සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බණ අසනවාද? ධර්මය ශ්‍රවණය කරනවාද?

ධර්මය ශ්‍රවණය කිරීම එසේත් නැතිනම් ධර්ම දේශනාවකට සවන් දීම බෞද්ධයාට හුරුපුරුදු දෙයකි. විවිධ අවස්ථාවන්හිදී විහාරස්ථානවලදී මෙන්ම නිවෙස් වලදී ද ධර්ම දේශනා සිදු කෙරෙතත් ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ බෞද්ධ ජනතාව තුළ ඇති අවබෝධය ඉතා අල්පය. එම නිසාම කෙතරම් ධර්ම දේශනා බෞද්ධ සමාජය තුළ සිදුවුවත් ඉන් මහඟු ඵල ලබා ගැනීමේ අවස්ථාව බෞද්ධයාට නොලැබී ගොස් තිබේ. මේ නිසා ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ විමසා බැලීම කාලෝචිත යැයි සිතමි.
“සුනාථ ධාරෙත චරාථ ධමෙම” යනුවෙන් බුදුන් වහන්සේ විසින් දේශිත ධර්ම පාඨය තුළ ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ පුළුල් අදහසක් ගැබ් වී තිබේ. මෙහි “සුනාථ” යන්නෙහි අර්ථය හොඳින් ශ්‍රවණය කරන්න යන්නයි. ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නේ කෙසේද යන්න බුදුසමය තුළ මෙසේ දැක්වේ.
“විහාය වික්ඛෙපමලං අට්ඨ කත්වාන සාධුකං සද්ධම්ම සවණං එත්ථ සමණන්ති පවුච්චති”
සිතෙහි පවතින කලබලකාරී අවුල් සහගත ක්ලේශයන් දුරුකොට ධර්මයෙහි පදයක් පදයක් පාසා අර්ථයන් මෙනෙහි කරමින් ධර්මයම අරමුණු කොට ඒ කෙරෙහිම යොමු වූ සිතින් සාවධානව ධර්මය ශ්‍රවණය කළ යුතු බව එහි අදහසයි. පෘථග්ජන සිත බෙහෙවින් කලබලකාරීය. එය හැමවිටම අවුල්සහගතය. එසේ නමුත් හොඳින් ධර්මය ශ්‍රවණය කිරීමට නම් මෙම නොසංසුන් සිත පාලනය කොට සංසුන් කරගත යුතුය. එසේම ධර්මය පදයක් පදයක් පාසා එහි අර්ථය විවරණය කොට මෙනෙහි කළ යුතුය. එසේම ධර්මය දැන ගැනීමේ බලවත් ඕනෑකමක් ඇතිකර ගනිමින් ඒ අරමුණින්ම සංසුන් වූ සිතින්, නිදහස්ව ධර්මය ශ්‍රවණය කළ යුතුය.
එහෙත් වර්තමානයේ ධර්මය ශ්‍රවණය කිරීම “බණ ඇසීම” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ. එහිදී එය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද වෙනස් වී ඇත. එනම් බණ ඇසීම සඳහා ඉහත කී එකදු අවශ්‍යතාවක්වත් නොපවතී. ගුවන් විදුලිය, රූපවාහිනිය, හඬපට, සීඩී තැටි ආධාරයෙන් අවශ්‍ය වේලාවක කැමති පරිදි ඕනෑතරම් බණ ඇසිය හැකිය. නමුත් ඉන් බණ ඇසිය හැකි වුවත් නිසියාකාරයෙන් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබේදැයි යන්න සැක සහිතය.
