සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි

ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි.
විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. බුදු රජාණන් වහන්සේ මෙහිදී පංචකාමයෙහි ආස්වාදය දක්වන්නේ මෙසේ ය:
‘මහණෙනි, කාමයන්ගේ ආස්වාදය නම්, චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, රූප කාමයේ ආස්වාදය විඳ, සෝත විඤ්ඤාණයෙන් ශබ්ද අසා, ශබ්ද කාමයේ ආස්වාදය විඳ, ඝාන විඤ්ඤාණයෙන් ගඳ සුවඳ විඳ, ගන්ධ කාමයේ ආස්වාදය විඳ, ජිව්හා විඤ්ඤාණයෙන් රස විඳ, රස කාමයේ ආස්වාදය විඳ, කාය විඤ්ඤාණයේ පහස විඳ, ස්පර්ශ කාමයේ ආස්වාදය විඳ කාම සැප ලබන්නේ නම් එය කාමයාගේ ආස්වාදය යි.’
කාමයේ ආස්වාදය ස්වල්පයකි; ආදීනව නම් මහා භයානක ය. එහෙත් ඒ බිඳක් වූ කාම ආස්වාදය මිනිසා අන්ධයකු කරයි; අපාගාමී කරයි. ඕලාරික වූ කාම ආස්වාදයෙන් නොමඟ යා නොදී, මනස ලෝකෝත්තර වූ වේදනාවේ ආස්වාදයෙන් නිවා ලනු පිණිස මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක.
“මහණෙනි, කාමයාගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනා කොට විඤ්ඤාණයෙන් පිරිසිඳ නොදකී නම් ඔහුට ජීවිතය විදසුන් නැණින් අවබෝධ කොටගත නොහැක්කේ ය.
“මහණෙනි, රූපයාගේ ආස්වාදය නම් කවරේ ද? සොළොස් හැවිරිදි වූ, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, කෙට්ටු නොවූ, මහත් නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති හෝ කන්‍යාවක් වේ ද ඇයගේ ඒ ලස්සන රූපය නිසා සැපයෙක් සොම්නසෙක් උපදී ද ඒ රූපයාගේ ආස්වාදය යි.’
මේ සුළු ආස්වාදය ද අනිත්‍ය ය; එනම් වෙනස් වනසුලු ය; දුකට ම හේතු වෙයි. බුදු හිමියන් දක්වා වදාළ මේ ආස්වාදයේ දුර්-විපාක ජාතියේ විනාශය දක්වා ම විහිදී ගොස් ඇත. විශ්ව ගම්මාන නමැති මිථ්‍යා සංකල්පයක විපාක වශයෙන් ඒඩ්ස් නමැති මරළතෝනියෙන් මිනිසා ඔත්පළ ව සිටී. මේ අනිත්‍ය වූ ද දුක්ඛ වූ ද ආස්වාදයේ අමිහිරි කථාවක් 2012 දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ පළ වී තිබිණි. ඒ ගැන විමසා බලන්නට පෙර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දේශිත කාමයේ ආදීනව අපි දකිමු.
නැවැත බුදු රජාණන් වහන්සේ රූපයාගේ ආදීනව මෙසේ දක්වන සේක:
“මහණෙනි, රූපයෙන් පැහැපත් ආස්වාදනීය වූ එම නැගණිය ම සැත්තෑ, අසූ හැවිරිදි වයස්ගත වූවා, ජරා ජීරණ භාවයෙන් වැසුණි, වක් වූ කොන්දෙන් පීඩිත ව සැරයටියෙන් යන්නී දකින්නා තුළ කුමන නම් සිතිවිල්ලක් හට ගන්නේ ද? තව ද ඇඟ රැලි වැටී ඇති, පෙර වූ යොවුන් බව තුරන් වී ඇති ඒ නැගණිය කෙරේ පෙර හටගත් ඒ ආස්වාදය දැන් පවතින්නේ ද?
“නැවත ද මහණෙනි, දැඩි ලෙස ගිලන් වූ, තමන්ගේ ම මල මූත්‍රයෙහි ගැලී හොවින, අනුන් විසින් නැගිටුවනු ලබන එම නැඟණිය ම දකින්නේ ද කුමක් නම් සිතේ ද?
“මහණෙනි, මැරී දවසක්, දෙකක්, තුනක් ගත වී ගිය ඉදිමී නිල් වූ සොහොනෙහි දැමූ මළ සිරුරක් වූ එම නැඟණිය ම දක්නේ නම් හට ගන්නේ පිළිකුල ම ය. එය ද රූපයේ ආදීනවය වෙයි.
“එම නැගණියගේ ම වූ, කපුටන්, හිවලුන් කාදමන්නා වූ, සොහොනෙහි ලූ කුණු වී ගිය මළ සිරුර දක්නේ; එය ද රූපයේ ආදීනවය යි.
“මහණෙනි, නැවත ද ඇටසැකිල්ලක් වූ නහරවැලින් බැඳී ඇති මස් නැති ලේ නැති එම නැඟණියගේ ම සිරුර දක්නේ ද එය ද රූපයාගේ ආදීනවය යි. තව ද විසිර ගිය හිස් කබල එක් තැනක ය, අත් ඇට තව තැනක ය, පා ඇට තව තැනක ය. උකුල් ඇට තව තැනක ය. මෙසේ විසුරුණු ඇට ඇති, සොහොනෙහි දමන ලද එම නැඟණියගේ ම සිරුර දක්නේ, කුමක් හඟිණේ ද? මෙය ද රූපයාගේ ආදීනවය යි. අවුරුදු ගණන් ගෙවී ගිය හෙයින් සුදුවන් පැහැගත්, දිරාගිය එම ඇට කැබැලි දක්නේ, එය ද රූපයේ ආදීනවය යි.” (මජ්ඣිම නිකාය 1 - මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය ඇසුරෙනි).
බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආස්වාදය සහ ආදීනවය පිළිබඳ ව යමක් සංවේදී මනසින් දකින්නට කවුරුන් හෝ සමත් වෙති යි මම සිතමි. අද බොහෝ දේශනා සිදු කැරෙන්නේත්, අසන්නේත් පරමාර්ථ ධර්මය අනුව නොවන නිසා ය. එහෙත් අපි මේ ගැන මඳක් සාකච්ඡා කරමු. දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ 69 පිටුවේ ‘මට හිතෙන හැටි’ ලිපිය ගැන මට හිතෙන හැටි ය මේ. මේ සිදුවීම සත්‍යයක් ම යැ යි මම සිතමි. එසේ නම් එය ආස්වාදයේ තවත් පැතිකඩෙකි; වෙනත් ලෙසකින් කීවොත් මිනිස් සිතෙහි ජඩ ස්වභාවය කියා පෑමෙකි. සිහි නුවණින් මිදුණ මිනිස් සතා නන්දි රාගයෙන් මත් වූ කල ආදීනවය තුළින් ආස්වාදය ලබයි. කාමයෙන් ඔද්දල් වූ සිත ඕනෑ ම කසළ ගොඩක ම අමිහිරි සුවය ආස්වාදය කරයි; රස විඳියි.
“ඒ ගැහැනිය මෙසේ හඬා, දොඩයි: “අනේ! බුදු මහත්තයෝ... ගෙදර මාස එකහමාරක කිරි දරුවෙක් ඉන්නවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවා. මගෙ අම්මගෙ ඇස් පේන්නෙ නැහැ. මිනිහා දාල ගිහින්... මට අච්චු කරන්න එපා. බුදු බව ලැබෙයි. වඳින්නම්...”
ලොව පැරැණිතම වෘත්තියේ යෙදීමේ වරදට (ආස්වාදයට නො වේ) තෙමසකට බන්ධනාගාරගත වූ මැදිවියේ ස්ත්‍රියකගේ විලාපයේ කොටසකි ඒ උපුටා දැක්වූයේ.
දැන් දකින්න යෝනිසෝමනසිකාරයෙන්, දුක්ඛ වේදනාවේ ‘සැපය’ ලබන්නට සිරස් ව යන මිනිස් සතා ‘තිරස් ව යන සතකු’ වූ සැටි:
“රජ, සිටු, මැති, ඇමැති මන් කලඹවාලූ අනගි වස්ත්‍රාභරණයෙන් සැරැසුණු සුරූපී ලාලිත සිරුරෙන් හෙබි නගරශෝභිනියන් ගැන බණ කථා මම අසා ඇත්තෙමි. මම මඳකට මේ අසරණ ස්ත්‍රිය පිරික්සීමි. ගොමස්කඩ කඩමාලු හැට්ටයකින් හා කිලිටි රෙදි කඩෙකින් වැසුණ ඇයගේ සිරුර කුමන නම් ජීවියකු තුළ කාමෝද්දීපනයක් ඇති කළා දෝ යි මට නොවැටැහිණි.”
ඉන් නොනවතින ලේඛිකාව මිනිසාගේ කාමාස්වාදයේ අන්ධස්වභාවය මෙසේ ද තහවුරු කරයි:
“බුලත් කහටින් දුර්වර්ණ වී ගිය දෙතොල ද දින කීපයකින් සබන් වතුර නොපෙන්වූ මුහුණ ද, අවුල් වී ගිය හිසකෙස් ද, යාර කීපයක් දුරට විහිදුණ ඩහදිය කුයිල ද, කොයි ආකාරයකින් නම් පිරිමියකු වසඟ කෙරේ දැ යි යන්න ගැන අංශු මාත්‍රයක සේයාවකින් හෝ අදහාගැනීමට මම අපොහොසත් වීමි.”
මිනිස් සිතේ හටගන්නා ඕලාරික වූ ආස්වාදය නම් වූ පංචකාම තණ්හාව, විටෙක කොතරම් ගිනියම් වූයේ ද යත්: ඒ නිසා ම බුදු රජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේ අරභයා දැඩි විනය නීති පවා පනවන්නට සිදු විය. මිය ගිය ස්ත්‍රී ශරීරය පවා කාමෝද්දීපනය සඳහා සුන්දර වස්තුවක් වෙද්දී උපසම්පදා භික්ෂුත්වයෙන් පාරාජික වීමේ විනය නීතියක් ද එදා පැනැවිණි.
එසේ බලන විට මිනිසාගේ කාමාස්වාද අන්ධභාවය අද මෙන් ම එදා ද නොතිබුණා නො වේ. ශික්ෂණය නොවූ මිනිසාගේ චක්ඛු විඤ්ඤාණය අන්ධ ය; සෝත විඤ්ඤාණය බිහිරි ය; ඝාණ විඤ්ඤාණය දුබල ය; ජිව්හා විඤ්ඤාණය කුණු රස ය; කාය විඤ්ඤාණය ගොරෝසු ය; මනස විකෘති වී ඇත.
අර අහිංසක ස්ත්‍රිය එය කර ඇත්තේ මා සිතන සේ නම් ආස්වාදය පිණිස නො වේ; කාමාතුර පේ‍්‍රතයකුගේ නීච රස වින්දනය සපුරා, අහිංසකයන් කීප දෙනකුගේ කුසගින්න නිවීමේ අභිප්‍රායයෙනි. එහෙත් මෝහයෙන් මුළාවට ගියවුන්ගේ කාම ආස්වාදය නම් ඉතා පහත් ය.
අසුභය වඩා නිවන් අවබෝධය ලබන්නට සිතා සොහොනේ දමන ලද මිනී කුණක් සොයා ගිය භික්ෂුවක පණුවන් ගැවැසුණු ගැහැනු සිරුරක් දැක විදසුනෙන් මිදුණේ තමන්ගේ ගිහි කල යෙහෙළියගේ රූසපුව සිහිපත් වූ හෙයිනි.
තව ද භික්ෂුවක් සොහොන් පාලිකාව අමතා මෙසේ කී සේක: “නැගණිය, විදසුන් වඩන්නට නිසි මළ කුණක් දුටු දා මට කියන්න.” ඇයට දිනක් එබන්දක් හමු විය. ඒ හිමියනට ගොස් කාරණය දැන්විණි. උන් වහන්සේ රූමතියකගේ ඒ මළ කුණ දැක, “නැඟණිය, අසුභය දකින්නට සුදුසු විටක මට දන්වන්න” යි කී සේක. ඇය නුවණ ඇත්තියකි. ඕතොමෝ එම දේහය දර සොහොනක තබා ගිනි දල්වා භික්ෂූන් වහන්සේට දැන්වූවා ය. උන් වහන්සේ රූපස්කන්ධයාගේ ආදීනවය විදසුන් කොට ලොවුතුරු ආස්වාදයෙන් සැනැසී නිවීගිය සේක.
පුරුෂයකුට ස්ත්‍රියක නිසා හටගන්නා පංචකාම රසයත් ස්ත්‍රියකට පුරුෂයා නිසා හටගන්නා පංචකාම රසයත් තරම් ඕලාරික වූ සුඛ වේදනාවක් නැති බව බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදු හිමියන් දේශනා කර ඇත.
මිනිසා මුළා වූ සිහියෙන් තණ්හාව උපාදානය කරගෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙහි ඇලී සිටින තාක් ඔහු දුක නො දකී. හේ මාරයාගේ ග්‍රහණයෙන් නොමිදෙනු ඇත. පටිච්ච සමුප්පන්න ව (හේතු ඵල න්‍යායයෙන්) භවගත වූ මේ සම්මුති සත්ත්වයා අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් නොමිදුණේ නම් ඒකාන්තයෙන් ම ජරාව ව්‍යාධිය සහ මරණය උරුම කරගත්තේ අනන්ත වූ සංසාරයේ සැරි සරනු නියත ය. දෙතිස් කුණපයක් වූ තම කයට, තවත් කුණපගොඩක ස්පර්ශයෙන් ලබන ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය මාරයාගේ ආශීර්වාදය පිණිස ම වනු නියත ය.
දුසිරිත සහ සුසිරිත යන සංකල්ප දෙක ලෝකයේ විද්‍යමාන ය. ලෝකයේ ආගම් පහළ වූයේ මිනිසා දුසිරිතින් මුදනු පිණිස ය. සුසිරිතෙහි ඇලුණ අය ස්වර්ග සම්පත්ති ලබන බවත් දුසිරිතේ යෙදුණ අය අපා දුක් විඳින බවත් ඒ ඒ ශාස්තෲහු පෙන්වා දුන්හ.
එහෙත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නො ව, නාමරූප දෙකක එක් වීමත් බිඳීයෑමත් පටිච්ච සමුප්පාද න්‍යායය ඇසුරෙන් ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කළ බුදුහිමියෝ චේතනාව කර්මය වශයෙන් දේශනා කළ සේක. බුදු දහම ප්‍රඥාවෙන් දකින්නා ඒකාන්ත වශයෙන් මෙසේ දකිනු ඇත: නාම - රූප දෙකකි. ‘ඇය’ ධාතු මාත්‍රයක් පමණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපායෙහි දුක කියා නිමකළ හැකිද?

