සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

රාගය ගින්නකි ජීවිතය වනසනා

තලවතුගොඩ, සංඝමිත්තාරාම භාවනා මධ්‍යස්ථානයේ 
වැලිවේරියේ ගෝතමී මෑණියන් විසිනි

මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මනුෂ්‍යයන් ද ඇතුළුව සියලුම සත්ත්වයන් දීර්ඝ කාලයක් සසරෙහි දුක්විඳ තිබේ. එය පැහැදිලි කළේ, අස්සු සූත්‍රයේ “දීඝරත්තං වො භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං” යනුවෙනි. දීර්ඝ වූ පැමිණි සසර ගමනේ දී මෙන්ම මෙම ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට සැබෑ හේතුව විමසා බලන්න. නුවණින් විමසා බලන්න. මෙම රාගය නම් වූ ආලය නිසා නොවේද? ආලය, ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස ආදී මේවායින් තොරව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඔබ විසින් සිතින් ප්‍රශ්න කරනු ඇත. ඔබට “නැතුව බැරි” යැයි ඔබ විසින් පවසන ආලය, ඇලීම, ආදරය නිසාම කොපමණ හඬා තිබේද? කොපමණ කඳුළු සලා තිබේද? සුසුම් හෙළමින් බලාගත් දෙසම බලාගෙන කල්ගත කොට තිබේද? මට සාපිපාසාවක්, බඩගින්නක් දැනෙන්නේ නැතැයි පවසමින් කයටද සිතටද දුක් දෙමින් හඬා වැටී තිබේද? මෙය රාගයේ හෙවත් ආලය නම් වූ ඇලීමෙහි ප්‍රති විපාකයන්ය.
එමෙන්ම රාගය නම් වූ කාම ආශාවෙන් යුතු ආලය හෝ ඇලීම බැඳීම නිසා ලබන වේදනාව කොපමණද? වරෙක තාවකාලික සුවයක් දැනුනද, රාගයෙන් මත්ව, රාගයෙන් අන්ධව ක්‍රියා කිරීම නිසා තමාටත් අන් අයටත්, පරිසරයටත්, මිනිස්කමටත් සිදුවූ විපත නම් කෙසේ, කවර ආකාරයකින් සඳහන් කරන්නද? ලෝකයේ පැවැත්ම සිදුවන්නේ රාගය සමඟිනි. ලෝකය පවතින්නේ රාගය නිසා පිළිස්සෙමින් සහ අපමණ වූ දුක් දොම්නස්වලින් පිරී නම්, අඩුම තරමේ රාගයේ පාලනයක් ඇතිවීම හෝ රාගයේ පාලනයක් ඇති කිරීම අවශ්‍යයය.
ලොව පැවැත්මේ දී රාගයෙන් සිදුවන විනාශය අවම කර ගැනීමට හෝ තරමක් නිදහස්වීමට හෝ බුදු දහමේ ශික්ෂා පදයක් පෙන්වා දී ඇත. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඔබට ලබාදී ඇති නාමය නම් උපාසක, උපාසිකා නම් වේ. ඔබ විසින් ආරක්ෂා කළ යුතු සීලය වන්නේ පඤ්ච ශීලයයි. මේ බව පළමු වැනි මහානාම සූත්‍රයේ සඳහන් වේ. මෙම පඤ්ච ශීල ප්‍රතිපදාවෙහි තුන්වෙනි ශික්ෂා පදය වන්නේ කාමේසුමිච්ඡාචාරා වේරමණී ශික්ඛා පදං සමාධියාමි නමිනි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නම් වූ සික්ෂා පදය සමාදන් වෙමි නම් අදහස එහි ගැබ්වේ. විවාහක ස්වාමි පුරුෂයෙක් හෝ ස්වාමි දියණියක් විසින් ඔවුන් නොවන්නන්ගේ බාහිර කාමයන්ගේ හැසිරීම නම් කාමය වරදවා හැසිරීමයි. මෙසේ කාමය වරදවා හැසිරීම රාගය තමා කෙරේත් අන්‍යයන් කෙරේත්, පරිසරය කෙරේත් විනාශය පිණිස බලපවත්වන්නට පටන් ගැනීමයි. පළමු කොට තමා කෙරෙහිම ඇති වන්නා වූ අධ්‍යාත්මික පිරිහීමකි. විනාශයකි. පරිසරය නම් මිනිස් ප්‍රජාවගේ විනාශය හා පිරිහීම පිණිස හේතු වන්නකි.
රාගය පාලනයකින් තොරවීමෙන් කාමයන්හි වරදවා හැසිරීම නිසා පවුල් පරිසරය නොසන්සුන් වෙයි. ඔවුනොවුන් කෙරෙහි විශ්වාසය හා අවංකත්වය ගිලිහී යාම නිසා රණ්ඩු දබර, අමනාප සහ ජීවිත විනාශයන්ද සිදුවීමට අවස්ථාව සැලසෙයි. දරුවන් අනාථ වෙයි. භෝග විනාශයට පැමිණෙයි. බොහෝ දෙනාගේ අවඥාවට ලක්වෙයි.
රාගාදී සිතිවිලි බලවත් වීමෙන් යම් යම් අසංවර පුද්ගලයින් විසින් මව්වරුන්ට, දියණිවරුන්ට කරන්නාවූ කරදර හා හිරිහැර ගැන සිතා බලන්න. ගෘහස්ථ ජීවිතයක් ගත කරන ඕනෑම අයෙකුට යහපත් වූ විවාහ ජීවිතයක් ගත කරන ආකාරය බුදු දහමින් පෙන්වා දී ඇත. සංවාස සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ “දේවෝ දේවියා සද්ධිං සංවසති” දෙවියෙක් විසින් දිව්‍යාංගනාවක් සමඟ ගත කරන්නාක් මෙන් පවුල් ජීවිතය ගත කරන ලෙසය. එහිදී ස්වාමි දියණියට සහ ස්වාමි පුත්‍රයාට ආරාධනා කරන්නේ එක හා සමානවම දෙදෙනා කෙරෙහි ශ්‍රද්ධා, ශීල, චාග, ප්‍රඥා නම් ගුණ සම්පත්තිහු දියුණු කර ගන්නා ලෙසය. මෙම ගුණ ධර්ම දියුණු වන විට රාගාදී කෙලෙස්වලට පාලනයකින් තොරව අසංවරව නැගී සිටීමට අවස්ථාවක් නොලැබේ. පවුල් පරිසරයෙහි දෙවියන්, දිව්‍යාංගනාවන් බඳු ස්වාමි භාර්යාවන් සහ බුදු අම්මලා, බුදු තාත්තලා වැනි දෙමව්පියන් බිහිවන්නේ එවිටය. සමහර පුද්ගලයෝ සතුන් මෙන් හැසිරෙති. තිරිසන් සත්වයන්ට ලජ්ජාවක්, බියක් හෝ ශික්ෂණයක් නැත. උසස් මනසක් ඇතිව සිතන්නට පුරුදු කළ මනුෂ්‍යයන් එසේ නොවිය යුතු ය.
ද්වේෂය ද බලවත් ක්ලේෂයකි. ද්වේශය හෙවත් තරහව පුද්ගලයකුගේ සිතට පැමිණි කල හොඳ නරක නොදකියි. “කුද්ධෝ අත්ථං න ජානාති” කිපුණු තැනැත්තෝ යහපත නොදකී” යනුවෙන් පැවසුවේ එබැවිනි. දෙව්දත්, සුප්පබුද්ධ රජ, මාගන්දියා වැනි ගිහි පැවිදි අයද බුදු රදුන් වැඩ සිටි දවසම ද්වේෂය නිසා බලවත් ලෙස පිරිහිණි. “අංගුත්තර නිකායේ කෝදන සූත්‍රයේ” ද්වේෂයේ හෝ ක්‍රෝධයේ ආදීනව පිළිබඳ සඳහන් කොට ඇති අර්ථ කිහිපයක් මෙසේ ය.
“කෝධනෝ දුබ්බණ්ණෝ හෝති 
අථෝ දුක්ඛම්පි සේති සෝ 
අථෝ අත්ථං ගහෙත්වාන 
අනත්ථං අධිපජ්ජති”

