ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ
ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
මා සරල උපමාවක් කියන්න ද? ශීතකරණ තියනවා නේ ද? ශීතකරණයේ දොර අරින කොට ඇතුළේ බල්බ් එක පත්තු වෙනවා නේ. දොර ඇරලා තියෙනකම් ම මොකද වෙන්නේ? ලයිට් එක පත්තු වෙනවා. දොර වහනකොට ම ලයිට් එක නිවෙනවා. දොර වැසීමයි, ලයිට් එක නිවීමයි දෙක එකටයි වෙන්නේ. දොර වහනකම් ම ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වහල නැති තාක් ලයිට් එක පත්තු වෙනවා.
දොර වැහුවහම ලයිට් එක ඇහැට පේන්නේ නැහැ. දොර වැහීමයි ලයිට් එක නිවීමයි දෙක එකටයි වෙන්නේ. ඒ නිසා ඇහැට ලයිට් එක නිවීම පෙනෙන්නේ නැහැ. දොර අරින්න පෙර ලයිට් එක නිවිලයි තියෙන්නේ කියලා මේ ඇහැට පෙනෙනව ද? නෑ. දොර ඇරියහම ලයිට් එක පත්තු වෙච්චි බව මේ ඇහැට පෙනෙනව ද? පෙනෙනවා. දොර වැහුවහම ලයිට් එක නිවිච්චි බව මේ ඇහැට පේනවා ද? නෑ.
හොඳට බලන්න, මේ ඇහැට පෙනෙන්නේ දොර ඇරියහම ලයිට් එක පත්තු වෙලා තියෙන බව විතරයි. දොර අරින්න පෙර ලයිට් එක නිවිච්ච බව මේ ඇහැට පෙනෙන්නේ නැහැ. දොර වැහුවහම ලයිට් එක තිබෙන බව මේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඔය දෙක ම දකින්න ඕනේ නුවණින්. දොර ඇරියහම ලයිට් එක පත්තු වෙලා, දොර වහපුවාම ලයිට් එක නිවෙනවා, කියලා දන්නේ නැති, නුවණක් නැති කෙනෙක් වුණොත් එයා පැත්තකට ගිහිල්ලා සිහි කරන්නේ මොකක් ද? පත්තු වෙලා තිබුණු වෙලාවෙ තිබුණු අත්දැකීම නේ ද තාම සිහි කරන්න තියෙන්නේ මෙයාට? ඒ කියන්නේ දොර වැහුවට පස්‌සෙත් මෙයා දැන් මේ ශීතකරණයේ ලයිට් එක පත්තුවෙලා තියෙනවාමයි කියලා හිතාගෙනමයි ඉන්නේ.
හොඳට බලන්න. තේරෙනව ද කියන එක?
දැන් මේ ලයිට් එක පත්තු වෙලා තියෙනවා කියන සංඥවෙන් මයි, අදහසින්මයි දොර අරින්න එන්නේ. දොර ඇරපු ගමන් ම තමන් ගේ අදහසමයි තහවුරු වෙන්නේ. දොර අරින කොට ම ලයිට් එක පත්තු වෙලා පෙනෙන්නේ. එයා හිතනවා මෙච්චර වෙලා ම පත්තු වෙලා තිබුණු එක තමයි මට හම්බ වුණේ කියලා. දොර ඇරපු නිසයි පත්තු වුණේ කියලා දන්නේ නැහැ. දැන් දොර වහන්නෙත් ලයිට් එක තියෙනවා කියල මයි. ලයිට් එක පත්තු වෙලා තියෙනවා කියල ම හිතාගෙනයි දොර වහන්නේ. දැන් පැත්තකට ගිහිල්ලා ඉන්නෙත්, ලයිට් එක පත්තු වෙලා තියෙනවා කියන අදහසින්. කොයි වෙලාවක හරි ආයෙ ශීතකරණයේ දොර අරින්න එන්නේ පත්තු වෙලා තියන ලයිට් එක බලන්න මයි, පත්තු වෙලා තියෙන එක දකින්න මයි. දොර අරිනකොට ම ඔප්පුවෙලා පේන්නේත් තමන් ගේ අදහස මයි.
