිය. එහෙත් සමහර දුෂ්කර ව්‍රත ආරක්ෂා කරන තාපසයන් මෙන් කුස තණ පට්ටා වර්ග, උණ කෙසෙල් වැනි පතුරු, පොතු වැහැරී, හිසකෙස්, අඳුන් දිවිසම්, නපුරු සතුන්ගේ ලොම්, බකමුණු පිහාටු ආදියෙන් සකසා ගත් සිවුරු දැරීම වැනි දුෂ්කර ව්‍රතවලට සම්බන්ධ සිවුරු, පාංශුකූල චීවර වශයෙන්වත් දැරීම තහනම් කර ඇත.
සිවුරු රෙදි සහ සිවුරේ පාට
ඛුද්දක සික්ඛාවේ සිවුරු රෙදි පිළිබඳව මෙසේ දක්වා තිබේ.
අ.කෝම – කෝම නම් ගස්වල පොතුවලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු.
ආ.කෝස – කෝස නම් පණුවන්ගේ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.
ඇ. කප්පාස - කපු රෙදිවලින් සකස් කරගත් සිවුරු.
ඈ. සාණ - හණ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.
ඉ.ලෝම - මිනිස් ලොම්, අස්ලොම්, නපුරු සතුන්ගේ ලොම් හැර වෙනත් ලොම්වලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු.
ඊ.කොමු , සපු, ලොම් ආදිය මිශ්‍ර කර වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.
තවද දුහුල් රෙදි, පත්තුණ්ණ දේශයේ රෙදි, සෝම දේශයේ රෙදි, චීන පටපිළි ආදියෙන් මසන ලද සිවුරු ද අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙවියන් විසින් දෙන ලද සිවුරු ආදියද භික්ෂූන් වහන්සේලාට භාවිතයට සුදුසු සිවුරු වර්ගයෝය.
සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සබ්බනීල), සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත) , සියල්ල සුදු (සබ්බ ඕදිත) , සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල් ,කහ,රතු, මදටිය, සුදු, කහ වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
සිවුරු වර්ණ කිරීමේදී පඬු සකස් කරගැනීමට ගස්වල මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි යන වර්ග හය අනුමත කර ඇත. කසාමුල් හැර අනෙක් සියලු මුල් වර්ග ද පතඟි හා ටිගොල් හර හැර අනෙක් අරටු වර්ගද ලොත් සුඹුලු හා කඩොල් සුඹූලු හැර අනෙක් පොතු වර්ගද සිහින් කසා හා බේරු කොළ හැර අනෙක් සියලු කොළ වර්ග ද වනුක් මල් හා කෑල මල් හැර අනෙක් සියලු මල් වර්ගද සියලුම ඵල වර්ග ද සිවුරු වර්ණ කිරීමට සුදුසුය. මෙම වර්ගවලින් සකස් කරගත් පඬුගසා, කාසාය වස්ත්‍රයක් බවට පත්කරගත් සිවුරු, ථෙරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂූහු භාවිත කරති. එනිසා සිවුරක් සකස් කිරීමේ දී නියමිත රෙදි වර්ගයක් වීම, විනයානුකූලව කඩ කපා මැසීම, සුදුසු පඬු වර්ගයකින් පඬු ගැසීම කළ යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද සංඝාටි (දෙපොට සිවුර), උත්තරාසංග (තිපොට සිවුර), අන්තරවාස (අඳනය) යන තුන් සිවුරු පස් කඩ, හත් කඩ ආදී වශයෙන් අතු ගණන වැඩි කර මසා ගත හැකිය. එහෙත් සියලුම සිවුරුවල පහත සඳහන් කොටස් අන්තර්ගත විය යුතුමය.