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක් කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. අත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. . හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විදී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.

බිනර අමාවක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ අපායෙහි ඇති දඬුවම් ක්‍රම ගැනය. ඒ සඳහා පාදක කරගත්තේ දේවදූත සූත්‍රයයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ මජ්ක්‍ධිම නිකාය ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය විමසා බැලීමටයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා කයින්, වචනයෙන් මනසින්, දුශ්චරිත-යන්හි නියැළෙන බාල පුද්ගලයා සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති අතරක් නැතිව දුක් දෙන නරකයෙහි උපදින බව දේශනා කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරන්නේ නිරයෙහි උපදින මෙම සත්ත්වයන් විඳීන දුක් උපමාවකින් පැවසීම ද අපහසු බවයි. එහිදී භික්ෂූන් වහන්සේ නමකගේ ඉල්ලීමකට අනුව එම කාර්යය උපමාවකින් පැවසීම අපහසු වුවද දැනගැනීමේ පහසුව සඳහා මෙසේ විස්තර කරයි.
“ස ඛො සො, භික්ඛවෙ, බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, යංඛො තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාපන්ති, නිරයමෙව තං සම්මා වදමානො වදෙය්‍ය ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප ‘න්ති , යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව දුක්ඛා නිරයා “ති .
“මහණෙනි, රාජපුරුෂයන් අපරාධකාරි සොරකු අල්ලා, රජුට දේවයන්වහන්ස,මේ ඒ අපරාධකාරි හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනැවැයි දක්වති.
රජු රාජපුරුෂයන් අමතා මෙසේ කියයි. එම්බා රාජපුරුෂයනි. මේ පුරුෂයාට උදය කාලයෙහි උල් සියයකින් අනිව්යැයි කියන්නේය. රාජපුරුෂයෝ ඔහුට උල් සියයකින් පෙරවරු කාලයෙහි අනිති. ඉක්බිති රජු දවල් කාලයෙහි රාජපුරුෂයන් ඒ පුරුෂයා කෙසේදැයි අසන්නේය. දේවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජු රාජපුරුෂයන්ට මෙසේ කියන්නේය. රාජපුරුෂයනි, යව්, ඒ පුුරුෂයාට දවල් කාලයෙහි උල් සියයකින් අනිව්, යයි කියන්නේය. ඔහුට දවල් කාලයෙහි ද උල් සියයකින් අනින්නාහුය. ඉක්බිති රජු සවස් කාලයෙහි, රාජපුරුෂයනි, ඒ පුරුෂයා දැන් කෙසේදැයි අසන්නේය. දේවයන් වහන්ස, එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජු නැවත රාජපුරුෂයන්ට මෙසේ කියයි. රාජපුරුෂයනි යව්. සවස් කාලයෙහි ඒ පුරුෂයාට උල් සියයකින් අනිව්යයි කියන්නේය. රාජපුරුෂයෝ ඔහුට සවස් කාලයෙහි උල් සියයෙන් අනින්නාහුය.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විමසති. මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? උල් තුන්සියයකින් අනිනු ලබන්නා වූ ඒ පුරුෂයා ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේද?”
එවිට භික්ෂූණ් වහන්සේලා “ස්වාමීනි, එක් අඩයටියකින් අනිනු ලබන්නා වු පුරුෂතෙම ඒ හේතුවෙන් දුක් දොම්නස විඳින්නේය. අඩයටි තුන් සියයකින් අනිනු ලබන කල්හි කියනුම කවරේද?
නැවතත් භාග්‍යවතුන් වහන්සේ මට පමණ කුඩාවූ ගලක් අතට ගෙන භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි” කුමක් සිතන්නාහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් යම් කලක් වේද, යම් හිමවත් පර්වත රාජයෙක් වේද, ඒ දෙක අතුරෙන් කවරක් ඉතා මහත් වන්නේදැයි” ඇසූහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩාය. හිමවත් පර්වතරාජයා හා සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි. සියක් වැනි, දහස් වැනි, ලක්ෂයක් වැනි, කොටසටවත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ පුරුෂතෙම උල් තුන්සියයකින් අනිනු ලබන්නේ ඒ හේතුවෙන් යම් දුක් දොම්නසක් විඳීනම් එය නිරයකට සමාන කොට බලනවිට ගණනකටවත් නොපැමිණෙයි සියක් වැනි, දහස්වැනි, ලක්ෂයක් වැනි කොටසකටත් නොපැමිණෙයි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපැමිණෙයි”. ඉන්පසු බුදුරජාණන් වහන්සේ නිරයේදී පාපි පුද්ගලයින් විඳින වධබන්ධනයන් මෙසේ විස්තර කරයි.
මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක්කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්. අත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත්. රත්වූ යහුලක් ළය මැද අනිත්. . හෙතෙම එහි තියුණුවූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විදී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි.
නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් හසිත්. හෙතෙම එහි දුක්වූ කටුක වූ වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේය. නිරය පාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකරු කොට තබා, වෑවලින් සසිස්. හෙතෙමේ එහි තියුණුවූ, කටුකවූ දුක්වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙලවර නොවේද, ඒ තාක්කල් කලුරිය නොකෙරෙයි. නිරය පාලයෝ ඒ මොහු රථයෙහි යොදා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනිදැල් සහිතවූ පොළොවෙහි ඉදිරියටද ගමන් කරවත්, පස්සටද ගමන් කරවත්, හෙතෙම එහි තියුණූ වූ කටකවූ, දුක් වේදනාවක් විඳී. යම්තාක් කල් මේ පාපකර්මය කෙලවර නොවේද. ඒ තාක් කල් කලුරිය නොකරයි.
ඒ මොහු නිරයපාලයෝ ගිනිගෙන ඇවිළෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ, ගිනිදැල් සහිත වූ අඟුරු පර්වතයකට නැංවීම්ද බැස්වීම්ද, කරවත්, හෙතෙම එහි දුක්වූ තියුණුවූ කටුක වූ වේදනාවන් විඳීයි. යම්තාක් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. මහණෙනි, නිරයපාලයෝ ඒ මොහු පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට ගෙන , ගිනිගෙන ඇවිළෙන්නාවූ අතිශයින් දිලිසෙන්නා වූ, ගිනිදැල් සහිතවූ තැවීම් ඇති ලෝකුමු නරකයෙහි බහාලත් හෙතෙම එහි පෙණ නගිමින් පැසෙයි. හෙතෙම එහි පෙණ නැඟීම් සහිතව පැසෙන්නේ වරක් උඩටද යෙයි. වරක් යටට යයි. වරක් සිරසටද යයි. හෙතෙම එහි දුක් වූ, තියුණුූ වූ කටුක වු වේදනා විඳීයි. යම්තාක් ඒ පාප කර්මය කෙළවර නොවේද, ඒ තාක් කලුරිය නොකරයි. මහණෙනි, නිරය පාලයෝ ඒ මොහු මහා නිරයෙහි දමත්.
ඒ මහා නිරය නම් කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේය. යකඩ පවුරකින් වට කරන ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය. ඒ මහා නිරයෙහි බිම යකඩයෙන්ම නිම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. සියලු කල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
අනෙකපරියායෙනපි ඛො අහං භික්ඛවෙ, නිරයකථං කථෙය්‍යං, යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරා අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා නිරයා
“මහණෙනි, මම නොයෙක් ක්‍රමයෙන් නිරය පිළිබඳ විස්තර කථාව කියන්නෙමි. මහණෙනි, වර්ෂ සියයක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරය දුක කියා කෙළවර කරන්නට පහසු නොවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

