සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

මාරයාගේ බිලි කොක්‌ක

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

'සෙය්‍යථාපි භික්‌ඛවේ බාළිසිකො ආමිසගතං බළිසං ගම්බීරෙ උදකරහදේ පක්‌පෙය, තමේනං අඤ්ඤතරො ආමිසචක්‌ඛු මච්ඡො ගිලෙයය( ඒවං හි සො භික්‌ඛවෙ වච්ඡෝ ගිලිතබලිසො බාළිසිකස්‌ස අනයං ආපන්නෝ ව්‍යසනං ආපන්නො යථාකාමකරණීයො බාළිසිකස්‌ස. ඒවමේව ඛො භික්‌ඛවෙ ඡයිමෙ බළිසා ලෝකස්‌මිං අනයාය සත්තානං, ව්‍යාබාධාය'

'මහණෙනි, යම් සේ බිලී වැද්දෙක්‌ ඇම සහිත බිලි කටුව ගැඹුරු දිය විලක බහලන්නේද, ඒ මේ බිලි කටුවෙහි ඇමට යොමුවූ ඇස්‌ ඇති එක්‌තරා මාළුවෙක්‌ ගලින්නේය. මහණෙනි, මෙසේ ඒ මාළුවා බිලීවැද්දාගේ ගිලගත් බිලිකටුව නිසා දුකට පැමිණියේ විපතට පැමිණියේ බිදී වැද්දා විසින් කැමැති යමක්‌ කළ හැකි වන්නේය. මහණෙනි, ඒ ආකාරයෙන්ම ලොව සතුන්ට දුක්‌ පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස බිලී සයක්‌ වෙයි.'

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ සඳහන් බාලිසිකෝපම සූත්‍රයෙහි අඩංගු ධර්ම කොට්‌ඨාසයකුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මහත්වූ කරුණාවෙන් මෙම දහම් අවවාදය කරන සේක.

'මහණෙනි, ඉෂ්ට වූ කාන්තවූ මන වඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූප ඇත. ඉදින් භික්‌ෂුව (භික්‌ෂු-භික්‌ෂුණී, උපාසක- උපාසිකා) එහි සතුටුවෙයිද ගුණ කියාද, එහි සිත ඔසවා තබයිද, මහණෙනි, මේ මහණ තෙමේ මරුගේ බිලිකටුව ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මහණෙනි, කනින් දත යුතු ශබ්ද ඇත. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කනින් ලැබිය යුතු ශබ්ද ඇත. එහි සතුටුවෙයිද, ගුණ කියාද,එහි සිත ඔසවා තබාද, මේ මහණ මරුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මහණෙනි, ඉෂ්ට වූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු නාසයෙන් ලැබිය යුතු ආග්‍රහණ ඇත. එහි සතුටුවෙයිද, ගුණ කියාද සිත ඔසවා තබයිද මේ මහණ මරුහුගේ බිලිය ගිල ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු දිවෙන්දත යුතු රස ඇත. මහණ, එහි සතුටුවෙයිද, ගුණ කියාද, සිත ඔසවා තබයිද, ඒ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්තවූ මනවඩන ප්‍රියස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් ලැබිය යුතු ස්‌පර්ශ ඇත. ඉදින් මහණ, එහි සතුටුවෙයිද, ගුණ කියාද, සිත ඔසවා තබයිද මෙ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. ඉෂ්ටවූ කාන්ත වූ මනවඩන, ප්‍රිය ස්‌වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු අරමුණු, සිතුවිලි ඇත. ඉදින් මහණ එහි සතුටුවෙයිද, ගුණ කියාද සිත ඔසවා තබයිද, මේ මහණ මරුහුගේ බිලිය ගිලගෙන ඇත්තේ යෑයි කියනු ලැබේ. මේ නිසාම දුකට පැමිණියේ විපතට පැමිණියේ මාරයා විසින් කැමැති යමක්‌ කළ හැක්‌කේ යෑයි කියනු ලැබේ.

