සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

බුදුරජාණන් වහන්සේටත් විපාක දුන් කර්ම

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ 
ව්‍යාපෘති නිලධාරී අත්තිඩිය පුරාණ විහාරවාසී, ශාස්ත්‍රපති කුකුරම්පොල ඤාණවිමල හිමි

පෙරදිග ආගම් හා දර්ශන තුළ කර්මය පිළිබඳ ඉගැන්වීම බහුලව දැකිය හැකි ය. ඒ අතර බෞද්ධ දර්ශනය හා ජෛන හින්දු ආදි ආගම් විශේෂයෙන් සඳහන් කළ හැකිය. අනෙක් සෑම ආගමකටම වඩා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන කර්ම සංකල්පය සුවිශේෂ ස්ථානයක් ගනී. බුදුදහමේ කර්ම සංකල්පය මනස හා බැඳුණු එකක් ලෙස ඉගැන්වේ.
‘කම්ම’ යන පාලි වචනයේ තේරුම ක්‍රියාව යන්නයි. එම ක්‍රියා සිත, කය හා වචනය යන තිදොරින් සිදු කරයි. බුදුරජාණන්වහන්සේ කර්මය පිළිබඳ දේශනා කර ඇත්තේ (සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරන බැවින්) මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යනුවෙනි. (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා’ නිබ්බේධික සූත්‍රය අ.නි)
අපගේ ජීවිතයේ සිදු වන සියලු දේ සහ අප කරනු ලබන සියල් දේ අතීත කර්ම හේතුවෙන් සිදු වේය යන ආකල්පය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. අතීත කර්ම විපාක අප කෙරෙහි බලපාන අතර ඇතැම් ප්‍රබල කර්මයන්ගේ විපාක මාර්ගඵල අවබෝධයෙන් පසුව ද විපාක දෙන බව බුදුදහම පිළිගනී. එහෙත් සියල්ල පූර්ව කර්ම විපාක නොවන බව බුදුරජාණන් වහන්සේ පංච නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීම මගින් පැහැදිලි කළහ. උතුනියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම හා චිත්ත නියාම යන පංච නියාම ධර්ම අතර කර්මය එකක් පමණකි. පුද්ගලයාට බලපාන සිදුවීම් අතර කර්මයට අමතරව වෙනත් සිදුවීම් ද පවතින බව මෙම නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීම් මගින් පැහැදිලි වෙයි.
ක්‍රියාවේ ස්වභාවය අනුව කර්මය, කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ බවට පත්වන ආකාරය මෙසේ දේශනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ‘රාහුල හොඳින් සිතා කරුණු විමසා කයින්, වචනයෙන් හා සිතෙන් ක්‍රියා කරන්න. තමාට ද අනුන්ටද තමා හා අනුන් යන දෙපිරිසටම හානිකර ක්‍රියා නොකරන්න. තමා හා අනුන් යන දෙපිරිසට ම හිතකර ක්‍රියා පමණක් කරන්න යනුවෙනි. දසධම්ම සූත්‍රයේ දී කර්මය පිළිබඳ ඉගැන්වෙන්නේ කර්මය දායාදයක්, යෝනියක්, ඥාතියෙක් වශයෙනුත් එය පිළිසරණ කොට ඇති බවත් යම් යහපත් (කුසල) හෝ අයහපත් (අකුසල) කර්මයක් කළොත් එහි විපාක දායාද කර ඇති බවත් වශයෙනි. (කම්මස්ස කෝම්හි කම්මදායාදො කම්මයොනි, කම්මබන්ධු, කම්ම පටිසරණො යං කම්මං කරිස්සාමි, කල්‍යාණං වා පාපකා වා තස්ස දායාදො....’දසධම්ම සූත්‍රය) හොඳ යහපත් ක්‍රියා ‘පුඤ්ඤකම්ම’ ලෙසත්, නරක අයහපත් ක්‍රියා ‘පාපකම්ම’ ලෙසත් ඉගැන්වේ. පුණ්‍යක්‍රියා මගින් යහපත් ප්‍රතිඵල ලබාදෙන අතර පාප ක්‍රියා මගින් අයහපත් විපාක ලබා දෙන බවත් බුදුදහම අනුව බෞද්ධයෝ පිළිගනිති.