එක් උදාහරණයක් පවසතොත් රූපවාහිනිය මඟින් ධර්මය ශ්‍රවණය කිරීමේ දී එහි දර්ශනය මොහොතින් මොහොත වෙනස් වන අතර ඒ හා සමගාමීව ධර්මය ශ්‍රවණය කරන්නාගේ දෑස ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ සිතේ එක්තැන් බව දුරලයි. විටක ධර්ම දේශකවරයාගේ සමීප රුව දක්වයි. තවත් විටක අවට සුන්දරත්වය පෙන්වයි. තවත් විටක ධර්මය ශ්‍රවණය කරන පිරිස පෙන්වයි. ඒ අතර දේශපාලනඥයෙකු සිටියහොත් ධර්ම දේශකවරයාට වඩා දේශපාලනඥයා පෙන්වයි. මේවා දකින ශ්‍රාවකයාට රූපවාහිනිය මඟින් ධර්මය ශ්‍රවණය කිරීම තබා බණ ඇසීමවත් නිසිලෙස සිදු කළ හැකි දැයි යන්න සැක සහිතය. එසේම පොදුවේ රූපවාහිනිය හෝ ගුවන් විදුලිය මඟින් විකාශය කරනු ලබන ධර්ම දේශනා අතරතුර වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම හේතුවෙන් ධර්මය ශ්‍රවණය කරන්නාගේ අවධානය වෙනතක යොමු කරයි.
නිවසක පැවැත්වෙන ධර්ම දේශනාවක දී වුවද ධර්මය ශ්‍රවණය කරන්නන්ගේ සිත් සංසුන් නැත. නිවෙස් හිමියා කල්පනා කරනුයේ පැමිණ සිටින පිරිසට සංග්‍රහ කිරීම පිළිබඳවය. පැමිණ සිටින පිරිසගේ සිත් තුළ ක්‍රියාත්මක වනුයේ ඉක්මනින් නිවෙස් හිමියා හා කතාබස් කොට පිටව යෑමේ අදහසයි. මේ නිසා වත්මනෙහි ධර්ම දේශනා කෙතෙක් සිදු වුවත් හොඳින් මනා ලෙස ධර්මය ශ්‍රවණය කරන්නෙකු සොයා ගැනීම උගහටය. මේ පිළිබඳ බෞද්ධයා අවබෝධයෙන් හා සිහි නුවණින් ක්‍රියා කළ යුතුව ඇත.
ධර්මය ශ්‍රවණය කිරීම බෞද්ධයන්ගේ පරම අපේක්ෂාව වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය අංගයකි. නිර්වාණගාමී ගමන් මගෙහි පළමු පියවර වන සෝවාන් ඵලයට ළඟාවීම සඳහා අංග හතරක අවශ්‍යතාව ඉස්මතු කොට ඇත. ඒවානම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යොනිසෝමනසිකාරය හා ධම්මානු ධම්ම පටිපත්තිය යන කරුණු හතරයි. ඒ අනුව පැහැදිලි වනුයේ කොතෙක් දානාදී පින්කම් කළත් භාවනා වැඩුවත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් තොරව මාර්ගඵල ලැබිය නොහැකි බවයි.
ධර්මය ශ්‍රවණය කිරීම නිර්වාණය හෝ මාර්ගඵල සඳහාම නොවන බව මංගල සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි දෙලොවම දියුණුව සලසන මංගල කරුණක් ලෙස “කාලේන ධම්ම සවණං” එනම් සුදුසු කල්හි ධර්මය ශ්‍රවණය කිරීමෙන් පරලොව පමණක් නොව මෙලොව දියුණුව ද සැලසෙන බව පෙන්වා දී තිබේ. මෙහි සුදුසු කල්හී යන්නෙහි අර්ථය කිසියම් නිශ්චිත කාලයක් නොව හොඳින් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අප මුලින් කී පරිදි සංසුන් සිත හා අනෙකුත් අවශ්‍යතාවන් සම්පූර්ණව පවතින කාලය ලෙස සැලකිය හැකිය.