ඉහත සඳහන් දහම් අවවාදය අපට ගළපාගෙන විවරණය කර ගනිමු. මාරයා විසින් බිලී කොපුවක්‌ හෝ බිලී කටුවක්‌ දමා ඇත. මහා ජලාශයක වෙසෙන මාළුවන් මෙන් අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ ගොදුරු සොයමින් ආහාර සොයමින් වෙසෙති. රස කාමයෙන් පීඩිතව, රස කාමයට ගිජුව හැසිරෙන මෙම පෘථග්ජනයා හෙවත් කාමයට ලෝල පුද්ගලයා මනාවූ සිහියෙන් තොරව (සතර සතිපට්‌ඨානයෙන් බැහැරව) මරුහුගේ බිලි කටුවෙහි අරමුණන ලද ඇම බදු අරමුණුවලට හසුවෙති. එනම් ඇම ගිලින්නට ගොස්‌ බිලි කටුවෙහි ඇමුණුනා මෙනි. බිලි වැද්දා විසින් මාළුවාට කැමැති යමක්‌ කළ හැකි මෙන්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, සිතුවිලි නම් කාම රසයට හෙවත් තෘෂ්ණාවට තදින් බැඳුණුq පුද්ගලයාට මාරයා විසින් දුකට, විපත්වලට ඇද දමනු ලැබේ.

පරමාර්ථ ධර්මය පිළිබඳව පුද්ගලයා විසින් මනාවූ අවබෝධයක්‌ ඇතිකර ගැනීම අවශ්‍යය. කෙටියෙන් සඳහන් කළොත් මෙසේය 'යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධ ධම්මං' යමක්‌ හටගන්නා සුළුද ඒ හැම නැසෙන සුළුය' යනුවෙනි.මෙහි යමක්‌ නම්වූ වදනින් අර්තවත් වන්නේ සියලුම සංස්‌කාරයෝය.හෙවත් සංඛත ධර්මයෝය. එනම්, පඨවි (තදබව), අපෝ (වැගිරෙන බව), තේජෝ (උෂ්ණය), වායෝ (සුළඟ) නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයයි. එවිට 'මම' කියා හඳුන්වා ගන්නා මෙම කය හෙවත් ශරීර පුඤ්ජයද හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවකි. ඔබ, ඔවුහු ආදී ලෙසින් හඳුන්වන අන් සියලු පුද්ගලයෝද එම පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් සමන්නාගත සංඛතයෝය. එම සවිඤ්ඤාණික වස්‌තූන් මෙන්ම ගේ-දොර, යාන-වාහන, ඇඳුම්-පැළඳුම් ආදී අවිඤ්ඤාණ වස්‌තුන්ද සංඛතයෝය. මෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සවිඤ්ඤාණික අවිඤ්ඤාණික සියල්ලම හටගෙන (උප්පාද) පැවතෙමින් හෙවත් වෙනස්‌වෙමින් (ඨිති) නැතිව යයි (භංග). මේ නිසා ඇසෙන් සංකේතවත් කරන චක්‌ඛු ප්‍රසාදයද, රූපයද, චක්‌ඛු විඤ්ඤාණයද (ඇස මුල්කරගෙන සකස්‌වන සිත) ස්‌පර්ශද විඳීම්ද හැටගෙන විසිරී නැතිව යයි. එනම් අනිච්ච, දුක්‌ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත්ය. යමක්‌ අනිත්‍යයද එය දුකකි. එනම් අශ්‍රැතවත් සිත්වලට දුක දෙන්නකි. දුක කැඳවන්නකි. යමක්‌ නිත්‍ය නොවේ නම් දුක්‌ සහගත නම්, වෙනස්‌වීමට ගොදුරු වන්නේ නම්, එය මගේය, මම වෙමි, මගේ ආත්මය කියා ගත නොහැකිය. සැපනොවන මෙන්ම, තමාට පාලනයක්‌ නැති කිසිවක්‌ මගේ කියා තම යටතට ගත නොහැකිය. මේ අනුව 'හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජධති', එනම් 'හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් යමක්‌වේද, හේතු ප්‍රත්‍ය විසිරී නැතිව යන විට එම හටගත් දෙයද නැතිව යයි' නම් වූ ධර්මතාවය අවබෝධයෙන්ම දැකිය යුතුය.

මෙම අවබෝධය ලබන පැවිදි හෝ ගෘහස්‌ථ ජීවිත ගතකරන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව විසින් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුවම සම්මුතියෙහි පිහිටා ඉඳුරන් පැවැත්මටත්, ආරම්මණ පරිහරණයටත් දක්‌ෂයෙක්‌ වෙයි. 