කුසි (දිග, පළල, නුවා), අඩ්ඪ කුසි (හරස් නුවා), මණ්ඩල (මහ මැඩිලි) ,අඩ්ඪ මණ්ඩල (කුඩා මැඩිලි), විවට්ට (වස් අත්ත, මැද මණ්ඩලය, මහ මැඩිල්ල, මැද අත්ත), අනුවට්ට (ඇළ අතු) ගීවෙය්‍යක( ගෙළ පටිය) ජංගෙය්‍ය (කෙණ්ඩා පටිය), ගණ්ඨි (ගැටය හෙවත් සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොවන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය), පාසක (සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොයන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය) ඇතුළු කිරීමට යොදන පුඬුව හෙවත් තොණ්ඩුව යන කොටස් සිවුරක අන්තර්ගත විය යුතු බව මහාවග්ග පාළි චිවරක්ඛන්ධකයේ සඳහන් වේ. (ම.ව. 708 සහ 708 පිටු)
පස්කඩ, හත්කඩ ආදි වශයෙන් සකස් කෙරෙන සිවුරක, කඩ හෙවත් අතු (දිග පටි වැනි තීරු) ගණන වැඩි කළ හැකිය. පස් කඩ සිවුරක නම් අතු පහක්ද හත් කඩ සිවුරක නම් අතු හතක්ද ඇත. ඒ සියලු ම අතුවල දිග සහ පළල සමානය. සිවුරක, මැද අත්ත (පස් කඩ සිවුරක නම් තුන්වන අත්ත) වස්අත්ත හෙවත් විවට්ට නමින් හැඳින්වේ. වහලයක මුදුණේ යොදන යටලීය මෙන් සිවුරේ මධ්‍යය, වස් අත්තයි, එය, මධ්‍ය මණ්ඩලය යයි ද මැද මණ්ඩලය යයි ද මහ මැඩිල්ල යයි ද හැඳින්වේ. අනෙක් අතු ‘මජ්ඣමණ්ඩලය’ යයිද ‘කුඩාමැඩිල්ල යයි ද හැඳින්වේ. පස්කඩ සිවුරක නම් එක සහ පස්වන අතු හඳුන්වන්නේ ‘බාහත්ත හෙවත් නුවා අත්ත වශයෙනි. එම අතු දෙක ම සිවුර පොරවන කල්හි අතේ බාහුමත වැටෙන නිසා බාහත්ත නම් විය. ඒවා අනුවට්ට හෙවත් ඇළ අතු වශයෙන්ද දැක්වේ. ගීවෙය්‍ය හෙවත් ගෙළ පටිය, යොදන්නේ සිවුරේ ඉහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් බෙල්ලේ දාඩිය සිවුරේ ගෑවීමෙන් වන්නා වූ හානිය වැළකේ. ජංගෙය්‍ය හෙවත් කෙණ්ඩා පටිය යොදන්නේ සිවුරේ පහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් සිවුර කෙණ්ඩාවල ගෑවීමෙන් වන්නා වු අපිරිසුදු වීම, වළක්වයි. එනිසා ගීවෙය්‍ය හා ජංගෙය්‍ය යොදන්නේ සිවුරේ ආරක්ෂාවටය.
මෙසේ රෙදි කෑලිවලට (කඩ) කපා සිවුර මැසූ පසු එහි වටිනාකම අඩුවෙයි. එනිසා සොරුන්ගෙන් වුවත් අනතුරක් නොවේ. ඉදිකටුවලින් මැසීම නිසා රළුය. ශ්‍රමණයන්ට ගැළපෙන්නේය. සතුරන් විසින් නොකැමැති වන්නේය. මෙසේ චීවරය සුඛෝපභෝගි නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි.