“කිපෙන සුළු වූයේ දුර්වර්ණ වෙයි. මේ නිසාම දුකසේ නිදන්නේ ය. අර්ථය අනර්ථය ලෙසද වැරදි දේ අර්ථවත් දේ ලෙසද සිතයි.”
කුද්ධෝහි පිතරං හන්ති 
කුද්ධෝ භන්ති සමාතරං 
කුද්ධෝහි බ්‍රාහ්මණං හන්ති 
හන්ති කුද්ධෝ පුථුජ්ජනං”

“කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ පැවිදි උතුමන් නසයි. කිපියේ පුහුදුන් අය හෙවත් සාමාන්‍ය වැසියෝද නසයි.”
ද්වේෂය, රාගයට වඩා ඉක්මන්ය. ද්වේෂය බලවත් වූ විට රාගයටත් වඩා බලවත් විපත් තමාට මෙන්ම අනුන්ට ද කරයි. ද්වේෂය පාලනය කොට නැති කිරීමට නම් මෛත්‍රීය නිරන්තරයෙන් පුරුදු කළ යුතු ය. මෛත්‍රිය බලවත් කුශලයකි. ද්වේශයට පත්වූ තැනැත්තා ජීවිත නසන අතර මෛත්‍රී පුද්ගලයා ජීවිත රකී. සියලු සතුන්ට කරුණා, මෛත්‍රිය දක්වයි. ද්වේෂයෙන් යුතු පුද්ගලයා විසින් සුවඳ විලවුන් ආලේප කොට වටිනා ඇඳුමින් සහ ආභරණවලින් සැරසුනද දුර්වර්ණය. නපුරුය, අප්‍රසන්නය, මෛත්‍රී තැනැත්තා චාම් වුවද දහස් ගණන් වටිනා ඇඳුමින් පැළඳුමින් නොසැරසුනේද ඉතාමත් ප්‍රසන්නය. පින්බරය. සත්පුරුෂ තැනත්තෝ ද්වේෂ සහගත පුද්ගලයාගෙන් ඈත්වන අතර මෛත්‍රී සහගත පුද්ගලයා වෙතට සමීප වෙයි.
මෝහය නම් මුලාවයි. මෙලොව ඇති සියලුම සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන්වල ඇති අනිච්ච, දුක්ඛ, අනාත්ම ස්වභාවය තේරුම් නොගත්තේ එම වස්තූන් වෙනස් නොවන සේ සිතා සිතින් අල්ලාගෙන තෘෂ්ණාවෙන් අකුසල් රැස්කර ගනී. එම පණ ඇති හෝ පණ නැති වස්තු දිරායන විට, වෙනස්වන විට, අත්හැරෙන විට, බලවත් සේ දුකට පත්වෙයි. මේ නිසා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් දුහුවිලි නැතිවීම මංගල කරුණකි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X