සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

Preview

දැන දැන බොරුකීම චිත්ත දියුණුවට බාධාවක්

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතයට බොහෝ සෙයින් උපකාරි වන දෙයක් සත්‍ය කතා කිරීම. අද ඇතැම් දෙනෙකුට බොරු කීමට කිසිදු බයක් හෝ ලජ්ජාවක් නැහැ. බොරු කීමට බයක්, ලජ්ජාවක් නොමැති නිසාම බොහෝ දෙනෙක් බොරු කියනවා. නමුත් ඒ තුළින් අපේ ජීවිතයට සිදුවන හානිය බොහෝ බරපතල බව කිසිවෙකුටත් පෙනෙන්නේ නැහැ. සත්‍යවාදී නොවීම හේතු කරගෙන අපගේ ජීවිත අභ්‍යන්තරය තුළ සිදුවන පරිහානිය කෙබඳු දැයි මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට පෙන්වා වදාළා.
දිනක් තථාගතයන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ බැහැ දැකීමට අම්බලට්ඨිකා කියන අඹ වනයට වැඩියා. රාහුල ස්වාමින් වහන්සේ දුටුවා තමන්ගේ කුටිය දෙසට තථාගතයන් වහන්සේ වඩින අයුරු. ඉතින් උන්වහන්සේ ඉක්මනින් ආසනයක් පනවා පා සෝදන්න වතුර බඳුනක් පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කර ඒ ආසනයේ වැඩ හිඳ පා දෝවනය කළා. පා දෝවනය කරන්න වතුර ගත් භාජනයේ පැන් ස්වල්පයක් ඉතිරි වී තිබුණා. රාහුල ස්වාමින් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පැත්තකින් වාඩි වුණා.
බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල ස්වාමින් වහන්සේගෙන් විමසනවා
“රාහුලය, ඔබට මේ භාජනය පේනවාද?”
“එසේයි ස්වාමිනි”
“රාහුලය මේ භාජනයේ පැන් බොහෝම ස්වල්පයයි නේද? තිබෙන්නේ”.
“එසේයි ස්වාමිනි.” මෙහි දැන් පැන් තිබෙන්නේ බොහෝම ස්වල්පයයි.”
“රාහුලය, යම්කිසි භික්ෂුවක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ මහණකම බොහෝම ස්වල්පයයි. එය දියුණු කරන්න පුළුවන් එකක් නොවේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ස්වභාවය භික්ෂූන් වහන්සේට පමණක් උරුම දෙයක් නොවේ. එය අප කාගෙත් ජීවිතයට බලපාන පොදු ධර්මයක්.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් දැන දැන බොරු කියනවානම් ඔහුගේ මහණකම ස්වල්පයයි කියා. එතැන උන්වහන්සේ මහණකම කියා අදහස් කළේ චිත්ත දියුණුවයි. යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුට චිත්ත දියුණුවක් සඳහා යන්න බැහැ. අපට වුවමනා නම් මානසික දියුණුවක් සඳහා යන්න බොරු කීමෙන් වැළකිය යුතුවෙයි.
චිත්ත දියුණුව සඳහා යන්න සත්‍යවාදී වීම ඉතා වැදගත්. සත්‍යවාදී වීම තුළ වැඩෙන්නේ පෞරුෂයයි. චිත්ත දියුණුව කියන්නේ පෞරුෂ වර්ධනයක්. එය අපට සත්‍යවාදී වීමට උපකාරි වෙනවා. නමුත් බොහෝ අයට සත්‍යවාදී වීමට තරම් පෞරුෂයක් නැහැ. පොඩි දෙයකටත් බොරු කියනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ අර භාජනයේ තිබුණ ජලය ටික වීසි කළා. හිස් භාජනය පෙන්වා,
”රාහුලය, දැන් මේ භාජනයේ තිබුණු ජලය සියල්ලම පිටතට වීසිවුණා මේ භාජනය දැන් ඔබට පේනවාද?
”එසේය ස්වාමිනි.”
”රාහුලය, ඒ ආකාරයට යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහු තමන්ට මානසිකව දියුණු වෙන්න තිබෙන අවස්ථාව වීසි කළා වෙනවා.”
මේ කාරණය අපට ඉතා වැදගත්. සමහර විට අප අපගේ තත්ත්වය ආරක්ෂා කරන්න දැන දැන බොරු කියන්න පුළුවන්. බුුදුරජාණන් වහන්සේ වදාළා මනුස්සයෙකු දැන දැන බොරු කිව්වොත් ඒ තුළ ඔහුගේ චිත්ත දියුණුව ලබන්න තිබෙන අවස්ථාව වීසි කළා වෙනවා කියලා.