කඨිනය චීවරය අනුමත වීම
පෙරවස් වැසූ භික්ෂුවක් වස් කඩා නොගෙන (වස්සච්ඡේදනය නොවී) වප් පුරපසළොස්වක දින පවාරණය කළ පසු, දායකයන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වන්නේ සංඝයාට කඨින චීවරයක් වශයෙන් භාවිතයට සුදුසු තුන් සිවුරුවලින් එකක් හෝ වස්ත්‍රයක් පූජා කිරීමට හැකි වීමයි. එනිසා දායකයෝ ධාර්මිකව සපයාගත් සිවුර හෝ වස්ත්‍රය සංඝයාට පූජා කරති. එය සංඝයා විසින් කඨිනාස්තරණය සඳහා සුදුසු භික්ෂුවකට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් පිරිසගේ ද සහාය ලබාගෙන එදිනම සිවුරේ සියලුම විනයානුකූල කටයුතු අවසන් කර සංඝයා ඉදිරියේදී කඨිනාස්තරණය සහ අධිට්ඨානකය, පච්චුද්ධරණය, අනුමෝදනාව ආදිය කළ යුතුය. ඒ විනය කර්ම සියල්ල කිිරීමෙන් සම්මත වෙන විශේෂ සිවුර “කඨින චීවරය” නම් වෙයි. එවැනි කඨිනයක සිවුරක ආරම්භය මහාවග්ග පාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ පාවෙය්‍ය නුවර වාසය කරන භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර බලා පිටත් වූහ. ආරණ්‍යක, පිණ්ඩපාතික , පාංශුකූලික ධූතාංගධරයන් වූ උන්වහන්සේලාගේ අපේක්ෂාව වූයේ සැවැත් නුවර වස් විසීමටය. අතරමඟ දී වස්කාලය පැමිණී නිසාත් වස්විසීමට සැවැත්නුවරට වැඩීමට කාලය නැති නිසා සාකේත නුවර වස්විසූහ. උන්වහන්සේලා, වප් පසළොස්වක දා පවාරණය කර ගංගාවලින් එතෙර වෙමින් වර්ෂාවෙන් තෙමී දිය සහිත සිවුරු ඇතිව ජේතවනාරාමයට පැමිණියහ. ඒ භික්ෂූන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේ පිළිසඳරක යෙදුණහ. ඒ අවස්ථාවේදී ‘භාග්‍යවතුන් වහන්ස, අපි ඔබ වහන්සේ දැකීමට පාවෙය්‍ය නුවර සිට එන අතර වස්කාලය පැමිණි නිසා සැවැත් නුවරට පැමිණිය නොහැකිව සාකේත වස් වසා, පවාරණයත් කර වර්ෂා මධ්‍යයේම වෙහෙස වෙමින් ම පැමිණියෙමු.’ යයි කීහ. උන්වහන්සේලාට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ‘මේ භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරුවලට අමතර සිවුරක් තිබුණේ නම් පහසුයයි මහා කාරුණාවෙන් සිතා ‘පෙරවස් විසූ භික්ෂූන්ට විශේෂ සිවුරක් වශයෙන් කඨින චීවරය, සුදුසු යයි ‘කඨින සිවුර’ අනුමත කළහ.
‘කඨින චීවරය’ යනු කුමක්ද?
කඨින චීවරය හෙවත් කඨිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ විනය නීතිවලට අනුකූලව සම්මත කරන ලද දෙපොට සිවුරක් හෝ තනිපොට සිවුරක් හෝ අඳනයක්ය. එය සම්මුති වශයෙන් චීවරයක් වුවත් කඨින යන්නෙහි අර්ථ කීපයක්ම ඇති බව පැරණි ආචාර්යවරු දක්වති.
’ ථිරට්ඨේන කඨිනං’ යන විග්‍රහයට අනුව අනාමන්තාවාර ආදී පඤ්ච ආනිසංස ස්ථිරව ලබාදෙන නිසාත් කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල ශක්තිය, මහපොළොව මෙන් අකමප්‍ය වන නිසාත් මහාමේරු පර්වතය සුළඟින් නොසෙල් වෙන්නාක් මෙන් චලනය නොවන නිසාත් වජ්‍ර (දියමන්ති) පර්වතය මෙන් නොබිඳෙන නිසාත්, අකුසල කර්මවලින් යටපත් කළ නොහැකි බලයකි.