දැන් මෙයාට ලයිට් එක නිවිච්ච වෙලාවක් හම්බ වෙනව ද? නෑ. දොර ඇරයත් දොර වැහුවත් මේ ලයිට් එක පත්තු වෙලා ම නො වෙයි ද? එයාට පත්තු වෙලා නො වෙයි ද හම්බ වෙන්නේ? ඇත්ත කවදාවත් හම්බ වුණා ද එයාට? නෑ. හිතෙන් හිතන කොටත් එයාට හම්බ වෙන්නේ මේ ශීතකරණයේ ආලෝකයක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා, කියලා නො වෙයි ද? හිතෙන් හිතුවත්, ඇහෙන් දැක්‌කත් හම්බ වෙන්නේ කොහොම ද? ඇයි දොර අරිනකොටම ඇහෙන් පෙනෙන්නේත් ආලෝකවත් වන බවමයි. දොර වහලා පැත්තකට ගියහමත් හම්බ වෙන්නේ ඒක මයි. ඇයි? හිතන්න තියෙන්නේ ඇහෙන් දැකපු එක විතරයි නේ. එයා හිතෙන් හිතුවත්, ඇහෙන් බැලුවත් එයාට හම්බ වෙන්නේ ආලෝකය ඇති බව ම මිසක ශීතකරණයේ ලයිට් එක නිවෙන බව මොන ම වෙලාවක වත් හම්බ වෙන්නේ නැහැ.
ඔන්න ඕකට තමයි නිත්‍ය සංඥව කියලා කියන්නේ. දැන් එයාට අනිත්‍යයක් එහෙම හම්බ වෙනව ද? නැහැ. නිත්‍ය සංඥව ඇති වෙලා තියෙන හැටි පෙනෙනවා ද හොඳට?
දැන් එයාට අනිත්‍යය කියලා දෙන්න වුණොත් මොකක් ද කියන්න වෙන්නේ? දැන් ඔන්න ඔය විදිහට කාලයක් ගිහිල්ලා, බලලා- බලලා- බලලා ම ශීතකරණයේ දොර ඇරියත් දොර වැහුවත් පැත්තකට ගියත් එයා ගේ ලෝකයේ තියෙන ශීතකරණයේ නම් ලයිට් එක පත්තු වෙලා මයි තියෙන්නේ. කවුරු හරි කිව්වොත් දොර අරින වේලාවට විතරයි ලයිට් එක පත්තු වෙන්නේ, දොර අරින්න පෙරත් ලයිට් එක නිවිලා, වැහුවට පස්‌සෙත් ලයිට් එක නිවෙනවා කිව්වොත්, "බොරු කියන්න එපා" කියයි. කියන්නේ නැද්ද? මට බොරු කියන්න එපා. එන්න මම පෙන්වන්නම්. කියලා දොර ඇරලත් පෙන්නයි. බලන්න නැද්ද කියලා. පෙන්නන්නේ නැති වෙයි ද? ඉතින් එයා දොර අරින කොට ම ආපහු පත්තු වුණා. අපිට එයාට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වෙයි ද කවදා වත්? ඇත්ත ම දේ ඒක වුණත් දැන් එයාට අපි කොහොම ද ඔප්පු කරලා පෙන්නන්නේ මේක? පුළුවන් ක්‍රමයක් තියෙනව ද?
බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඔන්න ඔය ඇත්ත ලෝකයට කියන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "මේ ආලෝකය කියන එක පෙර නො තිබීම හටගෙන ඉතිරි නැති ව නැති වෙනවා" කියලා.
ශීතකරණයේ දොර අරින්න පෙර ලයිට් එක තිබුණත් නො වෙයි. දොර වැහුවට පස්‌සේ තියෙන වත් නො වෙයි. දොර අරින නිසා ම පත්තු වෙනවා. දොර වහන කොට නිවෙනවා. පෙර නො තිබී මයි පත්තු වෙන්නේ. ඉතුරු නැතු ව ම නැති වෙනවා. "පෙර නො තිබීම හටගන්නවා. ඉතුරු නැති ව නැති වෙනවා" කියන එකෙන් කියනවා "තිබුණා නො වෙයි තියෙනවා නො වෙයි" කියන එක.
යකඩ කෑලි දෙකක් එකට ගැටෙන කොට සද්දයක් ඇති වෙනවා නම් ගැටෙන්න පෙර සද්දේ තිබුණා ද? තිබුණා නො වෙයි. ගැටිලා ඉවර වුණාම සද්දේ නැති වෙනවා නම් සද්දේ තියෙනවා නො වෙයි, තිබුණා නො වෙයි, තියෙනවා නො වෙයි.
