සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ඉවසීම පාරමී ගුණයකි

හබරකඩ ආර්යය නිකේතන නිර්මාතෘ ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

වර්තමාන සමාජය තුළ අනෙකා නුරුස්සන ස්වභාවය ඉතාම වේගයෙන් වර්ධනය වන ස්වභාවයක් දැක ගන්නට තිබේ. ඒ නිසාම ඉවසීම ප්‍රගුණ කිරීම පිළිබඳව යම්කිසි දැනුවත්භාවයක් සමාජය තුළ තවදුරටත් වර්ධනය කිරීම ප්‍රයෝජනවත් මෙන්ම කාලෝචිත අවශ්‍යතාවයකි.
නොරිස්සුම නොඉවසිලිවන්තභාවයකි. ඉවසීමට නොහැකිකම පුද්ගලයකු තුළින් අපට දැකගන්නට ලැබෙන්නේ ඔහු තුළ අනවබෝධය, බුද්ධිය දුර්වල වන අවස්ථාවලදීය. සාමාන්‍යයෙන් පුද්ගලයකු දැනුමෙන් අවබෝධයෙන් පරිණතභාවයට පත්වනතුරු එම අපරිණත පුද්ගලයන් තුළ නොරිස්සුම් සහගත බව සාපේක්ෂව වැඩි ආකාරයක් අපට දැකගත හැකියි. නෙල්සන් මැන්ඩෙලා ලෞකික ජීවිතයක් ගෙවන ලද සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු අපි‍්‍රකානු සමාජය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ අතරම ඔහුගේ ජීවිතයේ මුල් අවධිය අපි‍්‍රකානු නිදහස වෙනුවෙන්, කළු මිනිසුන්ගේ සාමය, සැනසිල්ල වෙනුවෙන් ඉතාම නොඉවසිලිවන්තව සිදුකළ හැසිරීම් සහිත ජීවිතයක් ගත කළ අයුරු ඔහු තුළින් දක්නට ලැබේ. පසුකාලීනව ඔහුට දීර්ඝකාලයක් සිරගෙදරක කාලය ගත කිරීමට සිදුවුණි.

ඒ අතර තුර ඔහු ලබන ජීවිතාවබෝධය පසුකාලීනව අපි‍්‍රකානු සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ලබාදීම යන උදාර කාර්ය භාරයේ දී ඔහු කෙතරම් ඉවසිලිවන්තව කටයුතු කළාද? යන්න ඔහු පිළිබඳව පොත පත කියවන, ඔහු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබු චිත්‍රපට නරඹන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳව අවබෝධ කරගත හැකිවේ.
ඔහු ලබන ජීවිතාවබෝධය තුළ ඔහු ලබන ඉතාම නොඉවසිලිවන්ත හැසිරීම් සහිත පරිසරයක වූවත්, පුදුමසහගත ඉවසිලිවන්ත ස්වභාවයක් අපට දැකගත හැකිවේ.
ඔහුගේ ඉවසීම, සංයමය, ඔහුගේ බිරිඳගෙන් පවා අවඥාවට ලක්වන අවස්ථාවක් ද අපට දැක ගත හැකියි. ඒ නිසා අප අවබෝධ කරගත යුතු වැදගත්කම කාරණය වනුයේ සංකීර්ණම අවස්ථාව වන ඔබගේ මනස ව්‍යාකූලව අවුස්සනම වේලාවත් තුළදී ඔබට සංයමයෙන් සිටීමට හැකිවීම නිවැරැදිම ඉවසිලිවන්තකමයි. නිවැරැදිව ඉවසීම, නිවැරැදිම සැනසිලිසහගත ජීවිතය යනු එයයි.

විවිධ ප්‍රශ්න

ලෞකික ජීවිත ගෙවන ඔබට අත්විඳින්නට වෙන ප්‍රශ්න තවකෙනකු අත්විඳින ප්‍රශ්නයට වඩා වෙනස්විය හැකිවේ. සාමාන්‍යයෙන් ප්‍රශ්නයකදී අපට සිතෙන එකම සිතිවිල්ල වනුයේ, ලෝකයේ අමාරුම, අපහසුම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවී තිබෙන්නේ අපට පමණක් බවය. ලෝකයේ දුෂ්කරම කාරණා අප ඉදිරියට පමණක් පැමිණ ඇති බවට සිතීමට පෙලඹීම අපට සිතෙන සාමාන්‍ය ස්වභාවයකි. නමුත් ලෝකයේ තව බොහෝ පිරිසකට ජීවිතයේ ඉතාම සංකීර්ණ අවස්ථාවන්වලට මුහුණදීමට සිදුවී ඇති බව අවබෝධකරගත යුතුයි. අපට පමණක්ම ප්‍රශ්න පැමිණෙන බවට අප කල්පනා කළහොත්, ඉවසීම්සහගත භාවය අප තුළින් අඩු වී යනු ඇත. ලෝකයේ පවතින ලොකුම ප්‍රශ්නය අපට පැමිණ ඇතිබවට සිතන විටම ඒ තුළ අප ඒ පිළිබඳව බලන්නට, එය විසඳන්නට උත්සාහ දරන්නෙම යම්කිසි ආතතියකින් යුක්තවය. ඔබ සැම මොහොතකම ප්‍රශ්න ගැටලු, අර්බුද, තිබෙන අවස්ථාවන් තුළදී, සංකීර්ණම මනෝභාවයත් තිබෙන වෙලාවන් තුළදී මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන එකම පුද්ගලයා තමා පමණක් නොවන බව වටහාගත යුතුයි. තව බොහෝ දෙනකු මේ ලෝකය තුළ මෙවැනි ප්‍රශ්නවලට හෝ මීටත් වඩා වැඩි විශාල ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන බව කල්පනාවට ගත යුතු ය. එවැනි චින්තනයක් ඔබ තුළ නිර්මාණය කර ගැනීමට ඔබට ඔබගේ ප්‍රශ්නය දෙස සංයමයෙන් බැලීමට උපකාරයක් වේ. ලෞකික බැඳීම් සහිත ලෝකයෙහි, ලෞකික බැඳීම් සහිත සමාජයේ අප සිහියෙහි තබාගත යුතු වැදගත්ම කාරණාව, ලෞකික බැඳීම් සහිත සමාජයක, ලෞකික ලෝකයක කිසිසේත්ම අනෙකාගේ ඇවතුම් පැවතුම්, අනෙකාගේ හැසිරීම් අපට අවශ්‍ය ආකාරයට හැසිරවීමට නොහැකි බව අප අවබෝධ කරගත යුතුයි.

නොරිස්සුම ගොඩනැඟෙන්නේ ඇයි?

අප තුළ නොරිස්සුම ගොඩනැඟෙනුයේ, අප ආදරය කරන අය, අපට අවශ්‍යම ආකාරයට පැවතිය යුතු බවට අප සිතීම තුළයි. අපට අවශ්‍ය ආකාරයටම පැවතිය යුතු බවයි. අප ආදරය කරන නිර්මාණ, අපගේ නිෂ්පාදන අපගේ වසඟයෙහිම පැවතිය යුතු යැයි අප කල්පනා කරනු ලබයි. එය නිර්මාණකරුවා වරද්දවා ගන්නා ප්‍රධාන අවස්ථාවයි. කෙනකුට ආදරය කරන්නා වරද්දවා ගනු ලබන අවස්ථාවක් යමෙකුට ආදරය දැක් වූ පමණින්ම, ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කැපවී සිටි පමණින් ඔබ විසින් ඔහුගේ හෝ ඇයගේ සියලු වියදම් දැරූ පමණින් සියලු කායික, මානසික කැපකිරීම් කළ පමණින්, ඔබට අනෙකාගේ ජීවිතය වෙනුවෙන් සම්පූර්ණ මැදිහත්වීම් කරන්නට අවශ්‍ය පරිසරයක් හෝ අයිතියක් තියෙනවා යැයි ඔබ කිසිසේත්ම විශ්වාස නොකළ යුතු යි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වනුයේ ද්‍රව්‍යය හෝ පුද්ගලයන් තමන් වසඟයෙහි කිසිවිටක පවත්වාගත නොහැකි බවයි. ‘පුත්තා මත්තී ධනං මත්තී ඉතිබාලෝ විහඤ්ඤතී’ යනුවෙන් මාගේ දරුවන්ය, මාගේ ධනය යනුවෙන් ද්‍රව්‍ය පිළිබඳව හෝ පුද්ගලයන් සම්බන්ධව මිනිසා ඇතිකර ගනු ලබන වැරැදි අල්වා ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එවැනි අල්වාගැනීමක් තුළ සිදුවනුයේ තමන් විසින් තමන්ගේ බුද්ධිය අවබෝධය නැතිකර ගැනීමක් බවත් බුදුපියාණන් වහන්සේ අවධාරණය කර ඇත. ‘මගේ’, මගේ යැයි යමක් පිළිබඳව හෝ ‘මගේ, මගේ’ යැයි යමකු පිළිබඳව හෝ කල්පනා කරන විට ඒ ද්‍රව්‍ය සහ එම පුද්ගලයන් තමන්ගෙම වසඟයෙහි පැවතිය යුතු බවට අපගේ යටි සිත විශ්වාස කරනු ලබයි. අප තුළ ඉවසීම නැතිකරන කාරණාවම එයයි.
සෑම කෙනෙකුගේම පැවැත්ම එයට අදාළ තත්ත්වය තුළ පවතී. පාරමී ගුණයක් යම්කිසි දුරකට, යම් යම් අයගේ හැසිරීම්වලට යම් යම් දේවල්වල හැසිරීම් පිළිබඳව මැදිහත්වීමට පෙලඹුණත් එය සියයට සියයක්ම අපට අවශ්‍ය ආකාරයට පවත්වාගන්නට නොහැකි බව අප ඉතාම බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුයි. ඒ පිළිබඳව අපගේ ඤාණය වැඩිදියුණු කරගත යුතුයි. එවැනි අවබෝධයක් ඇතුළත ඉවසීම හෙවත් ඛන්තී ගුණය ඔබ තුළ යටත් පිරිසෙන් මූලික අවස්ථාව වශයෙන් වර්ධනයවීමට පටන්ගනු ලබන්නේ ය. සාමාන්‍යයෙන් අප තුළ ඉවසීම තිබේද? නැද්ද? යන කාරණාව අපට පරීක්ෂා කරගැනීමට ලැබෙන අවස්ථාව වනුයේ, අප සන්තක දෙයකට හානියක් කිරීමට යමකු පැමිණෙන අවස්ථාවය. අප සන්තක ද්‍රව්‍යවලට හෝ අපගේ බැඳීම් සහිත පුද්ගලයන්ට යම් යම් හානිකරන්නට පැමිණෙන අවස්ථාව තුළ දී අපට එම අවස්ථාව උහුලා ගැනීමට, එම අවස්ථාව කෙරෙහි සංයමයෙන් යුක්තව ක්‍රියාකිරීමට හැකියාව ලැබුණහොත් සැබවින්ම ඉවසීමට අදාළ පාරමී ගුණය සම්පූර්ණ කළා වෙයි. ඔබට අදාළ දේ විනාශ කර යෑමට ඉඩහැරිය යුතුබව මෙයින් ප්‍රකාශ නොවේ. ඔබට අදාළ සම්බන්ධ අය නැතිකිරීමට හෝ විනාශකර දමා යාමට ඉඩහැරිය යුතු බව, මෙයින් අදහස් නොකෙරේ. අප විසින් අපගේ ඉවසීම පවත්වාගත යුතුවන්නේ, අපගේ භෞතික සම්පත් නැතිකිරීමට විනාශ කිරීමට පැමිණෙන පුද්ගලයා අප විසින් නැති කළ යුතුය යන ස්ථාවරයට නොපැමිණීම තුළයි. එය දියුණු හෝ විශිෂ්ට මිනිසකුගේ හැසිරීමක් නොවන හෙයිනි. ඔබ කැපවීමෙන් යුක්තව ඔබට අයිති දේ රැකගැනීමට කැපවිය යුතු බවට බුදුහිමියන් වදාරා ඇත. නමුත් ඔබ කිසිවිටෙකත් ‘මගේ දේවලට අත තියන්න ආවා කියා’ යන හැඟීමෙන් යුක්තව යමෙකුට හිංසා කිරීම කිසිසේත්ම නොකළ යුතු යි. එවැනි හැසිරීමට ඔබ අවතීර්ණ වනවා නම්, ඔබගේ මනස තවදුරටත් එවැනි හැසිරීමකට පෙලඹෙමින් තිබෙනවා නම් තවමත් ඔබගේ මනස හික්මී නැති බව ඔබ විසින් වටහා ගත යුතුයි. තමන්ට කරදරයක් කිරීමට යමෙකු පැමිණියහොත් ඇතැම් පුද්ගලයන් එය උහුලාගනු ලැබූවත්, තමාගේ දරුවන්ට යම් දෙයක් ප්‍රකාශ කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව ඕනෑම සටනකට යාමට ඔහු සූදානම් වේ. ඛන්ති පාරමී යනු, තමන්ට හෝ තමන් සන්තක දෙයකට, අභියෝග කරද්දීත්, තමන්ගේ ඉවසීම පවත්වාගැනීම අනෙක් පුද්ගලයන්ගේ මරණය දක්වා ගමන් කරන්නේ නැතිව අනෙක් පුද්ගලයන්ට කායික හිංසාකිරීම දක්වා යන්නේ නැතිව තමන්ගේ ඉවසීම පවත්වා ගැනීම ඛන්ති පාරමී වෙයි. අවම වශයෙන් අප එම අවස්ථාවටත් මෙම ආත්මභාව තුළ පැමිණිය යුතු යි.
අපගේ දෑත දෙපයට හානි කිරීමට පැමිණියහොත් අපගේ ශරීර අවයව ගලවාගන්නට කවුරු හෝ පැමිණියහොත් එයට එරෙහිව සටන් නොකර සිටීමේ අවස්ථාවට පැමිණීමට අපගේ මනස හසුරුවා ගැනීමට මේ ආත්මභාවය තුළ ඔබ කළ දුෂ්කර ක්‍රියාවක් වෙයි. අප මැරීමට යමෙකු පැමිණියහොත් එම පුද්ගලයා නොමරා සිටීමේ අවස්ථාවට අපගේ මනස හසුරුවා ගැනීමට අපට මේ භවයේදී දුෂ්කර වෙයි. අප අඩුම වශයෙන් අපට අයිති සහ අපට අයිතිය යැයි අප විසින් මනසින් සම්බන්ධ කරගෙන සිටිනු ලබන පුද්ගලයන්ට එරෙහිව ජීවිත හානි හෝ දේපළ හානි නොකර සිටීමේ මට්ටමටවත් අපගේ ඉවසීම පවත්වාගැනීමට, යම්කිසි වීර්යයක් යම්කිසි උත්සාහයක්. මේ භවය තුළ දී ගොඩනඟා ගත යුතු යි. ඉවසීම තරම් සිල්වන්තකම් වෙන නොමැති බවට, බුදුහිමියන් වදාරා ඇත. ‘ඛන්තී පරමං, තපෝති තික්ඛා’
උපරිම තපස, උපරිම ශීක්ෂණය හෙවත් හික්මීම ඉවසීම බවත් එය ඉහළම තපසක් බවත්, ඉහළම තපස් රැකීමක් බවත් බුදුහිමියන් වදාරා ඇත. සතුරාට එරෙහිව සටන් කිරීම ජයග්‍රහණය නොවන බව අපගේ ජනවහර තුළ වුවද අන්තර්ගත වී ඇත. ‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’ සතුරා සමඟ කරන යුද්ධයකදී ජයග්‍රහණය ලබනුයේ ඉවසන පුද්ගලයා බව අප පිළිගනු ලබන කාරණාවකි. ඔබත් සමඟ ඔබට මේ ලෝකය තුළ මුණගැහෙන අරමුණු සමඟ සංයමයෙන් ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි. ඉවසීම ඔබට ජයග්‍රහණයක් මිස පරාජයක් කිසි ලෙසකින් වත් අත්කර නොදෙනු ඇත.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සුගතියට හා දුගතියට මඟ පෙන්වන ධර්ම අධර්ම ප්‍රතිපදාව

මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ
ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත
හක්මන සුමනසිරි හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන දහම් දෙසමින් කොසොල් ජනපදවාසීන්ගේ සාලා නම් බමුණු ගමට වැඩි සේක. බමුණු ගමේ ජනතාව අතරත් අවට ප්රදේශය පුරාත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්ති රාවය පැතිර ගියත් ඒ හා සම්බන්ධව උන්වහන්සේගේ සිතෙහි කෙලෙස් හට ගැනීමක් නැත්තේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සියල්ල මුලින් උදුරා දැමූ හෙයිනි.
අරහාදී නවගුණ සමුදායයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ සාලා ගමට වැඩම කැරවීම පිළිබඳ ප්රවෘත්තිය මහත් වේගයෙන් දසත පැතිර යන්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ගුණවතුන්ගේ ගුණ පිළිබඳව රාවය පැතිර යන්නේ අසන හැම දෙනා තුළ ම මහත් බැතියක් මෙන් ම සොම්නසක් දනවමිනි. භාග්යවත් බුදුරජාණන් වහන්සේ රාග,ද්වේෂ ,මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළ සේක.උන්වහන්සේගේ ගුණ සුවඳ දෙවියන් සහිත සමස්ත ලෝකය පුරා ම පැතිර ගියේ කිසිදු වෙනසක් නැතිවම ය. සීලාදී ගුණ සුවඳ පමණක් ම උඩු සුළගෙහි මෙන් ම යටි සුළගෙහි ද පැතිර යවන්නේ වෙනසකින් තොරව ය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුල මැද අග කියන තුන් තැනම යහපත් වනුයේ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුක්තව දහම් දෙසන බැවිනි. සමස්ත ධර්මදේශනාව ම මුළුමනින් ම පිරිසුදු නිවන් මඟ පැහැදිලි කරන අතර තිරසාර අරමුණ වනුයේ ශ්රාවකයා නිවනට පමුණවාලීම යි.
සාලා බමුණු ගමේ වැසියන් මහත් සොම්නසින් බුදුරජාණන් වහන්සේ සොයා ගියේ තමන් සිත් තුළ කලක පටන් පැවති ප්රශ්න මාලාවක් නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. බුදුරදුන් හමුවට පැමිණි ඒ පිරිස තම තමන්ගේ පෞරාණික කුල සිරිත් අනුව ගෞරව දක්වමින් පැත්තකින් වාඩි වූ අතර ප්රශ්න වාරය පැමිණියේ ඉන් අනතුරුව ය. මුල් ම ප්රශ්නය වූයේ සාලා බමුණු ගමේ සමස්ත ප්රජාවට ම එකසේ වැදගත් වූවකි.
බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් පහව ගිය අපාය නම් වූ නිරයෙහි උපදිනවා නම් එයට හේතුව කුමක්ද? ඒ සඳහා බලපාන ලද කරුණු මොනවා ද? එසේ ම මේ ලෝකයේ සමහර සත්ත්වයින් මරණයෙන් පසු සැපයෙන් අධික සුගතියෙහි උපදිනවා නම් එයට හේතුව කුමක් ද? ඒ සඳහා බලපාන කරුණු මොනවා ද ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ යමෙකු මරණයෙන් පසු අපායෙහි උපදින්නේ නම් එයට ප්රධානම හේතුව අධර්මයෙහි දුශ්චරිතයෙහි (අධම්මචරියා -විසමචරියා) හැසිරීමයි. සැප ඇති සුගතියෙහි උපදින්නේ නම් එයට බලපාන ප්රධාන හේතුව ධර්මයෙහි සුචරිතයෙහි (ධම්මචරියා – සමචරියා) හැසිරීමයි.
බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන විට අනුගමනය කරන ප්රතිපදා දෙකකි. සාරාංශ වශයෙන් හා විස්තර වශයෙනි. ධර්මය සාරාංශ වශයෙන් දේශනා කළ විට ධර්මය කෙරෙහි පි්රය උපදවන තැනැත්තා දෙසූ ධර්මය විස්තර වශයෙන් දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. සාලා ගම්වැසි ගෘහපතියන්ටත් දැඩි ලෙස අවශ්ය වූයේ බුදුරජාණන්වහන්සේ සාරාංශ වශයෙන් දේශනා කළ ධර්මය විස්තර වශයෙන් පැහැදිලි කර දැන ගැනීමට යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අසන ශ්රාවකයාට එම ධර්මය තමා ම අරමුණු කර ගෙන තමාට ම දේශනා කරන ධර්මයක් බව වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්රාවකයාගේ චිත්ත සන්තානය තුළ පැවති කෙලෙස්වල අඩු වැඩිකම හඳුනා ගැනීමේ දක්ෂතාවය උන්වහන්සේට ම ආවේණික වූ ගුණයක් නිස යි.
අධර්මචර්යාව හෙවත් විසමචර්යාව කය මුල්කර ගෙන සිදුවන්නේ තුන් ආකාරයෙකිනි. වචනය මුල් කරගෙන එය සිදුවන්නේ සතර ආකාරයෙකිනි. මනස මුල් කරගෙන තුන් ආකාරයෙකින් සිදුවේ.
ලොව වෙසෙන සියල්ලෝ ම තමන්ගේ ජීවිතවලට පි්රයහ. නපුරු සිතින් යුතුව සත්ත්වයින් කෙරෙහි දයා රහිතව ලේ තැවරුණු අත් ඇතිව ප්රාණඝාතයෙහි යෙදේ නම් කයින් කෙරෙන පළමු වරදෙහි යෙදුණාවේ. අන්සතු වස්තුව ගමක නිවසක හෝ පුද්ගලයෙකු සතුව ඇති නොදුන් දෙය සොර සිතින් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම කයින් කෙරෙන දෙවන වරද වේ. ස්වාමියෙකු සිටින එමෙන්ම විවාහ ගිවිස සිටින ස්ත්රියක් සමඟ වරදෙහි බැඳීම කාමමිච්ඡාචාරය නම් වේ. වචනය මුල් කරගෙන සිදුවන වැරදි සතරකි. දන්නා දේ නො දන්නා බවත්, දැක්ක දේ නො දැක්ක හැටියටත් ,ඇසූ දෙය නො ඇසූ දෙය ලෙසටත් එසේ නැතිනම් යම් අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි නම් මුසාවාද නම් වේ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්නට එතනට කියනව. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්නට මෙතන කියනව. මේ අන්දමින් කේළාම් කීම තුළින් සිදුවන්නේ බරපතල විනාශයකි. කිසිදු ප්රයෝජනයක් නැති අනවශ්ය අවස්ථාවල කියන, අනර්ථයක් ම ගෙන දෙන වචන හිස් වචන නමින් හැඳින්වේ. මනසේ ක්රියාකාරිත්වය තුළින් සිදුවන වැරදි තුනකි.අභිධ්යාව යනු විෂම ලෝභයයි. විෂම ලෝභයේ ස්වභාවය නම් අන්සතු වස්තුව තමාට ලබා ගැනීමේ ඇති බලවත් කැමැත්ත යි. අනුනට අයහපත, දුක,වේදනාව, අසහනය ගෙන දෙන සේ සිතීම මෙන් ම ක්රියා කිරීම ව්යාපාදය නමි. වැරදි දැක්ම මිථ්යාදෘෂ්ටිය නම් වෙයි. දසවස්තුක මිත්යාදෘෂ්ටිය නමින්ද කරුණු දහයක් ඇත.
අකුසලයේ විපාකය පැහැදිලි කරන විට කුසලයෙහි යහපත ඉතා පහසුවෙන් ම වැටහේ. ප්රාණඝාතයෙන් වළකිනවාත් සමඟ ම සකල සත්ත්ව ප්රජාව කෙරෙහි මෙත් කරුණාදි ගුණ පැතිරවීමත්,අවි ආයුධ දඬු මුගුරු බහා තැබීමත්, ආදි ගුණ සමුදායක් වරදින් මිදෙනවාත් සමඟ ම හදවෙතෙහි ඇතිවේ.මෙලෙසින් තිදොරින් සිදුවන වැරදි ක්රියාවලින් වළකිනවාත් සමඟ ම එය පසුබිම් කරගනිමින් වගා කළ යුතු ගුණධර්ම රාශියකි. දිව්යලෝකවල සහ මනුෂ්යලෝකයේ සැප සම්පත් වින්දනය කරමින් ජීවත්වීමට හේතු වන්නේ ද කුසලචර්යාව හෙවත් සමචර්යාවයි. ලෞකික සැප සම්පත්වල පවත්නා නිසරු ස්වභාවය අවබෝධ කරගෙන සසර දුකින් මිදී ලබන නිවන් සුව මේ ජීවිතයේ දීම ලැබීම සඳහා උත්සාහ කරන්නේ නම් ඒ සඳහා ද අවස්ථාව උදා වන්නේය.
බුදුරජාණන් වහන්සේ සාලා බමුණු පිරිස හමුව මේ ධර්ම ප්රතිපදාව විවරණය කළ විට මහත් සොම්නසට පැමිණි ඔවුහු අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ යන බවට ප්රතිඥා දෙමින් දහම් ප්රතිපදාව මැනවින් අවබෝධ වූ බව සතුටින් ප්රකාශ කළහ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගැටලු විසඳලා දෙන බුදුදහම ලස්‌සනයි


කකුසඳ කෝනාගම බුදුහිමියන් 
හමු නොවුණිද මට කාශ්‍යප මුණිඳුන් 
මුණ ගැසේවිදෝ මෛත්‍රී සමිඳුන් 
වහා එතෙර වෙමු ගෞතම සසුනින් 

 අපි ඉක්‌මන් කරමු. නොරැවටෙමු. මෛත්‍රී බුදුපියාණෝ අපට මුණ ගැසේවිදොa කියලා කවුද දන්නෙ? මනුෂ්‍යයෙක්‌ දෙවියෙක්‌ හෝ බ්‍රහ්මයෙක්‌ වත් වෙන්නම එපායෑ මෛත්‍රී බුදුන් සරණ යන්නනම්. අචින්ත්‍ය ධර්මතාවක්‌ වන කර්ම ප්‍රතිවිපාකයෝ තමන්කැමැති ආකාරයට නොලැබෙන බව දන්නවානේ. එසේ නම් මෛත්‍රී බුදුපියාණන්ගේ හමුවීමත් මට නම් සැක සහිතයි. අවුරුද්දකට එක්‌ වතාවක්‌ පමණක්‌ මතුපිටට පැමිණෙන කන කැස්‌බෑවා සඳ ඇති රැයක විය සිදුරෙන් ආකාසය දෙස බලනා විලාසයේ ඇති දුර්ලභභාවය ගැනු අමුතුවෙන් කිව යුතු නැහැනේ. කවදා... සඳ දකියිද? අපි නම් හරිම වාසනාවන්තයි. මෛත්‍රී බුදුන් ප්‍රාර්ථනා කරමින් හිඳීමට කිසිම හේතුවක්‌ නැහැ. 
ඇයි ඒ..? අපිට ගොඩ යන්න ගෞතම බුදු සසුන හමුවෙලා තියෙනවා. ඉතින් ඇයි බලාගෙන ඉන්නෙ. වහා එතෙර වෙමු නේද? බුද්ධ කාලයක මනුසත් බව ඇතුළුÊක්‌ෂණ සම්පත්තියත් සමග උපත ලැබූ අපි අඳුරේ අතපතගාමින් මොනවද මේ සොයන්නේ? අවශ්‍ය කරන සියලුම සම්පත් තමා ළඟම තබාගෙන මෛත්‍රී බුදුන් මුණගැසෙන තුරා බලාගෙන ඉන්න තරම් අඥන වෙලා. මෛත්‍රී බුදුන්ගේ කාලයේත් අද වගේම අනාගත බලාපොරොත්තු තබාගෙන මෙලෙසම කාලය කා දමාවි. මහා භද්‍ර කල්පයක්‌ නිකරුනේ ගෙවිලා යයි. නුවණක්‌කාරම වැඩේ තමයි ලැබුණු මොහොතේ ගොඩයන එක. වහා අවදි වන්න. මේ ගෞතම බුදුන්ගේ කාලයයි. ත්‍රිවිධ රත්නය ලෝකෝත්තරව සරණ ගියොත්නේ නොසෙල්වෙන ඉන්ද්‍ර‚ලයක්‌ සේ ශ්‍රද්ධාව අචලභාවයට පත්වන්නේ. ඒ කුමක්‌ද? බුදුකෙනෙක්‌ පහළ වුණා කියන්නෙ ත්‍රිවිධ රත්නයම පහළ වුණ බවනේ. ත්‍රිවිධරත්නය ලෝකෝත්තරව සරණ යන්න ඕනනේ, දුකෙන් නිදහස්‌ වෙන්න නම්. 
ඔබ දන්නවාද ලෝකෝත්තර සරණ යාම ලෞකික සරණ යාම කියා ද්වයක්‌ තිබෙන බව? වටිනා මේ මොහොත ගැන නොසලකා අනාගත බලාපොරොත්තු ගොන්නක්‌ කරේ තබාගෙන කරන ලෞකික සරණ යාම තමයි අද සිත් සතන් තුළ පවතින්නේ. දහම තියෙන්නේ ඒ අනුව ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නනේ. කිය කියා ඉන්න පමණක්‌ නොවෙයි. ත්‍රිපිටකය පරිශීලනය කරමින් ත්‍රිපිටකාරූඪ සත්‍ය ධර්මය දැනගත්තාම, ලස්‌සන වටිනා ධර්ම දේශනා පවත්වන්න, වැදගත් අර්ථවත් ගාම්භීර ධර්ම සාකච්ඡා පවත්වන්න, ලෝකයේ ස්‌වභාවික ශාස්‌ත්‍රානුකූල සැලැස්‌ම වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථයෝ පදනම් කරගත් අභිධර්මය පිළිබඳව ගාම්භීර සත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට, පුළුවන් බව නම් ඇත්තම ඇත්තයි. හැබැයි ඒ දැනුම හා උගත්කම පමණමයි. අවබෝධය නම් නොවේමයි, ඒ ලෞකික සරණාගමනයයි. නිවන් දකින්න නම් බැහැ එලෙස. නිවීමට නම් ඒ දැනගත්ත දහම දැකගන්න, අවබෝධ කරගන්නම ඕන. අවබෝධ වන්නේ විදසුන් වැඩීමෙන්මයි. ඒ තමයි ලෝකෝත්තර සරණාගමනය. සමාධියෙන් ඇතිකරගත්ත උපේක්‌ෂා සහගත මධ්‍යස්‌ථ සිතකින් ප්‍රතිපත්තියේ යෙදෙමින්, ධර්මය සිතට කාවද්දන්න ඕනෑ නේද? එලෙසයි ත්‍රිවිධ රත්නය ලෝකෝත්තරව සරණයන්නේ. ඉතින් අත්‍යවශ්‍යම කාරණය වන්නේ වරාත හෙවත් භාවනා කිරීම තුළින් දහමෙ හැසිරිලා සත්‍ය දැක ගැනීම වන ලෝකෝත්තර සරණාගමනයම බව දැනගන්න ඔබ. ශ්‍රද්ධාවේ අචලභාවය කියන්නේ එයයි. ආයේ නම් අපාගාමී වන්නේ නැහැ. කුමන ප්‍රීතියක්‌ද? කුමන සතුටක්‌ද? එහෙමයි ප්‍රීති සම්බො-ජංගය ඇතිවන්නේ. තමා අසා දැනගත් දේ ක්‍රියාවට නංවා දැකගන්න ඕනෑ. එතකොටයි නිවන් දකින්න හැකි වන්නේ. දහම අද මතුවෙලා තියෙනවාලු. මගඵල නිවන හෙවත් පරමාර්ථය මතුවෙලා තියෙනවලු. කිසිම චකිතයකින්, බියකින් තොරව කියන හැටි කියලා ඔබ කියාවි. හා... හා... හිනාවෙන්න එපා. සත්‍ය දර්ශනය දරන අයට නිගරු කිරීමේ අකුසලය හේතුවෙන් ඔබට කර්මාවරයෝ ඇතිවෙලා සත්‍ය දැක නිවී සැනසෙන මඟ ඇහිරෙනවා. 
 සත්‍ය මතුවන කාලවලදී එක්‌ පිරිසක්‌ ඇත්ත දැක මහත්ඵල මහානිසංස හිමිකරගන්නවා වගේම තවත් පිරිසක්‌ මාර්ගඵලලාභීන්ට නිගරු කිරීමේ භයානක අකුසලය ඇති කරගන්නා ආකාරයයි ඒ. බිය නොවන්න. ඒ අයගෙන් සමාව අයෑදීමෙන් ඔබට ඒ කර්මයෙන් නම් ගැලවිය හැකියි. එයයි ස්‌වභාවදහම. ඒ නිසා නුවණක්‌කාර වන්න. කියන්න, මා මිතුරු සුළඟේ පොත පත කියවා හෝ අසා දැනගත්ත දහම කිය කියා දම් රස විඳ වි¹ ඉන්න විතරමද අපිට දහම තියෙන්නේ? අවබෝධ කරගන්න නොවේද? විඳිනවා කියන්නේ තණ්‌හාවනේ. තණ්‌හාව ජායිතෝ ශෝකෝ... තණ්‌හාව ජායතී භයං... අපි කොපමණ කාලයක්‌ අහගෙන හිටියද? කොපමණ දේවල් දන්නවාද? ඒත් කවදාද අපි සසරින් එතෙරවන්නේ. මෙච්චර බණ කියන, බණ අහන රටක්‌ නම් වෙන නැහැ. ඒත් මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මෙතරම් දූෂණ? යනුවෙන් පවසන දේශනාද නිතරම ශ්‍රවණය වෙනවා තමයි. මටද මෙය ලොකු ප්‍රශ්නයක්‌ සුළඟේ. ඇත්තටම මොකද අපට මේ වෙලාතියෙන්නේ? අහගන්නකෝ සුළඟේ, දැනුමෙන් සිදුවන්නේ තාවකාලික සංවරය පමණයිනේ. ඒකයි කොපමණ ඇහුවත් නොරඳන්නේ.වැටහුණා නේද? සිත් සතන් සකස්‌ කිරීම නම් බොහොම අමාරුයි. ඒත් ඉතින් මුලින්ම කය, වචනය සංවර වෙලා තියෙන්න එපායෑ. සීලයේ පිහිටුවාම තමයි සිතසමාධි ගත කරගතහැකි වන්නේ. සමාධියෙන් උපරිමයටම යන්නත් එපායෑ, ඇත්ත දැකගන්න නම්. අපි ළඟ තියෙන අස්‌ථිර වූ සීලය ආර්ය කාන්ත සීලය බවට පත්වන්නේ කවදාද? ඇත්ත පෙනෙන විටයි සිත් සතන් දමනය වන්නෙ. කොයි දේ කරන්නටත් පන්සිල් සුරකින්නම ඕනෑනේ. සමාධියේ උපරිමය වන්නේ සතර වන ධ්‍යානයයි. මේවා කාලයක්‌ තිස්‌සේ යටපත්වෙලා තිබුණා මිසක නොකළ හැකි දේවල් කියා සිතන්න නම් එපා. ළඟකර ගත නොහැකි දේ ගැන බුදුසමිඳු පවසනු නොවේ. මම නම් දකින්නේ මෙච්චර බණ අහන අපිට වැරදුණ තැන ඔතනයි කියල. කුමක්‌ද? මුලින්ම සමාධි අවුල. සමාධියෙන් ඇතිකරගත්ත උපේක්‌ෂා සහගත මධ්‍යස්‌ථ බව ඕනෑනේ ධර්මය සිතට කාවද්දන්න නම්. වැටහුණා නේද? පුහුදුන් ලෝකයේ අචල දේවල් නැහැ. 
තාවකාලික සංවරයක්‌ තියෙන්න ඕන තමයි. ඒ මුල පමණයිනේ.මුල මෙන්ම මැදද අගද යහපත් වෙන්න ඕනෑ කියනවානේ බුදුපියාණෝ. මුල චලනය වුණාට අග නොසෙල්වේ. ඒ නිසා අග දකිනු, ලොවෙන් එතෙර අචලය. ඒ නිවනය. අද උතුම් පිරිසක්‌ මහා වනයේ බවුන් වඩනවා. ඒ අය නිදහසේ බුදුපියාණන්ගේ දහමේ හැසිරෙනවා. කවරදා හෝ සත්‍ය වටහාගත් පසුව කියාවි 'පිරිසිදුය මඟ අවදි වනු මැන ලොවම රහසකි. නොරැවටෙනු මැන' කියා. එය දහමේ තිබෙන වටිනා ගුණාංගයක්‌. සත්‍ය දැකගත්තාම එන්න දහම දැකගන්න, ඇවිත් බලන්න, ක්‍රියාකාරී වන්න. ඒහි පස්‌සිකෝ කියල ඒ අය අපිට කියාවි. ඒ දැන් නම් ඉතින් බලාන හිටිය හොඳටම ඇති. තමන්ට දහම හමුවුණා නම් ඒ බව සඟවාගෙන හිඳීම බුදුපියාණන්ට කරන බලවත් අගෞරවයක්‌ ලෙසයි මම නම් දකින්නේ. තමා නිවැරැදි මඟෙන් නිසි තැනට සම්ප්‍රාප්ත වෙලා අනිත් අයට ඇත්ත නොකියා එය සඟවා ගන්නවා නම් එයයි ගුණමකු බව කියන්නෙ. කරන විඳින, කෙනකු නොමැතිව ස්‌වභාවධර්මයේ සිදුවන ස්‌වභාවික ක්‍රියාවලිය වන ක්‍රියාව සහ විඳීම නමැති මහා පුදුමාකාර සිදුවීම් මාලාව දැකබලා ගැනීම තමයි බුද්ධ දර්ශනය කියන්නෙ. 
එය ඉතා පිරිසිදු ලෝක ස්‌වභාවධර්මතාවයි. හේතුවක්‌ නිසා ඵලයක්‌ ඇතවනාකාරයත්, හේතුව නැති වූ විට ඵලය නැතිවෙලා යන ආකාරයත්, පෙන්වා දෙමින් ලොව රහස හෙළිකරයි බුදුදහම. සජීවි බල වේගයක්‌ වන බුදුදහම ක්‍රියාකාරී ප්‍රතිපත්තියේ යෙදීමෙන් පමණක්‌ වටහාගත හැකියි. යථාර්ථය දැකගෙන නිවෙන්න හැකි වන්නේ අජීවි උපදෙස්‌ වට්‌ටෝරුවකින් නම් නොවෙයි. වට්‌ටෝරුවේ ඇති බේත් ටික සොයාගන්න ඕන මුලින්ම. ප්‍රතිපල ලැබෙනවා නම් කොතනින් බේත් ලබාගත්තත් කම් නැත. හැබැයි පිළියෙළ කර වළඳන්න ඕන නම් තමන්මයි. බුදුදහම ඇදහිලි මාර්ගයක්‌ නම් නොවේ. අතත දීපා විහරත, තමාම අවබෝධ කළ යුතු මාර්ගයක්‌. නැවත හිස ඔසවා තිබෙන සත්‍ය දකින ක්‍රමවේදය සිත් සතන් තුළට නිවැරැදිව ගලා ගියහොත් යළිත් ධර්මද්වීපයෙන් දහම් සුවඳ හමායාවී...! 

