කම්මට්ඨානාචාර්ය මාන්කඩවල සුදස්සන හිමි
ලබුනෝරුකන්ද
ආරණ්‍ය සේනාසනය
ධර්මය දන්න කෙනෙක්, දිරන දේ දිරනවා කියන තැනකින් නුවණ තියනවා. ඔහු මේ "ධර්මතාව" දකිනවා මිසක මා මහලු වෙනවා, තව කෙනෙක් මහලු වෙනවා" කියලා නො වෙයි දකින්නේ. එයා ලෝකයේ ස්‌වභාවය, දහම අත්විඳිනවා. ලෙඩ වෙනවා කියන්නේ මේකට නේ, දුකයි කියන්නේ, අනිත්‍යයි කියන්නේ මේකට නේ.
කෙනෙක් මැරුණා: දරුවා මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා කියන තැනින් නො වෙයි, එයාට එන්නේ. "මරණය කියන එක ධර්මතාවක්. අන්න ඒ ධර්මතාව මම අවබෝධ කරගත්තා නේ ද? කියන තැනින් සතුටයි එන්නේ. මේ ලෙඩ වීම, මහලු බව, මරණය, නැසෙන බව, විනාශ වන බව යන ධර්මතා ටික දහම අවබෝධ කරගත් කෙනාට හම්බවෙන්න, හම්බවෙන්න, සතුටක් එනවා. ඇයි ඒ සතුටක් එන්නේ? මොකක් ද සතුට? "අනේ මේක මොන තරම් ඇත්තක් ද?" එයා එතන "දහම් සුවයක්" විඳිනවා. හැම වේලාවෙ ම එයා තමන් ව දකින්නේ නැහැ. තමන්ට වෙච්ච අවාසියක් දකින්නේ නැහැ. අනුන්ව දකින්නෙත් නැහැ. තමන්ට වේච්ච අලාභයකින් වත්, අනුන්ට වෙච්ච අලාභයකින් වත් එයා දුක් විඳින්නේ නැහැ. තමන්, අනුන් සහ ලාභ. අලාභ යන දෙකෙන් ම එයා අත්මිදිලා. හැම වෙලාවක ම එයා ධර්මතාවක් අත්විඳිනවා.
ඊට පස්‌සේ "දිට්‌ඨධම්ම සුඛ විහරණයක්" ( මෙලොව දී ම ධර්මයෙන් යුක්‌ත සැපයක් විඳිනවා එයා.) එතැන දී මට මතක් කරන්න ඕන වුණේ සත්‍යය අවබෝaධ වෙච්ච මනසක සහ අවබෝධ නො වෙච්ච මනසක ඇති වෙනස.
ඒ ධර්මය අපේ ජීවිතය අපි අවබෝධ කරගන්න, ඒ කියන්නේ යට යන ගල, "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන මනසට, අපි කිව්වොත් "ලෝකය" කියලා, ඒ වචනය කියන්න පුළුවන් අපේ මට්‌ටමට විතරක් නො වෙයි - දෙවියන්ටත් කිව හැකියි ඒක. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ටත් කිව හැකියි. බ්‍රහ්මයාත් කැමැති නෑ එතනින් චුත වෙන්න. නමුත් එයා එතැනින් චුත වෙනවා. එයා එයින් දුකක්, දොම්නසක් විඳිනවා. එයා එතැනින් පිටත් වෙන දවසක් යෙදෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයා වත් කැමැති නෑ ඒ බ්‍රහ්ම ආත්මයෙන් අයින් වෙන්න. අපි මෙතන මැරෙන්න කැමැති නෑ, වගෙයි.
ඒ නිසා මේ තිස් එක් තලය ම නැත්නම්, කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවය ම, නැත්නම් මේ තුන් ලෝකය ම ධර්මය නො දන්නවා කියන තැනකයි ඉන්නේ. එතකොට ධර්මය දන්නවා කියන තැනින් එන්නේ මොකක් ද? කොහෙන් ද පටන්ගන්නේ? අපරියාපන්න භූමි - නැත්නම් ලෝකෝත්තර, මේ ලෝකයෙන් එතෙර වන පැත්ත. ඒ තමයි යට යන ගල, "යට යනවා" කියන තැනක ඉඳගෙන, මනස තියාගෙන සිතීම්, කීම්, කිරීම් කිරීම. ඒකේ නැහැ බලාපොරොත්තුවක්. මා දැනගත්තත් නැතත් ප්‍රාර්ථනා කළත් නො කළත් යට යන ගල, යට යනවා මයි. එයා දන්නවා ඒක. ඒකට විරුද්ධ ව ප්‍රාර්ථනා කළොත් දුක එනවා කියන එකත් එයා දන්නවා. ඒකට අනුව ප්‍රාර්ථනා කළහම සැප එනවා කියලත් දන්නවා. හැබැයි මේ සැපයි දුකයි දෙක ම සිද්ධිය නො වෙයි. යථාර්ථය නො වෙයි. යථාර්ථයට අනුව වැරැදියට හිතපු කෙනාට දුක එනවා කියලා දන්නවා. යථාර්ථයට අනුව නිවැරැදි ව හිතපු කෙනාට සැප එනවා කියලා දන්නවා.
