සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

පස්මහ බැලුම් බැලුවේ ඇයි?

රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, 
විලේගොඩ අරියදේව හිමි

බෝසත් දිව්‍ය රාජයණන් වහන්සේ මිනිස් ලොව මවුකුසක පිළිසිඳ ගන්නේ කාලය, දීපය, දේශය, කුලය , මව යන පස්මහ බැලුම් බැලීම හෙවත් පංච මහා විලෝකනය කිරීමෙන් අනතුරුවය. පස්මහ බැලුම් තුළ තිබෙන්නේ කිසියම් ඓතිහාසික වූ ද, පාරිසරික වූද, අධ්‍යාත්මික වූද හේතුන් කොටසකි.
බුදු කෙනෙක් ලොව පහළ වීම දුර්ලභ, අසීරුම අවස්ථාවකි. මනුලොව පරමායුෂ අවුරුදු විසිදහස, දස දහස පමස වන කාලයන්ද තිබේ. එවැනි කාලයක බුදු කෙනෙක් ලොව පහළ වන්නේ නැත. ඊට හේතුව ඒසා දීර්ඝ කාලයක් ජීවත්වන මිනිසාට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වභාවයන්හි ඇති දුක් සහිත බව වේදනා සහිත බව තේරුම් ගත නොහැකි වීමය. එහෙත් මිනිස් පරමායුෂ අවුරුදු සියයක් වන කල්හි ඒ සියල්ල අත්විඳින්නට ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වන්නේද මේ පරමායුෂ සීමාවේදීය.
පස්මහබැලුම් තුළ වූ ‘කාලය’ නම් කාරණය තුළ ඇත්තේ එම පරමායුෂ සීමාවය.
එකල මිනිසුන්ගේ ජීවිතයන්හි ඉතා සංකීර්ණ බවක් තිබුණි. සිදුහත් කුමරු මහබිනික්මන් කළේ සතර පෙරනිමිති දැකීමෙන් පසුව බව අපි දනිමු. එහෙත් ඊට පෙර ජීවිතය ගැන අවබෝධ වන්නට, දුක හඳුනා ගන්නට කුමරු ප්‍රඥාවන්ත නොවූයේද? එලෙස එම සිදුවීම ලඝු කොට නොසිතිය යුතුය. සිදුහත් කුමරු දකින්නේ සතර පෙරනිමිති පමණද?
ක්‍රි.පූ. හයවන සියවසේ භාරතයේ රාජාණ්ඩු, ගෝත්‍රික , සමූහාණ්ඩු පැවතුණි. මානව ශිෂ්ඨාචාරයේ දියුණු වූ මහා ජනපද දහසයෙන් දාහතරක්ම අයත්වූයේ බුදුරදුන් පහළ වු දේශයටය. ඒ අතරින් නාගරික දියුණ ූ ශිෂ්ටාචාරයක් ඇති මගධය, කෝසලය ප්‍රධාන රාජාණ්ඩු බවට පත්විය. මේ රාජාණ්ඩු අතර සේම, කුඩා රාජ්‍ය අතරද පැවතියේ භයානක තත්ත්වයකි. ප්‍රධාන රාජාණ්ඩු නිතරම කුඩා රාජ්‍ය බිලිගන්නට යුද්ධ කළ අතර රාජාණ්ඩු අතරද සාගත, කැරලි කෝලාහල භයානක යුද්ධ ඇතිවුණි. උදාහරණ ලෙස රෝහිනී නදියට ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධ කරන්නට සැරසීම දැක්විය හැකිය.
අත්ථ දණ්ඩ සූත්‍රයේදී මේ සමාජ පාරිසරික තත්ත්වය ගැන බුදු හිමියන් විස්තර කළේ
“අත්ථ දණ්ඩං භයං ජාතං 
ජනං පස්සත මේධගං 
සංවේගං චිත්ත යිස්සාමී 
යතා සං විජිතං මයා...”

“ගිහිව සිටින කල කාය දුශ්චරිතවල යෙදෙන මිනිසුන් මම දුටුවෙමි. එකිනෙකා විනාශ කරගෙන කලහ කරන සැටි දුටුවෙමි. මට දැඩි සංවේගයක් ඇතිවුණි. භයක් ඇතිවුණි. ” යනුවෙනි.
මේ ලෙස බෝසතාණන් වහන්සේ තමන් ජීවත්වු ප්‍රදේශයේ තිබු සමාජ දේශපාලන. අර්බුදයන් දුටුවහ. ඒ ගැන කලකිරුණහ.

