සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ප්‍රඥාවෙන් යුක්ත සැබෑම උපේක්ෂාව

ශ්‍රාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සී හිමි

උපේක්ෂාව බොහෝ විට අපට හඳුනා ගන්නට දුෂ්කර මනෝභාවයක්. ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේම මනසේ ආකාරයට අවධිවන විශේෂ ලක්ෂණ තිබෙන ගුණාංග අපට හඳුනා ගන්නට පහසුයි. නමුත් උපේක්ෂාව හුඟක් වෙලාවට හඳුනා ගන්නට අපහසු වෙන්නේ එහි තිබෙන මධ්‍යස්ථභාවය නිසායි. ඒ මධ්‍යස්ථභාවය නිසාම බොහෝවිට උපේක්ෂාව අප වැරැදි ආකාරයට හඳුනා ගන්නවා.
බොහෝවිට කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න ගතිය යම් උපේක්ෂාවක් කියා ඇතැමුන් සිතනවා. ඒ නිසා උපේක්ෂාව ගැන කාථාකරන විට එහි ගති ලක්ෂණ අනුව දෙයාකාරයකින් හඳුනාගත හැකියි. ඒ අඥාන උපේක්ෂාව සහ ඤණසම්ප්‍රයුක්ත උපේක්ෂාව ලෙසයි. අඥාන උපේක්ෂාව කියන්නේ සමහර අය නොදැනුවත්කම නිසා, මෝහය නිසා හැඟීමක් නැතිකම නිසා සමහර දේ ගැන අඩු තක්සේරුවකින් හිතනවා. මොනවා වුණත් අපට ගැටළුවක් නැහැ වෙන දෙයක් වුණාදෙන් කියා නිහඬවන අවස්ථා තිබෙනවා.
අපි හිතමු මුහුද ගොඩ ගැලුවට පස්සේ අපේ ඥාතීන් එයට හසුවෙලා, කරදරයක් වෙලා. නැත්නම් අපි කියනවා ඕක ලෝක ධර්මතාවයක්. කවද හිටියත් මැරෙනවානේ. වුණදේ වුණා මොනවා කරන්න ද? කියමින් කෙනෙකුට නිහඬ වෙන්න පුළුවන්. නමුත් තමාගේ කෙනෙකු ඒ මුහුදු රැල්ලට හසුවුණා නම්, එහෙම කියන්නේ නැහැ. ඊට වඩා කලබල වෙනවා. අපේ කෙනෙක් එයට හසුවුණේ නැති නිසා එය අපට අදාළ නැති නිසා අපි හිතනවානම් කිසි දෙයකට කම්පා වෙන්න ඕන නැහැ කියලා සමහර විට එය අඥාන උපේක්ෂාවක්.
ඒ වගේම ශාසනය පිළිබඳව කථාකරන විට කෙනෙක් කියනවා නම් ශාසනය මේක විතර ද? මේ ශාසනය අහිමි වෙනකොට තව බුදු කෙනෙක් පහළ වෙනවා මේවට සැලෙන්න හොඳ නැහැ හැම දෙයක්ම අනිත්‍යයි කියා සමහර අය ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නේ සැබෑවටම උපේක්ෂාවෙන් ද? එසේ නැත්නම් මුලාව නිසා ඇතිවන උපේක්ෂාව නිසාද කියා අප ටිකක් විමසිල්ලෙන් බලන්න ඕන. හඳුනා ගන්නට තිබෙන හොඳම ක්‍රමය තමා ඒ පිරිසට ඒක අදාල වෙනවානම් ඒ අය ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොම ද කියා විමසා බැලීමයි.
