සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බුදුරදුන් ඉසිපතනයට වැඩමවීම

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති 
අග්ගමහා පණ්ඩිත 
පල්ලත්තර සුමනජෝති නා හිමි
බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාරාධනාවෙන් ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට බරණැස ඉසිපතනයට වැඩම වීම සහ අතර මඟ දී උපක ආජීවකට තමන් හඳුන්වා දීම.”
ගෞතම බුදුරජාණන් වහන්සේ සත් සති බෝ මැඬදීම ගත කර සමාධියෙන් මිදී අසල වූ අජපාල නුගරුක මුලට වැඩම කළා. එහි ඵලසමවතින් හුදෙකලාව වැඩ සිටි උන්වහන්සේට මෙබඳු සිතිවිල්ලක් උපන්න. එනම්,
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්මය දැන් දේශනා කිරීමෙන් පලක් නැත. රාගයෙන් රත් වූ ක්ලේශයන්ගෙන් වැසුනු ජනයාට මේ ගැඹුරු ධර්මය අවබෝධ කර ගත නොහැකිය. මේ ධර්මය උඩුගං බලා යන්නකි. (නිවන කරා සත්ත්වයා ගෙන යන්නකි) එහෙයින් නුවණින් දැකීම දුෂ්කරයි. මේ ධර්මය ශාන්තයි. ප්‍රණීතයි. තර්කයෙන් දත නො හැකියි. සියුම් ය. පණ්ඩිතයන් විසින් දත යුත්තකි. ලෝ වැසි ප්‍රජාව පස්කම් සැපයෙහි ඇළුණෝ ය. ඔවුහු එයින් සතුටට ප්‍රමෝදයට පත්වන පිරිසකි. එමෙන් ම අවිද්‍යාදී ප්‍රත්‍ය නුවණින් දැකීමට අසමත්හුය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීමාදියෙන් ලැබිය යුතු දුක්ඛ නිරෝධය අවබෝධ කර ගැනීමට අසමත්ය. ඒ නිසා මා දහම් දෙසුවත් ශ්‍රාවකයන්ට එය වටහා ගත නො හැකි ය. එය මට වෙහෙසකි යන අදහසයි උන්වහන්සේට උපන්නෙ. මෙසේ සිතා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමට මන්දෝත්සාහි වූහ. ගෝතම තාපසතුමා බුදුවී දහම් දෙසනු ඇතැයි ඉමහත් ඕනෑ කමින් බලා සිටි සහම්පති මහා බ්‍රහ්මයා බුදුන් වහන්සේගේ මේ සිතිවිල්ල දිවැසින් දැනගෙන ‘ලෝකය විනාශයි’ කියල හිතල එකෙනෙහි ම උන්වහන්සේ වෙත පැමිණ බුදුන් වහන්සේට ආරාධනා කළා භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරනු මැනව. සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරනු මැනවි. ස්වාමිනි, රාගාදී කෙලෙස් අඩු අය ලොව සිටිනවා. ඔවුන් ධර්මය නෑසීමෙන් පිරිහෙනව. ස්වාමිනී ධර්මය වටහා ගත හැකි පිරිස සිටිනවා කියල තවදුරටත් බ්‍රහ්මයා මෙසේද කීව.
ස්වාමීනි, පෙර මගධ රට කෙලෙස්වලින් යුක්ත පුද්ගලයන් විසින් හිතන ලද අසුද්ධ මිථ්‍යා ධර්ම පහළවෙලා තිබුණ. නිවනට ඇතුල් වන දොරටුවක් වැනි මේ ධර්ම මාර්ගය විවර කරනු මැනවි. බුදුන්වහන්සේ විසින් අවබෝධ කරනලද නිවනට යන මාර්ගය වන මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්ත්වයෝ අසත්වායි කී බ්‍රහ්මයා මෙසේද කීය.