'සුතවා අරියසාවකො අරියානං දස්‌සාවි, ආර්ය ධම්මස්‌ස කෝවිදොa අරියධම්මෙ සුවිනීතො' යනුවෙන් විස්‌තර කළ ආකාරයෙන්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් දැකගෙන ආර්ය ධර්මය අනුගමනය කිරීමෙහි එනම් පරමාර්ථ ධර්මයෙහි දක්‌ෂයෙක්‌ වෙයි. ආර්ය ධර්මයෙහි සුවිනීත අයෙක්‌ බවට පත්වෙයි. මේ නිසා පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සම්මුතියෙහි කටයුතු කිරීමට තරම් වඩනා ලද සිතක්‌ සහ පුරුදු කරන ලද (භාවිත බහුලීකත) චරිතයකින් යුතු ශ්‍රාවකයෙක්‌ හෝ ශ්‍රාවිකාවක්‌ බවට පත්වෙයි. මෙහිදී මෙම භාවිත සිත් ඇති සතිමන්ත වූ ශ්‍රාවිකාව හෝ ශ්‍රාවිකාව විසින් ඇසින් රූප, කනින් ශබ්ද, නාසයෙන් ආඝ්‍රහණ, දිවෙන් රස, කයින් ස්‌පර්ශ, සිතෙන් සිතුවිලි පැවැත්වුවද, එහි සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහියෙහිම පිහිටා කටයුතු කරයි. කුඩා අණුකුඩා වරදෙහි පවා බිය දක්‌නා සුලු වූ සීලයෙහිම පිහිටා කටයුතු කරයි. සම්මුතියෙහි එනම් ලෝක පැවැත්මෙහි සහ ලෝක ව්‍යවහාරයෙහි මමය, මාගේය කියා ආරම්මණ පරිහරණ කළත්, එම කිසිදු අරමුණක්‌ උපාදානයට නොගනී. එනම් ඉටුවඩන, මනවඩන ආදී ලෙසින් පඤ්චකාම ගුණයන්ගෙන් යුතුව මගේය, මම වෙමි, මගේ ආත්මයයි සංස්‌කාර රැස්‌ කර නොගනී. සංස්‌කාරවල රැස්‌ නොවීම හේතුකොටගෙන විඤ්ඤාණයෙන් වෘද්ධියක්‌ නැත. මින් අදහස්‌ කරන්නේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මරුහුගේ බිලියේ ඇමට කිසිදු ආකාරයකින් හසු නොවන බවය. මරු විසින් බිලි කොක්‌කෙහි රුව නමැති ඇමක්‌, ඉටු වඩන මන වඩන, ප්‍රිය වූ කාමයෙන්,ඇලුම් කරන ශබ්ද,රස,ස්‌පර්ශ සිතුවිලි නම් වූ ඇම රුවාගෙන සිටියත් සතිමන්ත වූ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව එම ඇමවලට හසු නොවේ. එම ඇම ගිලින්නේ නොවේ. 

නිදසුන් මෙසේය, සතිමන්තවූ මෙම ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව පරමාර්ථ අවබෝධයෙන් යුතුවම, සම්මුතියෙහිදී ඉෂ්ට වූ රූපාදී අරමුණු ප්‍රිය වශයෙන් පරිහරණය කළද එහි උපාදානයට නොපැමිණේ. ප්‍රිය රුව ප්‍රිය ලෙස දකියි. එහෙත් ත්‍රලක්‌ෂණ ධර්මයට යටත් බවට දන්නා නුවණින් යුතුව එහි ඔසවා නොතබයි. ඉෂ්ට ශබ්දය ද ඉෂ්ට වූ ආඝ්‍රණයද, ඉෂ්ට වූ රසයද ඉෂ්ට වූ ස්‌පර්ශයද ඉෂ්ට යහපත් සිතුවිලිද ප්‍රිය වශයෙන් දකියි. හඳුනාගනියි. පරිහරණය කරයි. නමුත් ඒවායෙහි තෘෂ්ණාවෙන් නොඇලෙයි. නොබැඳෙයි. සිතෙහි මුලට නොගනියි. නිබ්බිදාව, විරාගය, නිරෝධය මැනවින් පුරුදු කරයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. ඇසින් දත යුතු රූප, කනින් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් දත යුතු පහස, සිතින් දත යුතු දහම් ඇත. මේවා ඉෂ්ට වූ කාන්තවූ මනවඩන ප්‍රිය ස්‌වරූප වූ කාමයෙහි යුත් ඇලුම් කටයුතු ලෙස අශ්‍රැතවත් සිත්වලට දැනුණත්, ශ්‍රැතවත් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ඒවායේ සතුටු නොවෙයි. කාම ගුණ නොගැලී සිටියි. මේ නිසා මරුගේ බිලිය නොගිලා එය බින්දේ යෑයි කියනු ලැබේ. මේ නිසාම දුකට නොපැමිණියේ විපතකට පත් නොවූයේ මරහු විසින් කැමැති පරිදි නොකළ හැක්‌කේ යෑයි කියනු ලැබේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X