සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

උපසම්පදාවේ ඇති ශාසනික වැදගත්කම

මහා විහාරවංශික ස්‍යාමෝපාලි
මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ 
නියෝජ්‍ය ලේඛකාධිකාරී, 
අස්ගිරි මහාවිහාර පරිවේණාධිපති, ශාස්ත්‍රපති, 
නාරම්පනාවේ ආනන්ද හිමි

බෞද්ධ සම්ප්‍රදාය තුළ ගිහිගෙයින් නික්ම නිර්වාණගාමී ප්‍රතිපදාවට පත්වන තැනැත්තා පැවිද්ද හා උපසම්පදාව ලැබිය යුතු ය. පැවිද්ද හෙවත් ‘පබ්බජ්ජාව යනු අගාරික ප්‍රතිපදාවෙන් මිදී අනගාරික ප්‍රතිපදාවට පත්වීමේ දී භික්ෂුත්වය ලැබීමට පෙර ඒ සඳහා කායික මානසික හැඩගැස්මක් ඇති කරගන්නා කාලයයි. සාමණේර පැවිද්ද මැනවින් ආරක්ෂා කළ පසු උපසම්පදා ශීලයෙහි පිහිටිය හැකිය.
මහනුවර රාජධානි සමය වන විට ආර්ථික, දේශපාලනික ආදී විවිධ හේතු නිසා ශාසනය පරිහානියට පත්ව තිබුණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර මාහිමියන්ගේ මහඟු උත්සාහයෙන් ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමත් සමඟ එම රජතුමාගේ ඉල්ලීම පරිදි සෑම වර්ෂයක ම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ සිට පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අතර මසක කාලය තුළ වාර්ෂිකව අස්ගිරි මල්වතු උභය මහා විහාරයෙහි මෙම උපසම්පදා විනය කර්මය සිදුකරනු ලැබේ. මේ වර්ෂයේ ද මෙම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් උභය මහා විහාරයෙහි උපසම්පදා විනය කර්ම ආරම්භ කෙරෙන බැවින් එහි ඇති ශාසනික වැදගත්කම විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
බෞද්ධ සම්ප්‍රදාය තුළ ගිහිගෙයින් නික්ම නිර්වාණගාමී ප්‍රතිපදාවට පත්වන තැනැත්තා පැවිද්ද හා උපසම්පදාව ලැබිය යුතු ය. පැවිද්ද හෙවත් ‘පබ්බජ්ජාව යනු අගාරික ප්‍රතිපදාවෙන් මිදී අනගාරික ප්‍රතිපදාවට පත්වීමේ දී භික්ෂුත්වය ලැබීමට පෙර ඒ සඳහා කායික මානසික හැඩගැස්මක් ඇති කරගන්නා කාලයයි. සාමණේර පැවිද්ද මැනවින් ආරක්ෂා කළ පසු උපසම්පදා ශීලයෙහි පිහිටිය හැකිය.
උප + සං + පද් ධාතු මූලයෙන් උපසම්පදාව යන වචනය නිපන්න වේ. එහි අදහස නිසි තැනට හෙවත් උසස් තැනට මනාව පත්වීම යන්නයි. එනම් සාමණේර භූමියෙන් උසස් තැනට පත්වීම යනුයි. සාමණේර සීලයෙන් උසස් සීලයට පත්වීම හෙවත් අධි සීලයට ඔසවා තැබීම මෙයින් අදහස් කෙරේ.
අධිශීලය යනු නිර්වාණගාමී ප්‍රතිපදාවට අතිශයින් හිතකර වූ ශීලයයි. මේ නිසාම පාලි අටුවාවෙහි ‘උපසම්පදාති නිප්ඵාදනා’ කුසලයන්ගේ නිපදවීම ‘අත්තනෝ සන්තානේ සම්පාදනාය’ සිතෙහි කුසල් උපදවා ගැනීම යනාදී ලෙස අර්ථ දක්වා ඇත. පරම නිෂ්ඨාව කරා යොමුවන භික්ෂුව කුසල් උපදවා ගැනීම සඳහා වීර්යය වැඩිය යුතු ය.
එනිසා ගිහිගෙයින් මිඳුණු තැනැත්තා පරම නිෂ්ඨාව කරා යොමුවන තුරු යම් කිසි ප්‍රතිපදාවක් ප්‍රගුණ කළ යුතු ය. මේ නිසා සාමණේර පැවිද්ද තුළ මූලික පුහුණුව ලැබිය යුතු වේ. මේ කාල සීමාව තුළ තමා තුළ ඇති ශික්ෂාපද ඛණ්ඩනය වුවහොත් නැවත පාරිශුද්ධියක් ඇතිකර ගනිමින් නියම භික්ෂූත්වයට පුහුණුවක් ලැබිය යුතු ය. පූර්ණ භික්ෂූත්වයට පමුණුවන ක්‍රම 08 කි.