යහපත් ප්‍රඥාවෙන් යුක්ත බුදුරජාණන් වහන්ස, ගල් පර්වතයක් මත සිටින පුරුෂයෙක් පර්වතය හාත්පස පහළ සිටින ජනයා යම් විදියකින් දකීද? එමෙන් දුරුකළ ශෝක ඇති ඔබවහන්සේ (ගල් පර්වතය වැනි) ප්‍රඥාව නමැති ප්‍රාසාදයට නැගී ශෝකයෙන් පෙළෙන, ජාති ජරාදියෙන් දුක් විඳින ජනයා දෙස බලනු මැනවි. තවද දිනන ලද මාරයුද්ධය ඇති, සාර්ථක වාහක වූ (ගැල්වලින් වෙළෙඳ ද්‍රව්‍ය ගෙනයන්නෙකු වැනි) කාමච්ඡන්දාදී ණය නැති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනවි. ලෝකයෙහි සංචාරය කරනු මැනවි. දහම් දෙසනු මැනවි. ඒ දහම් අවබෝධ කරන්නෝ සිටිති යනුවෙන් විස්තර වන ගාථා කී සහම්පති මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් සර්වඥතා ඥානයෙන් ලොව බලා වදාළහ. එවිට උන්වහන්සේගේ ඤාණයට පෙනුන රාගාදී කෙලෙස් අඩු තියුණු ශ්‍රද්ධා සම්පන්න වූ මෙන්ම, ශ්‍රද්ධාව අඩු වැඩි වශයෙන් තිබෙන, පහසුවෙනුත් උත්සාහයෙනුත් ධර්මය අවබෝධ කළ හැකි එමෙන්ම පරලොව බිය දකින සත්ත්වයන් සිටින බව, උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළ පියුම් විලක හෝ හටගත් පියුම් අතර සමහර පියුම් දියෙන් මතුපිටට නො පැමිණ දිය තුළම ගිලී වැඩෙන්නා වගේ සමහර පියුමක් දිය සමඟ ගෑවි ගෑවී තියෙන්න වගේත්, සමහර පියුමක් දියෙන් මතු පිටට නැගී දියෙහි නො ගෑවී තිබෙන්නාක් වැනිවූත් පියුම් තියෙන්න වගෙ කෙලෙස් අඩු වූ ද, කෙලෙස් අධික වූ ද, කෙලෙස් තියුණු වූ හා මොළොක් වූත් ශ්‍රද්ධා ප්‍රඥාදී ඉන්ද්‍රියන් ඇත්තා වූත් එම ඉන්ද්‍රියන් අඩු වැඩි වූත් පහසුවෙන් හා උත්සාහයෙන් ධර්මය අවබෝධ කර ගත හැකි වූත් පරලොව වරද හා පරලොව බිය දක්නා වූත් විවිධ සත්වයන් ලොව සිටින බව දුටුවහ. එසේ දුටු බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමට තමා කැමති බව සහම්පති මහා බ්‍රහ්මයාට ප්‍රකාශ කළහ.
බ්‍රහ්මයා මේ ධර්මය නොදත්ත අය බහුලයි ඔවුන්ට මෙය දෙසීම වෙහෙස ගෙන දෙන්නක් නිසා මම දහම් දෙසීමට පසුබට වූයෙමි. කන් ඇත්තෝ මාගේ ධර්මය අසත්වා. ශ්‍රද්ධාව ඇතිකර ගනිත්වා. නිවන් නමැති දොරටුව මා විසින් විවර කරන ලදී යයි වදාළ විට මහා බ්‍රහ්මයා තමන් විසින් බුදුන්ගෙන් කරන ලද ඉල්ලීම පිළිගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමට කැමැත්ත පලකරන ලදැයි සතුටුව උන්වහන්සේට වැඳ නමස්කාර කොට අතුරුදන් වුණා. බ්‍රහ්මයා අතුරුදන් වූ පසු බුදුරජාණන් වහන්සේට තවත් මෙබඳු සිතක් උපන්න. මා අවබෝධ කරගත් ධර්මය වහාම අවබෝධ කරගන්නට සමර්ථ පුද්ගලයකුට පළමුවෙන්ම ධර්මය දේශනා කරන්න හිතුව. බුදුවන්න පෙර තමන් වහන්සේ ඇසුරු කළ බුද්ධිමත් තවුසකු වූ ආලාරකාලාම, ගැන හිතුව. ඒ අවස්ථාවෙ කිසියම් දේවතාවෙක් උන්වහන්සේට කීව ස්වාමීනි, ඔහු කළුරිය කරල හත් දිනක් වෙනවයි කියල. එවිට උද්දකරාම ගැන හිතුව. එවිටත් දේවතාවෙක් කීව ස්වාමිනි, ඔහු ඊයේ රාත්‍රී මධ්‍යම යාමයෙහි කළුරිය කළයි කියල. අනතුරුව පස්වග තවුසන් ගැන හිතුව. ඔවුන් දැනට ඉන්නෙ කොහිදැයි බැලූ බුදුහාමුදුරුවන්ට පෙනුන ඔවුන් බරණැස ඉසිපතනයෙහි මිගදායෙ සිටින බව.