එතකොට මෙන්න මේ දැක්‌මට එන්න පුළුවන්කම තියන්නේ හැම විට ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනකුට විතරයි. යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරන එක්‌කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ නො කළ කෙනා.
යට යන ගල "උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා නොකරන එක ම කෙනා තමයි, දුක්‌ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනා.
ඒ ඇත්තෝ යට යන ගල "යට යනවා" කියලා දන්නවා( එය උඩ පා වේ වා" කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන්නේ නැහැ. කවුද ඒ? දුක්‌ඛ-සමුදය- නිරෝධ-මාර්ග කියන මේ හතර අවබෝධ කරගත් කෙනා.
ඔන්න ඔය සත්‍ය හතරේ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, මේ උතුම් ධර්මය අවබෝධ කර නො ගෙන අවුරුදු සීයක් වුණත් හිස් ජීවිතයක්. අවබෝධ කරගෙන එක් දවසක් ජීවත් වුණත් වටිනවා කියලා.
මේ ධර්මතා හතර හැම දා ම අපේ ජීවිතවල පවතින ඇත්තක්. ඒත් අපි දන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතා හතර අප තුළ හැම දා ම පවතින, ලෝකය තුළ හැම දා ම පවතින, එහෙත් ලෝකයට නො පෙනෙන ඇත්ත. ඔය ඇත්ත හතර පහදලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ලොව පහළ වුණේ.
මං දැන් ඒක මතක් කරනවා ටිකක්. අවබෝධයේ පහසුව සඳහා මම හැම දේශනාවකින් ම එක් පර්යායකින්, මේ එක ක්‍රමයකින් චතුරාර්ය සත්‍යය පොඩ්ඩක් මතක් කරනවා. ඒක අපට තේරුම් කරගන්න පහසුව සඳහා. හැබැයි මෙතැන දි අපි ටිකක් දක්‌ෂ වෙන්න ඕනෙ මේ පෙන්නන්න හදන කාරණාව ගැඹුරුයි. මේ දහම, ස්‌වභාවයෙන් ම ටිකක් ගැඹුරුයි, ඒකයි මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට හේතු තියන එක පුද්ගලයෙක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සමහර විට යොදුන් ගානක් පයින් වඩින්නේ. එක් පුද්ගලයෙක් වෙනුවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අනෙක් අයට කරුණාව නැද්ද? එක්‌කෙනකුට විතර ද කරුණාව? නැහැ. මේක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. නැත්නම් අහන පමණකින් ඔක්‌කොට ම තේරෙනවා නම් ලෝකයේ කෙළවරකින් පටන් අරගෙන අනෙක් කෙළවර දක්‌වා ම දේශනා කර කර ගිය හැකියි බුදුරජාණන් වහන්සේට. මොකද, බුදුරජාණන් වහන්සේට තමන් ගේ රාහුල කුමාරයාත් අපත් අතර එහෙම වෙනසක් නෑ. කව්රුත් එකයි නේ ද?
එහෙනම් මේ දහම ස්‌වභාවයෙන්ම ටිකක් ගැඹුරුයි. එතකොට, ගැඹුරු දහමක් වුණත් අර්ථය පෙනෙන්න අර්ථය ලිහිල් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. ඕනවට වඩා අර්ථය ලිහිල් කරලා, ලිහිල් කරලා, එතනින් එහාට ලිහිල් කරන්න බැහැ. මෝඩ අපේ මනසට තේරෙන මට්‌ටමට දහමක අර්ථය ලිහිල් කරලා, අර්ථය ලිහිල් කරන්න පුළුවන් වුණොත් ඒක මෝඩ දහමක් වේ වි. ඇයි? ඉතින් අපි මෝඩ නම් අපේ මට්‌ටමට තේරෙන්න අඩු කරන්න පුළුවන් නම් ඒක මෝඩ දහමක් වෙලා නැද්ද? පේනවා නේද? පේනවා. එහෙනම් දහමේ අර්ථය ලිහන්න පුළුවන් එක්‌තරා සීමාවක් තියනවා. එතැනට ලිහලත් නො තේරුණහම ඊට පස්‌සේ දහමේ අර්ථය ඊට වඩා ලිහන්න බැහැ. ඒක එතැනින් නතර කරන්න වෙනවා. ඒ දේ ගන්න පුළුවන් මට්‌ටමට ඔරොත්තු දෙන්න අපිව හදාගන්න වෙනවා. ඒකයි දහම දේශනා කළහම තේරුණේ නැත්නම් ඊගාවට සීලයක පිහිටල නීවරණ ධර්ම දුරුකරගන්න කියන්නේ. එතැන දී අපිව හදාගෙන මේ ටිකට ඔරොත්තු දී ගන්න වෙනවා. නැත්නම් අපි ඉන්න අපේ මෝඩ නීවරණ සහගත මට්‌ටම අඩු කරලා පෙන්නන්න බැහැ. එහෙම පෙන්නන්ඩ වුණොත්, ඒක ද අප ආපහු ඉන්න තැන ම මගේ ම දර්ශනයක් වුණා මිසක විශේෂයක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තුළ ද එතකොට හම්බවෙන්නේ අර මෝඩ දහමක් නිසා.
රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් පැවැත්වූ දේශනයක දෙවැනි කොටසයි මේ.
සංයුක්ත නිකායේ ආනන්ද සූත්‍රය, රාධ සූත්‍රය වැනි සූත්‍ර ගත්තහම බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවොත්, රාධ හාමුදුරුවොත් ගිහිල්ලා අහනවා: “භාග්‍යවතුන් වහන්ස, ලෝකය ලෝකය කියනවා. කොපමණකින් ලෝකය වෙනවද?” කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, “ආනන්ද, ඇහැ ලෝකයයි. චක්ඛු විඤ්ඤාණය ලෝකයයි. කන ලෝකයයි. සෝත විඤ්ඤාණය ලෝකයයි...” මේ ආකාරයට අටළොස් ධාතුව ගැනම පෙන්නලා “බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය පනවමි” කියලා දේශනා කළා. ලෝකය යනු අටළොස් ධාතුව බව රාධ සූත්‍රයෙනුත් පෙන්නුවා. මේ සූත්‍ර දෙක එකට ගත්තහම අපිට හම්බ වෙනවා මේ පෙන්නන කාරණා ටික බඹයක් පමණ ශරීරය තුළින් දැකිය යුතුයි කියලා. එක සූත්‍රයකින් පෙන්නුවා බඹයක් පමණ ශරීරය තුළින්
ලෝකය දැකිය යුතුයි කියලා. අනිත් සූත්‍රයෙන් පෙන්නුවා ලෝකය කියන්නේ අටළොස් ධාතුව කියලා. මේ සූත්‍ර දෙක එක ළඟට ගත්තහම මේ බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය දැකිය යුතුයි කියන උත්තරය ආවා.
මෙසේ සූත්‍ර අනුව ගළපලා ගන්න උත්තර පෞද්ගලික අදහස් නොවන නිසා කවදාවත් වරදින්නේ නෑ. ඔබත් අර්ථ ගැනීමේදී මේ විදියට ගන්න පුරුදු වෙන්න.
දැන් ඔන්න අපට තවත් ප්‍රශ්නයක් පැන නගිනවා. ඇහැ - චක්ඛු විඤ්ඤාණය, කන - සෝත විඤ්ඤාණය. බඹයක් පමණ ශරීරයෙන් දකින්න පුළුවන්. එහෙත් රූපය, ශබ්දය මේ ශරීරය තුළින් දකින්නේ කොහොමද කියලා සාධාරණ ප්‍රශ්න ටිකක් එනවා. දැන් අපේ පර්යේෂණය වෙන්න ඕන මම කොහොමද රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්භ හා ධම්ම කියන ටික මේ බඹයක් පමණ ශරීරයෙන් දකින්නේ කියලා. ඔය ටික දකින ක්‍රමයයි
හොයාගන්න ඕන. ආයතන ටිකේ පහළවීම ම ලෝකයේ පහළවීමයි, ආයතන ටිකේ පැවැත්ම ලෝකයේ පැවැත්මයි, ආයතන ටිකේ නිරෝධයම ලෝකයේ නිරෝධයයි කියන තැනට අපේ මනස ගන්නට ඕන. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස,පොට්ඨබ්භ, ධම්ම කියන බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ශරීරය තුළින්ම දකින තැනට ඉබේම ඔබගේ මනස නිර්මාණය වෙනවා; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි, ආයතන ටිකේ පැවැත්මම ලෝකයේ පැවැත්මයි, ආයතන ටිකේ නිරෝධයම ලෝකයේ නිරෝධයයි කියන දර්ශනය ඉබේටම එනවා.
පටිච්චසමුප්පාදය හේතුවෙන් මෙසේ සිදු වන බවයි දේශනා කළේ. පුරුක් එකින් එකට සම්බන්ධ වෙලා දම්වැල හැදෙනවා වගේ, එකින් එක සම්බන්ධ වීමක් මේකේ තියෙනවා. මෙන්න මේ සම්බන්ධතාව ඔස්සේයි මනස ගෙනියන්නට ඕන. හැම වෙලාවෙම පටිච්ච සමුප්පාදය ගවේෂණය කරද්දී ඉස්සරහට විතරක් බලන්නට එපා. පිටිපස්සටත් බලන්න. “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා පටන් ගත්තට, අර්ථය ගනිද්දී අනිත් පැත්තටත් බලන්ට.