කම්මට්‌ඨාචාරිනී, පද්මාවෝ රාජපක්‌ෂ, 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුරදුන් ඉසිපතනයට වැඩමවීම

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති 
අග්ගමහා පණ්ඩිත 
පල්ලත්තර සුමනජෝති නා හිමි
බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාරාධනාවෙන් ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට බරණැස ඉසිපතනයට වැඩම වීම සහ අතර මඟ දී උපක ආජීවකට තමන් හඳුන්වා දීම.”
ගෞතම බුදුරජාණන් වහන්සේ සත් සති බෝ මැඬදීම ගත කර සමාධියෙන් මිදී අසල වූ අජපාල නුගරුක මුලට වැඩම කළා. එහි ඵලසමවතින් හුදෙකලාව වැඩ සිටි උන්වහන්සේට මෙබඳු සිතිවිල්ලක් උපන්න. එනම්,
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්මය දැන් දේශනා කිරීමෙන් පලක් නැත. රාගයෙන් රත් වූ ක්ලේශයන්ගෙන් වැසුනු ජනයාට මේ ගැඹුරු ධර්මය අවබෝධ කර ගත නොහැකිය. මේ ධර්මය උඩුගං බලා යන්නකි. (නිවන කරා සත්ත්වයා ගෙන යන්නකි) එහෙයින් නුවණින් දැකීම දුෂ්කරයි. මේ ධර්මය ශාන්තයි. ප්‍රණීතයි. තර්කයෙන් දත නො හැකියි. සියුම් ය. පණ්ඩිතයන් විසින් දත යුත්තකි. ලෝ වැසි ප්‍රජාව පස්කම් සැපයෙහි ඇළුණෝ ය. ඔවුහු එයින් සතුටට ප්‍රමෝදයට පත්වන පිරිසකි. එමෙන් ම අවිද්‍යාදී ප්‍රත්‍ය නුවණින් දැකීමට අසමත්හුය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමාදියෙන් ලැබිය යුතු දුක්ඛ නිරෝධය අවබෝධ කර ගැනීමට අසමත්ය. ඒ නිසා මා දහම් දෙසුවත් ශ්‍රාවකයන්ට එය වටහා ගත නො හැකි ය. එය මට වෙහෙසකි යන අදහසයි උන්වහන්සේට උපන්නෙ. මෙසේ සිතා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමට මන්දෝත්සාහි වූහ. ගෝතම තාපසතුමා බුදුවී දහම් දෙසනු ඇතැයි ඉමහත් ඕනෑ කමින් බලා සිටි සහම්පති මහා බ්‍රහ්මයා බුදුන් වහන්සේගේ මේ සිතිවිල්ල දිවැසින් දැනගෙන ‘ලෝකය විනාශයි’ කියල හිතල එකෙනෙහි ම උන්වහන්සේ වෙත පැමිණ බුදුන් වහන්සේට ආරාධනා කළා භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරනු මැනව. සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරනු මැනවි. ස්වාමිනි, රාගාදී කෙලෙස් අඩු අය ලොව සිටිනවා. ඔවුන් ධර්මය නෑසීමෙන් පිරිහෙනව. ස්වාමිනී ධර්මය වටහා ගත හැකි පිරිස සිටිනවා කියල තවදුරටත් බ්‍රහ්මයා මෙසේද කීව.
ස්වාමීනි, පෙර මගධ රට කෙලෙස්වලින් යුක්ත පුද්ගලයන් විසින් හිතන ලද අසුද්ධ මිථ්‍යා ධර්ම පහළවෙලා තිබුණ. නිවනට ඇතුල් වන දොරටුවක් වැනි මේ ධර්ම මාර්ගය විවර කරනු මැනවි. බුදුන්වහන්සේ විසින් අවබෝධ කරනලද නිවනට යන මාර්ගය වන මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්ත්වයෝ අසත්වායි කී බ්‍රහ්මයා මෙසේද කීය.
යහපත් ප්‍රඥාවෙන් යුක්ත බුදුරජාණන් වහන්ස, ගල් පර්වතයක් මත සිටින පුරුෂයෙක් පර්වතය හාත්පස පහළ සිටින ජනයා යම් විදියකින් දකීද? එමෙන් දුරුකළ ශෝක ඇති ඔබවහන්සේ (ගල් පර්වතය වැනි) ප්‍රඥාව නමැති ප්‍රාසාදයට නැගී ශෝකයෙන් පෙළෙන, ජාති ජරාදියෙන් දුක් විඳින ජනයා දෙස බලනු මැනවි. තවද දිනන ලද මාරයුද්ධය ඇති, සාර්ථක වාහක වූ (ගැල්වලින් වෙළෙඳ ද්‍රව්‍ය ගෙනයන්නෙකු වැනි) කාමච්ඡන්දාදී ණය නැති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනවි. ලෝකයෙහි සංචාරය කරනු මැනවි. දහම් දෙසනු මැනවි. ඒ දහම් අවබෝධ කරන්නෝ සිටිති යනුවෙන් විස්තර වන ගාථා කී සහම්පති මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් සර්වඥතා ඥානයෙන් ලොව බලා වදාළහ. එවිට උන්වහන්සේගේ ඤාණයට පෙනුන රාගාදී කෙලෙස් අඩු තියුණු ශ්‍රද්ධා සම්පන්න වූ මෙන්ම, ශ්‍රද්ධාව අඩු වැඩි වශයෙන් තිබෙන, පහසුවෙනුත් උත්සාහයෙනුත් ධර්මය අවබෝධ කළ හැකි එමෙන්ම පරලොව බිය දකින සත්ත්වයන් සිටින බව, උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ හටගත් පියුම් අතර සමහර පියුම් දියෙන් මතුපිටට නො පැමිණ දිය තුළම ගිලී වැඩෙන්නා වගේ සමහර පියුමක් දිය සමඟ ගෑවි ගෑවී තියෙන්න වගේත්, සමහර පියුමක් දියෙන් මතු පිටට නැගී දියෙහි නො ගෑවී තිබෙන්නාක් වැනිවූත් පියුම් තියෙන්න වගෙ කෙලෙස් අඩු වූ ද, කෙලෙස් අධික වූ ද, කෙලෙස් තියුණු වූ හා මොළොක් වූත් ශ්‍රද්ධා ප්‍රඥාදී ඉන්ද්‍රියන් ඇත්තා වූත් එම ඉන්ද්‍රියන් අඩු වැඩි වූත් පහසුවෙන් හා උත්සාහයෙන් ධර්මය අවබෝධ කර ගත හැකි වූත් පරලොව වරද හා පරලොව බිය දක්නා වූත් විවිධ සත්වයන් ලොව සිටින බව දුටුවහ. එසේ දුටු බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමට තමා කැමති බව සහම්පති මහා බ්‍රහ්මයාට ප්‍රකාශ කළහ.
බ්‍රහ්මයා මේ ධර්මය නොදත්ත අය බහුලයි ඔවුන්ට මෙය දෙසීම වෙහෙස ගෙන දෙන්නක් නිසා මම දහම් දෙසීමට පසුබට වූයෙමි. කන් ඇත්තෝ මාගේ ධර්මය අසත්වා. ශ්‍රද්ධාව ඇතිකර ගනිත්වා. නිවන් නමැති දොරටුව මා විසින් විවර කරන ලදී යයි වදාළ විට මහා බ්‍රහ්මයා තමන් විසින් බුදුන්ගෙන් කරන ලද ඉල්ලීම පිළිගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමට කැමැත්ත පලකරන ලදැයි සතුටුව උන්වහන්සේට වැඳ නමස්කාර කොට අතුරුදන් වුණා. බ්‍රහ්මයා අතුරුදන් වූ පසු බුදුරජාණන් වහන්සේට තවත් මෙබඳු සිතක් උපන්න. මා අවබෝධ කරගත් ධර්මය වහාම අවබෝධ කරගන්නට සමර්ථ පුද්ගලයකුට පළමුවෙන්ම ධර්මය දේශනා කරන්න හිතුව. බුදුවන්න පෙර තමන් වහන්සේ ඇසුරු කළ බුද්ධිමත් තවුසකු වූ ආලාරකාලාම, ගැන හිතුව. ඒ අවස්ථාවෙ කිසියම් දේවතාවෙක් උන්වහන්සේට කීව ස්වාමීනි, ඔහු කළුරිය කරල හත් දිනක් වෙනවයි කියල. එවිට උද්දකරාම ගැන හිතුව. එවිටත් දේවතාවෙක් කීව ස්වාමිනි, ඔහු ඊයේ රාත්‍රී මධ්‍යම යාමයෙහි කළුරිය කළයි කියල. අනතුරුව පස්වග තවුසන් ගැන හිතුව. ඔවුන් දැනට ඉන්නෙ කොහිදැයි බැලූ බුදුහාමුදුරුවන්ට පෙනුන ඔවුන් බරණැස ඉසිපතනයෙහි මිගදායෙ සිටින බව.
තම ප්‍රථම ධර්ම දේශනාව පස්වග තවුසන්ට දෙසීමට තීරණය කළ බුදුන් වහන්සේ දින කීපයක් උරුවෙල් දනව්වේ වැඩ ඉඳල බරණැස බලා පයින් ම වැඩිය. මෙසේ වඩින විට ගයාව හා ශ්‍රී මහා බෝධිය අතර දී ‘උපක’ නම් ආජීවකය හමුවුණ. බුදුන් හමු වූ ඔහු උන්වහන්සේගෙන් අහනව ඇවැත්නි, ඔබේ ඉඳුරන් ඉතාම ප්‍රසන්නයි. සිරුරේ සමත් ඉතාම පිරිසුදුයි. ඉතා සුදුයි. ඔබේ ශාස්තෘවරයා කවුරුද? කවරෙක් උදෙසාද ඔබ පැවිදි වූයේ. කවරකුගේ ධර්මය ඔබ රුචිකරන්නේද? මෙසේ ප්‍රශ්න කීපයක් එක දිගට ඇසූ උපක ආජීවකයාට පිළිතුර දෙමින් බුදුන් වහන්සේ මෙසේ වදාළසේක.
‘උපක’ මම සියල්ල මැඩලූවෙක්මි. මම සියල්ල දත්තෙකි. සියලු දහම්හි නො ඇළුනෙක්මි. සියලු කෙලෙස් දුරලූ වෙක්මි. තණ්හාව සම්පූර්ණයෙන් දුරුකළ කෙනෙක්මි. මෙසේ සියල්ල දැන සිටින මා හට අසවලා මාගේ ආචාර්යවරයා යයි කෙසේ කියම්ද? මෙසේ වදාළ උන්වහන්සේ යළිත් දේශනාව කරනව.
ආජීවකය, මා අවබෝධ කරගත් ලෝකෝත්තර ධර්මය අවබෝධ කිරීමට මට ගුරුවරයෙක් නො මැත. එසේම මට සමාන තවත් කෙනෙක් ලෝකයෙහි ම නොමැත. දෙවියන් සහිත මේ ලෝකයෙහි මා හා සමාන පුද්ගලයෙක් ද නොමැතයයි වදාරා යළිත් කියනව. මම ධර්ම චක්‍රය පවත්වන්න කසීරට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් නුවණ අන්ධ වූ ලෝකයෙහි අමා දහම් බෙරය ගසන්නෙමියි මෙසේ තමන් වහන්සේ කවුරු දැයි හැඳින වූ පසු උපක ආජීවක ඇවැත්නි, ඔබ වහන්සේ කියන පරිදි ඔබ අනන්ත ජීනවීමට සුදුසුයි කී විට බුදු හාමුදුරුවො පිළිතුරු වශයෙන් මෙසේ වදාළ.
උපක, යමෙක් කාමාදී ආශ්‍රවයන් දුරු කෙළේ ද ඔවුහු මා වැනි ජිනයෝ වෙති.
මා විසින් සියලුම පාප ධර්ම දුරුකරන ලදී. එහෙයින් මම ජීන වෙමි යි වදාළහ. බුදුන් වහන්සේ මෙසේ කීවම උපක ආජීවක ඇවැන්ති එසේ ද විය හැකියයි කියා හිස වනා කුඩා පාරකින් යන්න ගියා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයෙහි පස්වග තවුසන් විසූ මිගදාය දෙසට වැඩියා. පස්වග තවුසන් බුදුන් වඩිනව දැකල කතිකා කරගත්ත ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පධන් වීර්ය කොට (භාවනා කොට) අසාර්ථක වෙලා දැන් බහුල (පිරිකරාදියෙන් බහුලව) බවට පත්වෙලයි ඔය අපළඟට එන්නේ. අප ඔහුට නො වැඳිය යුතු ය. උවටැන් නොකළ යුතු ය. පාත්‍රය නොගත යුතු ය. සිවුරු පිරිකර නොගත යුතු ය. එහෙත් ඔහු උසස් කුලයක පුද්ගලයෙක් නිසා කැමැති නම් හිඳ ගන්නා අසුනක් දෙමු. ඔවුන් මෙසේ කතිකා කරගෙන සිටිය නමුත් බුදුන් ආරාමයට ළං වත්ම කතිකාවෙහි සිටිය නොහී එක් තවුසෙක් උන්වහන්සේගේ පා සිවුරු ගත්හ.තවත් තවුසෙක් උන්වහන්සේට අසුනක් පැනෙව්ව. තවත් තවුසෙක් පා දෝවනය කළා. ඉක්බිති පනවන ලද අස්නෙහි හිඳගත් බුදුරජාණන් වහන්සේ ඔවුන් විසින් ඇමතුවේ සමාන අයට අමතන ආවුසො (ඇවැත) යනුවෙනි. එවිට උන්වහන්සේ කීව ඇවැත්නි, තථාගතයන් වහන්සේට එසේ ඇවැත, කියා හෝ නම කියා හෝ ඇමතීම (අගෞරවයක්) ඇමතීම නුසුදුසු ය. තථාගතවරු රහත්ය. සම්මා සම්බුදුවරුය. මා කියන දේ අහන්න. මම නිවන් අවබෝධ කළ කෙනෙක්මි යි වදාළ.
මම නුඹලාට අනුශාසනා කරමි. ඒ අසා පිළිපදින නුඹලාට කල් නොයවා ම රහත් විය හැකියයි වදාළ විට යළිත් ඔවුහු පෙර මෙන් ම ඇවැත් ගෞතමයන් වහන්ස, යි බුදුන් අමතා පැවසීය. ඔබවහන්සේට දුෂ්කරක්‍රියා කරල ප්‍රතිඵලයක් ලබන්න නො හැකිවුණා. (මොවුන් මෙසේ කීයේ ඔවුන්ගේ පිළිවෙත සිරුරට දුක් දීමෙන් විමුක්තිය ලැබිය හැකිය යන දෘෂ්ටිකයන් වීමයි.) දැන් පිරිකර ආදියෙන් බහුලව සිටිමින් රහත් වීමි යි කියන්නේ කෙසේදැයි ඇසූහ. ඒ අවස්ථාවෙත් එබඳු වචන පාවිච්චි නොකරන්නැයි කී බුදුහාමුදුරුවො ඔබලාට මම ධර්මය කියන්නම්. එය අහන්න, මෙසේ තුන්වන වරටත් අවවාද කළ බුදුන් වහන්සේ යළි කියනව තවුසෙනි, මා පෙර කවරදාකවත් මම රහත්මි, සම්මා සම්බුද්ධ වෙමි, යනුවෙන් කියල තියෙනවද. නැත ස්වාමිනි යි ඔවුහු පිළිතුරු දුන්හ. මහණෙනි තථාගතයන් වහන්සේ රහතෙකි. සම්මා සම්බුද්ධ උතුමෙකි. මහණෙනි, කන් යොමු කරන්න යනුවෙන් කීවම තවුසෝ බුදුන්ගේ කීම පිළිගත්හ. එවිට යළිත් අනුශාසනා කරමින් බුදුන් වහන්සේ වදාරනව මහණෙනි, මම නුඹලාට අනුශාසනා කරමි. මම නුඹලාට දහම් දෙසමි. මාගේ අනුශාසනාව පිළිපදින නුඹලාට වැඩි කාලයක් නොගොස් ම යමෙක් නිවන් ලැබීම සඳහා ගිහියෙන් නික්ම මේ ශාසනයෙහි පැවිද්ද ලබනව නම් ඔහුට ආර්ය බ්‍රහ්ම චරියාව හෙවත් නිර්වාණ මාර්ගය අවසන් කොට ලබන උතුම් වූ ලෝකෝත්තර සැපත ඉහාත්මයේ දීම විශිෂ්ට ඥානයෙන්ම අවබෝධ කොට හෙවත් ප්‍රත්‍යක්ෂ කොට නිවනට පැමිණ වාසය කළ හැකියි වදාළ. එවිට පස්වග තවුසෝ බුදුන්ගේ ධර්ම දේශනාව ඇසීමට කන් යොමු කළහ. සිත් යොමු කළහ.
එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, කම්සැප විඳීම පහත් ක්‍රියාවකි. හීන ක්‍රියාවකි. අශිෂ්ට ක්‍රියාවකි, පුහුදුන් මිනිසුන්ගේ ක්‍රියාවකි. අනාර්ය ක්‍රියාවකි. යහපතක් ගෙන නොදෙන ක්‍රියාවකි. (මෙය එක් අන්තයකි) අනෙක ශරීරයට වද දීමයි. එය දුක් සහිතයි. අනාර්යයි. අනර්ථ කරයි. (එය අනෙක් අන්තයයි) මහණෙනි මම මේ අන්ත දෙකම බැහැර කොට නුවණ ඇති කරන, ප්‍රඥා නමැති නුවණ ඇති කරන, කෙලෙසුන් සංසිඳුවන, සම්‍යක් සම්බෝධිය ම උපකාරවන නිර්වාණය ලැබීමට හේතුවන මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව කුමක්දැයි හෙළි කරමින් බුදුරජාණන් වහන්සේ (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී) නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන කීම, ප්‍රාණඝතාදී වැරදි කායික ක්‍රියාවලින් වැළැකීම, (නිවැරදි ජීවිකා වෘත්ති වලින් දිවිපවත්වා ගැනීම) නිවැදි දිවි පැවැත්ම. නිවැරදි සිහිය, නිවැරදි චිත්ත සමාධියක අට වැදෑරුම් මැදිපිළිවෙත යයි වදාළ.