බොරුකීම ඔබගේ ජීවිතයට විශාල අනතුරක්. ඔබට යම්කිසි ආකාරයක හැදෙන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒ අවස්ථාව බොරු කීම නිසා මඟහැරී යනවා. අප ගත්තොත් පවුල් ජීවිත ගතකරන මව්පියන් අතර සම්පූර්ණයෙන් සාර්ථකත්වය තිබෙන්නේ එකිනෙකා තුළ තිබෙන විශ්වාසය මතයි. ඒ විශ්වාසය පළුඳු වෙන ප්‍රධානතම දෙය බොරුකීමයි. සමහර විට එකපාරක් බොරු කීව්වොත් ඊට පසු එය ජීවිත කාලයටම ප්‍රශ්නයක් වෙනවා. එනිසා යම්කිසි පුද්ගලයෙකුªට මානසිකව දියුණු වෙන්න තිබෙන හොඳම දේ බොරු නොකියා සිටීමයි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ අර හිස් භාජනය මුනින් අතට හැරවූවා. රාහුල ස්වාමින් වහන්සේගෙන් අසනවා “රාහුලය, මේ භාජනය දෙස බලන්න. දැන් මෙය තිබෙන්නේ මුනින් අතට හරවලා. ඔය වගේ රාහුලය, කවුරු හරි කෙනෙක් දැන දැන බොරු කියනවානම් ඔහුගේ මානසික වර්ධනය දියුණු වෙන්න තිබෙන අවස්ථාව මුනින් අතට හැරවූවා වගේ පිරිහී යනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මුනින් හැරවූ භාජනය උඩු අතට හරවා රාහුල ස්වාමින් වහන්සේට වදාළා,
“රාහුල දැන් මේ භාජනයේ මොකුත් තිබෙනවාද?”
“ස්වාමින්වහන්ස මොකුත් නැහැ. මේ භාජනය හිස්.”
“රාහුලය, යමෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ චිත්ත දියුණුවත් හිස්. ඔහුට මොකුත් නැහැ.”
බුදුරජාණන් වහන්සේ ඉන්පසු බොරුකීමෙන් වන හානිය තවත් උපමාවකින් මෙසේ පෙන්වා වදාළා.
“රාහුලය, රජ කෙනෙකුට ඇතෙක් සිටිනවා. ඒ ඇතා යුද්ධයට යවන්න පුළුවන් දක්ෂ ඇතෙක්. මේ ඇතා යුද්දේදී ඉස්සරහා කකුල්වලින් තාප්ප බිඳිනවා. වම් කඳින් බිත්තිවලට ගහනවා. දකුණු කඳින් බිත්තිවලට ගහනවා. පිටුපස කකුල්වලින් බිත්ති පෙරලනවා. ඊළඟට දළ දෙකින් දොරවල් කඩනවා. නමුත් මේ සියල්ලම කරද්දී ඇතා හොඬවැල පිළිබඳව කල්පනාවෙන් සිටින්නේ. හොඬවැල කිසිවකට යොදවන්නේ නැහැ. එවිට රජතුමා සිිතන්නේ මේ ඇතා යුද්ධයට ගිහින් ඉදිරිපස කකුල්වලින් ගහනවා. කඳෙන් ගහනවා. කඳේ දෙපැත්තෙනුත් ගහනවා. පිටුපස කකුල්වලින් ගහනවා. දළ දෙකෙන් ගහනවා. නමුත් මේ ඇතා හොඬවැළ ආරක්ෂා කරගෙන සිටින්නේ. ඒ නිසා මේ ඇතා මට ජීවිතය පරිත්‍යාග කර නොවෙයි සිටින්නේ කියා සිතනවා.
ඒ වගේම තවත් ඇතෙක් සිටිනවා. ඒ ඇතා ඉදිරිපස කකුල් දෙකෙන්, කඳේ වම් පැත්තෙන් ගහනවා. කඳේ දකුණු පැත්තෙන් ඔළුවෙන්, දළ දෙකෙන්, පිටිපස කකුල් දෙකෙන්, හොඬවැලෙන් ගසනවා. එවිට රජතුමා කල්පනා කරනවා මේ ඇතා පුදුම ඇතෙක්. මේ ඇතා ඉස්සරහා කකුල් දෙකෙන් ගහනවා. කඳේ දෙපැත්තෙනුත් ගහනවා. පස්ස කකුල් දෙකෙනුත් ගහනවා. දළ දෙකෙනුත් ගහනවා. හොඬ වැලෙන් ගහනවා. මේ සතාගේ ජීවිතයේ රකින්න කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ සතා නම් මා වෙනුවෙන් ජීවිතයම අත්හැරලයි සිටින්නේ කියා.
“රාහුලය, ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතයේ ගුණ ධර්ම දියුණු කරගන්න තිබෙන අවස්ථාව අත්හැරලා තියෙන්නේ. ඔහුට කරන්න බැරි පාපයක් නැහැ. රාහුලය, ඒ නිසා හොඳට හිතට ගන්න මම නම් බොරු කියන්නේ නැහැ කියා.”
එනිසා ඔබ කල්පනා කරන්න බොරු කීමට පෙළඹීම නිසා අපේ ජීවිතයට මොනතරම් හානියක් සිදු වෙනවද? මුසාවාදය නිසා අපට දියුණුවෙන්න තිබෙන අවස්ථාව අපෙන් ගිලිහිලා යන්නේ නො දැනීම නිසයි. ඒ නිසා අපි අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. අපේ ජීවිතය පරදුවට තබා අවසන් මොහොත දක්වා සත්‍ය වචනය පමණක් කියන්නට.
නොපෙණෙන ලෝකය දකින යථාර්තවාදී දහම, බුදු දහමයි.
X