“අවිජ්ජා පච්ච
යා සංඛාරා.” මේ සංඛාරය එහෙනම් කුමක් හා බැඳිලද, කුමක් හා ගැටිලද, කුමන ගතියකින්ද තියෙන්නෙ, කියලා සංඛාරයේ ගති හැටියට මේ පින්වතුන්ට අවිද්‍යාව අහු වෙන්නට ඕනෑ. විඤ්ඤාණය කියන්නේ මොකක්ද, ඒකේ ගති මොනවාද, ඒක ඇති වුණේ කොහොමද, විස්තර කරන්නේ කොහොමද, කියලා බැලුවම සංඛාරය හසු වෙන්ට ඕන.
“තණ්හා පච්චයා උපාදානං” කියලා තණ්හාව තියෙන අරමුණේම උපාදානය දකින්න එපා. ඒක අනිත් පැත්තටයි දකින්න ඕන.
අපි ඔක්කෝම මුහුදේ නැවක යනකොට නැව කැඩිලා මුහුදුබත් වුණොත් අපි වතුරට වැටෙනවා කියලා හිතන්න. වතුරට වැටුණාම ළඟටම පා වෙලා ආපු ලී කොටයක් හරි, රබර් කෑල්ලක් හරි මොනවා හරි අපි අල්ලාගන්නවා. දැන් බලන්න පා වෙලා ආවේ අශූචි බේරෙන පණුවො ගහපු කොට කෑල්ලක් කියලා. ඔය කොටේට කවුරුත් තණ්හා කරන්නේ නෑ. තණ්හාවෙන් අල්ලාගන්නේ නෑ. මෙහෙට, මේ ජීවිතයට තියෙන තණ්හාව නිසයි මෙහේ කොටය ඇල්ලුවේ.
වතුරට වැටුණ නිසා, කොටේ අල්ලන්න හේතු සකස් වුණ නිසා අල්ලනවා වගේ අර්ථයකින් බැලුවොත් මේකෙ අර්ථය බලාගන්න පුළුවන්.
මෙතැනදී “අච්ජ්ජා පච්චයා සංඛාරා” කියන තැනට මම එක පාර්යායක් කියලා දෙන්නම්. අපි කවදාවත් ම දැනගෙන හිටියේ නෑ. අහලත් නෑ. ආයතන ටිකේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම; ආයතන ටිකේ නිරෝධයමයි ලෝකයේ නිරෝධය කියලා. ඇත්ත ඇති හැටියෙන් දන්නෙම නෑ (අවිද්‍යාව) කියනකොට ඔය දර්ශනය නොදන්නාකමයි කියන තැනටම යනවා. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් සංඛාරය යනු, ඉපදෙන කොටත් තිබුණා. ඉපදුණාට පසුවත් තියෙන දේම ඇසුරු කරනවා. අපි මැරුණාට මේ දේ තියෙනවා කියන මට්ටම තමයි අපිට තියෙන්නේ. ඔය සන්තති වශයෙන් මම කරගත්ත එකේ තියෙන ඔය ලක්ෂණය හැදුණෙ ක්ෂණිකව ක්ෂණිකව අරමුණෙහි ඇති වන මෝඩකම නිසයි. ඒ කියන්නේ හැම අරමුණකම තිබුණ, තියෙන දේමයි දකින්නේ. අපි ගියාට දැකපු දේ තියෙනවා කියන මට්ටමයි හැම අරමුණක් ගානෙම තියෙන්නේ. එහෙම ක්ෂණිකව ඇති වන මෝඩකම තමයි සන්තතියක් හැටියට අහු වෙන්නේ.
ඒ වාගේ ක්ෂණික ක්ෂණික අරමුණු ටිකේ ඇත්ත නොදකින කොට ජීවිතය කියල එකක් හැදිල සතිය හැදෙනවා. ඊට පස්සෙ මාස අවුරුදුවලින් ජීවිතය කියන එක මනිනවා. කුඩා කාලයේ ඉඳලම අපිට ලෝකය හැදුණෙ ඔහොමයි.
කෙනෙකුට ඔන්න අද ඉර පායලා, බැස්ස. ඉවරයි. දවස් එකයි. හැබැයි එක ගාවට දෙකක් නෑ. එකයි එකයි දිගටම. එකක් කියන්ටත් බෑ. එකක් කිව්වොත් නේ දෙකක් කියන්නට වෙන්නේ!
ඊගාව දවසෙදිත් ඉර පායනවා බහිනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙවී ජීවත් වෙනවා. දින, සති, මාස නෑ. මේ කිව්වෙ සිද්ධ වෙන යථාර්ථයයි.