අනතුරුව බුදුන්වහන්සේ වදාරනව මහණෙනි, දුක නමැති ආර්ය සත්‍ය මෙයයි. එනම් සත්ත්වයාගේ උපත දුකකි. ජරාවීම ද දුකකි. රෝගී වීමද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රයයන් සමඟ එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති දෑ නොලැබීමද දුකකි. සියල්ලේ එකතුවෙන් ලැබෙන පඤ්චස්ඛන්ධයම දුකකි. මහණෙනි, දුක්ඛාර්ය සත්‍යය මෙයයි. මහණෙනි, පුනර්භවය ඇති කරවන සසර බැඳ තබන රාගයෙන් යුක්ත, උපන් උපන් තැන යහපත්ය කියල සතුටු කරවන සුළු, කැමැති දේ පිළිබඳ ආශාව, සසර යළි යළිත් ඉපදීමට ඇති ආශාව, තවත් භවයක් නැති නිසා මේ භවයට ඇති ආශාව දුක්ඛ සමුදයාර්යය සත්‍යයයි. මහණෙනි, දුක් හටගැනීම නම් ආර්යය සත්‍යය මෙයයි. ඉහත කී තණ්හාව සම්පූර්ණයෙන් නැතිකිරීම, එය අත්හැරලීම, එය දුරලීම, එයින් මිදීම, එහි නොඇලීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි. මහණෙනි, දුක් නිරුද්ධ කිරීමට (සම්පූර්ණයෙන් බැහැර කිරීමට අනුගමනය කළයුතු පිළිවෙත මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි ආදී අටයි. මහණෙනි, මේ මැදුම් පිළිවෙත අනුගමනය කරන මට මෙය දුක නමැති ආර්ය සත්‍යයයි. පෙර නෑසූ ධර්මයන් පිළිබඳව නුවණැස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, අනතුරුව එම දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දතයුතුය කියා නුවණැස මට පහළ වුණා. එය දැනගතිමියි නුවණැස පහළ වුණා. යළිත් මහණෙනි, මෙය දුක්ඛ සමුදයාර්ය සත්‍යයය යන නුවණ පහළ වුණා. එය ප්‍රහාණ කළයුතු යයි නුවණ පහළ වුණා. එය ප්‍රහීණ කෙළෙමි යන නුවණ පහළ වුණා. අනතුරුව මේ දුක් නිරුද්ධ කරන ආර්ය සත්‍යයය නම් නුවණ පහළ වුණා. අනතුරුව එය ප්‍රත්‍යක්ෂ වශයෙන් දතයුත්තකයි යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළෙමියි යන පෙර නෑසූ ධර්ම පිළිබඳ ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වුණා. ඊළඟට දුක් නිරුද්ධ කරණ පිළිවෙත නමැති ආර්ය සත්‍යය පිළිබඳ ශ්‍රවණය පහළ වුණා. එම සත්‍ය වැඩිය යුත්තක් (පුරුදු පුහුණු කළයුත්තක්ය) යන නුවන පහළ වුණා. අනතුරුව එය මා විසින් වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ පරිවර්ත තුනකිනුත් ආකාර දොළොසකිනුත් මේ පිළිබඳ සැබෑ තත්ත්වය මා විසින් අවබෝධ කර ගත්ත. එය මට පිරිසුදුව වටහා ගත නොහැකි වූ තාක් දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මනුෂ්‍යයන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට මම අනුත්තර සම්මා සම්බෝධිය විශේෂයෙන් අවබෝධ කෙළෙමියි නො කීවෙමි. යම් අවස්ථාවක සිට මෙසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත තුනකින් හා දොළොස් ආකාරයකින් එවයි සැබෑ තත්ත්වය ප්‍රඥාවෙන් දැක අතිශයින් පිරිසුදු වීද, ඉක්බිති දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන්ට “මම සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කෙළෙමි යි ප්‍රකාශ කෙළෙමි. දැන් සර්වඥාතා ඥානය නමැති දර්ශනය මා තුළ පහළ විය. මාගේ චිත්ත විමුක්තිය (කෙලෙසුන්ගෙන් සිත මිදුණු බව) පැහැදිලියි. මේ මාගේ අවසන් අත්බවයයි. තවත් මාගේ පුනර්භවයක් (නැවත ඉපදී වීමක්) නැත යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ විට පස්වග මහණුන් බුදුන්ගේ දේශනාව සතුටින් අනුමත කළහ. මේ ධර්මය ප්‍රකට කොට දේශනා කළ අවස්ථාවේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට කෙලෙස් මල නසා සෝතාපත්ති ඵලයට පැමිණ ලොව යමක් හටගනීද සියල්ල වැනසෙන සුළුය යන ධර්මඥානය පහළ විය. මේ ධර්මය ඇසූ භූම්‍ය ස්ථ දෙවිවරුන්ගේ සිට අකනිට්ඨක බඹුන් ඇතුළු සියලු දෙවි බඹුහු සාධු නාද පැවැත් වූහ. එවිට මිහිකත ද කම්පාවිය. ලොව ඒකාලෝක විය. බුදුකෙනෙකුන්ගේ ලොව පහළ වීම ලෝකයට සුබ සිද්ධියක් වන්නේ මේ නිසයි. එසේ හෙයින් දුර්ලභ මිනිසත් බවක් ලත් ඔබ නිවන් සුව සඳහා සිය ජීවිතය මෙහෙයවීමට අදිටන් කර ගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඉන‍්දක සූත්‍රය හා විග්‍රහය (කළල විකසනය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍්දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ඉන‍්දක යක‍්ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුරට කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණ
ඔහුගේ මව යම් අහරකුත් බොන දෑකුත් බෝජනයකුත් වළදාද මව් කුසට පැමිණි ඒ සත්ව තෙමේ ඒ ආහාරපානාදියෙන් එහිදී යැපේ.
මේ සූත්‍රය විග්‍රහයෙන් බලමු.
තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබේ යන්න එහි තේරුමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"
මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත
මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.
පළමු සතිය
"සත්තාහං කළලං හෝති පරිපක්කං සමුහකං
විවටිටමානං තබිබාවං අබිබුදං නාම ජායති"
කළලය යන්න සතියක් පවතියි. එය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි. අබිබුදය යන්නේහි තේරුම වන්නේ පෙණ පිඩ යන්න වේ.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
සංසේචනය (Fertilization) විමත් සමගම මෙම සයිගොටයේ සෛල බෙදිමට පටන් ගනියි. එවිට එය හදුන්වන්නේ බිලාස්ටෝ සයිටය ලෙසයි. සංසේචනයෙන් දින 04 ක් හෝ 05 කට පසුව මෙම බිලාස්ටෝ සයිටයේ සෛල 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇත.නමුත් මෙය තාමත් සයිගොටයේ හැඩයෙන් වෙනස්වි නැත. එය හදුන්වනු ලබන්නේ මොරැලාව ලෙසය. දින 07 ක් වන විට මෙහි සෛල විශාල සංඛයාවක් ඇතිවි තිබේ. ඒ අනුව කළලය යන්නෙහි මුලික වෙනස්කමි දර්ශනය වන්නට වන්නේ දින 07 කින් කීම 100% ක් නිවැරදිය. දින 07 ක් වන විට බිලාස්ටෝසයිටයේ සෛල සැලකිය යුතු විශාල සංඛයාවක් ඇති නිසා මෙය දර්ශනය වනුයේ පෙන පිඩුවක් හා සමාණවය. එමනිසා "කළලය මෙරිමට පත්වි සමුහාකාර වී කළලයේ ආකාරය අත්හැර අබිබුදය නමි දෙය වන්නේය" යන්නද 100% ක් නිවැරදිය.
දෙ වන සතිය
"සත්තාහං අබිබුදං හෝති පරිපක්කං සමුහකං
විවටංටමානං තබිභාවං පේසි නාමච ජායති"
"සතියක් අබිබුධය පවතියි. එය මොරා සමුහාකාර වුයේ ඒ ස්වභාවය අත්හරින්නේ පේශි නමි දෙය වන්නේය" යන්න එහි තේරුමයි
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
මෙ වන විටත් මෙම බිලාස්ටෝ සයිටයේ ඇතුලු සෛල පින්ඩය (inner cell mass) මගින් සෛල කපාහැරිම සිදුකරමින් මෙය වර්ධනය වෙමින් පවතියි. තවමත් ගර්භාෂ බිත්තිය මත රෝපනය විම සිදුවි නැති(Implantation) මෙය දිනත් 6 ත් 09 අතර කාලයකදි ගර්භාෂ බිත්තියේ රෝපණය විම සිදුවෙ. මෙය ගර්භාෂයේ රෝපනය වු පසුත් සතියක් පමණ මෙම බිලාස්ටෝසයිටයේ සෛල වර්ධනය වෙමින් පවතියි. නමුත් තාමත් මෙහි ඇත්තේ සෛල සිමිත සංඛයාවක් පමණි. එනමි එහි පෙන පිඩක හැඩය හෙවත් බුදුපියාණන් දේශනා කල පරිදි අබිබුදාකාරය එසේම පවතියි.ඒ නිසා අබිබුදය යන්න හෙවත් බිලාස්ටෝසයිටය සතියක් පවතියි යන්න 100% ක් නිවැරදි කියමණකි. එහි ආකාරය පෙනපිඩක් සේ දැක්විමද 100% ක්ම නිවැරදිය.
තුන් වන සතිය
"සත්තාහං පේසි භවති පරික්කං සමුහකං
විවටිටමානං තබිභාවං ඝනෝති නාම ජායති"
"පේශිය සතියක් පවතියි එය මොරා සමුහාකාර වන්නේ ඒ ස්වභාවය අතහරින්නේ ඝන නමි දෙය වන්නේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
දෙවන සතිය අවසාන වන විට පටකයන් විකසනය විම ආරමිභ වෙයි. ඒ අනුව අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය ඇතිවිම සිදුවෙ. (Ectoderm,mesoderm,endoderm) ඒ අනුව 03 වන සතිය අග භාගය වන විට මුල්ම අවයවයන් වන මොළය හා ශුෂුමිනාව ඇතිවිම ආරමිභ වෙ.
එවිට මෙම ව්‍යුහය මිලිමිටර 2 ක පමණ විශාලත්වයක් දරයි. අපිචිචද, අන්තශ්චද හා අන්තංචදය යනු පේෂි ඇති විමෙ ආරමිභක අවස්ථාවයි. එලෙසම මෙය දැන් විද්‍යාමාන වනුයේද කුඩා පේශියක් ආකාරයෙනි. එබැවින් පේශිය සතියක් පවතියි යන්න 100% නිවැරදිය.
හතර වන සතිය.
"යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං
ඒවංඉ ඝනස්ස සනණ්ඨානං නිබිබත්තං කමිමපචිචයා"
"යමිසේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවෙද, කර්ම හේතුවෙන් උපන්නාවු ඝනයාගේ සටහනද එසේය" යන්න මෙහි තේරැමයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. 
පේශිය මෙ වන විට ඝනය බවට පත්වි ඇත. මෙතෙක් ඇසට නොපෙනෙන ප්‍රමාණයෙන් වු මෙම ව්‍යුහය දැන් ඇසට පෙනෙන ඝන වස්තුවක් බවට පත්වි ඇත. හතර වන සතිය වන විට මෙහි ප්‍රමාණය මිලිමිටර 5 ක් පමණ වෙ. හතර වන සතියට අදාල ස්කැන් රැපයක් සලකා බැලුවහොත්
එය විස්තර කිරිමට කිකිළි බිත්තරයක් උදාහරණයට ගැනිම තෙකරමි සාධාරණද යන්න ඔබට පෙනි යනු ඇත. එනමි ඝනයේ හැඩය ලෙස දක්වා ඇත්තේ හාත්පසින් වටවි ඇති කිකිළි බිත්තරයකි.
පස් වන සතිය
"ඝනා පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච"
සතියක් පවතින්නාවු මෙම ඝනයේ පස්වන සතියේ අතු පහක් ඇතිවන බව මෙයින් ප්‍රකාශිතයි.
දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු.
ඉතාමත් නිවැරදි ලෙස පස් වන සතිය වන විට අත් දෙකත්, පාද දෙකත් හිසත් හට ගන්නා නිසා. මෙම ඝනයෙන් අතු පස් ක් ඇති වන බව පැවසිම 100% නිවැරදිය. මෙ වන විට කළලය මිලිමිටර 8 ක් පමණ වෙ.බෲනය යනු මෙයයි. හෘර්ධ ස්පන්ධනයද මෙ වන විට ඇත. මෙම ඝනයා වර්ධනය විමෙන් කෙස් ලොමි නිය ආදියද ඇතිවන බව දක්වා ඇත. එනමි බෘනය විකසනය විමෙන් සත්ත්වයා වර්ධනය වන බව දක්වා ඇත.
"යං තස්ස භුජ්ජතේ මාතා අන්නං පානං ච භොජනං
තේන සෝ තත්ථ යාපේති මාතුකුචිඡිගතෝ නරෝ"
ඔහුගේ මව යමි ආහාරයක්, යමි පානයක් බොජුනක් වළඬාද, මවි කුසට පැමිණි ඒ සත්ත‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මවි කුසෙහි යැපෙයි.
මෙ පිළිබදව නමි කිව යුත්තක් නැත. මව විසින් ආහාරයට ගන්නා පානය කරන්නාවු සියල්ල කලල බන්ධය හරහා දරැවාටද ඇතුලුවන බව අපි දන්නා කරැණකි.
මෙ අනුව පැහැදිලි වන්නේ තථාගතයානන් වහන්සේ දැනට වසර 2600 කට මත්තෙන් කෙතරමි ආශ්චර්‍යමත් ලෙස මවිකුස තුල ළලයක විකසනය දක්වා ඇද්ද යන්නවෙ. ඒදා ජනයාට තේරැමි ගත හැකි වන ආකාරයෙන් දේශනා කරණ ලද මෙම දේශනාව අදටත් එහි අන්තර්ගත කරැණු 100% නිවැරදි විමෙන් අපට තථාගතයානන්වහන්සේගේ ඥානය ගැන අනුමාන කරගත හැකිවනු ඇත. මෙම කරැණු නුතන විද්‍යාව හා සැසදුව කරැණත් මෙහිදි ඉදිරිපත් කිරිම ඉතා වැදගත් යැයි මම සිතමි. මා කිසිදු විටක බුද්ධ දේශනාව විද්‍යාව හා සමකිරිමට අකමැති වුවත් (එයට හේතුව තථාගතයානන් වහන්සේගේ ඥානය හා සැසදිමෙදි විද්‍යාව තවමත් සැලකිය යුත්තක් නොව බැවිනි) අප දන්නා දෙය බුදුපියානන්වහන්සේත් දේශනා කර ඇති බව දැකිමෙන් පුද්ගලයන් තුල සතුටක් හා විශ්වාසයක් තමන්ගේ ශාස්තෘවරයානන්වහන්සේ ගැන ඇති වන බැවිනි. මෙහි වැදගත් තව කරැණක් ඇත. සුත්‍රයේ අන්තර්ගත කරැණු සියල්ල විද්‍යාව හා ගැලපි යාමටත් එය දේශනා කලේ කවරකුටද යන්න බොරැ විමට හේතුවක් නොමැති බවත් මෙහිදි වැටහි යනු ඇතැයි මම සිතමි. එනමි මෙම සුත්‍රය දේශනා කලේ ඉන්දක නමි යක්ෂයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරැ දිමි වශයෙන් බව ඔබ දකින්නට ඇත. යමෙක් යක්ශයෝ යනුවෙන් පිරිසක් නැතැයි කියන්නේ නමි ඔවුන්ට මෙය හොද පිළිතුරක් වනුද නොඅනුමානය.
බුද්ධ රශ්මි 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඔබත්, යහපත් නිවසක හිමිකරුවකු වන්න...