විනයත්ථ මඤ්ජුසාවේ දැක්වෙන ‘කථ සංගහට්ඨේන’ යන විග්‍රහයට අනුව ‘සංග්‍රහ අර්ථයෙහි’ යෙදෙන කඨින යන වචනයෙන් ගැනෙන්නේ අනාමන්තචාර ආදී පඤ්ච ආනිසංස, වෙනස්නොවී එකවිට ම ලැබෙන බවයි.
‘කඨිනවත්ථං නාම, බුද්ධප්පසත්ථං’ යන සමන්තාපාසාදිකා විනයට්ඨ කථාවේ සඳහන් විස්තරයට අනුව ‘බුදුරජාණන් වහන්සේ ද ප්‍රශංසා කරන ලද ‘කඨිනය, වනාහී, සියලු දෙවි මිනිසුන්ගෙන් ම ප්‍රශංසා ලබන චීවරයකි.
මෙසේ විශේෂ අර්ථ ඇති කඨින චීවර පූජාව, වඩාත් උසස් කුසල ක්‍රියාවක් බවට පත්කර ගැනීමට නම් , එයට සම්බන්ධ වූ විනය කර්ම රාශියක් සම්පූර්ණ විය යුතුය. විනයානුකූලව කරන ලද කඨින චීවර පූජාව, ආමිස පූජාවන්ගෙන් ප්‍රථම ස්ථානයට ගැනේ. එනිසාම අටමහකුසල ක්‍රියාවන්ගේ මුල්ම පින්කම කඨින චීවර පූජාවයි. විනයානුකූලවූ කඨින චීවර පූජාවකට සම්පූර්ණ විය යුතු කරුණු රාශියක් ඇත. ඒවා සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.
අ.උපසපන් භික්ෂුවක් හෝ භික්ෂු පිරිසක් ඇසළ පුරපසළොස්වක දින උපෝසථ විනය කර්මය කර පසුදා (ඇසළ මස අවපෑළවිය) සුදුසු ආරාමයක පෙරවස් සමාදන්වීම,
ආ. පෙරවස් සමාදන් වූ භික්ෂුව, වස්විසූ ස්ථානයෙන් බැහැර ගොස් එක් රාත්‍රියක්වත් සිටින්නේ නම් සත්තාහකරණයෙන් හෙවත් ‘මගේ ජීවිතයට අනතුරක් නොවුවහොත් දින හතකට පෙර මම ආපසු වස් විසූ තැනට පැමිණෙමි’ යන සතිකරණයෙන් පිටත් විය යුතුය. එය අමතක වීමෙන් වස් විසූ ස්ථානයෙන් පිටතට ගොස් රාත්‍රියක් ගත කිරීමෙන් ද ‘ආපුස එමි’ යි සිතා සතිකරණයෙන් පිටතට ගොස් දින හතක් ඇතුළත වස් වැසු තැනට පැමිණීමට නොහැකි වූයේ නම් ‘වස්සච්ඡේදනය’ (වස් කැඩීම) වෙයි. එනිසා ඇසළ මස අවපෑළවිය සිට වප් පසළොස්වක දක්වා සතිකරණයෙන් වස ආරක්ෂා කළ යුතුය.
ඇ. වප් මස පුරපසළොස්වක දින පවාරණය විනය කර්මය කිරීම.
ඈ. වප් මස පුරපසළොස්වක දින සිට ඉල්මස පුරපසළොස්වක දින දක්වා වූ චීවර මාසය තුළ දී විනයානුකූල වූ වස්ත්‍රයක් හෝ තුන් සිවුරෙන් එකක් දායකයන්ගෙන් සංඝයාට ලැබී, එය මහා සංඝයා විසින් එදිනම පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තරණය සඳහා පැවරීම.