එහෙත් ලෝකයේ එහෙම වෙන්නේ නෑ. ලෝකය ප්‍රඥප්තියක්, සම්මතයක්. ඒ ලෝකය කියන බොරුව හඳුනාගන්නයි මෙහෙම පෙන්නන්නෙ.
කෙනෙකුට ඒ ඒ දවසෙ ජීවත් වෙන්ට වුණොත් එයාට සති, මාස, අවුරුදු කියලා හමු වන්නේ නෑ වගේ, දකින්ට ඉස්සර වෙලත් තිබුණා නොවෙයි, දැක්කයින් පස්සෙත් තියෙනවා නොවෙයි, අවස්ථාවට හැදිලයි පෙනෙන්නේ කියල කෙනෙකුට මේ වගේ දර්ශනයක් ලැබුණොත්, ක්ෂණික ස්පර්ශයක නිරෝධය හමු වුණොත් එයාට මේ වාගේ ජීවිතයක් නෑ. ක්ෂණික නිරෝධයක් මිස පවතින ජීවිතයක් හමු නොවෙයි. එහෙම වුණොත් තරුණ කාලය, කුඩා කාලය, මහලු කාලය කියලා නැති වෙයි එයාට. අර දිනවලින්, සතිවලින්, මාසවලින් හා අවුරුදුවලින් ගන්නේ නැත් නම් මේ දුක එන්නේ නෑ.
“අවිජ්ජා පච්චයා සංඛාරා” කියන තැන ලක්ෂණය තමයි, දකින්නට ඉස්සර වෙලත් ඒ වස්තු තිබුණා, දැක්කට පස්සෙත් ඒ වස්තු තියෙනවා කියන-එක.
“සංඛාරා පච්චයා විඤ්ඤාණං” කියනකොට අපි මෙහෙම ජීවත් වෙලා මරණාසන්න මොහොතට පත් වෙනකොට, ඔය කලින් දැකලා තියෙනවා කියන ගෙවල්දොරවල්, ඉඩකඩම්, අම්මතාත්තා, දූදරුවෝ ආදි මේ අප්‍රමාණ දේවල්වලින් එකක් තමයි මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙනේනේ.
ඒ මරණාසන්න මොහොතෙදි සිහි වෙන දේට තමයි කර්ම නිමිත්ත කියන්නේ. මේ වගේ, ආයතනවල නිරෝධය නොදැක; ‘ඔක්කොම තියෙනවා’ කියන මට්ටමක අපි ජීවත් වෙන කොට, මරණාසන්න මොහොතෙදී ‘තියෙනවා තියෙනවා’ කිව්ව නිමිත්තක් ඉදිරිපත් වීම තමයි කර්මය කර්ම නිමිත්ත කීවෙ. ඒ නිමිත්ත දිහා බලාගෙන ඉන්න කොට, ඒ නිමිත්ත කෙරෙහි තිබෙන කැමැත්ත නිසාම, නැවතත් එබඳු දෙයක්ම ඕන කරන නිසාම, ඒ වාගේ දෙයක් ලබා දෙන්න පුළුවන් මට්ටමටයි ප්‍රතිසන්ධි විඤ්ඤාණය හැදෙන්නේ. ඒ කාරණය වෙනම ටිකක් විස්තර කරන්නම්.
ඊට පස්සේ ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තාට පස්සේ ඒ ප්‍රතිසන්ධි සිතේ තිබෙන ලක්ෂණවලට අනුවම තමයි නාම රූප දෙක හැදෙන්නේ. ඒ නාම රූප දෙකේ ගති ලක්ෂණවලට අනුව තමයි ආයතන සකස් වෙන්නේ. ස්පර්ශයේ ගති ලක්ෂණ මට්ටම වෙනස්කම මතමයි වේදනාව වෙන්නේ. වේදනාව - අපි විඳින තැන – විඳින්නට වෙන්නේ තවදුරටත් අබ ඇටයකින් කෝටියකින් පංගුවක තරම්වත් ලෝකයේ තිබෙන දෙයකින් නොවෙයි.
“සළායතන පච්චයා ඵස්සො - ඵස්ස පච්චයා වේදනා.” අපි යමක් විඳිනවා නම් විඳින්නේ ස්පර්ශය මතයි කියන-එක මෙයින් කියවෙනවා. ඒ වගේම සළායතන පච්චයා ඵස්සො කියන-එකෙන් කියැවෙනවා වෙන කිසිම ආකාරයකට හරි. තමන්ට කැමැති කැමැති ක්‍රමයට හරි, ස්පර්ශය කියන-එක සිද්ධ වෙන්නේ නෑ. ආයතනවල මට්ටමටයි ස්පර්ශය වෙන්නේ කියල. ඒ නිසා ස්පර්ශය හැකියාව බලය තියෙන්නේ ආයතන මතයි.
“නාමරූප පච්චයා සළායතනං.” මගේ ඇහැ පවත්වන්න මට ඕන විදියට බැහැ. මේ ආයතනවල බලය පවතින්නේ නාම රූප දෙකේ මට්ටමටයි.