බුදුරදුන් සදෙසා වදාළ නිවාස පහ

මිනිස්‌ ප්‍රජාවගේ ජීවත්වීම උදෙසා කාරණා හතරක්‌ විහේෂ වශයෙන් බලපාන බව පෙනේ. එම කාරණා හතර ගිහි පැවිදි දෙපක්‌ෂයටම බලපාන කරුණුය. නමුත් පැවිදි පක්‌ෂය තුළදී මේ කාරණා හතර වෙනත් නම්වලින් හඳුන්වන නමුත් අර්ථයෙන් එකහා සමානය. ගිහි ජීවිත ගතකරන අපට ජීවත්වීම සඳහා ඇඳුම්, පැළඳුම්, ආහාර-පාන, ගෙයක්‌-දොරක්‌ මෙන්ම ලෙඩ රෝග සඳහා බේත් හේත් අත්‍යවශ්‍ය වේ. පැවිදි ජීවිතය තුළදී එම කාරණා චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය නමින් අර්ථ ගැන්වේ. මේ කාරණා හතර පොදුවේ සිව්පසය ලෙස හැඳින්වෙයි. මේ කවර ආකාරයෙන් ගෙන බැලුවද අන් කවර දේ අඩුවැඩි වශයෙන් තිබුණද නිවහනක්‌ අත්‍යවශ්‍යය. 

මේ පිළිබඳව අප බුදුරජාණන් වහන්සේ 'පංචපාද' සූත්‍රයේදී ඉතා වැදගත් කරුණු රැසක්‌ හෙළිකර ඇත. පැවිදි පක්‌ෂය අතින් ගත් කල උන්වහන්සේලා ධර්මදූත සේවයේ හෝ පිණ්‌ඩපාත චාරිකාවේ යෙදී සිට නැවත ළඟාවනුයේ තම තමන්ගේ ආරාමවලටය. නැතහොත් කුටිවලටය. ගිහි පිරිස දිවා කාලයේ තම තමන්ගේ දෛනික කටයුතු නිමවා රාත්‍රිය ගත කිරීමට ළඟාවනුයේ තම නිවසටය. දිවා කාලයේ ගත කළ විඩාබර ජීවිතයෙන් තාවකාලිකව මිදෙනුයේ තම නවාතැනට පැමිණ නිදහසේ ගත කිරීමෙනි. ඒ නිසා මේ නවාතැන සුන්දර තැනක්‌ විය යුතුයි. නැතහොත් ඒ විඩාව දෙගුණ තෙගුණ වන නියතය. තම නවාතැනට ළඟාවූ පසු නිදහස හා සතුට නැතිවුවහොත් එය මහත් දුකකි. සමහර විට ජීවිතය පවා එපාවන තරමට කරුණු යෙදේ. මෙය පැවිදි, ගිහි කවර තරාතිරම් අයකුට වුවද පොදු ධර්මතාවකි.

යහපත්, සැපවත්, සතුටුදායක, නිරෝගී ජීවිත ගත කිරීම සඳහා ධර්මානුකූල පදනම වටහාදෙන බුදුරජාණන් වහන්සේ එම නිවහන වර්ග පහකට බෙදා වෙන්කර ඒවායේ ලක්‌ෂණ එකිනෙක විස්‌තර කරමින් පංචපාද සූත්‍රයේදී දක්‌වා තිබේ. ඒ වර්ගීකරණය පිළිබඳව යම් පමණකින් කරුණු දැනගෙන අප අයත් වන්නේ ඉන් කවර කොටසකටදැයි විමසා බලමු.

'පංච පාද' යනු පාද පහ යන්නයි. පාද යන වචනයේ නොයෙක්‌ තේරුම් ඇත. ගණිත විෂය යටතේද 'පාද' යන නම භාවිත වන අතර දෙපාවලටද පාද යන වචනය යෙදේ.නිවසක්‌ ඉදිකිරීමේදී වඩුකාර්මිකයා හෝ පෙදරේරුවා විසින් අත්තිවාරම් සලකුණු කර කරනු ලබන බෙදීමටද පාද බෙදීම යන නම භාවිත කෙරේ. ඒ අනුව නිවසක ඇති පාද මේ සූත්‍රයෙන් අර්ථගන්වා ඇත. එය නිවසට පමණක්‌ නොව තමන් සේවා කරන ස්‌ථානයේ, වැඩිබිමේ ඒකාරාශීව කටයුතු කරන ස්‌ථානය වශයෙන්ද ගෙන විග්‍රහ කළ හැකිය. මෙම 'පංචපාද' යන වචනය සරල කරගැනීම සඳහා නිවාස වර්ග පහක්‌ ගැන අපි මෙනෙහි කරමු. කල්පනා කරමු. ජීවත්වන නිවස වර්ග පහකට බෙදා දක්‌වන බුදුරජාණන් වහන්සේ බුද්ධ පාද, දේව පාද, යක්‌ෂ පාද, භූත පාද සහ ප්‍රේත පාද ලෙස දක්‌වමින් එම නිවාසවල ජීවත්වන අයගේ හැසිරීම් රටාව, ක්‍රියාකාරකම් හා පරිසරය ගැනද මැනවින් කරුණු විස්‌තර කර ඇත. ඒ පිළිබඳව කෙටියෙන් සලකා බලමු.

බුද්ධ පාද නිවස

මේ නිවසේ ජීවත්වන පිරිස නිති පන්සිල් සුරකින ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතු පිරිසකි. ඔවුහු දිනපතා උදේ සවස මල් පහන් පූජාකරන අතර රාත්‍රී කාලයේ සියලු දෙනා එක්‌වී පිරිස්‌ සඡ්Cධායනා කරති. නැතහොත් නව තාක්‌ෂණය මගින් පිsරිත් සූත්‍ර විසුරුවා හරිති. උදේ සහ දවල් බුදුරජාණන් වහන්සේ උදෙසා ආහාර බුද්ධ පූජාව පවත්වති. ඉඩලද අවස්‌ථාවල විහාරස්‌ථානය කරා ගොස්‌ බෝධි පූජා, බුද්ධ පූජා පවත්වති. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට මෙන්ම යාචකයන්ට දන්දෙති. ගරුතර මහා සංඝරත්නය හොඳින් ඇසුරු කරන අතර, උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත කටයුතු කරති. 

මොවුහු ධර්මානුකූලව ජීවිත ගතකරන්නේ බාහිර සමාජයට පෙන්වීම සඳහා නොව ඔවුන්ගේ මෙලොව, පරලොව ජීවිත සැපවත් කර ගැනීම සඳහාමය. මවුපිය දෙපළ ඉතා කාරුණිකය. සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග හා සම ප්‍රඥ යන ගුණයන්ගෙන් යුක්‌ත ඔවුහු නිහතමානීය. තම දරුවන්ද එම අඩිපාරේම යමින් ඔවුන්ද දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට කීකරුව කටයුතු කරති. මේ නිසා මේ නිවස නිතරම සතුට වපුරුවා හරියි. සිනහවෙන් පිරී ඇත. දවසේ වැඩ දවස තුළ නිමා කරති. මිහිරි හඬින් නිතරම කතාබහ කරති. මෙවැනි පවුලක්‌ ජීවත්වන නිවස බුද්ධ පාද නිවසක්‌ බව බුදුන් වහන්සේ දක්‌වා ඇත. දැන් ඔබේ නිවසත් මෙවැනි නිවසක්‌දැයි සිතා බලන්න. අඩුපාඩු තිබේ නම් ඒවා සකස්‌කර ගැනීමට කටයුතු කරමු.

දේව පාද නිවස

තමන් ජීවත්වන නිවස හා පරිසරය හොඳින් පිරිසිදුව තබාගනිමින් තුණුරුවන් උදෙසා මල්පහන් පූජා කරමින් දෙවියන්ට පිං අනුමෝදන් කරමින්, මව්පියන් හා දූදරුවන් පන්සිල් ආරක්‌ෂාකරමින් සිල්වත්ව කටයුතු කරන නිවස දේව පාද නිවසකි. මවුපියන්ගේ හා දූදරුවන්ගේ කථාබහ ප්‍රියජනකය. ඔවුන්ගේ සිත්වල වෛරය නැත. ක්‍රෝධය නැත. නිතරම මෛත්‍රී සිතින්ම කටයුතු කරති. නිතර පිරිත් දේශනා කරන මෙම නිවස තුළින් ඇසෙන පිරිත් හඬට දෙවියෝ පවා සවන් දෙති. ඒ නිසා ඔවුන් මෙම නිවසට නිතර ආරක්‌ෂාව සලසා දෙති. ඒ නිසා නිවසේ ජීවත්වන අයට සොර බිය, ගිනිබිය, ජල බිය හා වෙනත් සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රවවලින් තොරව ජීවත්වීමට අවස්‌ථාව ලැබේ. ඒ නිසාම ඔවුන්ගේ දියුණුව ඇති වේ. හොඳින් සිල්වත් ජීවිත ගතකරන අයට දෙවියන් පවා වඳින බව බුදුන්වහන්සේ දේශනා කර ඇති අතර සක්‌දෙවිඳු වරක්‌ එය ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලදී. නිතර දන්දෙන, පින්කම් කරන, යහපත් වචන කතාකරන, මෙවැනි නිවාස දේව පාද නිවසක්‌ බව බුදුරජාණන් වහන්සේ විස්‌තර කර ඇත. ඔබේ නිවසේ අඩුපාඩු ඇත්නම් ඒවා මඟහරවාගෙන ඔබේ නිවසත් 'දේව පාද' නිsවසක්‌ බවට පත්කර ගැනීමට කටයුතු කරන්න.

යක්‌ෂ පාද නිවස

යක්‌ෂයින් අප දැක නැත. එහෙත් යක්‌ෂයන්ගේ හැඩරුව, කතාබහ හා සැඩපරුෂ බව ගැන ධර්ම දේශනාවලදී අසා ඇත. ඒ නිසා යක්‌ෂයින් ගැන යම් තරමක අවබෝධයක්‌ අපට ඇත. මේ වචනය ඇසෙන විට අපට ඇතිවන්නේ බියකි. සමහර නිවෙස්‌වල ජීවත්වන අම්මා, තාත්තා ඔවුන්ට කතා බහ කරන්නේ යක්‌ෂ භාෂාවෙනි. තාත්තා, අම්මාට කතාකරන්නේ යකෝ, යක්‌ෂණිය නම යොදාගෙනය. (යකෝ මෙහෙ වරෙන් ආදී වශයෙනි). අම්මා, තාත්තාට කතා කරන්නේත් ඒ අයුරිනි. එපමණක්‌ නොව අම්මා, තාත්තා තම දරුවන්ට කතා කරන්නේද මේ යක්‌කු, මේ යකා මේ යක්‌ෂණී ආදී වශයෙනි. සමහර විට දරුවනුත් අම්ම, තාත්තාට එම වචනවලින් කතාකරන අවස්‌ථා නැතුවා නොවේ. ඒ කතාකළ අයුරින්ම අන් අයට හැඟෙන්නේ ඒ ගෙදර යක්‌ෂ ගෙදරක්‌ ලෙසිනි. එපමණක්‌ නොව ඔවුන්ගේ කටයුතුද ඒ පරිද්දෙන්මය. ඔවුනොවුන් නිතර බැණ ගනිති, රණ්‌ඩුවෙති, සමගියක්‌ නැත. නිවසේ කිසි පිළිවෙළක්‌ නැත. හැමදෙයම අපිsළිවෙළට සකස්‌වී ඇත. ඔවුන් නිවසින් පිටවී යන්නෙත් නැවත නිවසට ඇතුල්වන්නෙත් තරහින්, කෝපයෙනි. මේ යක්‌ෂ පාද නිවසක ලක්‌ෂණ කිහිපයක්‌ පමණි.

