සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

කුසටත් මනසටත් එකවර ආහාර

වල්පොල 
ගෝතම හිමි

අප ඕනෑම කෙනෙක් කරන අනිවාර්ය දෙයක් තමා ආහාර ගැනීම. උපන් සෑම සත්ත්වයෙක්ම කය පවත්වා ගැනීමට ඒ දේ කරනවා. මේ ආහාරය ගැනීමේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයත්වය පිළිගත් කෙනෙක්ද, පිළි නොගත් කෙනෙක්ද කියා වෙනසක් නැහැ. ආහාර ගැනීමේදී එයට භේදයක් නැහැ. කවුරුත් එකවගේ ආහාර ගත්තට බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සාමාන්‍ය ලෝකයා කරන දෙයට වඩා ටිකක් හෝ අවබෝධයකින් තමා එය කරන්නේ. ඒනිසා ආහාරය ගැනීමත් අවබෝධයෙන් කරන්න නම් ඒ පිළිබඳව විමසිය යුතු ක්‍රම තිබෙනවා.
අප බොහෝ විට එක් වේලකට වඩා ආහාර ගන්නවා. වේල් දෙකක් හෝ තුනක් නැත්නම් ඊට වටා වේල් ආහාර ගන්නවා. මේ කෙසේ ආහාර ගත්තත් තමන් ලබා ගන්නා ඒ ආහාරය භාවනා මනසිකාරයත් සමඟ ඔබේ අවබෝධය වැඩෙන ආකාරයට මේ ධර්ය අවබෝධය පිණිස ආහාර ලබා ගැනීමක් බවට පත්වෙනවා නම් ඒ ආහාර ලබා ගැනීම දෙපැත්තකට දෙන ආහාරයක් වෙනවා.
අප සාමාන්‍ය ජීවිතයේදී දෙන ආහාරය කයට දෙන ආහාරයක් විතරයි. නමුත් භාවනා මනසිකාරයත් එක්ක මේ ආහාරය ලබා ගැනීම පුරුදු කරන්න පටන් ගත්තොත් එක පැත්තකින් කබලිංකා ආහාරය කයට ලබාදෙන අතර භාවනා මනසිකාරයෙන් මනසටත් ආහාරයක් ලබා දෙනවා. ඒනිසා ආහාරයෙන් ආහාරය ලබාදීමක් කියා කියන්න පුළුවන්. අප සාමාන්‍යයෙන් ආහාරයක් ගන්නාවිට වෙන කිසිම දෙයක් නොසිතා කන එක ගැන විතරක්ම සිතන්නේ නැහැ. ආහාරයක් ගන්න අවස්ථාවේ බොහෝ දේ සිතමින් විවිධ දේ කල්පනා කරමින් තමා ආහාර ගන්නේ.
ඔබ ආහාර ගන්න විට සතිපට්ඨානය තුළ ධාතු මනසිකාරයක් වශයෙන් කායානුපස්සනාව වැඩීම කළොත් ඔබ කුසලයකුත් රැස් කර ගන්නවා. සතර සතිපට්ඨානය අදාළ වන්නේ කුසල පැත්තටයි. ඔබ මේ මනසිකාරය පවත්වමින් කටයුතු කරනවිට කුසල් වඩන අතරේ අකුසලයෙන් දුරු කර ගැනීමත්, සමඟ ඔබ තුළ පහළවෙන්නේ පුණ්‍ය චේතනායි. ඒ වෙලාවේ පැහැදිලි මනසක් ඔබ පවත්වන නිසා පිනක් රැස්කර ගන්න පුළුවන්.
ආහාරයක් ගැනීමේදී කුසලයකුත් දියුණු කරමින් පිනකුත් රැස් කරමින් ඒ ආහාරය ගන්න පුළුවන්නම් කොතරම් ඔබ වාසනාවන්තයි ද? හැමදාම කයට විතරක් දෙන පෝෂණය මනසටත් ලබාදෙන ආකාරයට ධාතු මනසිකාරය දියුණු කරන්න උත්සහ කරන්න.
