සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

සංසාර ජීවිතය සාහසික මායාවකි

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

අමෘත අමාමහ නිර්වාණය ඇත්තේ මේ විප්‍රකාරයන්ගෙන් ගහන වූ අනන්ත පීඩාවන්ට කෙලෙස්‌ උල්පත් ඇත්තාවූ මේ ලෝකය තුළ නොවේ. පින්වත් යෝගාවචරයාට ඒ උතුම් අවේදයිත සුවය හමුවන්නේ ලෝකයෙන් එතෙරදීය. එනම් සකල විධවූ ක්‌ලේශයන් යළිදු කිසිදා නූපදින ආකාරයෙන් දවා අළු කළ තැනදීය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කෙතරම් නම් අසිරිමත් වීද? පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතද එමෙන්මය. මහා අරහත් මුනිවරුද එලෙසින්ම අසිරිමත් ජීවන දසුන්ම ඇති අය වෙත්. එහෙත් උන්වහන්සේලාගේ ජීවිත පහන්ද මරු සුළඟින් නිවී ගියේය. එමෙන්ම උන්වහන්සේලාගේ ජීවිත වෙතද ජරාව හා ව්‍යාධිය ගලා ආවේය. එහෙත් අරහත් බවට පැමිණ වදාළ හෙයින් උන්වහන්සේලාට එයින් දැනුණු කිසිදු මානසික වේදනාවක්‌ නොවීය. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාතික දුකද බියකරු ප්‍රපාතයක්‌ වන්නා සේම ජරා දුකද එබඳුම භයංකරවූ ප්‍රපාතයක්‌ බව දේශනාකොට වදාළ සේක.

ජරාව යනුවෙන් හඳුන්වන්නේ අනෙකක්‌ නොවේ. මහලු බවට පත්වීමයි. බොහෝ කල් ඉක්‌මයාමයි. මේරීම හා පැසවීමයි. එසේත් නැත්නම් ශරීරයේ සියල්ල දිරාපත්වීමයි. මේ මහා විශ්වය තුළ ජීවනය ලබන සියල්ලන්ම ඒ ජීවනය ලද වේලේ පටන්ම මොහොතක්‌ මොහොතක්‌ පාසාම ගොදුරුවන්නේ මේ ජරා ගින්නටය. ජාති දුක මෙන්ම ජරා දුකද සත්වයාට මහත් භයංකාර වූ ප්‍රපාතයක්‌ මෙන් වන්නේ කුමක්‌ නිසාදැයි ඔබට කල්පනා කළ හැකිද? මූලික වශයෙන්ම එය සත්වයාට මහා දුකක්‌ වන්නේ ඒ තුළ එයින් බේරී නික්‌ම පලායාමට කිසිදු මගක්‌ නැති නිසාය. එනම් මේ ජරා දුක හා අසරණකමම බැඳී වෙලී පවතින නිසාය.

කවරක්‌ වුවද ජරාවට පත්වීමෙන් මුලින්ම සිදුවන්නේ එහි ප්‍රකෘති සෞන්දර්යය විනාශයට පත්වී යාමය. එනම් සියල්ල එකම විකෘතියක්‌ බවට පත්වෙයි. පෙර තිබූ තත්ත්වයෙන් බලාපොරොත්තු නොවූ අපේක්‌ෂා නොකළ තත්ත්වයකට පත්වෙයි. මෙය සැබවින්ම පුහුදුන් සත්වයාට ඉහිලිය නොහැකි තරම් වූ දුක්‌ වේදනා ගෙන එන්නේය.

