සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

ධර්මය අවබෝධ කිරීමට ඇති බාධා මොනවාද?

වල්පොල ගෝතම හිමි

තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය අපට මේ ලැබුන වෙලාවේ, අප උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න බුද්ධියත් මුණ ගැසුණ වෙලාවේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරයට හිතන්න පුරුදු වෙන්න ඕන. සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන එක ගැන සැක කරමින් සිතනවා මේ කාලයේ ඒ දේ කරන්න පුලුවන්ද? දන්නේ නැහැ කියා. එසේනම් හිතනවානම් ඔබ මේ කාරණය ගැන සිතන්න.
අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා ධර්මය අවබෝධ කළ නොහැකි අවස්ථා අටක් තිබෙන බව. ඒ අවස්ථා අට තුළ කෙනෙකුට මේ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ තමා 1) බුද්ධ ශාසනයක් තිබෙන කලෙක, ධර්මය පැතිරුණ කාලයක කෙනෙක් නිරයේ ඉපදිලා නම්, 2). කෙනෙක් තිරිසන් ලෝකයේ ඉපදිලානම්, 3) පේ‍්‍රත ලෝකයේ ඉපදිලානම්, 4) ඒ වගේම සුගති ලොවක් වුවත් අසංඤ්ඤ සත්ව ලෝකවල ඉපදිලානම්. (අසංඤ්ඤ කියන්නේ සංඤා නැහැ. හඳුනා ගැනීමක් නැහැ. ධර්මය ඇසුණත් හඳුනාගන්න බැහැ) 5). බුදුරජාණන් වහන්සේ ධර්මය අසන්න ලැබෙනවා. නමුත් ඒ මනුස්සයා මන්ද බුද්ධිකයි. ඔහුට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැහැ. 6) මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. ධර්මයත් ඇසෙනවා. නමුත් ඒ ධර්මය පිළිගන්න කැමැති නැහැ. දැඩි දෘෂ්ඨිවල ඉන්නවා. ධර්මයට කැමැති නැහැ. කීකරු නැහැ. 7) බුදුරජාණ වහන්සේ ගේ ධර්මය ඇසෙනවා. කෙනෙක් ඒ යුගයේම මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. නමුත් ඔහු ඉන්නේ ධර්මය නො ඇසෙන පැත්තක. 8) බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා නැති කාලයක අබුද්ධෝපත්ති කාලයක කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදෙනවා. ඔහු බුද්ධ ශාසනයක් ගැන අසා නැහැ. දන්නෙත් නැහැ. ඔහුටත් මේ අවස්ථාව අහිමියි.
එහෙනම් දැන් මේ අවස්ථා අටෙන්ම අප නිදහස්. මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බැරි අවස්ථා අටක් තිබෙනවා කියා වදාළා නම්, ඒ අටට අප අයත් නැත්නම්, අපට සැක උපදවාගන්න ඕන නැහැ. මේ ධර්මය අපට අවබෝධ කරන්න පුලුවන්ද? බැරිවෙයිද? කියා. මේ අටට අමතරව තවත් අවස්ථාවක් තිබෙනවානම් උන්වහන්සේ ඒකත් මේ ගොඩට දානවා. එසේනම් මේක හතක් කියන්නත් බැහැ. නවයක් කියන්නත් බැහැ. අප උන්වහන්සේ ගැන ශ්‍රද්ධාවට නො පැමිණ අපට සිතෙන දේ කියමින් අපට තවම පාරමිතා සම්පූර්ණ වී නැහැ ආදී දේ මේ අතරට දානවානම් එය අප වරදවා ගැනීමක් මිස උන්වහන්සේගේ වරදක් නොවේ.
පාරමිතා අවශ්‍යයි සම්බුද්ධත්වයට පත්වෙන්න. පාරමිතා අවශ්‍යයි මහරහතන් වහන්සේ නමක් වෙන්න. පාරමිතා අවශ්‍යයි අග්‍ර ශ්‍රාවකයන් ලෙස බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්න. පාරමිතා අවශ්‍යයි උපස්ථායක ස්වාමින් වහන්සේ වෙන්න. පාරමිතා අවශ්‍යයි බෝසතාණන් වහන්සේගේ අම්මා, තාත්තා දරුවා, බිරිඳ වෙන්න. නමුත් අනෙක් හැම දෙනාටම පාරමිතා අත්‍යවශ්‍යයි කියා බුදුරජාණන් වහන්සේ පෙන්වා නැහැ.
