සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය 
ශ්‍රී සාරානන්ද පිරිවනේ 
නියෝජ්‍ය පරිවෙනාධිපති 
ගලගෙදර රතනවංස හිමි

අප ජීවත් වන කාලය තුළ විවිධ දේ සිදු කිරීමට පෙළඹී සිටිමු. ජාති, ආගම්, කුල මල, ආදි විවිධ අංශයන් ඔස්සේ ඒවා විවිධ විෂම වනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ කුමන දේ කළද බුදු දහමට අනුව ඒ සියල්ලම කොටස් දෙකකින් යුක්ත වනු ඇත. කුසල් – අකුසල් , පින්, පව්, හොඳ – නරක ආදී වචන වලින් එය හැඳින්වීමට පුළුවන.
සත්වයා ගත් කල්හි උපන්දා පටන් මරණය දක්වා ගෙවන කෙටි කාලය තුළ පසිඳුරන් පෝෂණය කිරීම උදෙසා විවිධ කටයුතු සිදු කිරීමට හුරු පුරුදුව සිටිති. හුදකලාව මෙලොවට එන සත්වයා විවිධ සමාජ සම්බන්ධතා මත විවිධ පැතිකඩ නියෝජනය කරනු ඇත. බිලිඳෙකු ළමයෙකු, තරුණයෙකු, ස්වාමියෙකු, පියෙකු, සීයා කෙනෙකු ආදී එකම චරිතය පැති කඩ කිහිපයක් ඔස්සේ ඒ ඒ සීමාවන් තුළ පෙනී සිටිනු ඇත. ඒ අතර යුතුකම් හා වගකීම් තම තමන්ට ජීවත්ව සිටින කාලය තුළ පැවරෙනු ඇත. ඒවාටද හසු වෙමින් සත්වයා ජීවන චක්‍රය පදවන්නාහ.
උපන්දා පටන් මියෙන තුරාම සිදු කරන්නේ ණය ගෙවනවා විනා ගෙන යෑමට යමක් ඉතිරි කර ගැනීමක් නැත. උපන් සත්වයා කරන්නා වූ විවිධ කටයුතු දෙස බැලීමේදී ඒ බව මනාව පසක් වනු ඇත. අපට ජීවත් වීමට ඇත්තේ ටික කාලයකි. ජීවිතයේ විවිධ පැතිකඩයන් ඔස්සේ කාලය බෙදී යෑමේදී ආපසු හැරී බලන කල්හි මුළු ජීවිතය පුරාම සසර පුරුද්දට ණය ගෙව ගෙවා ජීවත් වූවා මිස සෑහීමකට පත් වීමට තරම් යමක් සිදුකරගෙන නොමැත.

මනුෂ්‍යයනට පරමායුෂ සියයක් වන්නේය. එයින් භාගයක් රාත්‍රියෙහි ගෙවී යන්නේය. එයිනුදු දෙභාගයක් බාල, මහලු, වයස් වන්නේය. අවශේෂ භාගයද රෝග පීඩා වියෝ දුක් මරණ සේවාදියෙන් ගෙවී යන්නේය. එසේ හෙයින් චඤ්චල වු රළ පතරක් මෙන් වසන සත්වයනට සැපතක් නම් කොයින්ද
වර්තමාන යුගය ගත් කල්හි සත්වයාගේ පරමායුෂ වර්ෂ හැට හැත්තෑවකට සීමා වී ඇත. එයිනුදු කාලය ඉහත පැතිකඩයන් ඔස්සේ විහිදී පැතිරී යන කල්හි ජීවිතය තුළ ඇති සැපත කුමක්ද කියා සිතට නැගෙනවාට කිසිදු සැකයක් නැත. මෙවැනි ඉතා සුළු කාලයක් ගත කරන සත්වයාට කුමන සැපතක්ද සම්මුති ලෝකය තුළ සත්වයා මායාවකට හසු වී ඇත. ප්‍රඥාව, නොදියුණුූ කමින් එම කෙටි කාලය සැපයක් සේ සිතා සිහින ලෝකයක ජීවත් වීමට පුහුදුන් සත්වයා පුරුදු වී සිටිති.
බුදු දහමේ තිබෙන ලක්ෂණ හඳුනා නොගන්නා බැවින් සත්වයා බොහෝ දුක්වලට පත් වෙති. නිවැරැදි ලෙස ශී‍්‍ර සද්ධර්මය වටහා ගන්නේනම් සත්වයින්ට බොහෝ කරදර බාධක වලින් වැළකී සිටීමට පුළුවන. සත්වයා සිදු කරන්නේ පංචස්කන්ධයක් දරාගෙන බහුරූ කෝලම්ය. සත්‍ය දැකීමට තරම් ප්‍රඥාවක් නොමැති වීම එයට හේතුවයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙහි දුක හඳුන්වන තැනදී මෙම ස්කන්ධ පහ දරා සිටීමත් දුකක් වශයෙන් දේශනා කළහ. නමුදු ශරීරය වෙනුවෙන් ණය ගෙවනවා විනා ගෙන යන දෙයක් නම් නොමැත. පැරණි සිංහල කාව්‍යයකින් කියන ලද ගැඹුරු අර්ථයක් තුළින් ඒ බව තේරුම් ගැනීමට අපට පුළුවන.
උපන්නාට මේ ලොව වැනෙනවා විනා 
හෙළ සිරිතට අඹුදරු රකිනවා විනා 
රූපේ අරන් පාපේ ගෙවනවා විනා 
ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා

උපන්නා වූ සත්වයා ශරීර කූඩුවක් දරාගෙන උදේ සවස වෙහෙසෙමින් රැකී රක්ෂා කරමින් වතුපිටි, දේපළ රැස් කරමින් අඹු දරුවන් රකිමින් ජීවත් වීම යනු ණය ගෙවීමක් නොවේද උදේ සවස වෙහෙසෙන්නේ පංච ඉන්ද්‍රියන් පෝෂණය කිරීමටත් ඒවා රැක ගැනීමටත්, ඒවා තුළින් මනස සංතර්පනය කිරීමටත්ය. නමුදු පුත්තා මත්ති ධනං මත්ථි යන ගාථා ධර්මයට අනුව අන්තිමට ගෙනියන දෙයක් නම් නැත. සියල්ලම මෙහිම දමා යනු ඇත. ශරීරයද තමනට අහිමි වනු ඇත. එසේනම් ජීවත්ව සිටි කාලය තුළ සිදු කර ඇත්තේ ණය ගෙවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
අප එම ණයෙන් නිදහස් විය යුත්තේ කෙසේද ඒ සඳහා බුදුන් අනුදැන වදාළ දහම් කරුණු මනසට ගත යුතුය. උදේ සවස පංචේන්ද්‍රියන්ම පිනවීමත්, වස්තු සම්පතම පොදි ගැසීමත් තුළ ණය කාරයෙකු වීමට අවකාශය ඇත. සසර දීර්ඝ බැවිනුත්, නිවන තබා සෝවාන් වීමවත් සත්වයා සිදු නොකර ගන්නා බව පැහැදිලි බැවිනුත්, “අද අද එයි මරු පින් කර ගන්නේ” කී ආකාරයට පින් දහම් වල නිරත විය යුතුය. උස් මනසක් ඇතිව උපන් සත්වයා එම මිනිසත් කමට ණයකාරයෙකු වීම අනුවණ කමකි.
උපන් සත්වයා මුළු ජීවිතයම වෙහෙස කොට වවිධ අපේක්ෂාවන් සිත්හි දරාගෙන ඒවා ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට වෙර දරති. මෙම සිද්ධාන්තය භවයක්, භවයක් පාසා කුමන ආත්මයක් ලැබුවද සිදු කිරීමට අවශ්‍ය වේ. එයට හේතුව ඉපදීමයි. ඉපදීම යනු තමන් ලබා ගත් ශරීර කූඩුවත් තමා වටා ගොඩනැගෙන බැඳීම් සමුදායත් ආරක්ෂා කිරීමටත්,පෝෂණය කිරීමටත් වෙර දැරීමකි. බුදුරදුන් දේශනා කළේ “නිබ්බානං පරමං සුඛං” නිවන උතුම්ම සැපත බවයි. නිවන් දකින තුරු සත්වයා සංසාර චක්‍රයට හසු වී ණයකාරයෙකු විලසින් ණය ගෙවනවා ඇත. අප උසස් මනසක් ලබා ඇති බැවින් තමනට, අනුනට,මෙලොවට පරලොවට ණයකාරයෙකු නොවිය යුතුය.
අප්පමාදෝ අමත පදං 
පමාදෝ මච්චුනෝ පදං 
අප්පමත්තාන මීයන්ති 
යේ පමත්තා යථා මතා

නොපමා වූවෝ නිවනටත්, පමා වූවෝ මරණයටත් පත් වන බව බුද්ධ දේශනයයි. ප්‍රමාදය යනු සසරටම ඇලී ගැලී ණයකාරයෙකු සේ ණය ගෙවීමයි. අප ජීවිතය ජීවත් කිරීමට මහඟු ප්‍රයත්නයක් දරන පිරිසකි. ඉපදුනාට පසු අකැමැත්තෙන් හෝ ශරීරය නඩත්තු කළ යුතුය. එම නඩත්තුව තුළ ණයකාරයෙකු නොවන අයුරින් ජීවත් වන අයුරු බුදුරදුන් විවිධ සූත්‍ර තුළින් දේශනා කළහ. ඒ සඳහා සිඟාලෝවාද ව්‍යග්ගපජ්ජ , පරාභව, මංගල, වසල, වැනි සූත්‍ර කියවීම වැදගත් වේ. එම සූත්‍ර තුළින් ණයකාරයකු නොවන අයුරින් ජීවත් වීමේ ක්‍රමවේදයන් පැහැදිලි කොට ඇත.
ඒ අනුව උසස් මනසක් ලබා උපන් අප සෑම දෙනෙක්ම ණයකාරයෙකු නොවී සසරට අවශ්‍ය පින් දහම් සිදු කොට ගැනීමත් ගුණ ගරුක ජීවිතයක් ඇති කර ගැනීමත් කළ යුතුය. ඒ සඳහා මිනිසත් භවය තරම් වටිනා ආත්මයක් තවත් නොමැත. සුළු කාලයකට සීමා වී ඇති අපේ ජීවිත කාලය තුළින් අද අදම කළ යුතු සමාජ වගකීමත් සසරට අවශ්‍ය පින්දහම්නුත් සිදු කරගත යුතුය. තමනටත් අනුනටත්, මෙලොවටත්, පරලොවටත්, වටිනාකමින් යුතු ජීවිතයක් ගොඩ නඟා ගනිමින් අණන සුඛය විදීමට අප සෑම කෙනෙක්ම වෙසෙසිය යුතුය. නිවන අරමුණු කොටගෙන යන ගමන් මාවතට ණයකාරයෙකු නොවීම ඉතා වැදගත් වේ. ඒ තුළින් උතුම් වූ නිවනට ළංවීම අප්‍රමාදව කළ හැකි බව මතක් කිරීමට කැමැත්තෙමි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X