සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දුක්ඛ සමුදය සත්‍යය

ශ්‍රී ලංකා අමරපුර 
මහා සංඝ සභාවේ සභාපති 
ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක 
දොඩම්පහළ 
චන්දසිරි මහා නා හිමි

පළමු වන ආර්ය සත්‍ය ලෙස දුක පිළිබඳව දේශනා කළ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කුමක්දැයි පස්වග තවුසන් අමතමින් දුක්ඛ සමුදය, ආර්ය සත්‍යය පෙන්වා වදාළහ.
ඉදංඛො පන භික්ඛවෙ දුක්ඛ සමුදය අරිය සච්චං යායං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සෙය්‍යථිදං ,කාමතණ්හා භවතණ්හා විභවතණ්හා ලෝකයෙහි පවතින ඒකාන්ත සත්‍යය දැක්වූ බැවින් දුක්ඛාය¸ සත්‍යයි. කියන ලද කාම අරූප සංඛ්‍යාත භාවත්‍රයෙහි වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පඤ්ච උපාදානස්කන්ධයෝ නැවත නැවත සිඳී බිඳී යන්නාහුය. එකලෙස නොපවත්නාහුය. එහෙත් අලුත් අලුත් උපාදානස්කන්ධ නැවත නැවත පහළ වීමෙන් මේ දුඞකස්කන්ධ නොසිඳී පවත්නේය. එහෙයින් සියලු ආකාර දුක්ඛයන්ට හේතුව ආශාව ඇල්ම, රාගය යනාදී නොයෙක් ආකාර රූපවලින් දැක්වෙන තෘෂ්ණාවයි. සත්ත්වයා භවයෙන් භවය සසර සැරිසරනා පරිදි බැඳ පවත්නා හෙයින් තෘෂ්ණාවට ‘වාන’ යයිද කියනු ලැබේ. මේ රැහැනක් බඳු වූ තෘෂ්ණා සමුදය නිසා ඒ ඒ සත්ත්ව සංස්කාරයෝ අගක් මුලක් නොමැති 
ගොරබිරම් සසරට වැද අපමණ දුක් විඳිමින් පෙළෙමින් තැවෙමින් ගැටෙමින් නොසිඳි නොබිඳී පවතින්නාහ. සසරින් එතෙරව යා නොදී සත්ත්වයා බැඳ තබන හෙයින් භවා භවං වින්තකො සංසිබ්බනතො වානං මුච්චති තණ්හා (මහත් භවයත් එකට එක අල්ලා බැඳ (වසා) පවත්නා හෙයින් තෘෂ්ණාවයයි) කියනු ලැබේ. මේ තෘෂ්ණාව යම්තාක් කාලයක් සත්ත්වයන් තුළ පවතීද ඒතාක් ඔවුන්ට කෙලෙස් නැතිකිරීමෙන් ලබන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීමට නොහැකිය. එහෙයින් මීට තෘෂ්ණා සමුදය යයි කියනු ලැබේ. මේ තෘෂ්ණා සංඛ්‍යාත සමුදය කාම භව විභව වශයෙන් තෙවැදෑරුම්ය.