අප කෑම ගන්නවා කියන්නේ ධාතු ගොඩකට තවත් ධාතු එකතු කරනවා. මේ ධාතු ගොඩකට තවත් ධාතු ගොඩක් එකතු වනවිට තමන්ගේ කියන කයේ ධාතුත් වෙනස් වෙනවා. ඒ වගේම ආහාරයේ තිබෙන ධාතුත් වෙනස් වෙනවා. ධාතු වෙනස් කියන්නේ කුමක්ද? බත් ඇට ටික අතට අල්ලනවිට, බත්ටික අනනවිට, එය අනා බත්කට මුඛයට ළංකරනවිට, ඒ බත්කට මුඛයට අරගෙන හපනවිට, ඒ බත් ඇටය එහා මෙහා වෙනස් වෙනවා. ඔබට සිතෙයි ධාතු වෙනස් වෙනවා කියන්නේ ඒකද කියා. ඒ බත් ඇටය එහා මෙහා යමින් වෙනස්වීම නොවේ මේ කියන්නේ. ධාතු කියන්නේ ඉතාමත් සියුම් දෙයක්. උදා– හාල් ඇටයක් දෙස බැලුවොත් ඒ හාල් ඇටය පිසල නැති නිසා තවම බත් ඇටයක් බවට පත්වෙලා නැහැ. මේ හාල් ඇටය කුඩු කළොත් කුඩු ගොඩක්. ඒ කඩු ටිකට අප හාල් ඇටය කියන්නේ නැහැ. අප කියන්නේ හාල් පිටි කියල යි. හාල් ඇටයකුයි හාල් පිටි බවට පත් වුණේ. මේ හාල් ඇටය තුළ ඝන ධාතු ස්වභාවයක් නොතිබුණ නිසා හාල් ඇටය පිටි ගොඩක් බවට පත් කරන්න බැහැ. හාල් පිටි බවට පත්වුණේ පිටි කරන්න පුළුවන් ආකාරයට ධාතු පුංචි නිසා. ඒ ධාතු තවත් උපකරණයකින් තව තවත් කුඩු කරන්න පුළුවන්නම් එය කුඩු වෙන්න ලැහැස්තියි. මේ ධාතු ඇසට පෙනෙන්නේවත් නැති ඉතාම පුංචි දෙයක්. ඇසට නො පෙනෙන තරමේ පුංචි හෝ සියුම් වශයෙන් හටගෙන තිබෙන ධාතු රාශියක් එකතුවෙලා මේ බත් ඇටයක් බවට පත්වෙලා තිබෙන්නේ. අප නො දන්නා වුණාට මේ ධාතුවල ස්වභාවය නිතරම බිඳි බිඳී නව ධාතු හට ගන්නවා. එවැනි ස්වභාවයක් රූපයක තිබෙනවා. ඒකයි උන්වහන්සේ උපමාවකින් වදාළේ මේ රූපය පෙණ පිඬක් වගේ කියා. පින පිඬක් කිව්වේ එහි ස්වභාවය පෙන බුබුළු රාශියකින් හැදීමයි. ඒ පින පිඬ තුළ පෙන බුබුළු ටික මිසක් වෙන කිසික් නැහැ. බුබුළු රාශියක එකතුවක් තමා පෙණ පිඬක් වන්නේ. ඒවගේ ධාතු රාශියක එකතුවක් තිබෙනවා. ඒ එකතුවට අප හාල් ඇටය කියනවා. නමුත් ධාතු ගොඩක් මිසක් එතැන හාල් ඇටයක් නැහැ. හාල් ඇටය කියා නම් කරන දෙය අප පාවිච්චි කරන්නේ ධාතු ගොඩේ එකතුවට යි. උදා– අපේ ඇඟේ ලොම් ගහක් පුංචි කෑලිවලට කපන්න පුළුවන්. එහෙම කපන්න පුළුවන් වන්නේ මේ ලොම් ගහ ඇසට නො පෙනෙන මට්ටමේ ධාතු රාශියක එකතුවක් නිසා. ඒ ධාතුවලින් එකතුවෙලා ලොම් ගහ කියන හැඩයට හැදුන නිසා එයට කියනවා