තම ප්‍රථම ධර්ම දේශනාව පස්වග තවුසන්ට දෙසීමට තීරණය කළ බුදුන් වහන්සේ දින කීපයක් උරුවෙල් දනව්වේ වැඩ ඉඳල බරණැස බලා පයින් ම වැඩිය. මෙසේ වඩින විට ගයාව හා ශ්‍රී මහා බෝධිය අතර දී ‘උපක’ නම් ආජීවකය හමුවුණ. බුදුන් හමු වූ ඔහු උන්වහන්සේගෙන් අහනව ඇවැත්නි, ඔබේ ඉඳුරන් ඉතාම ප්‍රසන්නයි. සිරුරේ සමත් ඉතාම පිරිසුදුයි. ඉතා සුදුයි. ඔබේ ශාස්තෘවරයා කවුරුද? කවරෙක් උදෙසාද ඔබ පැවිදි වූයේ. කවරකුගේ ධර්මය ඔබ රුචිකරන්නේද? මෙසේ ප්‍රශ්න කීපයක් එක දිගට ඇසූ උපක ආජීවකයාට පිළිතුර දෙමින් බුදුන් වහන්සේ මෙසේ වදාළසේක.
‘උපක’ මම සියල්ල මැඩලූවෙක්මි. මම සියල්ල දත්තෙකි. සියලු දහම්හි නො ඇළුනෙක්මි. සියලු කෙලෙස් දුරලූ වෙක්මි. තණ්හාව සම්පූර්ණයෙන් දුරුකළ කෙනෙක්මි. මෙසේ සියල්ල දැන සිටින මා හට අසවලා මාගේ ආචාර්යවරයා යයි කෙසේ කියම්ද? මෙසේ වදාළ උන්වහන්සේ යළිත් දේශනාව කරනව.
ආජීවකය, මා අවබෝධ කරගත් ලෝකෝත්තර ධර්මය අවබෝධ කිරීමට මට ගුරුවරයෙක් නො මැත. එසේම මට සමාන තවත් කෙනෙක් ලෝකයෙහි ම නොමැත. දෙවියන් සහිත මේ ලෝකයෙහි මා හා සමාන පුද්ගලයෙක් ද නොමැතයයි වදාරා යළිත් කියනව. මම ධර්ම චක්‍රය පවත්වන්න කසීරට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් නුවණ අන්ධ වූ ලෝකයෙහි අමා දහම් බෙරය ගසන්නෙමියි මෙසේ තමන් වහන්සේ කවුරු දැයි හැඳින වූ පසු උපක ආජීවක ඇවැත්නි, ඔබ වහන්සේ කියන පරිදි ඔබ අනන්ත ජීනවීමට සුදුසුයි කී විට බුදු හාමුදුරුවො පිළිතුරු වශයෙන් මෙසේ වදාළ.
උපක, යමෙක් කාමාදී ආශ්‍රවයන් දුරු කෙළේ ද ඔවුහු මා වැනි ජිනයෝ වෙති.