තව සමහරු නිනව් නැති නිසාත් උපේක්ෂාවෙන් වගේ ඉන්නවා. අප හිතමු පාරේ වාහනයක අප යනකොට මී හරක් රංචුවක් පාරේ මැද ඉන්නවා. කෙතරම් නළාව ශබ්ද කළත් කිසිදු වගක් නැතුව තමන්ගේ පාඩුවේ යනවා. ළඟටම ගිහින් නළාව ශබ්ද කළත් , තමන්ගේ ගමන් වේගය වෙනස් කරන්නේ නැහැ. නමුත් මිනිසුන් පිරිසක් පාරේ ඉන්න විට වාහනයක නළාව ශබ්ද කළත් ,කලබල වෙනවා. එහෙනම් මිනිස්සු තරම් මේ සත්තු කලබල වෙන්නේ නැහැ. ලොකු උපේක්ෂාවක් එතැන තිබෙනවා කියා හිතෙන්න පුළුවන්. එතැනත් යම් උපේක්ෂාවක් තිබෙනවා. ඒ අඥානකමින් නිනව් නැතිනිසා ඇතිවෙන උපේක්ෂාව. මෙහි තිබෙන අනතුර, බරපතලකම තේරෙන්නේ නැහැ. සිද්ධවෙන විනාශය තේරෙන්නේ නැහැ. ඒවා පිළිබඳව කිසිම සංඥාවක් නැති නිසා පවතින්නට පුළුවන්. ඒ වගේම මිනිසුත් ඉන්නවා. රටට, ජාතියට, ආගමට, ලෝකයට, ස්වභාව ධර්මයට සිදුවෙන්නේ මොනවාද කියා දන්නේ නැහැ. තමන්ගේ අනාගත දරු පරපුරට ඉතිරිවෙන ලෝකයට මොනවද වෙන්නේ කියා නිනව්වක් නැතිනිසා අර හරක් රෑන වගේ ඉන්න පිරිසත් සමාජයේ ඉන්නවා. ඒ උපේක්ෂාව නිවන් දකින්නට උපකාරි වෙන්නේ නැහැ.
ඤාණසම්ප්‍රයුක්ත උපේක්ෂාව කියන්නේ හැමවිටම ප්‍රඥාවෙන් යුක්තව හේතුඵල හඳුනාගෙන උපේක්ෂාසහගත වීමයි. හේතුඵලය හඳුනාගන්න කොට ඇයි උපේක්ෂාසහගත වෙන්නේ? ක්‍රියාත්මකවීම ඵල රහිත නිසා. යමක් හේතුඵල වශයෙන් වෙනස් කරන්න පුළුවන්නම් එය වෙනස් කිරීම ඥානවන්තයාගේ ස්වභාවය යි . නමුත් මේවන කොට වෙනස් කරන්න බැරිනම් හේතුඵල හරියට හඳුනා ගත්ත පුද්ගලයා දඟලන්නේ නැතුව නිහඬ වෙනවා. හේතුඵල කිව්වාම වෙනස් කළහැකි හේතු තිබෙනවා. වෙනස්කළ නොහැකි හේතු තිබෙනවා.
ඒ තමා අප මේ වෙනකොට මනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා ඉන්නේ. මේ උපන්නා වූ ආත්මභාවයේ අප සංසාරික යම් යම් ගති ලක්ෂණ උරුම කරගෙන ඇවිත් තිබෙනවා. ස්ත්‍රියක් වෙලා හෝ පුරුෂයෙක් වෙලා හෝ මේ ජීවිතයට යම් යම් බලපාන කරුණු කාරණා තිබෙනවා. එසේ උරුම කරගෙන ඵල දරලා තිබෙන ඒවා දැන් අපට වෙනස් කරන්න බැහැ. ඒවා සම්බන්ධයෙන් අඬල දොඬලා වැළපිලා මොකටද? මම ඇයි කාන්තාවක් හෝ පිරිමියෙක් වුණේ කියලා ඒවා පිළිබඳව කලබල වෙලා දැන් තේරුමක් නැහැ. ලැබිලා තිබෙන තත්ත්වය අපට දරාගන්නට සිදුවෙනවා. ඒක අපට දැන් වෙනස් කරන්නට බැරි ඉපදිලා ඉවර නිසා. ඒ වගේම යම් රූප සම්පත්තියක්, නිරෝගිකමක් අප මේ ජීවිතයේ දී උරුම කරගෙන තිබෙනවානම් දැනට අපට ඒකත් සර්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. අපට කරන්න පුළුවන් ඒ රූපය නඩත්තු කර ගැනීමක් පමණයි. එලෙස ඤාණවන්තයා හේතුඵල හඳුනා ගන්නවා. වෙනස් කරන්න බැරි දේ ගැන කලබල නොවී වෙනස් කරන්න පුළුවන් දේ පමණක් වෙනස් කරන්නට ඒ තැනැත්තා ක්‍රියාත්මක වෙනවා.