ඉ. කඨිනාස්තාරක භික්ෂුව විසින් තමාට ලැබුණු කඨින වස්ත්‍රය හෝ චීවරය හා සම්බන්ධ සියලු ම විනයානුකූල කටයුතු එම දිනයේ දීම සම්පූර්ණ කර අධිට්ඨාන, පච්චුද්ධරණ, ආස්තරණය, කප්බින්දු තැබීම ආදි විනය කර්ම කිරීම.
ඊ. කඨිනයක් නොවීමට හේතු වන්නා වු කරුණු 24 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. මෙම කරුණු සියල්ලම කඨිනාස්තාරක භික්ෂුවගේ අධික්ෂණයෙන් විනයානුකූලව සිවුර සකස් කිරීම.
කඨිනාස්තරණයක් නොවීමට හේතු වන කරුණු මහාවග්ගපාළියේ සඳහන්වේ.
සිවුරට අවශ්‍ය දිග ,පළල, ලකුණු කිරීමෙන් පමණක් කඨිනය අතුරණ ලද්දේ නොවේ. එසේම වස්ත්‍රය සේදූ පමණින් හෝ සිවුරෙහි කඩ නියම කිරීම පමණකින් හෝ කඩ කැපූ පමණකින් හෝ නූල් ගැසූ පමණකින් හෝ මැසීම, අතු එකට මූට්ටු කිරීම,ඇතුළ පිටත නුවා ඇල්ලීම, අතු ඇල්ලී, පඬු ගැසීම ආදිය කළ පමණකින් කඨිනාස්ථරණයක් නොවේ. මේ සියල්ලම විනයානුකූලව ම සම්පූර්ණ කළ යුතුය. කඨිනත්ථාරක භික්ෂුවගේ කටයුතුවලට පැය 24 ක් ඉක්ම වීමෙන්ද කප්බින්දු නොතැබීම, අධිට්ඨාය නොකිරීම, විකප්පනය නොකිරීම, ආස්තරණය කරන ලද සිවුර, එදිනම විහාරස්ථානයෙන් පිටතට ගෙන පැය 24 ක් ඉක්මවීම ආදි කරුණු නිසා කඨිනයේ බලය නැතිවේ.
උ. කඨිනයක් වීමට හේතු වන්නා වූ කරුණු 17 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. කඨිනත්ථාරක භික්ෂුව විසින් කඨිනය ඇතිරීමේදී අලුත් වස්ත්‍රයකින් හෝ ඊට සමාන සුදුසු වූ (කැප) වස්ත්‍රයකින් ඇතිරීම, රෙදි කැබැලිවලින් කළ සිවුරකින් ඇතිරීම, පාංශුකූල වස්ත්‍රයකින් ඇතිරීම, ඉල්ලීමකින් තොරව විනයානුකූලව ලැබුණු වස්ත්‍රයකින් ඇතිරීම, තාවකාලිකව ඉල්ලාගත් වස්ත්‍රයක් නොවීම, තුන් සිවුරෙන් එකක් වීම, එදිනම කඩ කපා මසා නිම කිරීම, එම විහාරයේම පෙරවස් වසා පවාරණය කළ භික්ෂුවකට පැවරීම ආදිය සම්පූර්ණ විය යුතුය.
ඌ.කඨිනය ලැබූ භික්ෂුව විසින් සංඝයා ඉදිරියේ පරණ චීවරය පච්චුද්ධරණය කර අලුතින් ලැබුණු කඨින සිවුර අධිට්ඨානය කිරීම, කප්බින්දුව තැබීම, කඨිනානිසංස අනුමෝදන් කිරීම සහ අනුමෝදන් වීම, එදිනම සිදු කළ යුතුය. මේ කරුණු එකක් හෝ අඩු වුවහොත් කඨිනයේ බලය නැති වෙයි.