ධර්මය ශ්‍රවණය කිරීම පුණ්‍ය ක්‍රියාවකි. බෞද්ධයා විසින් සිදුකළ යුතු පුණ්‍ය ක්‍රියා දහයකි. ඒවා දස පුණ්‍ය ක්‍රියා නමින් හඳුන්වයි. ඒ අතර සද්ධර්මය ශ්‍රවණය කිරීම එක් පුණ්‍ය ක්‍රියාවක් ලෙස ඇතුළත් වීමෙන්ම ධර්මය ශ්‍රවණය කිරීමෙහි වටිනාකම හා අගය කෙතරම්ද යන්න අවබෝධ කරගත හැකිය. එසේම බුදුසමය ශ්‍රද්ධාවන්තයා හැඳින්වීමට භාවිත කරනුයේ “දස්සනකාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්ඡති” යනුවෙනි. එනම් සද්ධර්මය අසන්නට කැමති තැනැත්තා ශ්‍රද්ධාවන්තයා බවයි. ශ්‍රද්ධාවන්තයා ධර්මය ශ්‍රවණය කිරීමේ දී ධර්ම දේශකවරයා පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් ඇති කර ගනී. එය හොඳින් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍යම අංගයකි. වර්තමානයේ ධර්මදේශකයන් කෙරෙහි එවන් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් බෞද්ධයන් තුළ පවතීද යන්න ගැටලුවකි.
ධර්මය ශ්‍රවණය කිරීම පිළිබඳ අංගුත්තර නිකායේ සීති වග්ගයේ දැක්වෙන මෙම අදහස් බෞද්ධ සමාජය තුළට ලබා දිය යුතුමය. එහි ආවරණ සූත්‍රයෙන් දැක්වෙන පරිදි කරුණු හයකින් සමන්විත පුද්ගලයා කොතෙක් ධර්මය ශ්‍රවණය කළ ද නියම මාර්ගයට පැමිණීමට නොහැකි වෙයි. ඒවානම් කර්මාවරණයෙන් යුක්ත වීම, ක්ලේශාවරණයෙන් යුක්ත වීම, විපාකාවරණයෙන් යුක්ත වීම, ශ්‍රද්ධාව නොමැති බව, කුසල් කිරීමට අකැමැති බව, දුබල නුවණ යන කරුණු හයයි. එසේම අංගුත්තර නිකායෙහි සීති වග්ගයෙහිම සුස්සූසති සූත්‍රයෙහි කරුණු හයකින් සමන්විත පුද්ගලයා කොතෙක් ධර්මය ශ්‍රවණය කළ ද යහපත් මාර්ගයට පැමිණීමට නොහැකි බව පෙන්වා දෙයි. ධර්මය විනය දේශනා කරන අවස්ථාවේ සාවධානව නොඇසීම, මනා ලෙස නොඇසීම, සිත යොමු නොකිරීම, නිරර්ථක දෙය ගැනීම, අර්ථවත් දෙයෙහි නොඇලීම, අනුලෝමික ඉවසීමෙන් බැහැරවීම එම කරුණු හයයි.
මේ අනුව අවසාන වශයෙන් බෞද්ධයාගෙන් ඉල්ලා සිටිනුයේ තමා ධර්මය ශ්‍රවණය කරනවාද එසේත් නැතිනම් බණ අසනවාද යන්න තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙසයි. එහිදී බෞද්ධයා තම ස්වභාවය තේරුම් ගෙන බණ ඇසීමෙන් ඔබ්බට ගොස් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා යොමු විය යුතුව පවතී. ඒ සඳහා මෙම ලිපියෙහි දැක්වූ කරුණු කිහිපය පූර්විකාවක් ලෙස සලකමි. ඒ අනුව ක්‍රියා කොට හොඳින් ධර්මය ශ්‍රවණය කොට ධර්මය අවබෝධ කොටගෙන දෙලොවම දියුණුව සලසා ගැනීමට තෙරුවන් සරණින් බෞද්ධයාට ශක්තිය ධෛර්යය මෙන්ම අවබෝධය ද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X