නිවසේ දෙවියන්ට බුදුන්ට පහනක්‌ දල්වන්නේ නැත. මලක්‌ පිදෙන්නේ නැත. උපයන දෙයින් කෑමට බීමට වැය කරනවා පමණි. පිනක්‌ දහමක්‌ කරන්නේද නැත. මේනිවසට පිටස්‌තර උදවිය පැමිණෙන්නේ නැත. මේ නිවසේ අය අන් අය සමග සම්බන්ධකම් පවත්වන්නේද නැත. අඳින ඇඳුම් පවා පිළිවෙළකට, පිරිසිදුව අඳින්නේ නැත. ඔබේ නිවස මේ ආකාර යක්‌ෂ පාද නිවසක්‌ සේ සකස්‌ කර නොගෙන යහපත් නිවසක්‌ කර ගැනීමට උත්සාහ කරන්න.

භූත පාද නිවස

සමහර නිවෙස්‌වලින් නිතර අසන්නට ලැබෙන්නේ අගහිඟකම් හා නැතිබැරිකම් ගැනයි. කොතෙක්‌ මුදල් උපයනු ලැබූවත් අගහිඟකම්වලින් අඩුවක්‌ නැත. උපයන මුදලට වඩා වැඩියෙන් අනවශ්‍ය දේවලට වැයකරන නිසයි මෙහෙම වෙන්නේ. එමෙන්ම පෙර ආත්මවල කරන ලද අකුසල් නිසයි. ඒ බව තේරුම් නොගන්නා මොවුන් ගෙදරට ගෙනෙන මුදල් බාහිරවයා ගිලිනවා, භූතයො ගන්නවා කියා විශ්වාස කර යන්ත්‍ර - මන්ත්‍ර - ගුරුකම් කරවා ගනිති. එයින් සිදුවන්නේ තව තවත් අසහනයකි. භූතයින් සඳහා නිතර පහන් දක්‌වති. තොවිල් කරති. මේ භූත පාද නිවසක මූලික ලක්‌ෂණයි.

මෙවැනි නිවෙස්‌වල හැමදාම ලෙඩ්ඩුය. ලෙඩ ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා තව තවත් ලෙඩවෙති. මෙවැනි භූත පාද ගෙවල්වල බොහෝ අවස්‌ථාවල අම්මා, තාත්තා අතර කතාබහ නොමැත. දරුවන් අතර කතාබහ නැත. භුතයින් සේ කාලය ගත කරති. ආගමක්‌ නොඅදහති. යහපත් අය ඇසුරු නොකරති. යහපත් වැඩවල නොයෙදෙති. ඒවාට උදව් උපකාර නොකරති. ඉතින් ඔබේ නිවසත් මේ ආකාරයෙන්ද? උත්තරය 'ඔව්' නම් අදම නිවැරැදි කරගන්න. තෙරුවන් ගුණ කෙරෙහි විශ්වාසය තබමින් පන්සිල් ආරක්‌ෂා කරමින්, සත්පුරුෂ ආශ්‍රය කරමින් කටයුතු කරන්න. ඔබේ නිවසත් දියුණුවට පත්වේවි.

ප්‍රේත පාද නිවස

මේ නිවසේ ඇතුළත පමණක්‌ නොව පිටතද කිසිදු පිරිසිදුකමක්‌ නැත. මිදුලත් අපිරිසිදුය. එළුවා,බල්ලා, බළලා, කුකුල්ලු ආදී හැම සතුන්ම ගෙදර ඇති කරති. බොහෝවිට උන් සිටින්නේ ගේ ඇතුළේය. උන් මිදුල පමණක්‌ නොව ගෙයද අපිරිසිදු කරති. ගේ වටා දුගඳ හමයි. හරියට අමු සොහොනක්‌ බඳුය. නිවස තුළ කිසි පිළිවෙලක්‌ නැත. ගෙයි මුළුවල හා තැන තැන කිළිsටි ඇඳුම් ඇත. ඒවායින් නිකුත්වන දුගඳ දසතම පැතිරේ. කුස්‌සියද එබඳුය. හැමතැනම හැලි වළං ඇත. දින ගණනාවකින් සෝදා නැති හැළි වළං හා පිඟන් ගොඩගසා ඇත. අපායක්‌ බඳුය. නිවසේ හැමතැනම මකුළුදැල් බැඳ තිබේ. කුස්‌සියේ අපිරිසිදුකම නිසා කැරපොත්තන් වැනි සතුන් පමණක්‌ නොව තෙල් කූඹි හා කළු කූඹි නිවස අරක්‌ගෙන ඇත. ජීවත්වන අයගේද පිරිසිදුකමක්‌ නැත. අඳින්නේ වැරහැලිය. හොඳ ඇඳුම් තිබුණත් ඒවා අඳින්නට පිනක්‌ නැත. ඔබේ නිවස ප්‍රේත පාද නිවසක්‌ බවට පත් නොකර පිරිසිදු නිවසක්‌ බවට පත් කරගන්න. එවිට නිරෝගී, යහපත් ජීවිත ගත කළ හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකය. ඒ බව සිතා මේ 'පංචා පාද' සූත්‍රයේ අඩංගු කරුණු කෙරෙහි සැලකිලිමත්වී යහපත් නිවසක්‌ ගොඩනගා ගැනීමට වෙර දරන්න.
ගුණපාල කාරියවසම්
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිසල සිත ගෙනෙන සෙත

කැලණිය විශ්වවිද්‍යාලයේ 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුමනපාල ගල්මංගොඩ

චරිත ස්වභාවය අනුව භාවනා කිරීම සඳහා කමටහන් තෝරා ගැනීම වැදගත් වන අතර භාවනාවට අවශ්‍ය මූලික අවබෝධයත්, පසුබිමත්, සීලයත්, සම්පූර්ණ කොට ගෙන අනතුරුව සමාධි හා විපස්සනා භාවනා ක්‍රම දෙකින් සමාධි භාවනාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.

සමාධිය එකක් නොවන අතරම විවිධ සමාධි දක්නට ලැබේ. කුසල් සහගත සිතෙහි ඒකාග්‍රතාව ඇති කිරීම ථේරවාද සම්ප්‍රදායට අනුකූලව සමාධියෙන් කෙරෙන මූලික කාර්යභාරය වේ. සතෙකු මැරීමට කුරුමානම් අල්ලන පුද්ගලයා තුළද ඒ අවස්ථාවෙහිද සිතෙහි ඒකාග්‍රතාවයක්, එකඟ බවක් පවතී. එම නිසා සමාධි භාවනාවෙහි දී අදහස් කරනු ලබන එකඟභාවය යනු කුසල් සිතක එකඟ බවයි. බුදුදහමට අනුකූලව එම එකඟ වන සිත යහපත් සිතක් විය යුතු අතර යහපත් වූ එකම අරමුණක් වෙත සිත යොමු කොට පවත්වාගැනීම මින් අදහස්වේ. සෑම පුද්ගලයකුටම එකම භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමෙන් සමාධිය ඇතිකරගත නොහැකිය. ඒ සඳහා තම චරිතය කුමක්දැයි නිවැරැදිව අවබෝධ කොටගෙන එයට ගැලපෙන කමටහනක් නොහොත් භාවනා මාතෘකාවක් තෝරාගත යුතුය. තම චරිත ස්වභාවය හඳුනාගෙන ඒ අනුව කමටහන් තෝරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබාගත යුතුය. භාවනාව සඳහා කමටහන් ලබාගැනීමේදී ඊට යෝග්‍ය ඒ පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්ත වූ පුද්ගලයකු වෙත යෑම වඩාත්ම සුදුසු වනු ඇත. එම යෝග්‍ය වූ තැනැත්තන් “කල්‍යාණ මිත්‍ර” යනුවෙන් හඳුන්වනු ලැබේ. භාවනාවෙහිම නියැළෙන පලපුරුදු සීලවන්ත, ගුණවන්ත, ඤාණවන්ත. තැනැත්තන් කල්‍යාණ මිත්‍රයන් වශයෙන් හැඳින්විය හැකිය. තමාට ඇති අවශ්‍යතාවය අනුව කල්‍යාණ මිත්‍රයකු සොයා ගැනීම අපහසු නම් බුද්ධිමත් පුද්ගලයකුට කල්පනා කොට භාවනා කමටහන් තෝරා ගැනීමද එතරම් අපහසු නොවන්නේය. සුදුසු කමටහන් හා චරිත ස්වභාවය හඳුනා ගැනීමට පෙර කමටහන් වර්ග දෙක පිළිබඳව අවබෝධයක් ලබා තිබිය යුතුය.
සබ්බත්ථක කම්මට්ඨාන 
පාරිහාරිය කම්මට්ඨාන

යනු එම කමටහන් වර්ග දෙක වෙයි. සබ්බත්ථක කම්මට්ඨානයට මෛත්‍රී භාවනාව, මරණසති භාවනාව, අසුභසඤ්ඤා භාවනාව අයත් වේ.
කමටහන් වැඩීමට මුල පුරන තැනැත්තා හෝ තැනැත්තිය පළමුවෙන්ම මෛත්‍රිය වැඩීම යහපත්ය. මෛත්‍රිය වැඩීමේදී අනුපිළිවෙළකට අනුව එය කිරීම වැදගත් වේ.
1. මාගේ නිවසෙහි ජීවත්වන සියල්ලෝම සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා, (එහිදී මාගේ ආරාමයෙහි වසන සියල්ලෝම යනුවෙන් අවශ්‍ය පරිදි යොදාගත හැකිය)
2.මාගේ ගෘහ සීමාවට අධිගෘහිත දේවතාවෝ සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.
3. මම වසන ගමෙහි වසන මිනිස්සු සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා.
4.සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, කාරුණික වෙත්වා
යන ක්‍රමයට අනුකූලව ක්‍රමයෙන් තමාට සමීප පුද්ගලයන්ගෙන් පටන්ගෙන අවසානයට සියලු සත්ත්වයන් ඇතුලත් වන පරිදි මෛත්‍රිය වැඩීම යහපත්ය. තමා හා ආශ්‍රය කරන්නන් වෙත මෛත්‍රිය වැඩීමෙන් එදිනෙදා ජීවිතය ගත කිරීම පහසුවේ. දෙවියන් වෙත මෛත්‍රිය දැක්වීමෙන් දේවාරක්ෂාව සැළසේ. ගම්වැසි ජනතාව වෙත මෛත්‍රිය, කරුණාව දැක්වීමෙන් ඔවුන්ගේ අනුග්‍රහය ලැබේ. සමාජ ජීවිතය යහපත් වේ. මිනිසුන්ගේ තාඩන පීඩනවලට ලක් නොවේ.
මෛත්‍රිය වැඩීම යනු හුදු මානසික ප්‍රාර්ථනාවක් පමණක් නොවන අතරම මෛත්‍රිය සහගතව සිතින්, කයින්, වචනයෙන් කටයුතු කිරීමද අවශ්‍ය බව අවධාරණය කරගත යුතුය.
තමා මරණය ඉක්මවා නොමැති බව හොඳින් සිහියට නඟා ගැනීම මරණ සතිය වේ. මරණය කිසි විට අමතක නොකළ යුතුය. තමන් මරණයට පත්වන පුද්ගලයකු බව නිතර නිතර සිහිපත් වන විට භාවනාව සඳහා උදාසීනත්වයක් ඇති නොවන අතර උද්‍යෝගය වර්ධනය වේ. මරණය අමතක කොට ජීවත්වන විට මේ ආකාරයෙන් භාවනාවෙහි යෙදීමට උනන්දුවක් ඇති නොවේ.
අසුභ සඤ්ඤාව වැඩීම යනු අපගේ ඉන්ද්‍රියවලට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදි සියලු දේත්, ශරීරයට අයත් සියලු දේත්, සුභ වශයෙන් නොගෙන ජරාවට, මරණයට පත්වන අසුභ දේ ලෙස සැළකීමයි. මේ ආකාරයෙන් තමා හා අවට ලෝකය පිළිබඳව අසුභය යනු හැඟීම නිතර නිතර දියුණු කරන විට දිව්‍ය සැප පිළිබඳවත් රාගික වශයෙන් ඇලීමක් ඇති නොවේ’.රාගය,ලෝභය ඇති පිරිස් අසුභ සඤ්ඤාව ද නිතර වැඩිය යුත්තකි.
මෛත්‍රී, මරණසති හා අසුභ භාවනාවන් සියලු දෙනා විසින්ම ආරම්භයේදී පුරුදු පුහුණු කළ යුතු බැවින් සබ්බත්ථක කම්මට්ඨාන යනුවෙන් කියනු ලැබේ. මෙම භාවනා කමටහන් තුන අනෙකුත් භාවනා කරදරයකින් බාධාවකින් තොරව කරගෙන යාමට උපකාරී වේ.
පාරිහාරියකම්මට්ඨාන යනු හතළිහක් කමටහන් අතරින් තමන්ගේ චරිතයට ගැලපෙන කමටහන් තෝරා බේරාගෙන භාවනාව කිරීමයි. ඉහත සදහන් කළ කමටහන් තුන ආරම්භයේදී වැඩිය යුතුය. මෙම පාරිහාරිය කමටහන් නිතර වැඩිය යුතුය. ප්‍රථමයෙන්ම චරිත වර්ග පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු අතර සාමාන්‍යයෙන් චරිත වර්ග හයක් තිබේ.
1.රාග චරිත 2. දෝෂ චරිත 3. මෝහ චරිත 4. සද්ධා චරිත 5. බුද්ධි චරිත 6. විතක්ක චරිත
සෑම පෘථග්ජන පුද්ගලයකු තුළම රාග, දෝස, මෝහ යම් තරමකින් හෝ පවතී. බුද්ධි, විතක්ක යන කොටස්වලින් ශ්‍රද්ධාව, අවබෝධය කල්පනා සහිත බව අදහස්වේ. මේවාද යම් යම් ප්‍රමාණවලින් අප සිත් තුළ පවතී. ඒ ඒ පුද්ගලයන් රාග චරිත, දෝස චරිත ආදී වශයෙන් හඳුන්වන්නේ එම රාග,දෝෂ, ආදිය පමණක් ඒ පුද්ගලයන්ගේ සිතෙහි බල පවත්වන නිසා නොවේ. අනෙකුත් දෝස, මෝහාදිය ද සහිත යම් තැනැත්තකුගේ හෝ තැනැත්තියකගේ සිතෙහි රාගය අධික වශයෙන් තිබේ නම් ඔහු රාග චරිතයකු ලෙසත් දෝසය අධික නම් දෝෂ චරිතයකු ලෙසත් ආදි වශයෙන් සැළකෙන බව අවබෝධ කරගත යුතුය. මෙම රාග, දෝස, මෝහ යන ලක්ෂණ තුන පිළිවෙළින් සද්ධා, බුද්ධි. විතක්ක යන ලක්ෂණ තුනට සමානය.
රාග – සද්ධා , දෝස – බුද්ධි , මෝහ – විතක්ක
ආශාව හෙවත් ඇලීම රාගය වේ. ශ්‍රද්ධාව යනුද භක්ති වශයෙන් ඇලීමකි. පි‍්‍රයත්වයක් දැක්වීමකි. රාග චරිතයෙන් කුසල ක්‍රියාවන්හි යෙදෙන විට අධික ශ්‍රද්ධාවෙන් කටයුතු කරයි. එයට හේතුව වන්නේ රාගය ශ්‍රද්ධාවට සමීප ලක්ෂණයක් බැවිනි. අකුසල ක්‍රියාවන්හිදී රාගය රළු නොවේ. කුසල ක්‍රියාවන්හිදී ශ්‍රද්ධාවද සිනිඳුය. රළු නොවේ.රාගය කම් සැප හොයයි. එමෙන්ම ශ්‍රද්ධාවද සීලාදී ගුණයන් සොයයි. රාගය අයහපත් දෙය අත නොහරියි. ශ්‍රද්ධාව යහපත් දේවල් අතනොහරියි. මෙම හේතුව නිසා රාග චරිතයා සද්ධා චරිතයාට බොහෝ දුරට සමානය.
දෝස චරිතයා කුසල ක්‍රියාවන්හි යෙදෙන විට ප්‍රඥාව බලවත් වෙයි. දෝසය හෙවත් දේවේෂය ප්‍රඥාවට සමීප ගුණයන්ගෙන් යුක්තවීම ඊට හේතුවයි.අකුසල ක්‍රියාවන්හිදී ප්‍රඥාවද කිසිවිටකත් නොබැඳේ. එමෙන්ම කුසල නොවුණත් දෝසයන්ම සොයයි. එසේම ප්‍රඥාව සත්‍ය වූම දෝසයක් සොයයි. ද්වේෂය සත්ත්වයන් දුරුකරන්නාක් මෙන් ප්‍රඥාව ද අනිත්‍ය වූ සංස්කාරයන් දුරුකරයි. මේ හේතුව නිසා දෝස චරිතයාට බුද්ධි චරිතයා සමාන වේ.
මෝහ චරිතයා නූපන් කුසලයන් ඉපදවීම පිණිස උත්සාහ කරද්දී එම උත්සාහයට බාධක වූ කල්පනාවන් හෙවත් විතර්කයන් පහළ වේ. මෝහයට විතර්කය සමාන වීම ඊට හේතුවයි. මෝහය අවුල් බැවින් තැන්පත් තත්වයක් නොවේ. විතර්කයද නොයෙක් කල්පනාවන්ගෙන් අවුල් වූවකි. මේ හේතුව නිසා මෝහ චරිතයාට විතක්ක චරිතයා සමාන වේ. මෙම සංසන්දනය අනුව සියලුම චරිත වර්ග රාග, දෝස, මෝහ යන මූලික මානසික ලක්ෂණයවලට සමීප බව මේ තුළින් අවබෝධ වේ.
ඉහත දක්වන ලද, රාග, දෝස, මෝහ ලක්ෂණ අනුසාරයෙන් තමා කුමන චරිතයකට අයත් දැයි අප අප පිළිබඳවම ගැඹුරින් සිතා ගතහොත් ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එම නිසාම කමටහන් තෝරාගැනීමේදී පළමුවෙන්ම තමන්ගේ චරිත ස්වභාවය අවබෝධ කරගැනීම අවශ්‍යය. අපගේ මතය බොහෝ විට චංචල වන්නේ සිතෙහි වැඩියෙන් බලපවත්වන රාගය, දෝසය, හෝ මෝහය නිසාය. එනිසා සමාධියෙන් බලාපොරොත්තු වන සිතෙහි තැන්පත් බව ඇති කරගැනීමට නම් එම අධිකව බලපවත්වන ක්ලේශය යටපත් කළ යුතුය. එයට ගැලපෙන කමටහන් තෝරාගත යුත්තේ එබැවිනි.
චරිත වර්ගයන් හඳුනාගැනීමට ගමන් බිමන්, කතාබහ කටයුතු යොදාගත හැකි බව අටුවාවල විස්තර වේ. උදාහරණ වශයෙන් රාග චරිතයා ලස්සන දේවලට පි‍්‍රය කරයි. මෝහ චරිතයාගේ කටයුතු අවුල් සහගතය. තමා යහපත් සිහියකින් යුතුව තමාගේ හැසිරීම පිළිබඳව කල්පනා කරන්නෙකුට තමන් කුමන චරිතයකට අයත් වනවා දැයි වටහාගත හැකිය.

