සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ඥාන දසුනෙන් දුර යන්නෝ සසර නපුරෙන් ගැලවෙන්නෝ


සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍යවූ තුරු මඩුqලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළිකිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ මෙසේ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

සිය ජීවිතයන්ගේ සුරක්‌ෂිත බව වඩාත් තහවුරුකර ගනු රිසින් ගෘහය තැනීම මිනිසාගේ ශෝකයට පමණක්‌ අදාළ වූ යථාර්ථයක්‌ නොවේ. සැබවින්ම එය කුරුකුහුඹු සත්වයාගේ පටන් ලොව සෑම සියලු සත්වයකුගේම ජීවන ලෝකයට පොදු වූ යථාර්ථයයි. ඇත්තෙන්ම මේ ගෘහ තනා ගැනීමෙන් ඔවුනොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? ජීවිතයේ අරක්‌ෂාවයි. කවරකුගේ වුව ජීවිතය යනු අනෙකක්‌ නොවේ. සංස්‌කාර කැටියකි. මෙහොතින් මොහොත, ක්‌ෂණයෙන් ක්‌ෂණය වෙනස්‌වීම, තිබෙන අයුරෙන් අන් අයුරකට පෙරළීම මේ සංස්‌කාර ධර්මයන්ගේ සැටියයි. ස්‌වභාවයයි. මෙය අජීව ලෝකයටද පොදුවූ එකම ලෝක ධර්මතාවයි. එසේ නම් ජීවිතයක්‌ හිමි කවරකුට වුවද විසතුරින් පිරී ඉතිරී ගිය රුවන් මාළිගයක අනිත්‍යතා ධර්මයෙන් නම් බේරී විසිය හැකි නොවේ. ඒ ඒ ජීවිත වෙත පැමිණෙන අනේක ප්‍රකාර වූ හදිසි අනර්ථයන් විසින් ඔවුනොවුනට ඉවසීමට අතිශය දුෂ්කර වූ දුක්‌ විපත් පමුණවනු ලබන්නේය. එහෙයින් කවර අයකුගේ වුවද ජීවිතයමත්, එය ක්‍රියාත්මක වන ලෝකයමත් ඔහුට ආරක්‌ෂක ස්‌ථානයක්‌ නොවේ.

විසිතුරු මැදුරු මාලිගාවන් තනාගෙන දැසි දස්‌ කම්කරු ආදීන්ද, පිරිවරාගෙන ආරක්‍ෂාවට තවත් නොයෙක්‌ පවුරු පදනම් ඉදිකරගෙන ජීවත් වන්නෝනම් ලොව කොතෙක්‌ වෙත්ද? එහෙත් ඔවුන් වෙත ජරා, ව්‍යාධි හා මරණ ආදී මහ රුදුරු දුක්‌ පැමිණෙන්නේ මේ ආරක්‌ෂක පවුරු තුළින් රිංගා ඔවුන්ටත් හොර රහසේමය. මෙම විපත් වළකාගෙන සුවසේ ජීවත්වන්නට ඔබ කොතෙක්‌ උත්සාහ ගත්තද, ලෝකය තුළදී ඔබට මෙයින් අත්වන්නේනම් පරාජිත බවමය. එම පරාජිත බව හා එක්‌වුණු ඔබේ ජීවිතය තුළ නොයෙක්‌ වෙස්‌ගෙන පැමිණි දුක තිබේ. නොයෙක්‌ වෙස්‌ගෙන පැමිණි භය හා තැනිගැන්මද තිබේ. ආදීනවානු දර්ශන ඥනය ඇතිකර නොගෙන ඔබ ලෝකයේ විසිතුරු මායාවන් අතරින් ආරකෂාව හා සැනසීම සෙවීමට උත්සාහ කිරීම මෙයට මූලික හේතුවයි. මෙය තේරුම් නොගන්නා තාක්‌ ඔබ ලෝකය තුළ සුවය සොයන්නේ පහන් දැල්ලේ ආලෝකයට වශීකෘතවී සංතුෂ්ටිය සොයන පළඟැටියා මෙන්ය. එනම් එයින් ඔබ යළි යළිත් ජාතියටම වැටේ. ජරාවටම වැටේ. ව්‍යාධියට හා මරණයටද ගොදුරු වේ. මෙහි පරක්‌ තෙරක්‌ දැකගත නොහැකිවීම අනවරාග්‍ර වූ සංසාර සාගරය යෑයි තුන්ලෝකාග්‍ර තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදෙසා වදාළෝ නොවේද?

