සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අපායේ දඬුවම්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බිනර අව අටවක පොහොයදා ලිපියෙන් අපායන්ගේ ඇති විවිධත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළෙමු. මෙවර අප බලාපොරොත්තු වන්නේ අපායෙහි උපදින සත්ත්වයන්ට යම රජු විසින් ලබාදෙන දඬුවම් විමසා බැලීමටයි. එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. එය නම්කොට ඇත්තේ ‘දේවදූත සූත්‍රය’ ලෙසයි. එහි සඳහන් දේවදූතයන් තිදෙනා මෙසේ ය.
1. පළමු දේව දූතයා - වයසට යෑම (ජරා) 
2. දෙවන දේව දූතයා - ලෙඩ වීම (ව්‍යාධි) 
3. තෙවන දේව දූතයා - මරණයට පත්වීම (මරණ)

මේ ලෝකයෙහි ඇතැමෙක් කයින්, වචනයෙන්, මනසින් යන තිදොරින් දුශ්චරිත කොට ජීවිතයේ කෙළවර හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදිති. එසේ නරකයෙහි උපදින සත්වයන් නිරය පල්ලන් විසින් ඇදගෙන ගොස් යම රජු ඉදිරියේ දක්වත්. එසේ යම රජුට දක්වා ඔහු පිළිබඳ පැමිණිල්ල මෙසේ ඉදිරිපත් කරයි.
එනම් “දේවයන් වහන්ස, මේ පුරුෂයා, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේ ය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේ ය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුල දෙටුවන් නොපිදුවේ ය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.
අයං දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ ති.
එවිට යම රජු ඔහුට දඬුවම් පැමිණවීමට පෙර ඔහු ජීවත්ව සිටි සමයේ මේ දේවදූතයන් තිදෙනා ඔහු විසින් දැක ඇද්දැයි විමසයි. ඔහුගේ පිළිතුර වනුයේ දැක නැති බවයි. එවිට යම රජු මේ දේව දූතයන් වෙන කවුරුත් නොව ජරා, ව්‍යාධි, මරණ යන ජීවිතයේ මුහුණපාන ස්වභාව සංසිද්ධීන් බව ඔහුට පෙන්වා දෙයි. ඔහුට ජීවිතයේ යථාර්ථ තේරුම් යන්නේ එවිටය. එහෙත් ඔහු ඒ වනවිටත් ප්‍රමාද බැවින් ඔහු කළ වරදට දඬුවම් පමුණුවන ලෙස නිරය පල්ලන්නට උපදෙස් දෙයි.
නිරය පල්ලන්ගේ දඬුවම්
ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධන නම් වූ වධයක් කරත්. එනම්, රත් වූ යකඩ උලක් අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවැනි අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් පයෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවෙනි පාදයෙහි ගසත්, රත් වූ යකඩ උලක් පපුව මැද ගසත්. එහි හෙතෙම දුක් වූ, තියුණු වූ, කෲර වූ වේදනාවන් විඳි යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරලා කෙටේරිවලින් සසිත්.
තමෙනං, භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුධාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලඩ්කරොති යාව න තං පාපකම්මං ඛ්‍යන්තීහොති.
ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ භූමියෙහි ඉස්සරහට යෑම ද කරවත්. අස්සට යෑමද කරවත්. නිරය පාලකයෝ ඔහු, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ, මහත් වූ මහා කුළුගෙයක් පමණ වූ, අඟුරු පව්වට නැංවීම ද කරවත්. බැස්වීම ද කරවත්. ඔහු නිරයපාලයෝ පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට බුබුලු නැඟ පැසෙන්නා වූ යකඩ හැලියක දමත්. ඔහු එහි පෙන නගමින් පැසෙයි. ඔහු එහි පෙන නගමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යයි. වරක් හරහට යයි. ඔහු එහි දුක් වූ, දරුණු වූ, කටක වූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒ තාක් කලුරිය නොකරයි. යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්.
ඒ මහා නරකය සිව් කොනක් ඇත්තේ ය. සිව් දොරටුවක් ඇත්තේ ය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරන ලද්දේ ය. යකඩ ප්‍රාකාරයකින් වට කරන ලද්දේ ය. යකඩ පියනකින් වසන ලද්දේ ය. ඒ නිරයෙහි බිම යකඩයෙන් ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙන සිටී.
යම රජුගේ සිතිවිල්ල
පෙර කාලයෙහි යමරජුට මෙබඳු අදහසක් විය. “මේ ලෝකයෙහි යම් කෙනෙක් ලාමක වූ කර්මයන් කරත් ද, ඔවුහු මෙබඳු වූ නොයෙක් වධ කරනු ලබත්.මම මිනිස් බවක් ලබන්නේ නම්, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම් (ඇසුරු කරන්නෙම් නම්) මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නේ නම්, යහපති” කියායි.
මේ තොරතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේම නුවණිනි. ඒ බව උන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ ය. “මම එය අන්‍ය වූ ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. යමක් මා විසින් තමා ම අවබෝධ කරන ලද්දේ ද, තමා ම දක්නා ලද්දේ ද, තමා ම දැනගන්නා ලද්දේ ද, එය මම කියමි’යි වදාළ සේක. දේවදූතයන් විසින් චෝදනා කරන ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත් ද, ලාමක වූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරත්.
මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දා, වූ පණ්ඩිත වූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත් ද, ඔවුහු කිසි කලකත් ආර්ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්. ජාතියට හා ජරා මරණයට කරුණු වූ, තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්. අප්‍රමාද විහරණ ඇත්තා වූ, සුවපත් වූ මේ ආත්මයෙහි ම නිවුනා වූ, සියලු වෛර, භය ඉක්ම වූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්ම වූවාහුය.
චොදිතා දෙවදුතෙහි, යෙ පමජ්ජන්ති මාණවා, - තෙ දීඝරත්තං සොචන්ති, හීනකායුපගා නරා. 