චීවරය සහ කඨින චීවරය

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය 

කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

බුදුරජාණන් වහන්සේ විසින් ‘චීවරය’ අනුමත කිරීම පිළිබඳ විස්තර, මහාවග්ග පාළියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේදී ජීවක වෛද්‍යවරයා පැමිණ,’ස්වාමීනි , මට චණ්ඩපජ්ජෝත රජුගෙන් “සීවෙය්‍යක” නම් වටිනා වස්ත්‍ර දෙකක් ලැබුණා. ඒවා ඔබ වහන්සේට පූජා කරනවා. පිළිගන්න. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුර දරන්නෙ. මගේ අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපති චීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති චීවර පිළිගැනීමට අනුමත කරන්න ‘යයි ඉල්ලා සිටියේය. ජීවකගේ එම ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ගහපති චීවරය අනුමත කරමි. යමෙක් කැමැති නම් පාංශුකූල සිවුර දරන්න.යමෙක් කැමති නම් ගහපති සිවුර දරන්න. මහණෙනි, ලැබෙන සිවුරකින් සතුටුවීම මම පසසමියයි වදාළහ.
මෙහි සඳහන් සිවුරු වර්ග දෙකක් ඇත. පාංශුකූල සිවුරු, ආ. ගහපති සිවුරු

පාංශුකූල සිවුරු

පැරණි දඹදිව මිනී රෙදිවල ඔතා සොහොනට ගෙන ගොස් දමති. සමහරු සොහොනේ වළ දමා ඒ මත පස් ගොඩගසා රෙද්දකින් වසති. පාංශු කූල යනු පස්ගොඩය. ඒ පස්ගොඩ උඩින් වැසු රෙද්දකින් පාංශුකූල වස්ත්‍ර නම් වෙයි. තවද පාංශකූල සඤ්ඤාවෙන් ගන්නා රෙදිවලින් සකස් කළ සිවුරුත් ඇත. සල්පිල්, සොහොන්, කසළගොඩ ආදියේ දමාගිය රෙදි, ගින්නෙන් දැවුණු, සතුන් විසින් කන ලද කිසිකෙනෙකුට අයිතියක් නැති රෙදි ආදිය යම් කෙනෙක් ගත්තත්, ඔහු සොරකමක් කළ කෙනෙක් නොවේ. එනිසා ‘අල්පේච්ඡ’ වූ (බලාපොරෝතු අඩු) චාම් දිවියක් ගතකළ භික්ෂූන් වහන්සේලා අනුන් විසින් අත්හැරදැමු වස්ත්‍රවලින් සකස් කළ සිවුරු (පාංශුකූල) ම දැරූහ. පාංශුකූල චීවර පමණක්ම දැරීම, ධූතාංග දහතුනෙන් එකකි. එබැවින් යම්කිසි භික්ෂුවක් කැමති නම් පාංශුකූලචීවර දැරීමටත් ගහපති චීවර දැරීමටත් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලදී.

ගහපති චීවර

ගහපති චීවර වශයෙන් සැලකෙන්නේ දායකයන් විසින් සංඝයාට පූජා කෙරෙන මසා නිම කරන ලද චීවර සහ සිවුරු මසා ගැනීමට පූජා කෙරෙන රෙදි ආදියයි. දායකයන්ගේ කැමැත්ත පරිදි, පෞද්ගලික එක් භික්ෂුවකට, ආයතනයකට හෝ පොදු ආයතනවලට හෝ සාංඝික ව පූජා කෙරෙන සිවුරු, ගහපති චීවර වශයෙන් හැඳින්වේ. එනිසා සිවුර වශයෙන් මසා නිම කළ චීවර ද සිවුර මසා ගැනීමට රෙදිද ගහපති චීවර ම වන්නේය. එවැනි සිවුරු කඨින චීවර පූජාවලදීත් සංඝයාට පූජා කළ හැකිය. එබැවින් කඨින චීවර පූජාවද ගහපතිචීවර පූජාවකි.

සිවුරේ සැකැස්ම

මුල් යුගයේදී භික්ෂූන් වහන්සේලා විසින් චීවර වශයෙන් භාවිත කර ඇත්තේ ‘කාසායවත්ත’ හෙවත් කසට පාට ඇති කඩ නොකැපූ සිවුරුය. පාංශුකූල චීවර පවා රෙදිකෑලි එක්කර මසාගත් පොරෝණයක් වැනි සිවුරකි.

දිනක් බුදුරජාණන් වහන්සේ, භික්ෂු පිරිසක් සමඟ රජගහනුවර සිට දක්ඛිණාගිරියට චාරිකාවේ වඩින අතර මඟදී විශාල වෙල්යායක් දක්නා ලදී. එහි ලියදි දිග් අතටත් හරස් පැත්තටත් මනාව බෙදා මනාව සකස් කර තිබිණ. එය ලොකු නියරවලින් සහ හරස් නියරවලින් , හතරැස් ලියදි වෙන් කරන ලද විශාල කුඹුරු යායකි. පිළිවෙළකට සකස් කරන ලද ඒ කුඹුරු පෙන්වා බුදුරජාණන් වහන්සේ, ‘ආනන්දය, මේ හතරැස් කුඹුර මෙන් දිග හා පළල නියර ඇති අතරතුර බැඳි කුඩා හරස් නියරවලින් යුක්ත මගධ ක්ෂේත්‍රය, දුටුවෙහිද? යි ඇසූහ. ‘එසේය ස්වාමීනි, මගධ ක්ෂේත්‍රය, දුටුවෙමි. ‘ආනන්දය චීවරයත් එසේම කඩ කපා සකස් කරන්න උත්සාහවත් වන්න’යි වදාළ සේක.
ආනන්ද හිමියෝ එය පිළිගෙන වේළුවනාරාමයට පැමිණ මගධයේ දක්ඛිණාගිරියේ කුඹුරුවල ස්වරූපයට අනුරූප ලෙසට සිවුරක් සකස් කිරීමට තීරණය කළහ. උන්වහන්සේ රෙදි සොයාගෙන කඩ කපා මසා පඬුගසා සකස් කළ සිවුර, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. එම චීවරය පරීක්ෂා කළ බුදුරජාණන් වහන්සේ,
මහණෙනි, මා විසින් කෙටියෙන් කියන ලද කාරණය, ආනන්ද විස්තර වශයෙන් අවබෝධකරගෙන දිග පළලනුවා ද හරස්නුවාද මහ මැඬිලි ද කුඩා මැඬිලි ද වස් අත්තද ඇළ අතුද ගෙළ පටිය ඇල්ලීමද කෙණ්ඩ පටිය ඇල්ලීමද නුවා අතු, බාහුව මත සිටින නුවා ද ඇතිව කඩ කපා මැසු සිවුර, රළුය, පැවිද්දන්ට සුදුසුය. සොරුන් විසින් පැහැරගන්නේ හෝ සොරකම් කරන්නේ නැත. ආනන්ද පණ්ඩිතය. නුවණැතිය, මහණෙනි, කඩ කැපූ දෙපොට සිවුරද කඩ කැපී තනිපොට සිවුරද කඩ කැපූ අඳනද අනුමත කරමි.
මෙම චීවරය සුඛෝපභෝගී නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි. එය භික්ෂුවකට සීතල, උෂ්ණය, මැසිමදුරු කරදර ආදියෙන් ආරක්ෂා වීමටත් විලිවසා ගැනීමටත් ප්‍රමාණවත්ය. පාංශුකූල චීවර දුෂ්කර වුවත් එය සියලුම භික්ෂූන් විසින් දැරිය යුතු චීවරයක් නොවේ. තමන්ගේ කැමැත්ත අනුව භික්ෂුවකට පාංශුකූල හෝ ගහපති සිවුර දැරිය හැකිය. එහෙත් සමහර දුෂ්කර ව්‍රත ආරක්ෂා කරන තාපසයන් මෙන් කුස තණ පට්ටා වර්ග, උණ කෙසෙල් වැනි පතුරු, පොතු වැහැරී, හිසකෙස්, අඳුන් දිවිසම්, නපුරු සතුන්ගේ ලොම්, බකමුණු පිහාටු ආදියෙන් සකසා ගත් සිවුරු දැරීම වැනි දුෂ්කර ව්‍රතවලට සම්බන්ධ සිවුරු, පාංශුකූල චීවර වශයෙන්වත් දැරීම තහනම් කර ඇත.

සිවුරු රෙදි සහ සිවුරේ පාට

ඛුද්දක සික්ඛාවේ සිවුරු රෙදි පිළිබඳව මෙසේ දක්වා තිබේ.
අ.කෝම – කෝම නම් ගස්වල පොතුවලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ආ.කෝස – කෝස නම් පණුවන්ගේ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු. 
ඇ. කප්පාස - කපු රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ඈ. සාණ - හණ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.
ඉ.ලෝම - මිනිස් ලොම්, අස්ලොම්, නපුරු සතුන්ගේ ලොම් හැර වෙනත් ලොම්වලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු. 
ඊ.කොමු , සපු, ලොම් ආදිය මිශ්‍ර කර වියන ලද රෙදිවලින් මැසූ සිවුරු.

තවද දුහුල් රෙදි, පත්තුණ්ණ දේශයේ රෙදි, සෝම දේශයේ රෙදි, චීන පටපිළි ආදියෙන් මසන ලද සිවුරු ද අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙවියන් විසින් දෙන ලද සිවුරු ආදියද භික්ෂූන් වහන්සේලාට භාවිතයට සුදුසු සිවුරු වර්ගයෝය.

සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සබ්බනීල), සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත) , සියල්ල සුදු (සබ්බ ඕදිත) , සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල් ,කහ,රතු, මදටිය, සුදු, කහ වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
සිවුරු වර්ණ කිරීමේදී පඬු සකස් කරගැනීමට ගස්වල මුල්, කඳ ,පොතු, කොළ, මල්, ගෙඩි යන වර්ග හය අනුමත කර ඇත. කසාමුල් හැර අනෙක් සියලු මුල් වර්ග ද පතඟි හා ටිගොල් හර හැර අනෙක් අරටු වර්ගද ලොත් සුඹුලු හා කඩොල් සුඹූලු හැර අනෙක් පොතු වර්ගද සිහින් කසා හා බේරු කොළ හැර අනෙක් සියලු කොළ වර්ග ද වනුක් මල් හා කෑල මල් හැර අනෙක් සියලු මල් වර්ගද සියලුම ඵල වර්ග ද සිවුරු වර්ණ කිරීමට සුදුසුය. මෙම වර්ගවලින් සකස් කරගත් පඬුගසා, කාසාය වස්ත්‍රයක් බවට පත්කරගත් සිවුරු, ථෙරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂූහු භාවිත කරති. එනිසා සිවුරක් සකස් කිරීමේ දී නියමිත රෙදි වර්ගයක් වීම, විනයානුකූලව කඩ කපා මැසීම, සුදුසු පඬු වර්ගයකින් පඬු ගැසීම කළ යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද සංඝාටි (දෙපොට සිවුර), උත්තරාසංග (තිපොට සිවුර), අන්තරවාස (අඳනය) යන තුන් සිවුරු පස් කඩ, හත් කඩ ආදී වශයෙන් අතු ගණන වැඩි කර මසා ගත හැකිය. එහෙත් සියලුම සිවුරුවල පහත සඳහන් කොටස් අන්තර්ගත විය යුතුමය.
කුසි (දිග, පළල, නුවා), අඩ්ඪ කුසි (හරස් නුවා), මණ්ඩල (මහ මැඩිලි) ,අඩ්ඪ මණ්ඩල (කුඩා මැඩිලි), විවට්ට (වස් අත්ත, මැද මණ්ඩලය, මහ මැඩිල්ල, මැද අත්ත), අනුවට්ට (ඇළ අතු) ගීවෙය්‍යක( ගෙළ පටිය) ජංගෙය්‍ය (කෙණ්ඩා පටිය), ගණ්ඨි (ගැටය හෙවත් සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොවන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය), පාසක (සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොයන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය) ඇතුළු කිරීමට යොදන පුඬුව හෙවත් තොණ්ඩුව යන කොටස් සිවුරක අන්තර්ගත විය යුතු බව මහාවග්ග පාළි චිවරක්ඛන්ධකයේ සඳහන් වේ. (ම.ව. 708 සහ 708 පිටු)
පස්කඩ, හත්කඩ ආදි වශයෙන් සකස් කෙරෙන සිවුරක, කඩ හෙවත් අතු (දිග පටි වැනි තීරු) ගණන වැඩි කළ හැකිය. පස් කඩ සිවුරක නම් අතු පහක්ද හත් කඩ සිවුරක නම් අතු හතක්ද ඇත. ඒ සියලු ම අතුවල දිග සහ පළල සමානය. සිවුරක, මැද අත්ත (පස් කඩ සිවුරක නම් තුන්වන අත්ත) වස්අත්ත හෙවත් විවට්ට නමින් හැඳින්වේ. වහලයක මුදුණේ යොදන යටලීය මෙන් සිවුරේ මධ්‍යය, වස් අත්තයි, එය, මධ්‍ය මණ්ඩලය යයි ද මැද මණ්ඩලය යයි ද මහ මැඩිල්ල යයි ද හැඳින්වේ. අනෙක් අතු ‘මජ්ඣමණ්ඩලය’ යයිද ‘කුඩාමැඩිල්ල යයි ද හැඳින්වේ. පස්කඩ සිවුරක නම් එක සහ පස්වන අතු හඳුන්වන්නේ ‘බාහත්ත හෙවත් නුවා අත්ත වශයෙනි. එම අතු දෙක ම සිවුර පොරවන කල්හි අතේ බාහුමත වැටෙන නිසා බාහත්ත නම් විය. ඒවා අනුවට්ට හෙවත් ඇළ අතු වශයෙන්ද දැක්වේ. ගීවෙය්‍ය හෙවත් ගෙළ පටිය, යොදන්නේ සිවුරේ ඉහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් බෙල්ලේ දාඩිය සිවුරේ ගෑවීමෙන් වන්නා වූ හානිය වැළකේ. ජංගෙය්‍ය හෙවත් කෙණ්ඩා පටිය යොදන්නේ සිවුරේ පහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් සිවුර කෙණ්ඩාවල ගෑවීමෙන් වන්නා වු අපිරිසුදු වීම, වළක්වයි. එනිසා ගීවෙය්‍ය හා ජංගෙය්‍ය යොදන්නේ සිවුරේ ආරක්ෂාවටය.
මෙසේ රෙදි කෑලිවලට (කඩ) කපා සිවුර මැසූ පසු එහි වටිනාකම අඩුවෙයි. එනිසා සොරුන්ගෙන් වුවත් අනතුරක් නොවේ. ඉදිකටුවලින් මැසීම නිසා රළුය. ශ්‍රමණයන්ට ගැළපෙන්නේය. සතුරන් විසින් නොකැමැති වන්නේය. මෙසේ චීවරය සුඛෝපභෝගි නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි.