ජරා දුකට පත්වීම තුළින් ජීවිතය තුළදී පෙර ලැබුණු ජීවන වරප්‍රසාද සත්වයන්ට යළි යළිදු කිසිසේත්ම ලැබෙන්නේ නැත. ඔබ ඔබේ ජීවන මග මතින් මොහොතක්‌ පුංචි කාලයට පියමන් කරන්න. එදා ඔබේ රූපය කොතෙක්‌ නම් සියුමැලි රූප සෞන්දර්යයකින් යුක්‌ත වූවේද? ඒ රූපයට ආදරය කළ, ආශා කළ කොතෙක්‌ නම් අය ඔබ සෙනහසින් වැළඳ ගත්තේද? එහෙත් එයින් දශකයක්‌ පමණ, දශක දෙකක්‌ පමණ ඉක්‌ම ගිය තැනදී ඔබ කෙරෙන් ඒ සියල්ල ඈත්වී ගියේ කොතරම් නම් වේගයකින්ද? දැන් ඔබ වෙනස්‌ ජීවන ස්‌වරූපයකට පත්වී ඇත. තවත් මොහොතකින් තවත් සැටියකය. ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ මේ ආදී වශයෙන් මොහොතක්‌ නෑර ඔබගේ චෛතසික සේම රූපයද එකිනෙකට වෙනස්‌ සැටියක්‌ බවට පත්වන්නේය. මේ ජීවිතය ජරා ගින්නට ගොදුරුවන සැටිය. මෙය ලොව කවරකුට වුවද ගෙන දෙන්නේ දුක්‌ වේදනාවක්‌මය. හුදෙක්‌ම ඒ අනිත්‍යතාවය අහිමිවීමට, භංගත්වයට මුහුණදීමෙන් සත්වයාට ලැබෙන අමිහිරි සිත් පහළ වීම නිසාය.

තුන් ලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ ජීවත්වූ භද්‍රවතිකා ඇතින්න ඔබට සිහිපත් කළ හැකිද? ඇගේ තුරුණු කාලය බෙහෙවින් විසිතුරු බවට පත්වී, ඈ තුළ වූ මහත් ශක්‌තියෙන් කොසඹෑ නුවර උදේන රජුට යුද්ධවලදී විශ්මය ජනක ජයග්‍රහණය ගෙන ආවාය. එහෙත් හෙවණැල්ලක්‌ මෙන් කාලය හා අත්බැඳ පැමිණි ජරා දුක ඈ තුළ වූ ඒ විස්‌කම් සියල්ල නිමා කළේය. අන්තිමට කවරකුගේවත් හව්හරණක්‌ නොලද භද්‍රවතිකා ඇතින්නට ඉන්න හිටින්නට පවා තැනක්‌ නැතිවිය. කෑමට පවා නිශ්චිත අහරක්‌ පවා නොලත් ඈ මහලු වියෙන් දිගු කොටසක්‌ ගත කළේ සා පවසින්ය. දිනක්‌ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස කොසැඹෑ නුවර වීදින්හි වඩින සඳ භද්‍රවතිකා සම්මා සම්බුදුන් වෙත පැමිණ බුදු සිරිපා අභිමුව වැඳ වැටී ජරාවත් සමගම තමා වෙත ලැබුණු දුක්‌ අඟවා සිටියා. බුදුපියාණන් වහන්සේගේ පිළිසරණය මත ඇයට සැනසීම ලැබිණ.

අද ලෝකය දෙස මදක්‌ බලන්න. ලෝකයම බලන්නද වුවමනා නැත. ඔබ ඔබ ජීවත්වන ප්‍රදේශය, ගම, නගරයට මඳක්‌ සිත යොමන්න. ඒවායෙහි ජරා ගින්නට බිලිවී සිටින්නන් කොතෙක්‌ නම් සිටිනවාද? තුරුණු කාලවලදී ඔවුනගේ ජීවිත කෙබඳුවූ සෞන්දර්යන්ගෙන් පිරී තිබෙන්නට ඇතද? ඔවුන්ගේ ලෞකික සතුට තර කළ හිමිවීම් ඔවුනට කොයි තරම් ලැබෙන්නට ඇත්ද? ඒත් ඒ සියල්ල අද විශ්ව නියාමය විසින්ම ඔවුන්ගෙන් උදුරාගනු ලැබ තිබේ. එදා දිගට තිබූ නීල වරල්, මුතුකැට වන් දත්, වර්ණකාන්තියෙන් දිලිණු මුහුණු අත්පා අඟ පසඟ මෙකල එකම විකෘතීන්ය. ජරාව විසින් සියලු දේ ගිල ගත් පසුව භයානක හුදෙකලාවක තනිවී සිටින ඒ බොහෝ දෙනකු ඇත්තේ මරණයේ බලාපොරොත්තුව පමණෙකි. බොහෝ විට ඔවුහු ඒ සුන්දර අතීත සිහිකරති. එතෙකුදු වුවත් ඒවා මේ ජීවිතයේදී නම් ඔවුන් වෙත යළිත් කවරදාකවත් නොඑන වසන්තයන් පමණකි. අවසානයේ ඉතිරිවන්නේ මතකයන්ගේ වේදනා පමණි.