"තිබුණා නො වෙයි" කියන කොට අතීතය අතහැරෙනවා. "තියෙනවා නො වෙයි" කියනකොට අනාගතය අතහැරෙනවා.
තිබුණා නො වෙයි. තියෙනවා නො වෙයි ගැටීම නිසා හටගන්නවා. හේතු ගැටීම නිසා සද්දය ඇති වෙනවා. ඒ වගේ ශීතකරණයේ ලයිට් එක ගැන උපමා කතාවෙ දි දොර අරින්න පෙර ආලෝකය තිබුණත් නො වෙයි, දොර වැහුවහම තියෙනවත් නො වෙයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙන කොට නැති වෙනවා.
කොහොම ද ශීතකරණයේ ක්‍රියාව ඔප්පු කරන්නේ? ඔය දොර වහන කොට දොර අරින තැන තියනවා එබෙන වර්ගයේ ස්‌විච් එකක්. දොර වහන කොට මෙන්න මේ ස්‌විච් එක මෙන්න මෙහෙම එබෙනවා. එතකොට ලයිට් එක නිවෙනවා. දොර ඇරලා තියෙද් දී ම ස්‌විච් එක අතින් ඔබලා පෙන්නන්න පුළුවන්. දොර අරින කොට මේ ස්‌විච් එක අතඇරෙනවා, එළියට එනවා. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවා කියලා දැන් ඇස්‌පනාපිට පෙන්නුවා නේ. එතකොට එයාට පිළිගන්න වෙනවාද නැද්ද? පිළිගන්න වෙනවා.
ඔන්න ඔය වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ - වස්‌තුවක් දකිනවා කියලා කියන්නේ, සිත් උපදින්න පෙර ගැන අපට නුවණක් නෑ. යම් වස්‌තුවක් දකින වේලාවෙ දී විතරයි අපි දන්නේ. ඒ ටික දකින්න පෙරත් දැක්‌කට පස්‌සෙත්, මේ "ධර්මයෝ" ඉතිරි නැති ව ම නැති වෙන බව අප දන්නේ නැති ව, ඇති බව තුළ ම විතරයි මේ අපි ඉන්නේ. අපට ඇහෙන් දැක්‌කත්, පැත්තකට ගියත්, හිතෙන් හිතුවත්, මේ දේවල් ඔක්‌කොම ඇති බවට හම්බ වෙනවා. අර ශීතකරණයේ ලයිට් එක වගේ.
ඉතින් එතකොට අර ශීතකරණයේ දොර ඇරල ම ලයිට් එක කියලා පෙන්නුවා වගේ බුදුරජාණන් වහන්සේ හේතු ටික පෙන්නනවා. "චක්‌ඛුං පටිච්ච රූපෙච උප්පඡ්ජති චක්‌ඛු විඥනං තින්නං සංඝති ඵස්‌සෝ, ඵස්‌ස පච්චයා වේදනා" කියලා. මේ ස්‌විච් එක දාලා අතින් ඔබලා පෙන්නනවා, මෙන්න මෙහෙමයි, යම් වස්‌තුවක් පෙනෙන්නේ. මේ හේතු ටික නැති වෙන කොට පෙනෙන දේ නැති වෙනවා නම්, පෙනෙන දේ තිබුණා නො වෙයි. තියෙනවා නො වෙයි. පෙර නො තිබී ම හටගෙන නැති වෙනවා කියලා. මේ හේතුඵල දහම තුළ දී දැන් අපට වෙලා තියෙන දේ මෙන්න මෙහෙම එකක් කියලා හොඳට මතක තබාගන්න ඕන.
ශීතකරණයේ දොර ඇරියත් නැතත්. ලයිට් එක පත්තු වෙලා ය තියෙන්නේ කියන මනසකින් කෙනෙක් පැත්තකට වෙලා ඉන්නවා නම්, එයාට එහෙම අදහසක් තිබුණාට ලයිට් එක නිවිලා නේ තියෙන්නේ. පැහැදිලියි නේ ද?
ඒ වගේ අප ඇහෙන් දැක්‌කත් නැතත්, දැකපු දේවල් තියෙනවා කියන තැනකත්, අප මෙහෙම හිතාගෙන ඉන්දෙද්දිත්, දැකපු දේවල් නිරුද්ධ වෙලා. ඒ නිරුද්ධ වෙච්චි දේවල් ඇති බවට මනසින් සිහි කර, කර මෙහි "තියෙනවා" කියන මෝඩකමයි දැන් අපිට තියෙන්නේ. ඒකයි මේ අපි කපන්න හදන්නේ.