කඨිනය චීවරය අනුමත වීම

පෙරවස් වැසූ භික්ෂුවක් වස් කඩා නොගෙන (වස්සච්ඡේදනය නොවී) වප් පුරපසළොස්වක දින පවාරණය කළ පසු, දායකයන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වන්නේ සංඝයාට කඨින චීවරයක් වශයෙන් භාවිතයට සුදුසු තුන් සිවුරුවලින් එකක් හෝ වස්ත්‍රයක් පූජා කිරීමට හැකි වීමයි. එනිසා දායකයෝ ධාර්මිකව සපයාගත් සිවුර හෝ වස්ත්‍රය සංඝයාට පූජා කරති. එය සංඝයා විසින් කඨිනාස්තරණය සඳහා සුදුසු භික්ෂුවකට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් පිරිසගේ ද සහාය ලබාගෙන එදිනම සිවුරේ සියලුම විනයානුකූල කටයුතු අවසන් කර සංඝයා ඉදිරියේදී කඨිනාස්තරණය සහ අධිට්ඨානකය, පච්චුද්ධරණය, අනුමෝදනාව ආදිය කළ යුතුය. ඒ විනය කර්ම සියල්ල කිිරීමෙන් සම්මත වෙන විශේෂ සිවුර “කඨින චීවරය” නම් වෙයි. එවැනි කඨිනයක සිවුරක ආරම්භය මහාවග්ග පාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ පාවෙය්‍ය නුවර වාසය කරන භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර බලා පිටත් වූහ. ආරණ්‍යක, පිණ්ඩපාතික , පාංශුකූලික ධූතාංගධරයන් වූ උන්වහන්සේලාගේ අපේක්ෂාව වූයේ සැවැත් නුවර වස් විසීමටය. අතරමඟ දී වස්කාලය පැමිණී නිසාත් වස්විසීමට සැවැත්නුවරට වැඩීමට කාලය නැති නිසා සාකේත නුවර වස්විසූහ. උන්වහන්සේලා, වප් පසළොස්වක දා පවාරණය කර ගංගාවලින් එතෙර වෙමින් වර්ෂාවෙන් තෙමී දිය සහිත සිවුරු ඇතිව ජේතවනාරාමයට පැමිණියහ. ඒ භික්ෂූන් වහන්සේලා සමඟ බුදුරජාණන් වහන්සේ පිළිසඳරක යෙදුණහ. ඒ අවස්ථාවේදී ‘භාග්‍යවතුන් වහන්ස, අපි ඔබ වහන්සේ දැකීමට පාවෙය්‍ය නුවර සිට එන අතර වස්කාලය පැමිණි නිසා සැවැත් නුවරට පැමිණිය නොහැකිව සාකේත වස් වසා, පවාරණයත් කර වර්ෂා මධ්‍යයේම වෙහෙස වෙමින් ම පැමිණියෙමු.’ යයි කීහ. උන්වහන්සේලාට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ‘මේ භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරුවලට අමතර සිවුරක් තිබුණේ නම් පහසුයයි මහා කාරුණාවෙන් සිතා ‘පෙරවස් විසූ භික්ෂූන්ට විශේෂ සිවුරක් වශයෙන් කඨින චීවරය, සුදුසු යයි ‘කඨින සිවුර’ අනුමත කළහ.

‘කඨින චීවරය’ යනු කුමක්ද?

කඨින චීවරය හෙවත් කඨිනය’ යනුවෙන් හැඳින්වෙන්නේ විනය නීතිවලට අනුකූලව සම්මත කරන ලද දෙපොට සිවුරක් හෝ තනිපොට සිවුරක් හෝ අඳනයක්ය. එය සම්මුති වශයෙන් චීවරයක් වුවත් කඨින යන්නෙහි අර්ථ කීපයක්ම ඇති බව පැරණි ආචාර්යවරු දක්වති.
’ ථිරට්ඨේන කඨිනං’ යන විග්‍රහයට අනුව අනාමන්තාවාර ආදී පඤ්ච ආනිසංස ස්ථිරව ලබාදෙන නිසාත් කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල ශක්තිය, මහපොළොව මෙන් අකමප්‍ය වන නිසාත් මහාමේරු පර්වතය සුළඟින් නොසෙල් වෙන්නාක් මෙන් චලනය නොවන නිසාත් වජ්‍ර (දියමන්ති) පර්වතය මෙන් නොබිඳෙන නිසාත්, අකුසල කර්මවලින් යටපත් කළ නොහැකි බලයකි.
විනයත්ථ මඤ්ජුසාවේ දැක්වෙන ‘කථ සංගහට්ඨේන’ යන විග්‍රහයට අනුව ‘සංග්‍රහ අර්ථයෙහි’ යෙදෙන කඨින යන වචනයෙන් ගැනෙන්නේ අනාමන්තචාර ආදී පඤ්ච ආනිසංස, වෙනස්නොවී එකවිට ම ලැබෙන බවයි.
‘කඨිනවත්ථං නාම, බුද්ධප්පසත්ථං’ යන සමන්තාපාසාදිකා විනයට්ඨ කථාවේ සඳහන් විස්තරයට අනුව ‘බුදුරජාණන් වහන්සේ ද ප්‍රශංසා කරන ලද ‘කඨිනය, වනාහී, සියලු දෙවි මිනිසුන්ගෙන් ම ප්‍රශංසා ලබන චීවරයකි.
මෙසේ විශේෂ අර්ථ ඇති කඨින චීවර පූජාව, වඩාත් උසස් කුසල ක්‍රියාවක් බවට පත්කර ගැනීමට නම් , එයට සම්බන්ධ වූ විනය කර්ම රාශියක් සම්පූර්ණ විය යුතුය. විනයානුකූලව කරන ලද කඨින චීවර පූජාව, ආමිස පූජාවන්ගෙන් ප්‍රථම ස්ථානයට ගැනේ. එනිසාම අටමහකුසල ක්‍රියාවන්ගේ මුල්ම පින්කම කඨින චීවර පූජාවයි. විනයානුකූලවූ කඨින චීවර පූජාවකට සම්පූර්ණ විය යුතු කරුණු රාශියක් ඇත. ඒවා සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.
අ.උපසපන් භික්ෂුවක් හෝ භික්ෂු පිරිසක් ඇසළ පුරපසළොස්වක දින උපෝසථ විනය කර්මය කර පසුදා (ඇසළ මස අවපෑළවිය) සුදුසු ආරාමයක පෙරවස් සමාදන්වීම,
ආ. පෙරවස් සමාදන් වූ භික්ෂුව, වස්විසූ ස්ථානයෙන් බැහැර ගොස් එක් රාත්‍රියක්වත් සිටින්නේ නම් සත්තාහකරණයෙන් හෙවත් ‘මගේ ජීවිතයට අනතුරක් නොවුවහොත් දින හතකට පෙර මම ආපසු වස් විසූ තැනට පැමිණෙමි’ යන සතිකරණයෙන් පිටත් විය යුතුය. එය අමතක වීමෙන් වස් විසූ ස්ථානයෙන් පිටතට ගොස් රාත්‍රියක් ගත කිරීමෙන් ද ‘ආපුස එමි’ යි සිතා සතිකරණයෙන් පිටතට ගොස් දින හතක් ඇතුළත වස් වැසු තැනට පැමිණීමට නොහැකි වූයේ නම් ‘වස්සච්ඡේදනය’ (වස් කැඩීම) වෙයි. එනිසා ඇසළ මස අවපෑළවිය සිට වප් පසළොස්වක දක්වා සතිකරණයෙන් වස ආරක්ෂා කළ යුතුය.
ඇ. වප් මස පුරපසළොස්වක දින පවාරණය විනය කර්මය කිරීම.
ඈ. වප් මස පුරපසළොස්වක දින සිට ඉල්මස පුරපසළොස්වක දින දක්වා වූ චීවර මාසය තුළ දී විනයානුකූල වූ වස්ත්‍රයක් හෝ තුන් සිවුරෙන් එකක් දායකයන්ගෙන් සංඝයාට ලැබී, එය මහා සංඝයා විසින් එදිනම පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තරණය සඳහා පැවරීම.
ඉ. කඨිනාස්තාරක භික්ෂුව විසින් තමාට ලැබුණු කඨින වස්ත්‍රය හෝ චීවරය හා සම්බන්ධ සියලු ම විනයානුකූල කටයුතු එම දිනයේ දීම සම්පූර්ණ කර අධිට්ඨාන, පච්චුද්ධරණ, ආස්තරණය, කප්බින්දු තැබීම ආදි විනය කර්ම කිරීම.
ඊ. කඨිනයක් නොවීමට හේතු වන්නා වු කරුණු 24 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. මෙම කරුණු සියල්ලම කඨිනාස්තාරක භික්ෂුවගේ අධික්ෂණයෙන් විනයානුකූලව සිවුර සකස් කිරීම.
කඨිනාස්තරණයක් නොවීමට හේතු වන කරුණු මහාවග්ගපාළියේ සඳහන්වේ.
සිවුරට අවශ්‍ය දිග ,පළල, ලකුණු කිරීමෙන් පමණක් කඨිනය අතුරණ ලද්දේ නොවේ. එසේම වස්ත්‍රය සේදූ පමණින් හෝ සිවුරෙහි කඩ නියම කිරීම පමණකින් හෝ කඩ කැපූ පමණකින් හෝ නූල් ගැසූ පමණකින් හෝ මැසීම, අතු එකට මූට්ටු කිරීම,ඇතුළ පිටත නුවා ඇල්ලීම, අතු ඇල්ලී, පඬු ගැසීම ආදිය කළ පමණකින් කඨිනාස්ථරණයක් නොවේ. මේ සියල්ලම විනයානුකූලව ම සම්පූර්ණ කළ යුතුය. කඨිනත්ථාරක භික්ෂුවගේ කටයුතුවලට පැය 24 ක් ඉක්ම වීමෙන්ද කප්බින්දු නොතැබීම, අධිට්ඨාය නොකිරීම, විකප්පනය නොකිරීම, ආස්තරණය කරන ලද සිවුර, එදිනම විහාරස්ථානයෙන් පිටතට ගෙන පැය 24 ක් ඉක්මවීම ආදි කරුණු නිසා කඨිනයේ බලය නැතිවේ.
උ. කඨිනයක් වීමට හේතු වන්නා වූ කරුණු 17 ක් මහාවග්ගපාළියේ හත්වන කඨිනක්ඛන්ධකයේ දැක්වේ. කඨිනත්ථාරක භික්ෂුව විසින් කඨිනය ඇතිරීමේදී අලුත් වස්ත්‍රයකින් හෝ ඊට සමාන සුදුසු වූ (කැප) වස්ත්‍රයකින් ඇතිරීම, රෙදි කැබැලිවලින් කළ සිවුරකින් ඇතිරීම, පාංශුකූල වස්ත්‍රයකින් ඇතිරීම, ඉල්ලීමකින් තොරව විනයානුකූලව ලැබුණු වස්ත්‍රයකින් ඇතිරීම, තාවකාලිකව ඉල්ලාගත් වස්ත්‍රයක් නොවීම, තුන් සිවුරෙන් එකක් වීම, එදිනම කඩ කපා මසා නිම කිරීම, එම විහාරයේම පෙරවස් වසා පවාරණය කළ භික්ෂුවකට පැවරීම ආදිය සම්පූර්ණ විය යුතුය.
ඌ.කඨිනය ලැබූ භික්ෂුව විසින් සංඝයා ඉදිරියේ පරණ චීවරය පච්චුද්ධරණය කර අලුතින් ලැබුණු කඨින සිවුර අධිට්ඨානය කිරීම, කප්බින්දුව තැබීම, කඨිනානිසංස අනුමෝදන් කිරීම සහ අනුමෝදන් වීම, එදිනම සිදු කළ යුතුය. මේ කරුණු එකක් හෝ අඩු වුවහොත් කඨිනයේ බලය නැති වෙයි.

කඨිනාස්තරණය

කඨින ආස්තරණය නම් කඨිනය ඇතිරීමයි. කඨිනය නම්, පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට දායකයන් විසින් කැපසරුප් ලෙස පූජා කෙරෙන තුන් සිවුරෙන් එකක් හෝ වස්ත්‍රයකි. කඨිනයක් වශයෙන් සංඝයාට ලැබුණූ ඒ සිවුර හෝ වස්ත්‍රය, එදිනම විනයානුකූල වූ චීවරයක් වශයෙන් සකස් කළ යුතුය. එනිසා පස්දෙනෙක් හෝ ඊට වැඩි වූ සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට කඨිනාස්තාරය සඳහා පවරනු ලැබේ.
දායකයන් විසින් පූජා කරන ලද කඨිනයේ වැඩ (රෙදි නම් කඩකැපීම, මැසීම, පඬුගැසීම ආදිය) සංඝයා විසින් ම කර කඨිනත්ථාරකයාට පැවරිය හැකිය. එය නිට්ඨිත පරිකම්ම වූ කඨිනත්ථාරයකි. එසේ පරිකම්ම සම්පූර්ණ නොකරන ලද කඨිනයක් පවරන්නේ නම් එය අනිට්ඨිත පරිකම්ම කඨිනත්ථාරයකි. එම කඨිනාස්තාරක භික්ෂුවට, කඨිනය සඳහා ලැබුණේ මසන ලස සිවුරක් (කත කඨින චීවරයක්) නම් එය පරීක්ෂා කර විනායානුකූල වීමට පුබ්බකරණ, පුබ්බකිච්ච, කප්බින්දු තැබීම ආදිය කළ යුතුය. මසා නිම කරන ලද සිවුරුම ලැබෙන්නේ නම් යහපත්මය. එවිට සංඝයා විසින් කඨිනුද්ධාරක භික්ෂුවට කඨිනය පැවැරූ කල්හි ඔහුට කරන්න ඉතිරිව ඇත්තේ කප්බින්දුව තබා පච්චුද්ධරණ, අධිට්ඨාන කිරීමේ ආදිය පමණකි. එනිසා මසන ලද සිවුරු මිලට ගෙන කඨින සිවුරු වශයෙන් පූජා කිරීම සුදුසුය. එය කතචීවර හෙවත් මසා නිමකරන ලද නිට්ඨිත චීවරයක් වශයෙන්ද හැඳින්වේ. දායකයන් විසින් සංඝයාට කඨිනයක් සඳහා පූජා කෙරෙන සිවුර සම්පූර්ණ වූ කඨිනයක් වන්නේ, සංඝයා විසින් පෙරවස් පවාරණය කළ භික්ෂුවකට පැවරී සහ ඒ භික්ෂුව විසින් කඨිනයට සම්බන්ධ විනයානුකූල කටයුතු අවසන් කිරීමෙන් පසුවය.
දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද්දේ නූල්, රෙදි නම් සංඝයා විසින් ඒවා සිවුරු මැසීමට කුසලතා හා සුදුසුකම් ඇති භික්ෂුවකට කඨිනාස්තරණයට පැවරේ. ඒ කඨිනාස්තාරක භික්ෂුව විසින් අනෙක් භික්ෂූන් වහන්සේලාගේත් සහාය ලබාගෙන, නූල් නම් රෙදි වියා ඉතිරි සියල්ල ම එදිනම කළ යුතුය. කඨානාස්තාරකයාට ලැබුණේ රෙදි නම් සේදීම,කඩ කපා අතු බෙදා සැකසීම, මැසීම, පඬුගසා විනයානුකූල වූ සිවුරක් සේ සකස් කර, කප්බින්දුව තැබීම, පච්චුද්ධරණයව, අධිට්ඨානය ආදිය කර කඨනාස්තාරය කළ යුතුය. සිවුරේ සියලුම වැඩ එදිනම නිම කිරීමට නොහැකි වූයේ නම් අකත (නිම නොකරන ලද සිවුර) හෝ විප්පකත ( සිවුර මැසීම, පඬු ගැසීම ආදිය අඩාල වූ සිවුර) වශයෙන් හැඳින්වේ. පැය 24 ක් ඇතුළතදී මසා නිම කළ නොහැකි වූ අකත, විප්පකත වූ කඨින චීවරයක්, කඨිනත්ථාරය කළ නොහැකිය. එනිසා කඨිනානිසංසද නොලැබේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X