ලෝකයේ මොනවා තමන් අකැමැතියි කියලා හිතෙන දෙයක් වෙනස් වෙන්න ඕන කියලා හිතන තාක්කල් අපට සන්සුන් වෙන්න බැහැ. මැදහත් වෙන්න බැහැ. උපේක්ෂාසහගත වෙන්න බැහැ. එයින් අදහස් වෙන්නේ ඥානවන්තයෝ ලෝකයට කුමක් වුවත් කමක්නැහැ කියලා තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියන එක නොවේ.
ප්‍රඥාවෙන් යුක්තව හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා. නමුත් නොකළ හැකිනම් ඒ අවස්ථාවේදී මැදහත් වෙනවා. නැතිනම් නිහඬ වෙනවා. ඒ ගුණ දෙකම අප සතුව තිබෙන්න ඕන. අත්‍යවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන්නත් ඕන. ක්‍රියාත්මක වීම සුදුසු නැතිනම් එහිදී නිෂ්ක්‍රීය විය යුතු වෙනවා. ඒ නිෂ්ක්‍රීය භාවය ප්‍රඥාවෙන් යුක්තව කෙරෙන්න ඕන. එතැන තමා මූලික වශයෙන් උපේක්ෂා ගුණය වැඩෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ශාක්‍යයන් විනාශ කරන්න විඩුඪභ කුමාරයා ගියා. පළමුවැනි පාර බුදුන් වහන්සේ පෙනී සිටියා විඩුභඪ හැරී ගියා. දෙවැනි අවස්ථාවේත් උන්වහන්සේ පෙනී සිටියා. විඩුභඪ හැරී ගියා. තුන්වැනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. මේක වළක්වන්න බැරි නිසයි උන්වහන්සේ උපේක්ෂාසහගත වුණේ. එහිදී හොඳින් ප්‍රඥාවෙන් හේතුඵල දකිනවා. දකින නිසා ඒක වෙනස් කරන්න බැරිනිසා එහිදී නිහඬ වෙනවා.
ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ දෙපාරකම මරන්න හොරු ආවිට යතුරු සිදුරෙන් සහ කැණිමඩලෙන් නික්ම ගියා. නමුත් තුන්වැනි වර දකිනවා මේක සංසාරික අකුසල කර්මයක්. මේක වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න බැරි දෙයකට ගැටිලා හෝ ඇලිලා තේරුමක් නැහැ. උන්වහන්සේ රහත්වෙලා සිටි නිසා මනසේ එබඳු දුබලකම් මතුවෙන්නේ නැහැ. අන් අයට වුනත් ඒවා ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රඥාව අවධිවනවිට මේ සංස්කාරයන්ගේ ස්වභාවය දැනගෙන ලොකු ගට්ඨනයක් ඇති නොවී පවත්වන්නට පුළුවන්. නෛෂ්ක්‍රම්‍යයත් , ප්‍රඥාවත් නැතිනම් හැමවිටම අප හැඟීම්වලට වහල් වෙනවා. මට ඕන ආකාරයටම ඒ දේවල් වෙන්න ඕන, මම අකැමැති කිසි දෙයක් නොවිය යුතුයි කියා අප වහා නැඟී සිටිනවා. ඒ වගේම වහා ගැටිලා ප්‍රතික්ෂේප කරන ස්වභාවයට මනස පත්වෙනවා.
අප අකැමැති දේ නැත්නම් හොඳයි. නමුත් ඒවා වෙනස් කරන්න පුළුවන්ද? බැරිද? කියා සොයන්න ඕන. ඒ නිසා හැබෑම උපේක්ෂාව ඇති කරගන්න ප්‍රඥාව අත්‍යවශයි. ප්‍රඥාව තිබෙන තරමට තමා පුද්ගලයාගේ උපේක්ෂා ගුණය වර්ධනය වෙන්නේ.
නයනා නිල්මිණි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X