භයානකම දේ පියා මරා රජවෙන බල ලෝභී මානසිකත්වයකින් යුතු යුගයක් වීමය. එමෙන්ම කොසොල් රජු විඩූඪභ නිසා මරණයට පත්වන්නේ රජගහනුවර ප්‍රවේශ ද්වාරය අසළ සීතලෙන් ගැහි ගැහී සිටින අවස්ථාවකය. අජාසත් රජු ලිච්ඡවීන්ට එරෙහිව අවුරුදු හතක් යුද වැදුනි. මේ ලෙස දේශපාලන අවුල් වියවුල් නිසා, තෘෂ්ණාව නිසා අසහනකාරි ආදිනව විඳින යුගයකය, බුදුරජාණන් වහන්සේ මානව වර්ගයා අතරට එන්නේ. ‘දීපය’ ලෙස සලකනු ලැබුවේ මේ සමාජ, ආර්ථික , දේශපාලනික පරිසරයයයි.
එකල ඉන්දියාවම මහා දාර්ශනික ප්‍රබෝධයක් ඇතිවී තිබූ කාලයකි. ෂට් ශාස්තෘවරු පහළ වූ, හැට දෙකක් පමණ වූ දෘෂ්ඨීන්ගෙන් යුතු වූ , ජටිල, පරිබ්‍රාජක, නිගණ්ඨ. පබ්බජිත, අචේලක ආදි සම්ප්‍රදායන් රාශියක් තිබු යුගයකි. සමාජ, දේශපාලනික, ආර්ථික, අසහනකාරි ස්වභාවයන් නිසා මිනිසුන් ජීවිතයේ සැනසුම සොයා ගිය යුගයකි.
බෝසතාණන් වහන්සේ විසඳුම්, සොයන්නට පෙළඹෙන්නේ මෙසේ දිය සිඳුණූ විලක දඟලන මත්ස්‍යයන් සේ පීඩිත වු මිනිසුන් කෙරේ උපන් සංවේගයකිනි. එක පැත්තකින් අසහනකාරී බව තිබිය දි තවත් පැත්තකින් අධි සුඛෝපභෝගී ජීවිත ගෙවු පිරිස් වූහ. පාඨලී පුත්ත හරහා රජගහ නුවර දක්වා, තාම්රලිප්ත යේ සිට බරණැස දක්වා, සැවැත් නුවර සිට පකිස්ථානය දක්වා, රජගහනුවර සිට බරණැස් නුවර දක්වා ආදි ලෙස ප්‍රධාන වෙළෙඳ මාර්ග බිහි වී තිබුණි. ඒ පසුබිමත් සමඟ මිනිසුන් කාමසුඛල්ලිකානු යෝගී බවේ අන්තයටම ගමන් කළ කාලයකි. සිදුහත් කුමරුටද ඒ ජීවිතය අත්විඳින්නනට බල කළ ස්වභාවයක් අපි දකිමු. රම්‍ය, සුරම්‍ය, සුබ මාලිග, කාන්තාවන්ගේ නෘත්‍ය දර්ශන ආදි මේ සෑම දෙයක් තුළින්ම පසිඳුරන් පිනවීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණි. එහෙත් මේ ජීවිතය පිළිබඳ කළකිරුණූ, අසහනයට පත්වුණූ පිරිස්ද සිටියහ. කෝලිත, උපතිස්ස දෙදෙනාද ඊට අයත්ය. මේ අනුව බුද්ධිමත් තරුණ පිරිස් විඥානවාදී විසඳුම්වලින් පරම සැපතක් ලබාගන්නට පෙළඹුණු යුගයක් වු බවද පැහැදිලිය. අත්ථකිලමතානුයෝගීව ශරීරයට දැඩි දුක් දෙමින්, අජව්‍රැත, ගෝව්‍රැත වැනි විවිධ ව්‍රැත අනුගමනය කරමින් කළ අකුසල් කර්ම ගෙවා අවසන් කරන්නට උත්සාහ ගත් පිරිස්ද වූහ. සමහරු ඒ වෙනුවෙන් කටුක දුක් වින්දහ.
එවැනි සමාජයක, කාමසුඛල්ලිකානුයෝගී, ජීවිතයක් ගෙවූ, එහෙත් එහි තාවකාලික බව දැන සිදුහත් කුමරුට ගිහි ජීවිතය අත්හරින්නට ආසන්නතම හේතුව වූයේ සතර පෙරනිමිතිය. ඒ අතර රාහුල කුමරුගේ උපතද සිදුවේ. එයද සම්බාධකයක් විය. ගිහිගෙය හැර ගිය සිදුහත් කුමරු සත්‍ය සොයා ගියේ ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර, ගුරුවරුන් වෙතය. ඔවුන් සුළුපටු අයද නොවේ. අධ්‍යාත්මික ඉහළ ධ්‍යානවලට පත්වූ අයයි. බුදුරදුන් ලොවට බිහිවන්නේ . මෙලෙස දාර්ශනික ප්‍රබෝධයක් තිබූ දේශයකයි.