මේ සංසාර සාගරයෙහි කෙළවරක්‌ නැත. සත්වයාට අවශ්‍ය නම් වසර කෙළ කෝටිගණන් ඉදිරියට යා හැකිය. එතෙකුදු වුවත් මෙහි භයානක කම වන්නේ සත්වයා කැමැති, ප්‍රිය උපදවන ආත්මභාවයෙහිම ඔහුට රැඳී සිටිය නොහැකිවීමයි. වැඩිදුරටත් සඳහන් කළහොත් ලෝකය තුළ මැරි මැරී උපදින සත්වයා බොහෝ විටම උපත ලබන්නේ නිරය, තිරිසන් ප්‍රේත හා අසුර ආදී අපායන්වලය.

ආදීනවානු දර්ශන ඥනය නම් නිරන්තරයෙන් මුහුණපෑමට සිදුවන්නාවූ විපත් පිළිබඳ ඇතිකර ගන්නාවූ යථාර්ථාවබෝධයයි. මේ අනුව බැලීමේදී සත්ව ජීවිතය යනු අනේක විධ වූ දුඃඛයන්ගෙන් පිරී ඉතිරී ගිය එකකි. මෙය හා බැඳුණු භවත්‍රයම සර්පයන් වෙසෙන තුඹසක්‌ වැන්නැයි තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. අතීතභවය, වර්තමාන භවය හා අනාගත භවය යනු ඒ භවත්‍රයයි. භව යනු ආත්ම නැතහොත් උපන් ජාතිය ලෙසද ගත හැකිය. තුඹස යනු ජීවිතයකට ආරක්‌ෂාව සුවය හා සොම්නස සැලසෙන ශෝභමාන තැනක්‌ නොවේ. එහි ඇත්තේ මරණය හෝ ඊට ආසන්න විපතයි. ගැඹුරින් සිතා බලන්නෘ මේ ජීවිතයත් එබඳුම මහා ව්‍යසනකාරී තැනක්‌ නොවේද? අපගේ ජීවිතය ලෞකික ලෝකයේ නන් විධ ප්‍රාර්ථනාවන්ගෙන් පිරී ඉතිරී තිබේ. අපි ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට මහා සටනක නිරතවී සිටිමු. මේවා ඉෂ්ටවීම අපේ සිත්වලට සැපයක්‌, සතුටක්‌ ලෙස අපි කල්පනා කරමු.