පසේබුදුවරැන්

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

සියලු සතුන් වෙත – නපුරක් නොකරන
කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන
දරුවන් නොකැමැති හේ – කොයින් ලබන්ට ද මිතුරන්!
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….
අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත‍්‍රී බුදුරජුන්ගේ යුගය තවම පහළ වී නෑ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවෙන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට ‘මහා භද්‍ර කල්පය’ කියා කියන්නේ.මෙම මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දාහ වෙද්දී කෝණාගමණ බුදුරජුන්ගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සයි. දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යන බව ඉතාම පැහැදිලියි. මේ සියලූ යුග බිහිකළ බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි. උන්වහන්සේලාගේ ප‍්‍රධාන බුද්ධකෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ‍්‍රවණය කොට ශ‍්‍රද්ධාව ඇතිකරගත් ශ‍්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි. එවිට ඒ ශ‍්‍රාවකයින් තම ශ‍්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයෙහි ගමන් කරනවා. සසරෙන් එතෙර වෙනවා. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ ‘බුද්ධ ශාසනය’ යන නමිනුයි.
එසේ බුදුසසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ යන නාමයෙනුයි. හෙළ බස් වහරින් කියන්නේ ‘පසේබුදු’ කියාය. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර පවා ‘මාතංග’ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබෙනවා.
එසේ නම් පසේබුදුවරු පහළ වන්නේ කොයි කාලයකද? පසේබුදුවරු පහළ වන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට පෙර බව දැන් අපි දන්නවා. එය මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදු සසුනද අතුරුදහන් වී යනු ඇත. එය බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහතෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ ‘සද්ධම්ම පතිරූපක’ සූත‍්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදු සසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනෙක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ බුදුරජුන්ට ගෞරව නොකරත්ද, බුදුසරණින් බැහැරව සිටිත්ද, ධර්මයට ගෞරව නොකරත්ද, දහම් සරණින් බැහැරව සිටිත්ද, සංඝයාට ගෞරව නොකරත්ද, සඟ සරණින් බැහැරව සිටිත්ද, ශික්ෂාවට ගෞරව නොකරත්ද, ශික්ෂාවෙන් බැහැර වෙත්ද, සමාධියට ගෞරව නොකරත්ද, සමාධියෙන් බැහැරව සිටිත්ද, එකල්හී බුදු සසුන අතුරුදහන් වී යනු ඇත.
මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙළෙහිගුණ නොදන්නා, අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩිවේ. ඒ හේතුවෙන් ආයුෂ කෙමෙන් අඩු වී යයි. වසර දහය දක්වා ආයුෂ අඩුවන බව ‘චක්කවත්තී සීහනාද’ සූත‍්‍රයේ පෙන්වා දී තිබේ. ආයුෂ වසර දහය දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පළිගැනීම බලවත් වන මෘග සඤ්ඤාව මිනිසුන් තුළ ඇති වේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දිනෙක මහා යුද්ධයක් ඇති වේ. එයින් බොහෝ ජනයා මරණයට පත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුළ පසේබුදුවරු පහළ නොවේ.
සත් දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වන ජනයා එකිනෙකා වැළඳ ගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද භාග්‍යයක් කොට සළකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරිහී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යළිත් ක‍්‍රමක‍්‍රමයෙන් ඔවුන් තුළ ගුණදම් වැඞී යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය, කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඬේ. ආයුෂයද සීඝ‍්‍රයෙන් වැඩෙන්නට පටන් ගනී.
එසේ ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වී යන මිනිස් ආයුෂ වසර අසූ දහස දක්වා වැඞී ගිය කල දඹදිව කේතුමතී නුවර මෛත‍්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වේ. එම යුගය තුළ පසේබුදු බව පිණිස තම තමන්ගේ පින සකස් වූ මහා පින්වන්තයන් මනුලොව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක‍්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්වෙනු ඇත.
සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි. සම්බුදු නුවණින්ම මතුකරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි.
මේ කථාව දෙස බලන්න. මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවයි. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර විසිදහසක ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක් පැවිදිව සිටියා. එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ‘ගත පච්චාගත’ වතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට, කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මනසිකාරය වෙනස් කරගන්නේ නෑ. ඒ තුළම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගා ගත් එම කුසල අරමුණු මත රැඳී පිඬු සිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා.
ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දීත් කාශ්‍යප බුදුසසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් එ් උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේබුදුවරු පහළ වෙන යුගයේදී, එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙව්ලොවින් චුත වුණා. මනුලොව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප‍්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඉතාමත් දැහැමින් රජ කරනවා.
අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත‍්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන් සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස පියා ගන්නවා. ඒ පුන්සඳේ ඡායාව සිතෙන් මතු කරගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ වඩනවා. මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය දන්න කවුරුවත් නෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නෑ. කසිණ වැනි කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත එම භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාර දී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා.
අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නෑ. වෙනදට එහෙම නොවෙයි. රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියනවා. උද්‍යාන ක‍්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලූ දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිටවුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්.
“ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි… ම්…. එහෙම නම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැබට පැමිණිය යුතුයි.”
ඇමතියා තැති ගත්තා. හද ගැස්ම වැඩිවුණා. කම්පා වුණා.
“අහෝ…! බිසවුන් වහන්ස, මට සමාවුව මැනැව. රජතුමා මට මේ රාජ කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ….”
එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා, තුන්වන වතාවේ තර්ජනය කළා.
“ඒයි ඇමතියා….! මං මේ රාජ්‍යයේ රාජ මහේෂිකාව බව නුඹ දැන සිටියොත් හොඳයි! මට ඔය රාජ කෘත්‍යයෙන් නුඹව බැහැර කිරීම සුළු දෙයක්. එමතුද නොවෙයි! නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදුවේවි…! එනිසා දැනගනින්… මේක යෝජනාවක් නෙවෙයි, රජ බිසවකගේ අණක්…!”
අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදුවුණා. ඇමතියාත් ක‍්‍රමක‍්‍රමයෙන් එයට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක‍්‍රියා කලාපය ගැන රජතුමාට සැළවුණා. එක දවසක් රජතුමා අතටම අල්ලා ගත්තා. වධ හිංසා කිරීමට අසතුටු රජු මේ ඇමතියාව රාජ්‍යයෙන් නෙරපා හැරියා.
එතකොට ඇමතියා වෙනත් ප‍්‍රාදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප‍්‍රාදේශීය රජුගේ සිත දිනා ගත්තා.
“මහරජතුමනි, පිළව් නැති මී වදයක් නම් තියෙනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නෑ.”
“එම්බා ඇමතිය…, ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවාද…?”
“අනේ රජතුමනි, මට කමා වනු මැනැව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම ගැනයි. මා කියන්නේ අසත්‍යයක් නම්, ඔබවහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා!”
ඒ ප‍්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රාජ මාළිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. එවිට රජු චර පුරුෂයන්ගෙන් ප‍්‍රශ්න කළා. ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත්, සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට, ධනයද දී පිටත් කළා.
ධනය රැගත් චර පුරුෂයන් ප‍්‍රාදේශීය රජු කරා පැමිණි සියල්ල සැළකළා.
“රජතුමනි, ඒ බරණැස් රජතුමා සිල්වත් කෙනෙක්. ප‍්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලය රාජ්‍ය තුළ පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ…”
එයින් කරුණු තහවුරු කරගත් ඒ ප‍්‍රාදේශීය රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා.
“මට මේ නගරය ඕන. දුන්නෙ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවා” කියලා බරණැස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණැස් රජතුමා මෙහෙම කිව්වා.
“මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්.”
එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලා ගත්තා. බරණැස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නෑ. ඔවුන් රජතුමාව දැනුවත් කළා.
“මහ රජතුමනි, මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු!”
“නෑ! මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ…. කොටින්ම යුද්ධය මං ප‍්‍රතික්ෂේප කරනවා.”
“මහ රජතුමනි, එහෙම නම් අපි ඔහුව ජීවග‍්‍රාහයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබවහන්සේ නොසිතන සේක්වා! අප සමඟ වඩින සේක්වා!”
“හැබැයි ඇමැතිවරුනි, ඔය මනුෂ්‍ය ඝාතන, දරුණු වධහිංසා, මංකොල්ලකෑම් ආදියට මං කැමැති නෑ. එනිසා එ්වා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මං එන්නම්.”
“මහ රජතුමනි, අපි ඔබවහන්සේගේ අදහසේමයි ඉන්නේ…. ඔවුන්ව භය කරලා පන්නමු.”
ඉතින් ඒ රජු සිව්රඟ සේනා සමඟ කළගෙඩි ඇතුළේ පහන් දල්වා ගෙන රාත‍්‍රියේම පිටත් වුණා.
ඒ වෙද්දී අර ප‍්‍රාදේශීය රජු බරණැස සමීපයේ නගරයක් අල්ලාගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා.
“කොල්ලනේ…. මෙහෙ කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් ? බෝ වුණා. නුඹලා හිතුමනාපේ නිදා ගනිල්ලා…” කියලා බලකායත් සමඟ නින්දට ගියා.
බරණැස් රජතුමා සේනාව සමඟ ගොස් සතුරු රජ ප‍්‍රධාන පිරිස වැටලූවා. කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දැල්වූවා. මහත් හඬ නැංවූවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියට පත්වුණා. රජතුමාව අවදිකළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා.
බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග‍්‍රාහයෙන් අල්ලා ගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත්කළා. ඔවුන් යහළුවන් වුණා.
ආයෙමත් රජතුමා ක‍්‍රමක‍්‍රමයෙන් මෙත් සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුධ කෝළාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදායට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව නාමරූප බවත්, නාමරූපවලට හේතුව විඤ්ඤාණය බවත්, විඤ්ඤාණයට හේතුව සංස්කාර බවත්, සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. එ් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේබුදු බවට පත්වුණා.
ඒත් තවම ඒ පසේබුදුන් සිටින්නේ රජඇඳුම් ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තිරාජයා පිට නැඟ සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා.
“පින්වත් මහරජතුමනි, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනඟට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.”
“පින්වත් දරුවෙනි, මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මං මේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.”
ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකෙලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා.
“මහරජතුමනි, ඔබවහන්සේගේ මේ ප‍්‍රකාශ ගැන අපට පුදුම නොවී සිටින්නට බැහැ. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ගැන. ‘පච්චේකබුද්ධ’ නමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ. නමුත් එ් පසේබුදුවරයන් වහන්සේලා යනු ඔවැනි රාජාභරණයෙන් සැරසී සිටින අය නොවේ.”
“එසේ නම් පින්වත් දරුවෙනි, පසේබුදුවරුන් සිටින්නේ කවර වස්ත‍්‍ර දරමින්ද?”
“මහරජතුමනි, පසේබුදුවරුන් කෙස් රැුවුල් බාලයි සිටින්නේ. පොරවා ගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත‍්‍රයකයි. ඒ උතුමන් අයිති වන්නේ ශ‍්‍රමණ පිරිසටයි.”
මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින්ම රාජවේශය නොපෙනී ගියා. කෙස් රැවුල් බාගත්, මනා ලෙස සිවුරු පොරවා ගත්, පාත‍්‍රයක් දරා ගත් සැට වයස් පිරුණු මහ තෙර නමකගේ රූපයක් පෙනී ගියා.
එකෙණෙහිම ඒ පසේබුදුරජුන් අභිඤ්ඤා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පැන නැංගා. මවාගත් නෙළුමක් තුළ භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඇමැතිවරු නමස්කාර කළා.
“අනේ ස්වාමීනී, ඔබවහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේකබුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබවහන්සේ සමඟ අපිත් එන්න කැමතියි. ඔබවහන්සේගේ ගමනට අපවත් කැඳවාගන්නා සේක්වා!”
“පින්වත් දරුවෙනි, මේ ජීවිතාවබෝධය පිණිස මට මෙත් සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුළ වෛරයක් හටගත්තේ නෑ. අමනාපයක් හටගත්තේ නෑ. ඒ මෙත් සිතින්මයි මං මේ ලෝකය ගැන හිතුවේ. ඉපදෙන්නට හේතු වූ හැමදෙයක්ම මට වැටහුණා. මං ඒ සියලූ දේවල් ප‍්‍රහාණය කළා. දැන් මං නිදහස්…! මට තියෙන්නේ හුදෙකලාවේ යන ගමනක්.”
මෙසේ වදාළ පසේබුදුරජුන් මෙම ගාථාව වදාළා.
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මං ඉන්නෙ මේ ලෝකයේ සියලූ සත්වයන් කෙරෙහිම දඬුවම් කිරීම අත්හැරලයි. ඔවුන්ගෙන් කිසි කෙනෙකුටවත් මං පීඩාවක් කරන්නෙ නෑ. ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකු වත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරයෙක් කොහොම එක්කං යන්නද? ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
මේ අයුරින් හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩසිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාළා.
මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි ‘මංජූසක’ නම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල ‘රන්මල්’ නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ‍්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි.
එසේ රන්මල් හටගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵලසමවත් සුවයෙන් වැඩසිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙනවා. පිළිසඳර කථාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධය පිණිස ප‍්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් සාකච්ඡුා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි පසේබුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලූත් පසේබුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාථාවන් වදාරන්නේ.
ඇත්තෙන්ම පසේබුදුවරු කියා කොටසක් මිනිස් ලොව වැඩසිටිය බවට පුරාවිද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ‍්‍රයකින් හෝ දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගෙයි. ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප‍්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ‍්‍රාවකයන්ට හෙළිදරව් කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!
සාදු! සාදු!! සාදු!!!
Path to Nirvana
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිරයන් වෙත යෑමට හේතු