යම් ක්‍රියාවක් කළොත් එහි විපාක තමා ම විඳිය යුතු බවත් එය කිසිවකුට වෙනස් කළ නොහැකි අතර එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද තමාට ම බවත් බුදු දහමේ ඉගැන් වේ. චක්ඛුපාල හාමුදුරුවන් මහරහතන් වහන්සේ නමක් වුවද පෙර භවයක ආත්මාර්ථකාමි ලෙස වෙදකම් කර කාන්තාවකගේ ඇස් අන්ධ කිරීමේ විපාක වශයෙන් උන්වහන්සේ ඉපදුණු සෑම භවයක දීම ඇස් අන්ධ වූ අතර රහත් වූ භවයේදී ද චක්ඛුපාල මහරහතන්වහන්සේ ඇස් අන්ධ වී අපමණ අපහසුතාවලට පත්වූහ. (ධම්මපදය)
බුදුදහමේ ඉගැන්වෙන කර්ම සංකල්පයේ විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රබල කර්මයන්ගේ් විපාක රහත් වුවත් විඳින්නට සිදුවීමයි. එය චක්ඛුපාල මහරහතන් වහන්සේට මෙන් ම අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේට ද එය විඳින්නට සිදුවිය. ඒ පෙර භවයක ගුණබර මවුපියන් තම බිරිය සමග එකතු වී මරණයට පත් කිරීමේ විපාක වශයෙන් ඉපදුණු සියලු භවයන්හි සොරුන්ගෙන් විපත් විඳ මරණයට පත් වීම සිදුවිය. අවසන් භවයේ දී ද අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ සොරුන්ගෙන් වූ හිරිහැර හේතුවෙනි. එසේ වුවද දහස් ගණනක් මිනිසුන් මරා ඇඟිලි කපා අංගුලිමාල නමින් ප්‍රසිද්ධ වූ අහිංසක ‘අංගුලිමාල මහරහතන් වහන්සේ’ නමින් රහත් භාවය ලබා ගත්තේ කළ පාප ක්‍රියා අවබෝධ කරගෙන එයින් මිදී කුසල ක්‍රියා වර්ධනය කරගෙන සත්‍යය අවබෝධ කරගත් බැවිනි. යමෙක් අකුසල ක්‍රියා කරමින් සිටියත් එය අවබෝධ කරගෙන එයින් මිදුණු විට වලාකුළුවලින් මිදුණු සඳ මෙන් බබලන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (සො ඉමං ලොකං පභාසෙති - අබ්බා මු තෙතාව චන්දිමා - ධම්මපදය) රහත් වූ අංගුලිමාල මහරහතන් වහන්සේට එම භවයේදීම කළ ප්‍රබල කර්මයන්ගේ් විපාක වශයෙන් මග තොට වඩිද්දී වෙනතකට යොමු කරන ගල් මුල් උන්වහන්සේගේ සිරුරෙහි වැදුණු බව චරිත කතාවල කියවේ. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ කර්මයේ විපාක අනිවාර්යයෙන් ම තමා විසින් ම විඳිය යුතු බවත් එය ශ්‍රේෂ්ඨ බුද්ධත්වය පවා අවබෝධ කරගත් උතුමන් විෂයෙහි ද පොදු වූවක් බවත් බුද්ධ දේශනාව මගින් පැහැදිලි කිරීමයි.
ඛුද්දක නිකායේ අපදාන පාළියේ අවණ්ටඵලදායක වර්ගයේ පුබ්බකම්ම පිලෝතිකා නම් බුද්ධා වදානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර භවයන්හි කර්ම විපාක (බුද්ධත්වය ලැබීමෙන් පසුවත්) විඳි අවස්ථා මෙසේ දේශනා කර තිබේ.
* සුන්දරී නම් පරිබ‍්‍රාජිකාව නිසා නින්දා ලැබීම
* චිඤ්චිමානවිකාවගෙන් චෝදනා ඉදිරිපත් වීම
* දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළීම නිසා පාදයේ ඇති වූ ලේ ගැලීම
* දෙව්දත් තෙරුන් බුදුන් වහන්සේ මැරවීමට දුණුවායන් යෙදවීම
* නාලාගිරි ඇතුන් බුදුන් වහන්සේට හිංසා කිරීමට පැමිණවීම
* වේරඤ්ඡාවේ වස් තෙමස යම සහල් අනුභවය
* ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම
* අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීම
ගෞතම බුදුරජාණන් වහන්සේට මෙම කර්ම විපාක විඳීම සඳහා හේතු වූ අතීත කර්ම විපාක පිළිබඳව මෙහිදී විග්‍රහ කෙරේ. දිනක් බුදුරජාණන් වහන්සේ අතිරමණීය වූ අනවතප්තවිල සමීපයෙහි සිත්කලු ගල් තලාවක දී භික්ෂූ සංඝයා සමඟ පිළිසඳරේ යෙදෙන මොහොතක තම පූර්ව කර්ම සහ බුද්ධත්වයෙන් පසුවත් ඒවා විඳි ආකාරය පිළිබඳව මෙසේ දේශනා කළහ.