“විඤ්ඤාණ පච්චයා නාමරූපං.” නාම රූප දෙක අපිට ඕන විදියට පවත්වාගන්න බැහැ. සිතට (විඤ්ඤාණයට) අනුවයි නාම රූප දෙක හැදෙන්නේ.
“සංඛාර පච්චයා විඤ්ඤාණං.” විඤ්ඤාණය පවත්වාගෙන යන්න කාටවත් ඕන විදියට බැහැ. කර්මයට අනුව එය සිදු වන්නේ.
“අවිජ්ජා පච්චයා සංඛාරා.” කර්මය කියනකොට තමන්ට ඕන විදියට බෑ. අවිද්‍යාවේ මට්ටම මතයි එය සිදු වන්නේ.
මේ සිද්ධියෙන් කියැවෙනවා පුරාණ කර්මය මතම හැමෝම විඳිනවා මිසක අර මුලින් කිව්වා වාගේ අබමල් රේණුවක තරම්වත් ලෝකයේ දෙයක් කවුරුත් වින්දෙත් නෑ. විඳින්නෙත් නෑ.
මෙතැනදී කෙටියෙන් මතක් කළොත්, ඔබ දන්නේ නැතිව ඇති අපි මේ ක්ෂණික අරමුණුවල නිරෝධය නොදන්නාකම නිසයි මේ සන්තතිය කියලා එකක් තියෙන්නේ. ක්ෂ
ණික අරමුණුවල නිරෝධය නොදන්නාකම තමයි අවිද්‍යාව, අවිද්‍යාවෙන් හටගත්ත සංඛාරය තමයි අපි දකින්නට ඉස්සර තිබුණා දැක්කයින් පස්සෙත් තියෙනවා, තියෙන දේ අපිට හමු වෙනවා කියන-එක. ඔය අද අපි දකින මට්ටමයි.
ඔන්න මරණාසන්න මොහොත ළං වන කොට ප්‍රතිසන්ධි වශයෙන් මව් කුසකට බැසගන්න සිතේ අර කරපු කියපු කර්මයේ සියලු ගති එහෙමම තියෙනවා සංඛාර පච්චයා විඤ්ඤාණං කියපු තැන මේ විඤ්ඤාණය නිකම්ම විපාක සිතක් නොවෙයි. ඒ කරපු කර්මයේ, කුසලයේ හෝ අකුසලයේ, තියෙන එම කර්මවල සියලු ගති ස්වභාවයන් සියල්ලම ප්‍රතිසන්ධි සිතේ තියෙනවා. ප්‍රතිසන්ධි වශයෙන් මේ විඤ්ඤාණය රූපයකට බැසගත්තට පස්සේ රූපය කියන කොට ඒ අවස්ථාවේදී පවතින බීජ කළලයේ ප්‍රමාණය පෙන්නනවා, අශ්ව ලෝමයක් තල තෙලේ ඔබලා දාහත් වතාවක් ගැසුවහම ඉතිරි වන තෙල් ප්‍රමාණය වැනි ඉතා සියුම් ප්‍රමාණයකුයි රූප කළලයේ ප්‍රමාණය කියලා. ඔන්න ඔතෙන්ට තමයි අපි දැන් එන්නේ.
සම්පූර්ණයෙන්ම කර්මයේ ගතිස්වභාවය තියෙන්නේ ඒ සිතේ තමයි. කර්මයේ තියෙන ගතියට අනුව ප්‍රතිසන්ධි සිත ඇති වුණහම ඒ සිතේ නාම රූප දෙක හදන්න ඕන හැකියාව තියෙනවා. සිතේ තියෙන වේදනා, සංඥා, චේතනා කියලා නාම ධර්ම ටිකේ රූපී ස්වභායක් තියෙනවා, නුවණින් දැනගත යුතු කිසිම අවස්ථාවක ගැටෙන්නේ නැති, රූපී ස්වභාවයක් පවතින ඉත්ථී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය හා ජීවිත ඉන්ද්‍රිය රූප තුනක් නාම ධර්ම ඇසුරු වෙලා තියෙනවා. කනබොන ආහාරයෙන් රූපය කියන-එක තීරණය වන්නේ ඔය ඉන්ද්‍රිය රූපවලට අනුවයි.
ඒක උපමාවකින් බලමු: නුග ඇටයක් ගත්තොත්, ඒ නුග ඇටය පොළොවේ පස්වල ඇති ඕජා සාරය උරාගෙන ගහ හැදිලා, අතු ඉති බෙදිලා, මහ විශාල ගහක් බවට පත් වෙනවා. ඒ වාගේම තල් ඇටයක්, පොල් ගෙඩියක් හිටෙව්වොත් පොළොවේ සාරය උරාගෙන අතු ඉති බෙදෙන්නේ නැති ගහක් හැදෙනවා.