කාම තෘෂ්ණාව කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය. ඒ වස්තු කාම, ක්ලේශකාම යනුවෙනි. ඒ පිළිබඳව මහානිද්දේස පාලියෙහි සවිස්තරව දක්වා තිබේ. එහි පළමු කොට දක්වා ඇත්තේ වස්තු කාමය සම්බන්ධවයි. “ඛෙත්තාදිනි වත්ථු” වස්තුහු නම් කුඹුරු වතු පිටි හරකබාන ආදි වස්තූහු වෙති. “කාම” යනු කාමීයතීති කාමො කැමති වනු ලැබේ යනුයි. වස්තූන් කෙරෙහි තිබෙන ආශාව කැමැත්ත මෙයින් කියැවේ. මේ දෙවැදෑරුම් කාම තෘෂ්ණාවේ පළමු වැන්න නම් වස්තු කාමයයි. මනවඩන රූපය, මන වඩන ශබ්දය, මනවඩන ගන්ධය, මනවඩන රසය, මනවඩන ස්පර්ශය ඇතිරිලි පොරොනා දැසි දස්, ඇත් අස් ගව මහිෂ, කෙත්වතු හිරණ්‍යය ස්වර්ණ ගම් නියම් වශයෙන් ඇලීම ඇති කරවන යම්කිසි වස්තු සමූහයක් වෙද්ද එය වස්තු කාම නම් වේ. මෙය අන්‍ය ක්‍රමයකින්ද ඇතැම් තැනක දක්නට ඇත. එනම් අතීත කාමය, අනාගත කාමය, ප්‍රත්‍යුත්පන්න කාමය ,ආධ්‍යාත්මික කාමය බාහිර කාමය, ආධ්‍යාත්මික බාහිර කාමය, හීනකාමය, ප්‍රණීත කාමය, අපායෙහි වූ කාමය, මිනිස් භවයෙහි වූ කාමය විව්‍යභවයෙහි වූ කාමය, පච්චුපට්ඨිත කාමය, පරනිම්මිත කාමය, විශේශාඛිත කාමය, අපරිගහනාභිත කාමය, මමත්වය කරන ලබන කාමය, යනාදී තෘෂ්ණාවට සතුටු වූද අරමුණු වූද සියලු කාමාවචර ධර්මයෝ රූපාවචර ධර්මයෝ අරූපාවචර ධර්මයො වස්තු කාම නම් වෙත් වස්තු කාමය නිසා මත්වී දඟලන්නා වූ අනන්ත අපරිමාණ සත්ත්ව සමූහයා සියලු දුකට පත්ව ජීවත් වෙති.
ක්ලේශ කාම යනු – රූප ශබ්ද ගන්ධ රසාදී වස්තූන් කෙරෙහි පවත්නා වූ ආශාවයි. සත්න සන්තානං කිලිස්සන්තීති කිලෙසො” සත්ත්වයාගේ සන්තානය දූෂ්‍යකරවා, කළඹවා, චංචලකරවා දමන හෙයින් ක්ලේශ නම් වේ. යනු එහි තේරුමයි. ක්ලේශ නාමයෙන් පෙනී සිටින්නේ ලෝභ, ද්වේෂ මෝහාදි අකුසල ධර්මයෝ වෙති. ක්ලේශ යන තන්හි මුළු කෙලෙස් ගණන එක්දහස් පන්සියයක් ලෙස දක්වා ඇත.
කාමරාග රස,ආශ්වාදනය වශයෙන් ගනු ලබන එම අරමුණම යම් කලෙක ධූවය එක්නාතය සැපය නිත්‍ය සදාකාලිකයයි කියන ලද ශාස්වතාදෘෂ්ටිය සමඟ පවතින්නේද එකල්හි භව තෘෂ්ණාව නම් වේ. භවය පැතීම වශයෙන් නැසීමත් විනාශවීමක් නැතිව නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවත්නේ නම් මැනැවැයි සිතාගෙන දැඩි ලෙස අල්වාගෙන ආශාවෙන් එල්බ , භවයම ප්‍රාර්ථනා කරයි නම් එයම භවතෘෂ්ණාව නම් වන්නේය.
විභව තෘෂ්ණාව යනු උච්ඡේද දෘෂ්ටිය හා එක්ව පැවති ඇල්මයි. (සත්ත්වයා මරණින් මතුනොවන්නේය යන ලබ්ධියයි) විභව යන්න අර්ථ කිහිපයකට වැටේ. එනම් ධනය, ඓශ්චර්ය , මෝක්ෂය යනාදියයි. මෙහිදී විභවය නමින් දක්වන්නේ මරණින් මතු නැවත භවයක් නැත උප්පත්තියක් නැත. මෙතැනින් අවසානය යන හැඟීමයි. විභව යන මේ වචනය තණ්හා යන වචනය සමඟ සමාස වූ විට විභවතණ්හා යැයි සිද්ධ වේ. විභව තෘෂ්ණාව නම් යම් කලෙක පූර්වෝක්ත දෘෂ්ඨින්ට එළඹ සිටියා වු අරමුණ සිඳීයෙයි. විනාශවෙයි යැයි පවත්නා උච්ඡේදදෘෂ්ටි වාදිකයෝම වෙති. තෘෂ්ණාව නිසා සතර ක්‍රියා කරන නානා දෘෂ්ඨිවාදීහු උච්ඡේද දෘෂ්ඨි වාදිකයෝම වෙති. තෘෂ්ණාව නිසා සතර අපායාදි දුක්ඛදායි භව සාගරයෙහි නිමග්නව සැරිසරමින් බොහෝ දුක්විඳ එන සංසාර චාරි සියලු සත්ත්වයෝ තම තමාට පැමිණෙන ජාති,ජරා, මරණාදි දුක් ගැන නිරන්තරවම නුවණින් සලකා බලා දාන, සීලාදි කුශල ක්‍රියාවෙහි යෙදී සෝවාන් සකෘදාගාමී,අනාගාමී අරහත් යන මාර්ග ඵලාදිගමයෙන් නිවන් පසක් කරගැනීමට උත්සාහ ගත යුතුය. ආයුහනට්ඨය යි කියන ලද දුක් රැස්කිරීමය. නිදානට්ඨයයි. කියන ලද නැවත නැවත දුක් ගෙන දීම, සංයෝගහට්ඨයයි කියන ලද දුකෙහි බැඳීමය. පලිබෝධට්ඨයයි කියන ලද දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීමය යන ලක්ෂණ සතර යමක ඇත්නම් එය දුක් උපදවන සැබෑ හේතුවය. එනම් සමුදය සත්‍යයයි. එනිසා සියලු දුක් වලින් විනිර්මුක්තව ලබන උතුම් නිර්වාණ සුව අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය මැනවින් තේරුම් ගෙන ක්‍රියා කළ යුතුය.
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X