කඨිනාස්තරණය
කඨින ආස්තරණය නම් කඨිනය ඇතිරීමයි. කඨිනය නම්, පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට දායකයන් විසින් කැපසරුප් ලෙස පූජා කෙරෙන තුන් සිවුරෙන් එකක් හෝ වස්ත්‍රයකි. කඨිනයක් වශයෙන් සංඝයාට ලැබුණූ ඒ සිවුර හෝ වස්ත්‍රය, එදිනම විනයානුකූල වූ චීවරයක් වශයෙන් සකස් කළ යුතුය. එනිසා පස්දෙනෙක් හෝ ඊට වැඩි වූ සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තාරය සඳහා පවරනු ලැබේ.
දායකයන් විසින් පූජා කරන ලද කඨිනයේ වැඩ (රෙදි නම් කඩකැපීම, මැසීම, පඬුගැසීම ආදිය) සංඝයා විසින් ම කර කඨිනත්ථාරකයාට පැවරිය හැකිය. එය නිට්ඨිත පරිකම්ම වූ කඨිනත්ථාරයකි. එසේ පරිකම්ම සම්පූර්ණ නොකරන ලද කඨිනයක් පවරන්නේ නම් එය අනිට්ඨිත පරිකම්ම කඨිනත්ථාරයකි. එම කඨිනාස්තාරක භික්ෂුවට, කඨිනය සඳහා ලැබුණේ මසන ලස සිවුරක් (කත කඨින චීවරයක්) නම් එය පරීක්ෂා කර විනායානුකූල වීමට පුබ්බකරණ, පුබ්බකිච්ච, කප්බින්දු තැබීම ආදිය කළ යුතුය. මසා නිම කරන ලද සිවුරුම ලැබෙන්නේ නම් යහපත්මය. එවිට සංඝයා විසින් කඨිනුද්ධාරක භික්ෂුවට කඨිනය පැවැරූ කල්හි ඔහුට කරන්න ඉතිරිව ඇත්තේ කප්බින්දුව තබා පච්චුද්ධරණ, අධිට්ඨාන කිරීමේ ආදිය පමණකි. එනිසා මසන ලද සිවුරු මිලට ගෙන කඨින සිවුරු වශයෙන් පූජා කිරීම සුදුසුය. එය කතචීවර හෙවත් මසා නිමකරන ලද නිට්ඨිත චීවරයක් වශයෙන්ද හැඳින්වේ. දායකයන් විසින් සංඝයාට කඨිනයක් සඳහා පූජා කෙරෙන සිවුර සම්පූර්ණ වූ කඨිනයක් වන්නේ, සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට පැවරී සහ ඒ භික්ෂුව විසින් කඨිනයට සම්බන්ධ විනයානුකූල කටයුතු අවසන් කිරීමෙන් පසුවය.
දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද්දේ නූල්, රෙදි නම් සංඝයා විසින් ඒවා සිවුරු මැසීමට කුසලතා හා සුදුසුකම් ඇති භික්ෂුවකට කඨිනාස්තරණයට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් භික්ෂූන් වහන්සේලාගේත් සහාය ලබාගෙන, නූල් නම් රෙදි වියා ඉතිරි සියල්ල ම එදිනම කළ යුතුය. කඨානාස්තාරකයාට ලැබුණේ රෙදි නම් සේදීම,කඩ කපා අතු බෙදා සැකසීම, මැසීම, පඬුගසා විනයානුකූල වූ සිවුරක් සේ සකස් කර, කප්බින්දුව තැබීම, පච්චුද්ධරණයව, අධිට්ඨානය ආදිය කර කඨනාස්තාරය කළ යුතුය. සිවුරේ සියලුම වැඩ එදිනම නිම කිරීමට නොහැකි වූයේ නම් අකත (නිම නොකරන ලද සිවුර) හෝ විප්පකත ( සිවුර මැසීම, පඬු ගැසීම ආදිය අඩාල වූ සිවුර) වශයෙන් හැඳින්වේ. පැය 24 ක් ඇතුළතදී මසා නිම කළ නොහැකි වූ අකත, විප්පකත වූ කඨින චීවරයක්, කඨිනත්ථාරය කළ නොහැකිය. එනිසා කඨිනානිසංසද නොලැබේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