ලොම් ගහ කියා. කෙස් ගස හැඩයට හැදුනාම එයට කෙස් ගස කියනවා. දතක හැඩයක් ගත්විට එයට දත කියනවා. තව උදාහරණයක් සිතන්න, කෘත්‍රිමව හැදු ප්ලාස්ටික් මලක් අරගෙන ඒ ප්ලාස්ටික් ටික උණුකරාම අපට ඒකට තවදුරටත් මල කියන්න බැහැ. එය ඇසට නො පෙනෙන මට්ටමින් ඉතාම විශාල ධාතු ගොඩකින් සෑදුන දෙයක්. ධාතු ගොඩකින් සෑදුන දෙයට අප මල කිව්වා. එතැන රෙදි, ප්ලාස්ටික්, කඩදාසි කියා දෙයක් නැහැ. එහෙනම් ධාතු ගොඩකින් හැදුන දෙයට අප රෙද්ද කිව්වා, ඊට පස්සේ ඒ රෙද්දෙන් මලක් නිර්මාණය කළාට පස්සේ එයට මල කිව්වා. නමුත් රෙද්දකුත් නැහැ. මලකුත් නැහැ. තිබෙන්නේ ධාතු ගොඩක්. ඒ ආකාරයට මේ කය ධාතු- ධාතු වශයෙන් විමසලා මේ ගන්නා ආහාරත් ධාතු – ධාතු වශයෙන් විමසා බැලුවොත් ඔබට තේරෙවි මේ ධාතුත්, මේ ධාතුත් එකතු වෙනවා. අප ආහාරයේ කියන පෝෂණය කයට උරා ගන්නවා කියනවා. ඒ කියන්නේ ආහාරයේ තිබෙන ධාතු කයේ ධාතුත් සමඟ එකතු වෙනවා. ඒ එකතු වීමෙත් සමඟ කයට ධාතු එකතුවීමත් සමඟ තවදුරටත් ඒක කයේ කොටසක් බවට පත්වෙනවා මිසක් ඒක ආහාරයක් කියන්නේ නැහැ. ආහාරයක් ගත්තාම අප කියනවා ඒ නිසා ඇඟට ලේ උණනවා කියා. ලේ උණුලා ඒවා මස් බවට පත්වෙනවා. ආහාරයත් ජීර්නය වෙලා ලේ ටිකක් බවට පත්වුණා කියමු. ඒ ලෙඩ බලලා එයට අප ආහාරයක් කියන්නේ නැහැ. දැන් ඒක ලේ ටිකක්. එහෙනම් ආහාරයෙන් සකස් වූ කය තුළ තිබෙන්නේ ඒ කයට ලබාදෙන ආහාරයේ තිබෙන්නේත් ධාතු ගොඩක් විතරයි.
ඒ ධාතුගේ වර්ණ භේද විවිධ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් ධාතුන්ගෙන් එක එක ආකාරයට මේ කයට ප්‍රතික්‍රියා කරන ක්‍රම තිබෙනවා. ඒ ප්‍රතික්‍රියා දෙස අවබෝධයක් සමඟ ඇතිවුණු ප්‍රතික්‍රියා සමඟ අවබෝධයෙන් බලලා කය අනාත්ම වශයෙන් දකින්න පුළුවන්. ඒවගේ කයට යම් ලෙඩක් තිබෙනවානම් අප කැමැති වුවත් අකමැති වුවත් එයට සුදුසු දේ ලැබෙන විට ඒ ධාතුන්ගේ ක්‍රියාවලිය අපේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතිව සිදුවෙනවා. මේ අනිත්‍ය නිසාම ඇති වූ අනිත්‍ය බව දුකක් කියා ඔබට දකින්න පුළුවන්. ඒ දුක ඇතිවන මේ කයේ ස්වභාවය අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. අනාත්ම ස්වභාවයෙන් මේ කය මෙසේ කටයුතු කරන විට එය දුකක්.
