සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

හය හතර දැන ගනිමු

අපේ සිංහල ජනවහරේ 'හය හතර' නොදන්නාකම පරිහානීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකේ. යම්කිසි දැනුමකින් තොරව පහත් අන්දමේ වැඩකටයුතු සිදුකරන යම් යම් පුද්ගලයන්ද හය හතර නොදන්නවුන් ලෙස ප්‍රකාශ වෙතත්, බොහෝ දෙනෙක්‌ මෙහි අරුත දැන සිටීදැයි සැක සහිතය. කෙසේ වෙතත් මෙය නිවැරැදිව තේරුම් ගැනීම වැදගත් වේ. හය යනු දිව්‍ය ලෝක හයයි. හතර යනු අපාය හතරයි. 

හොඳ වැඩ හෙවත් යහපත් ක්‍රියා ලෙස සැලකෙන පුණ්‍යකර්ම සිදුකරන පුද්ගලයන් දිව්‍ය ලෝක හයෙන් එකක උපදින අතර නරක ක්‍රියා සේ සැලකෙන පාප කර්ම සිදුකරන පුද්ගලයන් අපාය සතරෙන් එකක උපදින බවත් දහමේ ඉගැන්වේ. මේ අනුව දිව්‍ය ලෝක හය සහ සතර අපාය පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක්‌ මෙතැන් සිට සිදුවේ.

චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව හෙවත් දිව්‍යලෝක හයයි. මේවායේ නාමයන් ඒ ඒ ලෝකවල ස්‌වභාවයන් හඟවයි. එකින් එක වෙන වෙනම ගෙන එම ලෝකවල ස්‌වභාවය විමසා බලමු.

1. චාතුම්මහා රාජිකය 

මෙයින් රාජ්‍ය සතරක්‌ ගැන කියෑවෙයි. සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන ධෘතරාෂ්ට, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන රජවරු සතර දෙනාගේ රාජ්‍ය සතර - චාතුර් - මහා - රාජිකය නම් වේ. මෙම රජවරුන් හතර දෙනාට බැතිමත්ව ජීවත්වන දේවතාවන් වාසය කරන්නේ චාතුම්මහා රාජිකය නම් දෙව් ලොවයි. මහාමේරු පර්වතයෙහි පස්‌වැනි ආලින්දය මෙම දෙව් ලොව සඳහා වෙන්වී ඇත.

2. තාවතිංසය

මඝමානවක නම් චරිතයක්‌ බෝසත් සිරිතට සම්බන්ධව පවතී. හෙතෙම එක්‌ ආත්මභවයක මිතුරන් තිස්‌තුන් දෙනෙක්‌ සමග මහා ශ්‍රමදානයක්‌ පවත්වා නිවාස රාශියක්‌ සහිත ග්‍රාමයක්‌ ඉදිකළේය. ඔවුන් හදන හදන නිවස එක්‌ එක්‌ අය විසින් අයිති කර ගත්හ. එහෙත් මඝමානවකයා ඇතුළු පිරිස නොකිපී නොසැලී ඉවසීමෙන් තව තවත් ස්‌ථාන පිරිසිදු කර ගනිමින් නිවාස ඉදිකළේය. එම ඉවසිලිමත් සේවය නිසා අලුත් ගම්මානයක්‌ බිහිවිය. මෙම කුසල කර්මයෙහි බලයෙන් මඝමානවක සහ පිරිස දිව්‍ය සම්පත් ලැබූ බව සඳහන් වේ. මඝමානවක සක්‌දෙව් රජව උපත ලැබූ බවත්, එම තෙතිස්‌ දෙනා යම් තැනක උපන්නේද එම ස්‌ථානය තාවසිංහ හෙවත් තව්තිසාව නම් විය. මහාමේරු පර්වතය මුදුනට සමව සිටි අහසෙහි මෙම දිව්‍ය ලෝකය පිහිටා තිබේ. එහි මධ්‍යයෙහි ශ්‍රක භවනය පිහිටා ඇත.