යෙ ච ඛො දෙවදුතෙහි, සන්තො සප්පුරිසා ඉධ, - චොදිතා නප්පමජ්ජන්ති, අරියධම්මෙ කුදාචනං 
උපාදානෙ භයං දිස්වා, ජාතිමරණසම්භවේ, - අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඩ්ඛයෙ 
තෙ අප්පමත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා, - සබ්බවෙරභයාතීතා, සබ්බදුක්ඛං උපච්චගුන්ති, ඡට්ඨං,

වරක් බුදුරජාණන් වහන්සේ සසරින් එතරවීමේ මාර්ගය මේ බඹයක් පමණ වූ ශරීරය තුළම පවතින බව දේශනා කළහ. මෙම දම් දෙසුමෙන් ද අර්ථවත් කරන්නේ එයයි. මේ ගෝර සසරින් මිදීමට අවශ්‍ය කරන අවබෝධය ලබා දීම සඳහා දෙවියන් විසින් එවන දූතයන් තිදෙනෙකි, ජාති, ජරා හා මරණ. අප කොතෙකුත් උපත් දැක ඇත. වයසට ගිය වූවන් ද කොතෙකුත් දැක ඇත. එමෙන් ම මරණයට පත් වූවන් ද කොතෙකුත් දැක ඇත. එහෙත් අප මේවා දේව දූතයන් ලෙස සිතුවාද? නැත, ඒ අප තවමත් මේ කාම ලෝකයේ කාමයෙන් වෙලී, මත්ව සිටින නිසාය. යමෙක් මේ පිළිබඳ අවබෝධයෙන් සිතා කටයුතු කරන්නේ නම් ඔහු යම රජු පමණක් නොව මරුවා ද පරාජය කරන්නෙකි. එසේ නැති වූ කළ යම රජු ප්‍රශ්න විචාරන පුරුෂයා මෙන් බියට තැති ගැනීමට පත්ව තියුණු වූ කටුක වූ දුක් විඳියි. මෙසේ ප්‍රමාද වූවන්ට දඬුවම් නියම කරන යම රජු ද, සිතන්නේ තමා ද සම්බුදු කෙනෙකු දැක උන්වහන්සේගේ දහම අනුගමනය කරන්නේ නම් මහත් භාග්‍යයක් ලෙසය. එබැවින් කුමට ප්‍රමාද වන්නේ ද? උතුම් දහමක් පවතින කාලයක ඉපදීමට භාග්‍යවන්ත වූ අප කුමට ප්‍රමාද වී නිරයට යන්නේ ද?

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X