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒයන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය.
ඒ අතර මුලින්ම පෙන් වූ යේ අපායේ දුක් විඳින සත්වයෝ ය. එම නිරයන් අතරින් ද මුලින්ම පෙන් වූ යේ වේතරණි නම් ඔසුපත් නරකය යි. කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙහි පැසෙන නිරි සතුන් දැක බියට තැති ගැනීමට පත් නිමි මහ රජතුමා කුමන පව්කම් කළවුන් වේතරණි නරකයෙහි වැටෙත් දැයි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසුවේ ය. එවිට මාතලී දිව්‍ය පුත‍්‍රයා මෙසේ කීවේ ය.
මේ ලෝකයෙහි බැනීමෙන් හා අත්පා වලින් පහර දීමෙන් ද අක්‍රෝෂ පරිභව කිරීමෙන් ද දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් හු ඒ පව් සාහසික ක‍්‍රියා හේතුවෙන් ඒකාන්තයෙන් ම වේතරණි නම් නරකයට පැමිණෙන්නේ යැ යි මාතලී දෙව්පුත් තෙමේ කීවේ ය.
ඉක්බිති මාතලී දෙව්පුත් වෙන නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින නිරි සතුන් නිමි රජතුමාට පෙන්වී ය. එහි ගව් තුනක් පමණ ශරීර ඇත්තා වූ නිරි සතුන් මහ ඇතුන් පමණ විශාල රතු වර්ණ හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩා මාංසය හපා යම පොළොවේ පෙරලා ඇට පමණක් ඉතිිරි වන සේ මස් ඉර ඉරා කනු ලැබේ. තව ද කරත්ත පමණ ශරීර ඇති ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ ඒ ලෝහ තුඩු වලින් නිරි සතුන් ගේ ඇට බිඳ ඇට මිදුළු කති. තව ද ලෝහ තුඩු ඇති අතිශයින් ම භායානක කපුටන් දුටු දුටු තැන එළව එළවා කොටා කති. මේ විඳින දුක් දුටු නිමි රජතුමා කුමන පව් කළ හු මේ නරකයෙ හි වැටේ දැ යි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසු විට හෙතෙම මෙසේ පිළිතුරු දුන්නේ ය.
මේ අනුව යම් කිසිවෙක් මසුරුකමින් අනුන්ට කිසිවක් නොදෙන්නා හු ද අනුන්ට දෙන දෙත් වළක්වන ක‍්‍රියා ස්වභාව ඇත්තෝ ද මහණ බමුණන්ට නින්දා කරත් ද හිංසා ආක්‍රෝෂ කෙරෙත් ද ඔවුහු පව් රැස්කොට නිරයට යති. ඒ මේ නිරි සතුන් ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කිවේ ය.
ඉන්පසු වෙනත් නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින සත්වයන් නිමි මහ රජතුමාට දැක්වී ය. ඒ නරකයේ භයංකාර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් පමණ ප‍්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන් ගේ කකුල්වලට පහරදී ගිනියම් වූ යම පොළොවේ හෙළා එම දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන් ගේ ඇඟ සුනු විසනු කරති. මෙය දුටු නිමි මහ රජතුමා බියට පත් වී කුමන පව් කළවුන් මේ නිරයෙහි වැටේ දැයි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසී ය. ඔහු මෙසේ පැවසී ය.
ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචර්ය පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ති‍්‍රයකට හිංසා කරන බණින පව්කාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව කියවේ.
ඉන්පසු මාතලී දෙව්පුත් අන් නිරයක් කරා රථය පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමි රජුට දැක්වී ය. එහි යම පල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධවලින් කොටමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරු වළට පන්නති. එහි වැටුනා වූ නිරි සතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වළෙහි එරෙති. යම පල්ලෝ මහත් වූ කූඩා වලින් ගිනි අඟුරු ගෙන නිරි සතුන් ගේ මත්තෙහි හලති. නිිරි සතුන් වේදනාවෙන් විලාප දෙති. ඇතැම් නිරිසතුන් සිහිමුලාවෙන් තමාම දෝතින් ගිනි අඟුරු ගෙන හිස ලා ගනිති. මෙය දැක නිමි රජු බියට පත් වී මාතලී ය කිනම් පව් කළවුන් මේ නිරයෙහි වැටෙත් දැ යි ඇසු විට මාතලී තෙමේ මෙසේ කීවේ ය.
අවස්ථාවක් ලද කල දානයක් හෝ දෙන්නෙමු, පූජාවක් හෝ පවත්වන්නෙමු, විහාරයක් හෝ කරවමු යැ යි පිරිස් එකතුව මහජනයාගෙන් මුදල් සම්මාදම් කොට සමූහයා ගේ ප‍්‍රධානියාට අල්ලස් දී අසවල් තැන වැඩ සඳහා මෙපමණ වියදම් ගියේ ය, අසවල් තැන කටයුතු සඳහා අප විසින් මෙපමණ දෙන ලද්දේ යැ යි බොරු සාක්ෂි දී, ඒ මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටෙති. ඔහු අඟුරු වළට වැටීමෙන් කම්පාවෙති යැ යි, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති මාතලී තෙමේ රථය අන් නරකයක් වෙත පැදවී ය. එහි ඇවිල ගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝහ සැළියක් පෙනේ. එහි ලෝ දිය පිරී පවති යි. එහි උපන් නිරි සත්වයෝ යමපල්ලන් විසින් අල්ලාගෙන පා උඩට හිස යටට කොට ඒ ලෝදිය සැළියට දමනු ලැබෙත්. නිරි සතුන් එහි පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. මෙය දැක බිය පත් වූ නිමි මහ රජතුමා මාතලී ය, මොවුන් කුමන පව් කළාහු දැ යි විචාළේ ය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේ ය.
සිිල්වත් වූ යහපත් වූ ආචාර ගුණ ඇති මහණ බමුණන්ට හිංසා කෙරෙත් ද එසේ කළ පාපකාරී හු හිස පහළට වැටෙන සේ මේ ලෝකුඹු නිරයෙහි වැටී පැසෙත් යැ යි, අටුවාවට ද අනුව සරලව තේරුම්ගත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ ඒ දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි යමපල්ලන් විසින් තුන් ගව් පමණ ශරීර ඇති නිරි සතුන් ගේ බෙල්ලට ගිනිගෙන දිලිසෙන ලෝහ යොත් දමා ඉදිරියට නමා හිස කපා ගිනියම් වූ ලෝහ දණ්ඩකින් ගෙන ගොස් ලෝකුඹු නිරයෙහි දමති. එය බලමින් යමපල්ලෝ සතුටු වෙති. කර්ම බලයෙන් ඒ නිරි සතුන්ට නැවත නැවත බෙල්ල සහිත හිස් පහළ වෙයි. යම පල්ලෝ ද නැවත නැවතත් පෙර සේ ම දුක් දෙති. මෙය දුටු නිමි රජු බියට පත්ව කිනම් පව් කළවුන් මෙහි ඉපදී මෙසේ දුක් විඳින්නා හු දැ යි මාතලීගෙන් ඇසී ය. එහිදී ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.
මහරජ, මේ ලෝකයෙහි යමෙක් පක්‍ෂීන් අල්ලාගෙන අත් තටු සිඳ පිහාටු ගලවා ගෙල සිඳ මරා කන්නේ හෝ වේ ද, විකුණන්නේ හෝ වේ ද ඔවුහුු මේ නරකයට වැටී සුන් වූ හිස් ඇතිව සයනය කෙරෙත් යැ යි, අටුවාවට ද අනුව අර්ථ තේරුම් ගත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි නො ගැඹුරු කොට ඇති රමණීය ගංඟාවක් ගලා බසියි. ගින්නෙන් රත් වූ නිරිසතුන් ගිනි පොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසින්නාහ. එකෙනෙහිම ගං ඉවුර ගිනි ගනී. එහි ගලාගිය වතුර ගිනියම් වූ බොල් වී බවට පත් වෙති. පිපාසය ඉවසාගත නො හැකි වූ නිරි සත්වයෝ ඒ ගිනිගත් බොල් වී කන්නා හ. ඒ ගිනියම් වූ බොල් වී ඔවුන් ගේ සකල ශරීරය ම දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙති. ඔවුහු දුක ඉවසා ගත නො හැකිව දෙඅත හිසේ බදාගෙන හඬති. මෙය දැක නිමි රජු කිනම් පව්කම් කළවුන් දැයි මාතලීගෙන් ඇසී ය. මාතලී තෙමේ මෙසේ කීවේ ය.
ඒ අනුව වී ආදී සප්ත විධ ධාන්‍යයෙන් යම්කිසි ධාන්‍යයක් මිලයට ගන්නා තැනැත්තෙක් හට බොල් හා මිශ‍්‍ර කොට දෙයි ද, අර්ථයක් නැති දෙයක් හා මිශ‍්‍ර කොට දෙයි ද, වැලි මැටි ආදිය සමග මිශ‍්‍ර කොට දෙයි ද, මෙසේ ජනයා රවටා විකුණූ සොරු මෙහි ඉපදී ගිනියම් වූ බොල් ගිලින්නාහ යැ යි කීවේ ය.
ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි රෞද්‍ර වූ යමපල්ලෝ දුනු ඊ ආදී නානා ආයුධ ගෙන වනයෙහි මුව වැද්දන් මෙන් නිරිසතුන් වට කොට දෙපසින් විදිති. ඒ නිරි සතුන්ගේ ශරීර හැම තැනම සිදුරු සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙති. මෙය දුටු නිමි රජු මේ සතුන් පෙර මෙහි ඉපදීමට කිනම් පව් කළාහු දැයි ඇසු විට මාතලී රියදුරු තෙමේ මෙසේ කීවේ ය.
ඒ අනුව යමෙක් ධන, ධාන්‍ය, රන්, රිදී, එළු, බැටළු ගව ආදී හිමියන් විසින් නො දුන් අවිඤ්ඤාණක සවිඤ්ඤාණක යමක් සොර සිතින් ගෙන ජීවත් වෙද් ද, ගෙවල් බිඳීම් ආදිය කොට හෝ වංචා ප‍්‍රයෝගයකින් හෝ අනුන් සතු නො දුන් දෙය සොර සිතින් ගෙන දිවි පැවැත් වූ අය මෙහි ඉපිද ආයුධ වලින් නැසී දුක් විඳින්නේ යැ යි කී බව, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් කපා මස් ගොඩවල් බවට පත් කරති. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් බෙල්ලට ලෝහ කඹ දා ඇද යමපොළොව මත පෙරලා නානා ආයුධ වලින් කොටා කෑලි කෑලි වලට වෙන් කරන ලදි. මෙය දුටු නිමි රජු බිය පත් ව මොවුන් පෙර කුමන පව්කම් කළාහු දැ යි මාතලී රියදුරාගෙන් ඇසු විට මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.
ඒ අනුව මිනිස්ලොව ගවයන්, මීහරකුන්, එළුවන්, බැටළුවන්, ඌරන් මරා මස්කොට ජීවත් වන්නෝ ද මසුන් මැරුවෝ ද මොවුන්ගේ මස් මස්ලොඹු වල (මස් විකුණන ලෑලි වල) විකිණීමට කොටස් වශයෙන් තැබුවාහු ද තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ ද මේ නිරයේ ඉපිද නිරි පල්ලන් විසින් කොටස් කළ මස් ගොඩවල් බවට පත්ව දුක් විඳින්නේ යැ යි මාතලී දෙව්පුත් කී බව, අටුවා විස්තරයට අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් නිමි මහ රජතුමාට අන් නරකයක් දක්වන ලදී. එහි ඇති මළ මූත‍්‍රා පිරුණු අතිශයින් දුර්ගන්ධ වූ අසූචි විල ගිනිගෙන දුම් දමමින් පැසෙන්නේ ය. සාදුකින් පෙලෙන නිරි සත්වයෝ ඒ කුසගිනි වේදනා ඉවසාගත නො හැකිව දුම් දමමින් පැසෙන ඒ අසූචි ගුලි ලෙස පිඬුකොට ගෙන අනුභව කරති. මෙය දුටු නිමි රජු මේ සත්වයන් මනුලොව දී කිනම් පව් කළාහු දැ යි මාතලී දිව්‍ය රියදුරුගෙන් ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.