3. යාමය 

යම්කිසි දේවතාවෙක්‌ යම් කාලයක්‌ දුකින් තොරව ජීවත්වන්නේද, ඔවුන් සැලකෙන්නේ යාමයන් ලෙසයි. යාමයන් වෙසෙන දෙව් ලොව යාමය ලෙස සැලකෙන අතර තව්තිසා දෙව්ලොව සිට යොදුන් හතළිස්‌ දොදාහක්‌ දුරින් යාම දෙව්ලොව පිහිටා තිබේ.

4. තුසිතය

තමන් ලැබූ සම්පත්තියෙන් ඔද වැඩී ප්‍රීතියට පත්ව සතුටුවන දෙව් පිරිසක්‌ සිටින තැන යන අර්ථයෙන් තුසිත යන නාමය ලැබී ඇත. යාම දෙව්ලොව සිට යොදුන් දාහත් ලක්‌ෂ අසූඅට දහස්‌ අටසීයක්‌ දුරින් තුසිත දෙව්ලොව පිහිටා තිබේ.

5. නිම්මාණරතී

නිම්මාන හෙවත් නිර්මාණ යනු යමක්‌ නිමැවීමයි. රතිය යනු ඇල්මයි, හෙවත් ඇලීමයි. තමන් උදෙසා නිර්මාණය වූ සම්පත්වලට ඇලීමෙන් වාසයකරන දිව්‍ය සමූහයා වෙසෙන ස්‌ථානය නිම්මාණ රතියයි. තුසිත දෙව්ලොව සිට යොදුන් එකොලොස්‌ ලක්‌ෂ තිස්‌පන් දහස්‌ දෙසීයක්‌ දුරින් නිම්මාන රතිය පිහිටා ඇත.

6. පරනිම්මිත වසවත්තී

අනුන් විසින් නිමවන ලද අර්ථය පරිනිම්මිත යන්නෙන් ලැබේ. යම්කිසි දෙවියෙක්‌ අනුන්ගේ දිව්‍ය සම්පත් තමන් අතට ගෙන සැප විඳී නම් ඔවුන් පරනිම්මිත දෙව්වරුය. ඔවුන් වසන තැන වසවස්‌ති නම් වේ. පරනිම්මිත වසවත්තී නම්වූ මෙම දිව්‍ය ලෝකය නිම්මාණ රතියේ සිට යොදුන් දාහතර ලක්‌ෂ අසූදහස්‌ හයසීයක්‌ දුරින් පිහිටා තිබේ.

කුසල් කරන්නෝ මෙම සදිව්‍ය ලෝකවල හෝ මිනිස්‌ ලොව හෝ කාමවචර සුගති ලෝක නමින් හැඳින්වෙන යම් තැනක උපත ලබති. එහෙත් අකුසල් රැස්‌ කරන්නෝ මරණින් මතු උපත ලබන අපාය සතරක්‌ ඇත. එනම් නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන ස්‌ථානයි.

නරකය 

මෙම අපාය සංජීව, කාලසූත්‍ර, සංඝාත රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනුවෙන් ස්‌ථාන අටකට බෙදා ඇත. මේවාටද පරිවාර නරක 16 ක්‌ ඇති අතර සියල්ල එකසිය තිස්‌ හයකි. ලෝභ, දොaෂ, මෝහ, යන අකුසල මූලයන් හා බැඳී සතුන් මැරීම සොරකම් කිරීම ආදී පාපයන් සිදුකරන පුද්ගලයන්ද, ක්‍රෝධයෙන් හා වෛරයෙන් යුද්ධ කරන්නෝද මරණින් පසු උපදින්නේ සංජීව නරකයෙහිය. මව්පියන්ට, ගුරුවරුන්ට පූජක උතුමන්ට දුගී මගී යාචකාදීන්ට, බොරු කරන්නෝද (හිංසා කිරීම් බැන වැදීම් ආදී) සිදුකරන්නෝද මරණින් මතු උපදින්නේ කාලසූත්‍ර නරකයෙහිය.