මා විසින් සියලුම පාප ධර්ම දුරුකරන ලදී. එහෙයින් මම ජීන වෙමි යි වදාළහ. බුදුන් වහන්සේ මෙසේ කීවම උපක ආජීවක ඇවැන්ති එසේ ද විය හැකියයි කියා හිස වනා කුඩා පාරකින් යන්න ගියා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයෙහි පස්වග තවුසන් විසූ මිගදාය දෙසට වැඩියා. පස්වග තවුසන් බුදුන් වඩිනව දැකල කතිකා කරගත්ත ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පධන් වීර්ය කොට (භාවනා කොට) අසාර්ථක වෙලා දැන් බහුල (පිරිකරාදියෙන් බහුලව) බවට පත්වෙලයි ඔය අපළඟට එන්නේ. අප ඔහුට නො වැඳිය යුතු ය. උවටැන් නොකළ යුතු ය. පාත්‍රය නොගත යුතු ය. සිවුරු පිරිකර නොගත යුතු ය. එහෙත් ඔහු උසස් කුලයක පුද්ගලයෙක් නිසා කැමැති නම් හිඳ ගන්නා අසුනක් දෙමු. ඔවුන් මෙසේ කතිකා කරගෙන සිටිය නමුත් බුදුන් ආරාමයට ළං වත්ම කතිකාවෙහි සිටිය නොහී එක් තවුසෙක් උන්වහන්සේගේ පා සිවුරු ගත්හ.තවත් තවුසෙක් උන්වහන්සේට අසුනක් පැනෙව්ව. තවත් තවුසෙක් පා දෝවනය කළා. ඉක්බිති පනවන ලද අස්නෙහි හිඳගත් බුදුරජාණන් වහන්සේ ඔවුන් විසින් ඇමතුවේ සමාන අයට අමතන ආවුසො (ඇවැත) යනුවෙනි. එවිට උන්වහන්සේ කීව ඇවැත්නි, තථාගතයන් වහන්සේට එසේ ඇවැත, කියා හෝ නම කියා හෝ ඇමතීම (අගෞරවයක්) ඇමතීම නුසුදුසු ය. තථාගතවරු රහත්ය. සම්මා සම්බුදුවරුය. මා කියන දේ අහන්න. මම නිවන් අවබෝධ කළ කෙනෙක්මි යි වදාළ.
මම නුඹලාට අනුශාසනා කරමි. ඒ අසා පිළිපදින නුඹලාට කල් නොයවා ම රහත් විය හැකියයි වදාළ විට යළිත් ඔවුහු පෙර මෙන් ම ඇවැත් ගෞතමයන් වහන්ස, යි බුදුන් අමතා පැවසීය. ඔබවහන්සේට දුෂ්කරක්‍රියා කරල ප්‍රතිඵලයක් ලබන්න නො හැකිවුණා. (මොවුන් මෙසේ කීයේ ඔවුන්ගේ පිළිවෙත සිරුරට දුක් දීමෙන් විමුක්තිය ලැබිය හැකිය යන දෘෂ්ටිකයන් වීමයි.) දැන් පිරිකර ආදියෙන් බහුලව සිටිමින් රහත් වීමි යි කියන්නේ කෙසේදැයි ඇසූහ. ඒ අවස්ථාවෙත් එබඳු වචන පාවිච්චි නොකරන්නැයි කී බුදුහාමුදුරුවො ඔබලාට මම ධර්මය කියන්නම්. එය අහන්න, මෙසේ තුන්වන වරටත් අවවාද කළ බුදුන් වහන්සේ යළි කියනව තවුසෙනි, මා පෙර කවරදාකවත් මම රහත්මි, සම්මා සම්බුද්ධ වෙමි, යනුවෙන් කියල තියෙනවද. නැත ස්වාමිනි යි ඔවුහු පිළිතුරු දුන්හ. මහණෙනි තථාගතයන් වහන්සේ රහතෙකි. සම්මා සම්බුද්ධ උතුමෙකි. මහණෙනි, කන් යොමු කරන්න යනුවෙන් කීවම තවුසෝ බුදුන්ගේ කීම පිළිගත්හ. එවිට යළිත් අනුශාසනා කරමින් බුදුන් වහන්සේ වදාරනව මහණෙනි, මම නුඹලාට අනුශාසනා කරමි. මම නුඹලාට දහම් දෙසමි. මාගේ අනුශාසනාව පිළිපදින නුඹලාට වැඩි කාලයක් නොගොස් ම යමෙක් නිවන් ලැබීම සඳහා ගිහියෙන් නික්ම මේ ශාසනයෙහි පැවිද්ද ලබනව නම් ඔහුට ආර්ය බ්‍රහ්ම චරියාව හෙවත් නිර්වාණ මාර්ගය අවසන් කොට ලබන උතුම් වූ ලෝකෝත්තර සැපත ඉහාත්මයේ දීම විශිෂ්ට ඥානයෙන්ම අවබෝධ කොට හෙවත් ප්‍රත්‍යක්ෂ කොට නිවනට පැමිණ වාසය කළ හැකියි වදාළ. එවිට පස්වග තවුසෝ බුදුන්ගේ ධර්ම දේශනාව ඇසීමට කන් යොමු කළහ. සිත් යොමු කළහ.
එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, කම්සැප විඳීම පහත් ක්‍රියාවකි. හීන ක්‍රියාවකි. අශිෂ්ට ක්‍රියාවකි, පුහුදුන් මිනිසුන්ගේ ක්‍රියාවකි. අනාර්ය ක්‍රියාවකි. යහපතක් ගෙන නොදෙන ක්‍රියාවකි. (මෙය එක් අන්තයකි) අනෙක ශරීරයට වද දීමයි. එය දුක් සහිතයි. අනාර්යයි. අනර්ථ කරයි. (එය අනෙක් අන්තයයි) මහණෙනි මම මේ අන්ත දෙකම බැහැර කොට නුවණ ඇති කරන, ප්‍රඥා නමැති නුවණ ඇති කරන, කෙලෙසුන් සංසිඳුවන, සම්‍යක් සම්බෝධිය ම උපකාරවන නිර්වාණය ලැබීමට හේතුවන මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව කුමක්දැයි හෙළි කරමින් බුදුරජාණන් වහන්සේ (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී) නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන කීම, ප්‍රාණඝතාදී වැරදි කායික ක්‍රියාවලින් වැළැකීම, (නිවැරදි ජීවිකා වෘත්ති වලින් දිවිපවත්වා ගැනීම) නිවැදි දිවි පැවැත්ම. නිවැරදි සිහිය, නිවැරදි චිත්ත සමාධියක අට වැදෑරුම් මැදිපිළිවෙත යයි වදාළ.
අනතුරුව බුදුන්වහන්සේ වදාරනව මහණෙනි, දුක නමැති ආර්ය සත්‍ය මෙයයි. එනම් සත්ත්වයාගේ උපත දුකකි. ජරාවීම ද දුකකි. රෝගී වීමද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රයයන් සමඟ එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති දෑ නොලැබීමද දුකකි. සියල්ලේ එකතුවෙන් ලැබෙන පඤ්චස්ඛන්ධයම දුකකි. මහණෙනි, දුක්ඛාර්ය සත්‍යය මෙයයි. මහණෙනි, පුනර්භවය ඇති කරවන සසර බැඳ තබන රාගයෙන් යුක්ත, උපන් උපන් තැන යහපත්ය කියල සතුටු කරවන සුළු, කැමැති දේ පිළිබඳ ආශාව, සසර යළි යළිත් ඉපදීමට ඇති ආශාව, තවත් භවයක් නැති නිසා මේ භවයට ඇති ආශාව දුක්ඛ සමුදයාර්යය සත්‍යයයි. මහණෙනි, දුක් හටගැනීම නම් ආර්යය සත්‍යය මෙයයි. ඉහත කී තණ්හාව සම්පූර්ණයෙන් නැතිකිරීම, එය අත්හැරලීම, එය දුරලීම, එයින් මිදීම, එහි නොඇලීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි. මහණෙනි, දුක් නිරුද්ධ කිරීමට (සම්පූර්ණයෙන් බැහැර කිරීමට අනුගමනය කළයුතු පිළිවෙත මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි ආදී අටයි. මහණෙනි, මේ මැදුම් පිළිවෙත අනුගමනය කරන මට මෙය දුක නමැති ආර්ය සත්‍යයයි. පෙර නෑසූ ධර්මයන් පිළිබඳව නුවණැස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, අනතුරුව එම දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දතයුතුය කියා නුවණැස මට පහළ වුණා. එය දැනගතිමියි නුවණැස පහළ වුණා. යළිත් මහණෙනි, මෙය