ඒ අනුව යම් සත්වයෙක් අත්පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්ට දරුණු වධ දෙන්නෝ ද මිතුරන් වෙහෙසන්නෝ ද අනුන්ට හිංසා පීඩා කරන්නෝ ද අනුන්ගේ ගෙයි ආහාර පාන අනුභව කොට පනවන ලද අසුන්වල ම නිදා පසුව ඒ උපකාර කළ මිතුරන් ගේ ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත‍්‍ර ද්‍රෝහිහු ද මේ නිරයෙහි ඉපිද ගිනියම් වූ අසූචි අනුභව කරත් යැ යි මාතලී දෙව්පුත් කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති නිමි රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි කුණු වූ ලේ සැරව පිරුණු අතිශයින් දුර්ගන්ධ වහනය වන අපවිත‍්‍ර විලක් ඇත. ගිනි රශ්මියෙන් අතිශයින් ම පෙලෙන නිරි සතුන් ඉන් පිපාසිතව බීමට පැන් නැතිව මේ කුණු වූ අපවිත‍්‍ර ලේ සැරව පානය කරති. මෙය දුටු නිමි රජු ඔවුන් කිනම් පව්කම් කළාහු දැ යි විමසී ය. එහිදී මාතලී දෙව්පුත් ඒ කරුණ මෙසේ පහදා දෙන ලදී.
ඒ අනුව යමෙක් මව හෝ පියා හෝ රහතුන් හෝ මරා ගිහිි පරාජිකාවන්ට පත්වූවෝ ද පූජා සත්කාරයට සුදුසු වූ සිල්වත් ගුණවත් බුද්ධ ශ‍්‍රාවකයෝ නැසූ පව්කාරයෝ ද මෙහි ඉපිද ලේ සැරව අනුභව කරන්නෝ වෙති යැ යි මාතලී දෙව්පුත් කී බව අටුවාවට ද අනුව අර්ථ දත යුතූ ය.
ඉක්බිති නිමි මහ රජතුමාට අනු නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් උපන් නිරිසතුන් ගේ දිව ගිනියම් වූ බිලී කොකු වලින් අමුණා ඇද ගිනියම් වූ යම පොළොවෙ හි හෙලා ගව හමක් ඇද උල් ගහන්නාක් මෙන් උල් ගසත් නිරි සත්වයෝ ගොඩ දැමූ මසුන් මෙන් දුක් ඉවසා ගත නො හැකිව හඬමින් කෙළ වඟුරවත්. මෙය දුටු නිමි රජු බියපත් වී කිනම් පව් කළාහු මෙහි වැටී දුක්විඳිත් දැයි මාතලී රියදුරු ගෙන් අසන ලදී. එහිදී මාතලී දෙව්පුත් මෙසේ කීවේ ය.
ඒ අනුව බඩු මිල නියම කරන ස්ථානයෙ හි ඒ ඒ භාණ්ඩයේ අගය නියම කිරීම් වශයෙන් හෙවත් මිල ප‍්‍රමාණ කිරිම් වශයෙන් නියුතුව සිටින පුද්ගලයෙක් භාණ්ඩ ගන්නට සිටින පුද්ගලයන්ගෙන් අල්ලස් ගෙන වටිනා භාණ්ඩයේ මිල පහත හෙලන කෛරාටිකයෝ ද ඇමෙන් වැසූ බිලීකොක්ක රැුගෙන මසකු මරන්නා සේ හොර කිරුම් මිණුම් ආදී කූඨ ක‍්‍රියා කරන නීච වෙළෙන්දෝ ද මෙහි ඉපිද ගිනියම් වූ බිලි අමුණන ලදුව ගිනියම් වූ යම පොළොවෙහි නිදත් යැ යි පවසන ලද බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් ස්ත‍්‍රී හු හිස අත බැඳගෙන හඬති. ගෙල සිඳි ගවයන් මෙන් ලේ සැරව තැවරුණු ශරීර ඇතිව ගිනියම් වූ යම පොළොවෙ හි ඉඟටිය තෙක් එරී සිටුවන ලද කණු මෙන් සිටිති. එහිදී එක් එක් දිශාවලින් ගිනියම් වූ යකඩ පර්වත, හෙන ගහන්නාක් මෙන් ශබ්ද නංවමින් නැගී අවුත් ඔවුන් ගේ ශරීර සුණු විසුණු වී එකෙනෙහි ම කර්ම බලයෙන් නැවතත් ශරීරය තිබූ අයුරින්ම පහළ වෙති. ගිනියම් වූ පර්වත ද නැවත නැවත ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත් ම ය. විටක ගිනියම් වූ පර්වත දෙකක් දෙපසින් විත් උක්ගස් අඹරන්නාක් මෙන් පෙලත් ඉතා රත් වූ ලේ වැගිරෙති. කිසියම් විටක පර්වත තුන හතරක් ද විත් මෙසේ ම පෙලති. මෙය දුටු නිමි රජු බියපත්ව මාතලීය, මොවුන් කිනම් පව් කළාහු දැ යි විචාළේ ය. එහි දී මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.
ඒ අනුව අපිරිසිදු ක‍්‍රියා ඇති සමහර කුල ස්තී‍්‍ර හු අසංයත ධූර්තිකාවන් මෙන් ආහාර පාන වස්ත‍්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පර පුරුෂයන් සතුටු කරවන්නා වූ ඔවුන් හා සිත් පරිදි කම්රතියෙහි හැසිරෙන පාප ස්ත‍්‍රී හු මේ නිරයට පැමිණ ගිනියම් වූ යම පොළොවෙහි ගිනිදැල් සහිත පර්වතවලින් ඇඹරෙති යැ යි කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.
ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි දිලිසෙන බියකරු ගිනි අඟුරු පිරුණු මහ නරා වලකි. එය දැක නිරි සතුන් එහි පිවිසීමට බියව සිටින විට ගාලට නො පිවිසෙන හරකුන්ට මෙන් යමපල්ලන් විසින් නොයෙක් ආයුධ ගෙන විදිමින් තලමින් ඒ අඟුරු වල කරා ගෙන ගොස් නිරි සතුන් ගේ පා වලින් ගෙන හිස යටිකුරුව සිටින සේ ඒ බියකරු ගිනි අඟුරු වලේ හෙලත්, එහි ගිලෙන්නා වූ නිරි සතුන් දුටු නිමි මහ රජතුමා බියපත්ව මොවුන් මේ තාක් මහත් දුකට පත්වන්නට කිනම් පව්කම් කළා හු දැ යි විචාළේ ය. එහි දී මාතලී තෙමේ මෙසේ කීවේ ය.
ඒ් අනුව මිනිස්ලොව මිනිසුන් ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතාම ඇලූම් කරන ප‍්‍රිය භාර්යාවන් හා යම් පුරුෂයෙක් පරදාර සේවනයේ යෙදෙද් ද ඒ පාපී පුරුෂයෝ මෙහිදී දෙපාවලින් ගෙන හිස පහළට සිටින සේ අඟුරු වළට හෙලනු ලැබෙත් යැ යි කී බව කෙටියෙන් දත යුතු ය.
ඉක්බිති නිමි මහ රජතුමාට මාතලී දෙව්පුත් විසින් අන් නරකයක් පෙන්වන ලදී. ඒ නිරයෙහි කුඩා මහත් දුක්ගැහැට ඇති අතර යමපල්ලන් බිම පෙරලා උල් ගැසීම, හරස් කියතින් ශරීරය කැපීම, වෑයෙන් කැපීම, ලෝ දිය පෙවීම, ලෝහ ගුළි කැවීම, ආදී අනේක දුක් දෙයි. මෙහි නිරි සතුන් තියුණු රළු කටුක දුක් වේදනා විඳිති. නිමි රජු මෙය දැක බියට පත්ව මොවුහු කිනම් පව් කළාහු දැ යි මාතලී රියදුරුගෙන් විමසී ය. හෙතෙම මෙසේ කීවේ ය.
ඒ අනුව මෙලොවක් නැත, පරලොවක් නැත, දී මෙහි විපාක නැත, මව්පියන්ට උපස්ථාන කළාට වැඩක් නැත, යනාදී ලෙස කර්ම ඵල විශ්වාස නො කරමින් මිසදිටු ගෙන තමාද මෝහයෙන් නොයෙක් පව්කම් කොට අන්‍යයන්ට ද මිසදිටු අදහස් දී ඔවුන් ද මුලා කරන අධම පව්කාරයන් මෙහි ඉපිද තියුණු රළු කටුක දුක් වේදනා විඳිත් යැ යි කියා ඇති බව දත යුතු ය.
මේ අතර දෙව්ලොව දෙවියෝ ද සුධර්මා දෙව් සභාවේ රැුස්ව නිමි මහ රජ මාතලී රථාචා්‍ය_යා හා පැමිණෙන තුරු මඟ බලා සිටිති. සක් දෙවිඳු මාතලී දෙව්පුත් ප‍්‍රමාද කුමක් නිසා ද කියා බලනුයේ මේ කරුණ දැක මෙසේ සිතුවේ ය. මාතලී දෙව්පුත් නිමි රජුට අසවල් කර්මය කොට අසවල් නිරයෙහි පැසෙත් යැ යි කියමින් නරකයන් දක්වමින් හැසිරෙ යි. ”නිමි රඤ්ඤෝ පණ ආයු ඛියේථනනිරය දස්සනස්ස පරියන්තං ගව්ජෙය්‍යාති” ඉදින් නිමි රජුගේ ආයුෂ ගෙවුනේ නමුදු නිරයන් දැකීම කෙළවරකට නම් නො යන්නේ යැයි රජුන් සමඟ වහා එන්න යැයි දිව්‍ය පුත‍්‍රයෙක් අත පණිවිඩයක් යැවී ය. එය ඇසූ මාතලී දෙව්පුත් (ගුවනට නැංවූ අහස් යානයක සිට නගරයක සිරි නරඹන්නාක් මෙන්) එකපාරටම සතර දිශාවල බොහෝ නිරයෝ දක්වා මෙසේ කීවේ ය.
මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්ති ස්ථානයෝ ද දුශ්සීල සත්වයන් උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස ෟ දැන් සක් දෙව් රජුගේ දිව්‍ය සම්පත් දක්නා පිණිස යනු මැනවි යැ යි මාතලී දෙව් පුත් කීවේ ය. පසුව මෙසේම එහි දෙව් විමන් බලමින් ගිය බව නිමි ජාතකයේ දැක්වේ.
මේ ඉහත දැක්වූ නිරයන්හි ඉපදීමට හේතුවන යම් පවක් කලේ නම් එය චුත වන මොහොතේ සිහි වුවහොත් එම නිරයන් හි ඉපිදී දුක් විඳීමට සිදුවේ. පසුව එයින් මිදී තිරිසන් සතුන් වී ඉපිද අපමණ දුක් ගැහැට විඳීමට සිදු වේ. තිරිසන් ලෝකයේ ඇති දුක ටිකක් හෝ ඔබට පෙනෙන බැවින් මෙහි එය විස්තර නො කරන්නෙමු. ඉන්පසු ශේෂ කර්ම විපාක ලෙස පේ‍්‍රත ලෝකවල ද ඉපදී අපමණ දුක් විඳීමට සිදු වේ.
මෙම කරුණු පහදා දුන් පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අන්තර්ජාලයේ පල කිරීමට සහභාගී වූ ගිහි පින්වතුන්ටත් ඔබ අප සැමටත් මෙම ධර්ම දානයේ කුසලය උතුම් නිර්වාණය අවබෝධ වීම පිනිසිම හේතු වේවා! උපකාර වේවා!
මෙම සදහම් පණිවිඩය මිතුරන් අතරේ share කර ඔබගේ මිතුරන්ට කළ්‍යාණ මිත‍්‍රයෙක් වන්න. නිර්වානයම අරමුණු කරගෙන සියළු දානයන් අතර අග්‍රම දානය වන ධර්ම දානයේ යෙදී උසස් කුසලයක් අත්පත්කරගන්න.
ක්ෂණ සම්පත්තියක් ලැබී මනුෂ්‍ය භවයක උපත ලැබූ ඔබට උතුම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්යේ ගමන් කොට, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානයේ කුසලය හේතුවක්ම වේවා!!! පින්වත් මිතුරු මිතුරියන් ඔබ සැමට තෙරුවන් සරණයි!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අපායේ දඬුවම්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බිනර අව අටවක පොහොයදා ලිපියෙන් අපායන්ගේ ඇති විවිධත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළෙමු. මෙවර අප බලාපොරොත්තු වන්නේ අපායෙහි උපදින සත්ත්වයන්ට යම රජු විසින් ලබාදෙන දඬුවම් විමසා බැලීමටයි. එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. එය නම්කොට ඇත්තේ ‘දේවදූත සූත්‍රය’ ලෙසයි. එහි සඳහන් දේවදූතයන් තිදෙනා මෙසේ ය.
1. පළමු දේව දූතයා - වයසට යෑම (ජරා) 
2. දෙවන දේව දූතයා - ලෙඩ වීම (ව්‍යාධි) 
3. තෙවන දේව දූතයා - මරණයට පත්වීම (මරණ)