මේ අනුව අපිට පෙනෙනවා, පොළොවේ තියෙන සාරයට (ආහාරයට) මේ ගහ අතු ඉති බෙදෙන විදියට හෝ අතු ඉති නොබෙදෙන විදියට හදන්න කිසිම හැකියාවක් නෑ. ඒකෙන් කරන්නේ ගහේ වැඩීමට උදව් කරන-එක පමණයි. පොළොවේ තිබෙන ඕජා සාරය උරාගෙන අතු ඉති බෙදෙන විදියට හෝ නොබෙදෙන විදියට ගහ හදන්න හැකියාව තියෙන්නේ බීජයේයි. අපි ගහක් කියලා හඳුන්වන්නේ ඒ බීජයේ තියෙන ගතියත් පොළොවේ තිබෙන සාරයත් කියන දෙක නිසා හැදුණ ඵලයයි.
ඒ තමයි බීජ ගතිය කියලා ඔහොම හැදිච්ච ගහ තුළින් දකින්ටත් එපා. ඒ ගහ පැවැත්මට උපකාර වෙච්ච පොළොවේ සාරය, ආහාරයේ ගතිය හැටියට දකින්නටත් එපා. මේ දෙන්නා නිසාමයි ගහ හැදුණේ. අතු ඉති නොබෙදී, පොළොවේ සාරය අරගෙන, ගහ හදන්න ඕන ශක්තිය තියෙන්නේ, ඒ තල් ගෙඩිය හෝ පොල් ගෙඩිය ඇතුළේයි.
ඒ වාගේ අපි කෙනෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කරවන්න. කන බොන බත්, පාන්, කව්පි, මුං ඇට වැනි ආහාරවලට කිසිම හැකියාවක් නෑ. කෙස් ඇති වෙන්න ඕන, රැවුල් ඇතිවෙන්න ඕන කියලා ආහාරයට බෑ ඒවා කරවන්න. කනබොන ආහාරපාන ටික අරගෙන මේ රූපය හදන්න ඕන මේ විදියටයි කියන හැකියාව තියෙන්නේ අර ප්‍රතිසන්ධි විඤ්ඤාණය කියන බීජය ඇතුළෙයි. ඒකයි විඤ්ඤාණ පච්චයා නාමරූපං කියනකොට කියනවා, ඒ ප්‍රතිසන්ධි සිතත් ඒ සිතේ පැවැති නාමරූප ධර්මවලටත් අනුවයි මේ රූපය හැදෙන්නේ කියලා.
ප්‍රතිසන්ධි විඤ්ඤාණයට අනුවයි නාම ධර්ම. ඒ නාම ධර්මවලට අනුවයි රූප ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැටියට අත් නැතිව, කන් නැතිව, ඇස් නැතිව, කකුල් නැතිව කියලා බෙදීම්වලට බෙදලා රූප හදන්නේ ඒ නාම ධර්මවලට අනුවයි.
ඒ අනුව රූපය හැදීමේ බලය තියෙන්නේ විඤ්ඤාණයටයි.
ප්‍රතිසන්ධි වශයෙන් එනකොට ආපු සිතේ නාම ධර්ම ටිකක් තියෙනවා, ඉත්ථී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය හා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒ තුළ මුළු ජීවිතයම හදන්ට ඕන හැටි තියෙනවා. ගන්න ආහාරවල ඕජාව රාශි වෙන්නේ ඒ ඉන්ද්‍රිය රූපවලට අනුවයි.
හැබැයි හොඳට දකින්න විඤ්ඤාණය සකස් වෙලා තියෙන්නේ කර්මයට අනුවයි. සිතේ තියෙන්නේ කර්මයේ තිබෙන ලක්ෂණයයි. නාම රූප දෙක හැදෙන්නේ ඒ සිතේ තියෙන ලක්ෂණයට අනුවයි. දැන් ඇහැ, කන, දිව, නාසය යන ආයතන ටික හැදෙන්නේ මේ නාම රූප දෙකේ හැදුණු විදියටයි. ස්පර්ශයේ වෙන්නේ ආයතනවල හැටියටයි. විඳින්නට වෙන්නේ ස්පර්ශයේ හැටියටයි.
අපි හැම කෙනෙක්ම විඳින්නේ අපේ කර්මය කියලා මෙතැනින් කියවෙනවා.
ප්‍රතිසන්ධි සිත හැදුණේ අපේ කර්මයට අනුව නම්, නාම රූප දෙක හැදුණේ ප්‍රතිසන්ධි සිතට අනුව නම්, ඒ ආයතන හැදුණේ නාම රූප දේකට අනුව නම්, ස්පර්ශයේ හැදුණේ ආයතනවල හැටියට නම්, විඳින්නට වෙන්නේ ස්පර්ශයේ හැටියට නම්, කියන මේ සිද්ධිය නොදන්නාකමම හේතු වෙනවා, වේදනාව මගේ මගේ කියලා තණ්හා ඇති කරන්නට. ඒකම ආපහු කර්මයක් බවට පත් වෙන්න හේතු වෙනවා.