01. එහි භික්ෂු උපසම්පදාව
02. සරණාගමන උපසම්පදාව
03. ඕවාද පටිග්ගහණ උපසම්පදාව
04. පඤ්හ ව්‍යාකරණ උපසම්පදාව
05. ගරු ධම්මපටිග්ගහන උපසම්පදාව
06. දුතේන උපසම්පදාව
07. අට්ඨවාචික උපසම්පදාව
08. ඤ්ත්තිචතුත්ථ කම්ම උපසම්පදාව
මෙයින් ගරු ධම්මපටිග්ගහන, දූතේන, අට්ඨවාචික යන උපසම්පදා ක්‍රම තුන භික්ෂුණින් අරභයා පනවන ලදී. මුලින් දැක්වූ අනෙක් උපසම්පදා ක්‍රම හතරම බුදුරදුන් වෙතින්ම ලැබිය යුතු ය. සංඝයා වෙතින් ලැබිය යුතු උපසම්පදාව ඤත්තිචතුත්ථි කම්ම උපසම්පදාවයි. වර්තමානයේ ශේෂව ඇත්තේ ද මෙම උපසම්පදා ක්‍රමය පමණි. සාමණේර පැවිද්ද තුළින් මනා පරිචයක් ලබා මෙම උපසම්පදාවට අවැසි මූලික කරුණු සපුරාගත් පසු අධිශීලයෙහි පිහිටවිය හැකිය. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේ නමක් සිටිය යුතු ය.
“උප්ජ්ඣායො මෙ භන්තෙ හොහි”
ස්වාමීනි, මට උපාධ්‍යාය වනු මැනවි යනුවෙන් ඉල්ලා සිටිනුයේ ඒ නිසයි. උපාධ්‍යාය ග්‍රහණය වූ පසු සුදුසු නුසුදුකම් විමසා බැලීමක් සිදු කළ යුතු ය. විසිවයස් සපුරා තිබීම, පා සිවුරු සපුරා තිබීම ඉතා වැදගත් වෙයි. තම භික්ෂූත්වය මැනවින් පවත්වාගෙන යාමට බාධා වන කුෂ්ට, ගඩු ආදී රෝගාබාධ තිබේදැයි විමසා බැලීම තුළින් අපේක්ෂා කරනුයේ කායික නිරෝගීතාව මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීම අතිශයින් වැදගත් නිසයි. විසිවයස් සපිරීම, මනුෂ්‍යයෙක් වීම, පුරුෂයෙක් වීම, විවාහ බන්ධනාදියෙන් මිදුනු කෙනෙක් වීම, ණයගැතියෙක් නොවීම, රාජභටයෙක් නොවීම, මව්පියන්ගෙන් අවසර ලබා තිබීම ආදිය මේ සඳහා මූලික සුදුසුකම් අතර වේ. මෙකී සුදුසුකම් සපුරාගත් පසු සංඝ රත්නය මධ්‍යයේ උපසම්පදාව ඇයද සිටිය යුතුයි.
“සංඝං භන්තෙ උපසම්පදං යාචාමි, උල්ලුම්පතුමං භන්තෙ සංඝා”
උපාධ්‍යායන් වහන්සේ ප්‍රමුඛ සංඝයාගෙන් උපසම්පදාව අයදින අතර තමා සිටින තැනින් ඉහළ හෙවත් සාමණේර භූමියෙන් ඉහළට ඔසවා තබන්නැයි ඉල්ලීමක් කරයි. අනතුරුව ඥත්තිය තබා තුන් විටක් භික්ෂූන්ගේ අනුමැතියට යටත්ව උපසම්පදාව ලබාදෙයි. මෙහි දී සාමණේර පැවිද්දේ දී මෙන් සිල් සමාදන් කරවීමක් නොමැති වූවත් උපසම්පන්න තත්ත්වයට පත්වීමත් සමඟ චතු පාරිශුද්ධි ශීලය ආරක්ෂා කිරීමට බැඳී සිටියි. මෙය අධි ශීලය කියා ද හඳුන්වනු ලැබේ. එහි ප්‍රභේද 04 කි.
01. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
02. ඉන්ද්‍රිය සංවර ශීලය
03. ආජීව පාරිශුද්ධි ශීලය
04. ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය
මෙම ශීල ප්‍රතිපදාව තුළ සාමාන්‍ය පුද්ගලයකුට වඩා සිත, කය, වචන යන තිදොරින් ම සංවරයක් ඇති වෙයි. ඉන් වන කුඩා වුවද වරදෙන් මිදෙන භික්ෂුව මානසික සංවරය උදෙසා එයම හේතුවක් කර ගනී. මේ නිසා මෙය කෝටියක් සංවරශීලය කියා ද හඳුන්වනු ලැබේ. කුඩා වුවද අකුශලයකින් වැළකී එම භික්ෂුව එය ආපත්තියක් සේ සලකයි. ආපත්ති යනු පහත වැටීම යන්නයි. කායික මානසික වශයෙන් පහත වැටීමයි. ප්‍රාතිමෝක්ෂයේ දක්වන ආකාරයට එවැනි ආපත්ති හතකි. ඉන් පළමු වැන්න සතර පාරාජිකාවන්ය. ඒවා පිළියම් කළ නොහැකි ඇවැත්ය. ඒවා ඡේද්‍ය ගාමිණී ඇවැත් නිසා පාරාජිකා යනුවෙන් හඳුන්වා ඇත.
සංඝාදිසේස 13 කි. ඒවාද සංඝයා ඉදිරියේ පිරිවෙස් සමාදානය, මානත් පිරීම සහ අණභානය පිළියම් තුළින් වරද අවබෝධ කරගෙන නැවත පාරිශුද්ධි ලබන ක්‍රමයකි. මේවා උට්ඨාන ගාමිණී ඇවැත් ලෙස හඳුන්වනු ලැබේ. ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදේසනීය, දුක්කට, දුබ්භාසිත යන ආපත්ති දේශනා ගාමිණී ඇවැත් ලෙස හැඳින්වේ. එයින් භික්ෂූන් ඉදිරියේ ඇවැත් දෙසීමෙන් පිරිසුදු විය හැකිය. මෙබඳු විනය ශික්ෂා සමුදායකින් ආරක්ෂා වී චතු පාරිශුද්ධි ශීලයෙන් යුක්තව විසීමේ වගකීම උපසපන් භික්ෂුවක් සතුය. මේ නිසා මෙය අධි ශීලය හෙවත් කෝටියක් සංවර ශීලය කියා හඳුන්වනු ලබන්නේ, මෙලෙස උපසම්පදාවට පත් භික්ෂුව සම්බුද්ධ ශාසනය තුළ පූර්ණ භික්ෂූත්වයට පත් අයකු සේ සැලකේ. එබඳු භික්ෂුවට භික්ෂු ශාසනය තුළ පූර්ණ වරප්‍රසාද හිමිය. එනම්, සංඝ කර්ම හෙවත් ඕනෑම විනය කර්මයකට සහභාගී විය හැකි සමාන සංවාසික තත්ත්වයට පත්වේ. ඉහත කී පාරාජිකාවන්ට යම් හෙයකින් මෙකී උපසපන් භික්ෂුවක් පත් වුවහොත් ‘පාරාජිකො හොති අසංවාසො’ භික්ෂුත්වයෙන් පැරදුනේ අසංවාසික තත්ත්වයකට පත්වේ. ශාසනික විනය කර්මාදියට සහභාගි විය නොහැක. එවැන්නන් හිස නැති කඳක් මෙනැයි ද ගොබය සිඳී තල් ගසක්, පොල් ගසක් මෙන් යැයි ද කියනුයේ ඒ නිසයි.
සංඝ සංස්ථාව තුළ පූර්ණ භික්ෂුත්වය රැකගෙන තම නිර්වාණගාමී ප්‍රතිපදාව සඳහා යොමු වීමට මෙබඳු භික්ෂුවට පහසු වෙයි. මුනි සූත්‍රයේ සඳහන් අන්දමට,
‘සිඛී යතා නීලගිවෝ විභංගමෝ 
හංසස්ස නෝපේති ජවං කුදාචනං 
ඒවං ගිගිනාත්‍ර කරෝති භික්ඛුනෝ 
මුනිනෝ විචින්තස්ස වනම්භි ඣායිනෝ’

අහසෙහි සැරිසරන නිල් මොණරාට කිසි කලෙකත් හංසයාගේ ජවයට ලංවිය නොහැක. එමෙන්ම විවේක සුවයෙන් ධ්‍යාන වඩන මුනිවරයාගේ ජවයට ගිහියාට යා නොහැක. භික්ෂුව සියලු බන්ධනවලින් මිදී නිවන් මගේ වේගයෙන් ගමන් කරයි. එවිට සියලු වැරදිවලින් මිදී ආදර්ශමත් භික්ෂුවක් හෙවත් මුනිවරයෙක් විය හැක.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X