මේ ලෝකයෙහි ඇතැමෙක් කයින්, වචනයෙන්, මනසින් යන තිදොරින් දුශ්චරිත කොට ජීවිතයේ කෙළවර හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදිති. එසේ නරකයෙහි උපදින සත්වයන් නිරය පල්ලන් විසින් ඇදගෙන ගොස් යම රජු ඉදිරියේ දක්වත්. එසේ යම රජුට දක්වා ඔහු පිළිබඳ පැමිණිල්ල මෙසේ ඉදිරිපත් කරයි.
එනම් “දේවයන් වහන්ස, මේ පුරුෂයා, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේ ය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේ ය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුල දෙටුවන් නොපිදුවේ ය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.
අයං දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ ති.
එවිට යම රජු ඔහුට දඬුවම් පැමිණවීමට පෙර ඔහු ජීවත්ව සිටි සමයේ මේ දේවදූතයන් තිදෙනා ඔහු විසින් දැක ඇද්දැයි විමසයි. ඔහුගේ පිළිතුර වනුයේ දැක නැති බවයි. එවිට යම රජු මේ දේව දූතයන් වෙන කවුරුත් නොව ජරා, ව්‍යාධි, මරණ යන ජීවිතයේ මුහුණපාන ස්වභාව සංසිද්ධීන් බව ඔහුට පෙන්වා දෙයි. ඔහුට ජීවිතයේ යථාර්ථ තේරුම් යන්නේ එවිටය. එහෙත් ඔහු ඒ වනවිටත් ප්‍රමාද බැවින් ඔහු කළ වරදට දඬුවම් පමුණුවන ලෙස නිරය පල්ලන්නට උපදෙස් දෙයි.
නිරය පල්ලන්ගේ දඬුවම්
ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධන නම් වූ වධයක් කරත්. එනම්, රත් වූ යකඩ උලක් අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවැනි අතෙහි ගසත්, රත් වූ යකඩ උලක් පයෙහි ගසත්, රත් වූ යකඩ උලක් දෙවෙනි පාදයෙහි ගසත්, රත් වූ යකඩ උලක් පපුව මැද ගසත්. එහි හෙතෙම දුක් වූ, තියුණු වූ, කෲර වූ වේදනාවන් විඳි යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කලුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරලා කෙටේරිවලින් සසිත්.
තමෙනං, භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුධාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිබ්බා ඛරා කටුකා වෙදනා වෙදියති, න ච තාව කාලඩ්කරොති යාව න තං පාපකම්මං ඛ්‍යන්තීහොති.
ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ භූමියෙහි ඉස්සරහට යෑම ද කරවත්. අස්සට යෑමද කරවත්. නිරය පාලකයෝ ඔහු, ගින්නෙන් දිලිසෙන්නා වූ, වෙසෙසින් ඇවිල පවත්නා වූ, ගිනි සහිත වූ, මහත් වූ මහා කුළුගෙයක් පමණ වූ, අඟුරු පව්වට නැංවීම ද කරවත්. බැස්වීම ද කරවත්. ඔහු නිරයපාලයෝ පා උඩුකුරු කොට, හිස යටිකුරු කොට බුබුලු නැඟ පැසෙන්නා වූ යකඩ හැලියක දමත්. ඔහු එහි පෙන නගමින් පැසෙයි. ඔහු එහි පෙන නගමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යයි. වරක් හරහට යයි. ඔහු එහි දුක් වූ, දරුණු වූ, කටක වූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒ තාක් කලුරිය නොකරයි. යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්.
ඒ මහා නරකය සිව් කොනක් ඇත්තේ ය. සිව් දොරටුවක් ඇත්තේ ය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරන ලද්දේ ය. යකඩ ප්‍රාකාරයකින් වට කරන ලද්දේ ය. යකඩ පියනකින් වසන ලද්දේ ය. ඒ නිරයෙහි බිම යකඩයෙන් ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙන සිටී.
යම රජුගේ සිතිවිල්ල
පෙර කාලයෙහි යමරජුට මෙබඳු අදහසක් විය. “මේ ලෝකයෙහි යම් කෙනෙක් ලාමක වූ කර්මයන් කරත් ද, ඔවුහු මෙබඳු වූ නොයෙක් වධ කරනු ලබත්.මම මිනිස් බවක් ලබන්නේ නම්, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම් (ඇසුරු කරන්නෙම් නම්) මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම්, මම ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නේ නම්, යහපති” කියායි.
මේ තොරතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේම නුවණිනි. ඒ බව උන්වහන්සේ දේශනා කරන්නේ මෙසේ ය. “මම එය අන්‍ය වූ ශ්‍රමණයෙකුගෙන් හෝ බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. යමක් මා විසින් තමා ම අවබෝධ කරන ලද්දේ ද, තමා ම දක්නා ලද්දේ ද, තමා ම දැනගන්නා ලද්දේ ද, එය මම කියමි’යි වදාළ සේක. දේවදූතයන් විසින් චෝදනා කරන ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත් ද, ලාමක වූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරත්.
මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දා, වූ පණ්ඩිත වූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත් ද, ඔවුහු කිසි කලකත් ආර්ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්. ජාතියට හා ජරා මරණයට කරුණු වූ, තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්. අප්‍රමාද විහරණ ඇත්තා වූ, සුවපත් වූ මේ ආත්මයෙහි ම නිවුනා වූ, සියලු වෛර, භය ඉක්ම වූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්ම වූවාහුය.
චොදිතා දෙවදුතෙහි, යෙ පමජ්ජන්ති මාණවා, - තෙ දීඝරත්තං සොචන්ති, හීනකායුපගා නරා. 