ඒ වගේම සමහර ආහාර ගන්නවිට පිත වැඩිවෙලා අමිල පිත්ත වාතයේ අසනීප හැදිලා බඩේ දැවිල්ල හැදෙනවා. මගේ බඩේ දැවිල්ල යැයි කියා අප කිවුවාට වෙලා තිබෙන්නේ මේ ධාතුවට නුසුදුසු ධාතු කීපයක් එකතු වෙලා ඒ අය අතර ඇතිවුන ගැටීමක්. ඒ ගැටීම අප අපේ කරගෙන අනේ මගේ කයට මෙහෙම වුණා කියන සම්මුතියේ ඉඳගෙන කථා කරනවා. එසේ සම්මුතියේ තුළ අප කථා කළත් ඔබ අවබෝධයෙන් ඉන්න ඕන.
මේ කයේ තිබෙන ධාතුත් අපට ඕන විදිහට වැඩ කරන්නේ නැත්නම් අප කැමැති වුවත් අකමැති වුවත් එය දුකක්. නො ගැලපෙන ධාතු එකතුවීමේදී ගැටෙන්නත්, ගැලපෙන ධාතුත් එකතුවීමේදී ඇලෙන්නත් ඒ නිසයි. මෙය පොදු දේපලක් තමා සන්තක කර ගත්තා වගේයි.
එහෙනම් ආහාරයත් සමඟ ධාතු මනසිකාරය වඩනකොට ආහාරයේ තිබෙන පෙනුම දකිද්දී, ඒ ආහාරයේ තිබෙන සුවඳ නහයට දැනෙනවිට, ඒ හැම අවස්ථාවකදීම කටට කෙළ උනනවා. එහෙම කෙළ උනන්නේ ඇයි? සමහරවිට ඔබ සිතයි පෙරේතකම කියලා. නමුත් ආහාරය මුඛයට ගත්තට පස්සේ ඒ ආහාරය හපන්න හා ගලනාලය දිගේ ආමාශයට යන්න ආහාරය ලිහිල් කරන්නේ කෙළ උපකාරි කරනවා. එහෙනම් ඇසේ විඤ්ඤාාණයෙන් ආහාරයේ පෙනුම දකිනකොට, නාසයේ විඤ්ඤාණය ආහාරයේ සුවඳ දැනගන්න කොටයි කෙළ උනන්නේ. කෙළ කියන්නේ පඨවි ධාතුවක්. තව ධාතුවක් තිබෙනවා විඤ්ඤාන ධාතුව කියා. ධාතු මනසිකාරය ගැන විමසද්දී විඤ්ඤාණ ධාතුව පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමයි. විඤ්ඤාණ කියන්නේ විශේෂ කොට දැන ගන්නවා කියන එකයි. විඤ්ඤාණ ධාතුව උපකාරි වෙනවා අපෝ ධාතුවෙන් යුක්ත කෙළ කටට උනන්න. ඒ හැම තැනකදීම ඔබට පුළුවන් ආහාරය දකින විටත්, ආහාරයේ සුවඳ දැනෙන විටත්, ආහාරයේ පහස දැනෙන විටත්, ඒ ආහාරය කටට අරගෙන හපන විටත්, ඒ ආහාරය ගලනාලය දිගේ යනවිටත්, ඒ ආහාරය ආමාශයේ පැසෙනවිටත්, ඒ ආහාරය අපට දැනෙන දැවිලි, සීතල ආදි යම් පහසක් වේද ඒ හැම එකක් අභියසදීම කයේ ධාතුන් ආහාරයේ තිබෙන ධාතුත් ධාතු ලෙස ඔබ හොඳට විමසනවානම් ඔබට තේරෙනවා මගේ කය තුළ මට මෙහෙම දෙයක් සිදුවෙනවා නොවේ. ධාතුත් ධාතුත් ප්‍රතික්‍රියා කොට ඒවා අතර සිදුවන අනාත්මය ස්වභාවයක ක්‍රියාවලියක් කියා දකින්න පුළුවන්. එය ධාතු මනසිකාරය තුළ සිදුවන ප්‍රතිඵලයක් ලෙස ඔබ විමසන්න. ඒ දකින විට ඔබ තුළ ඒකාන්තයෙන්ම කුසලයක්,පිනක් රැස්වෙලා ඒ විමසීම ඔබේ මනසට ආහාරයක් වෙනවාම යි.
නයනා නිල්මිණි
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X