දුක්ඛ සමුදයාර්ය සත්‍යයය යන නුවණ පහළ වුණා. එය ප්‍රහාණ කළයුතු යයි නුවණ පහළ වුණා. එය ප්‍රහීණ කෙළෙමි යන නුවණ පහළ වුණා. අනතුරුව මේ දුක් නිරුද්ධ කරන ආර්ය සත්‍යයය නම් නුවණ පහළ වුණා. අනතුරුව එය ප්‍රත්‍යක්ෂ වශයෙන් දතයුත්තකයි යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළෙමියි යන පෙර නෑසූ ධර්ම පිළිබඳ ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වුණා. ඊළඟට දුක් නිරුද්ධ කරණ පිළිවෙත නමැති ආර්ය සත්‍යය පිළිබඳ ශ්‍රවණය පහළ වුණා. එම සත්‍ය වැඩිය යුත්තක් (පුරුදු පුහුණු කළයුත්තක්ය) යන නුවන පහළ වුණා. අනතුරුව එය මා විසින් වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ පරිවර්ත තුනකිනුත් ආකාර දොළොසකිනුත් මේ පිළිබඳ සැබෑ තත්ත්වය මා විසින් අවබෝධ කර ගත්ත. එය මට පිරිසුදුව වටහා ගත නොහැකි වූ තාක් දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මනුෂ්‍යයන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට මම අනුත්තර සම්මා සම්බෝධිය විශේෂයෙන් අවබෝධ කෙළෙමියි නො කීවෙමි. යම් අවස්ථාවක සිට මෙසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත තුනකින් හා දොළොස් ආකාරයකින් එවයි සැබෑ තත්ත්වය ප්‍රඥාවෙන් දැක අතිශයින් පිරිසුදු වීද, ඉක්බිති දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන්ට “මම සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කෙළෙමි යි ප්‍රකාශ කෙළෙමි. දැන් සර්වඥාතා ඥානය නමැති දර්ශනය මා තුළ පහළ විය. මාගේ චිත්ත විමුක්තිය (කෙලෙසුන්ගෙන් සිත මිදුණු බව) පැහැදිලියි. මේ මාගේ අවසන් අත්බවයයි. තවත් මාගේ පුනර්භවයක් (නැවත ඉපදී වීමක්) නැත යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ විට පස්වග මහණුන් බුදුන්ගේ දේශනාව සතුටින් අනුමත කළහ. මේ ධර්මය ප්‍රකට කොට දේශනා කළ අවස්ථාවේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට කෙලෙස් මල නසා සෝතාපත්ති ඵලයට පැමිණ ලොව යමක් හටගනීද සියල්ල වැනසෙන සුළුය යන ධර්මඥානය පහළ විය. මේ ධර්මය ඇසූ භූම්‍ය ස්ථ දෙවිවරුන්ගේ සිට අකනිට්ඨක බඹුන් ඇතුළු සියලු දෙවි බඹුහු සාධු නාද පැවැත් වූහ. එවිට මිහිකත ද කම්පාවිය. ලොව ඒකාලෝක විය. බුදුකෙනෙකුන්ගේ ලොව පහළ වීම ලෝකයට සුබ සිද්ධියක් වන්නේ මේ නිසයි. එසේ හෙයින් දුර්ලභ මිනිසත් බවක් ලත් ඔබ නිවන් සුව සඳහා සිය ජීවිතය මෙහෙයවීමට අදිටන් කර ගන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X