යෙ ච ඛො දෙවදුතෙහි, සන්තො සප්පුරිසා ඉධ, - චොදිතා නප්පමජ්ජන්ති, අරියධම්මෙ කුදාචනං 
උපාදානෙ භයං දිස්වා, ජාතිමරණසම්භවේ, - අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඩ්ඛයෙ 
තෙ අප්පමත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා, - සබ්බවෙරභයාතීතා, සබ්බදුක්ඛං උපච්චගුන්ති, ඡට්ඨං,

වරක් බුදුරජාණන් වහන්සේ සසරින් එතරවීමේ මාර්ගය මේ බඹයක් පමණ වූ ශරීරය තුළම පවතින බව දේශනා කළහ. මෙම දම් දෙසුමෙන් ද අර්ථවත් කරන්නේ එයයි. මේ ගෝර සසරින් මිදීමට අවශ්‍ය කරන අවබෝධය ලබා දීම සඳහා දෙවියන් විසින් එවන දූතයන් තිදෙනෙකි, ජාති, ජරා හා මරණ. අප කොතෙකුත් උපත් දැක ඇත. වයසට ගිය වූවන් ද කොතෙකුත් දැක ඇත. එමෙන් ම මරණයට පත් වූවන් ද කොතෙකුත් දැක ඇත. එහෙත් අප මේවා දේව දූතයන් ලෙස සිතුවාද? නැත, ඒ අප තවමත් මේ කාම ලෝකයේ කාමයෙන් වෙලී, මත්ව සිටින නිසාය. යමෙක් මේ පිළිබඳ අවබෝධයෙන් සිතා කටයුතු කරන්නේ නම් ඔහු යම රජු පමණක් නොව මරුවා ද පරාජය කරන්නෙකි. එසේ නැති වූ කළ යම රජු ප්‍රශ්න විචාරන පුරුෂයා මෙන් බියට තැති ගැනීමට පත්ව තියුණු වූ කටුක වූ දුක් විඳියි. මෙසේ ප්‍රමාද වූවන්ට දඬුවම් නියම කරන යම රජු ද, සිතන්නේ තමා ද සම්බුදු කෙනෙකු දැක උන්වහන්සේගේ දහම අනුගමනය කරන්නේ නම් මහත් භාග්‍යයක් ලෙසය. එබැවින් කුමට ප්‍රමාද වන්නේ ද? උතුම් දහමක් පවතින කාලයක ඉපදීමට භාග්‍යවන්ත වූ අප කුමට ප්‍රමාද වී නිරයට යන්නේ ද?

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුදුරජාණන් වහන්සේටත් විපාක දුන් කර්ම

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ 
ව්‍යාපෘති නිලධාරී අත්තිඩිය පුරාණ විහාරවාසී, ශාස්ත්‍රපති කුකුරම්පොල ඤාණවිමල හිමි

පෙරදිග ආගම් හා දර්ශන තුළ කර්මය පිළිබඳ ඉගැන්වීම බහුලව දැකිය හැකි ය. ඒ අතර බෞද්ධ දර්ශනය හා ජෛන හින්දු ආදි ආගම් විශේෂයෙන් සඳහන් කළ හැකිය. අනෙක් සෑම ආගමකටම වඩා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන කර්ම සංකල්පය සුවිශේෂ ස්ථානයක් ගනී. බුදුදහමේ කර්ම සංකල්පය මනස හා බැඳුණු එකක් ලෙස ඉගැන්වේ.
‘කම්ම’ යන පාලි වචනයේ තේරුම ක්‍රියාව යන්නයි. එම ක්‍රියා සිත, කය හා වචනය යන තිදොරින් සිදු කරයි. බුදුරජාණන්වහන්සේ කර්මය පිළිබඳ දේශනා කර ඇත්තේ (සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරන බැවින්) මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යනුවෙනි. (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා’ නිබ්බේධික සූත්‍රය අ.නි)
අපගේ ජීවිතයේ සිදු වන සියලු දේ සහ අප කරනු ලබන සියල් දේ අතීත කර්ම හේතුවෙන් සිදු වේය යන ආකල්පය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. අතීත කර්ම විපාක අප කෙරෙහි බලපාන අතර ඇතැම් ප්‍රබල කර්මයන්ගේ විපාක මාර්ගඵල අවබෝධයෙන් පසුව ද විපාක දෙන බව බුදුදහම පිළිගනී. එහෙත් සියල්ල පූර්ව කර්ම විපාක නොවන බව බුදුරජාණන් වහන්සේ පංච නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීම මගින් පැහැදිලි කළහ. උතුනියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම හා චිත්ත නියාම යන පංච නියාම ධර්ම අතර කර්මය එකක් පමණකි. පුද්ගලයාට බලපාන සිදුවීම් අතර කර්මයට අමතරව වෙනත් සිදුවීම් ද පවතින බව මෙම නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීම් මගින් පැහැදිලි වෙයි.
ක්‍රියාවේ ස්වභාවය අනුව කර්මය, කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ බවට පත්වන ආකාරය මෙසේ දේශනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ‘රාහුල හොඳින් සිතා කරුණු විමසා කයින්, වචනයෙන් හා සිතෙන් ක්‍රියා කරන්න. තමාට ද අනුන්ටද තමා හා අනුන් යන දෙපිරිසටම හානිකර ක්‍රියා නොකරන්න. තමා හා අනුන් යන දෙපිරිසට ම හිතකර ක්‍රියා පමණක් කරන්න යනුවෙනි. දසධම්ම සූත්‍රයේ දී කර්මය පිළිබඳ ඉගැන්වෙන්නේ කර්මය දායාදයක්, යෝනියක්, ඥාතියෙක් වශයෙනුත් එය පිළිසරණ කොට ඇති බවත් යම් යහපත් (කුසල) හෝ අයහපත් (අකුසල) කර්මයක් කළොත් එහි විපාක දායාද කර ඇති බවත් වශයෙනි. (කම්මස්ස කෝම්හි කම්මදායාදො කම්මයොනි, කම්මබන්ධු, කම්ම පටිසරණො යං කම්මං කරිස්සාමි, කල්‍යාණං වා පාපකා වා තස්ස දායාදො....’දසධම්ම සූත්‍රය) හොඳ යහපත් ක්‍රියා ‘පුඤ්ඤකම්ම’ ලෙසත්, නරක අයහපත් ක්‍රියා ‘පාපකම්ම’ ලෙසත් ඉගැන්වේ. පුණ්‍යක්‍රියා මගින් යහපත් ප්‍රතිඵල ලබාදෙන අතර පාප ක්‍රියා මගින් අයහපත් විපාක ලබා දෙන බවත් බුදුදහම අනුව බෞද්ධයෝ පිළිගනිති.
යම් ක්‍රියාවක් කළොත් එහි විපාක තමා ම විඳිය යුතු බවත් එය කිසිවකුට වෙනස් කළ නොහැකි අතර එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද තමාට ම බවත් බුදු දහමේ ඉගැන් වේ. චක්ඛුපාල හාමුදුරුවන් මහරහතන් වහන්සේ නමක් වුවද පෙර භවයක ආත්මාර්ථකාමි ලෙස වෙදකම් කර කාන්තාවකගේ ඇස් අන්ධ කිරීමේ විපාක වශයෙන් උන්වහන්සේ ඉපදුණු සෑම භවයක දීම ඇස් අන්ධ වූ අතර රහත් වූ භවයේදී ද චක්ඛුපාල මහරහතන්වහන්සේ ඇස් අන්ධ වී අපමණ අපහසුතාවලට පත්වූහ. (ධම්මපදය)
බුදුදහමේ ඉගැන්වෙන කර්ම සංකල්පයේ විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රබල කර්මයන්ගේ් විපාක රහත් වුවත් විඳින්නට සිදුවීමයි. එය චක්ඛුපාල මහරහතන් වහන්සේට මෙන් ම අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේට ද එය විඳින්නට සිදුවිය. ඒ පෙර භවයක ගුණබර මවුපියන් තම බිරිය සමග එකතු වී මරණයට පත් කිරීමේ විපාක වශයෙන් ඉපදුණු සියලු භවයන්හි සොරුන්ගෙන් විපත් විඳ මරණයට පත් වීම සිදුවිය. අවසන් භවයේ දී ද අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ සොරුන්ගෙන් වූ හිරිහැර හේතුවෙනි. එසේ වුවද දහස් ගණනක් මිනිසුන් මරා ඇඟිලි කපා අංගුලිමාල නමින් ප්‍රසිද්ධ වූ අහිංසක ‘අංගුලිමාල මහරහතන් වහන්සේ’ නමින් රහත් භාවය ලබා ගත්තේ කළ පාප ක්‍රියා අවබෝධ කරගෙන එයින් මිදී කුසල ක්‍රියා වර්ධනය කරගෙන සත්‍යය අවබෝධ කරගත් බැවිනි. යමෙක් අකුසල ක්‍රියා කරමින් සිටියත් එය අවබෝධ කරගෙන එයින් මිදුණු විට වලාකුළුවලින් මිදුණු සඳ මෙන් බබලන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (සො ඉමං ලොකං පභාසෙති - අබ්බා මු තෙතාව චන්දිමා - ධම්මපදය) රහත් වූ අංගුලිමාල මහරහතන් වහන්සේට එම භවයේදීම කළ ප්‍රබල කර්මයන්ගේ් විපාක වශයෙන් මග තොට වඩිද්දී වෙනතකට යොමු කරන ගල් මුල් උන්වහන්සේගේ සිරුරෙහි වැදුණු බව චරිත කතාවල කියවේ. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ කර්මයේ විපාක අනිවාර්යයෙන් ම තමා විසින් ම විඳිය යුතු බවත් එය ශ්‍රේෂ්ඨ බුද්ධත්වය පවා අවබෝධ කරගත් උතුමන් විෂයෙහි ද පොදු වූවක් බවත් බුද්ධ දේශනාව මගින් පැහැදිලි කිරීමයි.
ඛුද්දක නිකායේ අපදාන පාළියේ අවණ්ටඵලදායක වර්ගයේ පුබ්බකම්ම පිලෝතිකා නම් බුද්ධා වදානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර භවයන්හි කර්ම විපාක (බුද්ධත්වය ලැබීමෙන් පසුවත්) විඳි අවස්ථා මෙසේ දේශනා කර තිබේ.
* සුන්දරී නම් පරිබ‍්‍රාජිකාව නිසා නින්දා ලැබීම
* චිඤ්චිමානවිකාවගෙන් චෝදනා ඉදිරිපත් වීම
* දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළීම නිසා පාදයේ ඇති වූ ලේ ගැලීම
* දෙව්දත් තෙරුන් බුදුන් වහන්සේ මැරවීමට දුණුවායන් යෙදවීම
* නාලාගිරි ඇතුන් බුදුන් වහන්සේට හිංසා කිරීමට පැමිණවීම
* වේරඤ්ඡාවේ වස් තෙමස යම සහල් අනුභවය
* ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම
* අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීම
ගෞතම බුදුරජාණන් වහන්සේට මෙම කර්ම විපාක විඳීම සඳහා හේතු වූ අතීත කර්ම විපාක පිළිබඳව මෙහිදී විග්‍රහ කෙරේ. දිනක් බුදුරජාණන් වහන්සේ අතිරමණීය වූ අනවතප්තවිල සමීපයෙහි සිත්කලු ගල් තලාවක දී භික්ෂූ සංඝයා සමඟ පිළිසඳරේ යෙදෙන මොහොතක තම පූර්ව කර්ම සහ බුද්ධත්වයෙන් පසුවත් ඒවා විඳි ආකාරය පිළිබඳව මෙසේ දේශනා කළහ.
‘මහණෙනි, මා විසින් යම් කර්මයක් කරන ලද ද මාගේ (ඒ කර්මය) අසව්. විපාකාවශේෂ කර්මය බුදු බැව් ලැබූ කල්හි ද විපාක දේ. (සුනාථ භික්ඛවෙ මය්හං යං කම්මං පකතංමය පිලොතිකස්ස කම්මස්ස බුද්ධත්තෙපි විපච්චති’ 3343 ඛු.නි) යනුවෙනි.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කර බුද්ධත්වය ලබා ගැනීම පිණිස වසර හයක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ බව බුද්ධ චරිතයේ සඳහන් වේ. එම කාලය තුළ උන්වහන්සේ ශරීරයට දැඩි දුක් ලබා දීමෙන් උත්සහ කළේ බුද්ධත්වය ලබා ගැනීම පිණිසයි. නමුත් එම උත්සාහයෙන් නිසි ප්‍රතිඵලයක් නොලැබිණි. මෙසේ වසර හයක් සිද්ධාර්ථ ගෞතමයන්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ පෙර භවයක කළ ප්‍රබල පා කර්මයක විපාක වශයෙනි. (ආසනො ව්‍යාකාරී තÀඵ - පුබ්බකම්මානි අත්තනො - ඛු. නි) මෙහි අතීත අකුසල කර්මය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.
‘පෙර ජෝතිපාල මානවක වූ මම, එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ‘මුණ්ඩයාට සම්බෝධි ඤාණයක් කොයින් ද?’ සම්බෝධි ඤාණය ඉතා දුර්ලභ යැයි කීවෙමි. (කුතොනු බෝධි මුණ්ඩස්ස බෝධි පරම දුල්ලභො - 3369 ඛු. නි)
මේ අනුව සිද්ධාර්ථ කුමාරයාට වසර හයක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වූයේ පෙර භවයක කළ අකුසල ක්‍රියාවක විපාක වශයෙන් බව පැහැදිලි වේ. බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව ද උන්වහන්සේට පෙර භවයන්හි ප්‍රබල කර්ම රැසකම විපාක විඳින්නට සිදු විය.
සුන්දරී නම් පරිව්‍රාජිකාව නිසා නින්දා අපහාස වි¼ඳින්නට සිදුවූයේ උන්වහන්සේ පෙර භවයක පහත් කුලයක මුනාලි නමින් ඉපිද සිටිය දී සරභූ නම් පසේ බුදුරජාණන් වහන්සේට පරිභව කිරීමේ පූර්ව ප්‍රබල කර්මයක විපාක වශයෙනි.
එපමණක් නොව චිඤ්චිමානවකාවගේ අභූත චෝදනාවලට ලක් වූයේ ද? පෙර භවයක නන්ද නම් බෞද්ධ ශ්‍රාවකයකුට නින්දා කිරීමේ කර්ම විපාක වශයෙනි.
බුද්ධ ශ්‍රාවකයකු වූ දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේ ;වතට ගලක් පෙරැළීමෙන් උන්වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ල තුවාල විය. එය විඳින්නට සිදුවූයේ උන්වහන්සේ පෙර භවයක ඉඩකඩම් ආදී වස්තූන් කෙරෙහි දැඩි ලෝභයෙන් සියලු දේපළ තමාට ම ලබා ගැනීමේ අරමුණින් තම සොහොයුරා ගලකින් පහළට හෙළා මරා දැමීමේ පූර්ව කර්ම විපාක ඵලදීමක් වශයෙනි.
දෙව්දත් තෙරුන් දුනුවායන් යොදවා බුදුරජාණන් වහන්සේට විදින්නට සලස්වන්නේ බෝසතාණන් වහන්සේ පෙර භවයක කුඩා දරුවකු වශයෙන් ම¼ග තොට සෙල්ලම් කරද්දී අසලින් වඩින පසේ බුදුවරයකුට ගලකින් ගසා තුවාල සිදු කිරීමේ පූර්ව කර්ම විපාක වශයෙනි.
බුදුරජාණන් වහන්සේගේ පාදයේ ඇඟිල්ලක ලේ තැල්මක් නිසා වේදනා ඇතිවූයේ පෙර භවයක අවියකින් ඇන මිනිසකු මැරීමේ පූර්ව කර්ම විපාක විඳීමක් වශයෙනි.
එමෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ පිට කොන්දේ වේදනාවෙන් පෙළුණේ මල්ල රාජ්‍යයේ රජ කරද්දී මල්ල පුත්‍රයකුට හිංසා පීඩා කිරීමේ පූර්ව කර්ම විපාකයක් ලෙසයි.
බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය හෙවත් ලේ අතීසාරය වැළඳුණේ පෙර භවයක වෛද්‍යවරයෙකු වශයෙන් වෙදකම් කරද්දී මුදලට ගිජුව, නැති ලෙඩකට පුද්ගලයකුට විරේකයක් දී මුදල් ලබා ගන්නට ක්‍රියාකිරීමේ පූර්ව කර්මය විපාක දීමක් වශයෙනි.
පින් පව් ගෙවාලූ කෙලෙස් තැවුල් බැහැර කළ ශෝක දුරු කළ ආශ්‍රව රහිත වු බුදුරජාණන් වහන්සේට ද ඇතැම් පූර්ව කර්ම විපාකයන්හි (ශේෂ වූ) කර්ම විපාක විඳින්නට සිදු වූයේ නම් කෙලෙස් සයුරේ ගිලෙමින් සිටින සාමාන්‍ය පෘථග්ජනයා කර්ම විපාක විඳීම පිළිබඳ කියනුම කවරේද?
මෙම ජීවිතයේදී අප රැස් කරනු ලබන සෑම භෞතික වස්තුවක් ම යම් දිනක අතහැර දමා යා යුතුය. ඊළඟ භවයට ගෙන යෑමට ඉතිරි වන්නේ ජීවිත කාලය පුරා කරනු ලබන කුසල් (හොඳ / යහපත් දේ) සහ අකුසල් (පාපකාරී/ අයහපත් දේ) පමණකි. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසල් දහම් සිදුකරන ලෙසත් (කත්තබ්බං කුසලං) චරිතවත් ජීවිතයක් ගත කරන ලෙසත් ය. (චරිතබ්බං බ්‍රහ්ම චරියා)
අප කරනු ලබන ඇතැම් ක්‍රියාවල විපාක මේ භවයේදීත් (දිට්ඨධම්මවේදනීය) සමහර ක්‍රියාවන්ගේ විපාක ඊළඟ භවයේදීත් (උපපජ්ජවේදනීය) තවත් සමහර ක්‍රියාවන්ගේ විපාක සසර කෙදිනක හෝ විපාක දීමත් (අපරාපරීයවේදනීය) සිදු වේ. එහෙත් ඇතැම් ක්‍රියාවල විපාක පල නොදී අහෝසි වේ. (අහෝසි කර්ම) මෙය කුසල සහ අකුසල යන කර්ම දෙකටම පොදුය. බෞද්ධ කර්ම සංකල්පය මගින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයා සුමගට යොමු කිරීමයි. කුසල් මෙන්ම අකුසල් මගින් ද රැස් වන්නේ් කර්ම ශක්තීන්ය. කර්ම ශක්තිය භවගාමී ජීවිතය හා සම්බන්ධ වේ. කුසල කර්ම මගින් සුගතියට යොමු කරන අතර අකුසල කර්ම මගින් දුගතියට යොමු කරයි.
කර්මය පිළිබඳ ඉගැන්වීම අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් වැරැදි ක්‍රියාවන්ගෙන් මිදුණු යහපත් සමාජයක් නිර්මාණය වේ.
මේ අනුව බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේටත් ඇතැම් ප්‍රබල පූර්ව කර්මයන්ගේ විපාක විඳීමට සිදු වූ නිසා අකුසල ක්‍රියාවන්ගෙන් මිදී කුසල ක්‍රියා නිරතුරුව සිදු කරමින් මෙලොව සහ පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ කළ යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අට මහා නරකය