‘මහණෙනි, මා විසින් යම් කර්මයක් කරන ලද ද මාගේ (ඒ කර්මය) අසව්. විපාකාවශේෂ කර්මය බුදු බැව් ලැබූ කල්හි ද විපාක දේ. (සුනාථ භික්ඛවෙ මය්හං යං කම්මං පකතංමය පිලොතිකස්ස කම්මස්ස බුද්ධත්තෙපි විපච්චති’ 3343 ඛු.නි) යනුවෙනි.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කර බුද්ධත්වය ලබා ගැනීම පිණිස වසර හයක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ බව බුද්ධ චරිතයේ සඳහන් වේ. එම කාලය තුළ උන්වහන්සේ ශරීරයට දැඩි දුක් ලබා දීමෙන් උත්සහ කළේ බුද්ධත්වය ලබා ගැනීම පිණිසයි. නමුත් එම උත්සාහයෙන් නිසි ප්‍රතිඵලයක් නොලැබිණි. මෙසේ වසර හයක් සිද්ධාර්ථ ගෞතමයන්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ පෙර භවයක කළ ප්‍රබල පා කර්මයක විපාක වශයෙනි. (ආසනො ව්‍යාකාරී තÀඵ - පුබ්බකම්මානි අත්තනො - ඛු. නි) මෙහි අතීත අකුසල කර්මය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.
‘පෙර ජෝතිපාල මානවක වූ මම, එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ‘මුණ්ඩයාට සම්බෝධි ඤාණයක් කොයින් ද?’ සම්බෝධි ඤාණය ඉතා දුර්ලභ යැයි කීවෙමි. (කුතොනු බෝධි මුණ්ඩස්ස බෝධි පරම දුල්ලභො - 3369 ඛු. නි)
මේ අනුව සිද්ධාර්ථ කුමාරයාට වසර හයක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වූයේ පෙර භවයක කළ අකුසල ක්‍රියාවක විපාක වශයෙන් බව පැහැදිලි වේ. බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව ද උන්වහන්සේට පෙර භවයන්හි ප්‍රබල කර්ම රැසකම විපාක විඳින්නට සිදු විය.
සුන්දරී නම් පරිව්‍රාජිකාව නිසා නින්දා අපහාස වි¼ඳින්නට සිදුවූයේ උන්වහන්සේ පෙර භවයක පහත් කුලයක මුනාලි නමින් ඉපිද සිටිය දී සරභූ නම් පසේ බුදුරජාණන් වහන්සේට පරිභව කිරීමේ පූර්ව ප්‍රබල කර්මයක විපාක වශයෙනි.
එපමණක් නොව චිඤ්චිමානවකාවගේ අභූත චෝදනාවලට ලක් වූයේ ද? පෙර භවයක නන්ද නම් බෞද්ධ ශ්‍රාවකයකුට නින්දා කිරීමේ කර්ම විපාක වශයෙනි.
බුද්ධ ශ්‍රාවකයකු වූ දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේ ;වතට ගලක් පෙරැළීමෙන් උන්වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ල තුවාල විය. එය විඳින්නට සිදුවූයේ උන්වහන්සේ පෙර භවයක ඉඩකඩම් ආදී වස්තූන් කෙරෙහි දැඩි ලෝභයෙන් සියලු දේපළ තමාට ම ලබා ගැනීමේ අරමුණින් තම සොහොයුරා ගලකින් පහළට හෙළා මරා දැමීමේ පූර්ව කර්ම විපාක ඵලදීමක් වශයෙනි.