අතින් පයින් දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන්නෝද සත්ව හිංසා කරන්නෝද සංඝාත නරකයෙහි උපදී. බොරු සාක්‌ෂී කීම, හොර වෙළ¹ම් (කූට වෙළ\ම්) කිරීම් ආදී වැරැදි කරන්නෝ රෞරව නරකයෙහි උපදිති.

තෙරුවන් සතු වස්‌තූන් සොරකම් කිරීම සඟසතු දේපල භුක්‌ති විඳීම, පින් මුදල් ගසාකෑම, දුප්පතුන්ගේ දේ පැහැර ගැනීම ආදී පාපයන් සිදුකොට උපදින්නේ මහා රෞරව නම් වූ නරකයේය.

පරුෂ වචන කීම, ඡන්ද, ද්වේෂ සහ භය මෝහ යන සතර අගතියෙන් යුක්‌තවීම, පව් පින් විපාක නැත ආදී මිත්‍යා මත දැරීම තාප නම් වූ නරකයෙහි උපත ලැබීමට හේතුවේ. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුද්ධ ශරීරයෙහි ලේ සෙලවීම, සංඝභේදය යන ආනන්තරීය පාපකර්ම සිදුකළෝ සහ දාගැබ්, ප්‍රතිමා ආදී පූජනීය වස්‌තු නසන්නෝද උපත ලබන්නේ අවීචි මහා නිරයේය. දෙව්දත් තෙරුන් වහන්සේ අවීචිමහා නරකයේ දුක්‌ විඳින්නේ ඉහත සඳහන් ආනන්තරීය පාපකර්ම සිදුකිරීමෙනි.

තිරිසන් අපාය 

කාමයෙන් හා බියෙන් පමණක්‌ පීඩා විඳින තිරිසන් සතුන්ගේ උපත තිරිසන් අපාය ලෙස සැලකේ. මෝහයෙන් මුලාවී අකුසල් කරන බොහෝ සත්වයෝ උපත ලබන්නේ තිරිසන් භවයේය.

ප්‍රේත යෝනිය

ප්‍රේත යන්නෙන් අදහස්‌ වන්නේ සම්පූර්ණයෙන්ම සැපයෙන් තොර බවයි.

දන්දීමෙන් වැලකී සිටීම, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, දස අකුසල් සිදුකිරීම, අනුන්ගේ ලාභ වැලැක්‌වීම, මව්පියන් ඉදිරියේ බිලිබිය තොරවීම, අනුන්ට අක්‍රෝෂ පරිභව කිම, අල්ලස්‌ ගැනීම ආදී වැරැදි රැසක්‌ ප්‍රේත ලෝකයේ ඉපදීමට හේතු වේ. සා පිපාසා දෙකින් නිතර පෙළෙන ප්‍රේතයෝ කෙළ, සොටු, මල ආදියෙන් පමණක්‌ ජීවත් වෙති.

අසුර යෝනිය

අසුරයෝ ඉසුරු මදයන් මත්ව වෙසෙති. සුර නම් දෙවියන්ය. දෙවියන්ට සතුරුවූ බැවින් මොවුන් අසුර නම් වේ. කටින් එළියට නෙරා උඩට හෝ යටට නැමුණු දත් පිහිටා ඇත. අසුරයන් කොටස්‌ දෙකකි. එනම් ෙච්පචිත්ති සහ කාලකඤ්ජ යනුවෙනි. කාලකඤ්ඡ අසුරයන් දුක්‌ විඳින නමුදු වේපචිත්ති අසුරයන් දෙවියන් සමානව සැප විඳිති.

මේ අයුරින් විස්‌තර වන හය හතර තේරුම්ගෙන අපායාදී දුක්‌වලින් අතමිදී දෙව් මිනිස්‌ දෙගතියේ සැප ලබන්නට අදිටන් කර ගැනීම බුද්ධිමත් මානවයන්ගේ වගකීමකි. එසේම දුකින් පිරුණු සසරේ දෙව් මිනිස්‌ සැප තාවකාලික වන බැවින් ඒවාටද ගිජු නොවී නිවන් දැකීමට අදාළ ප්‍රඥාවේ වර්ධනයද අත්‍යවශ්‍ය වේ.
වික්‍රමසිංහ අතපත්තු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X