මෙතැනදී මේ මතක් කළේ මේ ලෝකය හැදුණේ, ලෝකය හම්බ වුණේ මේ ස්පර්ශය කියන තැන හැදුණේ මේ ආයතන ටික නිසයි. ආයතන හැදුණේ මෙහෙමයි කියල පෙන්නල දීලා තියෙන මේ පටිච්ච සමුප්පාදයෙන් කියැවෙන්නේ අපි ලෝකයේ විඳින්නේ, අපිට ලෝකය කියලා හම්බ වෙන්නේ දශමයක්වත් බාහිරය නිසා නොවෙයි. මෙහෙ තියෙන (අධ්‍යාත්ම) කාරණා නිසයි. එනම් කිසිම බාහිර දේකින් නොව, තමා තුළම තිබෙන තණ්හාව නිසා බවයි.
ඕකට උපමාවක් කිව්වොත්: අපි කියමු, දැනට ලංකාවේ තියෙන උසම ගොඩනැගිල්ල කොළඹ තියෙන ලංකා බැංකු ගොඩනැගිල්ල කියලා. අපි මෙහෙ ඉඳලා වාහනයකින් එතැනට ගිහිල්ලා. ලිෆ්ට්-එකෙන් ඒ තියෙන තට්ටු තිස් ගණනම නැගලා, උඩටම ගිහිල්ලා බැලුවොත් අපට ඈත පෙනෙයි. එහෙම ඈත බලාගෙන ඉන්නකොට, මේ ඈත පෙනෙන සිද්ධිය, පෙනෙන බව, ඇති වුණේ කුමක් නිසාද – අපට හිතෙන්නේ එක්කෝ මුහුද නිසා, මිනිස්සු නිසා, මුහුදෙ තියෙන බෝට්ටු ටික නිසා, කියලා නේ. ඒ පෙනෙන දේට තණ්හාව නැතුව ඉන්නට ඕන කියලා, අපි කරන්න ඕන, ‘අනේ ඔය මුහුදත් අනිත්‍යයි, මුහුදෙ තියෙන බෝට්ටුත් අනිත්‍යයි නේ’ කිය-කිය හිතන-එකද? හොඳට බලන්ට, නුවණක් තියෙන කෙනෙකුට නම්, මේ පෙනෙන දේ අනිත්‍ය දකින්න මෙහෙම පුළුවන්ද? පෙනෙන දේ ඇති වීම නැති වීම දකින්ට නම් බෝට්ටු, මුහුද, මිනිස්සු නිසා පෙනෙනවා; ඒවා නැති වෙන කොට පෙනෙන දේත් නැති වෙනවා කියලා හිතුවොත් හරි යයිද? නෑ. මෙතැන බලන්නට වෙන්නේ අනිත් පැත්තටයි.
හොඳට බලන්ට; ගොඩනැගිල්ලට නැගුණු නිසාම පෙනෙනවා, ගොඩනැගිල්ලෙන් බැස්සහම පෙනිච්ච දේ නැති වෙනවා කියලා කිසියම් වෙලාවක පෙනෙන දේත්, පෙනෙන දේ ඇති වෙන හැටිත්, නැති වෙන හැටිත් බලන්න ගියොත් පෙනෙන දේට නැඹුරු වන්ට මට බැරි වෙයි. ඉදිරියෙන් තිබෙන දේ නිසයි පෙනෙන්නේ, පෙනෙන දේ ඉදිරියෙන් තියෙනවා කිව්වොත්, එහෙම කියන්නේම, පෙනෙන දේ ඇති වෙච්ච හැටි හා නැති වෙච්චි හැටි මම දන්නෙ නැති නිසයි.
එතකොට මම රූපයට නැඹුරු වෙලා. රූපයේ පටිච්ච සමුප්පන්න බව බලන්න මම යොමු වෙලා නෑ. ඒ ගැන හිතලාම නෑ. මොකද, පෙනෙන දේ ඇති වුණේ මුහුද නිසා, අහස නිසා නොවෙයි නේ. මුහුදත්, බෝට්ටුත් තිබුණේ නැත් නම් හිස් බව හරි අහසේ පෙනෙයි මට. එතැන තියෙන ධාතු නිසා පෙනුණේ කියන-එක මෙතැනට අදාළ වෙනනේ නෑ.
මේ වගේ උපමාවක් ගත්තේ උස ගොඩනැගිල්ලක් වගේ තැනකට නැග්ගත්, ඈතින් ඉස්සරහ ඉන්න අයයි තියෙන දේවලුත් තමයි පෙනෙන්නේ කියනවා මිසක්, සැබැවින්ම ඒ පෙනීම ඇතිවෙච්චි හැටි මේ පින්වතුන් දන්නේ නැති බව කියන්නයි.