දෙව්දත් තෙරුන් දුනුවායන් යොදවා බුදුරජාණන් වහන්සේට විදින්නට සලස්වන්නේ බෝසතාණන් වහන්සේ පෙර භවයක කුඩා දරුවකු වශයෙන් ම¼ග තොට සෙල්ලම් කරද්දී අසලින් වඩින පසේ බුදුවරයකුට ගලකින් ගසා තුවාල සිදු කිරීමේ පූර්ව කර්ම විපාක වශයෙනි.
බුදුරජාණන් වහන්සේගේ පාදයේ ඇඟිල්ලක ලේ තැල්මක් නිසා වේදනා ඇතිවූයේ පෙර භවයක අවියකින් ඇන මිනිසකු මැරීමේ පූර්ව කර්ම විපාක විඳීමක් වශයෙනි.
එමෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ පිට කොන්දේ වේදනාවෙන් පෙළුණේ මල්ල රාජ්‍යයේ රජ කරද්දී මල්ල පුත්‍රයකුට හිංසා පීඩා කිරීමේ පූර්ව කර්ම විපාකයක් ලෙසයි.
බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය හෙවත් ලේ අතීසාරය වැළඳුණේ පෙර භවයක වෛද්‍යවරයෙකු වශයෙන් වෙදකම් කරද්දී මුදලට ගිජුව, නැති ලෙඩකට පුද්ගලයකුට විරේකයක් දී මුදල් ලබා ගන්නට ක්‍රියාකිරීමේ පූර්ව කර්මය විපාක දීමක් වශයෙනි.
පින් පව් ගෙවාලූ කෙලෙස් තැවුල් බැහැර කළ ශෝක දුරු කළ ආශ්‍රව රහිත වු බුදුරජාණන් වහන්සේට ද ඇතැම් පූර්ව කර්ම විපාකයන්හි (ශේෂ වූ) කර්ම විපාක විඳින්නට සිදු වූයේ නම් කෙලෙස් සයුරේ ගිලෙමින් සිටින සාමාන්‍ය පෘථග්ජනයා කර්ම විපාක විඳීම පිළිබඳ කියනුම කවරේද?
මෙම ජීවිතයේදී අප රැස් කරනු ලබන සෑම භෞතික වස්තුවක් ම යම් දිනක අතහැර දමා යා යුතුය. ඊළඟ භවයට ගෙන යෑමට ඉතිරි වන්නේ ජීවිත කාලය පුරා කරනු ලබන කුසල් (හොඳ / යහපත් දේ) සහ අකුසල් (පාපකාරී/ අයහපත් දේ) පමණකි. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසල් දහම් සිදුකරන ලෙසත් (කත්තබ්බං කුසලං) චරිතවත් ජීවිතයක් ගත කරන ලෙසත් ය. (චරිතබ්බං බ්‍රහ්ම චරියා)
අප කරනු ලබන ඇතැම් ක්‍රියාවල විපාක මේ භවයේදීත් (දිට්ඨධම්මවේදනීය) සමහර ක්‍රියාවන්ගේ විපාක ඊළඟ භවයේදීත් (උපපජ්ජවේදනීය) තවත් සමහර ක්‍රියාවන්ගේ විපාක සසර කෙදිනක හෝ විපාක දීමත් (අපරාපරීයවේදනීය) සිදු වේ. එහෙත් ඇතැම් ක්‍රියාවල විපාක පල නොදී අහෝසි වේ. (අහෝසි කර්ම) මෙය කුසල සහ අකුසල යන කර්ම දෙකටම පොදුය. බෞද්ධ කර්ම සංකල්පය මගින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයා සුමගට යොමු කිරීමයි. කුසල් මෙන්ම අකුසල් මගින් ද රැස් වන්නේ් කර්ම ශක්තීන්ය. කර්ම ශක්තිය භවගාමී ජීවිතය හා සම්බන්ධ වේ. කුසල කර්ම මගින් සුගතියට යොමු කරන අතර අකුසල කර්ම මගින් දුගතියට යොමු කරයි.
කර්මය පිළිබඳ ඉගැන්වීම අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් වැරැදි ක්‍රියාවන්ගෙන් මිදුණු යහපත් සමාජයක් නිර්මාණය වේ.
මේ අනුව බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේටත් ඇතැම් ප්‍රබල පූර්ව කර්මයන්ගේ විපාක විඳීමට සිදු වූ නිසා අකුසල ක්‍රියාවන්ගෙන් මිදී කුසල ක්‍රියා නිරතුරුව සිදු කරමින් මෙලොව සහ පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ කළ යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X