මේ සත්වයාට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන බුදුපියාණන් වහන්සේ වදාළ ජරාවට පත්වීම නම් සංසාරික ප්‍රපාතයෙහි තවත් ලක්‌ෂණයකි. එනම් බොහෝ දේ ළඟාකරදී විශ්ව නීතිය විසින්ම නැවතත් උදුරා ගැනීමයි. ඒ අනුව ඔබ මේ ආ අති දීර්ඝ, අනවරාග්‍ර සංසාර ගමන තුළදී කොපමණ නම් විසිතුරුවූ රූප සෞන්දර්යයන් ලබන්නට ඇත්ද? රාජකුමාරවරුන්, කුමාරවරියන් ලෙස අප්‍රමාණවම අභිසෙස්‌ ලබන්නට ද ඇත. නමුත් ඒවාට සිදුවූයේ කුමක්‌ දැයි මොහොතකටවත් ඔබ කල්පනා කර තිබුණාද? ඒ හැම දෙයම හැමදාම කාලයට තෙමී ජරාවාසවී සදාතනිකවම ගරා වැටිණ. අහිමිවීමේ වේදනාව පමණක්‌ ඔබ සිත් තුළ ශේෂ වූයේය. සංසාරය තුළ මහා දිගු ගමනක යෙදී සිටින ඔබ මේ ජරාව නම් ප්‍රපාතයට ඇද වැටුණු කල තවත් අතිශය අමිහිරි දුකකට මුහුණපාන්නේය. එනම් මෙහිදී සෙසු ලෝකයා අතර ඔබ අප්‍රිය වන තැනැත්තකු බවට පත් වේ. 

මේ කාලය තුළදී ඇත්තෙන්ම ඔබ ලෝකයාට පමණක්‌ නොව ඔබටමද අප්‍රියවන්නේය. සංසාර ජීවිතයේ හැටි එහෙමය. මෙහිදී සත්වයින් තුළ ඇතිවන අසරණකම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. බුදුන් දවස ජරා ගින්නට බිලිව ව්‍යාධි ප්‍රපාතයටද ඇද වැටුණු පූතිගත්ත තිස්‌ස තෙරුන් වහන්සේ හැමෝගේම පිලිකුලට ලක්‌වුනා නේද? අන්තිමේදී උන්වහන්සේට බේත් උගුරක්‌, කැඳ උගුරක්‌වත් දෙන්නට කෙනකු හිටියේ නැත. බුදුකරුණා ගුණය දැකීමට තරම් ස්‌වාසනා ශක්‌තිය තිබූ හෙයින් අවසානයේදී ඒ සසාරගත ජරා ප්‍රපාතයෙන් ගොඩනැගුණු පූතිගත්ත තිස්‌ස හාමුදුරුවෝ සංසාර ප්‍රපාතයෙන්ද සදහටම ගොඩනැගී ගත්හ.

මේ ආදී වශයෙන් විදර්ශනාවට සිත් යොමන විට සංසාර ජීවිතය යනු කෙතරම් සාහසික වූ මායාවක්‌දැයි ඔබට නොසිතෙන්නේද? එහි රූප කාය තුළ පමණක්‌ නොව නාම කාය තුළද ඇත්තේ උදය හා වැය යන දෙක පමණි. එනම් ඇතිවීම හා නැතිවීමයි. මායාකාරී ලෝකයේ නොයෙක්‌ ඇතිවීම් තුළ තාවකාලික උද්දාමයකට පත්වී අපි සියල්ලෝම නැතිවීම හා බිඳ වැටීම තුළදී හඬමු. වැළපෙමු. ශෝක කරමු. එසේ වුවත් එයින් නික්‌ම යා හැකි සදාකාලික අවේදයිත සුව ඇති නිර්වාණගාමී මාවතට නොපිවිසෙමු. මේ තාක්‌ම අපට සංසාරයේ ජරාව නමැති ප්‍රපාතයට ඇද වැටෙන එකෙන් අතමිදී ගන්නට නම් නොහැකිමය. එමෙන්ම එහි වැටෙන්නට ඇති වාර ගණනද මෙතෙකැයි කියා සීමාවක්‌ පනවා ගැන්මටද නොහැකිය.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X