එයට හේතුව උන්වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය මිසක් වෙන දෙයක් නොවේ. මේ චතුරාර්ය සත්‍යය තුළ තිබෙන්නේ 1) දුක, 2) දුකට හේතුව, 3) ඒ හේතුව සම්පූර්ණයෙන් නැති කරන්න පුලුවන් කියන දේ, 4) දුක නැති කරන්න තිබෙන මාර්ගය. ඒවාට අවශ්‍ය පාරමිතා නොවේ. හතරවන ආර්ය සත්‍යය තුළ තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න බුද්ධිමත් ඔබට මේ යුගයේ පුළුවන්ද බැරිද කියන දේ ගැන ඔබට සංෂික්තව කියා දෙන්නම්.
අද දවසේ අපට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න නම් හොඳට කන ඇසෙන, අපට හොඳට ඇස් පෙනෙන, අපට මේ කියාදෙන ධර්මය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන අපට.මේ දේ වඩන්නත් පුළුවන්. ඔබ හිතන්න පළමු ආර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. උන්වහන්සේ දුක ගැන විවිධ ආකාරයට පෙන්වූවා. ඊළඟට වදාළා ‘සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා දුක්ඛා’ හකුලුවා ගත්තොත් මේ හැම දුකක්ම කාරණා පහකට අයිතියි. ඒ තමා රූප උපාධානස්ඛන්ධය, වේදනා උපාධානස්ඛන්ධය, සංඤා උපාධානස්ඛන්ධය, සංකාර උපාධානස්ඛන්ධය, විඤ්ඤාණ උපාධානස්ඛන්ධය. දුක , දුක කියා අප කථා කරන සියලුම දේ මේ පංච උපාධානස්ඛන්ධයටයි අයිති. අපි සිතමු යම් පොතක පිටුව පිටුව ගැන අප කථා කරනවා. මේ පිටුවේ මෙහෙම තිබෙනවා, මේ පිටුවේ මෙහෙම තිබෙනවා කියා. ඒ පිටු ටික සියල්ලම වහල පොත වශයෙන් ගත්තොත් පොතක් ලෙස අපට පෙන්වන්න පුලුවන්. පොතක් ලෙස කථා කරන්න පුලුවන්. නමුත් ඒ පොත ඇතුළේ පිටුවෙන් පිටුව වෙන් වෙන් වශයෙන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ අප දුක, දුක කියමින් කථාකරන සියල්ලම පොත්වල පිටුනම් ඒක හකුලුවා ගත්විට පොතක් කිව්වා වගේ සියලුම දුක් හකුළුවා ගත්තම පංච උපාධානස්ඛන්ධය කියා වදාළා. මේ පංච උපාධානස්ඛන්ධය කියන දේ අප ගොඩාක් දෙනා තේරුම් අරගෙන තිබෙන්නේ එක් එක් ආකාරයට. නමුත් අප තේරුම් ගන්න ආකාරය නොවේ වැදගත් වන්නේ. මෙය අවබෝධ කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ ලෙසම ඉගෙන ගන්න ඕන. උන්වහන්සේ වදාළා පඤ්චුපාදානක්ඛන්ධා කියන විට රූපය පළමු උපාධානස්ඛන්ධය සම්පූර්ණ වාක්‍යයම වචන තුනකට කඩන්න පුලුවන්. රූප – උපාධානස් – ඛන්ධය, වේදනා – උපාධානස් – ඛන්ධය, සංඤා – උපාධානස් – ඛන්ධය, සංකාර– උපාධානස් – ඛන්ධය, විඤ්ඤාණ- උපාධානස්- ඛන්ධය මේ කාරණා පහේම වචන තුන ගානේ කථා කරපුවා.