එසේ වුවත් අනෙක්‌ පසින් මේවා ඉටුවීමට අපට අප්‍රමාණ දුකක්‌ හා වේදනාවක්‌ ගෙන එන්නේය. ජීවිතයේ බොහෝ කාලයක්‌ දෙපයින් ගමන් ඇවිද ගියකු රථයක්‌ ගන්නේ ඒ ජීවන වේදනාවෙන් අත්මිදී සතුටක්‌ ලබන්නටය. එහි නැඟී යන ඔහු ඒ රථයත් සමගින් මහා අනතුරකට ලක්‌වීමෙන් මරණයට ගොදුරු වෙයි. එසේත් නැතහොත් අතපය පවා අහිමිකරගත් සදාතනික ජීවන අනාථයකු බවට පත්වෙයි. ලෝකය තළදී ඒ තැනැත්තා සෙවූ සොම්නස කෙළවර වූයේ කොතැනකින්ද? ඒ ඔහු නොසිතූ නොපැතූ දෙයකින් කෙළවර වූවා නොවේද? බුදුරදුන් ධරමාන කාලයේ ජීවත්වූ කෙත පාලු වීමෙන් මහත් චිත්ත වික්‌ෂෝපයට පත්ව හුන් ගොවියා පිළිබඳ වූ සරල කතාවද සපයන්නේ මෙබඳුම අර්ථයක්‌ නොවේද? ඒ ගොවියා ස්‌වකීය වූ කෙතෙහි ගොවිතැන් කළා වූ සෑම අවස්‌ථාවකදීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔහුගේ කෙතට වැඩම කළෝය. ඔහු සමග සුහද පිළිසඳර කතා කළෝය. වැඩිකල් නොගොස්‌ එයින් ගොවියා තුළ බුදුරදුන් කෙරෙහි මහත් ප්‍රසාදයක්‌ හටගත්තේය. එම නිසා ඔහු සිය කෙතෙහි ධ්‍යානවලින් කොටසක්‌ බුදුරදුන්ට දීමට සිතාගෙන සිටියේය. එහෙත් එදිනම රාත්‍රියෙහි ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවට හසුවූ ගොයම කිසිවක්‌ ඉතිරි නොවී වැනසී ගියේය. තම සිතුම ඉටුකිරීමට නොහැකිවන බව දැනුණ ගොවියා ඉමහත් වූ ශෝකයකින් සිය ගෙපැලේ නිදාගෙන සිටියේය. කෙසේ නමුදු තෘෂ්ණාභරිත සිතුමක හා ඇති ආදීනවය පිළිබඳව ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ඒ දහම අවබෝධකොටගත් ගොවියා පසුව සුවපත්භාවයට පත්වී.

සංසාරික වශයෙන් අසරණබවට පත්වී ප්‍රතිසන්ධි විඥනයක්‌ සකස්‌කරගෙන නොයෙක්‌ කායික ස්‌වරූපයන්ගෙන් සත්වයෝ ලෝකයට පැමිණෙති. ඉන් ඉක්‌බිතිව මේ විශ්ව ධාතුවෙහිද ඇත්තේ ඔවුනොවුන්ගේ ලෝකයෝය. ඒවාද විවිධය. විෂමය. මේ හැම ජීව ලෝකයකටම යටින් ඇත්තේ අනන්ත ආදීනවයෝය. හෙවත් විපත්තීහුමයි.

ඔවුනොවුන්ගේ ජීවිත කාලයන්ද කොටස්‌ කිහිපයකට බෙදා වෙන්කළ හැකිය. ඒ මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥ දශකය, හානි දශකය, ප්‍රාග්භාර දශකය හා ප්‍රවංක දශකය ආදී වශයෙනි. මේ සියලු දශක හැරුණු විට මිනිසාද ඇතුළු සත්වයාට මෝමූහ දශකය හා සයන දශකය යනුවෙන් තවත් දශක හෙවත් කාල වකවානු දෙකක්‌ ඇත්තේය. 

සැබවින්ම මේ සෑම ජීවන දශකයක්‌ නැත්නම් කාලඡේදයක්‌ තුළින්ම පිළිබිඹු කරන්නේ ජීවිතය විනිවිද වනසා නසාගෙන යන අස්‌ථිරතාවයයි. එසේත් නැත්නම් සදාතනික අනිත්‍යතාවයි. මන්ද දශකය තුළදී ජීවමාන ජීවිතයක්‌ දෙස විවරවූ ප්‍රඥ ඇස ඇතිව බලන්න. එහිදී ඒ ජීවිතය ක්‍රියාකරන්නේ මඳ දැනීමක්‌ ලද අයුරකින් නොවේද? එහෙත් ඒ ජීවිතයට ආවේණික වූ ආදීනව ආශ්‍රිත දුක්‌ රාශියකින් ඒ ජීවිතය පිරී තිබේ. හරිහමකට ඇවිද ගැනීමට පවා බැරි අත්පා වුව තමාට අවසඟ වූ මේ කාලය මනුෂ්‍යයාගේ නම් ළමා කාලයයි. ඉන් පසුව ඒ ළදරුවා ක්‍රීඩා දශකයට පැමිණෙන්නේ පෙර පැවැති ළදරු ස්‌වරූපය ඔහු වෙතින් කාලයත් සමඟ අතුරුදන්වීම හේතුවෙනි.