ගෙදර කියලා සිහි කරන කොට, "නෑ එහෙ තියෙනවා නො වෙයි, මෙහෙ තියෙන්නේ කියලා" අපි මේ ඔප්පු කරන්න යන්නේ ඒකයි.
දැන් මේ ගෙවාගන්න හදන්නේ. - තේරෙනව ද මා මේ කියන එක - ශීතකරණයේ දොර ඇරියත් වැහුවත් ආලෝකය පත්තු වෙලාමයි තියෙන්නේ කියන මානසික මට්‌ටමක් තියාගෙන, කෙනෙක් පැත්තකට වෙලා ඉන්නවා. (දොර වහලයි තියෙන්නේ). එයා අර පරණ ආශ්‍රව මත, "ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ" ය කියන කොට, "නෑ. දැන් ඒක නිවිලා. පත්තු වෙලා තියෙන්නේ කියලා හිතෙන්නේ මට නේ? කියලා එයා නැවත නැවත බලනවා වගේ, එතැන මැකෙන කොට තමයි මෙතැන ඇත්ත කියන එක මෙයාට පෑදෙන්නේ. මේ මොහොත වෙන කොට "ඇත්තට ම නිවිලා තමයි" කියන තැනට එන්නේa.
අපි ඇහෙන් දැක්‌කත් නැතත්, දැකපු අය ඉන්නවා, දැකපු දේවල් තියෙනවා කියන මට්‌ටම, අර ශීතකරණයේ ලයිට් එක දොර ඇරියත් නැතත් තියෙනවා කියන මට්‌ටම වගේ.
දැන් අපි දන්නවා. පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැති ව නිරුද්ධ වුණා නම්, දැකපු දේවල් මේ වන විට නිරුද්ධ වෙලා. එහෙනම් "නැති වෙච්ච දේ ඇති බවට හම්බ වෙන්නේ අපේ මනසටයි" කියලා අපි අනුමානෙට දන්නවා.
ඒ නිසා ගෙදර කියලා සිහි වෙන කොට, නුවණින් බලනවා. සිහි වෙන්නේ මෙතැනින් නේ. (මනසට නේ). "නෑ ඒ වුණාට එහේ තියෙන්නේ" කියලා සිහි වෙන්නේත් මෙතැනට නේ ද?
ආපහු බලනවා. කොහොම හරි එහේ තියෙන්නේ කියන හැඟීම හිතට අල්ලාගෙන ඒ හැඟීම ගෙවෙනකම් ම "මෙහේ මෙහේ" කිය කියා බලනවා. ඔහොම ටික දවසක් බලනකොට වෙන දා තරම් අමාරු නෑ. එහේ තියෙන්නේ ම කිව්වත්, මේ වගේ රළුකමෙන් හිටින්නේ නැහැ.
එහේ තියෙන්නේ කියන ගතිය ඔන්න ටිකක් අඩු වෙලා පෙනෙනවා. ආයෙත් සිහි වෙන්න හැදුවොත් "නෑ මේ "මනස" නේ." එහෙ තියෙන්නේ කියලා සිහි වෙන්නේ මෙහෙට නේ. "නෑ ඒ වුණත් එහේ තියෙන්නේ" කියලා හිතෙන කොට ම, "නෑ ඒ වුණත් එහෙ තියෙන්නේ" කියන ගතිය ද මෙහෙ නේ. ඒ විදියට හැඟීමෙන් හැඟීම අල්ලන්න පස්‌සෙන් පස්‌සට යනවා. ඔහොම ටික දවසක් කරන කොට වෙනද තරම් බාහිරට හිත නැමිලා, ඇදිලා පවතින ගතිය අඩු වෙනවා. ඊට පස්‌සේ තව ටිකක් දවස් යන කොට ගෙදර කියලා සිහි වන්නේ "විතර්කයක්" නේ. කියලා වෙහෙසක් නැතුව ම තමන් ගේ පැත්තට හැරෙනවා. එහෙට මනස නැමෙන්නෙ ම නැති ව යනවා. ආපහු ටික දවසක් යන කොට සිහි වෙනකොට ම මේක විතර්කයක් නේ කියලා සිහි කරගන්න පුළුවන් වුණා ම විතර්කයන් නේ කියන එක දැනිලා එහෙට යොමු වෙන්නේ ම නැතුව නතර වෙනවා.