මෙහිදී බුදුන් වහන්සේ වදාළා රූපය කියන්නේ සතරමහ ධාතුන් සතරමහ ධාතුන්ගෙන් හට ගත් දේයි. පොළවට පස්වන හැම දෙයක්ම පඨවි - ජලයේ දියවන දේ, ආපෝ - සුළඟේ හමන දේ, වායෝ - උණුසුමෙන් තිබිල නිවී යන ස්වභාවයෙන් ඇති දේ තේජෝ කියා හඳුන්වනවා. සෑම තැනකම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරේම එකතුවට කියන නම තමා රූපය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සංවිඤ්ඤාන කය පමණක් නොවේ ආධ්‍යාත්මික හෝ වේවා, බාහිර හෝ වේවා රූප තිබෙනවා. ආධ්‍යාත්මික රූප කියන්නේ තමා යැයි සළකන කෙස්, ලොම්. නිය, අත් ආදි ටික. බාහිර රූප යැයි වදාළේ බාහිර ටික. මේ රූප සියල්ලම බාහිරව තිබුණට අප මේ රූප සියල්ලම දැන ගන්නේ නාම මාත්‍රයක් තුළ ඉඳළයි. මේ සම්බන්ධව ‘ආනන්ද’ කියන සූත්‍රයේදී මන්තානිපුත්ත ස්වාමින් වහන්සේ මෙසේ උපමාවකින් වදාළා, මේ ලෝකයේ බාහිර දේ තමාට අරමුණක් ලෙස එන්නේ කණ්නාඩියක පිළිබිඹුවක් වගේ කියා.
කණ්නාඩියට ඉදිරිපස පිළිබිඹු වෙනවා. යමක් දුටු විට අපට හිතෙනවා මෙය කණ්නාඩිය ඉදිරියේ තිබෙන දේමයි කියා. ඔබ හිතන්න යම් ඇඳුමක් කණ්නාඩිය ඉදිරියේ කෙනෙක් බලනවා. එවිට අපට සිතෙනවා මේ කණ්නාඩියෙන් පිළිබිඹු වන්නේ ඒ ඇඳුම කියා. ඒ ඇඳුම රුපියල් 300 ක් නම් කණ්නාඩිය තුළ පිළිබිඹුවන ඇඳුමේ මිල කීයද? එහෙනම් පේනවා ඒ ඇඳුම නොවේ ඒ තිබෙන්නේ. අර ඇඳුමේ කණ්නාඩිය තුළ තිබෙන්නේ නිකම්ම ඡායාවක් පිළිබිඹුවක් වීමයි. අපේ ඇඳුම අතින් අල්ලන්න පුළුවන්. නමුත් පිළිබිඹු වන දේ අල්ලන්න බැහැ. මේක තියාගන්න පුළුවන්. පිළිබිඹුව තියාගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ සියලුම රූප අපට දැකගන්න ලැබෙන්නේ මේ ආකාරයට. බාහිර දේ අරමුණක් ලෙස පමණයි අපට ලැබෙන්නේ. අප තුළත් තිබෙනවා කණ්නාඩියක්. ඒ කණ්නාඩියට තමා බාහිර රූපයේ පිළිබිඹුව ලැබෙන්නේ. අප තුළ තිබෙන කණ්නාඩිය තමා සිත. ඇසෙන දකින දේ පිළිබිඹුව වැටෙනවා, පිළිබිඹු වන සිතට. සිත නැමැති කණ්නාඩියට ලැබෙන පිළිබිඹුව බාහිර රූප ලෙසම ගන්නවා. ඔබ ඉදිරියේ තිබෙන සියලු දේ ඔබගේ සිතට එක අරමුණක් පමණයි. කණ්නාඩියට ලැබෙන ඡායා ටිකත් පමණයි. ඒ විදිහටම මේ ලෝකයේ යම් ශබ්දයක් තිබෙනවා නම් ශබ්දය මතු වෙන්නේත් සතරමහ ධාතුන්ගේ රූපයකින්. අප යම් දෙයකට අතින් තට්ටු කළ විට යම් ශබ්දයක් එනවා. ඒ ශබ්දය සතරමහ ධාතුන්ගෙන් හටගත් යම් භාණ්ඩයක ගැටීමක් නිසා හටගත් ශබ්දයක්. මේ වගේ නාසයට දැනෙන ගඳ - සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සතර මහ ධාතුන්ගෙන් හට ගත් රූපයකින් හටගත් දේ. අරමුණු පමණක් සිතේ හට ගන්නවා.
එහෙනම් හැම රූපයක්ම රූපයක් ලෙස දැනගන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක් තිබෙන නිසයි. ඒ ක්‍රියාකාරීත්වයට කියන්නේ ‘විඤ්ඤාණය’ කියා. එහි තේරුම දැන ගන්නවා කියන එකයි.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X