සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

අට මහා නරකය

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
පසුගිය පොහෝ දිනයෙන් ආරම්භ වුණ බුදු දහමෙහි අපාය සංකල්පය යන ලිපි මාලාවේ පළමුවැන්න අපාය යනු කුමක්ද? යන ශීර්ෂය යටතේ පළ විය. එයින් බුදු දහමේ සඳහන් අපාය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. අට මහා නරකය යන්න එහි දෙවැන්නයි. මේ තුළින් අප දන්නා අටමහා නරකයන්හි ස්වභාවයන් පිළිබඳ යම් අවබෝධයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
සඤ්ජීව නිරය – යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලිවලට කපද්දීත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැඳින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමඟ කෝළාහළ කළ දුභලයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජිව නිරයේ උපදිනවා.
කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලා සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විඳිනවා.
සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවවිමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරළී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුණු විසුණුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට ද වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විඳිනවා.
රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරුවලට ඇතුළු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඬ දෙන සත්වයන්ගේ හඬ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.
මහා රෞරව නිරය – අතිශයින්ම දරුණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙසින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා.තුණුරුවන්ට අයත් දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.
තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල්වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විඳිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනි තැබූ අය මෙහි උපදිනවා.
ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විඳිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.
අවීචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අතින් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා, ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැල් වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන් ද සිටිනවා. ගිනිදැල්වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන් ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනන්තරිය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශ කළ, බෝධි රුක්ෂයන් විනාශ කළ බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැරගත්, මිත්‍ර ද්‍රෝහීන් භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය මිත්‍යා දෘෂ්ටියන් එහි උපදිනවා.
මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.
කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.
ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X