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
පසුගිය පොහෝ දිනයෙන් ආරම්භ වුණ බුදු දහමෙහි අපාය සංකල්පය යන ලිපි මාලාවේ පළමුවැන්න අපාය යනු කුමක්ද? යන ශීර්ෂය යටතේ පළ විය. එයින් බුදු දහමේ සඳහන් අපාය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. අට මහා නරකය යන්න එහි දෙවැන්නයි. මේ තුළින් අප දන්නා අටමහා නරකයන්හි ස්වභාවයන් පිළිබඳ යම් අවබෝධයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.
සඤ්ජීව නිරය – යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලිවලට කපද්දීත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැඳින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමඟ කෝළාහළ කළ දුභලයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජිව නිරයේ උපදිනවා.
කාල සූත්‍ර නිරය - මෙහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලා සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විඳිනවා.
සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවවිමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරළී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුණු විසුණුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට ද වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විඳිනවා.
රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරුවලට ඇතුළු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඬ දෙන සත්වයන්ගේ හඬ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.
මහා රෞරව නිරය – අතිශයින්ම දරුණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙසින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා.තුණුරුවන්ට අයත් දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.
තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල්වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විඳිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනි තැබූ අය මෙහි උපදිනවා.
ප්‍රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විඳිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.
අවීචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අතින් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා, ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැල් වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන් ද සිටිනවා. ගිනිදැල්වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන් ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනන්තරිය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්‍යයන් කැඩූ, පිළිම විනාශ කළ, බෝධි රුක්ෂයන් විනාශ කළ බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැරගත්, මිත්‍ර ද්‍රෝහීන් භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය මිත්‍යා දෘෂ්ටියන් එහි උපදිනවා.
මේ අටමහා නිරයට අමතරව තවත් නිරයන් බොහෝ ගණනාවක් තිබෙනවා. ඒවා අතුරින් ප්‍රසිද්ධ නිරයන් කිහිපයක් මෙහිලා සඳහන් කරමු.
කුඩා නිරයන් – ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලිවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකැරුණු අසූචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන, උණ ගස්, පොල්, ගස්, තල් ගස් පමණ මහත පණුවන් ගැවසිගත් තැනක් කුක්කුල නිරය කියන්නේ යටින් ගිනි අඟුරු ඇති අළුවලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලිවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි.තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදුරජාණන් වහන්සේ සම්බුදුනුවණින් දැන වදාළා.
ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අඳුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතල ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලීගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්ත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සාහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැමු පිටි බැදෙනවා වගේ ඔවුන්ගෙ ශරීර පුපුරා පුපුරා ශීතලෙන් බැදෙනවා. මේ ලෝකාන්තරික නිරය පවා එකම එක අවස්ථාවක පමණක් ආලෝකවත් වෙනවා. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවන සමයේය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පරුෂ වචනයේ විපාක

අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරුෂ වචනය වශයෙන් හඳුන්වනව. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනව.
1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි
ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරුෂ වචන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරුෂ වචන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.
ආක්‍රෝශ කිරීමේ ආකාර දහය
අ‍ක්‍රෝශ කිරී‍මේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.
1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.
පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.
2. නාමයෙන් අක්‍රෝශ කිරීම.
ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් ති‍යන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.
3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.
ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.
4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.
ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.
5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.
වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.
6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.
යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.
7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.
කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව
8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.
පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.
9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.
කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.
10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.
ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.
පරුෂ වචනයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.
ගුණවත් අයට පරුෂ වචනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.
මුසාවාද අකුසලයේ විපාක
මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය, රවටමි යන අදහස ය, එය ඇඟැවීමට උපක්‍රම ය, අසන්නහු එය පිළිගැන්මය යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.
බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X