එමෙන්ම තවත් පැත්තකින් සමාජ අසාධාරණය ක්‍රියාත්මක වුණි. ආත්මාර්ථකාමී ලෙස වස්තු පරිහරණය කළ නිසා දුප්පත්කමේ අන්තයට ගිය පිරිස් ද වූහ. සිදුහත් කුමරු මේ අසංවිධිත අර්ථ ක්‍රමයේ ස්වභාවය දුටුවේය. ඊට විසඳුමක් ද සොයමිනි සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ. මේ සියල්ල සිදුවන්නේ කර්මය නිසා යන මතය බැහැර, හේතුඵල දහමක් ඉදිරිපත් කරන්නේ, සර්ව සාධාරණ සමාජයක් සඳහා උපදෙස් දෙන්නේ ඒ අනුවය.
‘කුල’ ක්‍රමය සපුරා බැහැර කළ ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නට ශාක්‍ය කුලය තෝරා ගන්නේ ඇයි? එකල සමාජයේ අතිශය පීඩාවට පත්වූවෝ ක්ෂුද්‍රයින්ය. සියල්ලන් අභිබවා සිටියෝ ක්ෂතී‍්‍රන්ය. දස දහස් ගණනින් සතුන් බිලිදෙමින්, ධන ධාන්‍ය ගින්නට දමමින් කළ යාගහෝම, පුද පූජා නිසා එකල සමාජ ආර්ථිකයට විශාල ගැටලු ඇතිවුණි, එසේම මෙවැනි ආගමික සංකල්ප, දේව නියෝග, කුල වාදය නිසා එකල සමාජය බොහෝ පීඩාවට පත්විය. ආජීවක,ජටිල, පරිබ්‍රාජක ආදි කණ්ඩායම් බිහිවන්නේ ඊට විරුද්ධවය. මෙවැනි පරිසරයක ශාක්‍ය වංශය ඉතා බලවත්විය. වංශවත් පවුලක ඉපදී කුලවාදය ප්‍රතික්ෂේප කිරීම පහසුය.එහෙත් එවැනි කාලයක ඉපදී වුවද ශාක්‍යයන්ගේ මානය නැති කරන්නට බුදුරජාණන් වහන්සේ ගත් උත්සාහයෙන් ම කුලවාදය මොන තරම් බලවත්වීද යන්න පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ වීදි දිගේ පිඬු සිඟා වඩිනවා දුටු සුද්ධෝදන පිය රජතුමා මොන තරම් දුකට, කණස්සල්ලට පත් වුණාද? උන්වහන්සේට සමානාත්මතා දර්ශනය ලෝකයට දේශනා කරන්නට හැකිවූයේ කුලවත්, වංශවත් පවුලක ඉපදී කුලය ප්‍රතික්පේෂ කළ නිසාය. පස්මහ බැලුම් අතර එන අවසාන කරුණ ‘මව’ය. මහාමායාදේවිය බුදු කෙනෙකුට මවක් වෙන්නට ප්‍රාර්ථනා කළ උතුම් කාන්තාවකි. වෙසෙස් පින්දහම් කළ තැනැත්තියකි. පංච ශීල ප්‍රතිපදාවේ පිහිටි, සිදුහත් කුමරු මව්කුස, පිළිසිඳගත් දා සිට අටසිල් සමාදන් වු කාන්තාවකි. බුදු කෙනෙකුට උපත දුන් ගර්භය තවත් කෙනෙකු පරිහරනය නොකළ යුතු වීම ඊට එක් හේතුවකි. මහා මායා දේවිය පුතු ඉපදී සය දිනකින් මිය යන්නට කර්ම ශක්තිය ඇති තැනැත්තියක ද වූවාය. එබඳු මවක් ද සොයමිනි. පංච මහා විලෝකනය අවසන් කළේ. මේ අනුව පස් මහ බැලුම් තුළ ඓතිහාසික හා සමාජයීය වශයෙන් යථාර්ථවාදී හේතු කොටසක් අන්තර්ගතවන බව පැහැදිලිය.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X