කවරවූ හෝ වේවා ජීවිතයක්‌ ලැබීමේ මහා සාංසාරික දුක නැත්නම් ආදීනවය ඊළඟට හොඳින්ම වටහාගත හැක්‌කේ හානි දශකය, ප්‍රවංක දශකය, මෝමූහ දශකය හා සයන දශකය ආදී ජීවන කාලච්ඡේදයන් තුළදීය. සංසාරගත ජීවිතය ද ඇතුළු කවර ජීව - අජීව සංස්‌කාර ධර්මයක වුව විනාශවීම කැපී පෙනෙන්නේ හානි දශකයේ පටන්ය. සංසාර සාගරය ඉක්‌මවූ මුනි උතුමෙකුට පවා මේ කාල විපර්යාසයෙන් බේරීගත නොහැකිය. මෙහිදී ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගන්නේ සත්වයාගේ ශරීරයයි. එය වැහැරීම, දිරාපත්වීම, මෙකල්හිදීම මැනවින් පෙනෙන්නට පටන් ගන්නේ නොවේද? තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ෙ€මා බිසවගේ නිසරු රූ මදය බිඳ දමන්නට ඇය ඉදිරියේදී එදා මවා පෑ රූපත් තරුණියන් අපට මෙහිදී චිත්‍රණය වේ. බුදුපියාණන් වහන්සේට ප්‍රථමව සෙමෙර සලමින් සිටි ඔවුහු දිව්‍යාංගනාවෝ මෙන් වූහ. එසේ වුවත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ සිරුරු මේරීමට, මේරීමට පටන් ගෙන අවසානයේදී ඒ මේරීමෙන් දෘෂ්‍ය වූ ශරීරයන් බැලීමට පවා අප්‍රසන්න, අප්‍රියජනක ඒවා බවට පත්වූයේය. ඉන් පසුව ඒ ශරීර ඉදිරියට බරවී බිම ඇද වැටෙන තත්ත්වයට පත්වෙන්නට තරම් ජරාජීර්ණ බවට පත්වූයේය. මේ ලෝකය තුළ උපත ලබා සංසාරික වශයෙන් අසරණ වූ කවර සත්වයකුට වුවද නිවන් දකින තාක්‌ මුහුණපෑමට සිදුවන්නා වූ 'ප්‍රවංක දශකයේ, ස්‌වභාවයයි. සැටියයි.

ජීවිතයක්‌ ඇතිවූ දා පටන් නැතිවන දා තෙක්‌ම මෙලෙස දිවමන් වන්නේ අප ලත් ඒ ජීවිතයේ ආදීනවය නොවේද? එය සංසාරය හෙවත් ලෝකයෙහි කවර තැනෙක කවර ලෙසකින් උපත සකස්‌කර ගත්තද ඒ සංසාරිකයාට ඒකාන්ත වශයෙන්ම මුහුණපෑමට සිදුවන සනාතන සත්‍යයයි. මෙයින් බේරී වසන්නට තැනක්‌ සංසාරයේ නැත. ඒ අනුව මේ ඒකායන විපතින් අතමිදී ගත හැක්‌කේ එම ආදීනවානු දර්ශන ඥනය මැනවින් පිරිසිඳ දැකීමෙන් පමණකි. එබඳුවූ සත්පුරුෂ තෙමේ මාරයාට නොපෙනෙන තැනවූ, මාරයාට ආක්‍රමණය කිරීමට නොහැකි තැනවූ අමෘත සංඛ්‍යාත අමා මහ නිර්වාණය සාක්‌ෂාත් කරන්නෝමය. ඒ ඥන දර්ශනයේ ඉදිරියට යැම හා කෙළෙස්‌ මායාවන් අතර මුළා නොවීම තුළින් සකලවිධ වූ සංසාර නපුරුතාවන් ගෙන් හේ තෙමේ අත්මිදෙන්නේය.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X